නිලාන්දන්: අපේක්ෂා මුල්කොටගත් දේශපාලනයේ ඊළඟ අදියර කුමක්ද?

ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත ප්‍රකාර පරීක්‍ෂණයකට ආණ්ඩුව ලක ලෑස්ති වන්නේ 'රට මර උගුලකින් බේරාගැනීම' පිළිබඳ පුරසාරම් ද සහිතව ය. පූර්ණ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා 145,000කට නොඅඩු උතුරු - නැගෙනහිර ජනයා මහජන පෙත්සම් ව්‍යාපාරයක් දියත් කළද, දැන් තත්ත්වයන් නිර්මාණය වන්නේ බොහෝ දුරට දේශීය පරීක්‍ෂණයක් බවට පෙරළා ඇති විමර්ශනයකින් සෑහීමකට පත් වන්නට ය. මේ නිසාම දෙමළ ජනයා තුළ වර්ධනය වන කළකිරීම සහ අපේක්‍ෂා භංගත්වයේ හේතු කවරේදැයි සෙවීමේ ප්‍රයත්නයන් දෙමළ සමාජය තුළ දැරෙමින් තිබේ. 'යාල් තනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් විසින් දායකවන්නේ මේ සංවාදයට ය.

'காத்திருப்பு அரசியலின் அடுத்த கட்டம்?' මැයෙන් ඔහු විසින් ලියන ලද මෙම ලිපිය දෙමළ සමාජය තුළ පැන නැඟී ඇති ඉහත සකච්ඡාවේ එක් පැතිමානයක් මනාව හෙළි කරයි.

පරිවර්තනය: ෆාතිමා ෆරීෂා ශාබ්ඩීන් සහ අතුල විතානගේ


නාධිපති සිරිසේන නිව්යෝක් නුවර සිට ආපසු පැමිණි අවස්ථාවේ ඔහුට ලබා දුන් පිළිගැනීම හා ගෞරවය සැලසුම් සහගතව කළ දෙයකි. තම යුද ජයග්‍රාහී නායකයන්ට දඬුවම් ලබා දීමට තැත් කරන විදෙස් බලවේග ජයග්‍රාහී ලෙස තම මඟට ගෙන ඒම තුළින් රටේ ස්වෛරීභාවය හා ගෞරවය ඔහු විසින් රැකගත් බවට ප්‍රතිරූපයක් ගොඩ නගා තිබේ. ජනාධිපති සහ අගමැතිවරයා නිව්යෝක් නුවර සිට පැමිණි පසු මාධ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසා සිටින අදහස් හා කරුණු විසින් හෙළිකරන්නේ එවැන්නකි. එමෙන්ම විදෙස් කටයුතු අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් විදෙස් රටවල්වලට පවසා සිටින අදහස් ද බොහෝ විට මේ හා සමාන ය. මේ සියල්ල කෙටියෙන් හා සෘජුව දක්වන්නේ නම් යුද පිටියේදී 'රට ලබාගත් ජයග්‍රහණය හා ජයග්‍රාහකයන්ව' මෙම රජය  ආරක්ෂා කිරීමට තැත් කරන බව මින් අදහස් කෙරෙනු ඇත. එසේ නම් දැන් බල පවත්වන දේශපාලනය වනාහී මිනිස් මුහුණුවරකින් යුත් 'යුද විජයෝන්මාදය' සේ හැඳින්විය හැකි ද?

විශේෂයෙන් රාජ්‍ය නායකයා ඇතුළු මෙම ආණ්ඩුවේ සිටින ප්‍රධාන ධුරයන් දරණ සියලු දෙනාම මීට පෙර දී රාජපක්ෂ නායකත්වයෙන් යුතු යුද ජයග්‍රාහී උන්මාදයේ හවුල් කරුවන් ය. යුද ජයග්‍රාහී උන්මාදය යනු 2009 වසරින් පසු  තව දුරටත් ප්‍රවර්ධනය වූ සිංහල-බෞද්ධ අන්තවාදයේ පැතිකඩකි. මෙය රාජපක්ෂවරුන්ගේ නායකත්වය යටතේ ජාත්‍යන්තර වශයෙන් හුදකලාවී අපකීර්තියට ලක් වූ සේ සැළකේ. මෙම තත්ත්වය ආණ්ඩු වෙනසක් තුළින් 2015 වසරට සරිලන අයුරින් නවීකරණය කිරීමේ අවශ්‍යතාවයක් පැවතුණි. ආණ්ඩු වෙනසින් පසුව යුද ජයග්‍රාහී උන්මාදය ජාත්‍යන්තර ආකර්ෂණයක් ඇතිව 'මිනිස් මුහුණුවරකින්' යුතුව නවීකරණයට ලක් විය. ඒ අනුව බැලූ බැල්මට ජාත්‍යන්තරව අපකීර්තියට ලක්ව තිබු සිංහල-බෞද්ධ අන්තවාදය දැන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් ආරක්ෂා කරන තරමට නව ප්‍රවර්ධනයක් ලබා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසින් ජිනීවා නුවරදී යෝජනා සම්මත වනුයේ සිංහල-බෞද්ධ අන්තවාදයට එතරම් නොරිදෙන අයුරිනි. මෙමගින් හඳුන්වාදෙන පරීක්‍ෂණ ක්‍රමවේදය සඳහා  විදෙස් පාර්ශවයන්ගේ සහභාගීත්වය කොපමණ ප්‍රතිශතයක් වෙනු ඇත්ද යන්න පිළිබඳව දැනටත් ඇත්තේ අපැහැදිලි බවකි.ඒ අතරම කිසියම් බාහිර පාර්ශවයක් ඊට සහභාගීවුව ද තීරණ ගැනීමේ  අවසන් බලය සතු වනුයේ ශ්‍රී ලංකා රජය වෙත බැව් පැහැදිලි ය.

අසරණභාවයේ පැතිකඩක්

පරීක්‍ෂණ යාන්ත්‍රණය හසුරුවන සියළු බලතල සතු ශ්‍රී ලංකා රජය රට තුළ හා ඉන් පිටතදී කෙසේ හැසිරෙනු ඇත් ද? නව ආණ්ඩුව දැනටමත් චෝදනා එල්ල වූ පාර්ශවය ආරක්ෂා කිරීමට තැත් කරන අතරම එලෙස ආරක්ෂා කිරීම වීර ක්‍රියාවක් ලෙසටත් ක්‍රියා කරමින් සිටී. ඒ අතරම පීඩාවට පත් වූ පාර්ශවය වන දෙමළ ජනතාවට යුක්තිය ලැබෙනු ඇතැයි විශ්වාසයක් ඇතිකරන අයුරින් කිසිදු පියවරක් ගෙන නොමැති බව මෛත්‍රී - රනිල් පාලනයේ ගෙවී ගිය කාලය දෙස බැලුවිට ඉතාමත් පැහැදිලි ය. එහෙත් ඔවුන් විසින් පසුගිය රජයේ ප්‍රධානීන්ට එල්ල වූ යුද අපරාධ චෝදනා හැර අනෙකුත් සියලු චෝදනාවන් එල්ල කර ඔවුන්ව යම් කිසි කොටුකිරීමක් මගින් පාලනය කිරීමට ප්‍රයත්න දරමින් සිටී. අනෙක් අතින් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පසුගිය රජයේ ප්‍රබලයන්ව රට තුළ දී මෙන්ම ජාත්‍යන්තරය තුළ ද ආරක්ෂා කිරීමට වෑයම් දරමින් සිටියි. අවසන් වරට ගෙන එන ලද ජිනීවා යෝජනාව කෙරෙහි ද බැලිය හැක්කේ මේ කරුණ පසුබිම් කර ගනිමින් ය. එම යෝජනාව මගින් කරනු ලබනුයේ දෙමළ ජනයා තවදුරටත් බලාපොරොත්තු සහගතව තබා ගැනීම ය.

සන්නද්ධ අරගලය අවසන් වූ පසු ඉකුත් වසර හයක කාලයක් පුරා දෙමළ ජනයා ජිනීවා නුවර සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව පසු වූහ. මෙසේ පිටස්තර බලවේග කෙරෙහි බලාපොරොත්තු දල්වා සිටින දේශපාලනය කෙරෙහි විමර්ශනාත්මක වුයේ ඉතාමත් සුළුතරයක් වූ දේශපාලනඥයන්, සිවිල් ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් හා නිර්මාණකරුවන් පමණි. අනෙක් පසින් අපේක්ෂා සහගත දේශපාලනය යනු දැන් පොදුවේ දෙමළ ජනයාගේ මානසිකත්වය නිරූපණය කරන්නකි. එය අසරණභාවයේ තවත් පැතිකඩකි. තවත් අයුරකින් එය දෙමළ දේශපාලකයන්, සිවිල් ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් හා මත ප්‍රකාශ කරන්නන් ඇතුළු පිරිසගේද පරාජයකි. මේ අතර මෙවර ජිනීවා යෝජනාව තම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට මෛත්‍රී- රනිල් රජය තැත් කරමින් සිටිනු පෙනේ. නමුත් පුරා වසර හයක කාලයක් අපේක්ෂා සහගතව සිටි දෙමළ ජනයාට මෙය ජයග්‍රහණයක් ද - නැතිනම් පරාජයක් ද? මෙහි ඇති ඛේදවාචකය නම් එය ජයග්‍රහණයක් වුවද පරාජයක් වුවද මින් ඉදිරියටත් දෙමළ ජනයා අපේක්ෂා සහගත වනු ඇති බව ය. මක් නිසාද යත් අපේක්ෂා සහගත වීම හැර වෙනත් විකල්පයක් නොහැකි තරමට ඊලාම් දෙමළ ජනයාගේ දේශපාලනය එක තැන පල්වීම ය. සංසන්දනාත්මකව බැලීමේදී, අවසන්වූ මැතිවරණයත් සමග ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටි පාර්ශවයන් බෙලහීන වී තිබේ. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වෙනුවෙන් විශාල ලෙස බලපෑම් නොකරන පාර්ශවයන් නොහොත් රජයේ නීතියට එකඟව කටයුතු කිරීමට තැත් කරන පාර්ශවයන් මේ වන විට මව්බිමේ දී මෙන්ම විදෙස් ගත දෙමළ ප්‍රජාව තුළ ද බලමුළු වීම අරඹා තිබේ. තමිල්නාඩු පාර්ලිමේන්තුවේ හා උතුරු පළාත් සභාවේදී සම්මත කරන ලද යෝජනාවන් එහි ඊ ළඟ පියවර ක්‍රියාත්මක කිරීම දක්වා වර්ධනයක් පෙන්නුම් කිරීමට අපොහොසත් විය. මේ සමස්තයේම ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජනයාගේ අපේක්ෂා සහගත දේශපාලනය එහි රැවටීමේ සීමාව වෙත ළඟාවීමට ආසන්න ය.

සුළුතර - බහුතර සංකීර්ණය

ඊළම් දෙමළ ජනතාව ගත් කළ පිටස්තර බලවේගයන් කෙරෙහි අපේක්ෂා සහගතව සිටීම යනු 2009 මැයි මාසයෙන් පසු ඇතිවූ තත්වයක් නොවේ. දෙමළ ජනයාගේ නව දේශපාලනය ආරම්භයේදී සිටම  එම  මූලයන් දක්නට තිබිණි. ඔවුහු තම ශක්තිය හා බලය ගැන විශ්වාස නොකොට පිටස්තර බලවේග කෙරෙහි අපේක්ෂා සහගතව සිටීමේ පසුබිම කුමක්ද දෙමළ ජනයාගේ භූදේශපාලනය එයට හේතුවයි. විශාල තමිල්නාඩුවට පහතින් දෙමළ ජනයාගේ නිජබිම පිහිටා ඇති අතර දකුණු ඉන්දීය බහු සංස්කෘතියේ එක් පැතිකඩක් ලෙස දෙමළ ජනයා සිටී. තමිල්නාඩුවත් තමන්ටත් ඇති සබඳතාවය සමීප සහෝදරාත්මක එකක් යැයි දෙමළ ජනයාගේ පිළිගැනීම ය. නමුත් විශාල තමිල්නාඩුව සහ ප්‍රමාණයෙන් ඊළම් දෙමළ ජනයාත් එක් ගොනුවක් සේ සළකා, ඒ බහුතරය ඉදිරියේ තමන් සුළුතර ජාතියක් බව සිංහල ජනයා නිරන්තරයෙන් කල්පනා කරති. මේ නිසාම ශ්‍රී ලංකාවේදී බහුතර ජාතිය විසින් සුළුතර ජාතිය පහත් කොට සැලකීමත්, සුළුතර ජාතිය සහ බහුතර ජාතිය අතර ගැටුමත් දක්නට ලැබෙන බවට නිරීක්‍ෂකයන් පවසා තිබේ. මෙලෙස ඉන්දියාවේ දිගුවක් ලෙස ඊළාම් දෙමළ ජනයා දැකීමෙන් සිංහල-බෞද්ධ අන්තවාදය විසින් දෙමළ ජනයා කෙරෙහි  සතුරු මානසිකත්වයෙන් බලන බව මූ. තිරුනාවූකරසු වැනි විශ්ලේෂකයන් ලියමින් සිටී. ඉන්දියාව සම්බන්ධ භීතිය ඊළාම් දෙමළ ජනයා කෙරෙහි වූ භීතියක් ලෙස ද පුළුල් වී ඇතැයි ඔව්හු වාද කරති. මේ අනුව තම මව්බිම විශාල තමිල්නාඩුවට පහතින් පිහිටා තිබෙන නිසා ඊළම් දෙමළ ජනයා ඕනෑම විපත්තිදායක මොහොතක තමිල්නාඩුව වෙත අපේක්ෂා සහගත වීම යනු එක් අයුරකින් නොවැළැක්විය හැකි භූ දේශපාලන යථාර්තයකැයි කිව හැකිය. විශේෂයෙන් සන්නද්ධ අරගලයේ පිබිදීමත් සමඟ මෙම  අපේක්ෂා සහගත වීම නව වර්ධනයක් ලැබීය. ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක් වූ අවස්ථාවේ දී  ඊළාම් දෙමළ ජනයා එය තමන්ගේ දුක්බර අවස්ථාවක් ලෙස සළකන ලද්දේ ඒ අනුව ය. නමුත් සන්නද්ධ කණ්ඩායම් සියල්ලම ඉන්දියාව ගැන මේ විශ්වාසයෙන් පසු වූ බවට පැවසිය නොහැක. ඉන්දියාවේ මේ අරමුණ පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධියේ ප්‍රශ්න කෙරුණු ලියවිල්ලක් ලෙස “වංගම් (බංගලාදේශය) ලබා දුන් පාඩම” නමැති ග්‍රන්ථය පෙන්වා දිය හැකි ය. එලෙසම ඉහතින් කී මූ.තිරුනාවූකරුසු විසින් ලියන ලද ග්‍රන්ථයක් ද මෙහිදී දැක්විය හැකි ය. සන්නද්ධ අරගලයේ නැගීම හා පසු බැසීම අනුව ඉන්දියාව වෙත අපේක්ෂා සහගත වීමේ ආකල්පයෙහි ද වෙනසක් විටින් විට ඇතිවිණි.

සන්නද්ධ අරගලයේ අරමුණ වෙනුවෙන් ඉන්දීය හමුදාව පැමිණි යැයි මතයක් ද ඒ දිනවල සමහරුන්ගෙන් අසන්නට ලැබුණි. නමුත් තමන් මුහුණ දී සිටි පීඩනයෙන් ගළවා ගනු බස් ඉන්දීය හමුදාව කෙරෙහි බලාපොරොත්තුවෙන් පසුවූ දෙමළ ජනයාගේ සිත්වල සාම හමුදාවක් යන ප්‍රතිරූපයක් සිහිනෙකින්වත් පැවතියේ නැත. 1983 ජූලි සංහාරයේ සිට 1987 ජූලි දක්වා වූ කාලය  තුළ උච්ඡතම අවස්ථාවට පැමිණි අපේක්ෂා සහගත දේශපාලනය, විමුක්ති කොටි සංවිධානය හා ඉන්දීය සාම හමුදාව අතර ඇතිවූ සටනත් සමග එහි යථාර්ථවාදී සීමාවට ළඟා විය. රාජිව් ගාන්ධි ඝාතනයත් සමඟ මේ කී 'අපේක්ෂා සහගත දේශපාලනය' එහි අවාසනාවන්ත ඉරණමට ගොදුරු විණි. නමුත් තමිල්නාඩුව හා දෙමළ ඊළම අතර ලේ නෑකම නොබිඳී පැවතිණි. ඊළාම් දෙමළ ජනයාට කරදරයක් සිදුවූ සෑම මොහොතකම තමිල්නාඩුව නොසන්සුන් විණි. හින්දු විරෝධී අරගලයේදී ගිණි තබා ගෙන ආත්ම පරිත්‍යාග කළ ප්‍රමාණයට වඩා වැඩි පිරිසක්, අවම වශයෙන් 19 දෙනෙක් පමණ දෙමළ ජනයා වෙනුවෙන් ආත්ම පරිත්‍යාග කර තිබේ. විශේෂයෙන් හතර වන ඊළාම් යුද්ධයේ අවසන් කාලයේදී නැවතත් තමිල්නාඩුව උනුසුම් විණ. ඊට පසු ජිනීවා යෝජනාවන් වැනි අවස්ථාවන් හි දී ද තමිල්නාඩුව ඊළාම් දෙමළ ජනයා වෙනුවෙන් අරගල කර තිබේ. නමුත් මෙම කාරණාවේදී ඊළාම් දෙමළ ජනයාගේ ඉතිහාසමය අවබෝධයන්ගෙන් ඉගෙන ගත යුතු පාඩමක් තිබේ. එනම් තමිල්නාඩු ලේ නෑකම තමිල්නාඩු දේශපාලනඥයන් බොහෝ විට තම පක්ෂවල අවශ්‍යතාවයන් වෙනුවෙන් හසුරුවා ගන්නා බව ය. ඊළාම් දෙමළ ජනයාට අති දැවැන්ත පීඩාවන් එල්ලවූ අවස්ථාවන් දෙකකදීම තමිල්නාඩුවේ නොසන්සුන්තාවය නවදිල්ලිය විසින් නොසලකා හරිනු ලැබුණි. පළමු අවස්ථාව ඉන්දු ලංකා ගිවිසුම ය. දෙවැන්න, හතර වැනි ඊළාම් යුද්ධයේ අවසන් මොහොත ය. මෙලෙස තමිල්නාඩුව වෙත අපේක්ෂා සහගතව සිටින ආකල්පය  ඉන්දු ලංකා ගිවිසුමට පසු, විශේෂයෙන් රාජිව් ගාන්ධි ඝාතනයට පසු ඉන්දු උප මහා ද්වීපික කලාපයෙන් බැහැර ලෝකය කෙරෙහි අපේක්ෂා සහගතව සිටීම දක්වා පරිවර්තනය වුණි. බටහිර ලෝකය, එසේ නොමැතිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙරෙහි බලාපොරොත්තු දැල්වීම යන කාරණාව අඩු වැඩි වශයෙන් පහත සඳහන් ප්‍රධාන කරුණු අනුව තීරණය වී යැයි සිතිය හැකි ය.

) රාජිව් ගාන්ධි ඝාතනයෙන් පසු සන්නද්ධ අරගලයත්, ඉන්දීය දේශපාලනයත් අතර නීතිමය බාධකයක්  ඇතිවීම.

) විදෙස්ගත දෙමළ ප්‍රජාවගේ පිබිදීම.

) සන්නද්ධ අරගලය මර්ධනය කළ අවස්ථාවේ ඇති වූ දරුණු විනාශය ලොවට හෙළිකර තමන්ට හිමි යුක්තිය ලබා ගත හැකියැයි දෙමළ ජනයා විශ්වාස කිරීම.

) රාජපක්ෂ ආණ්ඩුව බටහිරට වඩා චීනය සමඟ සමීප වීම මගින් ඔවුන්ව තම මාවතට ගෙන ඒම සඳහා දෙමළ ජනයාගේ ඇතැම් ගැටළු තාවකාලික මෙවලමක් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාවය බටහිර රටවලට හා ඇමෙරිකාවට පැනනැගීම.

) සන්නද්ධ අරගලය මර්දනය කිරීමෙන් පසු දෙමළ දේශපාලන වේදිකාවේ තම බලය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ හෝ ක්‍රියාකාරී සංවිධාන බිහි නොවීම මගින් ඇති වූ රික්තකය.

'කරපිංචා' තර්කය

ඉහත හේතු කාරණාවල ප්‍රතිඵලයක් ලෙස බාහිර බලවේග පිළිබඳව අපේක්ෂා සහගත වීම යනු බටහිර ලෝකය සඳහා ද අපේක්ෂා සහගත වීම ලෙසින් එහි ඊ ළඟ පියවර ලෙස වර්ධනය විණි. වඩාත් නිවැරදිව පවසන්නේ නම් ජිනීවා වෙනුවෙන් අපේක්ෂා සහගත වීම යනු යුක්තිය ඉල්ලා සිටීමේ දේශපාලනයේ වර්තමාන හරයයි. නැතහොත් සංක්‍රාන්තික යුක්තිය ඉල්ලා සිටින දේශපාලනයයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු අධිකරණයක් නොවේ. එය රාජ්‍යයන්ගේ එකතුවකි. එසේ තිබියදීත්, දේශපාලකයන් හා මාධ්‍ය මගින් දෙමළ සිවිල් ජනයා අතර විශ්වාසයක් ගොඩනගන ලද්දේ ඔවුන්ට සිදුකළ දුක් ගැහැටවලට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සාධාරණයක් ඉටුවන බවට ය.  සමහර බටහිර රටවල් ද විදෙස් ගත දෙමළ ප්‍රජාවගේ ඇතැම් සංවිධානවලට සැබැවින්ම  ඔවුන් සතුව නොතිබූ ධාරිතාවක් ඇතැයි හඟවා වැදගත්කමක් ලබා දුනි. නමුත් ආණ්ඩු වෙනස සිදුවීමත් සමඟ එම වෙනස ශක්තිමත් කිරීම වෙනුවෙන් බටහිර රටවල් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධාන යෝජනාව කල් තැබීය. අවසානයේ කල් දමා තිබු සම්මත කරන ලද යෝජනාව මෛත්‍රී -රනිල් ආණ්ඩුව විසින් තම රාජ්‍ය තාන්ත්‍රික වීර ක්‍රියාවක් ලෙස සමරමින් සිටී. වසර 28 කට පසු නැවතත්  දෙමළ ජනයාගේ අපේක්ෂා සහගත දේශපාලනය රැවටීමේ සීමාවට පැමිණ තිබේ.

දෙමළ ජනයාගේ අපේක්ෂා සහගත දේශපාලනයේ පළමු කොටස ඉන්දියාව තම දකුණු දිග ප්‍රාන්තයේ යහපත වෙනුවෙන් හසුරුවන ලදී. දැන් දෙවන කොටස ඇමෙරිකාව - ඉන්දියාව එක්ව 'ලෝක යහපත' වෙනුවෙන් හසුරුවා තිබේ. යුරෝපයේ කළ සංචාරයකදී  මුණ ගැසුණු මිතුරෙකු මෙවැනි අදහසක් දැක්වීය. අපේ මුළුතැන් ගෙයි කරපිංචා වලට වැදගත් කමක් හිමි වේ. නමුත් යුරෝපා රටවලට එන කරපිංචා, එයට අදාළ සෞඛ්‍ය නියාමයන්ට අනුව අසුරා නැතැයි පවසා ඇතැම් රටවල් කරපිංචාවලට තහනම් පනවා තිබේ. ඇතැම් බටහිර රටවල් කරපිංචා තහනම් කළ නමුත් තම දේශපාලන අරමුණු සඳහා දෙමළ ජනතාවගේ මළ සිරුරු හා තුවාලයන් කරපිංචා මෙන් භාවිත කළේද? දැන් වෑංජන පිස අවසන් ය. එබැවින් කරපිංචා විසිකර දැමිය හැක. එහෙත් එහි සුවඳ එම වෑන්ජනයෙන් ඉවත් කළ නොහැකි වනු ඇත. ඒ පරිදිම බටහිර රටවල් විසින් දෙමළ ජනතාව මෙවලමක් ලෙස භාවිතා කර තම දේශපාලන අරමුණු ඉටු කරගැනීමට තැත් කළත්, දෙමළ ජනයාට අසාධාරණයක් සිදුව ඇතැයි යන යථාර්ථය ජාත්‍යන්තර මතයක් ලෙස ගොඩනැගී අවසන් ය. බටහිර රටවලටත්, දැන් එය පහසුවෙන් ඉවත් කළ නොහැක. යෝජනාව සම්මත කිරීමේදී පැවති විවාදයේදී මානව හිමිකම් කොමසාරිස්වරයාද යම් තාක් එම මතය පිළිබිඹු කළේය. එම යෝජනාව රාජ්‍යවල නීතියකි. නමුත් ජාත්‍යන්තර ප්‍රජාවෙහි හෘද සාක්ෂියේ අසරණභාවයේ හඬ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දී ඇතැයි සිතිය හැක. දෙමළ ජනයාට සහයෝගය ලබා දී සීරුවෙන් එක් රැස් වෙන ජාත්‍යන්තර මතය මතු දිනෙක ජාත්‍යන්තර නීතියක් ලෙස ලැබෙනු ඇතැයි සිතිය හැක.

නමුත් නන්විධ ගැටළු තව දුරටත් ඉතිරිව තිබේග ඒවා මෙසේ පෙළ ගැස්විය හැකි ය. මෙලෙස ජාත්‍යන්තර මතය ජාත්‍යන්තර නීතියක් ලෙස ලැබීම දක්වා දෙමළ ජනයා තවත් කොපමණ කලක් අපේක්‍ෂා සහගතව සිටිය යුතුද? පසුගිය දශක හතරක පමණ කාල වකවානුව තුළ දෙමළ ජනයාගේ අපේක්ෂා සහගත දේශපාලනය, එහි රැවටීමේ සීමාව දක්වා පැමිණියේ ඇයි? දෙමළ ජනයාට ඉතාමත් දැඩිව උපකාර අවශ්‍ය අවස්ථාවේ සහයෝගය ලබා දීමට තමිල්නාඩුවට නොහැකි වුණේ ඇයි? පිටස්තර බලවේග කෙරෙහි අපේක්ෂා සහගත වීමේ දේශපාලනය යනු පිටස්තර බලවේග විසින් හසුරුවන දේශපාලනයක් ලෙස තිබීමේ ප්‍රතිඵලයක් ද? පිටස්තර බලවේග විසින් හසුරුවීම වෙනුවට දෙමළ ජනතාවට පිටස්තර බලවේග හැසිරවීමට නොහැකි වුයේ ඇයි?

මෙකී කරුණු කාරණා සොයා බලා අතීතයෙන් ලබාගත් අත්දැකීම් තුළින් දෙමළ ජනතාව විසින් මෙකී බලවේග ජයග්‍රාහී ලෙස හසුරුවන්නේ කවදාද?

නිලාන්දන්


© JDS