නිලාන්දන්: දෙමළ ඡන්දදායකයා තේරුම් ගත යුත්තේ කෙසේද?

පාර්ලිමේන්තු මැතිවරණය ආසන්නයේ යාපනයේ පළවන 'යාල් තිනක්කුරල්' පත්‍රයේ දේශපාලන ලේඛක නිලාන්දන් මෙසේ ලීවේය: "ඉකුත් වසර පහ තුළ දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාව හමුවේ තැබූ එකදු පොරොන්දුවක් ඉටුකිරීමට ඔවුන් සමත් නොවීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනු ලබයි. මධ්‍යස්ථ මතධාරී දේශපාලනය තුළ ලබාදෙන පොරොන්දු ඉටුකිරීම කෙරෙහි ජනතාවගේ මහත් අවධානයක් පවතී.....2009 ට තරම් ඈත දී පවා දෙමළ ජාතික සන්ධානය කරනු ලැබූ සුළු වැරදීම් සම්බන්ධයෙන් අද වන විට ඔවුන් වෙත එල්ල වන්නේ දැඩි විවේචනයන් ය. දෙමළ ජාතික සන්ධානය වෙත ඡන්දය ලබා දුන් බොහෝ පිරිස් ඊට එරෙහිව වන අතර මධ්‍යම පාන්තිකයන් තුළ මේ තත්ත්වය බහුල ය."

නමුත් අගෝස්තු 17 වැනිදා මැතිවරණ ප්‍රතිඵලය විසින් දෙමළ ජාතික සන්ධානය, එහි ප්‍රතිවාදී බලවේග අභිබවා යළිත් දෙමළ දේශපාලනය තුළ පෙරමුණට ගෙනවිත් තිබේ. මැතිවරණයෙන් පසු 'தமிழ் வாக்காளர்களை எப்படி விளங்கிக் கொள்வது?' මැයෙන් නිලාදන්දන් විසින් ලියන ලිපිය මගින් ඔහු සිය පූර්ව මැතිවරණ අනුමානයන් පිළිබඳ නැවත විමසා බැලීමට මෙන්ම, දෙමළ ඡන්දදායක මනෝභාවයන් පිළිබඳ මතුවන ගැටළු සම්පින්ඩණය කිරීමටද උත්සුක වේ.

පරිවර්තනය: ජීවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


දෙමළ ජන්දදායකයන් විසින් තවත් වතාවක් දෙමළ ජාතික සන්ධානය බලයට පත් කර තිබේ. ඒ 2003 වසරේ සිට අඛණ්ඩව බලයේ සිටීමේ තවත් එක් දිගුවක් ලෙසිනි. සන්නද්ධ අරගලයේ නිමාවත් සමග දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව දෙමළ ජනයාගේ විමර්ශනාත්මක නෙත් යොමුවෙමින් තිබුණු සන්දර්භයක් තුළ මෙවැනි ප්‍රතිඵලයක් උදා වී ඇත. දෙමළ සමාජයේ බහුතර බුද්ධිමතුන් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය ගැන සෑහීමකට පත් නොවිණි. මේ ලියන මා ඇතුළු බොහෝ දෙනා දෙමළ ජාතික සන්ධානය විවෘතව ප්‍රශ්න කරනු ලැබූවන්ට අයත් වූහ. ඇත්ත නම්, ඒ බොහෝ දෙනාගේ සහාය පැවතියේ දෙමළ ජාතික ජනතා පෙරමුණට බව ය.

දෙමළ ජනමාධ්‍ය තුළ, විශේෂයෙන්ම සංස්කාරක මණ්ඩල තුළ පවා පැවතියේ දෙමළ ජාතික සන්ධානය ප්‍රශ්න කරන ස්වරුපයකි. යාපනේ මාධ්‍ය තුළද පැවතියේ එවැනිම තත්ත්වයකි. උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේශ්වරන් සහ  විදෙස්ගත දෙමළ ප්‍රජාව ද මෙවැනිම ස්ථාවරක් දැරූහ. අන්තර් ජාල සමාජ වෙබ් අඩවි ඔස්සේ ද දෙමළ ජාතික සන්ධානයට  විවේචන එල්ල කෙරෙනු දක්නට ලැබුණි. මේ සියළු කාරණා සළකා බැලීමේදී පෙනී ගියේ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණට වාසි සහගත පසුබිමක් නිර්මාණය වෙමින් ඇති බව ය. මේ තත්ත්වය කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තුළ බිය හා සැක මතු වුණු අතර ඒ නිසාම ඔවුන්ගේ සමහරු මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කළහ. නමුත් මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරනු ලැබුවේ ඒ සියල්ලම එතරම් තීරණාත්මක නොවූ බව ය.

ප්‍රශ්න වැලක්

දෙමළ ජාතික සන්ධානය කෙරෙහි වූ කළකිරීම තමන්ට අවශ්‍ය ඡන්දයක් ලෙස හරවා ගැනීමට සෙසු පාර්ශවයන්ගේ අසමත් වීමත්, විශේෂයෙන් දෙමළ දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයන්ගේ මතය හා සාමාන්‍ය  ජනයාගේ පිළිගැනීම අතර විශාල පරතරයක් ඇති බවත් මෙම මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙන්නුම් කර තිබේ.

“දෙමළ ජනයා කියන්නේ කවුද? අපිට එදිනෙදා හමුවෙන පිරිස විතරදැ?”යි සමාජ ක්‍රියාධරයෙකු වරක් විමසනු ලැබුණි.  ඒ ප්‍රශ්නය විසින් තව දුරටත් සනාථ කරනුයේ දෙමළ සාමාන්‍ය ජනයා හා දෙමළ සමාජයේ බුද්ධිමතුන් අතර ඇති සම්බන්ධතාවයේ දුරස්ථ බව ය. දෙමළ ඡන්දදායකයා දෙමළ ජාතික සන්ධානයට සිය ජන්දය ලබා දීමෙන් නිර්මාණය කරනු ලැබූ ප්‍රතිඵලය ගැන අර්ථකතනයක් ලබා දීමට සිදුවන්නේ මෙවැනි තත්ත්වයක් තුළ ය.

මෙහිදී මතුවන ප්‍රශ්න ගණනාවකි.

දෙමළ ජනයා වෙනසකට කැමති නැද්ද එසේ නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඔවුන් සෑහීමකට පත්ව තිබේද? මැතිවරණ ප්‍රතිඵලය විසින් පෙන්නුම් කරන්නේ දේශපාලන විසඳුමක් අවශ්‍ය නම් ඔවුන්ට ජන්දය ලබා දෙන්නැයි දෙමළ ජාතික සන්ධානය කළ ඉල්ලීම පිළිගැනීමක්ද? එසේ නැතහොත් එමගින් හෙළිදරව් කරනුයේ දෙමළ ජාතික සන්ධානය,  කලකට පෙර දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මැදිහත්වීම් හරහා  නිර්මාණය කරන ලද්දක් නිසා ඔවුන් කෙරෙහි ජනයාගේ පිළිගැනීමක් තිබුණු බව ද? එසේත් නැතිනම්, දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් අය ඉල්ලා සිටි පරිදි දෙමළ ඡන්දදායකයාගේ සමගිය බිඳ වැටීම වැළැක්වීමට ඔවුන්ට ජන්දය ලබා දුන්නේද?  “එක් රටක්,ජාතීන් දෙකක්” යන දේශපාලන සටන් පාඨය ප්‍රතික්‍ෂේප කරමින් “එක් රටක් - එක් ජාතියක්” යන සටන් පාඨය පිළිගැනීමක් ප්‍රතිඵලය මගින් තහවුරු කර තිබේද?  ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් පවසන පරිදි “එක් රටක් - එක් ජාතියක්” යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාව අතර නොතිබිණිද? ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස පෙනෙන දෙමළ ජාතික සන්ධානය එම තත්ත්වයෙන් පහත දැමීමට නොහැකි නිසා ඔවුන්ට ජන්දය ලබා දුන්නාද? නැතහොත් ගැඹුරින් සිතා නොබලා හුදු ජාතික අනන්‍යතාවය රැකෙන පරිදි ජන්දය ලබා දුන්නේ ද?

මේ කිසිවක් නොවේනම් මෙවැනි තත්ත්වයක් මතු වීමට හේතුව කුමක්ද?

දේශපාලන ප්‍රහේලිකාව

දෙමළ ඡන්දදායකයන්ගේම  තීරණයකට අනුව ඡන්දය දුන්නා ද? දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසන පරිදි අවසන් මොහොතේ ගෙන ගිය ද්වේශ සහගත ප්‍රචාරය තුළින් ජන්දදායකයන්ගේ සිත් කිසියම් වෙනසකට ලක්වුයේද? එසේ නොමැතිනම් කාලයක් ස්වකීය ජන්දය භාවිතා කළ සළකුණ ඉදිරියෙන් සුපුරුදු පරිදි මෙවරත් කතිරය සටහන කළේද? මේ සියලු පූර්ව කල්පනයන් අතුරින් නිවැරදි වන්නේ කුමක්දැයි විමසා බැලීම දේශපාලන වශයෙන් වැදගත් ය.

දෙමළ ජාතික සන්ධානය පවසනුයේ තමන්ට ඡන්දය ලබා දීමට ජනතාව කලින්ම තීරණය කර තිබු බව ය. එසේ නම් දෙමළ ඡන්දදායකයා විසින් එම තීරණයට එළඹියේ කවදාද? කිනම් කරුණු පදනම් කරගෙනද? එවැනි තීරණයකට එළඹ ඇත්තේ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුව ද සාමන්‍ය ඡන්ද දායකයාට වඩා හොඳින් සිතා බලා ඡන්දය භාවිත කරන ඡන්දදායකයා තීරණයකට එළඹෙන්නේ අවසන් මොහොත තෙක් පෙළ ගැසෙන සිදුවීම් නිරීක්‍ෂණය කරමින් තර්කයකට අනුව ය.

නිමාවුණු මැතිවරණයේදී ප්‍රබල විවාදයක් දක්නට නොලැබුණු අතර ප්‍රචාරක වේදිකාවන් හි  අපේක්‍ෂකයන් අතර පැවති මත ගැටළු ජනතාව අතර නොවිණි. බහුතර ජනතාවක් මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වලට ද සහභාගි නොවී ය. ඒ අනුව සලකා බැලීමේදී දෙමළ ඡන්දදායකයා කිනම් විවාදයක් ඔස්සේ මෙවැනි තීරණයකට එළඹීයේද යන්න සැළකිය යුතු දුරකට ප්‍රහේලිකාවකි.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පරාජය

දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසන පරිදි මැතිවරණය අවසන් මොහොතේ තමන්ට එරෙහිව ගෙන ගිය ප්‍රචාරය හමුවේ ඡන්දදායකයා තීරණය වෙනස් කර ඇති බව ය.  ජනමාධ්‍ය විසින් ද තමන්ට කිසිදු අවස්ථාවක් ලබා දීමට උත්සුක නොවූ බව ද ඔවුන් නඟන තවත් චෝදනාවකි. එම පක්ෂයේම ඇතැමුන් පිළිගන්නා පරිදි ඔවුන්, ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු අරඹා ඇත්තේ ඉකුත් ජනවාරි අට වැනිදායින් පසුව ය. ඊට පෙර එම පක්ෂය ඉතාමත් සුළු පිරිසකට සිමා වූ කුඩා පක්ෂයක් සේ ක්‍රියාත්මක විය. ඔවුන්ට මැතිවරණ අපේක්ෂකයන් සොයා ගැනීමේ දුෂ්කරතාවයක් ද පැවතුණි. ඔවුන් සමග සිටි බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, නීතිවේදීන් ඇතුළු සමාජ ක්‍රියාධරයන් ඔවුන් සමග අනන්‍ය වී කටයුතු කිරීමට මැලි වූහ. යාපනේ මධ්‍යම පාන්තික ජනයාද ඔවුන්ට සහයෝගය පල කිරීමට අදිමදි කමක්  දැක්වූ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් දින රාත්‍රී යාපන සරසවියේ ශිෂ්‍ය සංගමය නමින් නිකුත් කර තිබූ නිවේදනයක් ඒ ක්‍ෂණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ශිෂ්‍ය සංගමය නමින්ම තවත් නිවේදනයක් ජනතාව අතරට පත්විණි. මේ මගින් පෙන්නුම් කරනු ලැබුයේ ඔවුන් අතර ඇති පරතරයේ දිග පළල ය.

දේශපාලනයේදී ප්‍රකටව සඳහන් වන පරිදි විප්ලවයේ පළමු  ගිනි පුපුරු මතු වනුයේ ශිෂ්‍යයන් අතුරිනි. එහෙත් මෙහි එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණි. ශිෂ්‍යයන්ට එරෙහිව ශිෂ්‍යයන්ගේ නම භාවිත කරමින් මෙවැනි දේ සිදුවෙද්දී ඉන් පෙන්නුම් කරනුයේ ඇතැම් විට යාපනයේ විප්ලවීය හදවත සිසුන් නොවූ බව යැයි කෙනෙකුට පෙරළා තර්ක කළ හැකි ය.

දෙමළ ජාතික ජනතා පෙරමුණ මාස දෙකක් පුරා සිය උපරිම ශක්තියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදිණි. එහෙත් ඔවුන් අපේක්ෂා කළ වෙනස ඇති කිරීමට මාස දෙකක් වැනි කාලයක් ප්‍රමාණවත් වීද යන්න ගැටළු සහගත ය. දශකයක් පුරාවට දෙමළ ජනය අතර ස්ථාවරව ඇති සලකුණු, අදහස් හා පදනම් වෙනස් කිරීමට මාස දෙකක කාලයක් කෙසේ නම් ප්‍රමාණවත් වන්නේද?

ඇත්ත වශයෙන්ම මැතිවරණ ප්‍රචාරණ සමයේදී  බුද්ධිමත් දේශපාලන අදහස් ඉදිරිපත් කරනු ලැබුයේ දෙමළ ජාතික ජනතා පෙරමුණ පමණි. එහෙත් සාමන්‍ය ජන්දදායකයා එය කෙතරම් අවබෝධ කරගත්තාද යන්න ගැටළු සහගත ය. බොහෝ දුරට එය එසේ නොවූ බව පැහැදිලි ය.

ඡන්ද ප්‍රතිඵලයේ හැඟවුම්

පෙර පරිදිම උද්ඝෝෂණ දේශපාලනයට මෙවැනි බුද්ධිමත් දේශපාලනය යට වීම මෙවැනි ක්‍රමයක් තුළ සාමන්‍ය පොදු තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ බොහෝ අත්දැකීම් ඇති සිවිල් පරිපාලන නිළධාරියෙකු වන නෙවිල් ජයවීර වරක් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සමග බුද්ධිමත්භාවය කිසිදිනෙක එක් නොවන බව ය. ඒ අනුව සළකතොත් දෙමළ ජාතික ජනතා පෙරමුණ සිය ඉලක්කය ජනතාව අතරට ගෙන නොගිය බවක් මේ මගින් පෙන්නුම් කරන්නේද?

මේ ඡන්ද ප්‍රතිඵලය මගින් දෙමළ ජනයාට මොන යම් හෝ දෙයක් සිදුවිය හැකි ඉඩකඩක් ඇත. එහෙත්  මේ පිළිබඳව විමර්ශණනාත්මකව බැලීමේදී දෙමළ දේශපාලනය තමන්ට අවශ්‍ය ආකාරයට නම්මා ගැනීමට දකුණේ දේශපාලඥයන් කටයුතු කළ බව කීම වඩා නිවැරදි විය හැකි ය.

ජාත්‍යන්තරය පවා පිටු පෑ, යුද තත්ත්වයන් තුළ වේදනාවෙන් පිරි මිනිස්සුන්ගේ ඡන්දයේ බලය හැකිලී ගියේද?  විශේෂයෙන්ම මැතිවරණයෙන් පරාජයට පත් වුණු දේශපාලනඥයන් යළිත් ජාතික ලැයිස්තුව හරහා යළි පාර්ලිමේන්තුවට රැගෙන ඒමට හැකි ප්‍රජාතන්ත්‍රවාදය දෙමළ ජන්දදායකයාට පමණක් නොසළකා හැරීම, කෙතරම් අපරාධයක් ද?

නිලාන්දන්


© JDS