නිලාන්දන්: දේශපාලන සිරකරුවන්ගේ නිදහස දේශපාලන ගැටළුවකි

පරිවර්තනය: ජීවෙන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


දේ ශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ  සටන සිරගත කර සිටින පාර්ශවයන්ට වඩා පිටත සිට ඒ  වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් අවංකව ඉදිරියට ගෙන යමින් තිබේද? සිරගතකර සිටින දේශපාලන සිරකරුවන් හා පිටත සිටින පාර්ශවයන් අතර සාකච්ජාවකින් එළඹි පොදු සැලසුමක් තිබේද? ඉකුත් වසරේදීත් දියත් කෙරුණු මෙවැනිම වූ සටනක් ගැන පසුවිපරමක් මෙන්ම ගැඹුරු ලෙස සළකා බලා තිබේද? ආහාර වර්ජනය සටන් මෙවලමක් ලෙස දිගටම යොදා ගත හැකිද?පොරොන්දු ලබා දීමෙන් අනතුරුව අවසන් කෙරුණු  ඉකුත් වසරේ දේශපාලන සිරකරුවන්ගේ සටනට පසු සිදු වුයේ කුමක්ද යන්න සොයා බැලුවේද?  තම සටන් හරහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමට හැකි වෙතැයි සිරමැදිරියෙන් මෙපිට සිට සටන් කරනු ලබන පාර්ශවයන් විශ්වාස කරනවාද? මීට පෙරත් මේ අයුරින් සටන් කර ජයග්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත් වීම ගැන ප්‍රමාණවත්ව විමසා බලා තිබේද? මේ ප්‍රශ්නාවලිය මා වෙත යොමු කරන ලද්දේ ඉකුත් සතියේදී මට මුණ ගැසුණු බහුජන සංවිධාන ක්‍රියාකාරිකයකු විසිනි.

ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්න දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අරගලයට පමණක් සීමා නොවේ. අතුරුදහන් කිරීම්, ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම්, නිදහස හා යුක්තිය  යනාදී  අද දවසේ දෙමල ජනයා මුහුණ දෙමින් සිටින සියලුම දුක් කම්කටොලු පිළිබඳව මේ ප්‍රශ්න නගන්නට ඇති හැකියාව ඕනෑවටත් වඩා ය. එහෙත් මේ කිසිම සටනක් මෙතෙක් ජය ගෙන නොමැත. එසේ වන්නට හේතු පිළිබඳව සොයා බැලීමට යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන ක්‍රියාධරයෝ හෝ දෙමල දේශපාලඥනයෝ  සමත් වී ඇත්තාහුද? මෙවැනි සටන්  ආණ්ඩුවේ පිළිවෙත් ප්‍රශ්න කරන ආකාරයෙන් ශක්තිමත් සටන් ලෙස ඉදිරියට නොයෑම පිළිබඳව කරුණු සොයා බැලීම වඩා වැදගත් වේ.

දුෂ්කර සටන් ක්‍රියාමාර්ග

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සට‍න වෙනදා මෙන්ම ඔවුන්ව නිදහස් කරන බවට ලබාදෙන ලද පොරොන්දුවලින් අවසන් කර තිබේ. මීට පෙර ලබා දුන් මේ හා සමානම පොරොන්දු අනුව එසේ නිදහස් කිරීමක් නම් දක්නට නොලැබුණු අතර ඒවා හුදෙක් පොරොන්දු පමණක්ම විය. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටන හය වතාවකට වඩා දියත් කර තිබේ. බොහෝ අවස්ථාවන්හි එවැනි සටන් ක්‍රියා මාර්ග මාසයක පමණ කාලයක් දක්වා ඇදී ගිය ද සිය දරදඬු පිළිවෙත්වලින් ආණ්ඩුව පසු බැස්වීමට සමත් නොවිණි. එසේ ආණ්ඩුවට දැනෙන්නට සටන් කරමින් පසු බැස්වීමට ඇත්ත හැකියාවක් ඇත්තේ කාටදැයි විමසා බැලිය යුත්තේ ඒ නිසා ය.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලපෑම් කරමින් යාපනය සරසවි සිසුන් පැවැත්වූ පාගමන සාමන්‍ය සරල ක්‍රියා මාර්ගයක් ලෙස බැහැර කල නොහැක. යාපනයේ සිට අනුරාධපුරය දක්වා කිලෝමීටර් 200 ක පමණ දුරක් පා ගමනේ යාම ඉතා දුෂ්කර කාර්යකි. පාද වල හටගන්නා දිය පට්ටා, දණහිස් වේදනාවන්, පා ඉදිමීම්, නිදිවර්ජිත රාත්‍රී, ගමන් වෙහෙස, අධික හිරු රශ්මියෙන් හා දුවිල්ලෙන් ඇති වන පීඩාව යන දෑ නොතකා වැස්සට තෙමෙමින් පා ගමනේ යෙදීමත්, සිරමැදිරියක සිට නිරාහාරව උපවාසයේ යෙදීමත් එක හා සමාන කැපවීමක් ඉල්ලා සිටින සාමකාමී මුත් දුෂ්කර සටන් ක්‍රියා මාර්ගයන් ය. එකී පිළිවෙත් දෙකම එක හා සමානව වේදනාකාරී වන අතර තිර අදිටනින් තොරව පෙරට ගෙන යා නොහැකි ය.

මෙවර පා ගමනට දෙමළ ජාතික ජනතා පෙරමුණ ද සහභාගී විය. යාපන සරසවි සිසුන්ගේ පා ගමන ඇරඹීමත් සමඟ සත්තිවේල් පියතුමාගේ නායකත්වයෙන් යුත්  දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය තවත් කණ්ඩායම් එක් කරගනිමින් සටනට සහයෝගය පළ කළේය. මේ අතර පා ගමන දෙවැනි දිනයට ළඟා වත්ම උතුරු පළාත් මහා ඇමති විග්නේශ්වරන් හා උතුරේ බහුජන සංවිධාන අතර සාකච්ජා පැවැත්වුණි. එහිදී වැඩි අවධානයක් යොමු වුයේ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටන කෙරෙහි ආණ්ඩුවේ මැදිහත් වීමක් කරා තල්ලු කරවා ගැනීම ගැන ය. ඉදිරි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත රජයේ අයවැය යොදා ගනිමින් දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම වඩාත් යෝග්‍ය බවට යෝජනා වූයේ එහිදී ය. මේ සදහා තිරසාර විසදුමක් ලබා නොදුනහොත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙවර අයවැයට එරෙහිව සිය ජන්දය භාවිත කළ යුතු ය. එවිට ආණ්ඩුව පසුබෑමට ලක් වෙනු ඇතැයි ද, එය දැනට තිබෙන හොඳම උපක්‍රමය විය හැකි යැයිද බොහෝදෙනා තුළ වන විශ්වාසය මෙහිදී පළ කෙරුණි.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය විසින් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළ යුතු අතර බහුජන සංවිධාන නියෝජිතයන්ගේ අදහස වුයේ එසේ ප්‍රකාශ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට බලපෑම් කළ යුතු බව ය. ඊට ප්‍රථම දේශපාලන සිරකරුවන්ගේ උපවාසය අවසන් කළ යුතු බව මෙහිදී යෝජනා වුයේ ඔවුන්ට දිගටම උපවාස කරමින් මිය යාමට ඉඩ නොදිය යුතු හෙයිනි. ආහාර වර්ජනය ඉල්ලීම් දිනා ගැනීමේ එක් ක්‍රමවේදයක් ලෙස භාවිතා කළ ද , එය දිගින් දිගටම පවත්වා ගෙන යාමෙන් නිදහස් වු පසුව ද ඔහුන්ට බරපතල සෞඛය ප්‍රශ්නවලට මුහුණ පෑමට සිදුවනු ඇත.

දෙමළ සන්ධානය හා කඩවුණු පොරොන්දු

සෑම අවස්ථාවකදීම සිරගතව සිටින දේශපාලන සිරකරුවන් විසින් සිරගෙදර තුළ සිට ගන්නා වූ කිසියම් ක්‍රියාමාර්ගයක් හමුවේ ඉන් පිටත බලවේග ඊට සහයෝගය දක්වනවා හැරෙන්නට ගැඹුරින් කල්පනා කර ගන්නා කිසිදු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා දක්නට නොලැබේ. මීට බොහෝ කලකට පෙරදී නම්  හර්තාල්, වර්ජන ආදී බොහෝ ක්‍රියාමාර්ග ආණ්ඩුවට බලපෑම් සහගත අයුරින් දියත් වුවද, අද එසේ ක්‍රියාත්මක වීමේ හැකියාව හා විධිමත් සැලැස්මක් ඇත්තේ කාටද?

අනෙක් අතට දේශපාලන සිරකරුවන්ට මෙතෙක් ලබා දී ඇති පොරොන්දු සියල්ලම කඩවුණු පොරොන්දු බවට පත්වී ඇති තත්ත්වයක් තුළ තවත් නම් එවන් පොරොන්දු පිළිගැනීමට දේශපාලන සිරකරුවන් තවදුරටත් සුදානම්ද? දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන යහපාලන ආණ්ඩුවට බලපෑමක් කිරීමට දෙමළ ජාතික සන්ධානය සහමුලින්ම අසමත් වී ඇත. එම නිසා අද දෙමළ ජනතාවට සිදුව ඇත්තේ  මෙකී ගැටලුව අරබයා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස දෙමළ ජාතික සන්ධානයට බලපෑම් කරන්නට ය. ඒ පිළිබඳව යෝජනාවූ ක්‍රියා මාර්ග අතරට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ කාර්යාල වටලා ඔවුන්ට බලපෑම් කිරීම ද, එසේ නැතහොත් ඔවුන් ගමන් ගන්නා විට වාහන නතර කොට බලපෑම් කිරීම ද ඇතුළත් විය. මේ මොහොතේ දෙමළ ජාතික සන්ධානය  යහපාලන ආණ්ඩුවට එරෙහිව ක්‍රියා මාර්ගයකට එළඹීමට සමත් නොවුන හොත්, ඔවුන් කෙරෙහි ජනතාවගේ බලවත් කෝපය ප්‍රකාශ කෙරෙනු නියත ය.


“මම දෙවියන් විශ්වාස කරමි. මම මෛත්‍රී ද විශ්වාස කරමි. එම නිසා මාව විශ්වාශ කරන්න. සටන අත්හරින්නැ” යි දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් ප්‍රකාශ කළේ 2015 වසරේදී දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටන දියත් වෙමින් තිබු මොහොතේ ය. එහෙත්  දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට දුන් එකී පොරොන්දුවට දැන් වසර තුනක්  ඉක්ම ගොස් තිබුණ ද, මේ දක්වා කිසිවක් සිදු වී නොමැත. මෙවර සටන දියත් වෙමින් පැවති මොහොතේ දෙමළ ජාතික සන්ධානයේ මාවෛ සේනාධිරාජා  බහුජන සංවිධාන ක්‍රියාකාරීන් හමුවේ එවැනිම පොරොන්දුවක් දෙනු ලැබීය. අයවැය ට සහයෝගය ලබා දෙන්නේ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නයට විසදුම් ලබා දුනහොත් පමණක් බව සේනාධිරාජා පවසා තිබිණි. ඒ අනුව බහුජන සංවිධාන නියෝජිතයෝ දේශපාලන සිරකරුවන්ගේ උපවාසය අවසන් කිරීමට මෙකී පොරොන්දුව පිළිබඳව ද සිරකරුවන් දැනුවත් කර තිබුණාහ. නමුත් සේනාධිරාජාට මෙවැනි පොරොන්දුවක් ලබාදීමට බලපෑමක් එල්ල කරන ලද්දේ යාපනේ සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන විසිනි.

කෙසේ වුවද, මේ වන විට දෙමළ විමුක්ති කොටි සංවිධානයේ හිටපු සාමාජිකයන් 12,000 ක් පමණ ආණ්ඩුව මගින් නිදහස් කර ඇතැයි නිල වශයෙන් ප්‍රකාශ කෙරී තිබේ. පුනරුත්ථාපන වැඩ සටහන යටතේ සිදුවූ මෙම නිදහස් කිරීමේ ක්‍රියාවලිය එතරම් සාර්ථකත්වයක් සමාජය තුළ පෙන්නුම් කර නොමැත. ඒ හරහා ඇත්තෙනම් සිදුව ඇත්තේ ඔවුන් මත වක්‍රව ත්‍රස්තවාදී ලේබලය තව දුරටත් අලවා තිබීම ය. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සැම විටම පවතින නීතිය යටතේ සිදු කිරීම සුදුසු ක්‍රියාවක් නොවන අතර ඔවුන් නිදහස් කිරීම කෙරෙහි ගත යුත්තේ දේශපාලන තීන්දුවකි. එවැනි තීන්දුවක් ලබා ගැනීම කෙරෙහි ආණ්ඩුවට නොකඩවාම බලපෑම් කිරීම අනිවාර්ය කාරණයකි. එසේ නොවුණහොත් මෙවරත් හුදු පොරොන්දු බවට පත්ව දේශපාලන සිරකරුවන්ගේ සටන යටපත් කෙරෙනු ඇත. අතුරුදහන්වුවන්ගේ ප්‍රශ්නයට හා බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සිදුව තිබෙන්නාක් මෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ සටන ද කල් ඇදීම මගින් පරාජයට පත් කිරීමට උත්සාහ දැරීම නියත ය.☐

නිලාන්දන්


© JDS