නිලාන්දන්: සම්බන්ධන් සිංහල ජනයාගේ විපක්‍ෂ නායකයාද?

රාජවරෝධයම් සම්බන්ධන් ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකයා වශයෙන් පත්වීම පිළිබඳ ලිබරල් ආකල්ප සහිත සිංහල ජනයා තුටු වෙති. ජාතීන් අතර සහයෝගීතාව හා සමානත්වය පිළිබඳ සංකේතාත්මක නියෝජනයක් සම්බන්ධන් විසින් සපයනු ඇතැයි ඔවුහු කල්පනා කරති. 'තමන් දෙමළ ජනයාගේ නොව, සියළු ජනයාගේ විපක්‍ෂ නායකයා ලෙස ක්‍රියා කිරීමට තරයේ සිතට ගත යුතු' බව ඇතැම්හු සම්බන්ධන්ට අවවාද සපයති. නමුත් දෙමළ ජනයාගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ සම්බන්ධන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ දෙමළ ජනයා අතර පවතින සංවාදය වැදගත් සේ සළකා වටහා ගන්නට සිංහල කියවන්නන් එතරම් උත්සුක නොවේ. 

'යාල් තිනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'சம்பந்தா; ஒரு சிங்கள எதிர்க்கட்சித் தலைவரைப் போலவா செயற்படப் போகிறார்?' මැයෙන් ලියන ලද ලිපිය, සම්බන්ධන්ගේ නව භූමිකාව පිළිබඳ දෙමළ ජනයා තුළ වර්ධනය වන සංශය හකුළා දක්වයි.

පරිවර්තනය:  ප්‍රියදර්ශිනී රත්නසාමි සහ අතුල විතානගේ


ම්බන්ධන් විපක්‍ෂ නායක ධුරයට පත්ව ක්‍රියා කරන්නට අරමුණු කරන්නේ කෙසේද? මේ පැනයට පිළිතුරු සොයාගැනීමේදී තවත් ප්‍රශ්න දෙකක් මතු වේ. පළමු පැනය වන්නේ  ඔහුව විපක්‍ෂ නායක ධුරයට තෝරාගැනීමට පදනම් වූ දේශීය පසුබිම කුමක්ද යන්න ය. දෙවැන්න වනුයේ ඔහු විපක්‍ෂනායක ධුරය සඳහා තෝරා පත් කරගැනීමට පදනම් වූ කලාපීය හා ජාත්‍යන්තර පසුබිම කුමක්ද යන්න ය.

විපක්‍ෂ නායක ධුරය සඳහා ඔහුව තෝරා ගනු ලබන්නේ කුමක් නිසාද? පාර්ලිමේන්තුවේ විපක්‍ෂය හා   ආණ්ඩු පක්‍ෂය වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද? මෙයට හේතුව ලෙස දැක්විය හැක්කේ ඉකුත් ජනවාරි 8 සිදු වූ ආණ්ඩු පාලනයේ වෙනස ය. එම වෙනස ආණ්ඩු පක්‍ෂයට එරෙහිව එම පක්‍ෂයේම නියෝජිතයන් ක්‍රියාකරවීමට සැලැස්වීම මගින් ඇතිවූ දෙයකි. ඊළඟට මතුවන පැනය නම්, පැවති ආණ්ඩුවේ වෙනසක් ඇතිවීමට හේතුව කුමක්ද යන්න ය.  හේතුව යුද ජයග්‍රහණය පසුබිම් කොටගෙන වර්ධනය වූ සුවිශේෂිත තත්ත්වයන් ය. මේ යුද ජයග්‍රහණය උපයෝගී කරගනිමින් චීනය මෙරට තුළ තම ස්ථාවරත්වය තහවුරු කරගැනීම වෙනුවෙන් මාර්ග පුළුල් කරමින් තිබිණි. යුද ජයග්‍රහණයේ පාර්ශවයන් ලවාම පෙර කී ජයග්‍රාහකයන් පරාජයට පත් කිරීමේ අවශ්‍යතාවය ඇමෙරිකානු - ඉන්දීය පාර්ශවයන්ට මතු වූයේ ඒ හේතුවෙනි. දැනට ඇති පාර්ලිමේන්තු සංයුතිය නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දැන් ලැබී ඇත්තේ ආණ්ඩුව හා විපක්‍ෂය එකිනෙකාගෙන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි පාර්ලිමේන්තුවකි. ඒ අනුව දැනට පැන නැගී ඇති ප්‍රශ්න සියල්ලටම එක්තරා ආකාරයකින් පදනම සකස් කරන ලද්දේ  'යුද ජයග්‍රහණය' ලෙස හැඳින්විය හැක.

යුද ජයග්‍රහණයේ උන්මාදය යනු  2009 වසරේදී එළි දුටු  ජාතිවාදයේ නව මුහුණු වරකි. ඒ ජාතිවාදයේ උපරිම වර්ධනයේ ප්‍රතිපලයේ ප්‍රතිඵලය දැනට නිර්මාණය වී ඇති පාර්ලිමේන්තුව ය.

'සිංහල ජාතිවාදයේ පතිඵලයේ ප්‍රතිඵලය'

සම්බන්ධන් විපක්‍ෂ නායක ධුරයට පත් වනුයේ විධිමත්  ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලියකින් නොව, ජාතිවාදයේ ප්‍රතිඵලය නිසා දුර්වල වූ ප්‍රජාතාන්ත්‍රික පදනමේ ප්‍රතිඵලයක් වශයෙනි. එම නිසා සම්බන්ධන් විපක්‍ෂ නායක වීම ජාතිවාදයේ ප්‍රතිඵලයේ ප්‍රතිඵලයකි. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, ශ්‍රිලනිපය ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නොපවතී. මෙය වෙනත් අයුරකින් සදහන් කරන්නේ නම් විපක්‍ෂයක් ලෙස ක්‍රියා කිරීමේ බලය අහිමිව වීමකි. අදට 38 වසරකට පෙර ද ශ්‍රීලනිපයට ප්‍රධාන විපක්‍ෂය ලෙස ක්‍රියාකිරීමට නොහැකි තත්ත්වයක් උදාවුණු අවස්ථාවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විපක්‍ෂයක් ලෙස තෝරා පත් කර ගැනිණි.

මෙම තෝරා පත්කර ගැනීම් අවස්ථා දෙකේදීම සමානකම් හා වෙනස්කම් දක්නට ලැබේ. පළමුවෙන් අප සමානකම් පිළිබඳව විමසා බලමු. මේ අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නොහැකියාව විසින් දෙමළ පාර්ශවයට වාසිදායකත්වයක් නිර්මාණය කරනු ලැබුණි. 1971 දියත් කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල එවකට අගමැතිනි සිරිමා බණ්ඩාරනායක ඉතාමත් කෘර ලෙස යටපත් කළාය. එසේම 1975 දී පැවැත්වීමට නියමිතව තිබු මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමුවාය. පසුව ඇය අනුගමනය කරනු ලැබු ආර්ථික ප්‍රතිපත්තිය නිසා පීඩනයට හා කෝපයට පත්ව සිටි සිංහල ඡන්දදායකයා තමන් වෙත නම්මා ගැනීමට ජයවර්ධන සමත් විය.එය සාමකාමී කාලවකවානුවකි. විවෘත ආර්ථිකයේ නියමුවා ලෙස ජයවර්ධන විසින් සිරිමා පරාජය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පළමු කැරැල්ල යටපත් කර වසර හයකට පසුව ය.

1977 දී මැතිවරණ ආසන 140ක් බලය ලබා ගනිමින් ජයවර්ධන අතිවිශාල ජයක් ලැබූ අතර සිරිමා වෙත හිමි වුයේ මැතිවරණ ආසන අටක් පමණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණ ආසන 18 ක බලය හිමි කර ගත්තේය. මෙය පළමු සමානකම ලෙස දැක්විය හැක.

ජේ.ආර් - රනිල් සහ අමිර්තලිංගම් - සම්බන්ධන්

දෙවැන්න මේ වෙනස්කම් දෙකේදීම බටහිර රටවල් වල මැදිහත්වීම කැපී පෙනේ. ජේ.ආර්. ජයවර්ධන යනු බටහිර ලෝකයේ සුරතලෙකි. ඔහුගේ බෑණා වූ රනිල් වික්‍රමසිංහ ද බටහිර ලෝකයේ සුරතලෙක් වී මෙම වෙනසට දායකවී සිටියි. මේ මැතිවරණ දෙකේදීම ජයග්‍රහණය කරනු ලැබුයේ බටහිර ලෝකයේ වැඩ සටහන ය.

දැන් වෙනස්කම් දෙස බලමු. 1977 වකවානුවේදී ඉන්දියාව හා ඇමෙරිකාව භූ දේශපාලනික අරුතින් හවුල්කරුවන් නොවූ අතර එකිනෙකට පසමිතුරු ධ්‍රැව දෙකක් ලෙස කටයුතු කළෝය. නමුත් අද වන විට ඊට හාත්පසින් වෙනස් නව ලෝක තත්ත්වයක් ඇති බැවින් ඉන්දියාව හා ඇමෙරිකාව ඉතා සමීප භූගෝලීය හවුල්කරුවන් බවට පෙරළි තිබේ.

දෙවැනි කාරණාව ආණ්ඩුව හා විපක්‍ෂය එකිනෙකාට වෙන්වෙන්ව හඳුනා ගැනීමට නොහැකි දේශපාලන වාතාවරණයක් ඇතිව තිබීම ය.

තෙවනුව 1977 දී දෙමළ පාර්ශවය පාර්ලිමේන්තුවට ප්‍රවේශවීමට ලබා ගත් ජනතා තීන්දුවටත්, දැන් ලබා ඇති ජනතා තීන්දුවත් අතර බොහෝ වෙනස්කම් තිබේ. 1977 දී මැතිවරණය පැවැත්වීමට වසරකට පෙර 1976 දී වඩුක්කෝඩෙයි ප්‍රකාශනය එළි දැක්විණි. අමිර්තලිංගම් පාර්ලිමේන්තුවට පැමිණියේ  ඒකීය රාජ්‍ය වෙනුවට වෙනම ස්වාධීන රාජ්‍යයක් ඉල්ලා, එම තීරණයට පකක්‍ෂව ලබා ගත් ජනතා කැමැත්ත මත ය. ඒ වනවිට සම්බන්ධන් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ලැබුණු ජනතා තීන්දුව ඉතාමත් දැඩි ස්ථාවරයක් මත පිහිටා ගත් කාලීන වැදගත් කමක් ඇති තීන්දුවකි. එවන් ජනතා තීන්දුවක් මගින් පාර්ලිමේන්තුවට ප්‍රවේශ වූ  පක්‍ෂයක් දැඩි විරෝධාකල්ප දේශපාලනය ඉදිරියට ගෙන යනු ලැබුණි.

එහෙත් අද පවතින තත්ත්වය එසේ නොවේ. ඉකුත් වසර හය පුරා දෙමළ ජාතික සන්ධානයේ විධායක සභාව ටිකෙන් ටික ළඟා වුයේ සම්මුතිකාමී දේශපාලනය වෙත ය. විපක්‍ෂ නායකධුරයට තෝරා පත් කරගැනීමෙන් අනතුරුව සම්බන්ධන් විසින්  බීබිසී සිංහල සේවයට ලබා දුන් ප්‍රකාශය තුළ මේ සම්මුතිකාමී දේශපාලනය මැනවින් ප්‍රදර්ශනය විය. එහිදී ඔහු කියා සිටියේ තමන් සිංහල විපක්ෂ නායකයෙකු ලෙස කටයුතු කරන්නට සුදානම් බව ය. එමෙන්ම ඒකීයභාවයට එරෙහිව බෙදී වෙන්වීම නොඉල්ලන බව ඔහු දැඩි ලෙස කියා තිබේ.

මේ ගැන  අවධානය යොමු කළහොත් ජනතා තීන්දුවට අනුව 1977 දී අමිර්තලිංගම් ක්‍රියාකළ අයුරු හා දැන් සම්බන්ධන් කටයුතු කරන ආකාරය අතර ඇත්තේ විශාල වෙනසකි.

සිව්වන වෙනස වන්නේ 1977 දී දෙමළ ජනයාගේ ආයුධ සන්නද්ධ අරගලය එළිපිට නොවූ තත්ත්වයකදී අමිර්තලිංගම් කටයුතු කළ අතර දැන් එම සන්නද්ධ අරගලය පරාජය කර වසර හයක් ඉක්ම ගොස් තිබීමයි. එම ආයුධ සන්නද්ධ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් වසර හයේදී ජාතික ප්‍රශ්නය ජාත්‍යන්තර දේශපාලනයේ අවධානයට යොමුව ඇති පසුබිමක සම්බන්ධන් විපක්ෂනායක ධුරයට පත්ව සිටියි.

ගෝලීය හා කලාපීය සාධක

මේ සියල්ල 1977 -2015 දක්වා කාලවකවානුව ඇතිවූ සමාන හා අසමානකම් ය. මේ ලිපියේ මතු කර ඇති දෙවැනි ප්‍රධාන පැනයට යොමුවීමට මේ සමාන - අසමානතා වටහා ගැනීම වැදගත් ය. සම්බන්ධන් තෝරා පත් කරගැනීමට හේතු වූ කලාපීය හා ජාත්‍යන්තර පසුබිම කුමක්දැයි අපි මීට පෙර සාකච්ඡා කර ඇත්තෙමු. ඇමෙරිකානු - ඉන්දියානු පාර්ශවයන්ගේ මුලිකත්වයෙන් සිදු වූ ලැබූ ලංකාවේ ආණ්ඩු වෙනස්කම්වලින් අනතුරුව ඊළඟ පියවරයන් බලාත්මක කිරීමට දැන් කටයුතු කරමින් සිටි. ඒ ආණ්ඩු වෙනසින් ඇතිව තිබෙන බලතුලනය වෙනත් කිසිදු පාර්ශවයකට අවුල් කිරීමට නොහැකි අයුරින් සිය දේශපාලන ඉත්තන් හසුරුවමින් සිටිනු දැන් දක්නට හැකි ය.

සිංහල ජාතිවාදීන් හා දෙමළ ජනයාගේ පාර්ශවයන් මෙම තත්ත්වයට හානි නොකළහොත් දැනට පවතින බලතුලනයට හානි නොවනු ඇත. ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදීන්ට කලක දී නායකත්වය දෙනු ලැබූ මහින්ද රාජපක්ෂව අඩපන කර හමාර ය. යුධ අපරාධ හැර අනෙකුත් අපරාධ පෙන්වා රාජපක්ෂ පවුල බියෙන් හා සැකයෙන් තබා ගැනීමට ඔවුනට එරෙහි පරීක්ෂණ ඇරඹී තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව රාජපක්ෂ සොයුරන්ට තම ආත්ම ආරක්ෂාව පතා කටයුතු කිරීමේ පසුබිමක් නිර්මාණය වී තිබීම දැකිය හැකි ය.

රාජපක්ෂ බල අධිකාරිය පරාජයට පත් කරන තෙක්  දෙමළ ජනයාගේ දුක් කම් කටොළු හා වේදනාවන් පාලිත ආකාරයකින් ජාත්‍යන්තරය වෙත ගෙනයාමේ උවමනාව බටහිර රටවලට පැවතිය ද, මේ වනවිට එවන් අවශ්‍යතාවක් නොමැත. එසේම 'ජාත්‍යන්තර පරීක්ෂණය' නමැති තේමාව ඉදිරියට දමා දකුණේ සිටින ජාතිවාදීන් බලාත්මක විය හැකි බවට සැක හා බිය ඇමෙරිකානු හා ඉන්දියානු පාර්ශවයන්ට පවතී. එම නිසා දෙමළ ජනයාගේ ප්‍රශ්නය ජාත්‍යන්තර මට්ටමට ගෙන නොයාමට කටයුතු කිරීම මේ වන විට ඔවුන්ගේ උවමනාව වී තිබේ.

හිස් කබලේ ඇණුනු පිහියක්

ජාත්‍යන්තර මට්ටමෙන් කතිකාවට ලක්වෙන දෙමළ ජනයාගේ ප්‍රශ්නය 'ජාත්‍යන්තර පරීක්ෂණය' යන අවසන් ඉලක්කය දෙසට ගමන් කිරීමට ක්‍රියා කිරීම මගින් දෙමළ ජනතාව තමන්ගේ දීර්ඝ කාලීන අරගලය රැකගැනීමට ප්‍රයත්න දැරිය යුතු ය. දෙමළ ජාතික සන්ධානයේ හා දකුණු අප්‍රිකානු නියෝජිතයන් එකිනෙකා හමු වූ පසුගිය දිනෙක එක් දකුණු අප්‍රිකානු නියෝජිතයෙක් කියා සිටියේ “ජාත්‍යන්තර වශයෙන් දෙමළ ජනයාට සාධාරණයක් ඉටුවේවිද, නැද්ද යන්න ගැටළුවක් නොවේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන ඉල්ලීම ඔබ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු ය. එවිට එය සිංහල -බෞද්ධ ජාතිවාදයේ හිස් කබලේ ඇනුණු පිහියක් මෙන් තිබෙනු ඇත” යනුවෙනි. නමුත් සිංහල විපක්‍ෂනායක ලෙස ක්‍රියාකිරීමට සැරසෙන සම්බන්ධන් ජාතික ප්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් ගෙන යනු ඇතිද? එසේ නැතහොත් ජාත්‍යන්තර වශයෙන් එකී ගැටළුවේ වලංගුතාව විනාශකර දමන්නට කටයුතු කරනු ඇත්තේද?

දකුණේ ජීවත්වෙන කම්කරු ක්‍රියාකාරිකයෙක් වන මගේ මිත්‍රයෙකු වරක් මා සමග කියා සිටියේ දෙමළ ජනයා අතර සිටින නායකයන් අතරින් සිංහල ජනයා අතර ඉමහත් ප්‍රසාදයට පත් දෙමළ නායකයා වන්නේ සම්බන්ධන් බව ය. එම නිසා අට වැනි පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ දේශපාලනඥයන් අතරින් එක් අයෙක් වන සම්බන්ධන් ජාතික ප්‍රශ්නයට ඇති වලංගුතාව ජාත්‍යන්තර වශයෙන්ම විනාශ කිරීමට ක්‍රියා කිරීම තුළින් ඇමෙරිකානු - ඉන්දියානු පාර්ශවයන්ගේ හා සිංහල ජනයාගේ හදවත් හි ලැගුම් ගැනීමට ක්‍රියා කරන්නේද, නැතහොත් ජාත්‍යන්තර පරීක්ෂණය සඳහා වූ තත්ත්වයන් වැඩි දියුණු කිරීමට ක්‍රියා කිරීම මගින් තමන්ට ජන්දය දුන් ජනයාගේ හදවත් වල රැඳී සිටීමට ක්‍රියා කරනු ඇත්තේද යන්න තව දුරටත් නොවිසඳුණු ගැටළුවක් ව පවතී.☐

නිලාන්දන්


© JDS