දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය IV: අවිගත් සේනා යාපනයේ කච්චේරි භූමිය වටළති

පළමු කොටස: කළු ජූලිය හා දෙමළ විරෝධී ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය
දෙවන කොටස: උක් වගා බිම් ලෙයින් තෙත්කළ '58
තෙවන කොටස: දෙමළ ජනයා සත්‍යග්‍රහ සටන් බිමට

තුරු නැගෙනහිර පළාත් සඳහා දෙමළ භාෂාව ද රාජ්‍ය භාෂාවක් කරන ලෙස දෙමළ ජනයා විසින් කරන ඉල්ලීම් නොසළකා හැර ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය භාෂා පනත  1961 ජනවාරි 01 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත  විය. මෙයට විරෝධය පළ කරනු වස්  යාපනය කච්චේරියේ සේවය කළ දෙමළ සහ මුස්ලිම් සේවකයන් කච්චේරිය ඉදිරිපිට වාඩි වී දියත් කළ විරෝධතාවෙන් සත්‍යග්‍රහය ආරම්භ විය. සෙසු රජයේ සේවකයන් ද කෙටි කලක් තුළ මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වූ අතර ප්‍රදේශවාසි ජනතාව සත්‍යග්‍රහයේ යෙදුනවුන්ට ආහාර පාන, වෛද්‍ය ආධාර ලබාදෙමින්ද විරෝධතා ව්‍යාපාර සංවිධානය කරමින්ද ෆෙඩරල් පක්ෂය වටා එක්රැස් වූහ. මාර්තු ද 04  වැනි දා වන විට මෙය මුලතිව්, මන්නාරම, මඩකලපු. ත්‍රිකුණාමල ප්‍රදේශ කරා ද ව්‍යාප්තව තිබිණි. සමස්ත උතුරු නැගෙනහිර ම රාජ්‍ය පරිපාලනය බිඳවැටුනි.  දෙමළ බස කතාකරන ජනයා සිය අයිතීන් උදෙසා එක්සත්ව නැගීසිටීමට ඇති සුදානම පෙර නොවූ විරූ ලෙස ප්‍රදර්ශනය කළහ. මුස්ලිම් බහුතරයක් වෙසෙන නැගෙනහිර පළාතේ මෙන්ම යාපනය වැනි පෙදෙස්වල ද මුස්ලිම් ජනයාගේ දායකත්වය අතිමහත් විය. පෙබරවාරි 25 වැනි දින යාපනයේ මුස්ලිම් නීතිඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් පෙළපාලියකින් විත් කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහයට එක් විය. තරුණයන් සහ ශිෂ්‍යයන් සහ ස්ත්‍රීන් දහස් ගණනින් සත්‍යග්‍රහ ව්‍යාපාරය වටා එක්රැස් විය.

සිරිමා බණ්ඩාරනායක ෆෙඩරල් පක්ෂය වෙත දෝෂාරෝපනය කරමින්  නීත්‍යානුකූලව තේරී පත් වූ රජයකට එරෙහිව වෙනම රාජ්‍යයක් පිහිටුවීම සඳහා කටයුතු කරන්නේ යැයි චෝදනා කළාය.

ඇගේ මෙම ප්‍රකාශය සත්‍යග්‍රහ ව්‍යාපාරය බලය යොදවා මර්දනය සඳහා වූ සුදානම පෙන්නුම් කරන්නක් මිස සත්‍යයක් නොවීය. ෆෙඩරල් පක්ෂයේ උපරිම ඉල්ලීම වූයේ පුළුල් බලය විමධ්‍යගත කිරීමක් මිසක වෙනම රාජ්‍යයක් නොවේ. එමෙන් ම මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ මූලික ඉල්ලීම් වල පදනම වූයේ බණ්ඩාරනායක- චෙල්වනායගම් ගිවිසුමේ එකඟතාවන්ටත් වඩා ඉතා අවම මට්ටමේ ඉල්ලීම් ය. ඒනම්  උතුරු නැගෙනහිර පළාත්වල පරිපාලන සහ අධිකරණ කටයුතුවලදී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස සැලකීම, කලින් එකඟ වූ පරිදි දිස්ත්‍රික් සභා පිහිටුවීම යනාදියයි.

පෙබරවාරි 28: රජය සාකච්ඡා ප්‍රතික්‍ෂේප කරයි

පෙබරවාරි 28 වැනි දා ෆෙඩරල් පක්ෂය සමග සාකච්ඡා අරඹන ලෙස විපක්ෂය ඉදිරිපත් කළ යෝජනාව මුදල් ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විසින් ප්‍රතික්ෂේප කරන ලදදේ තර්ජනවලට සහ බලකිරීම්වලට යටත්ව සාකච්ඡා කිරීමට රජයට අවශ්‍ය නැතැයි පවසමිනි.

රජය සිය  ඉල්ලීම් පිළිබව සැළකිල්ලට ගනු වෙනුවට  තමන් මර්දනය කිරීම සඳහා සැලසුම් සකසමින් සිටින බව දෙමළ නායකත්වයට අවබෝධ වෙමින් පැවතිණි. ෆෙඩරල් පක්ෂ නායක ඒ පිළිබඳව සිය අදහස පළ කළේය:

“..දෙමළ ජනතාව සිංහල රාජ්‍ය සමග විවෘත ගැටුමකට යාමට සුදානම්දැයි සැකකරන්නවුන් ෆෙඩරල් පක්ෂය තුළ විය. විරෝධතා ව්‍යාපාරය පැතිරෙත්ම සිංහල රජය මෙයට පෙර වතාවන්හිදී කළ පරිද්දෙන්ම සෙසු  ප්‍රදේශවල ජීවත්වන ජනයාට එරෙහිව මැරයන් මෙන්ම හමුදාව සහ පොලිසිය ද යොදවා ප්‍රචණ්ඩ ක්‍රියා අරඹනු ඇතැයි යුක්ති සහගත බියක් සැම දෙන තුළම විය..“ (SJV Chelvanayakam and the Crisis of Sri Lankan Tamil Nationalism)

මාර්තු 02: හමුදා ආක්‍රමණයේ ආරම්භය

මාර්තු 02 වැනි දින උදයේ  කර්නල් රිචර්ඩ් උඩුගමගේ නායකත්වයෙන් යුතුව තවත් නිලධාරින් 15ක් සහ සිංහ රෙජිමේන්තුවේ සෙබළුන් 350ක් යාපනයට විශේෂ දුම්රියකින් පැමිණියහ. නියෝජ්‍ය පොලිස්පති වෑන්බෙක්ව පොලිසිය ක්‍රියාන්විතයන් මෙහෙයවීමට පත් කරන ලදි. නාවික හමුදාව අණ දෙන නිලධාරි හන්ටර් යටතේ විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ  සහකාර ලේකම් නීල් ක්වින්ටස් ඩයස්ගේ නිර්දේශය පරිදි නිශ්ශංක විජේරත්න යාපනය දිසාපතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර  පොලිසිය සහ හමුදාව යොදවා සත්‍යග්‍රහය කඩාකප්පල් කිරීමට අවශ්‍ය පරිපාලනමය  ආවරණය ලබා දෙන ලෙස ඔහුට නියෝග කර තිබිණි.  ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් එන්.කිව්. ඩයස්ට  යාපනයට පැමිණි වහාම කච්චේරිය තුළට ගොස් සිය වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය විය. ඒ සඳහා හමුදා පොලිස් සහ නාවික අණදෙන නිලධාරින් හමු වූ පසුව ඔහුට කච්චේරිය තුළට ඇතුළුවීමට සහායවීමට ඉහත ආරක්ෂක අංශ එකඟ විය. ඔහුව සහ වෙනත් නිලධාරීන්ව තාප්පයට ඉහළින් කච්චේරිය තුළට වීසිකිරීමේ මෙහෙයුම ඇරඹෙන්නේ මේ අනුව ය. කො‍ලඹින් පැමිණි සිංහල පරිපාලන නිලධාරීන්ට යාපනය කච්චේරියට ඇතුළුවීමට ඉඩ සලසා දෙනු වස් දොරටුව ඉදිරිපිට සාමකාමීව වාඩි ලා සිටි සත්‍යග්‍රහකරුවන්ට පොලිසිය, හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව රයිෆල් බඳවලින්, බැටන්පොලුවලින් සහ වයර්වලින් කෲර ප්‍රහාරයක් දියත් කළ අතර මාර්තු 02 පළමු වටයේ ප්‍රහාරයෙන් සත්‍යග්‍රහකරුවන් 17 දෙනෙකු තුවාල ලද අතර ඔවුන් ව සියළු දෙනා යාපනය රෝහල වෙත ඇතුළත් කරනු ලැබිණි. ඔවුන්ගෙන් කීප දෙනෙකුගේ තත්ත්වය බරපතල විය. කෙසේවුවද සත්‍යග්‍රහයට සහායවීමට සිය ගණනින් පිරිස් මේ සිදුවීමෙන් පසුව ද පැමිණි අතර ඒ හේතුවෙන් හමුදාව සහ පොලිසියට සිය ප්‍රහාරය නවතා තාවකාලිකව පසු බැසීමට සිදු විය.

දෙවන වටයේදී වැඩි පිරිස් බලයක් සහිතව පැමිණි හමුදාව, පොලිසිය සහ නාවික හමුදාව විසින් සත්‍යග්‍රහකරුවන් 400ක් පමණ පිරිස වටලන ලදි. මුළු දවස පුරාම ඔවුනට ආහාර හෝ ජලය සැපයීම වළක්වනු ලැබිණි. රජයේ අරමුණ වූයේ සත්‍යග්‍රහකරුවන් හාමතින් සහ පිපාසයෙන් හෙම්බත් කොට ඔවුන් ඉවත් කිරීම ය.

සත්‍යග්‍රහකරුවන්ට එරෙහි හමුදා පොලිස් ඒකාබද්ධ ප්‍රහාරය ගැන දැනගත් දෙමළ ජනයා ඔවුන්ට සහාය පළකරනු වස් එම ස්ථානය කරා යාපනයේ විවිධ ප්‍රදේශවල සිට දහස් ගණනින් රොක්වන්නට වූහ. මේ පිරිස් සත්‍යග්‍රහ භූමිය වෙත පැමිණීම වළක්වනු වස් හමුදාව විසින් බයිනෙත්තු සහිත රයිෆල්වලින් සන්නද්ධ සෙබළුන් වළල්ලක් ලෙස යොදවා මාර්ග බාධක ඇති කරන ලදි. ජනයාට විසිර යන ලෙස දුන් නියෝග ඔවුන් විසින් නොතකා හරිනු ලැබිණි. දවස පුරාම දහස් ගණනින් ජනයා ප්‍රදේශය වටා රොක්වෙමින් සිටියහ, මේ  මහා සෙනඟ හේතුවෙන්  මාර්ග අවහිර වී ගමනාගමන සහ ප්‍රවාහන කටයුතු  නතර වූ අතර වාහනවල ගමන් ගත් ජනයා වාහන නවතා සෙස්සන් සමග එක් වූහ. නගරයේ සාමාන්‍ය තත්ත්වය  ඇණ හිටියේය. ලොරි සහ කරත්ත මහාමාර්ග මෙන්ම දුම්රිය මාර්ගද අවහිර වන සේ නතර කර විරෝධය දැක් වූහ. ප්‍රතිඵල වශයෙන් දුම්රිය ගමනාගමනයද නතර විය. වෛද්‍යවරුන් සහ හෙදියන්ට රෝහල් කරා යාමට නොහැකි වූයෙන් ඔවුහු ද සත්‍යග්‍රහකරුවන්ට ආධාර පිණිස එතැනට යාමට උත්සාහ දැරූහ. පැතිරුණු බහු ජන නැගිටීමක ලකුණු ඒ වනවිටත් පහළ වෙමින් තිබිණි

මාර්තු 02: වැටලීම් සහ ප්‍රතිවැටලීම්

කිසිවෙකුට කච්චේරි පරිශ්‍රයට ඇතුළු විය නොහැකි වන ලෙස 400ක පමණ සත්‍යග්‍රහකරුවන් කච්චේරිය වටා වළලලක් මෙන් වාඩිලා ගෙන සිටි අතර ඔවුන් වටා හමුදාව නාවික හමුදාව සහ පොලිස් සේනාංක බයිනෙත්තු ඇමිණු රයිෆල්වලින් සමන් විත හමුදා වළල්ලක් ඇති කර තිබිනි. මේ වටලෑම මගින් සත්‍යග්‍රහකරුවන් සහ බාහිර දෙමළ සමාජය අතර සම්බන්ධය කපාහරිනු ලැබූ අතර සත්‍යග්‍රහකරුවන්ට ආහාර සහ ජලය සැපයීම වළක්වන ලදි. නමුත් මේ හමුදා වළල්ල යළි පනස් දහසකට අධික සාමාන්‍ය ජනයා විසින් ප්‍රතිවැටලීමකට ලක් කර තිබිනි. හමුදා, පොලිස් සහ නාවික හමුදා සෙබළුන්ට ඉන්  පිටත සිටි බල ඇණි සමග සම්බන්ධවීම මෙම පරිධියේ බහුජන වළල්ල විසින් වළකා තිබිණි.  සත්‍යග්‍රහකරුවන්ට මෙන්ම හමුදාවට ද දිවා ආහාරය ලබාගැනීමේ මගක් නොවීය. හමුදාව වෙත ආහාරපාන රැගත් ජීප්රියක් බාහිර වළල්ලේ සිටි ජනයා විසින් නවත්වන ලද්දේ සත්‍යග්‍රහකරුවන්ට ආහාරපාන සැපයීමට ඉඩ දෙන්නේ නම් පමණක් හමුදා සහ පොලිස් භටයන්ට ආහාරපාන රැගෙන යාමට ඉඩදිය හැකි බව පවසමිනි. කච්චෙරි ප්‍රදේශය වටා තවදුරටත් ජනයා රොක්වෙමින් සිටි අතර මෙම විශාල ජන සහභාගිත්වය හමුදා පහරදීම් වලට දැක් වූ විවෘත සාමකාමී ප්‍රතිචාරයක් විය.

හදිසි විදුලි පණිවිඩයක් බෙදීමට යමින් සිටි  තැපැල් සේවකයෙකු වූ කන්දයියාව හමුදාව විසින් බලෙන් නතරකිරීමට යාමේ දී ඔහුගේ බයිසිකලය පෙරළීම හේතුවෙන් ඔහුට බරපතල ලෙස තුවාල සිදුවිය. මෙම සිදුවීම විසින් බහුජන විරෝධය තව තවත් ඇවිළුන අතර අර්ධ ද්වීපයේ තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ඇරඹූහ.

මෙදින මඩකලපුව නගරයේ සත්‍යග්‍රහකරුවන් 1500ක් පමණ රැස් වී තම විරෝධය පළ කළහ. මෙයට මුස්ලිම් ජනයාගේ විශාල සහභාගීත්වයක් සහ සහයෝගයක් හිමි වූ අතර කල්මුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි අහමඩ්, ලිඛිත ආයාචනයක් ප්‍රදේශයේ  ජනයා වෙත ඉදිරිපත් කරමින් වෙනස්කම් පසෙකලා එක්සත්ව සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහභාගිවන ලෙසත් දිය හැකි සියළු සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. මෙම විරෝධතාවට ස්ත්‍රීන් 400ක් පමණ සහභාගී වූ අතර මඩකලපු ශිෂ්‍ය සංසදය ද සහභාගි වූ සංවිධාන අතර විය.

වැදගත් වර්ධනයක් වූයේ මඩකලපුවේ සිංහල ජනයා මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට දැඩි උනන්දුවකින් සහභාගි වීමයි. ඔවුහු පෙළපාලිවලට සහභාගි වෙමින් ආණ්ඩු විරෝධී සටන් පාඨ ලියැවුන ධජ පතාක ඔසවාගෙන දෙමළ සහ මුස්ලිම් ජනයා සමග එක්ව නගරයේ  වීදී ඔස්සේ ගමන් කළහ. එමෙන්ම කච්චේරිය ඉදිරිපිට විශාල වශයෙන් එක් රැස් වී සිය සහයෝගීතාව පළකළහ. මෙම  සිංහල විරෝධතාව මෙහෙය වූ පුද්ගලයා ප්‍රකාශයක් කරමින් 'සහෝදර දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන සියළු නින්දාවන් තමන්ට එරෙහිව සිදුකරන නින්දාවක් ලෙස සළකන බවත්, ලංකාවේ සියළු ජනතාවන් වෙත සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බවත්'  ප්‍රකාශ කළේය. මේ අතර මඩකලපු නගරයේ  සිංහල පදිංචිකරුවෝ  දින ගණනක් තිස්සේ සත්‍යග්‍රහකරුවන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කළහ. එමෙන් ම සත්‍යග්‍රහ  ව්‍යාපාරය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට ද ඔවුහු දායක වූහ.

ආණ්ඩුව පළිගැනීමේ සැළසුම් තීව්‍ර කළේ මේ සියළු වර්ධනයන් හේතුවෙනි. මාර්තු 02 වැනි දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මඩකලපු දිසාපති බී ආර්. දේවරාජන් වෙත ස්ථාන මාරුවක් ලබා දුන් බලධාරීහු එදිනම නව දිසාපති ලෙස ඩී. ලියනගේ පත්කර එවූහ.  දේවරාජන්ගේ ස්ථානමාරුවට හේතුව දෙමළ ජනයාට රහසක් නොවීය. ඔහුගේ ස්ථාන මාරුවට හේතු වූයේ යාපනයේ දිසාපතිවරයා මෙන් නොව, ඔහු සත්‍යග්‍රහකරුවන් මර්දනයට හමුදාවට සහ පොලිසියට මඩකලපුව කච්චේරි පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදීම සහ රජයේ මෙම මර්දන ප්‍රතිපත්තිය සමග සහයෝගයෙන් කටයුතු නොකිරීම ය. මේ අතර මඩකලපු නීතිඥ සංගමය සහ නගර සභාව යෝජනාවක් සම්මත කරමින්  ආණ්ඩුව  මෙන් ම ජනතාව  ද දැඩි අහිතකර ප්‍රතිවිපාකයන්ට ගොදුරු වීම වැළැක්වීමට ආණ්ඩුවට අවංක අවශ්‍යතාවක් ඇත්නම් උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ලදි. එමෙන්ම මඩකලපු නීතිඥ සංගමය විසින් සිංහල පමණක් පනත ක්‍රියාත්මක කිරීමට එරෙහිව දැඩි විරෝධතාවක් දැක්වීම සඳහාද යෝජනාවක් සම්මත කරන ලදි.  රජයේ භාෂා ප්‍රතිපත්තියට එරෙහිව පැහැදිලිව ස්ථාවරයක් ගත් පළමු නීතිඥ සංගමය මඩකලපු නීතිඥ සංගමයයි.

මාර්තු 03: මඩකලපුව - අරගලයේ මුස්ලිම් දිනය

මාර්තු 03 වැනි දින  සැළකුනේ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ මුස්ලිම් දිනය ලෙස ය. මෙදින 5000ක මුස්ලිම් ජනතාවක් මඩකලපු කච්චේරිය ඉදිරිපිට වූ සත්‍යග්‍රහයට සහභාගි වූහ. මාර්කන් මාර්කර් මන්ත්‍රිවරයා මඩකලපුවේ කාත්තන්කුඩි, එරාවුර් සහ වෙනත්  ප්‍රදේශවල ජනයාට විවෘත ආයාචනයක් කරමින් භාෂා සහ වෙනත් මූලික අයිතින් දිනාගැනීම සඳහා සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහාය දක්වන ලෙස ඉල්ලා සිටියේය. මෙම ස්ථාවරය විදහා පාමින් මඩකලපු ව්‍යාපාරික සම්මේලනය විසින් සකස් කරන ලද ලියැවිල්ලක මෙසේ දැක්වේ:

“දෙමළ ජනතාවගේ ගරුත්වය වෙනුවෙන් ෆෙඩරල් පක්ෂය පෙනී සිටින තාක් කල් මුස්ලිම්වරුන් වන අප අපගේ උපරිම සහාය එම පක්ෂය වෙත ලබාදීමට සුදානම් ය. දෙමළ ප්‍රශ්නය හුදෙක් දෙමළ ජනතාවට පමණක් නොව, ලංකාවේ මුස්ලිම් ජනයාටද බලපාන බව අගමැතිවරිය සහ ආණ්ඩුව දැනගතයුතු ය. අගමැතිවරිය වහාම ප්‍රමාද නොකර වටමේස සාකච්ඡාවක් කැඳවා භාෂා ප්‍රශ්නයට සෑහීමකට පත්විය හැකි විසඳුමක්  ලබා දිය යුතු ය.“

සේවකයන්හට පෙළපාලිවලට සහභාගිවීමට අවස්ථාව ලබා දෙනු වස් සියලු මුස්ලිම් කඩසාප්පු සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමිණි. එදින පෙළපාළි 25ක් පැවැත්විණි. මඩකලපු ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලදුව මඩකලපු නගරයේ වීදී ඔස්සේ ඇදී ගිය දහස් ගණනින් සමන්විත ශිෂ්‍ය පෙළපාලිය මෙහි ලා දැඩි ලෙස කැපී පෙනිණ. පෙළපාළිවලට සහභාගිවන්නවුන් වෙත ආහාර පානාදියෙන් සංග්‍රහ කරන ලද්දේ මග දෙපස පදිංචිකරුවන් සහ ඒ උදෙසාම සංවිධානය වූ කණ්ඩායම් විසිනි.

මාර්තු 03: හමුදාව කැඳවීමට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ යෝජනාව

මේ අතර මාර්තු 03 වැනි දින වෘත්තිය සමිති 9ක් ඒකාබද්ධව සත්‍යග්‍රහකරුවන්ට එරෙහිව හමුදාව යෙදවීමට අගමැතිවරිය ගත් තීරණයට එරෙහි යෝජනාවක් සම්මත කරමින් විරෝධය දැක්වූහ.

"පොදුවේ වැඩකරන ජනතාව සහ  සංවිධිත වෘත්තීය සමිති ව්‍යාපාරය වෙත, විශේෂයෙන් නීත්‍යානුකූල වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වලට එරෙහිව හමුදාව යෙදවීමෙන් ලැබෙන අයහපත් ප්‍රතිඵල ගැන දිගුකාලීන අත්දැකීම් අප සතුව ඇත.  මෙම දැක්ම තුළ සත්‍යග්‍රහ ව්‍යාපාරය හේතුවෙන් දැනට මතුව ඇති තත්ත්වයත් එම ව්‍යාපාරය කෙරෙහි රජයේ ප්‍රතිපත්තියත් සහ එයට එරෙහිව හමුදාව යෙදවීම ගැන වැඩකරන ජනතාව අසහනයට පත්ව සිටී.

''වර්තමාන තත්ත්වය විසින් ජීවන වියදම පහත හෙළීම, රැකියා විරහිත බව තුරන් කිරීම, සහ සැලසුම්ගත ආර්ථික සංවර්ධනය ආදි  හදිසි ඉලක්කයන් පිළිබඳව වැඩකරන ජනතාව සහ ආණ්ඩුව එක්සත්ව  කටයුතු කිරීම වළකා ඇති බවට වෘත්තීය සමිති සංවිධානවල සම්බන්ධිකාරක කමිටුව අවධාරණය කරයි. රජයේ ලිපිකරු සේවා සංගමය සහ වෙනත් වෘත්තීය සමිතිවල නීත්‍යානුකූල වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවහිරකිරීමට  හමුදාව කැඳවීම ගැන වෘත්තීය සමිති සම්බන්ධීකාරක කමිටුවේ දැඩි අවධානය සහ සැළකිල්ල යොමුව ඇත."

මෙම යෝජනාව සම්මත කළ වෘත්තීය සමිති අතරට ලංකා වෙළෙඳ සේවක සංගමය (CMU), සමස්ත ලංකා බැංකු සේවක සංගමය (ACBEU), කොළඹ නගර සභා සේවක සංගමය (CMEU), වෘත්තීය සමිති සම්මේලනය (TUF), රේගු නිලධාරින්ගේ සම්මේලනය (COA), ලංකා කම්කරු කොංග්‍රසය (CWC), රාජ්‍ය සේවක එක්සත් වෘත්තීය සමිති සංගමය (GWTUF), රජයේ ලිපිකරු සේවා සංගමය (GCSU) සහ ලංකා එක්සත් කම්කරු සංගමය (CFL) යන වෘත්තීය සමිති සංවිධාන ඇතුළත් වූහ.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධව දකුණේ ප්‍රධාන වාමාංශික පක්ෂ වූ සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ යටතේ වූ සිංහල වැඩකරන ජනතාව නියෝජනය කළ වෘත්තීය සමිතිවල සහයෝගීතාව ඉහත දැක්වූ නිවේදනයට සීමා විය. මෙම වාමාංශික පක්ෂවල නායකයන් ද පාර්ලිමේන්තුව තුළ දැක්වූ දුර්වල විරෝධතාවකින් සෑහීමකට පත් වූහ.

මේ පිළිබඳව විවේචනය කරමින් එවකට ලසසප නායකයෙකු වූ  එඩ්මන් සමරක්කොඩි මෙසේ ලිවීය.

“එහි සියළු අඩුපාඩු තිබියදී වුව ද ෆෙඩරල් පක්ෂය විසින්  නායකත්වය දෙන ලද සත්‍යග්‍රහ ව්‍යාපාරය දෙමළ සමාජයේ සියලු ජන කොටස් විසින් ප්‍රයෝගිකව වැළඳගත්තාවූත්, පැහැදිලිවම ශ්‍රීලනිපයේ සිංහල පීඩක ධනපති ආණ්ඩුවට එරෙහිවූත් ආණ්ඩු විරෝධී බහුජන අරගලයක් විය. ලසසපය සහ කොපය අඩුතරමින් තීරණාත්මක සහායක් දැක්වීමට අසමත් වීම වැදගත්කමක්  නැතිවාම නොවේ. ආණ්ඩුවේ පීඩනයට එරෙහිව ඔවුහු හඬ නැගුවේ පාර්ලිමේන්තුව තුළ පමණි.“ (Edmund Samarakkody-The National Question in Sri Lanka)

මාර්තු 03: නාවික හමුදාව කච්චේරි පරිශ්‍රයෙන් ඉවත් කිරීම

පැය 48ක කාලයක් තිස්සේ යාපනය කච්චේරිය වටලනු පිණිසත්, නගරයේ වීදිවලත් යොදවා සිටි නාවික හමුදාව 03 වැනි දා තාවකාලිකව ඉවත් කරගනු ලැබිණි. ඒ තැන්වලට හමුදාව සහ පොලිසිය යොදවනු ලැබිණි. මෙම ඉවත් කරගැනීම හේතුවෙන් දින දෙකක් තිස්සේ ආහාර සහ ජලය නොමැතිව ආරක්ෂක අංශවල පහරකෑම්වලට ද ලක්වෙමින් සිටි සත්‍යග්‍රහකරුවන්ට මඳ ඉස්පාසුවක් ලැබිණි. කච්චේරිය ඉදිරිපිට සත්‍යග්‍රහය සඳහා වෙනත් සත්‍යග්‍රහ කරුවන් පිරිසක් පැමිණි පසුව ඔවුන්ද තාවකාලිකව ඉවත්වූහ. රජයේ පරිපාලන නිලධාරින්ට කච්චේරිය තුළට ඇතුළු වීමට ඉඩ ලබාදෙන පොරොන්දුව මත නාවික හමුදාව ඉවත් කිරීමට ආණ්ඩුව ෆෙඩරල් පක්ෂය සමග ඇති කරගත් එකඟතාවක් අනුව සිදු වූ බව රජය ප්‍රකාශ කළ ද ෆෙඩරල් පක්ෂය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබිණි. රජය විසින් නාවික හමුදාව ඉවත් කරගනු ලැබුවේ යාපනයේ තත්ත්වය පාලනය කරගත නොහැකි තත්ත්වයට වර්ධනය වීම නිසා බව ෆෙඩරල් පක්ෂයේ ස්ථාවරය විය.

මේ අතර මාර්තු 04 වැනි දින ත්‍රිකුණාමල කච්චේරි ප්‍රවේශ දොරටුව  ඉදිරිපිට එක් රැස් වූ පිරිස්  සත්‍යග්‍රහය ආරම්භ කළහ. එන්. ආර් රාජවරෝදයම් , ටී. ඒ එහම්පාරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විසින් මෙහෙයවන ලද මෙය පොලිසිය විසින් බැටන් ප්‍රහාර දී විසුරුවා හැරීමට උත්සාහ දරන ලදි.  මෙහි දී සත්‍යග්‍රහකරුවන්  සිව්දෙනෙකු බරපතල තුවාල ලද අතර තවත් සය දෙනෙකු සුළු තුවාල සිදුවිය. අනවරත පොලිස් බාධාකිරීම් සහ හිරිහැර මැද වුව ද සත්‍යග්‍රහය අඛණ්ඩව පැවතිණි.

මාර්තු 04: සිරිමා බණ්ඩාරනායකගේ  ගුවන් විදුලි ප්‍රකාශය

1961 මාර්තු 04 වැනි දින ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පිටත්ව යාමට පෙර සිරිමා බණ්ඩාරනායක සිය ගුවන් විදුලි කතාවේදී භාෂා ප්‍රශ්නය ඇතුළු වෙනත් කරුණ්‍ර පිළිබඳ පහත දැක්වෙන පරිදි සළකා බැලීමට තමන් සුදානම් බව ප්‍රකාශ කළාය.

''1. උතුර සහ නැගෙනහිර පළාත්වල දී බලපත් සහ ප්‍රාදේශීය අවසර පත් නිකුත් කිරීම දෙමළ බසින් සිදු කිරීමට ඉඩහරිනු ලැබේ. උපත්, විවාහ සහ මරණ සහතික එම පළාත්වල දී දෙමළ බසින් නිකුත් කිරීමට අවශ්‍ය විධිවිධාන සළසා ඇත. පුද්ගලික ව‍්‍යාපාරික කටයුතුවලදී ගිවිසුම් සහ ඊට අත්සන් තැබීම දෙමළ බසින්  සිදු කිරීමට කිසිදු තහනමක් නැත.

2. උතුරු නැගෙනහිර පළාත්වලදී  අධිකරණය හමුවේ දෙමළ බසින් සාක්ෂි දීමට  කිසිදු බාධාවක් නැත.

3. උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ බස කතාකරන ජනයාට පමණක් නොව, රටේ ඕනෑම පළාතක වෙසෙන දෙමළ බස කතා කරන ජනයාට රාජ්‍යය සමග කරන කටයුතු දෙමළ බසින් සිදු කිරීමට නිදහස ඇත.

4. 1958 දෙමළ භාෂා (විශේෂ විධිවිධාන) පනත අනුව දෙමළ ළමුන්ට ඔවුන්ගේ අධ්‍යපන කටයුතු දෙමළ බසින් සිදු කළ හැකිය. මෙයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද ඇතුළත් වේ.

5. උතුරු සහ නැගෙනහිර දෙපළාතට අයත් දෙමළ ප්‍රදේශවල මහනගර සභා, සුළු නගරසභා සහ ගම්සභාවලට සිය කටයුතු දෙමළ බසින් සිදු කළ හැකි ය. ‍

''දෙමළ ජනතාව වෙත සාධාරණය ඉටු කරලීම සඳහා මෙවැනි සහේතුක පියවර ගෙන තිබියදී ද   “සත්‍යග්‍රහයක්“ යැයි හඳුන්වාගන්නා ව්‍යාපාරයක් විසින්  ජනතාව නොමග යවමින් රජයේ කටයුතුවලට බාධාකිරීම අතිශයින් කණගාටුදායක ය. දෙමළ සමාජයේ විචාරශීලි සාමාජිකයන් මෙම පියවර අනුමත නොකරනු ඇතැයි මට සහතික ය.

''අහිංසාව වූ කලී ඕනෑම සත්‍යග්‍රහ ව්‍යාපාරයක අනිවාර්ය ලක්ෂණයක් යැයි කියනු ලැබේ. නමුත් ෆෙඩරල් පක්ෂය විසින් පවත්වාගෙන යනු ලබන සත්‍යග්‍රහ ව්‍යාපාරය කවර අරුතකින්වත් අහිංසා ව්‍යාපාරයක් නොවේ. පසුගිය බ්‍රහස්පතින්දා ෆෙඩරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් විසින්  කච්චේරි පරිශ්‍රයට ඇතුළවීමට උත්සාහ දැරූ රජයේ ඉහළ නිලධාරින් පිරිසක් බලය යොදා වළක්වන ලදි. මෙම නිලධාරින්ගේ ඉරී ගිය ඇඳුම් මම ඊයේ  රාත්‍රියේ සියැසින්ම දුටුවෙමි.

''මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ අරමුණ  රාජ්‍ය භාෂා පනත උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ක්‍රියාත්මක කිරීම වැළක්වීම යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත. සියළු දෙනාම දන්නා පරිදි ජනතාවගේ ඉල්ලීම මත, පසුගිය මහාමැතිවරණ දෙකකදී ඔවුන් සමග ඇතිකරගත් එකඟතාව සහ ඔවුන් වෙත ගම්භීර පූර්වකව දෙන ලද ප්‍රතිඥාවන් මත ක්‍රියාත්මක කරන ලද  මෙම භාෂා පනත ක්‍රියාත්මක කිරීමෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව මවිසින් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුව තිබේ. (සිරිමා බණ්ඩාරනායක - ගුවන්විදුලි කතාව 1961 මාර්තු 04)

සිරිමා බණ්ඩාරනායකගේ ඉහත ගුවන් විදුලි කථාවේ එන අන් සියලු දේ මෙන් ම “දෙමළ ජනයා වෙත සාධාරණය ඉටු කරලීම පිණිස“ රජය විසින් ගෙන ඇතැයි සිරිමා බණ්ඩාරනායක විසින්ම හුවා දක්වන “සහේතුක පියවර“ පිළිබඳ පැහැදිලි කිරීම් වූ කලී නග්න බොරුවක් පමණි. මෙකී බොරු මගින් ඉටු කරගැනීමට අපේක්ෂිත අරමුණු කීපයක් විය.  ඒ අතර  සත්‍යග්‍රහ ව්‍යාපාරය පිළිබඳ සතුරු ආකල්පයක් සිංහල ජනතාව තුළ ඇති කරලීම මෙන් ම දෙමළ ජනතාවගේ ඉල්ලීම් සියල්ල තමන් දැනටමත් ලබා දී ඇතැයි බාහිර ලෝකයට ඇඟවීම ප්‍රධාන තැනක් ගනී.

දෙමළ ජනයාගේ ඉල්ලීම වූයේ උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය පරිපාලන කටයුතු සහ අධිකරණ කටයුතු සඳහා දෙමළ භාෂාවද  රාජ්‍ය භාෂාවක් ලෙස පිළිගන්නා ලෙසයි. එනම් රාජ්‍යයේ සියළු පරිපාලන සහ අධිකරණ කටයුතුවලදී (ලේඛන සහ වාර්තා ගතකිරීම්  ඇතුළු දෛනික රාජකාරිමය  කාර්යභාරයන් පවත්වාගෙන යාම)  දෙමළ භාෂාවෙන්ද සිදුකිරීමට ද, අවශ්‍යතාව අනුව ඒවා ඉංග්‍රිසි හෝ සිංහල භාෂාවන්ට පරිවර්තනය කිරීමට ද අවශ්‍ය විධිවිධාන රාජ්‍ය භාෂා පනතට ඇතුළත් කරන ලෙස ය. මෙය ඉරා දමන ලද බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුමෙහි ද අන්තර්ගත වූ ඉල්ලීමකි. සිරිමා බණ්ඩාරනායක කර ඇත්තේ මෙම ඉල්ලීම හුදෙක් දෙමළ බසින් බලපත්‍ර, උපත්, විවාහ, මරණ සහතික ආදිය නිකුත් කිරීමක් බවට පිරිහෙළීමට ය. පෞද්ගලික කටයුතුවලදී දෙමළ බසින් කටයුතු කිරීමට ද අත්සන් තැබීමට ද කිසිදු තහනමක් පනවා නැතැයි යනුවෙන් ඇය විසින් කරන ලද ප්‍රකාශය ස්වෝත්තමවාදී  වැඩවසම් උද්දච්ඡකම ප්‍රදර්ශනය කිරීමක් මිසෙක අන් කිසිවක් නොවේ. මෙය එකල දෙමළ සාමාන්‍ය ජනයා අතර උපහාසයට ලක් වූ අතර 'සිරිමා බණ්ඩාරනායක රජය යටතේ දැන් දෙමළ වැසියන්ට සිය අඹු දරුවන් සමග දෙමළෙන් කතාබහ කිරීමේ අයිතිය ද හිමිව ඇතැ'යි එකල එසේ පැතිර ගිය විහිළුවක් විය.

අධිකරණය හමුවේ දෙමළ බසින් සාක්ෂි දීමට බාධාවක් නැතැයි සිරිමා බණ්ඩානායක විසින් කරන ලද ප්‍රකාශය උතුරු නැගෙනහිර  අධිකරණ කටයුතු දෙමළ බසින්  සිදු කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි දෙමළ ජනතාවගේ ඉල්ලීම පිළිබඳ සත්‍ය තත්ත්වය විකෘති කිරීමක් පමණක් නොව, එය හෑල්ලු කිරීමක් ද විය. දෙමළ බසින් සාක්ෂි දීමට ඉඩ සැලසුණේ බ්‍රිතාන්‍ය විජිතවාදින්ගේ යුගයේදීම ය. එය අයිතියක් හෝ වරප්‍රසාද ලබා දීමක් නොවූ අතර එකී අයිතිය එම යුගයේ සිටම සිංහලයන්ටද හිමිව තිබිණි. නඩුවකට අදාළ සාක්ෂි ලබාගැනීම නඩුව විමර්ශනය කිරීම සඳහා අධිකරණය සතු වගකීමක් වන අතර  රජය (අධිකරණය)  වෙත අදාළ සාක්ෂිකරුවා විසින් ලබා දෙන සාක්ෂිය වූ කලී නීතිය ක්‍රියාත්මක කිරීම සහ විනිශ්චයෙහි ලා ඉවහල් වන තොරතුරු රාජ්‍ය ආයතනයක් වෙත ලබාගැනීමකි. එහි දී සාක්ෂිකරුවාට තමන් නොදන්නා ඉංග්‍රිසි බසින් සාක්ෂි දිය යුතු යැයි බල කිරීම හෝ සිංහලෙන් හෝ දෙමළෙන් පමණක් තම සාක්ෂිය ඉදිරිපත් කළ හැකි සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ප්‍රතික්ෂේප කිරීම ප්‍රයෝගික නොවන අතාර්කික ක්‍රමයකි. ඉංග්‍රිසින් විසින් අධිකරණ කටයුතුවලදී සාක්ෂි ලබාගැනීම සිංහලෙන් සහ දෙමළෙන් ද සිදු කිරීමට පියවර ගත්තේ එහෙයිනි.

දෙමළ ජනතාව උතුරු නැගෙනහිර අධිකරණ කටයුතු දෙමළ බසින් සිදු කිරීමට ඉඩ දෙන ලෙස  කරන ලද  ඉල්ලීම මගින් ප්‍රකාශ කළේ  පරිපාලනය, ලේඛනය ඇතුළු සියළු අධිකරණ කටයුතු දෙමළ බසින්ද කිරීමට ඇති අයිතිවාසිකමයි.

දෙමළ සෙනෙට් සභිකයන්ගේ විරෝධය

අගමැතිනියගේ ප්‍රකාශයේ තර්ක ප්‍රතික්ෂේප කරමින් 'සිලොන් ඔබ්සර්වර්' පුවත්පතට සෙනේට් සභිකයන් වූ රාජනීතිඥ එස් නඩේසන් සහ රාජනීතිඥ තිරුචෙල්වම් විසින්  ලිපියක් ලියන ලදි. එහි දී ඔවුහු දෙමළ ජනතාවගේ ඉල්ලීම් වූ කලී විශ්වීය වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකම් බව පහත පරිදි අවධාරණය කළහ.

“...පුරවැසියෙකු සතු අතිශය වැදගත්ම අයිතිය ජාතික සංස්කෘතිය සඳහා අයිතිවාසිකමයි.  සුළුතර ප්‍රජාවන්ගේ ජාතික අනන්‍යතාවන් අහිමිවීමේ තර්ජනයෙන් ඔවුන් ආරක්ෂා කළ යුතු බවට ද, තමන් අවියෝජනීය කොටසක් වන  වාර්ගික සාමූහිකත්වය වෙත ප්‍රමාණවත් පිළිගැනීමක් නොමැති නම් පුද්ගලයන්ට මානව අයිතිවාසිකම් අර්ථාන්විත  ලෙස භුක්ති විඳිය නොහැකි බවට ද පළමු යුරෝපීය යුද්ධයෙන් පසුව  බොහෝ චින්තකයන් විසින් බහුලව පිළිගනු ලැබිණි. ලංකාවේ දෙමළ කතා කරන ජනතාව සළකනුයේ, පළමුව දෙමළ බස කතා කරන පුරවැසියන්ගේ වාර්ගික සාමූහික සැකසුම ප්‍රමාණවත් අන්දමින් පිළිගනු නොලබන්නේ නම් ද, දෙවනුව දෙමළ බස කතා කරන ජනයා සංකේන්ද්‍රණය වූ ප්‍රදේශවල දී දෛනික පරිපාලන කටයුතු සඳහා දෙමළ බස ප්‍රමාණවත් පරිදි යොදා නොගන්නේ නම් ද දෙමළ භාෂාව සහ සංස්කෘතිය ලංකාව තුළ ආරක්ෂා කළ නොහැකි බවයි. දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම වනුයේ මෙයයි...“ (S.Nadesan QC and Mr. Tiruchelvam QC- Ceylon Observer)

සිංහල බුද්ධිමතුන්ගේ විරෝධය ආණ්ඩුවට

සිරිමා විසින් දෙමළ බසින් සාක්ෂි ලබා දීමට ඇති ඉඩකඩ ගැන කරන ලද ප්‍රකාශය පිලිබඳව රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ගණනාථ ඔබේසේකර, වී ඊ. ඒ වික්‍රමනායක යන විද්වතුන් විසින් ද සාමුහික ලියැවිල්ලක් මගින් විවේචනය කර තිබිණ. එහි මෙසේ සඳහන් විය.

“අධිකරණ භාෂා පනත පරීක්ෂා කිරීමේදී   උතුරු නැගෙනහිර පළාත්වල දී අභියාචනාවන් ඉදිරිපත් කිරීම හෝ  නඩු කටයුතු ලේඛන ගත කිරීම අවශ්‍ය අවස්ථාවන්හිදී දෙමළ භාෂාවෙන් කිරීමට ඉඩ සැළසෙන  කිසිදු විධිවිධානයක් ඉදිරිපත් කර නැති බව පෙන්නුම් කරයි. දෙමළ භාෂාවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන සමහරුන් කරන ප්‍රකාශ වූ කලී  අයිතිවාසිකමක් ලබාදීමක් නොව, හුදෙක් වර්තමානයේ පවතින කෘෘර තත්ත්වය පෙන්නුම් කරන්නක් පමණකි. කෙසේ වුව ද මෙම පනතේ හතරවැනි වගන්තිය අනුව, රාජ්‍ය භාෂා පනතේ ප්‍රධාන විධිවිධාන ආරක්ෂා කිරීම පිණිස  අවශ්‍ය අවස්ථාවන්හිදී  ඉංග්‍රිසි භාෂාව යොදාගැනීමට සහ ඉංග්‍රිසියෙන් ලියන ලද ලියැවිලි සිංහලට පරිවර්තනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සලසා තිබේ. මේ හා සමාන නීතිමය විධිවිධාන උතුරු නැගෙනහිර පළාත්වලදී  අවශ්‍ය අවස්ථාවන්හිදී දෙමළ භාෂාව සඳහා ද රාජ්‍ය භාෂා පනත යටතේ ලබා දීමට හැකි අතර එය සා‍ධාරණ ද වෙයි. එය ඉටු කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් දැන් ආණ්ඩුව විසින් මෙම පළාත්වල දෙමළ ජනයාගේ දුක්ගැනවිලිවලට හේතු සපයමින් සිටී.“ (රදගුරු ලක්ෂ්මන් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගණනාථ ඔබේසේකර, වී ඊ. ඒ වික්‍රමනායක)

සිරිමා බණ්ඩාරනායකගේ කතාවේ අන්තර්ගත වූ  “සියළු දෙනාම දන්නා පරිදි ජනතාවගේ ඉල්ලීම මත, පසුගිය මහාමැතිවරණ දෙකකදී ඔවුන් සමග ඇතිකරගත් එකඟතාව සහ ඔවුන් වෙත ගම්භීර පූර්වකව දෙන ලද ප්‍රතිඥාවන් මත ක්‍රියාත්මක කරන ලද  මෙම භාෂා පනත ක්‍රියාත්මක කිරීමෙහිලා කිසිදු වෙනසක් සිදු නොවන බව“යන ප්‍රකාශය කෙරෙහි ඇගේ එම කථාවේම සඳහන් කෙරුණු 'විචාරශීලි දෙමළ ජනයාගේ' බලවත් කලකිරීම සහ පිළිකුළ එල්ල විය. මෙමගින් ඇය උත්සාහ කළේ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරමින් ක්‍රියාත්මක කළ රාජ්‍ය භාෂා පනත සිංහල බහුතරයේ පමණක් නොව, සමස්තයක් ලෙස දෙමළ භාෂාව කතාකරන ජනතාවගේ ඉල්ලීමක් ද වූ බවත් එමගින් එය නීත්‍යානුකූල යුක්ති සහගත පියවරක් බවත්  ලෝකය හමුවේ මවාපෑමට ය. එකී මැතිවරණවලදී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ඡන්ද පොරොන්දුව වූ කලී දෙමළ විරෝධී ජාතිවාදය අවුළුවමින් සිංහල ඡන්ද රැස්කිරීමක් වූ බව වසන් කිරීමේ උත්සාහයක් ද ඇගේ ප්‍රකාශය තුළ අන්තර්ගත ය. මෙය 1948 දී රාජ්‍ය පාලනය හිමි වූ දා පටන්ම සිංහල දේශපාලන පක්ෂවල සිංහල ස්වෝත්තමවාදී මැතිවරණ ප්‍රචාරයන් ද,  පාලකයන්ගේ අයුක්ති සහගත සහ අසාධාරණ අණපනත්  ද, රාජ්‍ය සහ මැර ප්‍රචණ්ඩත්වය මගින් එල්ල කරන ලද පීඩනය ද අත්විඳ සිටි දෙමළ ජනයාගේ බුද්ධියට විවෘත අවමන් කිරීමක් විය. ඇත්තෙන්ම රජයේ වර්ගවාදී ප්‍රතිපත්ති පිළිබඳව හෙළිදරවු  කිරීමට  ඇගේ මෙම  ප්‍රකාශය පමණක් වුව ද ප්‍රමාණවත් ය.

සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට පසුගිය මැතිවරණ දෙකකදී බහුතර ජනතාව විසින් තමන්ට  ලබා දුන් බවට සිරිමා බණ්ඩාරනායක විසින් පවසන ලද  “බහුතර ජනවරම“ ගැන ප්‍රතිචාර දක්වමින් ඉහත සඳහන් සිංහල විද්වත්තු සිය සාමූහික ලියැවිල්ලේ මෙසේ ලියූහ.

“..ජෙෆර්සන්ගේ  -නිදහසේ රචනාවන්-  හි ඔහු විසින් ලියන ලද වචන කෙරෙහි අවධානය යොමු කිරීම  දේශපාලන වශයෙන් ප්‍රඥා සම්පන්න වනු ඇත. එනම් “බහුතරයේ කැමැත්ත වුව ද නිවැරදි වන්නේ සෑම විටෙකම එය සාමාන්‍ය බුද්ධියට සහ සදාචාර විනිශ්චයට අනුව සහේතුක වන්නේ නම් පමණි “ යන්න ය.“

දෙමළ බහුජන සහාය විශාල වශයෙන් ලද සත්‍යග්‍රහ ව්‍යාපාරය හෑල්ලු කර සැලකීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ද   ඔවුන් සිය ලියවිල්ල මගින් දැඩි ලෙස විවේචනය කර තිබිණ.

කච්චේරියේ වැඩකටයුතු ආරම්භ කර පරිපාලනය ස්ථාවර කරනු වස් සිරිමා බණ්ඩාරනායක දකුණෙන් පොලිස් නිලධාරින් පිරිවරාගත් සිංහල නිලධාරින් යැවීමට උත්සාහ කළාය. මෙම උත්සාහය සාර්ථක නොවූයේ සත්‍යග්‍රහ කරුවන්  ප්‍රධාන ප්‍රවේශ දොරටුව අවහිර කොට වාඩිගෙන සිටි බැවිනි. එය සාමාන්‍යයෙන් වැඩ වර්ජනයකදී වුව ඕනෑම සංවිධිත කම්කරුවන් දක්වන සාමාන්‍ය විරෝධතාවක් මිසක  ප්‍රචණ්ඩත්වයක් නොවේ.

මාර්තු 03 වැනි දින රාත්‍රියේ ඇය විසින් පුද්ගලිකවම දක්නා ලදැයි  කී 'ඉහළ රජයේ නිලධාරින්ගේ ඉරී ගිය ඇඳුම්' පිළිබඳ කතාව සිංහල ජනයා කුපිත කරවීම සඳහා දැනුවත්ව තත්ත්වය විකෘති කිරීමක්  විය. මෙය ඇගේ සැමියා වූ හිටපු අගමැති බණ්ඩාරනායක විසින් 'නුවරඑළිය නගරාධිපතිවරයා මඩකළපුවේදී මරණයට පත්වීමට දෙමළ ජනයා වගකිවයුතු යැ'යි අඟවමින් 1958  විරෝධී ප්‍රචණ්ඩ ක්‍රිය යාවන් අවුලවමින් සිදු කළ ගුවන් විදුලිකතාවට නොදෙවෙනි එකකි. මෙම නිලධාරීන් පිරිසට ඇතුළුවීමට ඉඩ සලසනු වස්  කච්චේරි දොරටුව ඉදිරිපිට වාඩි ලා සිටි සත්‍යග්‍රහකරුවන් ඇද ඉවතට දැමීමට බලය යොදා ඔවුන්ට පහර දෙමින් හිංසා කලේ කොළඹින් ගිය පිරිස් සහ පොලිස් නිලධාරින් විසිනි. සිරිමා බණ්ඩාරනායක විසින් ඉහත සඳහන් කරන ලද සිදුවීමේ දී රජයේ නිළධාරියෙකු වූ එන්. කිව්. ඩයස්ගේ ඇඳුම් ඉරීගියේ බිම වාඩි ලා සිටි සත්‍යග්‍රහකරුවන්ට ඉහළින් ඔහුව ඔසවාගෙන ගොස් ඔහුව තාප්පයට උඩින් කච්චේරි බිමට ප්‍රවේශ කරවීමට හමුදා නිලධාරින් විසින් දරන ලද විකාර සහ අශිෂ්ට ප්‍රයත්නය හේතුවෙනි. එන් කිව් ඩයස්ගේ ඇඳුම් ඉරී යාමේ සිද්ධියට කිසිදු සත්‍යග්‍රහ කරුවෙකුගේ සම්බන්ධයක් නොවීය.

මෙකී කුප්‍රකට එන්. කිව් ඩයස් යනු 1961 දී ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් වරයෙකි. ඔහු යාපනයට ගොස් තිබුනේ  තත්ත්වය හා එහි වර්ධනයන්  පෞද්ගලිකවම අධ්‍යයනය කිරීම සඳහා ය. අගමැතිවරිය විසින් සඳහන් කරන සිදුවීමේ  දී සිය ගණනක් වූ සත්‍යග්‍රහකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් එම  ස්ථානයේ රැස් ව සිටි අතර ඔවුන් ප්‍රචණ්ඩ ලෙස හැසිරි මොහුට පහර දීමට තැත්කළේ නම්  එවැන්නක් අවසන් විය යුතුව තිබුනේ ඔහුට ද  බරපතල තුවාළ සිදු කරමිනි.  නමුත් ඇත්තෙන්ම මෙහි දී එවැන්නක් සිදු නොවී ය. පොලිස්, හමුදා සහ නාවික හමුදා වල පහරදීම් හේතුවෙන් ඒ දක්වා තුවාළ ලැබ සිටියේ සත්‍යග්‍රහකරුවන් මෙන්ම ඊට කිසිදු සම්බන්ධයක් නොතිබූ දුර බැහැර ගම්වල ද සිටි දෙමළ වැසියන් පමණකි. සත්‍යග්‍රහකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සනාථ කිරීමට ඉරීගිය ඇඳුම් කැබැල්ලකට වඩා දෙයක් සොයාගැනීමට අගමැතිවරියට නොහැකි වූයේ සත්‍යග්‍රහකරුවන් පොලිසියේ සහ හමුදාවේ කෘෘර ප්‍රහාර මැද වුව ද අසමාන ඉවසිලිමත් බවකින් අහිංසාවාදී විරෝධයක මූලධර්ම ආරක්ෂා කළ බැවිනිඓ් අනුව බැලූ විට මෙම සිදුවීමේ දී හමුදාවේ සහ පොලිසියේ රයිෆල් බඳෙන් පහර ලැබ බරපතල තුවාල ගත් ෆෙඩරල් පක්ෂ නායකයෙකු වූ වෛද්‍ය ඊ, එම්, වී නාගනාදන් හෝ සෙසු සත්‍යග්‍රහකරුවන් ගැන කිසිදු සඳහනක් ‍ඇගේ ප්‍රකාශයේ නොවීම පුදුමයක් නොවේ.

දිසාපතිගේ ප්‍රකාශය

සත්‍යග්‍රහකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන්නේයැයි ඇඟවීමට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක දරන ලද උත්සාහයේ අරමුණ වූයේ සත්‍යග්‍රහයකරුවන් මත  ප්‍රචණ්ඩ හමුදා සහ පොලිස් බලය යොදා විසිරුවාහැරීමටත්  හදිසි නීතිය පනවා  දෙමළ දේශපාලන නායකයන් අත් අඩංගුවට ගැනීමටත් ආණ්ඩුව පැත්තෙන් වූ මර්දනකාරී සැලසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම ය. නමුත්  එවකට යාපනය නව දිසාපතිවරයා ලෙස පත්ව ආ නිශ්ශංක විජේරත්න සත්‍යග්‍රහ කරුවන් ගැන සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් “ඔවුහු (සත්‍යග්‍රහකරුවන්) විනීත ලෙස හැසිරුණු මහත්මා ගුණ ඇති පිරිසකි“ යි පැවසීය.

නිශ්ශංක විජේරත්න ද මාර්තු 02 වැනි දින හමුදා භටයන් විසින් ඔසවා  තාප්පයට ඉහළින් කච්චේරි පරිශ්‍රයට ඇතුළු කරන ලද පරිපාලන නිලධාරියෙකු විය.  ඔහු මෙම ප්‍රකාශය කළේ එකී සත්‍යග්‍රහය පැවැත්වෙන අතර හමුදා නිලධාරින්ගේ සහ සත්‍යග්‍රහකරුවන්ගේ හැසිරීම් අතර වෙනස  නිරීක්ෂණය කිරීමෙන් ලද අත්දැකීම් අනුව මිසක යාපනයෙන් සැතපුම් සිය ගණනක් ඈත සිටි සිරිමා බණ්ඩාරනායක මෙන් හමුදා නිලධාරින්ගේ විසින් සපයන ලද බොරු වාර්තා මත පදනම්ව නොවේ. නිශ්ශංක විජේරත්න දිසාපතිවරයා මෙම ප්‍රකාශය කළේ මාර්තු 03 වැනිදා ය. එය කොළඹ බොහෝ පුවත්පත්වල පළවිය. නිශ්ශංක විජේරත්නව එහි යවන ලද්දේ යාපනය පරිපාලනය යථා තත්ත්වය පත් කර රාජ්‍ය භාෂා පනත එහි ක්‍රියාත්මක කරවනු සඳහා ය. අපේක්ෂිත ප්‍රතිඵල ලබා දීමට ඔහු අසමත් වූයෙන් ද ඉහත ප්‍රකාශය හේතුවෙන් ද මාස දෙකකට පසුව ඔහුට නැවතත් ස්ථාන මාරුවක් දෙන ලදි.

ෆෙඩරල් පක්ෂයේ නායක එස්. ජේ. වී චෙල්වනායගම් සිරිමා බණ්ඩාරනායකගේ ගුවන් විදුලි කතාවට අවධාරණාත්මකව ප්‍රතිචාර දැක්වීය:

“අපි කවර විටෙකවත් අගමැතිනියගේ ආණ්ඩුවේ ශක්තිය අවතක්සේරු නොකෙළෙමු. ඇගේ හමුදාවන් අපට එරෙහිව යෙදවීමට බලය ඇය සතු බව අපි මනාව වටහාගෙන සිටිමු. ඇය සත්‍යග්‍රහය ගැන ගුවන් විදුලියෙන් කතා කළාය. එම කතාව ඒකාධිපතියෙකු විසින් සිය යටත් වැසියන් අමතා කරනු ලබන ආකාරයේ කතාවක් මිසෙක ප්‍රජාතාන්ත්‍රවාදි නායකයෙකු සිය ජනතාව අමතා කරන කතාවක් නොවේ. ඇගේ කතාවේ ස්වරූපය සහ අන්තර්ගතය විසින් ශ්‍රි ලංකාවේ දෙමළ ජනයාගේ සැබෑ තත්ත්වය විදහා දක්වයි. ඔවුන් මත පටවා ඇත්තේ යටත් විජිත අධිරාජ්‍යවාදයකි. ඇය බ්‍රිතාන්‍යයට පිටත්ව යාමට පෙර ඇය විසින් කරන ලද ඇගේ ගුවන් විදුලි කතාවේ දී  ඇය ඊනියා 'මධ්‍යස්ථ දෙමළ ජනතාවක්'  වෙත ආයාචනා කරමින් “නොමග යවන්නවුන්ගේ පෙළැඹීම් සහ ක්‍රියාවලින් විශේෂයෙන් ෆෙඩරල්වාදින්ගෙන් ඉවත්වන ලෙස“ ආයාචනා කළාය. සත්‍ය තත්ත්වය වන්නේ දෙමළ කතාකරන ජනතාව අතර විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සත්‍යග්‍රහ ව්‍යාපාරයට සහාය නොදක්වන කිසිවෙකුත් නැති බවයි. (එස්. ජේ. වී. චෙල්වනායගම් - මාර්තු 04,1961).

(මතු සම්බන්ධයි)

පස්වැනි කොටස: ලාංකීය 'සාර්' හෙවත් එන්. කිව්. ඩයස් පුරාවෘතය

අජිත් සී. හේරත්


© JDS