මැතිවරණ සටන් සහ භූ දේශපාලන සංග්‍රාම: තීරණාත්මක වන්නේ කුමක්ද?

 

බොහෝවුන් පවසන පරිදි ඉදිරියේදී එළැඹීමට නියමිතව ඇත්තේ ඉතිහාසයේ මෙතෙක් පැවැති මැතිවරණවලින් අතිශය "තීරණාත්මකම" මැතිවරණයයි. ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරාම මෙවැනි “තීරණාත්මක මැතිවරණ" දක්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්ව ඇතැයි යමෙකු පවසන විට, ඒ වනවිට බලයේ සිටින්නේ එක්සත් ජාතික පක්ෂය නම් එය පරදවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් කර ගැනීමට අපි ඡන්දය දෙමු. බලයේ සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගනු වස් එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරමු. වසර කීපයක් ගතවන විට අප විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය රැකගනු වස් කලින් බලයට පත් කළ පුද්ගලයා හෝ පක්ෂය බලයෙන් ඉවත් කිරීම අපගේ දේශපාලනයේ තීරණාත්මක කර්තව්‍යය බවට පත් වේ.

  මේ තීරණාත්මක කාර්යභාරය ඉටුකරනු වස් අපට නොමිලයේ උපදෙස් සැපයීමට සුදානම් විශාල පිරිසක් හදිසියේ පහළ වෙයි. බලය සඳහා තරඟ කරන දේශපාලකයන්ට සහ ඔවුන්ගේ විවෘත ආධාරකරුවන්ට අමතරව බුද්ධිමතුන් හෝ කලාකරුවන් ලෙස තමන්වම හඳුන්වාගන්නා මන්දබුද්ධිකයන් සහ කලා විහීනයන්ද ඒ අතර වේ. මොවුන්ට අනුව පවත්නා දුර්දාන්ත පාලනය පෙරළා දැමීම සඳහා  ඡන්දය පාවිච්චි කළ යුත්තේ එසේ කිරීමට හැකියාව සතු පක්ෂය වෙත ය. වෙනත් පක්ෂ වෙත ඡන්දය පාවිච්චි කළහොත් ඡන්දය බෙදී යාම නිසා පරාජය කළ යුතු දුර්දාන්ත බලවේගය ජය ගනු ඇත. එහෙයින් ඔවුන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ඡන්දය දිය යුත්තේ බලයට ඒමට හැකි බලගතු පක්ෂය වෙත මිස කුඩා පක්ෂ වෙත නොවේ. එම කුඩා පක්ෂ විසින්  ඒ ප්‍රධාන පක්ෂවල දූෂිත සහ මර්දනකාරී පිළිවෙත්වලට හවුල්වීමේ ඉතිහාසය කුමක්වුව ද , බලගතු පක්ෂ දෙකෙන් එකකට පමණක් ඡන්දය දෙන ලෙස බල කර සිටීමේ “ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව“කුමක්දැයි වෙනම විමසා බැලිය යුතු කරුණකි.

පාලක කල්ලි දෙකේ බල අරගලය සහ ඊනියා තීරණාත්මක මැතිවරණ

පසුගිය දශක කීපයක් තුළ මෙම ක්‍රියාවලිය සිදුවූයේ කෙසේදැයි විමසා බලමු. 1970 "තීරණාත්මක මැතිවරණයේදී" දී අපි ඩඩ්ලිගේ ඒකාධිපති වියරුව පරදවා  සිරිමා බණ්ඩාරනායක බලයට පත් කළෙමු. ඇගේ හත් අවුරුදු ශාපය නිමාකිරීමේ තීරණාත්මක අවශ්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස 1970 දී  බලයෙන් පහකරන ලද එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන්  "ධර්මිෂ්ඨ සමාජයක්" ගොඩනගනු වස් යළිත් වරක් බලයට පත් කළෙමු. එම එක්සත් ජාතික පක්ෂය 17 වසක්  තිස්සේ ජනාධිපතිවරු තිදෙනෙක් යටතේ රට පාලනය කළ අතර  එය පරාජය කර අපි 1977 දී නෙරපන ලද සිරිමාගේ දියණියගේ නායකත්වය යටතේ යළි ශ්‍රීලනිපය බලයට පත් කළෙමු. 2005 වනවිට ඇගේ පාලන වාර දෙක අවසන් වූ අතර ඇගේ පක්ෂ අනුප්‍රාප්තිකයා ලෙස මහින්ද රාජපක්ෂ 2015 දක්වා රට පාලනය කළේය. 2015 ජනවාරියේදී මහින්ද රාජපක්ෂගේ මර්දනකාරී දූෂිත පාලනයට එරෙහිව එම පක්ෂයේම ලේකම්වරයා සහ කැබිනට් ඇමැතිවරයෙකු වූ මෛත්‍රිපාල සිරිසේන බලයට පත් කළෙමු. දැන් 2015 ජූලි මහමැතිවරණයේදී පළවා හරින ලද මහින්ද බලයට ඒම වැළැක්වීම අත්‍යාවශ්‍ය තීරණාත්මක කර්තව්‍යයක් බැවින් 1977-1994 කාලසීමාවේ සිදු වූ සියළු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට කැබිනට් ඇමැතිවරයෙකු ලෙස සහ 2001-2003 කාලයේ දී අගමැතිවරයා ලෙසත් වගකිව යුතු වූ  රනිල් වික්‍රමසිංහත් මහින්දගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වය දරමින් එහි සියළු වංචා දූෂණ සහ සංහාරයන්ට හවුල් වෙමින් සිට පසුගිය ජනවාරි ජනපතිවරණය කට ළඟ තබා පිල්මාරු කළ දූෂිත දේශපාලකයනුත් පත් කරන  ලෙස අපට එක් පිරිසක් උපදෙස් දෙමින් සිටින අතර අනෙක් පිරිස ජනතා විමුක්ති පෙරමුණ වටා ගොනුවෙමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන ලෙස උපදෙස් දෙති.

බ්‍රිතාන්‍යය සිය අන්තේවාසික ස්වදේශීය ධනපති පන්තියට පාලන බලය පවරා නික්ම ගිය පසු මේ දක්වා රට පාලනය කෙරෙන්නේ සිංහල ධනපති පන්තියේ කණ්ඩායම් දෙකක් වන එජාපය සහ ශ්‍රීලනිපය විසිනි. එදා සිට අද දක්වා ඔවුන් සිදු කර ඇත්තේ රටේ සම්පත් කොල්ලකමින් ධනකුවේරයන් බවට පත්වීමත් සමාජ දේහය දුෂණය කරමින් විනාශ කිරීමත් එයට එරෙහිව නැගී සිටින කොටස් සංහාරය කර දැමීමත් පමණකි. මාරුවෙන් මාරුවට වසර කීපයකට වරක් බලය හොබවන මේ පාලක කල්ලි දෙක සිදු කරන එකම වෙනස වටයෙන් වටය සිය කොල්ලකාරී පිළිවෙත් ද, දූෂණය ද, සමූල සංහාර ද උත්සන්න කිරීම පමණකි. 1947 දී එක්සත් ජාතික පක්ෂයේ ඩී ඇස් සේනානායක දෙමළ වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතීන් අහිමි කරන ලද අතර 1956 දී ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක දෙමළ ජනයාගේ භාෂා අයිතීන් අහිමි කළේය. ඔහුගේ බිරිඳ සිරිමා බණ්ඩාරනායක විසින් 1971 දී තරුණයන් 20000ක් ඝාතනය කරන ලද අතර 1987/89 කාල සීමාව තුළ දී එජාපයේ ජයවර්ධන සහ ප්‍රේමදාස විසින් 60,000ක් පමණ තරුණ - තරුණියන් මරා දමන ලදී. 1977 දී දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරමින් බලයට පැමිණි ජයවර්ධන සිය පාලන කාලය අවසාන කළේ දෙමළ සංහාරය සම්පූර්ණ කිරීම ඉන්දීය හමුදාවට බාර දෙමිනි. 1994 දී බලයට පත් චන්ද්‍රිකා මර්දනය සහ දූෂණය තවත් තීව්‍ර කළ අතර ඇගේ අනුප්‍රාප්තිකයා වූ මහින්ද රාජපක්ෂ එකී පිළිවෙත් තවදුරටත් වර්ධනය කරමින් රාජ්‍ය වියදමෙන් 80ක් පාලනය කිරීම  තම පවුලේ සාමාජිකයන් වෙත පවරා ගැනීමෙන් නොනැවතී 2009 දී අඩුම වශයෙන් එක්ලක්ෂ හතළිස් දහසක් දෙමළ ජනයා සංහාරය කරමින් 1948 සිට මේ දක්වා බලයේ සිටි සියලු පාලකයන්ගේ දෙමළ විරෝධී පිළිවෙත් කූට ප්‍රාප්තියට ගෙනාවේය.

ආත්ම ගෞරවයේ මිල

බලයේ සිටි සෑම පාලකයෙකු විසින්ම පීඩිත පන්තිවල ජනයාගේත්, පීඩිත කුඩා ජාතීන්ගේත් සාමූහික භිමානය සහ මානුෂික ගෞරවය නින්දිත ලෙස කෙලෙසනු ලැබිණි. උගත් තරුණ පිරිස්වලට රැකියාවක් සොයාගැනීම සඳහා ජාවාරම්කාර දේශපාලකයන් ඉදිරියේ දණින් වැටී බැලමෙහෙ කිරීමට සිදු වූ අතර දුප්පත් තරුණියන්ට රැකියාවන් වෙනුවෙන් සිය සිරුර ලිංගික අල්ලසක් වශයෙන් පිදීමට සිදු විය. මේ අවමන් සහගත තත්ත්වයට එරෙහිව නැගීසිටි  දකුණේ සිංහල තරුණ පරම්පරාවන් 1971 දීත් 89 දීත් කෲර ලෙස සංහාරය කර දැමිණි. හමුදා සහ පොලිස් අත් අඩංගුවට පත් වූවන් නිරුවත් කර නොයෙක් වධ හිංසා පමුණුවා ඝාතනය කොට ටයර් දමා මහමඟ සමූහ වශයෙන් පුලුස්සා දමන ලදී. අත් අඩංගුවට ගත් ස්ත්‍රීන් ද, පාසල් සිසුවියන් ද සාමුහිකව ලිංගික අතවරවලට  ලක් කර මරා දැමීමෙන් පසුව නිරුවත් මළ සිරුරු මහමග ප්‍රදර්ශනය කරනු ලැබුණි. ආත්මාභිමානයක් ඇති මිනිසුන් ලෙස ජීවත්වීම සඳහා නැගී සිටි ඔවුහු මරා දැමුණේ උපරිම කායික සහ මානසික වධබන්ධනයන්ටත්, නින්දාවන්ටත් ලක් කිරීමෙන් අනතුරුව ය. ඔවුන් මරා පුළුස්සා දැමීමෙන් මේ ධනපති කල්ලි දෙකේ නායකයන්  මතු පරම්පරාවන්ටත් දෙනු ලැබූ පණිවිඩය වූයේ “මිනිස් ගෞරවය වෙනුවෙන් සටන් වැදීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ බල්ලන් මෙන් මැරුම්කෑමට සිදුවන බව" ය.

දෙමළ ජනයාට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදයේ අවශ්‍යතාව මත දියත් කරන ලද යුද්ධය සඳහා අවශ්‍ය පිරිස් බලය සපයාගැනීම සඳහාත් සිංහල පීඩිතයන් මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළුවලින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරනු සඳහාත් සිංහල පීඩිතයන්ගේ විඥානය ජාතිවාදයෙන් දූෂණය කරනු ලැබුණි. මානව ඉතිහාසයේ බිහිසුණුම මිනිස් සමූල සංහාර අතරින් එකක් සේ දැන් සැළකෙන මුල්ලිවෛක්කාල් දෙමළ සංහාරයට හවුල් වීමේ වරදකරුවෙකුවීමේ අවමානය කරා සිංහල සමාජය තල්ලු කරනු ලැබූවේ මේ පාලක කල්ලි දෙකේ ජාතිවාදි මිනීමරු පිළිවෙත් නොවේද?

දෙමළ සමාජයේ සාමුහික අභිමානය විනාශ කිරීම

1930 ගණන්වල සිටම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනයා සටන් වැදුනේ ස්වකීය ආත්ම ගෞරවය සහ මිනිසුන් ලෙස ජීවත්වීමේ අයිතිය වෙනුවෙනි. සිංහල ගෝත්‍රිකවාදී ම්ලේච්ඡ සාමුහික ප්‍රචණ්ඩත්වය පමණක් නොව, මුළුමහත් රාජ්‍ය මිලිටරි යන්ත්‍රයම යොදා දෙමළ ජන ජීවිතය විනාශ කරන ලදී. දෙමළ ජනතාවට එරෙහිව දියත් වූ මේ බහුවිධ මර්දනය සහ භීෂණයේ අරමුණ ඔවුන්ගේ  ප්‍රතිරෝධය විනාශ කිරීම පමණක් නොවීය. සමස්ත දෙමළ සමාජයේම ආත්ම ගෞරවය විනාශකර දැමීමද එහි දැනුවත් අරමුණක් විය. ඝාතන, ස්ත්‍රී දූෂණ, වධ බන්ධන, මළ සිරුරු විකෘතිකර ප්‍රදර්ශණය කිරීම, ඉඩම් කොල්ලය, සංස්කෘතික උරුමයන් විනාශ කිරීම යන සියලු අපරාධවල අරමුණ වූයේ  යුක්තිය වෙනුවෙන් නැගී සිටිමට දිරිය සපයන උල්පත වූ  ආත්ම ගෞරවය පිලිබඳ හැඟීම විනාශ කර දැමීම ය. ස්වකීය ආත්ම ගෞරවය සහ නිදහස වෙනුවෙන් සටන් කිරීමේ දෙමළ සමාජයේ අධිෂ්ඨානය මොට කිරීමට  පාලකයන් අසමත් වුවද එකී පාපතර ක්‍රියාවලියට සහභාගී කරවීමෙන් සිංහල සමාජයේ හෘදය සාක්ෂියත්, දේශපාලන විඥානයත් විනාශ කර දැමීමට පාලකයෝ සමත්ව තිබේ.

කඳුකරය: විසි එක්වන සියවසේ වහල් කඳවුරු

ආරම්භයේදීම කඳුකරයේ දෙමළ ජනයා ඔවුන්ගේ ඡන්ද බලය අහිමිකරමින් වහලුන්ගේ තත්ත්වයට පිරිහෙළා අවමන් සහගත සැළකීම්වලට ලක් කෙරිණි. සියවස් ගණනකට පසුව අද දින පවා ඔවුන්ගේ ඒක පුද්ගල මාසික ආදායම  ඇමෙරිකන්  ඩොලර් 30 කට අඩු ය. ඉහළම මන්දපෝෂණ අනුපාතිකය සහ ළදරු මරණ අනුපාතිකය ඇත්තේ වතුකරයේ දෙමළ ජනතාව අතර ය. ඔවුන්ගේ සුබසාධනය නංවනු වෙනුවට රහසිගතව වතු කම්කරු ස්ත්‍රීන්  වන්ධ්‍යාකරණයට ලක්කරනු ලැබේ. මේ මේ රටේ ජාතික ආදායමින් ඉහළම ප්‍රතිශතය වෙනුවෙන් ශ්‍රමය වගුරන ජනතාවක් පත්කර ඇති නින්දනීය තත්ත්වය එයයි. වසර 70 කට පසුවත් මේ පාලක කල්ලි දෙකෙන් එකකට හෝ ඒ වෙනුවෙන් නිදහසට කරුණු කීමට අයිතියක් තිබේද?

මුස්ලිම් විරෝධයේ පසුබිම

මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරී ව්‍යාපාරය ආරම්භ කෙරුණේ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා වන මනෝ විද්‍යාත්මක මෙහෙයුමක ප්‍රතිඵලයක්යක් ලෙස ය. අද මැද පෙර දිග භීෂණය වපුරන මිනීමරු කුලී හමුදා ඒකක පිටුපස සිටිනුයේ අධිරාජ්‍යවාදී බලවේග බව රහසක් නොවේ. එක් පසෙකින් ඔවුහු මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධාන ලොවපුරා ගොඩ නගන අතර අනෙක් පසින් පීඩිත මුස්ලිම් තරුණ බලවේග මෙම මිනීමරු හමුදාවන්ට බඳවාගැනීම සඳහා ජාලයන් එළමින් සිටී. ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීමෙන් ගොඩ නගන ලද බොදු බල සේනා විසින් සිදු කරමින් සිටිනුයේ එම අධිරාජ්‍යවාදී බලවේගයන්ගේ අවශ්‍යතාවයි. ඔවුහු මුස්ලිම් සමාජයේ සංස්කෘතික අනන්‍යතාවන්ට නින්දා කරමින් ගැටුම්කාරී තත්ත්වයක් ලංකාව තුළ නිර්මාණය කිරීමට උත්සාහ දරන්නේ එමගින් එවැනි මිනීමරු කුලී හමුදාවල ක්‍රියාකාරිත්වය ලංකාව තුළ මතුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ය. අවසානයේදී තමන් විසින්ම ගොඩ නගන ලද මෙම ඝාතක කල්ලි විනාශ කිරීමට යැයි කියමින් ඔවුහු මුලෝපායික වැදගත්කමින් යුතු ත්‍රිකුණාමල වරායේ සදහටම කඳවුරු බඳිනු ඇත.

ජවිපෙ - දෙපයින් නැගී සිට මිය යනවාට වඩා දණින් වැටී ජීවත්වීම උතුම්වීම

එහි සුළු ධනේෂ්වර පන්ති පදනම් කුමක් වුව ද, ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට 1989 දක්වාම  යුක්තිය සහ සමාජ සාධාරණත්වය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් සටන්වැදීමට තීරණය කල සිංහල තරුණ පරපුරේ සාමුහික ශක්තිය සහ අභිමානය විය. එය ගොඩ නැගුණේ සමාජවාදයේ සහ ජාතික විමුක්ති ව්‍යාපාරයන්ගේ ආභාෂය මත ය. ජාතික ප්‍රශ්නය පිලිබඳ එහි වූ ප්‍රතිගාමී ස්ථාවරයන්ගේ පදනම වනුයේ සිංහල සමාජය වෙත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් ඇට වූ  ඓතිහාසික උගුළ හඳුනාගැනීමට එයට නොහැකිවීම ය.

1994න් පසුව ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැංවීමට දායක වූ පීඩිත තරුණ බලවේගයන්ගේ අරමුණ වූයේද සූරා කෑමෙන් තොර යුක්ති සහගත සමාජයකි. එහෙත් සෝමවංශ අමරසිංහ ඇතුළු ජවිපෙ නව නායකත්වයේ අරමුණ වූයේ තරුණ පරපුරේ මේ පරාර්ථකාමී බව සහ පරිත්‍යාගශීලී බව සූරාකමින් ඔවුන් මුළා කරමින් ජරපත් පාර්ලිමේන්තුවාදය වෙත සියුම් ලෙස ඔවුන් ගැට ගැසීම ය. එය මෙතෙක් කල් පෙරළා දමන්නට වෑයම් කළ ධනේෂ්වර රාජ්‍ය යන්ත්‍රය සමග සෘජුවම සම්මුතියකට යාමක් විය. මේ අවස්ථාවාදී නැඹුරුව වසන් කිරීම සඳහා ඔවුහු යොදාගත්තේ දෙමළ අරගලයට එරෙහි සටන් පාඨයන් ය. තමන් විසින් පෙරළා දැමීමට අපේක්ෂා කළ රාජ්‍ය යන්ත්‍රයේ ඒකීය භාවය ආරක්ෂා කිරීමේ දේශපාලන මන්ද බුද්ධිකයන් බවට ජවිපෙ කේඩරය පත් කිරීමට එහි නායකත්වය සමත් විය. සිංහල ඡන්ද ලබාගැනීමේ උපක්‍රමයක් ලෙස ජාතිවාදය යොදාගැනීම පමණක් නොව, පාර්ලිමේන්තුවාදයේ සෙසු සියළු පිරිහීම්වලට ද  ඔවුහු ගොදුරු වූහ. දකුණේ විරැකියාව, ජීවන වියදම වැනි සමාජ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් පැන නැගි කම්කරු, ශිෂ්‍ය, ගොවි ආදි සමාජ ස්ථරයන්ගේ සටන් දියාරු කිරීමටත්, යටපත් කිරීමටත් ජවිපෙ නායකත්වය මැදිහත් වූයේ එම සටන් දෙමළ ජනයාට එරෙහිව රජය ගෙන යන යුද්ධයට බාධාවක් වන  බව පවසමිනි. යුද්ධය අවසන් වන තෙක් පටි තද කරගන්නා ලෙස සෝමවංශ අමරසිංහ සිංහල ජනතාවට උපදෙස් දුන්නේය. පාර්ලිමේන්තුවේත්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවලත් නියෝජිතයන් ලෙස උපයාගත් සිවිල් බලය බොහෝ ජවිපෙ නායකයන් විසින් යොදාගත්තේ ව්‍යාපාරිකයන්, ධනේෂ්වර දේශපාලනඥයන් සමග සබඳතා ගොඩනගා ගනිමින් පුද්ගලික වරදාන වාසි ලබාගැනීම පිණිස ය.

රාජ්‍ය මර්දනයට ජවිපෙ තම සහාය විවෘතවම පුද කළේය. 1971 දීත් 1987-90 කාලයේදීත්  තම සහෝදර සාමාජික - සාමාජිකාවන් මරා දැමීමට යොදාගත් හදිසි නීතිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ඡන්දය ලබා දුන්හ. 2005 ජනාධිපතිවරණයේ දී වැඩවර්ජනවල නියුතු කම්කරුවන් සිය වෘත්තීය සමිතිවල මැදිහත්වීම හරහා මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපරයේ පෝස්ටර් ඇලවීමට යොදාගත්තේද ජවිපෙ විසිනි. 2010 ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ඡන්ද ව්‍යාපාරයටද මේ ලෙසම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් යොදාවා ගන්නා ලද්දේ 1989දී ඔහු  විසින් මරා දමන ලද  ජවිපෙ සාමාජික - සාමාජිකාවන්ගේ කැපකිරීම් සහ පරිත්‍යාගයන් වෙනුවෙන් කළ හැකි ඉහළම අවමානය සිදු කරමිනි. දෙමළ ජනතාවට බර අවි යොදා පහරදීමට රජයට බල කළේ තමන් විසින් බව වත්මන් ජවිපෙ නායකයන් ඊයේ පෙරේදා ප්‍රකාශ කළේ කිසිදු අව්‍යාජ පසුතැවිල්ලක් නොමැතිව ය.

ශ්‍රීලනිප සහ එජාප පාලක කල්ලි දෙක විසින් තමන් පත් කරන ලද අවමන් සහගත තත්ත්වයට එරෙහිව සිංහල තරුණයන් විසින් සමාජ සාධාරණත්වය සහ ආත්ම ගෞරවය වෙනුවෙන් සටන් වැදීමට ගොඩ නගාගන්නා ලද සංවිධානය මේ අයුරින් 1994න් පසුව සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා, විමල් වීරවංශ, ප්‍රේමකුමාර් ගුණරත්නම්, අනුර කුමාර, ලාල්කාන්ත හා විජිත හේරත් වැනි නායකයන් විසින් යළිත් වරක් ධනපති පාලක පන්තිය හමුවේ දණින්වැටීමට සළස්වා අවමානයට ලක්කර තිබේ. 2009 පසු දේශප්‍රෙමයේ එකම හිමිකරුවා ලෙස මහින්ද රාජපක්ෂ අභිෂේකයට පත්වීමෙන් අනතුරුව ජවිපෙ පාර්ලිමේන්තු ඡන්ද පදනම සේදී ගිය අතර එතෙක් පාර්ලිමේන්තුවේත්, පළාත්සභාවලිනුත් ප්‍රාදේශීය සභාවලිනුත් ලද මන්ත්‍රී වැටුප් මගින් ද වෙනත් ධනේෂ්වර සබඳතාවලිනුත් තර වූ  පක්ෂ අරමුදල ශීඝ්‍රයෙන් ක්‍ෂයවන්නට විය.  පක්ෂයේ පහළ ශ්‍රේණිවල පූර්ණකාලීනයන්ට කරන ලද ගෙවීම් කප්පාදු වූ නමුත් නායකත්වය වෙනුවෙන් වෙන් කරන ලද සම්පත්වලට අත නොතැබිණි. මේ ආර්ථික අර්බුදය අවසානයේ සංවිධානාත්මක අර්බුදයක් බවටත් දේශපාලන අර්බුදයක් බවටත් පුළුල් ලෙස පැතිරුණ අතර එතෙක් යටපත්ව පැවැති අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවන් පුපුරා යාමක් දක්වා එය තුඩු දුන්නේ ය.

පෙරටුගාමීන්ගේ පසුගාමීත්වය

පක්ෂයෙන් විශාල පිරිසක් නායකත්වයට එරෙහිව කැරැලි ගසමින් ඉවත් වූ නමුත් ඒ ඉවත්වීම පිටුපස වූ ප්‍රධාන සාධකය මතවාදීමය එකක් නොවී ය. රාජ්‍ය සමග සම්මුතිය තුළින් ජවිපෙ නායකත්වය වරප්‍රසාද ලද සිවිල් තාරකා බවට පත් වූ අතර අභ්‍යන්තර සංවිධාන ව්‍යුහයේ පහළ කේඩරයන්ගේ ශ්‍රමය කිසි දිනෙක නොකෙරෙන විප්ලවයක් ගැන මුසා දොඩමින් සුරාකනු ලැබිණි. මේ තත්ත්වය බොහෝ පිරිස් තේරුම් ගනිමින් සිටි අතර ධනපති පක්ෂවල පෝස්ටර් ඇලවීමට යොදාගත් අන්තරේ සිසුන් සහ වෘත්තීය සමිතිවල සාමාජිකයන්ට ඔවුන්ගේ ආයතන තුළ දී සෙසු සිසුන්ගේත්, කම්කරුවන්ගේත්  සරදමට ලක්වීමට සිදුවිය. මේ සම්බන්ධයෙන් ඔවුන් තුළ යටපත්ව තිබූ කෝපය පුපුරා ගියේ නායකත්වයේ බලාධිකාරය දුර්වල වීමත් සමග ය. ප්‍රතිඵලයක් ලෙස පළමු වරට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය පිටින්ම ජවිපෙන් ඉවත් විය. වෘත්තීය සමිතිවල සාමාජිකයන් බහුතරයක් නිශ්ක්‍රීය විය. මෙම කැරැල්ලට ආරම්භයේදී මතවාදයක් නොතිබුණු නමුත්, කිසියම් බැරෑරුම් සංවාදයක් එතෙක් ඔවුන් අනුගමනය කළ ප්‍රතිපත්ති සහ උපක්‍රම සම්බන්ධයෙන් වැඩෙමින් පැවතිනි. ඇතැම් පිරිස් ජාතික ප්‍රශ්නය සම්බන්ධ ජවිපෙ ස්ථාවරය ප්‍රශ්න කිරීම ඇරඹු අතර ඔවුන්ගේ මතයට ඉවත්වූ බහුතරයකගේ සහාය ලැබිණ. උතුරේ දෙමළ ජනයාට රාජ්‍ය විසින් අත්කරදුන් විනාශයත් එයට තමන්ගේ වන වගකීමත් සම්බන්ධව අවංක පසුතැවීමක් සහිත අතළොස්සක් අතර ජාතික ප්‍රශ්නය පිළිබඳ මෙම සංවාදය ආරම්භ කළේ ඔවුන් විසිනි.

නමුත් මෙම සංවාදය කෙටිකලක් තුළ යටපත් කර දැමිණි. ජවිපෙන් ඉවත් වූ මෙම පිරිස අතර එතෙක් ජවිපෙ මධ්‍යම කාරක සභාව නියෝජනය කළ බහුතරයක් අයත් විය. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණ ලෙස ඔවුන් එදා ගත් තීන්දු තීරණවලට අදාළව මෙම ඉවත් වූ ප්‍රධාන නායකයන් සියළු දෙනාට ද බරපතල වගකීමක් පැවරෙයි. එහෙයින් ජවිපෙ අනුගමනය කළ පිළිවෙත් සම්බන්ධව ප්‍රශ්නකිරීමට ඉවත් වූ පහළ බලවේගවලට ඉඩදුනහොත් තමන්ගේ ආධිපත්‍යයද ප්‍රශ්න කෙරෙන බව වටහාගත් කුමාර් ගුණරත්න වැනි නායකයන් එම සංවාදය කල් අද්දමින් ද නොමග යවමින්ද කපටි ලෙස යටපත් කළේය. ඔහු යළිත්වරක් බොහෝ දේ සම්බන්ධව ජවිපෙ ස්ථාවරයටම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගෙන යමින් ඇති බව වටහා ගත් බොහෝ දෙනෙකුන් එයින් ද ඉවත් වී නිෂ්ක්‍රීය වූ අතර 1994 දී සෝමවංශ අමරසිංහ ජවිපෙට සිදුකළ දෙය කුමාර් ගුණරත්න පෙරටුගාමි සමාජවාදී පක්ෂයට සිදු කරමින්, ලංකාව වෙනස් කිරීමේ යම් පමණක හෝ උවමනාවක් සහ විභවයක් පෙන්නුම් කළ තරුණ පිරිස් පැරණි අවමන් සහගත තත්ත්වයටම ඇද දැම්මේය. දැන් පෙසපෙ ද පාර්ලිමේන්තුවාදයේ දොරකඩ අසල රස්තියාදු වීම අරඹා තිබේ.

පාර්ලිමේන්තුව අරගලයේ වේදිකාව බවට පත්කර ගැනීමට ගිය සියළු දෙනාම නතරවූයේ එම වේදිකාව මත නැටවෙන ධනේෂ්වරයේ නූල් රූකඩ බවට පත්වීමෙනි. එහි යන්නෝ මිස එහි සිට ආපසු එන්නෝ නැත. පාර්ලිමේන්තුව නළපාන ජාතකයේ එන මිනීකන යක්ෂයෙකු අරක්ගත් විල වැනි ය. ආරම්භයේදී බොහෝ දෙනා බටදඬු යොදා ඈත සිට දිය බීමට ප්‍රවේසම් සහගතවන නමුත් ටික කලකින් එහි රසයට වහල්වන ඔවුහු දියට පැන දිය බුං ගසමින් දිය බීමට යෑමේදී ආත්මය අහිමි කරගනිති. නළපාන ජාතකයෙන් පාර්ලිමේන්තු වෙනස්වනුයේ එයට බසින සියලු දෙනාද යක්ෂයන් බවට පත්වීමෙන් නතරවන බැවිනි.

මේ පාර්ලිමේන්තුවාදී අවකාශය  යනු ඔවුන් විසින් තොරා දෙනු ලබන ක්‍රීඩාවක්, ඔවුන් විසින් තීරණය කරන නීති රිති තුළ පිහිටා ඔවුන්ගේ පිට්ටනියක ක්‍රීඩා කිරීමට දෙනු ලබන අවස්ථාවකි. මේ අවකාශයේ දේශපාලනය කිරීම මගින් ස්වයං නින්දාවට පත්වෙමින් ජවිපෙ හෝ පැරණි වම මෙන් පාලකයන්ට විනෝදය සැපයීම හැර වෙනත් කිසිවක් කළ නොහැකි ය.

මැතිවරණයක් යනු කුමක්ද?

පාලක පන්තිය විසින් ඔබ වෙත ඔවුන්ගෙන් අයෙකු තෝරාගැනීම සඳහා වසර කීපයකට වරක් අවස්ථාවක්  දෙයි. ඔබ ඔවුන්ගෙන් එකෙකුට හෝ තවෙකෙකුට ඡන්දය දීමෙන් ඔවුන් පත් කරනු ලැබූයේ ඔබ විසින් යැයි යන හැඟීම ඔබට ඇති කරවයි. එමෙන්ම ඔවුන්ව ඉවත් කිරීමේ බලය ඇත්තේ ද ඔබ වෙත බව ඔවුහු ඔබට පවසති. ඕනෑම අසරණයෙකු වුවද කිසියම් බලයක් භුක්ති විඳීමට කැමැති ය. එහෙයින් ඔබ ද මේ බලය භුක්තිවිඳිනු වස්  ඡන්දය පවත්වන දිනයේ කහට කෝප්පයක් බී උදේ සිට ඡන්ද පෝලීමේ රස්තියාදුවීමේ අවස්ථාව තෝරා ගනියි. එහෙත් ඔබ විසින් ඔවුන් අතරින් යමෙකු තෝරාපත් කර ගත්තද, නොගත්තද පන්තියක් ලෙස ඔවුන් ඔබගේ  ජීවිතය සෑම තලයකදී ම පාලනය කරනු ලබයි. ඔවුන්ගේ බලයේ උල්පත වනුයේ ඔවුන් විසින් ඔබව සූරාකෑමෙන් ගොඩගසාගත් ධනයත්, ඔවුන් සතු ආයුධත් මිසක ඔබගේ ඊනියා "වටිනා ඡන්දය" නොවේ. එහෙත් ඔවුන් ඔබව සුරාකමින් ඔවුන්ගේ ආයුධ බලයෙන් ඔබව පාලනය කරන්නේ යැයි යන අවබෝධය කරා ඔබ ළඟාවනු දැක්මට ඔවුහු  අකැමැති වෙති. එය ඔවුන්ව බියපත් කරවයි. එහෙයින් මේ ඇත්ත කිසියම් සම්මුතියක් මගින් වසා දැමීමට ඔවුන්ට අවශ්‍ය වේ. මැතිවරණ සහ ඡන්ද අයිතිය යනු මේ සම්මුතියයි. මේ සම්මුතියේ සියළු කොන්දේසි නිර්මානය කර ඇත්තේ ඔවුන් විසිනි. ඔවුන්ගේ වාසිය සඳහා නිර්මාණය කරන ලද එම සම්මුතිය විසින් ඔබව අවනතභාවයේ සිරකරුවෙකු බවට පත්කරයි.

මෙයට පෙර ඔබ විසින්ම පත් කළ පාලකයා විසින් ඔබට එරෙහිව සිදුකළ අපරාධ සහ අවමන් සහගත සැළකිළි ගැන කෝපවන ඔබ ඔහුව නෙරපා හැරීමට ඔවුන්ගේම අතරින් එකෙකු පත් කර රෑ එළිවෙතුරු ඡන්ද ප්‍රතිඵල බලමින් "අපි ඌට මෙදා පාර හොඳ පාඩමක් ඉගැන්නුවා"යැයි සතුටු වෙයි. ඔබ විසින් මෙවර තෝරා පත් කරගනු ලැබූ පුද්ගලයාද කලින් සිටි පාලකයා මෙන්ම ඔහු නතර කළ තැන සිට වැඩ අරඹන විට  ඔබට ඊළඟ මැතිවරණය තෙක් බලා සිටීමට සිදුවෙයි. මේ ඔබගේ අවමන් සහගත සදාකාලික ඉරණමයි. 70 වසකට ආසන්න කාලයක් අපගේ වැඩිහිටි පරම්පරාවන්ද අප ද මෙම ඉරණමට ගොදුරු වූයෙමු. අපගෙන් පසු පරම්පරාවන්ද දැන් මේ ඉරණමේ උරුමකරුවන් ය.

මේ සම්මුතියෙන් ඉවත්වීමට ඔබ තීරණය කළ හොත්, එනම් මේ මැතිවරණ සහ ඡන්ද බලය නැමැති ප්‍රෝඩාකාරී ක්‍රියාදාමයෙන් ඉවත්ව ඔබගේ ඉරණම පාලනය කරන දුෂ්ට බලවේගයන්ගේ බලයේ සැබෑ උල්පත කුමක්දැයි සොයාබැලීමට ඔබ තීරණය කළ හොත් කුමක් සිදුවනු ඇත්ද? සැබැවින් ම ඔවුන්ගේ බලකොටුවල ප්‍රාකාරයන් බිඳවැටීම ආරම්භවනු ඇත්තේ ඒ මොහොතේ සිට ය.

සිය ආත්මාභිමානය ගැන නොතකන, හුදු පුද්ගලික වාසි තකා මේ ධනපති පාලක කල්ලි හෝ ඔවුන්ට බැලමෙහෙ කරන කුඩා පක්ෂවල අනුගාමිකයන්ට මේ කිසිවක් අදාළ නොවේ. එහෙත් සමාජ සාධාරණත්වය හෝ යුක්තිය ද මේ මැතිවරණ ද අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින් ඒ වෙනුවෙන් සටන් කරන අයට මේ සදාකාලික වංචාවෙන් එළියට නොයා කිසිත් සාක්ෂාත් කර ගත නොහැකි වනු ඇත.

ජනවාරි 08 වැනිදා සිදුවූයේ කුමක්ද?

සෝවියට් සංගමය බිඳවැටීමෙන් අනතුරුව  ගතවුණු කාලය තුළ ඇමෙරිකාවට මේ ග්‍රහලෝකයේ අයිතිකරුවා ලෙස හිමිව තිබූ තත්ත්වය දැන් කෙමෙන් වෙනස් වෙමින් පවතී. චීනය ආර්ථිත බලවතෙකු ලෙස නැගී ඒමත්, සෝවියට් සංගමයට ලෝක බලවතෙකු ලෙස හිමිව තිබූ තත්ත්වය රුසියාව විසින් යළි කෙමෙන් ගොඩ නගමින් සිටීමත් එහි ලා බල පාන ප්‍රධාන සාධක වේ. චීනයේත් රුසියාවේත් යුද ආර්ථික සහ දේශපාලන බලයේ වර්ධනය සීමා කිරීම ඇමෙරිකාවේ උපායමාර්ගික අවශ්‍යතාවකි. යුක්‍රේනයේ අර්බුදයක් ඇති කර එයට මැදිහත් වීම මගින් නැගෙනහිර යුරෝපයට නේටෝ හමුදා යොදවමින් ද, සම්බාධක පනවමින් ද යුරෝපය තුළ රුසියානු බලපෑම සීමා කිරීමට කටයුතු කරමින් සිටින අමෙරිකාව, සිරියාව තුළ සිවිල් යුද්ධයක් ඇති කර එයට ද මැදිහත් වෙමින් එහි ඇති රුසියානු නාවුක කඳවුරට තර්ජනයක් එල්ල කර තිබේ. එමෙන්ම චීනයේ වර්ධනය වන ආර්ථික බලය සීමා කිරීමට චීනයේ නාවුක බලය දකුණු චීන මුහුදෙන් ඔබ්බට පැතිරෙනු වැළැක්වීමටත් ඇමෙරිකාව ගත හැකි සියළු ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. දකුණු චීන මුහුදේ දූපත් සම්බන්ධයෙන් ජපානය සහ චීනය අතර පැවැති එකඟතා බිඳහෙළමින් ජපානය ගත් ක්‍රියාමාර්ගවලට ඇමෙරිකාවේ මැදිහත්වීම් බලපා තිබේ. ජපානයට දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි හමුදා බලය සීමාකිරීමට ගෙන තිබූ තහනම් මේ වනවිට ඉවත් කර ඇති අතර ඔවුහු සිය මිලිටරි හැකියාව වර්ධනය කරමින් සිටිති. චීනයේ මුහුදු සේද මාර්ගය නම් සැළසුම තුළ වරායන් ඇතිකිරීමට නියමිතව තිබූ සහ වරායන් දැනටමත් ගොඩ නගා ඇති රටවල්  සමග ඇමෙරිකාව සිය 'ආසියාවට හැරුම' නම් වැඩ සටහන යටතේ මිලිටරිමය බලපෑම උත්සන්න කරමින් සිටී.

චීනයේ  ඉන්ධන අවශ්‍යතාවන්ගෙන් 80%ක් සැපෙයන්නේ  මළක්කා සමුද්‍ර සන්ධිය හරහා වන අතර එහි පාලනය ඇත්තේ ඇමෙරිකන් හිතවාදී රටක් වන මලයාසියාව සතුව ය. චීනයේ සමුද්‍ර සේදමාවතට ලංකාවේ වරායන් ද ඇතුළත්වන අතර හම්බන්තොට වරාය ද කොළඹ වරාය නගරය සැලසුම ද  මහින්ද රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාව තුළ වර්ධනය වූ චීන බලපෑම්වලට නිදසුන්ය.  මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත්කිරීමට ඇමෙරිකාවට අවශ්‍යවනුයේ  ඒ නිසා ය. ජන ඝාතක රාජපක්ෂ සහ ඔහුගේ සහෝදරයන්ගේ ධනයට ඇති කෑදරකම උපයෝගී කර ගනිමින් චීනය විසින් ලංකාව තුළ සිය බලය ව්‍යාප්ත කරමින් සිටි බව පැහැදිලි ය. සිය සබ්මැරීන් යාත්‍රා නඩත්තු කටයුතුවලට යැයි පවසමින් චීනය ත්‍රිකුණාමල වරායට ඇතුළුවීම ඇමෙරිකාවට සිය ක්‍රියාමාර්ග ඉක්මන් කිරීමට බලපෑවේය.

ජනවාරි 8 වැනි දින මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමත් සමගම චීන බලය ලංකාව තුළ සීමා කිරීමේ ක්‍රියාමාර්ග ඇරඹිණි. කොළඹ වරාය නගරය නැවැත්වීම පිටුපස සිටින ප්‍රධාන සාධකය ඇමෙරිකාවයි. වරාය නගරයට එරෙහිව මහජන විරෝධයක් පැවතිය ද  එවැනි දැවැන්ත යෝජනා ක්‍රම මහජන විරෝධය හේතුවෙන් නැවැත්වීමේ ඉතිහාසයක් ලංකාවේ ආණ්ඩුවලට නැත.

මේ අයුරින් චීනයේ මුහුදු සේද මාර්ග වැඩ සටහන අඩාල කිරීමට ඇමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ග තමන්ගේ ගෙල සිරකිරීමට තැත් කිරීමක් ලෙස චීනය බාරගනු ඇත. අනෙක් අතට ඇමෙරිකාව සිය බලපෑම් දැඩි කරමින් ලංකාවට මැදිහත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් සිටීම චීනයේ සැළකිල්ලට ලක්ව ඇත. චීනය සහ රුසියාව එක් පසෙකත්, ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අනෙක් පසත් සිටින ලෙස ආසියාවේ මතුවන යුද ආතතිය තුළට මහින්ද රාජපක්‍ෂ මෙන්ම, මෛත්‍රිපාල සහ රනිල් වික්‍රමසිංහ විසින් ද ශ්‍රී ලංකාව දැන් ගෙනයමින් සිටිති. ලෝක යුද්ධය දැනටමත් අඩු තීව්‍රතාවකින් ඇරඹී ඇති බවත් එය න්‍යෂ්ටික  අවි පිළිබඳ අදියරට ඕනෑම මොහොතක ළඟාවීමේ අවදානමක් පවතින බවත් දේශපාලන සහ යුද විශ්ලේෂකයෝ දැනටමත් බරපතල අනුමානයන් පළ කරමින් සිටින බව නොදන්නේ ලංකාව තමන්ගේ ලෝකය කොටගත්තවුන් පමණි. එවැනි තත්ත්වයකදී උපායමාර්ගිකව වැදගත් තැනක පිහිටා ඇති ලංකාව බරපතල අවදානමකට මුහුණ දෙනු ඇත.

ජනවාරි 8 වැනිදා සිදු වූයේ ඉන්දියානු සාගරය කේන්ද්‍ර කොටගෙන තීව්‍ර වන භූ දේශපාලනික සංග්‍රාමයක් විසින් තීන්දු කළ නීතින්ට යටත්ව අධිරාජ්‍යවාදයේ උවමනාවන් වෙනුවෙන් මහජනයා පාවිච්චි කිරීමක් මිසෙක 'මහජන දේදුනු විප්ලවයක්' නොවේ. වඩා තීරණාත්මකව වැදගත්වනුයේ මේ පාලක කල්ලි දෙක විසින් ඊළඟට සමාජය ගෙන යමින් සිටින විනාශය ගැන අවබෝධයෙන් සිටීමයි.☐

අජිත් සී හේරත්


© JDS