දහනම වසරකට පෙර නිකිණි මස 04 වන දා උදෑසන 7.30 ට පමණ මූත්තූර් පොලිස් ස්ථානයේ ගුවන් විදුලි සංඥා පද්ධතියට යුධ හමුදාවේ ඉහළම නිලයකගෙන් නියෝගයක් ලැබුණි.
"දෙමළ කතා කරන, සිවිල් ඇඳුම් ඇඳන් ඉන්න හැමෝම මරන්න''.
මූත්තූර් පොලිස් ස්ථානයේ ප්‍රධානීන් වෙත එම නියෝගය ලැබෙන්නට හෝරා කිහිපයකට පෙර, ප්‍රංශය මුලස්ථානය කොට ගත් මානුෂීය සහන සේවා සපයන ජාත්‍යන්තර සංවිධානයක් වු 'සාගින්නට එරෙහි ව්‍යාපාරයේ' (Action Contre la faim - ACF) ශ්‍රී ලංකාවේ, මූත්තූර් කාර්යාලයේ රේඩියෝ සංඥා පද්ධතිය බිඳ වැටෙන්නේ භාහිර පාර්ශවයන් හා එතෙක් පැවති සියළු සන්නිවේදන කටයුතු අහුරා දමමිනි. රජයේ හමුදා විසින් ඒ වන විටත් ප්‍රදේශයේ බොහෝ ස්ථාන ඉලක්ක කරමින් බර අවි ප්‍රහාර එල්ල කරන්නට පටන් ගෙන තිබුණි. ප්‍රහාර ඇරඹෙන්නේ සහන සේවකයන් ත්‍රිකුණාමලයේ සිට මූත්තූර් වෙත බෝට්ටුවෙන් පැමිණ පැය කිහිපයක් ගෙවී ගිය තැන ය. රජයේ හමුදාවන් එල්ල කරන ප්‍රහාරවලින් දිවි බේරාගන්නට මූත්තූර් වැසියන් හතර අත දිව ගියද සහන සේවකයන් කාර්යාලයෙන් බැහැරට නොයමින් එහිම රැඳී ඇත්තේ, මූත්තූර්වලින් ආරක්ෂිතව පිටවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන තෙක් කාර්යාලය තුළම රැඳී සිටින්නැ යි ACF ප්‍රධානීන් විසින් ගුවන් විදුලි සන්නිවේදන කටයුතු බිඳ වැටීමට පෙර කරන ලද අවසන් දැනුම් දීමක් ප්‍රකාරව යැයි පසුව අනාවරණය විය.
මාවිල් ආරු සිට මූත්තූර් දක්වා
මූත්තුර්, හමුදා ප්‍රහාරවල ඉලක්කයක් බවට පත් වන්නේ 2006 ජූලි මාසයේ ආරම්භ වූ මාවිල්ආරු මෙහෙයුමේ එක් ප්‍රතිඵලයක් ලෙස ය. මාවිල්ආරු මෙහෙයුමෙන් පසු හමුදාවේ ඊ ළඟ ඉලක්කය බවට පත්ව තිබුණේ මූත්තූර් සහ සාම්පූර් ප්‍රදේශවල බලය සියතට ගැනීමයි . ඒ සඳහා යුද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලාධිකාරියේ අවසරය උවමනා තරමටත් වඩා වැඩියෙන් හමුදාව වෙත ලැබී තිබුණි.
ඒ සඳහා වූ පසුබිම නිර්මාණය වූ ආකාරය පැහැදිලි කරගැනීම වැදගත්වන්නේ පසුව සිදු වූ සමූහ ඝාතනයන්ගේ විධාන වගකීම අනාවරණය කර ගැනීමට ය.
සොරොව්ව වසා දැමීමත් සමඟ කොළඹ දේශපාලනය දෙදරන්නට පටන් ගැනුණේ එක් පසෙකින් සොරොව්ව බලා ඇදෙන්නට වූ ගිහි-පැවිදි ජාතිවාදී බලමුළුවල ක්‍රියාකාරීත්වයත්, අනෙක් පසින් ඒ වන විටත් දිග්ගැසෙමින් පැවති වැඩ වර්ජනයකුත් හේතුවෙනි. එම තත්ත්වය මත ජූලි 26 දිනම ආරක්ෂක මණ්ඩල හදිසි හමුවක් කැඳවා ආණ්ඩුව තීරණය කරන්නේ කවර මට්ටමේ ප්‍රහාරයක් එල්ල කර හෝ සොරොව්ව මුදා ගැනීමට ය. පාබල හමුදා ප්‍රහාර එල්ල කිරීමට පෙර මාවිල්ආරු, වෙරුගල් ආරු සහ මඩකලපුව ආදී ප්‍රදේශ ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ද එහිදී තීරණය කෙරුණි.
ආරක්ෂක මණ්ඩල හමුව නිමවී දෙපැයක් ගෙවී යෑමටත් මත්තෙන් කෆීර් සහ F7 ප්‍රහාරක ගුවන් යානා යොදා ගනිමින් පළමු ගුවන් ප්‍රහාරය එල්ල කෙරෙන්නේ ඒ අනුව ය. ඉන් පසු ඒ වන විටත් හමුදාපති ධූරයේ වැඩ බැලු යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චි වෙත මෙහෙයුමේ සියළු වගකීම් පවරන්නට ආරක්ෂක ප්‍රධානීන් තීන්දු කරන්නේ හමුදාපති සරත් පොන්සේකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගතව සිටි බැවිනි.
මාවිල් ආරු මෙහෙයුමේ ප්‍රධාන බල ඇණිය ලෙස ලුතිනන් කර්නල් සුජිත් ජයසේකරගේ අණ දීම යටතේ කමාන්ඩෝ සෙබළුන් කැඳවනු ලැබුණි. කමාන්ඩෝ සෙබළුන්ගේ සහායක බල ඇණි ලෙස, ලුතිනන් කර්නල් ජයම්පති ජයතිලකගේ අණ දීම යටතේ 8 වන ගැමුණු හේවා බල ඇණියත්, ලුතිනන් කර්නල් එච්.එම්.එන්. බී හේරත් යටතේ 5 වන ශ්‍රී ලංකා පාබල හමුදා බල ඇණියත් යොදවනු ලැබුණි.
දෙවනුව, එම බල ඇණි ත්‍රිත්වයේ සහායට තවත් හමුදා කාණ්ඩ කිහිපයක්ම යොද වන්නට තීන්දු කරන්නේ කෙසේ හෝ මාවිල්ආරු මුදා ගන්නා බවට රජය මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද ජාතික හෙළ උරුමය හා සම්බන්ධ බෞද්ධ භික්ෂූන් ප්‍රමුඛ සිංහල උද්ඝෝෂක පිරිස් වෙත දුන් පොරොන්දුවක් අනුවය. ඒ අනුව 8 වන පාබල හමුදා රෙජිමේන්තුවේ බල ඇණියක් එහි සේනා විධායක ලුතිනන් කර්නල් සන්තානම් යටතේත්, 2 වන ජාතික ආරක්ෂක බල මුළුව මේජර් ජගත් වීරකෝන්ගේ අණ දීම යටතේත් මෙහෙයුම් සඳහා එක් කරන්නට ආරක්ෂක ප්‍රධානීහු කටයුතු කළහ.
අනතුරුව යුධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවත්, යුධ හමුදා විශේෂ බලකායත් මාවිල්ආරු වෙත කැඳවන්නේ එයට පෙර කැඳවන ලද සියළු හමුදා ඛණ්ඩයන්ට සිතු තරම් පහසුවෙන් කොටි සංවිධානයේ ප්‍රතිරෝධය වළකමින් සොරොව්ව ආසන්නයට හෝ යෑමට අපහසු වූ බැවිනි. විශේෂ බලකාය කැඳවා තිබුණේ එහි සේනා විධායක කර්නල් ප්‍රසන්න සිල්වා යටතේ ය. අවසන් බල ඇණි දෙක මාවිල් ආරු වෙත කැඳවන්නේ ඒ වන විටත් පෙරළා ලංකාවට පැමිණ මෙහෙයුමේ සියළු අණ දීම් සියතට ගත් හමුදාපති ලුතිනන් ජනරාල් සරත් පොන්සේකාගේ නියෝග මත ය.
පාබල හමුදා කාණ්ඩ කිහිපයක් ඒකාබද්ධව යොදා ගත්තද රජයේ හමුදාවන්ට සොරෙව්ව ආසන්නයට හෝ යාමට නොහැකිවූ පසුබිම යටතේ හමුදා ප්‍රධානීන් තීරණය කරන්නේ සොරොව්ව පාමුල රැකවල්ලා සිටි කොටි සංවිධාන සාමාජිකයන් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර වට කිහිපයක් එල්ල කිරීමට ය. ඒ අනුව ගුවන් හමුදා අංක 10 බලඝණයේ අණදෙන නිලධාරි පියාසර නියමු සුදර්ශන පතිරණ, බලඝණ නායක සම්පත් වික්‍රමරත්න, පියාසර නියමු සජීව හෙන්දාවිතාරණ සහ තවත් එක් ගුවන් නියමුවෙකුගෙන් සමන්විත ප්‍රහාරක ගුවන් යානා හතරක් මගින් කෙටි කාල පරාසයක් තුළ ගුවන් ප්‍රහාර හතරක් එල්ල කරනු ලැබුණි. එම ගුවන් ප්‍රහාර හේතුවෙන් සොරොව්ව සහ ඒ අවට ප්‍රදේශයට බරපතල හානි සිදුකෙරිණ. කෙසේ වුවද සොරොව්ව මුදා ගැනීමෙන් අනතුරුව දකුණේ ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ හමුදා ප්‍රහාර හමුවේ පලා ගිය විමුක්ති කොටි සංවිධානයේ සටන්කරුවන් විසින් මාවිල් ආරු සොරොව්ව පුපුරවා අලාභ හානි සිදු කොට පලා ගිය බවකි.
මූත්තූර් පොළවට බර අවි වැසි
සොරොව්ව ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් අත්පත් කර ගැනීමෙන් පසුවත් 'නැගෙනහිර මුදා ගැනීම‘ නම් සටන් පාඨය ලෙළවමින් දකුණෙන් එහි ගිය දක්ෂිණාංශික දේශපාලන බලමුළු, ත්‍රිකුණාමලයේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල වාඩි ලා සිටියදීම රජයේ ආරක්ෂක ප්‍රධානීන් සිය සේනාවන් යොදවා එයින් කිලෝමීටර් 35 ක පමණ දුරකින් පිහිටි මූත්තූර් වෙත බර අවි ප්‍රහාර වැසි එල්ල කිරීමට පටන් ගත්තේ සාම්පූර් ප්‍රධාන ඉල්ලකය ලෙස තබා ගනිමිනි. දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඝාතනය කර දැමු රජයේ ''අවසන් මානුෂීය මෙහෙයුමේ'' ආරම්භය සනිටුහන් වූයේ ඒ ප්‍රහාර මගිනි.
රජයේ හමුදාවන් නොනවත්වා එල්ල කරන බර අවි වර්ෂාවෙන් බේරීමට සිය ගණනක් වු මිනිසුන් මූත්තූර්වලින් පලා ගොස් ජීවිතාරක්ෂාව පතා ත්‍රිකුණාමලය සහ කන්තලේ අවට තාවකාලික කූඩාරම් අටවා ගනිමින් රැඳී සිටියේ අද හෝ හෙට තමන්ට ගම්බිම්වලට යාමට ඉඩක් ලැබේ යැයි විශ්වාසයෙනි. එහෙත් මාවිල් ආරු, මූත්තූර් හා එයින් පසුව සාම්පූර් ආදි වශයෙන් එකින්, එක දියත් වූ අඛණ්ඩ ප්‍රහාර වැලක් විසින් කිසිවකුටත් එම භූමියෙන් පිටමන් වීමට ඉඩ අහුරා දැමුණි.
මාවිල් ආරු වෙත සියල්ලන්ගේම අවධානය යොමුව තිබෙන අතරවාරයේ යළිත් මූත්තුර් වෙත අඛණ්ඩ ප්‍රහාර වැලක් එල්ල කරන හමුදාව ඒ වන විටත් අම්පාර, කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසැලේ ස්ථානගත කොට සිටි විශේෂ කාර්ය බලකායේ පළමු බල ඇණියට අයත් සෙබළුන් 80 දෙනෙක් ගුවන් මඟින් ත්‍රිකුණාමලයටත්, එතැනින් රහසිගතව නාවික හමුදා ඩෝරා යාත්‍රා හතරක රැගෙන විත් අගෝස්තු 02 දා රාත්‍රියේ මූත්තුර් ජැටිය ආසන්න මුහුදේ රඳවා තබා තිබුණේ වැඩිදුර සැලසුමකට අනුව ය.
විශේෂ කාර්ය බලකා කණ්ඩායම මෙහෙයවීමට යොදවා තිබුණේ මේජර් නලීන් ජයතිලක ය. ලුතිනන් සුභාෂ් රණසිංහ, ලුතිනන් බෝයගොඩ , ලුතිනන් ලලිත් චන්ද්‍රසිරි සහ මේජර් ශිරංජීව ඔහුට සහාය සඳහා යොදවා තිබූ අතර බුද්ධි කටයුතු එවකට ලුතිනන් ධූරයේ කටයුතු කළ නිශාන්ත අධිකාරි යටතට පවරා තිබුණි.
කර්නල් හඳුන්පතිරණ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයේ සිට සමස්ත ප්‍රහාරයටම අණ ලබා දීම සිදුකොට තිබුණි.
හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යටතේ පැවතුන විශේෂ ප්‍රහාරක බෝට්ටු බල ඇණි සෙබළුද (Special Boat Squadron - SBS) ලුතිනන් කමාන්ඩර් හේරත් යටතේ අදාළ මෙහෙයුමට සම්බන්ධව සිටියහ.
වාර්තා වන අන්දමට විශේෂ කාර්ය බලකා කණ්ඩායම අගෝස්තු 02 සිට 05 වන දා දක්වා අඛණ්ඩ ප්‍රහාර වැලක් එල්ල කරනු ලැබූ අතර අගෝස්තු 04 වනදා හෝ 05 වනදා එවකට කපිතාන් ජයලත් ගමආරච්චි යටතේ තවත් විශේෂ ප්‍රහාරක කණ්ඩායමක් මාවිල් ආරු සිට මූත්තූර්වලට කැඳවන්නේ ය.
කෙසේ වෙතත් මූත්තුර් නගරයට කඩා පනින විශේෂ කාර්ය බලකා කණ්ඩායම, ඒ වනවිටත් නගරයේ තැන තැන ස්ථාන ගතව සිටි නාවික හමුදා කණ්ඩයම් මෙන්ම විශේෂ ප්‍රහාරක බෝට්ටු බල ඇණියේ සහයෙන් මූත්තුර් නගරයත් ඒ අවට ප්‍රදේශයත් ඉලක්ක කරමින් දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඒ ක්ෂණික ගුවන් ප්‍රහාර කිහිපයක ආවරණය ලබා ගනිමිනි. අගෝස්තු 03 වන දා වන විට නගරයෙන් වැඩි ප්‍රමාණයක පාලන බලය ඔවුන් යටතට ගනු ලැබ තිබූ අතර මෙම ප්‍රහාර හේතුවෙන් ඒ වන විටත් මූත්තූර්, 'මළ නගරයක්' වී අවසන් ය.
අගෝස්තු 4 වනදා උදෑසන වෙන තෙක් මූත්තූර් හී සිය කාර්යාලය හා පැවති ගුවන් විදුලි සන්නිවේදන කටයුතු බිඳ වැටීමෙන් අනතුරුව ACF උත්සාහ දරා තිබුණේ ඒ වනවිටත් ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි අනෙකුත් ජාත්‍යන්තර සහන සේවා හා මානුෂීය ආධාර සංවිධානයන් දැනුවත් කොට ඔවුන් හරහා සිය කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු විමසා බැලීමටය. නැගෙනහිර පළාතේ මානුෂීය සහන සේවාවන් සපයමින් සිටි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ (ICRC) නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකා සටන් විරාම නිරික්ෂණ කමිටුවේ (SLMM) සමාජිකයන්ද ප්‍රදේශයේ යුධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් අමතමින් සහන සේවකයන් පිළිබඳ යම් නිශ්චිත තොරතුරක් තමන් වෙත ලබා දෙන්නැයි ඉල්ලා තිබුණි. විශේෂයෙන්ම ත්‍රිකුණාමලය ACF කාර්යාලයේ ප්‍රධානියා විසින් මූතුර් කාර්යාලයේ සේවය නියුතුව සිටි සියලු සේවක, සේවිකාවන්ගේ නාම ලේඛනයක් ත්‍රිකුණාමලය එවකට සිටි සහකාර පොලිස් අධිකාරි නිහාල් සමරකෝන් වෙත ලබා දෙමින් ඔවුන්ට නිරුපද්‍රිතව මූත්තූර්වලින් පිටවීමට ඉඩ සලසා දෙන ලෙස ඉල්ලා තිබේ. නමුත් ආරක්ෂක අංශ වෙතින් දිගින්, දිගටම එල්ල වෙන බාධාවන් සහ තර්ජනයන් මෙන්ම අනතුරු හැඟවීම්ද හේතුවෙන් සහන සේවකයන් පිළිබඳ නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට හෝ ඔවුන් නිරුපද්‍රිතව මූත්තූර්වලින් පිටකර ගැනීමට ACF සංවිධානයට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්ද අසමත් වූහ.
එයින් දින කිහිපයකට පසුව, එතෙක් මූත්තුර්වලට පමණක් ඒ තාක් රහසක්ව පැවති සහන සේවක ඝාතනය ගැන තොරතුරු හෙළිදරවු වීමට පසුබිම නිර්මාණය වූයේ රහසිගතව ඒ වෙත පැමිණ ඇති යමෙකු විසින් දෙන ලද දුරකතන ඇමතුමක් හේතුවෙනි.
''මම, ACF ඔෆීස් එක ළඟට ගියේ බොහෝම අමාරුවෙන්. හැම පැත්තෙන්ම හමුදාව වට කරලයි තිබුණේ. ඒ වුණාට මූත්තූර්වලින් එහෙට මෙහෙට වෙන මිනිස්සු අස්සෙන් ගිහින් මම කොහොම හරි කාර්යාලය ළඟට ගියා. මම කොහෙත්ම හිතුවේ නෑ ඒකේ වැඩ කරපු අය මරලා කියලා. ඒ ගොල්ලෝ ගැන කිසිම තොරතුරක් පවුල්වල අයට දැන ගන්න නෑ කියලායි අපිට ආරංචි වෙලා තිබුණේ. නමුත් මම එතනට යන කොටත් ඒ අය සියළු දෙනාම මරලා දාලා. ඒ වෙන කොටත් මිනී ගොඩක් නරක් වෙලයි තිබුණේ. සමහර ඒවා අඳුනගන්න බැරි තරමට විරූපි වෙලා '' යැයි හෙතම පසුව කීය.
මරා දමා තිබුණු සහන සේවකයන්ගේ ඡායාරූප කිහිපයක් ද ඔහු විසින් ගෙන තිබුණි. ACF සංවිධානය වැනිම තවත් මානුෂීය සහන සේවා ආයතනයක සේවය කළ අයෙක් වන ඔහු එම සංහාරය පැවති වකවානුවේ මූත්තූර් හී පැවති තත්ත්වය ගැනද ජේඩීඑස් හා කියා සිටියේ ය.
"ඒ දවස්වල මූතූර්වල දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් අතර යම් ආරවුල් ඇති වුණු බව කවුරුත් දන්න දෙයක්. ඒක ප්‍රයෝජනයට අරන් සමහර අය උත්සහ කළා මේ අපරාධයට මුස්ලිම් අය සම්බන්ධයි කියලා පෙන්නන්න. නමුත් ඒක වැරදියි. ඒ වෙනකොට මූත්තූර්වල පාලන බලය තිබුණේ ආණ්ඩුවේ හමුදාව යටතේ. හමුදාවට හොරෙන් කිසිම කෙනෙකුට මූත්තූර්වලට එන්නත් බෑ, ඇවිත් පිටවෙලා යන්නත් බෑ."
මරා දැමුණු සහන සේවකයන්ගේ ඡායාරූප ගැනීම නිසා පසු කලෙක රජයේ හමුදාවන්ගේ ලුහුබැඳීම්වලට ලක් වූ හෙතම, මේ වන විට සිය පවුලේ සාමාජිකයන් ද සමඟ පිටුවහල් දිවියක් ගෙවමින් සිටියි.
සමූහ ඝාතනයක්
මූත්තූර්හිදී මෙසේ ඝාතනය කෙරුණු අය අතර ජලය හා සනීපාරක්ෂාව පිළිබඳ කාර්මික ශිල්පීන් ලෙස කටයුතු කළ ආර්. අරුල්රාජා (24), එම්. නර්මදන් (23), ටී. ප්‍රදීපන් (27), එම්. රිෂිකේසන් (24), ඒ. ජයසීලන් (27), ඒ. එල්. එම් ජවුෆර් (31), ජී. ශ්‍රීධරන් (36) හා එම්. කේතීස්වරන් යන අය ද විය. ACF මූත්තූර් කාර්යාලයේ වැඩසටහන් කළමනාකරු ලෙස සේවය කළ 32 හැවිරිදි එස්.පී. ආනන්ද රාජා මෙන්ම රියදුරන් වු එස් කෝනේස්වරන් (24), අයි. මුරලිදරන් (33) සහ එස්. ගනේශ් (54) යන අයවලුන් සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තාක්ෂණඥයකු වූ වයි. කෝඩීශ්වරම්ද (30) එසේ මරා දැමුවන් අතරට අයත් විය.
මෙම සමූහ අපරාධයේදී මුතූර් සහන සේවා කාර්යාලයේ සේවය නියුතුව සිටි කාන්තාවන් සිවු දෙනෙක්ද මරා තිබුණු අතර ඝාතනයට ලක් වූ රියැදුරු ගනේෂ්ගේ දියණිය වූ සනීපාරක්ෂක උපදේශකවරියකව සිටි ජී. කවිතා (27) ද, සනීපාරක්ෂා ප්‍රවර්ධන නිලධාරිනීන් ලෙස ක්‍රියාකළ ආර්. සිවප්‍රගාසම් (25), කේ. කෝවර්තානි (27) සහ වී. කෝකිලවදනී (29) යන අයද ඒ අතර වූහ.
මරා දැමුවන් අතරින් එක් අයකු මුස්ලිම් ජාතිකයෙක් වූ අතර සෙසු සියල්ලන්ම දෙමළ ජාතිකයෝ වූහ. මරා දැමුණු පහළොස් දෙනෙකුගේ මළ සිරුරු එකිනෙකට සමීපව, පෙළට දණ ගස්සවා හෝ සිටුවා හෝ වෙඩි තබා තිබුණු අතර, අනෙක් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබුණේ කාර්යාලයට මදක් එපිටෙන් පිහිටි වෑන් රථයක් තුළිනි. මෙම ඝාතනයන් පිළිබඳව පසු කලෙක එළි දැක්වුණු විමර්ශන වාර්තාවන්ට අනුව ඔවුන් දෙදෙනාට වෙඩි තබා මරා දමා ඇත්තේ දිවි බේරා ගැනීමට දිව ගොස් වෑන් රථයට නැග පලා යාමට සුදානම් වන අවස්ථාවේදී ය.
මතු සම්බන්ධයි
කිත්සිරි විජේසිංහ
© JDS