නිලාන්දන්: එක්සත් ජාතීන්ගේ විමර්ශන යෝජනා ගැන දෙමළ ජනයා කුමක් කළ යුතුද?

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් පත්කරන ලද විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් මඟහැර යමින් කවුන්සිලය විසින් සැප්තැම්බරයේදී සම්මත කරගන්නා ලද යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ දේශීය අධිකරණ යාන්ත්‍රණය පදනම් කොටගත් විමර්ශන කොමිසමක් පත්කිරීමට දැන් නියමිතව තිබේ. නමුත් මානව හිමිකම් සැසිය පැවැත්වෙන අතරවාරයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දියත්කරන ලද මහජන පේතසම් ව්‍යාපාරයකට දායක වූ 146,000කට වැඩි දෙමළ ජනයා පූර්ණ ජාත්‍යන්තර කොමිසමක් මගින් යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියහ‍. දෙමළ මහජන අභිලාෂයන් සහ ජාත්‍යන්තර බල දේශපාලනය අතර තීව්‍ර වූ පරස්පරය ශ්‍රී ලංකා රාජ්‍යයේ වාසිය පිණිස උපයෝග කොටගන්නේ කෙසේදැයි රාජ්‍ය පාක්‍ෂිකයෝ දැන්  කල්පනා කරති.

අති මහත් සාපරාධයන්ට ගොදුරු කොට යුක්තිය අහිමි කළ දෙමළ ජනයා අලුත් වටයකින් දුර්මුඛ කරන්නා වූ අභියෝගයන්ට කෙසේ මුහුණ දිය යුතු ද යන ගැටළුව දැන් දෙමළ සමාජය තුළ සාකච්ඡාවට පාත්‍ර වෙමින් තිබේ. 'යාල් තිනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'அரசுகளின் நீதி' මැයෙන් ලියන ලද ලිපිය විසින් දායකවන්නේ දකුණු ලංකාව අඩුවෙන් දන්නා එකී සාකච්ඡාවට ය.

පරිවර්තනය: ප්‍රියදර්ශිනී රත්නසාමි සහ අතුල විතානගේ


ජාත්‍යන්තර පරීක්‍ෂණය යනු ඊළම් දෙමළ ජනයාගේ අපේක්‍ෂාවකි. දෙමළ ජනයාගේ බහුතරය එවැනි පරීක්‍ෂණයක් වෙනුවෙන් පෙනී සිටි අතර පසුගිය මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවූ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේද එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය බව සඳහන් කර තිබිණ. එහෙත් දැන් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩු වෙනසේ එක් පාර්ශවයක් වී ඇති නිසා, ඒ 'වෙනස' රැකගැනීමේ සාමුහික වගකීම ද ඔවුන් සතුව පවතී. ආණ්ඩු වෙනස රැකගැනීම හා ජාත්‍යන්තර පරීක්‍ෂණය එක්ව නොයයි. මක් නිසාද යත් මෙකී පාලන වෙනස්කමේ පියවරු වශයෙන් එක්සත් ජනපදය හා ඉන්දියාව මෙවන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිනොගන්නා බව පැහැදිලි හෙයිනි. මීට දකුණේ සිටින සිංහල නායකයන් පමණක් එරෙහි බව කිව නොහැක. ඇත්තෙන්ම  ඇමෙරිකානු හා ඉන්දීය පාර්ශ්වද එය පිළිගන්නේ නැත. සමස්තයක් ලෙස මේ කෙරෙහි අවධානය යොමු කළහොත් ආණ්ඩු වෙනසේ පාර්ශවයක් ලෙස දෙමළ ජාතික සන්ධානයට ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා පක්ෂ විය නොහැක. එහි සිටින ඇතැම් ප්‍රබල නායකයන් මේ සඳහා පක්ෂපාතීතවය පෙන්නුම් කළ ද සන්ධානය ලෙස නිල වශයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව ඔවුන් විසින් අහිමි කරගෙන තිබේ. නමුත් එය පක්‍ෂයක් ලෙස විවෘතව පිළිගතහොත් අභ්‍යන්තර ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදු වනු නිසැක ය.

ඉකුත් මැතිවරණයේදී දෙමළ ඡන්දදායකයන් ඡන්දය භාවිත කර ඇත්තේ මේ ගැටළුව පිළිබඳව දැනුවත්වද? ඊට පිළිතුර 'නැත' යන්න ය. එය සරළවම සනාථ වන්නේ දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් දියත් කළ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින පෙත්සම් ව්‍යාපාරයට ලක්‍ෂයකට වැඩි ජනයා තම අත්සන තබා තිබීමෙනි. දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල නායකයන් ඇතුළු  බොහෝ දෙනෙක්  මේ පෙත්සම් ව්‍යාපාරයට එක් වූ අතර මැතිවරණයේදී දෙමළ ජාතික ජනතා පෙරමුණ පරාජයට පත් කළ ජනතාව ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් මේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයට දායක විය. මෙකී ගැටළුව අප වටහා ගත යුත්තේ කෙසේද? දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුවටත්, දෙමළ ජාතික ජනතා පෙරමුණ වීදි සටන් බිමටත් යන්න දෙමළ ජනයාගේ විශ්වාසයද?

ඉහත ක්‍රියාමාර්ගයට අමතරව  රුද්‍රකුමාරන්ගේ පාර ජාතික ඊළම් ආණ්ඩුව ද මේ හා සමාන අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අරඹා තිබු අතර ඊට මිලියනයකට වැඩි ජනයා සහභාගී වූ බව වාර්තා විය. එමෙන්ම උතුරු පළාත් සභාව ද , තමිල්නාඩු ආණ්ඩුව ද ජාත්‍යන්තර පරීක්‍ෂණයක් වෙනුවෙන් යෝජනා සම්මත කර ගත්හ. එවැනි පසුබිමක් තුළ දී ජාත්‍යන්තර පරීක්‍ෂණයක් යනු හුදු ඉල්ලීමක් පමණක් සේ සළකා පසෙකලිය නොහැක. එසේම එය ඊළම් දෙමළ ජනයා තුළ රැඳුණු සිහිනයක් හෝ අපේක්‍ෂාවක් පමණක් ද නොවනු ඇත. විශාල දෙමළ ජන කලාපයකදී ඊට බලවත් පදනමක් දැනටමත් වැටී තිබේ. එහෙත් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳව සිංහල ජන බහුතරය  අතර පිළිගැනීමක් නොමැති බව පැහැදිලි ය. විශේෂයෙන්ම දැඩි සිංහල බෞද්ධ අන්තවාදීන් එය කිසිසේත්ම පිළි නොගනී. ඇමෙරිකාව, ඉන්දියාව හා බටහිර රටවල් ද මේ ජාත්‍යන්තර පරීක්‍ෂණයට පක්‍ෂ නොවන අතර එම සියලු රටවල් තම නිල ප්‍රකාශනවල ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ගැන සඳහන් නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඒ අනුව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සටහන්වලද එවැනි පරීක්‍ෂණයක් පැවැත්වීම ගැන පොරොන්දුවක් දී නොමැත.

වාර්තාවේ සාධනීය සහ නිශේධනීය පැති

සමස්තයක් ලෙස ගතහොත් දැනට තිබෙන ජාත්‍යන්තර යථාර්ථය ඊළම් දෙමළ ජනයාගේ අපේක්‍ෂාවන්ට එරෙහිව පවතී. එය මෑතකදී එළිදුටු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ වාර්තාව තුළින් ද පිළිබිඹු වේ. ප්‍රථමයෙන් ම එම වාර්තාව ලංකාවේ පාලන වෙනස රැකගැනීමට වෑයම් දරමින් සිටියි. දෙවැනිව  එය දෙමළ ජනතාව ජාත්‍යන්තර නීතිය මත තබා ඇති විශ්වාසය පළුදු නොවන පරිදි කටයුතු කිරීමේ හැඟීමෙන් යුතුව නිර්මාණයකිරීමට ද පවේශම් වී ‍තිබේ. තෙවනුව සිංහල බෞද්ධ අන්තවාදීන්ට කිසිදු අවස්තාවක් ලබා නොදිය යුතු යැයි හැඟීම ද වාර්තාව සකස් කරන ලද්දන් අතර තිබූ බව විද්‍යාමාන වේ.

මේ පිළිබඳව සාධනීය කරුණු කවරේදැයි දෙමළ ජන දෘෂ්ටි කෝණයෙන් විමසා බැලීම වැදගත් වන්නේ මෙහිදී ය.

1. ශ්‍රී ලංකා රජයට එරෙහිව, විශේෂයෙන් ආරක්ෂක අංශ හා නෛතික ආයතනයන්ට එරෙහිව දැඩි චෝදනා මෙන්ම කඩ වූ විශ්වාසය පැහැදිලිව ඉදිරිපත් කෙරුණු පළමු ජාත්‍යන්තර නිල වාර්තාව ලෙස මෙය පිළිගත හැකි ය.

2. මෙය මුලික පදනමක් ලෙස තබා ගනිමින් දෙමළ ජනයා තම යුක්තිය උදෙසා වූ අරගලය ඉදිරියට ගෙන යාමට සහාය වන අවකාශයන් මේ වාර්තාව මගින් නිර්මාණය කර තිබීම.

3. දෙමුහුන් යාන්ත්‍රණය ඉදිරිපත් කිරීම මගින් එය දෙමළ ජනයාගේ ජාතික ප්‍රශ්නය ජාත්‍යන්තර මට්ටමින් ඉවත් කිරීම සඳහා වූ ඉඩකඩ අවම වශයෙන් හෝ මැඩ පවත්වා තිබීම.

දැන් අපි නිශේධනීය කරුණු විමසා බලමු.

1. වර්ග සංහාරයක් සිදුවූ බවට එම වාර්තාව නිල වශයෙන් පිළි නොගැනීම.

2. යුද අපරාධ චෝදනා එල්ල වූ අයගේ නම් හා වගකීම් නිවැරදිව සඳහන් නොකිරීම. - දෙමළ ජාතික ජනතා පෙරමුණ සදහන් කරන පරිදි එය මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ පරීක්‍ෂණ වාර්තාවක් පමණි. එම චෝදනා පිළිබඳ විමර්ශන වාර්තාවක් ලෙස ඉදිරිපත් කර නොමැත. නමුත් මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශිකා රවිනා සම්දාසින් ඉන්දියාවේ 'තන්දී' රුපවාහිනියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් කියා සිටියේ ඊ ළඟ පියවරේදී චෝදනා ගැන පරීක්‍ෂණ පැවැත්වෙන බැවින් ගැටළු වලට මුහුණ දුන් අයට යුක්තිය හිමි වනු ඇති බව ය.

3. දෙමුහුන් යාන්ත්‍රණය මගින් දේශීය නෛතික ආයතන සමග එක්ව කටයුතු කිරීමේදී චෝදනාවලට ලක්වූ පාර්ශවයම යුක්තිය පසිඳලීමේ පාර්ශවය බවට පත්වීම.

4. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක හා නීති ආයතනයන්ට දැඩි ලෙස චෝදනා එල්ල කරන මෙම වාර්තාව ඒ අතරම එකී ආයතන හා එක්ව කටයුතු කිරීමට යෝජනා කිරීම.

5. පාලනයේ සිදුවූ වෙනසට පක්ෂව අදහස් දක්වන මෙකී වාර්තාව රාජ්‍ය නායකයා පැසසුමට ලක් කරමින් චෝදනා වලට වගකිව යුතු පාර්ශවයන් තවදුරටත් නිරුපද්‍රිතව සිටින බවට සටහන් තබා තිබේ. නමුත් මේ චෝදනාවන්ට ලක්වූ පාර්ශවයන් වූ කලී රාජ්‍යයෙන් වෙන්ව පවතින කොටසක් නොව, රාජ්‍ය නායකයා ද අයත් කුලකයට අයත් එකම කණ්ඩායමකි. ඇත්තෙන්ම සිංහල බෞද්ධ ජාතිවාදී පදනම ආරක්ෂා කරනු ලබන පළිහ මෙය වේ. එම නිසා වෙනසකට ලක් කළ යුත්තේ එම රාජ්‍ය ව්‍යුහයේ පදනම ය. නමුත් මේ පිළිබඳව වාර්තාව මගින් සෘජුව හෝ වක්‍රව අවධානයට ලක්කර නොමැත.දෙමළ ජනයා සන්ධිස්ථානයක

දෙමළ ජනයා සන්ධිස්ථානයක

මේ සියල්ල දෙමළ ජන දැක්මෙන් බැලූ කල්හි සාධනීය හා නිශේධනීය කරුණු සේ දැක්විය හැකි ය. නීතිමය දෘෂ්ටි කෝණයෙන් සළකා බැලීමේදී තවත් බොහෝ ක්‍ෂුද්‍ර කරුණු අනාවරණය කර ගත හැකි බව නිසැක ය.

දෙමළ ජනයා මෙම වාර්තාව කෙසේ පිළිගනු ඇත්ද?

දෙමළ ජනයා පිළිගත්ත ද , ප්‍රතික්‍ෂේප කළ ද, මෙම සැළැස්ම ක්‍රියාත්මක වීම නොවැළැක්විය හැකි ය. එක්සත් ජාතීන් යනු රාජ්‍යයන් සඳහා වන වේදිකාවකි. එහිදී  සිදුවන්නේ රාජ්‍ය නොවන පාර්ශවයන් මත රාජ්‍ය පාර්ශ්වික සන්ධානයන් විසින් ඔවුන්ගේ තීරණයන් බල පැවැත්වීමයි. දෙමළ ජනයා උගත යුත්තේ රාජ්‍යයක් නියෝජනය නොවන පාර්ශවයන් මෙම කෘර යථාර්තයට මුහුණ දී ඉන් නිදහස් වන්නේ කෙසේද යන්න ය.

මීට වසර 28 කට පෙර ඉන්දු - ලංකා සාම ගිවිසුමට එළඹී මොහොතේද ම් හා සමාන පසුබිමක් නිර්මාණය විණි. දෙමළ විමුක්ති කොටි සංවිධානය මෙම ගිවිසුමට දැක්වුයේ දැඩි විරෝධයකි. ප්‍රතිඵල වශයෙන් ඊට එරෙහිව යුද ගැටුම් ද ඇති විය. නමුත් දශක ගණනාවකට පසු දැන් පළාත් සභා ක්‍රමය යථාර්ථයක් බවට පෙරළී ඇත. එම යථාර්ථය අනුව උතුරු පළාත් සභාව සඳහා තෝරාපත්කර ගත් ප්‍රධාන අමාත්‍යවරයා දැන් ප්‍රකාශ කරනුයේ එම පළාත් සභාව අංගවිකල බව ය. එසේම එකී පළාත් සභාව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් හා වර්ග සංහාරය පිළිබඳව පක්ෂ නායකයන්ට බලපෑම් කිරීම වෙනුවෙන් යෝජනා ද සම්මත කරයි. මෙම කරුණු දැක්වීම මගින් පළාත් සභා ක්‍රමය අනුමත කිරීමට මා අදහස් නොකරන නමුත් රාජ්‍ය පාර්ශවයන් විසින් රාජ්‍යයක් නියෝජනය නොකරන පාර්ශවයන් වෙත තීන්දු - තීරණ හා පරීක්‍ෂණ යාන්ත්‍රණයන් එබ්බවීමට දරණ ප්‍රයත්නය, දෙමළ ජනයාට බලපාන්නේ කෙසේද යන්න පෙන්වා දීමටත්, පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් සමග එවැනි පයත්නයකට මුහුණ දිය යුතු බව පැවසීමටත් යෝග්‍ය නිදසුනක් ලෙස පමණක් එය අවධාරණය කළ බව කීමට මම කැමැත්තෙමි.

ඉතිහාසය දැන් එක් සන්ධිස්ථානයකට පැමිණ තිබේ. දෙමළ ජනයා පිළිගත්ත ද, නොපිළිගත්ත ද  එක්සත් ජාතීන්ගේ වාර්තාව ජාත්‍යන්තර යථාර්ථයකි. දැන් දෙමළ ජනයා විසින් කල්පනාකාරීව තීන්දුවක් ගත යුතු ය. දෙමුහුන් පරීක්‍ෂණ යාන්ත්‍රණය ප්‍රතික්‍ෂේප කර ඉන් බාහිරව සිට ඊට විරෝධය දක්වනවාද? නැතහොත් ඊට සහභාගිවී එහි ඇති අඩුපාඩු හෙළිකරනවාද?

කළ යුත්තේ කුමක්ද?

නවීන දේශපාලනයේදී රාජ්‍ය තාන්ත්‍රික බව යනු සහභාගිත්වය වැනි අර්ථයක් ගෙනේ. දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණයට සහභාගිවීම මගින් එහි අඩුපාඩු හෙළි කිරීමේ හැකියාව දෙමළ ජනයා සතුව පවතී.

නමුත් ශේෂව පවතින ප්‍රශ්න කිහිපයකි.

අනෙක් අතින් තවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් වත්මන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය පළකර ඇති මුත් එක්සත් ජාතීන් විසින්ම දැඩි චෝදනාවට ලක් කළ රජයේ ආරක්ෂක අංශයේ ප්‍රධාන නිලධාරියෙකුට 'ෆීල්ඩ් මාර්ෂල්' වැනි උසස් නිලයක් ලබා දී ඇත්තේ ද මේ ආණ්ඩුව මගිනි. මේ අයුරින් යුද ජයග්‍රාහකයන්ව පැසසුම් කරන මේ ආණ්ඩුව ඔවුන්ට එරෙහි පරීක්‍ෂණ සඳහා වූ දෙමුහුන් යාන්ත්‍රණය වෙත කෙතරම් විශ්වාසදායකව සහාය ලබා දෙනු ඇත්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ලබා දී ඇති නීති ප්‍රතිපාදන තමන් වෙත තබා ගැනීම මගින් නීතිමය ආයතනික පදනම කෙතරම් දුරකට ජාත්‍යන්තර තත්ත්වයට සහාය වනු ඇත්ද?

දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණයේ මෙන්ම දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණයේ තිබිය හැකි මුලික දුර්වලතාවය කුමක්ද? එම යාන්ත්‍රණ දෙකෙන්ම සිදුවනු ඇත්තේ චෝදනා ලැබූ පාර්ශවයන්ම යුක්තිය පසිඳලීමේ  පාර්ශවයන් ද වීමයි.

සිංහල - බෞද්ධ ජාතිවාදී පදනම යුද ජයග්‍රාහකයන්ව අත් හරිනු ලැබ ඔවුන්ව පාවා දෙනු ඇත්ද?

මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය හැක්කේ දෙමුහුන් පරීක්‍ෂණ යාන්ත්‍රණයේ පවතින අඩුපාඩු හෙළි කිරීම මගිනි. එම නිසා දෙමළ ජනයා මෙම දෙමුහුන් පරීක්‍ෂණ යාන්ත්‍රණයට මුහුණ දී , එසේ නැතහොත් ඊට සහභාගීවීම මගින් එහි අඩුපාඩු හෙළි කිරීමට  අවශ්‍ය නිපුණතා දැනුම වැඩි කර ගත යුතු ය.

උතුරු පළාත් සභාව හා තමිල්නාඩු ආණ්ඩුව ජාත්‍යන්තර පරීක්‍ෂණයට පක්ෂව යෝජනා සම්මත කර තිබේ. දෙමුහුන් පරීක්‍ෂණ යාන්ත්‍රණයට මුහුණ දීම සඳහා විශේෂඥ දැනුම එක් කිරීමට වෙර දරණ පාර්ශවයන් විසින් උතුරු පළාත් සභාව හා තමිල්නාඩු ආණ්ඩුවේ සහයෝගය ඒ සඳහා යොදා ගත හැකි ය.  නිජබිම, දකුණු ඉන්දියාව හා විදේශ ගත දෙමළ ප්‍රජාව යන පාර්ශවයන් එක් අරමුණකින් එක් පොදු වැඩ පිළිවෙලක් හරහා දෙමුහුන් පරීක්ෂණ යාන්ත්‍රණයට මුහුණ දිය යුතුව තිබේ. ඒ අනුව යුධ අපරාධ චෝදනා පිළිබඳ පරීක්‍ෂණයන් පදනම් දෙකක සිට ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.

මේ පදනම් දෙකින් පළමුවැන්න, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සඳහා වන ඉල්ලීම ඉදිරියට ගෙන යාමේ අරගලයයි. මෙහිදී අඩුම වශයෙන් නව යෝජනා, හා නව වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වීම තුළින් ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය යොමු කරවා ගැනීම සිදු කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ මතුවන ගැටළුවක් වන්නේ චෝදනාට ලක් කෙරෙන දේශීය පදනම  සමග හවුල්ව පිහිටුවන ලද දෙමුහුන් යාන්ත්‍රණය හරහා යුක්තිය ඉටුකරගැනීමට හැකි බව පිළිගැනීමයි. මෙය ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ  සමාජයේ අභිප්‍රායයන් හා ජාත්‍යන්තර දේශපාලනය අතර පවතින අවුල් සහගත තත්වය පෙන්නුම් කරයි. එක් අතකින් ඊළම් දෙමළ ජනයාට අයුක්තියක් සිදු වී ඇතැයි යන කාරණාව ජාත්‍යන්තර අනුකම්පාවට හේතු වී ඇති බවක් පෙනේ. එහෙත් එම අයුක්තීන් පිළිබඳව පරීක්‍ෂණ කිරීමට තීරණය කරද්දී ඊට එරෙහිව ජාත්‍යන්තර දේශපාලන උවමනාවන් ඉදිරියට පැමිණ තිබේ. දෙමළ ජනයා යුක්තිය වෙනුවෙන් තම අරගලය අත් නොහැර ඉදිරියට ගෙන යා යුත්තේ ඒ නිසා ය. ඉහත කී ජාත්‍යන්තර අභිප්‍රායන්, එ්වා නොතකා ක්‍රියා කරන රාජ්‍යයන්ට බලපෑම් කරන බලවේගයක් ලෙස පරිවර්ථනය කර ගැනීම එක් කාර්යභාරයකි.

දෙවැනි පදනම වනුයේ ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රතිඵලයක් ලෙස ලබා ඇති මේ දෙමුහුන් පරීක්‍ෂණ යාන්ත්‍රණයට සහභාගීවී එහි ඇති අඩුපාඩු හෙළි කිරීම ය. රාජ්‍යයන් නියෝජනය කරන පාර්ශවයන් තමන්ගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙසේ අරඹනු ඇතිද යන්න දැන් අපට හොදින් වැටහේ. පිළිගත් නිල රාජ්‍ය ව්‍යුහයක් නියෝජනය නොකරන පාර්ශවය වන ඊළම් දෙමළ ජනයා යුක්තිය සඳහා වන තම අරගලය කෙසේ ඉදිරියට ගෙන යනු ඇත්ද යන්න තීරණය වනුයේ මේ අනුව ය. අනෙක් අතින්, දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට  සිය දුරදර්ශී බව හා හැකියාව පෙන්වීමට තවත් එක් අවස්ථාවක් ලැබී තිබේ.☐

නිලාන්දන්


© JDS