පළාත් පාලන මැතිවරණයේ දේශපාලන හැඟවුම් කවරේද?

දෙදහස් දහ අටේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විසින් "සිංහල සහ දෙමළ ජාතිවාදයේ සමාන නැගීමක්" පෙන්වීයැයි ඇතැම්හු කල්පනා කරති.

නමුත් දකුණේ දී රාජපක්ෂගේ පුනරාගමනයෙන් පෙන්නුම් කරන ලද්දේ තට්ටුමාරු මැතිවරණවාදයේ තවත් වටයක්ද?  උතුරේ දී දෙමළ ජාතික සන්ධානයේ පසුබෑමෙන් හඟවනු ලැබ ඇත්තේ 'මධ්‍යස්ථ දෙමළ දේශපාලනයේ' පරාජයක්ද?

නොඑසේනම්,  යහපාලන සන්ධානයේ තුන් අවුරුදු පාලනයෙන් පසුත් අප මුහුණ දී ඇත්තේ අධිපතිවාදය හා යුක්තිය අතර තව තවත් තීව්‍රවන දේශපාලන ධ්‍රැවීකරණයේ නිර්දය යථාර්ථයටද?

ප්‍රවීණ මාධ්‍යවේදී ජේ එස් තිස්සනායගම් ලියන්නේ ඒ ගැන ය.

What do Sri Lanka’s local elections mean for the future of democracy? මැයෙන් යුත් මෙම ලිපිය මුලින් පළවූයේ Asian Correspondent වෙබ් අඩවියේ ය.


නොබෝදා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේදී පාලනය හොබවන ජාතික එකමුතු ආණ්ඩුව සහ ප්‍රධාන විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය බරපතල පසුබෑම් අත්විඳිනු දක්නට ලැබුණි.

එකමුතු ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය විසින් රටේ දේශපාලන ගැටුමෙහි මුල් කරා එළඹෙනු වෙනුවට ප්‍රතිසන්ධානය ගැන හිස් වාගාලාප දෙඩීම මගින් රටේ ජාතික ගැටුමේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන සිංහල සහ දෙමළ ප්‍රාදේශීයබද ජනයා, දේශපාලන කාරකයන් වශයෙන් එකිනෙකා අවිශ්වාස කිරීමට  තල්ලු කළහ. ඡන්ද විමසීමේදී ඡන්දදායකයන් හරියටම ප්‍රකාශ කරන ලද්දේ මෙයයි.

රටේ ජාතික ගැටුමෙන් පරිබාහිර කාරණා සම්බන්ධයෙන් සැළකූ කල, පළාත්බද මැතිවරණයක් වුවද, සිංහල බහුතරයක් වෙසෙන දකුණේ දී ඡන්ද විමසීම දක්නා ලද්දේ ජාතික එකමුතු ආණ්ඩුවේ ක්‍රියා කලාපය පිළිබඳ ජනමත විචාරණයක් ලෙසිනි.

2015 පැවැති මැතිවරණ දෙක විසින් දෙමළ ජාතික සන්ධානය ජාතික දේශපාලනයේ බලපෑම් සහගත කොටස්කරුවෙක් බවට පෙරළන ලදී. රාජපක්ෂට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේනට සිය ඡන්දය පාවිච්චි කරන මෙන් තමන් දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටි නිසා පාලන තන්ත්‍ර වෙනස ඇතිකිරීමට තමන් දායක වූ බවට ඔවුහු කියා සිටියහ. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව්‍යවස්ථාදායකය තුළ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි දෙමළ පක්ෂය බවට ද දෙමළ ජාතික සන්ධානය පත්විය.

තීරණාත්මක හවුලක්?

එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික එකමුතු ආණ්ඩුවක් හැදීමට එක්වීම වනාහී ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු සිවිල් යුද්ධයට දේශපාලන විසඳුමක් සොයාගැනීමට හේතුවන වැදගත් පෙර නිමිත්තක් ලෙස සර්ව සුබවාදීන්ගේ පැසසුමට පාත්‍ර විය.

සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර පවතින ගැටුම නිරාකරණය කිරීමට, ලංකාවේ විශාලතම පක්ෂ දෙකෙන් සැදුම්ලත් ආණ්ඩුවක් මෙතරම් තීරණාත්මකව වන්නේ ඇයි?

ඊට හේතුව, දශක ගණනාවක් තිස්සේ දිග්ගැසුණු ගැටුමට වගකිව යුත්තේ ජාතික දේශපාලන බලය සඳහා එකිනෙකා හා තරඟයෙහි යෙදුණු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරටුව කොටගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය බවට වන චෝදනාවයි.  ඔවුන් දෙපිරිසම සිංහල ජනයාගේ ඡන්ද මත පරායත්ත වීම නිසා, ඔවුන්ගේ සිංහල පදනම් තහවුරු කරගනු පිණිස දෙමළ සහ මුස්ලිම් ජනයා සමග බලය බෙදාගැනීමේ දී වඩාත් අනම්‍යශීලී වන්නේ කවුරුන්ද යන්න ඔප්පු කිරීමට එකිනෙකා පරයා තරඟ කිරීම ගැන ඔවුහු චෝදනාවට පාත්‍ර ව සිටිති.

මේ න්‍යායේ යෝජකයෝ සිය මත සාධනයට ඉතිහාසය උපුටා දක්වති. 1957දී බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම මගින් දෙමළ සහ සිංහල ජනයා අතර බලය බෙදාගැනීමේ වැඩ පිළිවෙලක්  සාකච්ඡා කෙරෙද්දී ඊට එරෙහිව ප්‍රචණ්ඩ විරෝධයක් නගන ලද්දේ එක්සත් ජාතික පක්ෂය විසිනි. නමුත් 1965දී එජාප නායකයා සහ දෙමළ නායකයන් විසින් ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම පිළිබඳ සළකා බලද්දී, එවකට විපක්ෂයේ සිටි ශ්‍රීලනිපය දෙමළ විරෝධී ජාතිකවාදය මුදාහැරීම මගින් දේශපාලන විසඳුම විනාශ කරනු ලැබුණි.

දෙමළ ජනයාගේ සන්නද්ධ අරගලය දියත්වීමෙන් පසු 1987දී, එජාප ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය හරහා බලය බෙදාගැනීම පිළිබඳ දෙමළ දේශපාලන ඉල්ලීම් සමායෝජනය කරගැනීමට ශ්‍රීලනිප ය මුරණ්ඩු ලෙස විරුද්ධ වූ අතර, වසර 2000දී ඉදිරිපත් කරන ව්‍යවස්ථාමය යෝජනාවන්ගේ බලය බෙදාගැනීමේ අංග ලක්ෂණ පුළුල් කිරීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංග දරන ලද ප්‍රයත්නය වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහගේ එජාපය විසින් වළකන ලදී.

කුමාරතුංග සහ වික්‍රමසිංහ අතර 2002 සිට 2004 දක්වා පැවති අසීරු සහජීවන කාල සීමාව තුළ දෙමළ කැරළිකරුවන් සමග සටන් විරාමයක් දක්නට ලැබිණ. නමුත් වික්‍රමසිංහගේ ආණ්ඩුව බලයෙන් පහකරමින් කුමාරතුංග විසින් මැතිවරණයක් කැඳවීම කැරළිකරුවන් සමග පැවැති සාකච්ඡා අඩාල වීමට යම් තාක් දුරකට බලපෑවේය.

මැතිවරණ තරගය ද? අධිපතිවාදය ද?

අතීත උදාහරණ මගින් සිය තර්කයට පිටුබල සපයාගත් ජාතික එකමුතු ආණ්ඩුවේ ආධාරකරුවෝ කියා සිටියේ එජාප ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකම පරිපාලනයක කොටස්කරුවන් වීම නිසා තම තමන්ගේ ඡන්දදායක පදනම් තුටු පහටු කිරීම සම්බන්ධයෙන් එකදු පක්ෂයකට හෝ කලින් මෙන් කණස්සලු වීමට අනවශ්‍ය වන නිසා දෙමළ ජනයාට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ය.

නමුත් මෙය වනාහී හුදු මැතිවරණ තරගකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් නම් එකී පසමිතුරුතා මැතිවරණ වට එකක්, දෙකක් නැතිනම් ඇතැම්විට තුනක් දක්වා පැවතීමට ඉඩ තිබේ. නමුත් මෙකී රටාව අඩ සියවසකට වැඩි කාලයක් පැවතී තිබේ.

නිදහසින් පසු ලංකාවේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන ඉල්ලීම් සමායෝජනය කිරීමේ දිශාව දෙසට අඩු සංචලනයක් පෙන්නුම් කරන්නට සිංහල ඡන්දදායකයන්ට වඩා හේතු වී ඇත්තේ  රටේ සිංහල පාලක සංස්ථාපිතය යි. දෙමළ හා මුස්ලිම් කඳවුුරුවලින් කුමන හෝ අනුගාමිකයන් පිරිසක් හවුල් කරගෙන ජාතික න්‍යාය පත්‍රය සකස් කරනු ලබන්නේ ද සිංහල පාලක සංස්ථාපිතය යි. එකී න්‍යාය පත්‍රයේ ප්‍රකාශිත අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා දේශපාලන බලය හැකිතාක් හැසිරවීම මගින් දෙමළ හා මුස්ලිම් ජනයා මත සිය ආධිපත්‍යය අභ්‍යාස කිරීමට සිංහල සංස්ථාපිතයට සිදු වේ.

එම නිසා, අන්තර්ග්‍රහණයට හෝ දෙමළ ජනයා සමග බලය බෙදාගැනීමට අවශ්‍ය වටපිටාවක් 2015 මැතිවරණය විසින් නිර්මාණය නොකළේය. ඊට පටහැනිව, ජාතික එකමුතු ආණ්ඩුව විසින් කරන ලද්දේ පාලක සිංහල සංස්ථාපිතය වඩාත් ශක්තිමත්ව තහවුරු කිරීමයි. එසේ කිරීමෙන් පසු ඔවුහු දෙමළ ජාතික සන්ධානය, සමානයකු වශයෙන් නොව, කණිෂ්ඨ හවුල්කරුවෙකු ලෙස ඊට සම්බන්ධ කරගත්හ.

එක්සත් ජාතීන් හා මානව හිමිකම්

ඒ අතර, මානව හිමිකම් ගැන ව්‍යාජ කයිවාරු මෙන්ම තමන් බෙයිජිං හිතවාදී රාජපක්ෂට එරෙහි චීන විරෝධී ආණ්ඩුවක් ලෙස සායම් කරගැනීම මගින් ජාතික එකමුතු ආණ්ඩුව එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුතු බටහිර රටවල ද පිටුබලය ලබාගත්තේය.

මෙසේ තහවුරු වූ සිංහල සංස්ථාපිතයත්, දෙමළ ජාතික සන්ධානය හා ජාත්‍යන්තර ප්‍රජාවත් අතර ඇති සම්බන්ධතාව 2015 සැප්තැම්බරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කොටගත් 30/1 අභියෝජනාව මගින් මනා සේ සංකේතවත් කරයි. ජාතික එකමුතු ආණ්ඩුව හා දෙමළ ජාතික සන්ධානය විසින් ගැටුමෙහි මූලහේතු ආමන්ත්‍රණය නොකොට ජාතික ප්‍රතිසන්ධානය ගැන අලංකාරික ආදේශ කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳ කදිම නිදසුනක් එකී යෝජනාවේ ඉරණම විසින් සපයනු ලබන අතර එමගින් සාර්ථකභාවයට වඩා පසුබෑම් ගෙනඑනු ලැබුණි.

සිවිල් යුද්ධයේදී ප්‍රධාන වශයෙන්ම දෙමළ ජනයාට එරෙහිව සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ සිව් වැදෑරුම් යාන්ත්‍රණයන් 30/1 අභියෝජනාව විසින් ඉදිරිපත් කළ අතර නව ව්‍යවස්ථාවක් මත පදනම් වූ දේශපාලන විසඳුමක් හරහා එකී අයුක්තීන් යළි සිදු නොවීම සම්බන්ධයෙන් සහතික වන ලදී. යෝජනාවට සම-අනුග්‍රහ දක්වන ලද්දේ එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව විසිනි.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් ද, සත්‍යය, යුක්තිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමක් ද, පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල සහ වෙනත් විදේශික විනිසුරුවරුන් ඇතුළත් විශේෂ උපදේශන කාර්යාලයක් ද ආරම්භ කිරීමට 30/1 අභියෝජනාව විසින් ඉල්ලා සිටියේය. නමුත් ශ්‍රී ලංකාව ඊට එකඟතාව පළ කළ වසර දෙක හමාරකින් පසුත් මේ කිසිවක් ක්‍රියාත්මකව නොමැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝපනය කිරීමට 30/1 අභියෝජනාව ප්‍රතිඥා දුන්න ද, එය තවමත් සිදුව නැත.

දෙමළ සන්ධානයේ පරාභවය

ඉහත කී ආයතන ස්ථාපිත කිරීමට හෝ එසේ සිදු නොවන තත්ත්වයක් තුළ අවම වශයෙන් නිදහස් භාෂණය සීමා කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අඩංගු දරුණු ප්‍රතිපාදන අවලංගු කිරීමට හෝ අවංකභාවයක් වී නම් අතීත සැහැසි ක්‍රියා ගැන වගඋත්තරදායකත්වයක් අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ගැන මහජන සංවාදයක් ඇතිවන්නට ඉඩක් තිබුණි.  සැහැසි ක්‍රියා සම්බන්ධයෙන් අභිචෝදනා එල්ල වන්නේ ආරක්ෂක හමුදාවන්ගේ විධාන වගකීම් දැරූවන්ට මිස සාමාන්‍ය සෙබළ ශ්‍රේණි සාමාජිකයන්ට නොවන බව එවැනි මහජන විවාදයක් විසින් නිරාකූල කරන්නට ඉඩ තිබිණ. එසේ වී නම්, "අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගසා, ජාත්‍යන්තර විනිසුරුවන් සම්බන්ධ කරගෙන ඔවුන් ඒ චෝදනාවලට වැරදිකරුවන් කරන්නට උත්සාහ කරනවා" යැයි ප්‍රෝඩාකාරී ලෙස ඡන්දදායකයන් රැවටීමෙහි යෙදීම රාජපක්ෂට දුෂ්කර වනු ඇත.

තමන් බලයට පත්වුවහොත් සිය පක්ෂ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කැපවන බැව් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එජාප ය 2015 මැතිවරණය තරඟ කිරීමේදී ප්‍රකාශ කළහ. මේ පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ 30/1 අභියෝජනාව "දේශපාලන බලාධිකාරය විමධ්‍යගත කිරීමේ පොරොන්දුව ඉෂ්ට කිරීමට....අවශ්‍ය ව්‍යවස්ථාමය වැඩ පිළිවෙලක් මගින් දේශපාලන විසඳුමක්" ඉල්ලා සිටියේය. 2015 දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ද ෆෙඩරල් මූලධර්ම මත පදනම් වූ නව ව්‍යවස්ථාවක් අවධාරණය කර තිබිණ. කෙසේ වුවද, ෆෙඩරල්  මූලධර්ම මත පදනම් වූ නව ව්‍යවස්ථාවක් ගැන කවර හෝ අදහසක් එජාපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් නිශ්චිතවම ප්‍රතික්‍ෂේප කරන ලදී. නමුත් දෙමළ ජාතික සන්ධානය  ෆෙඩරල්  ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව පෙරට ගෙනගියා පමණක් නොව, ෆෙඩරල් ව්‍යවස්ථාවක් සඳහා ජාතික එකමුතු ආණ්ඩුව සමග කටයුතු කරමින් ජාතික ප්‍රතිසන්ධානයේ අරමුණු වැඩිදුරටත් සාක්‍ෂ්‍යාත් කරගැනීමට ද සිය පක්ෂයට ආධාර කරන මෙන් දෙමළ ජනයාගෙන් ඉල්ලා සිටියේය.

නමුත් යථාර්ථය වෙනස් එකක් බැව් පෙනේ. නව ව්‍යවස්ථාව කිසිසේත්  සමාප්තියකට ළඟා වී නැති අතර ව්‍යවස්ථා සභාව මගින් සම්පාදනය කළ අතුරු යෝජනා ද ෆෙඩරල් ව්‍යවස්ථාවක් තුළින් බලය බෙදාගැනීම පිළිබඳ දෙමළ අභිලාෂයන්ට පිළිතුරු සපයන බවක් පෙනී නොයයි. චේතනාන්විතව තමන් මුලාකිරීම පිළිබඳ චෝදනා දෙමළ ජාතික සන්ධානයට එරෙහිව දෙමළ ජනයා අතරින් එල්ලවන්නට මෙය විසින් මග පාදා තිබේ.

ගැටුමෙහි මූල හේතු හා එය විසඳිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ ජාතික සංවාදයක් නොමැති තත්ත්වයක් තුළ, විදෙස් විනිසුරන් මගින් යුද අපරාධ පිළිබඳ සමස්ත හමුදාවටම අධිචෝදනා එල්ල කරනු ඇතැයි යන රාජජපක්ෂගේ සදොස් ප්‍රචාරය විශ්වාස කිරීමට සිංහල ඡන්දදායකයාට බල කෙරුණි. පළාත් පාලන මැතිවරණයේදී ඔහුගේ පක්ෂය ලද ජයග්‍රහණය මෙහි ප්‍රතිඵලය විය.

දෙමළ ජාතික සන්ධානය අන්ත පරාජයකට ලක් නොවූව ද, මැතිවරණ ප්‍රතිඵලය විසින් එහි ජනප්‍රියතාවයේ පසුබෑමක් ඇති කිරීමෙන් ඔවුන්ගේ පෞරුෂය පළුදු කරන ලදී. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය වනාහී සිංහල සංස්ථාපිතය කෙරෙහි සහනශීලී එකක් බැව් දෙමළ ඡන්ද දායකයෝ පසක්කරගත්හ. ඇත්තෙන්ම ඡන්දදායකයන් දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතිහාර්ය බලාපොරොත්තු නොවූ අතර ඔවුන් අපේක්‍ෂා කළේ තමන්ට ඇත්ත ඇති සැටියෙන් කීම පමණි. ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ ස්වකීය දෛනික දිවියේ මුහුණ දෙන දේශපාලන හා යුදමය සත්තාව විසින් පෙන්නුම් කළ යථාර්ථය වෙනුවට ළඟ ළඟ එන සංහිඳියාවේ අරුණෝදය පෙන්වීම නොවේ.

වසර දෙකකින් එළඹෙන ජාතික මැතිවරණය හමුවේ, දෙමළ ජනයා සමග ප්‍රතිසන්ධානය හා බලය බෙදා ගැනීම වෙනුවට රාජපක්ෂගේ ඉල්ලීම් සහ බටහිර ලැදි ජාතික එකමුතු ආණ්ඩුවේ සංඝටක අතර සම්මුතියක් නිර්මාණය කරගැනීමට සිංහල පාලක සංස්ථාපිතය වෑයම් කරනු ඇත.

නැග එන යුදවාදී සිංහල ජාතිකවාදයට එරෙහි දෙමළ ජනයාගේ ප්‍රතිරෝධය හමුවේ දෙමළ ජාතික සන්ධානය හා වෙනත් දෙමළ පක්ෂවල ඉදිරිමග වැටී ඇත්තේ ඔවුන්ගේ ඡන්දදායකයන්ගේ අවශ්‍යතාවන්ට සවන්දීමත්, ඔවුන්ට අවශ්‍ය සහයෝගය බලමුළු ගැන්වීමත් ඔස්සේ ය.☐

ජේ.එස්. තිස්සනායගම්


© JDS