දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය VI: අවිහිංසාවේ කාහළයෙන් දෙමළ ගම් බිම් පිබිදේ

පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
දෙවන කොටස: උක් වගා බිම් ලෙයින් තෙත්කළ '58
තෙවන කොටස: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට
සිව්වන කොටස: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති
පස්වැනි කොටස: ලාංකීය 'සාර්' හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘත්තය

කුණේ වෘත්තීය සමිති හුදු දියාරු නිවේදන වලට සීමා වී මගහැරියද උතුරු නැගෙනහිර විශේෂයෙන්ම යාපනයේ වෘත්තීය සමිති වඩා සටන්කාමී වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ සුදානමක් පෙන්වූහ. මාර්තු 09 වැනි දින යාපනයේ වෘත්තීය සමිති 21ක් විසින් පොලිස් මර්දනයට එරෙහිව සංකේත වැඩවර්ජනයක් පවත්වන ලදි. මෙය පොලිසියේ දුර්දාන්ත ක්‍රියාවන්ට එරෙහිව කැඳවන ලද්දක් වූ අතර ඔවුන් තවත් ඉල්ලීම් තුනක් අවධාරණය කළහ: 

1. උතුරෙන් සහ නැගෙනහිරෙන් වහාම හමුදාව ඉවත් කිරීම
2. රජයේ නිලධාරීන්ට පොලිසිය විසින් පහරදීම් ගැන වහාම පරීක්ෂණයක් පැවැත්වීම
3. නාවික හමුදා සෙබළුන් විසින් තැපැල් සේවක කන්දයියාට පහර දීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම.

අගමැතිනිය විසින් සිය කථාවේදී 'ෆෙඩරල් පක්ෂය විසින් කැඳවන ලද සත්‍යග්‍රහය කවර අරුතකින්වත් අහිංසාවාදී ව්‍යාපාරයක් නොවේ' යැයි කරන ලද සඳහන උතුරු නැගෙනහිර පළාතේ ජනතාවගේ දැඩි පිළිකුළට ලක් විය. ඇගේ කථාවෙන් ඔවුන් විසින් වටහාගන්නා ලද එක් සත්‍යයක් වූයේ ආණ්ඩුව කිසිසේත්ම තම යුක්ති සහගත ඉල්ලීම් ලබා දීමට සුදානම් නැති බවයි. මේ අවබෝධය විසින් දෙමළ බස කථාකරන සියළු ජන කොටස් තම අයිතීන් වෙනුවෙන් එක්සත්ව නැගී සිටීමට බලකෙරිණි. මාරුතු 04 සහ අප්‍රෙල් 18 අතර කාලය තුල සමාජයේ සියලු කොටස් නියෝජනය කළ දැවැන්ත සටන්කාමී ජන ගංගාවක් සත්‍යග්‍රහ ව්‍යාපාරය වටා රොක් වූහ. කම්කරුවන්, ධීවරයන්,ගොවීන්, ශිෂ්‍යයන්, ටැක්සි රියැදුරන්, නාටාමිවරුන් සහ ලොරි රියැදුන්, කරත්තකරුවන්, ගුරුවරුන්,වෛද්‍යවරුන්, නීතිඥයන්, හින්දු, මුස්ලිම් සහ, කතෝලික පූජකවරුන් සියලු පක්ෂවලට අයත් දේශපාලනඥයන් සටන්පාඨ පුවරු සහ බැනර රැගෙන පෙළපාලිවලින් සිව් දෙසින් විත් සත්‍යග්‍රහයට සහභාගී වූහ.

ගුරු අරගල සහ තහනම් නියෝග

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හරහා චක්‍ර ලේඛනයක් නිකුත් කරමින් ෆෙඩරල් පක්ෂය විසින් කැඳවන ලද වැඩවර්ජනයට සහභාගී වීම ගුරුවරුන්ට තහනම් කරන ලදි. මෙම නියෝගය නොතකා ඊට සහභාගිවන්නවුන් සේවයෙන් පහකර හරින බවට තර්ජනයක් ද එහි විය. නැගෙනහිර දෙමළ ගුරු සංගමය මේ ගැන තම විරෝධය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ටෙලිග්‍රාෆ් පණිවිඩයක් මගින් දන්වමින් එමගින් තම දේශපාලන අයිතීන් උල්ලංඝණය කර ඇති බවත්, වහාම එම චක්‍ර ලේඛනය අවලංගු කරන ලෙසත් දැනුම් දෙනු ලැබිණ. මේ හා සමාන ලෙසින් තම විරෝධය දැක්වීමට උතුරු පළාත් ගුරු සංගමය සහ හැටන් දෙමළ ගුරු සංගමය ද කටයුතු කළහ.

මෙම චක්‍ර ලේඛයට විරෝධය දක්වමින් නැගෙනහිර පළාතේ ගුරුවරුන් සහ ගුරුවරියන් 400 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මාර්තු 04 වැනි දින මඩකලපු කච්චේරිය ඉදිරිපිට පැවැති සත්‍යග්‍රහයට එක් වූහ. මෙදින දහස් ගණනක මුස්ලිම් ජනතාවක් සත්‍යග්‍රහයට සහායවුනු පිණිස එතැනට පැමිණි සිටි අතර සවස් වරුවේ 15000ක ජනතාවගෙන් යුතු විශාල රැළියක් පවත්වන ලදි. එහිදී රැළිය ඇමැතු මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙමළ නිදහස් අරගලයේදී මුස්ලිම් ජනයාට විශාල කාර්යභාරයක් ඉටුකිරීමට ඇති බවත් , මුස්ලිම් සහ දෙමළ ජනයා අතර මේ ඇති වූ සැබෑ එක්සත් බව විසින් ලබා දෙන ශක්තිය විසින් රජයට සිය ඉල්ලීම් ලබාදීමට බල කෙරෙන බවත් පැවසූහ. තවත් මුස්ලිම් දේශපාලනඥයෙකු පවසා සිටියේ අප විසින් රජයට දෙමෙළෙන් යවන ලිපිවලට සිංහලෙන් පිළිතුරු දීමට රජය විසින් කටයුතු කරමින් සිටින විට ජාතිවාදි ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කරමින් මුස්ලිම් ජාතියේ නායකයන් ලෙස පෙනී සිටින්නවුන් යටතේ සිටීමේ අර්ථය කුමක් දැයි ප්‍රශ්න කළේය.

මාර්තු 11 වැනි දින උතුරු පළාතේ ගුරුවර ගුරුවරියන් 3000 ක් දැවැන්ත පෙළපාලියකින් යාපනය කච්චේරිය වෙත ගමන් කළහ. ඔවුහු සුදු ඇඳුමින් සැරසී සිටියහ. පේළි දෙකකින් සමන්විත වූ මෙම පෙළපාලිය ඉදිරියට ඇදුණේ ඉතා සෙමිනි. “දෙමළ භාෂාව අපගේ ආත්මයයි, දෙමළ භාෂාව අපගේ ජීව රුධිරයයි, දෙමළ මාතාව නොකෙළසනු.“ යනාදි සටන් පාඨ සහිත පුවරු ඔවුන් අත විය. ඉදිරියෙන්ම ගමන් ගත් කීපදෙනෙකු විසින් විශාල කැන්වසයක අඳින ලද චිත්‍රයක් ඔසවාගෙන ගියහ. එහි ඉහළ “දෙමළ මාතාව“ යනුවෙන් ලියා තිබූ අතර ඊට යටින් දෑත් දෙපා දම්වැළකින් බැඳ දමන ලද ස්ත්‍රියකගේ රුවක් සිතුවම් කර තිබුණි. හිසකේ අවුල්ව ගිය ලෙසින් නිරූපණය කර තිබූ එම රූපයේ මුහුණ විඩාපත් බවකට මුසු වූ එඩිතර බවක් දැක්විණ.

ගුරු පෙළපාළිය ද රැස්ව සිටි 5000ක් පමණ වූ සත්‍යග්‍රහකරුවන් සමග එක් වූ අතර ස්වේච්ඡාවෙන් සංවිධානය වූ සත්කාරක පිරිස් ඔවුනට වතුර, සිසිල් බීම සහ තැඹිලි ආදියෙන් සංග්‍රහ කළහ. 'දෙමළ මාතාව' චිත්‍රයසියළු දෙනාට දැකගත හැකිවන පරිදි කච්චේරිය ඉදිරිපස සවි කරන ලදි.

සෙනසුරාදාවක් වූ මාර්තු 11 වැනි දින සත්‍යග්‍රහකරුවන් 8000ක් කච්චේරිය ඉදිරිපිට වාඩි ලා සිටි අතර ආධාරකරුවන් 40,000ක් පමණ පිරිසක් අවට ප්‍රදේශයේ රොක් වී සිටියහ. සත්‍යග්‍රහයට ඇතැම් ස්ත්‍රීන් පැමිණ සිටියේ සිය බිළිඳු දරුවන් ද සමග ය. සිය සාරි පොටින් දරුවන් ආවරණය කරමින් සැඩහිරු රැසින් ඔවුන් රැකගැන්මට තැත් දැරූ මේ මවුවරුන් බැති ගී ගයමින් ඔවුහු උරිස හෝ උකුළ මත හොවා නිදිගැන්වීමට වෙර දැරූහ. ඉතා වයස්ගත මව්වරුන් සහ පියවරුන්ද විශාල පිරිසක් පැමිණ සිටියහ. ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් පැමිණ සිටියේ සැතැපුම් 15-20 වැනි දුරක සිටය.

උතුරේ ශිෂ්‍ය ව්‍යාපාරය: සත්‍යග්‍රහය සහ ලංකාවේ පළමු සංවිධිත ශිෂ්‍ය නැගිටීම

රජය සහ රජයේ සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව බහුජන බලවේග සංවිධානය කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දස දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සත්‍යග්‍රහ විරෝධතා ව්‍යාපාරය තුළ විශාල කාර්යභාරයක් ඉටු කළහ. පෙබරවාරි 20 වැනි දින යාපනය කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහකරුවන්ට ආරක්ෂක අංශ එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි කැළඹීමක් සහ කෝපයක් උතුරේ පාසල් සිසු සිසුවියන් අතර ඇතිකිරීමට හේතු විය. පාසල් පන්ති කාමරවලින් පිටතට ආ සිය ගණනක් සිසු සිසුවියන් සිදුවන්නේ කුමක්දැයි සියැසින්ම දැකබලාගැනීම සඳහා කච්චේරිය වෙත යාමට උත්සාහ දැරූහ. ඔවුන් අතරින් විශාල පිරිසක් යාපනය රෝහල වෙත ගියේ තම ජනතාව වෙනුවෙන් සිය රුහිරු වගුරන ලද නිරායුධ විරුවන්වගේ තත්ත්වය විමසා ඔවුන්ට සහාය වනු පිණිස ය. පොලිසිය විසින් බිම දමා පෑගීම නිසා පපුවේ සහ උදරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුවාළව හුස්ම ගැනීම නොහැකිව අසාධ්‍ය තත්ත්වයේ පසු වූ එක් සත්‍යග්‍රහකරුවෙකුගේ තත්ත්වය දරාගත නොහැකිව ඇතැම් සිසු සිසුවියන් හඬා වැළපුණහ. සවස්වන තෙක් රෝහලේ රැඳී සිටි ඔවුහු තමන් දුටු දෙයින් කම්පනයට පත්ව ශෝකයෙන් බිමට නැඹුරු වුණු හිසින් යුතුව රෝහල් බිමෙන් පිට වූහ. ඔවුන්ගේ නිහඬබව කුණාටුවකට පෙර එළැඹෙන නිහඬතාවක් විය.

පසු දින, එනම් පෙබරවාරි 21 වැනි දින, සමස්ත යාපනය නගරයම දස දහස් ගණනින් වූ පාසල් සිසුසිසුවියන් දක්වන ලද විරෝධතා පෙළපාළිවලින් කැළඹී ගියේය. සිය පන්තිකාමරවලින් එලියට පැමිණි නගරයේ ප්‍රධාන පාසල්වල සිසු-සිසුවියෝ 5000කට අධික පිරිසක් දැවැන්ත පෙළපාලියකින් කච්චේරි බිම වෙත ඇදුණහ. කළුකොඩි සහ සටන්පාඨ පුවරු අත දරා සිටි ඔවුන් සටන් පාඨ කියමින් නගරයේ වීදි ඔස්සේ ඇදුණ අතර ඔවුන්ගේ උස් හඬ සැතපුම් භාගයක් පමණ දුරකට විහිදිණි. මෙම ශිෂ්‍ය පෙළපාළිය කඩසාප්පු, වැඩ බිම් සහ නිවෙස් පසු කර ඉදිරියට ඇදෙන විට ඒවායේ සිටි ඔවුන්ගේ වැඩිහිටියන් තම වැඩකටයුතු නවතා දමා ශිෂ්‍ය පෙළපාලිය දෙපසින් සහ පිටුපසින් ඔවුන් සමග කච්චේරි බිම වෙත දහස් ගණනින් ගමන් කළහ. නගරයේ බොහෝ පාසල් වසා දැමීමට සිදුවූයේ ප්‍රමාණවත් පිරිසක් නොවූ බැවිනි.

ඔවුන්ට ද සත්‍යග්‍රහයට සහභාගිවීමට අවශ්‍ය වූ නමුත් ෆෙඩරල් පක්ෂ නායකත්වය සහ වැඩිහිටියන් විසින් එය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහ පාසල් විනයට බාධාවක් වෙතැයි කියමින් එය ප්‍රතික්ෂේප කර පාසල් හෝ නිවෙස් කරා පිටත්වන ලෙස ඔවුන්ට දැනුම් දුන්හ. ශිෂ්‍යශිෂ්‍යාවන් ඔවුන්ට අවනත වූ නමුත් ඒ අඩ වශයෙනි. කච්චේරිය අසලින් ඉවත් වූ ඔවුහු එවයින් මඳක් ඈතින් එක් රැස් වී සෙසු ජනයා සමග රැඳී සිටියහ.

මේ අතර යාපනයේ නගර ශාලාව අසලදී එක්රැස් වූ යාපනයේ බාලිකා පාසල්වල ශිෂ්‍යාවන් වෙනම පෙළපාලියකින් කච්චේරිය වෙත ගමන් කළහ. ඔවුන්ගෙන් බහුතරයක් පාසල් නිල ඇඳුමින් සැරසී සිටි අතර සමහර සිසුවියන් සුදු සාරි ඇඳ සිටියහ. ඔවුහු ද කළුකොඩි සහ සටන්පාඨ පුවරු දරා සිටියහ. පේළී දෙකකට සැදී සටන්පාඨ කියමින් සන්සුන්ව ඉදිරිය ඇදුන ඔවුහු නගරයේ මංමාවත් ඔස්සේ කච්චේරිය වෙත ළඟා වූහ. පෙබරවාරි 25 වැනි දින නැවතත් නීති විද්‍යාල සිසුන්ගේ නායකත්වය යටතේ පාසල් සිසු පෙළපාළි පැවැත්විණි.

ශිෂ්‍ය උද්ඝෝෂණවල සාර්ථකත්වයෙන් කොළඹ පාලකයන් කලබල වූ බවක් පෙනෙන්නට තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය ගුවන් විදුලිය මගින් නිවේදනයක් නිකුත් කරමින්, පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් නොකොට පාසල් නොපැමි‍ණෙන සිසුන් පාසලින් නෙරපා හරින ලෙසට පාසල් බලධාරින්ට නියෝග කළේය. යාපනයේ දෙමව්පියන් මෙය සැළකුවේ ඔවුන්ට කළ නින්දාවක් සහ ඔවුන්ගේ නිදහසට බාධා කිරීමක් ලෙස ය. මාර්තු 02 වෙනි දින එක් රැස් වූ දෙමාපිය නියෝජිතයන් විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව සියළු දෙමාපියන් වෙත ආයාචනයක් කරමින් මාර්තු 03 වැනි දින සියලු පාසල් සිසුන් පාසල් යැවීමෙන් වැළකී අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයට විරෝධය දක්වන ලෙස ඉල්ලා සිටින ලදි. ඒ අතරම ඔවුහු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ද ආයාචනා කරමින් පෙළපාළිවලට සහභාගි නොවන ලෙස ද ඉල්ලා සිටියහ. මෙම නිවේදනය බහුලව පැතිරුණු අතර අපේක්ෂා කළ පරිදිම උතුරු ප්‍රදේශයේ කිසිදු පාසලක වැඩකටයුතු පවත්වාගෙන යාමට බලධාරීන්ට නොහැකි විය. නමුත් එදින නිවෙස්වල රැඳී සිටිනු වෙනුවට සිසු සිසුවියෝ වෙනම රහසින් සංවිධානය වී නගරය පුරා පෙළපාලි දැක්වූහ. පසුව මෙම ශිෂ්‍ය විරෝධතා දින ගණනාවක් තිස්සේ ඇදී ගිය පන්ති වර්ජන ක්‍රියාදාමයක් බවට පත් විය. එය නැගෙනහිර පාසල් කරා ද ව්‍යාප්ත විණි. පාසල් සිසු විරෝධතා පෙළපාළි සහ පන්ති වර්ජන ව්‍යාපාරය පැතිරීයත්ම ඔවුන්ගේ වර්ජන සහ විරෝධතාවන් නවත්වා පාසල් අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කිරීමට චෙල්වනායගම් ඇතුළු ෆෙඩරල් පක්ෂ නායකත්වය පෙළැඹිණි. මෙම නිවේදනය නිකුත් කිරීමට කරුණු කීපයක් බලපාන්නට ඇත.

පළමුවැන්න රජය තම සාමකාමී විරෝධතාව කෲර අන්දමින් මර්දනය කරන්නට සුදානම් වන බවට ඔවුන් තුළ අවබෝධයයි. නිරායුධ සත්‍යග්‍රහකරුවන්ට පහරදීමට රජය විසින් ඒ වනවිටත් යොදවා සිටියේ බැටන් පොලු ගත් පොලිස් නිලධාරින් පමණක් නොවේ, බයිනෙත්තු සහ රයිෆල්වලින් සමන්විත නාවික සහ සන්නද්ධ හමුදා බළ ඇණි ද මේ වනවිටත් කච්චේරි පරිශ්‍රය අවට යොදවා තිබිණි. සටන්කාමී නව යොවුන් ශිෂ්‍ය පරපුර මේ අනුකම්පා විරහිත සන්නද්ධ හමුදා හා ගැටීම වැළැක්වීමට , මුදු හදක් ඇති මිනිසෙකු ලෙස ප්‍රතිවාදීන්ගේද ගෞරවයට පාත්‍ර වූ චෙල්වනායගම් වැනි අයෙකු ක්‍රියා කිරීම තේරුම් ගත හැකි දෙයකි. අනෙක් අතර මෙම සත්‍යග්‍රහ විරෝධතාව කොතෙක් කල් දිග්ගැස්සෙනු ඇතැයි කිසිවෙකුට කිව නොහැකි විය. ඒ සමස්ත කාලය පුරාම පාසල් සිසුන් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් කර තැබීමට ෆෙඩරල් පක්ෂ නායකත්වයට හෝ දෙමව්පියන්ට අවශ්‍ය නොවීය. ශිෂ්‍යයන් ෆෙඩරල් පක්ෂයේ ආයාචනය පිළිගෙන පන්ති වර්ජනය නතර කළ ද පාසල් වේලාවෙන් පසු ඔවුහු සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ කණ්ඩායම් වශයෙන් රැඳී සිටිමින් එයට සහාය දැක්වූහ.

මාර්තු 03 දින මඩකලපුව නගරයේ දී 3000ක් පමණ වූ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නගරය හරහා පෙළපාලියකින් පැමිණ මඩකලපු කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහයට එක් වූහ. මෙය සංවිධානය කළේ මඩකලපු ශිෂ්‍ය සංසදයයි. දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමන ලදි. අධික ඌෂ්ණත්වය සහ සූර්යතාපය හේතුවෙන් බොහෝ ශිෂ්‍යාවන් ක්ලාන්ත වූ අතර ඔවුන්හට ප්‍රථමාධාර ලබාදෙන ලදි. අප්‍රේල් 06 වැනි දින ශිෂ්‍ය පිරිසක් පෙළපාලියකින් පැමිණ 1958 දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලදී හමුදාව විසින් මරා දමන ලද රාජේන්ද්‍ර ස්ටෙෆාන්ගේ සොහොනට ආචාර දක්වා දෙමළ ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් වදින බවට සපථ කළහ.

ත්‍රිකුණාමලයේ සහ මන්නාරමේ ද ශිෂ්‍ය පෙළපාළි පවත්වනු ලැබිණ. ත්‍රිකුණාමල පෙළපාලිය වඩාත් උණුසුම් විය. ඒ ශිෂ්‍යයන් තිදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමත් සමග ය. සිසු සිසුවියෝ පෙළපාළියකින් පොලිසිය වෙත පැමිණ එය වට ලා වාඩි වූහ. අත් අඩංගුවට ගත් සිසුන් නිදහස් කරන තෙක් එතැනින් ඉවත්වීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.

යාපනයේ දැවැන්තම ශිෂ්‍ය පෙළපාලිය පවත්වනු ලැබුවේ මාර්තු 07 වැනිදා ය. එයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 10000ක් පමණ සහභාගි වූහ. ඒ අතර දෙමළ ජනයාගේ ඉරණම සංකේතවත් කරන පරිදි දම්වැලකින් තමන්ව එකට ඈඳාගනිමින් , කළු ලේන්සුවලින් මුව වසාගෙන සිසුහු සිය ගණනක් මෙම පෙළපාළියේ ගමන් කළහ. ෆෙඩරල් පක්ෂ නායකත්වයේ ඉල්ලීම මත නවත්වා තිබූ ශිෂ්‍ය උද්ඝෝෂණ යළි මෙම පෙළපාලියත් සමග ආරම්භ වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් එන්. කිව් ඩයස් යාපනය කච්චේරියේ සත්‍යග්‍රහකරුවන් ඉවත් කර එහි කටයුතු ආරම්භ කිරීමට පැමිණෙන බවට පැතිර ගිය රාවය නිසා ය. සැබැවින්ම ඩයස් කච්චේරිය වෙත පැමිණි නමුත් ඔහුට සිය අරමුණු ඉටුකර ගැනීමට ඔහුට නොහැකි විය.

මාර්තු 08 වැනි දා ෆෙඩරල් පක්ෂයේ අහිංසාවාදී සේවා කණ්ඩායම් ආචාර පෙළපාළියකින් යාපනය කච්චේරිය වෙත පැමිණියහ. මෙම කණ්ඩායම 600කින් පමණ සමන්විත විය. මෙය සැදුම් ලද්දේ මූලිකවම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙනි. ඔවුහු ගැහැණු සහ පිරිමි වශයෙන් පේළී දෙකකින් ගමන් කළහ. තරුණයන් ගාන්ධියන් හිස්වැසුම පැළැඳ සුදු ඇඳුමිනි සැරසී සිටියහ. තරුණියෝ සුදු හැට්ටවලින් සහ නිල් වාටිය සහිත සුදු සාරිවලින් සැරසී සිටියහ. සියල්ලෝම සිය ළය පෙදෙසේ ෆෙඩරල් පක්ෂයේ නිල ලාංචනය පැළැඳ සිටියහ. පෙළපාළිය නල්ලූර් හි සංකිලි ස්මාරකය අසලින් ආරම්භ විය. ඉදිරියෙන්ම ගමන් කළේ ශබ්ද විකාශන යන්ත්‍ර සවිකරන ලද මෝටර් රියකි. එයට පිටුපසින් ගමන් කළේ සුදු ඇදුමින් සැරසී පක්ෂ ධජය ඔසවාගත් ගත් මෝටර් සයිකල් කරුවන් දෙදෙනෙකි. ඔවුන්ට පිටුපසින් අහිංසා සේවා කණ්ඩායමේ සාමාජිකයෝ පේළී 02කට සෑදී ශබ්ද විකාශන යන්ත්‍රවලින් විහිදුණු සංගීතයේ රිද්මයට අනුව ගමන් කළහ.

නීතිඥ, වෙද හෙද විරෝධය

භාෂා පනත සහ අධිකරණ පනත යන පනත්වලටත් පොලිස් හිංසනයටත් එරෙහිව පළමුවරට විරෝධය දැක් වූ නීතිඥ කණ්ඩායම මඩකලපු නීතීඥ සංගමයයි. මීට කලින් ඔවුහු සම්මත කරගත් යෝජනාවක් අනුව සිංහල පමණක් පනත ක්‍රියාත්මක කිරීමට සහාය නොදැක්වීමට ඔවුහු තීරණය කළ අතර ඒ අනුව සිය විරෝධය ප්‍රකාශකරනු වස් සම්පූර්ණ දවසක්ම උසාවි කටයුතුවලින් වැළකී සිටියහ. මඩකලපුවේ මෙම නීතිඥයන් මාර්තු 03 වැනි දින නැවත රැස් වී උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් සම්මත කළහ. එමෙන්ම සත්‍යග්‍රහ ව්‍යාපාරයට ක්‍රියාකාරිව සහභාගිවීමට ද එයට මුදලින් සහ සෙසු සෑම ආකාරයෙකින්ම සහාය දීමට ද තීරණය කළහ. මාර්තු 08 වැනි දින යාපනයේ නීතිඥවරු 35ක් පෙළපාළියකින් පැමිණ සත්‍යග්‍රහයට එක්වූහ. එදින සත්‍යග්‍රහය මෙහෙයවූවේ නීතිඥ එස්. කදිරවේල්පිල්ලේ විසින් වූ අතර 10000ක පමණ පිරිසක් එයට සහභාගි වූහ. පේදුරුතුඩුව නීතිඥ සංගමයද මෙවැනිම විරෝධතාවක් නිරතවිය. වෛද්‍යවරු, සහ ඇපොතිකවරුන්, හෙදියන්, සහ සාත්තු සේවකයන් කණ්ඩායම් වශයෙන් සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහභාගි වූ අතර පොලිස් සහ හමුදා ප්‍රහාරවලින් තුවාල ලද සත්‍යග්‍රහකරුවන් සහ සාමාන්‍ය වැසියන්ට ප්‍රතිකාර ලබාදීමේ දී ඔවුහු රාජකාරි සීමාවෙන් ඔබ්බට ගොස් ස්වේච්ඡාවෙන් කටයුතු කළහ.

කඩසාප්පු බැංකු වසා දැමේ

මාර්තු 08 වැනි දින අධිකරණ ඇමැතිවරයා යාපනයට පැමිණෙතැයි යන පුවත හේතුවෙන් එදින සත්‍යග්‍රහය තුළ සියලු සමාජ ස්ථරයන්ගේ සහභාගිත්වය ඉහළ ගියේය. නගරය පෙළපාළිවලින් දෙවනත් විය. එදින යාපනයේ කඩ සාප්පු බැංකු සහ සියළු ව්‍යාපාරික ස්ථාන වසා දැමිණි. වෙළඳ ව්‍යාපාරිකයන් විසින් දැවැන්ත විරෝධතා පෙළපාළියක් සංවිධානය කරන ලදි. 5000කගෙන් පමණ පිරිසක් කළු කොඩි සහ සටන්පාඨ පුවරු රැගෙන මෙම පෙළපාළියේ ගමන් කළහ. එමෙන්ම ඔවුහු සත්‍යග්‍රහකරුවන් මෙන්ම සෙසු විරෝධතාකරුවන්ටද සංග්‍රහකරනු පිණිස විස්කෝතු, බීම, රසකැවිළි සහ දිවා ආහාර පාර්සල් ලොරිවල ගෙන ගියහ. සත්‍යග්‍රහකරුවන් වාඩි ලා සිටි කච්චේරිය වෙත පැමිණි මෙම ව්‍යාපාරික පිරිස් එහි සිටි අයට ආහාර පානවලින් සංග්‍රහ කළහ. එමෙන්ම අරගලය ඉදිරියට ගෙන යනු වස් ඔවුහු පෙඩරල් පක්ෂයට මුල්‍යමය වශයෙන් ද ආධාර කළහ. මෙම කටයුතුවලදී යාපනය මුස්ලිම් ව්‍යාපාරිකයන් ද සැළකිය යුතු දායකත්වයක් දරන ලදි. ව්‍යාපාරිකයන් විසින් සත්‍යග්‍රහකරුවන්ට ආහාර සැපයීම හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැනවුණු දිනය දක්වාම ක්‍රියාත්මක විණි.

ගොවිජන සහභාගිත්වය: කිලිනොච්චියේ සිට යාපනයට

යාපනය අර්ධදීපයේ සියලු ප්‍රදේශවලින් පැමිණි ගොවියෝ සහ ධීවරයෝ සත්‍යග්‍රහ ව්‍යාපාරයට ක්‍රියාකාරිව සහභාගි වූහ. ගොවි ගම්මානවල විරෝධතා පෙළපාලිද සංවිධානය කෙරිණි. මාර්තු 01 වැනි දින චුන්නාකම් සිට ප්‍රදේශවාසී ගොවීහු කරත්ත 50 ක පෙළපාළියකින් සත්‍යග්‍රහකරුවන් වෙත සහල්, එළවලු, පළතුරු ආදිය ගෙන ආහ. මෙම එක් කරත්තයක නැගී වාඩිගෙන සිට සිටි එක් වයෝවෘද්ධ අන්ධ පුද්ගලයෙක් මෙම පෙළපාලිය වීදි සැරි මුළු කාලය පුරාම ජනප්‍රවාද ගැන කියැවෙන ජන ගී සහ කව් ගායනා කළේය. ඒවා ප්‍රධාන වශයෙන්ම මහී මාතාව ගැන කියැවුණු ඒවා විය.

“..මිහිමවුනි
සත්‍යයද විශ්වාසයද ඔබම ය.
මේ ලෝකය තුළ ජීවත්වීමේ දී
අපව පාවා නුදුන් යම් අයෙකු වේ නම්
ඒ ඔබම පමණකි...“

ඔහු ඇතැම්විට සමහර ජන ගී වත්මනට ගැලපෙන ලෙස සකසා ගායනා කළේය. ගොවීන් යනු මිහිමවගේ දරුවන් බවත්, සිය දහඩිය වගුරමින් නිපදවන දෙයින් ජීවත්වන නිදහස් මිනිසුන් බවත් ඒවායින් කියැවිණි.

“..ගොවීන් වන අපි ඔබ වෙත
වෛරය
වසංගත හෝ අකෘතඥතාව
ගෙන නොඑන්නෙමු
අපි ඔබට මිහිමවගේ ත්‍යාගශීලිත්වයේ
ඵලයන් වන ආහාර, වස්ත්‍ර සහ සෙවණ මතු නොව
ඒ සැමට ඉහළින්
නිදහස ද රැගෙන එන්නෙමු...“

බොහෝ ගීතවලින් අධිරාජ්‍යවාදී යටත් විජිතවාදයෙන් පැවත ආ ඉහළ මධ්‍යම පාන්තික වෘත්තීන් යටත් විජිත වහල්භාවයේ සංකේත ලෙසත්, ජීවිතයට අපේක්ෂා භංගත්වය රැගෙන එන්නක් ලෙසත් උපහාසයට ලක්කෙරිණි. එම රැකියාවන් වෙනුවෙන් මිනිසුන් සිය ආත්මාභිමානය, මූලික මිනිස් අයිතීන් සහ මව්බස හුවමාරු නොකළ යුතු දෑ බවත් විස්තර කෙරිණි. බොහෝ ගීත අවසන් වූයේ නිදහස දිනාගනු වස් ගොවීන් හා එක්වන ලෙස කෙරුන ආයාචනාවකිනි.

“..වරෙව් පැමිණෙවු දසතින්
එක්වෙයව් අප හා
දිනාගනු වස්
නිදහසේ දිවි පෙවෙත...“

පෙළපාළිය කච්චේරිය වෙත පැමිණි කල්හි ගොවියෝ කරත්ත නවතා ඒ මහා සෙනගට එක් වූහ. මාර්තු 15 වැනි දින උදයේ කිලිනොච්චියේ කන්දසාමි කෝවිල අසලට රැස් වූ ගොවීහූ සහ කම්කරුවෝ සිය ගණනක් ලොරි සහ ට්‍රැක්ටර් විශාල ගණනකින් සමන්විත පෙළපාලියකින් යාපනය වෙත ගමන් ඇරඹූහ. ඔවුහු ද සත්‍යග්‍රහකරුවන්වෙත හාල්, එළවළු, තැඹිලි,කුරුම්බා ආදිය ගෙන ආහ. යාපනය නගර යේ පිටියක වාහන නැවැත් වූ ඔවුහු එතැන් සිට තමන් ගෙන ආ ආහාරපාන රැගත් ගෝනි මළු කර තබාගෙන පෙළපාළියකින් කච්චේරිය වෙත ගමන් කළහ. කිලිනොච්චි මහජන නියෝජිත ඒ සිවසුන්දරම් ද ඒ අතර විය. කච්චේරිය අසලදී ඔවුන්ව පිළිගන්නා ලද්දේ එස්.ජේ.වී චෙල්වනායගම්, සෙනෙට් සභික එස් නල්ලයියා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා විසිනි. දෙමළ දේශපාලන නායකත්වය සහ ප්‍රභූ පන්තීන් විසින්, රාජ්‍යයේ පීඩාකාරී ප්‍රතිපත්තීන්ට එරෙහිව ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය සමාජයේ පහළ සථරයන්ගේ පුළුල් සහභාගිත්වය සහිත කල්පවත්නා ජාතික විමුක්ති අරගලයක් බවට පරිණාමය වෙමින් පවතින බවට, 1961 සත්‍යග්‍රහ අරගලය තුළ ඔවුන්ගේ දැවැන්ත ක්‍රියාකාරිත්වය විසින් පෙන්නුම් කෙරිණි. '70 දශකයේදී පැවැත්මට ආ දෙමළ යෞවන ගරිල්ලා ව්‍යාපාරයේ පන්නරය ඉහත සිසු සටන්වලින් ලද්දක් වූ අතර ඔවුහු පැමිණියේ මූලික වශයෙන්ම ගොවි සහ ධීවර පන්ති පදනම්වලිනි.

කුලී රථ රියැදුරන් ගේ විරෝධතාව

පෙබරවාරි 24 වැනි දින පොලිස් හිංසනයට එරෙහිව සත්‍යග්‍රහකරුවන් වෙත සහාය පළකරනුවස් යාපනයේ ටැක්සි රියැදුරන් සියයකට වැඩි පිරිසක් සිය රථවල නැගී යාපනය කච්චේරිය වෙත ගමන් කළහ. දෙමළ ප්‍ර දේශවල දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත්කිරීමේ පනතට විරෝධය පලකරනු වස් ටැක්සි රියැදුරෝ තම අංක තහඩුවේ සිංහල “ශ්‍රී“ අකුර ඉවත් කර දෙමළ“ශ්‍රී“ අකුර යෙදූහ. එය නීතිය කඩකිරීමක් විය. ඔවුන්ගේ රථවල එක් පසෙක කළුකොඩියක් ඔසවා තිබූ අතර අනෙක් පස ෆෙඩරල් පක්ෂයේ කොඩිය ඔසවා තිබිණි. එමෙන්ම ඉදිරිපස සහ පිටුපස සටන් පාඨ පුවරු සවිකර තිබිණි. මග දෙපස රැස්වූ 50000කට අධික ජනතාවක් මෙම රිය පෙළපාලිය නැරඹූ අතර ඔවුහු ටැක්සි රියැදුරන්ට සුබ පතමින් සටන් පාඨ හඬනැගූහ. සිංහල ශ්‍රී අකුර ඉවත් කිරීමෙන් ටැක්සි රියැදුරන් ආණ්ඩුවේ සිංහල පමණක් ප්‍රතිපත්තියට විවෘත අභියෝගයක් ඉදිරිපත් කර තිබිණි. එනිසාම එය දෙමළ ජනයාගේ අවධානයට සහ ආශීර්වාදයට ලක්විය. පසුව පොලිසිය විසින් දෙමළ ශ්‍රී අකුර යොදා තිබූ ටැක්සි හයක් අයිතිකරුවන්ටද නොදන්වා නවතා තිබූ තැන්වලින් ඉවත් කර ගෙන යනු ලැබිණි. මෙයට එරෙහිව ඒ දක්වා තම අංක තහඩුවල ශ්‍රී අකුර ඉවත් නොකර සිටි රියැදුරන් පවා ඒවා ඉවත් කර දෙමළ ශ්‍රී අකුර යොදමින් යාපනය ප්‍රධාන වෙළඳ සංකීර්ණය අසලදී සෙසු සිය ගණනක් රියැදුරන් සමග විරෝධතාවක් පවත්වන ලදි. තීව්‍රවන විරෝධතා හමුවේ පොලිසිය විසින් රඳවාගෙන සිටින ලද ටැක්සි උසාවියට ඉදිරිපත් කර නිදහස් කරනු ලැබිණි.

සිංහල ජනයාගේ සහභාගිත්වය

දෙමළ ජනතාව තම භාෂා අයිතීන් දිනාගනු සඳහා දියත් කරන ලද සත්‍යග්‍රහ ව්‍යාපාරයට එම ප්‍රදේශ වල විසූ සිංහල ජනයාගේ දැඩි ක්‍රියාකාරි සහයෝගයක් හිමි වීම අවධානයට ලක්විය යුතු කරුණකි. කොළඹ සහ සිංහල ප්‍රදේශ මත පදනම් වූ වාමාංශික වෘත්තීය සමිති හෝ පක්ෂ මෙන් හුදු ප්‍රකාශනයන් නිකුත් කර පසෙකට වී හුදු නිරීක්ෂකයන් ලෙස බලා සිටීමට උතුරු නැගෙනහිර මුස්ලිම් සහ දෙමළ ජනයා සමග සහෝදරත්වයෙන් විසූ සිංහල සාමාන්‍ය වැසියෝ කටයුතු නොකළහ. ඔවුහු තම අසල්වැසි සහෝදර දෙමළ මුස්ලිම් ජනයාගේ යුක්ති සහගත අරගලයට සහභාගිවූයේ සිදුවෙමින් පැවැති අයුක්ති සහගත ක්‍රියාදාමය පිළිබඳ වටහාගැනීමට ඔවුන්ගේ සාමාන්‍ය තර්ක බුද්ධිය වුව ද ප්‍රමාණවත් වූ හෙයිනි. පෙබරවාරි 28 වැනි දින යාපනයේ පළමු සිංහල සත්‍යග්‍රහකරුවන් කණ්ඩායම සත්‍යග්‍රහයට සහභාගි විය. එම කණ්ඩායමට සිංහල ස්ත්‍රීන් විශාල ගණනක්ද ඇතුළත් වූ අතර තවත් සිංහල කණ්ඩායම් සත්‍යග්‍රහකරුවන් වෙත ආහාර පාන තේ කෝපි ආදියෙන් සංග්‍රහ කළහ. එක් සිංහල සත්‍යග්‍රහකරුවෙකු පැවසුවේ 'රජයේ ප්‍රතිපත්ති පැහැදිලිවම ජාතිවාදී බවත් ඔවුන් රටේ ජනතාව බෙදා පාලනය කිරීමට සැරසෙන බවත්'ය. එමෙන්ම ඔහු රජය වෙත ආයාචනා කරමින් සිංහල ජනයා භුක්ති විඳින සියලු අයිතීන් දෙමළ ජනතාව වෙතද ලබා දෙන ලෙස ප්‍රකාශකර සිටියේය. පසුව එළැඹි දිනවල සිංහල සහභාගිත්වය ඉහළ ගිය අතර ඔවුහු මුදලින් ආධාර ද ලබා දුන්හ.

මාර්තු 07 වැනි දින සිංහලයන් සිය ගණනක් පෙළපාලියකින් මඩකලපුවේදී කච්චේරිය ඉදිරිපිටට සත්‍යග්‍රහකරුවන්ට තම සහාය පළකරමින් එයට සහභාගි වූහ. ඔවුහු අත කළුකොඩි මෙන්ම සිංහල දෙමළ මුස්ලිම් සමගිය සහ එක්සත් බව වෙනුවෙන් ලියැවුන සටන්පාඨ ද විය. ජාතිවාදි ප්‍රශ්න ඇතිකිරීම පිළිබඳව ඔවුහු ආණ්ඩුවට දොස් නැගූහ. අක්කරෙයිපත්තු සහ නින්දාවූර් හි සිංහල පදිංචිකරුවෝද සත්‍යග්‍රහයට එක්වූහ. සිංහල සත්‍යග්‍රහකාරිනියන් මෙහෙයවනු ලැබුවේ ආර්. ඇලිස්නෝනා විසිනි. ඇතැම් සිංහල ස්ත්‍රීහූ කටුක කාලගුණය ද නොතකා සිය බිළිඳු දරුවන් ද වඩාගෙන සත්‍යග්‍රහයට සහභාගිවූහ. මඩකලපුවේ සිංහල ජනතාව ද සත්‍යග්‍රහ සංවිධායකයන් වෙත මුදල් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ලබා දුන්හ.

වවුනියාවේදීත් ත්‍රිකුණාමලයේදීත් විශාල වශයෙන් සිංහල ජනතාව දිනපතාම සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහභාගිවූහ. සත්‍යග්‍රහකරුවන්ට තේ, සිසිල්බීම, විස්කෝතු සහ දිවා ආහාර සැපයීමේ දී සිංහලයන් විශාල වැඩකොටසක් ඉටු කළහ. මන්නාරම නගරයේ සත්‍යග්‍රහය ආරම්භ වූ විට එයට සහායවීමට සිංහලයන් සෑහෙන පිරිසක් සමග එහි පැමිණ සිටි ශ්‍රී ජිනරතන හිමියෝ සත්‍යග්‍රහකරුවන්ට ආශිර්වාද කරමින් සිංහල ජනතාව සහ රජය වෙත ආයාචනා කරමින් කවර හෝ ප්‍රජාවකගේ මූලික අයිතීන් අහිමිකිරීම අමානුෂික ක්‍රියාවක් බවත්, දෙමළ ජනයාගේ ගැටළුව දෙමළ ජනයා සෑහීමකට පත්වන ලෙස ඉක්මණින් පිළියම් යොදන තරමට එය සමස්ත රටටත් සියලු ජාතීන්ටත් යහපතක් වන බවත් පැවසූහ.☐

(මතු සම්බන්ධයි)

අජිත් සී. හේරත්


© JDS