නිලාන්දන්: දෙමළ සන්ධානය කෙරෙහි නැඟ එන කලකිරීමේ ඉදිරි ඇඟවුම්

මැතිවරණය මුල්කොටගත් සිංහල දේශපාලනය වඩාත් නැඹුරුව ඇත්තේ දෙමළ ජනයාගේ අයිතීන් නිශේධ කිරීමට තමන් කෙතරම් කැපව ඇත්තේදැයි සිංහල ඡන්ද දායකයන්ට ඒත්තු ගනුවනු පිණිස ය. දකුණේ චිරාගත බල හවුල් දෙකම ඒකීය රාජ්‍යයට තමන්ගේ කැපවීම පිළිබඳ තරඟයට ප්‍රතිඥා දෙන අතරවාරයේම ස්වකීය ප්‍රතිවාදීන් සහ දෙමළ දේශපාලනය අතර ඇති රහස් සබඳතා 'අනාවරණය' කරන්නට උත්සුකව ඇත්තේ එහෙයිනි. 'වික්‍රමසිංහ - කොටි ගිවිසුම්' පිළිබඳවද, 'රාජපක්‍ෂ - කොටි කුමන්ත්‍රණ' ගැනද ප්‍රවෘත්ති නිර්මාණය වන්නේ ඒ යටතේ ය. 'විපක්‍ෂයේ වාඩි ‍වෙන්නට' ඡන්දය ඉල්ලන ජනතා විමුක්ති පෙරමුණද කවර හෝ බල විමධ්‍යගතකරණයකට විරුද්ධව සිය පැරණි ධජය තැන තැන ළෙලවමින් 'උතුරේ දෙමළ ජාතිවාදය' මතුව එන බවට භීතිය දැන් අවුලවන්නට පටන් ගෙන තිබේ.  

නමුත් 'දෙමළා' පිළිබඳ සිංහල මනෝ භ්‍රාන්තිය කැඩපත් දහසකින් යළිත් සිංහලයා වෙතම පරාවර්ථනය කරන සිංහල මැතිවරණ දේශපාලනය හමුවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල දේශපාලන ගතිකත්වයන් වැදගත් විපර්යාසයන්ට පාත්‍ර වෙමින් තිබේ. 'යාල් තිනක්කුරල්' පත්‍රයට දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'கூட்டமைப்புக்கு வந்த சோதனை?' මැයෙන් ලියන ලද මෙම ලිපිය එකී විපර්යාසයන් විචක්‍ෂණ ලෙස චිත්‍රණය කරයි‍.

පරිවර්තනය: ජිවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


දෙමළ ජාතික සන්ධානය ආරම්භක අවධියේ සිට තනිවම අත්විඳි මැතිවරණ ජයග්‍රහණයන් අද වන විට අභියෝගයට ලක්වෙමින් තිබේ. ඉකුත් වසර හය තුළ ඔවුන්ගේ දේශපාලනය කෙරෙහි දෙමළ සමාජයේ උගත් බුද්ධිමත් මැද පන්තික ජනයා තුළ ඇත්තේ කලකිරීමකි. පසුගිය කාලය තුළ පියවරෙන් පියවර ගොඩනැගුනු මේ කලකිරීම දෙමළ ජාතික සන්ධානය වෙත එල්ල කෙරෙන ප්‍රබල ප්‍රහාරයක් බවට පත්ව ඇත. රාජපක්ෂ ආණ්ඩුවට එල්ල කෙරෙන අන්තර් ජාල සමාජ මාධ්‍ය ප්‍රහාරය තරමට ම දෙමළ සමාජය තුළ දෙමළ ජාතික සන්ධානය විවේචනයට ලක් වීම විශේෂත්වයකි. මේ තත්ත්වය සමාජ මාධ්‍ය ජාලාවන්ගෙන් ඔබ්බට දෙමළ පුවත්පත් කරා ගොස් ඔවුන් විවේචනය කරමින් කතු වැකි පවා ලියන්නට පෙළඹ සිටිනු දක්නට ලැබේ.

දෙමළ ජාතික සන්ධානය මැතිවරණ දේශපාලනයට පැමිණ වසර හයක් ගත වීමෙන් පසු මෙවැනි ප්‍රවණතාවයක් මතු වුනේ ඇයි?

ආණ්ඩු විරෝධී දේශපාලනයෙන් ඉවත්වීම

උතුරු පළාත් සභාව ආරම්භ කෙරෙන සමය තුළ දෙමළ ජාතික සන්ධානය විරුද්ධ පාක්‍ෂික දේශපාලනයක නිරත වුණ නමුත් ඊට පසුව ඔවුන් යම් ප්‍රමාණයක උත්සාහයක නිරත වුණේ රාජපක්ෂ පාලනය සමඟ හිතවත්කම් ගොඩනඟා ගැනීම වෙනුවෙනි. උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය ක්‍රමක්‍රමයෙන් සංවර්ධන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු  කරමින් පරික්‍ෂණාත්මක වෙනසක් පෙන්නුම් කිරීමේ ප්‍රයත්නයක් දැරී ය. ඒ වෙනුවෙන් කොළඹ දේශපාලන අධිකාරියට මිතුරු සංඥා දැල්විණ. බොහෝ දෙනා අපේක්‍ෂා කරනු ලැබුයේ උතුරු පළාත් සභාව හරහා  කොළඹ මෙන්ම යාපනය ද දේශපාලන බල කේන්ද්‍රයක් ලෙස ගොඩ නැගෙනු ඇති බව ය. එමෙන්ම රාජපක්ෂට එරෙහි ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීමට, ඇමෙරිකානු හා ඉන්දියානු බලයන් විසින් උතුරු පළාත් සභාව යොදා ගනු ඇතැයි ද එකී අපේක්‍ෂාවන් අතර විය. එහෙත් ඔවුන් පළාත් සභාවට සමීප නොවුණු අතර රාජපක්ෂ ද ඊට සහාය නොදැක්වීය. ඒ වෙනුවට ඔහු  උතුරු පළාත් සභාවට එරෙහිව දිනෙන් දින නොයෙකුත් ගැටළු නිර්මාණය කරනු ලැබිණි. දෙමළ ජාතික සන්ධානයේ මිතුරු සංඥාවලට සාර්ථක ප්‍රතිචාරයක් කොළඹින් නොලැබුණු අතර  මේ තත්ත්වය හමුවේ මහ ඇමති විග්නේශ්වරන් පියවරෙන් පියවර එදිරිවාදී දේශපාලන දිශාවකට ගමන් කළේය. අද වන විට දෙමළ ජාතිකත්වය තුළ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව සිටිනුයේ උතුරු පළාත් සභා මහ ඇමතිවරයායි. ඔහු   බටහිර රටවල හා ඉන්දියාවේ  දේශපාලනික සීමාවෙන් ඔබ්බට ගොස් දෙමළ ජාතිකත්ව දේශපාලනය නියෝජනය කරන්නෙකු බවට පත්ව තිබේ.

මීට වසර 25කට පෙර උතුරු - නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස වර්ධරාජා පෙරුමාල් කටයුතු කළත් ඔහුට එම පළාත් සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය බලතල කොළඹ ආණ්ඩුව විසින් ලබා නොදුනි. ඊට එරෙහි ඔහුගේ දේශපාලන ක්‍රියාමාර්ගය වුයේ ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කොට රටින් පිටුවහල් වීම ය. අද විග්නේශ්වරන් ද සිය විරෝධය සටහන් කිරීමේ පළමු පියවර වශයෙන් උතුරු පළාත් සභාව හරහා දෙමළ වර්ග සංහාරක යෝජනාව ගෙන ඒම හැඳින්විය හැක.

කොන්දේසි විරහිතව 'වෙනස'ට සහාය දුන් දෙමළ ජාතික සන්ධානය යහපාලන ආණ්ඩුවේ සහායක පාර්ශ්වයකගේ තත්ත්වයට තල්ලු කරනු ලැබුණි. ඒ හරහා ඔවුන් ජනාධිපති සිරිසේනට වඩාත් සමීප විය. මෙයත් එක්තරා අයුරකින් මිත්‍රශීලි සභාග දේශපාලනයකි. මේ වන විට දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පාක්‍ෂික දේශපාලනයකට මාරු වීම දුෂ්කර වී තිබේ. නමුත් පුරා අඩසිය වසකට වැඩි කාලයක් දෙමළ දේශපාලනය නිරත වුනේ විපාක්‍ෂික දේශපාලනයක ය. දෙමළ ජාතික සන්ධානයේ මේ මධ්‍යස්ථ දේශපාලනයට දෙමළ ජනතාවට ක්‍ෂණිකව මුහුණ දීමට නොහැකි වනු ඇත. විරුද්ධවාදී දේශපාලනයේ දී බොහෝ දුරට ඡන්දය භාවිතා වූයේ  දෙමළ ජනයාගේ ජාතික අනන්‍යතාවය පෙන්නුම් කරන, ආණ්ඩු විරෝධීභාවයේ ප්‍රකාශනයක් වශයෙනි. 2009 වසරින් පසු කෝපය ප්‍රකාශ කිරීමක් ලෙසින් ඡන්දය භාවිතා කෙරුණි. එවර දෙමළ ජාතික සන්ධානය සිය විරුද්ධවාදී දේශපාලනය පෙන්නුම් කරමින් මහින්ද රාජපක්ෂට එරෙහි යාම නිදසුන් වශයෙන් පෙන්නුම් කළ හැකි ය.

එමෙන්ම, මෛත්‍රිපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ පිළිබඳවත් පුළුල් ලෙස කල්පනාවට ගත යුතු ය. කෙසේ වුවද  දෙමළ ජාතික සන්ධානයේ මෙවැනි ක්‍රියාකාරිත්වයක් තුළින් කිසිසේත් ම දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන් ගොඩනැංවිය නොහැකි ය. ඔවුන්ගේ දේශපාලනය තුළ විරුද්ධ පාක්‍ෂික දේශපාලනයක් නොමැති බව ජන්දදායකයන් තේරුම් ගෙන ඇති බැවින් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව බොහෝ චෝදනා දැන් දැන් පැන නැගෙමින් තිබේ.

උතුරු පළාතේ පාලක පක්ෂය වීම

දෙමළ ජාතික සන්ධානය  උතුරු පළාත් සභාවේ පාලක පක්ෂය වීම නිසා ඔවුන් කෙරෙහි කලකිරීම හා ඉච්ඡා භංගත්වය ජනතාව තුළ මතු වීමෙන් පසු විරෝධය එල්ල වන්නේ ද දෙමළ සන්ධානයටම ය. ආණ්ඩු වෙනසට පෙර ඔවුන් කියා සිටියේ උතුරු පළාත් සභාව කරගෙන යාමට නොදී රාජපක්ෂ බලාධිකාරය විසින් ඊට බාධා පමුණුවන බව ය. පසුව දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව බලයට පැමිණි මෛත්‍රිපාල සිරිසේන පාලනය තුළ ද පෙර පැවති තත්ත්වයම හැරෙන්නට අන් කිසිදු වෙනසක් වී නොමැත. එහෙත් ඒ පිළිබඳව ජනතාවට කරුණු දැක්වීමට නොහැකිව දෙමළ ජාතික සන්ධානය පත්ව ඇත්තේ මහත් දුෂ්කරතාවයකට ය. මේ පිළිබඳව උතුරු පළාත් මහ ඇමතිවරයා සිය ලන්ඩන් දේශනයේදී කරුණු දක්වමින් කියා සිටියේ  කවුරු පැමිණියද කිසිදු වෙනසක් නොවන බව ය. එකම පක්ෂය නියෝජනය කරනු ලබන උතුරු පළාත් මහ ඇමතිවරයා දෙමළ ජාතිකත්වය ඔස්සේ ජනතාව අතර පිළිගැනීමටත් , පක්ෂ නායකයන් ජනතාව වෙතින් චෝදනාවන්ට ලක්වීමත් දැන් දක්නට හැකි ය.

උතුරු පළාත් සභාව තුළ ආණ්ඩු පක්ෂය වශයෙන් ක්‍රියා කළ ද  දෙමළ ජනයා මුහුණ දෙන දෛනික ගැටළුවලට විසඳුම් ලබා දීමට දෙමළ ජාතික සන්ධානය අපොහොසත් විය. මීට නිදසුනක් ලෙස චුන්නාකම් ප්‍රදේශයේ ඇතිවූ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය දැක්විය හැක. මෙහිදී දැඩි දෝෂාරෝපණයට ලක්වුයේ  පළාත් සභාවේ පාලක දෙමළ ජාතික සන්ධානයයි.

මාධ්‍යමික දේශපාලනය

දෙමළ ජාතික සන්ධානය දැනට අනුගමනය කරනු ලබන  මැද මාවතේ දේශපාලනය තුළ කිසිසේත්ම සන්නද්ධ අරගලයක පවතින රැඩිකල් හා ප්‍රහාරක බව අපේක්ෂා කළ නොහැකි බව ඇත්තකි. නමුත් 2009 ට පෙර පැවති දෙමළ විමුක්ති අරගලය සමඟ දෙමළ ජාතික සන්ධානයේ අද දේශපාලන ගමන්මග වන මැද මාවත සැසඳීමේදී ඒ පිළිබඳව සෘණාත්මක ආකල්පයක දෙමළ ජනයා පසුවෙති.

විමුක්ති කොටි සංවිධානය කෙරෙහි දෙමළ ජාතික සන්ධානය තුළ පැවති සුහදතාවය හා සමීප බව ඔවුන් තුළින් ඉවත්ව ගොස් ඇති බවට දෙමළ ජනතාව තුළ දැන් වනවිට විශ්වාසයක් ගොඩනැගී තිබේ. එමෙන්ම ඔවුන්ට එල්ල වන තවත් චෝදනාවක් වනුයේ දෙමළ ජාතිකත්ව දේශපාලනය අත්හැරීම සම්බන්ධයෙනි.  විමුක්ති කොටි සංවිධානය ගෙනගිය සන්නද්ධ අරගලය තුළ පැවති  ජිවිත පරිත්‍යාගය හා ආත්ම ධෛර්ය කෙරෙහි දෙමළ ජාතික සන්ධානයේ නිසි ගෞරවයක් නොලැබීම නිසා දේශීය මෙන්ම විදේශගත දෙමළ ජනයා තුළ ද  ඔවුන් කෙරෙහි ඇත්තේ දැඩි අමනාපයකි. විදෙස් ගත දෙමළ ප්‍රජාව නියෝජනය කරනු ලබන සංවිධාන බොහොමයකගේ දැඩි විවේචනයට ලක්වීමට  දෙමළ ජාතික සන්ධානය සිදුව ඇත්තේ මේ නිසා ය. මේ විවේචනය තමිල්නාඩු දෙමළ ජනයාගෙන් ද එල්ල වෙමින් තිබේ.

ඉකුත් වසර පහ තුළ දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාව හමුවේ තැබූ එකදු පොරොන්දුවක් ඉටුකිරීමට ඔවුන් සමත් නොවීම පිළිබඳව ජනතාව ප්‍රශ්න කරනු ලබයි. මධ්‍යස්ථ මතධාරී දේශපාලනය තුළ ලබාදෙන පොරොන්දු ඉටුකිරීම කෙරෙහි ජනතාවගේ මහත් අවධානයක් පවතී. දෙනු ලබන මැතිවරණ පොරොන්දු, රජයේ නිල පිළිවෙතට එරෙහි විරුද්ධ පාක්‍ෂික දේශපාලනයේ නිරත වෙමින් ඉටු කිරීම දුෂ්කර බව සාමාන්‍ය ජනතාවට මනා අවබෝධයක් ඇති බැවින් ඔව්හු ඒවා අමතක කොට නැවත නැවතත් ඡන්දය ප්‍රකාශ කරති. නමුත් ඒ ඉවසීම පෙන්නුම් කරන්නේ විරුද්ධ පාක්‍ෂික දේශපාලනයක නිරත වනවා මිස සම්මුතිවාදී මාධ්‍යමික දේශපාලනයේදී නොවේ. 2009 ට තරම් ඈත දී පවා දෙමළ ජාතික සන්ධානය කරනු ලැබූ සුළු වැරදීම් සම්බන්ධයෙන් අද වන විට ඔවුන් වෙත එල්ල වන්නේ දැඩි විවේචනයන් ය. දෙමළ ජාතික සන්ධානය වෙත ඡන්දය ලබා දුන් බොහෝ පිරිස් ඊට එරෙහිව වන අතර මධ්‍යම පාන්තිකයන් තුළ මේ තත්ත්වය බහුල ය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නැඟීම

ඇත්ත කාරණාව වන්නේ, දෙමළ ජාතික සන්ධානය කෙරෙහි දෙමළ ජනයා තුළ ඇති කලකිරීම හා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ය. මේ විරෝධය දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ගොඩනැගූ මතයක් නොවුණද දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නැගෙන මේ විරෝධයේ වාසිය ඔවුන්ට අත්වීම නොවැළැක්විය හැකි ය. මේ කලකිරීමට පත්ව ඇති ජනයාගේ ඡන්ද දෙමළ ජාතික ජනතා පෙරමුණ වෙත මාරු වීමට ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක උපක්‍රම බොහෝ විට ඉවහල් වනු ඇත.

ඉකුත් වසර පහ තුළ ගජේන්ද්‍ර කුමාර්ගේ දෙමළ ජාතික විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ කුඩා කණ්ඩායමක් ලෙස සීමිත ක්‍රියාකාරකම් වලට පමණක් ලඝු  වෙමිනි. පුවත්පත් නිවේදන හා මාධ්‍ය සාකච්ඡාවලින් ඔබ්බට ගිය ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ඉතාමත්ම සුළු අවස්ථාවන් කිහිපයකදී පමණි. ඔවුන්ට ශක්තිමත් පදනමක් තවම ගොඩ නැගී නොමැත. එමෙන්ම විදේශගත දෙමළ ප්‍රජාව තුළ ද ඔවුන් කෙරෙහි දැඩි ආකර්ෂණයක් නොවුණි. ඒ අනුව දෙමළ ජාතික සන්ධානයට  එරෙහිව ගොඩනැගී ඇති විරෝධය දෙමළ ජාතික විමුක්ති පෙරමුණ නිසා නොවන බව ඉතාමත්ම පැහැදිලි ය.

තම පක්ෂය දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන්  ගමනක් අරඹන බව දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පසුගිය දිනෙක කියා තිබිණි. ඊට පිළිතුරු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක  ආර්. සම්බන්ධන්  විසින් ත්‍රිකුණාමලේ පැවති දේශපාලන රැළියකදී කියා සිටියේ මෙවර ගමන අවසන් කරන බව ය. සම්බන්ධන් පවසන පරිදි  දෙමළ ජනයාගේ ගැටළුවට විසඳුමක් සොයා ගත්තද ඒ ගමන අවසන් වනු ඇති ද? විසඳුමක් සොයා ගැනීම සඳහා තුන්වෙනි පාර්ශ්වයක බලපෑම, බහුතර සිංහල බෞද්ධ රාජ්‍යයේ ව්‍යුහය, රටේ පවතින නීති පද්ධතිය වැනි කාරණා අතර එවැනි විසඳුමක් සක්‍රීය වීමට ඇති අවකාශය පිළිබඳ බරපතල ගැටළු මතුවේ. ඇත්ත වශයෙන්ම ඒ වෙනුවෙන් තවත් කාලයක් අරගල කළ යුතු වනු ඇත. ඒ නිසාම සම්බන්ධන් මෙවැනි ප්‍රකාශයක් කොට ඇත්තේ හුදෙක්ම ගජේන්ද්‍ර කුමාර් ව විවේචනය කිරීමේ අදහසින් බව පැහැදි ය. සාමානයෙන් සම්බන්ධන්  කිසිවෙකුට  පුද්ගලිකව ප්‍රහාර එල්ල කරන දේශපාලඥයෙක් ලෙස ප්‍රකට අයෙක් නොවේ. එහෙත් මෙහිදී ඔහු සභාව ඇමතුවේ බොහෝ පැරණි කථා යළි යළිත් සිහිපත් කරමිනි. දෙමළ ජාතික සන්ධානය වෙත එල්ලවන චෝදනාවන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරයන් මෙවන් ආකාරයක් ගන්නේ නම් ඔවුන්ට එය කෙතරම් බලපෑමක් කර ඇති ද බව මනාව පැහැදිලි වනු ඇත. දෙමළ ජනතාව අතර හැඟීම් අවුස්සාලීමට එකිනෙකා විවේචනය කරනු ලැබීම දෙමළ ජනයාගේ සාමූහික අභිලාෂයන් දිනවීම අරසුණු කරගත් විරුද්ධ පාක්‍ෂික දේශපාලනයක යෙදීම නොවේ. මෙවැනි ප්‍රවණතාවයන් වහා වෙනස් කළ යුතු ය. දෙමළ ජාතික සන්ධානය කළ යුතු වන්නේ  දෙමළ ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික මතයට සවන් දීම ය.

ජනතාව තුළ කිසියම් අදහසක් තහවුරු කිරීමේ සමත් සුපිරි දේශපාලන කථිකයන්  මේ පාර්ශ්වයන් දෙකටම නොමැත. ඒ නිසා  ඔවුන්ට දේශපාලන රැල්ලක් ඇති කිරීමේ හැකියාව සාපේක්‍ෂව අවම ය. එක්සත් ජාතික පක්‍ෂය ද ප්‍රකාශ කරනුයේ දෙමළ ජනයාගේ අයිතීන් දිනා ගැනීම පිළිබඳව ය. ඒ අනුව බලතොත් අද එය  සාමන්‍ය කතිකාවක් බවට පත්ව තිබේ.

ගජේන්ද්‍ර කුමාර්ගේ  පක්‍ෂය මැතිවරණයට තරඟ කිරීම මගින් දෙමළ ජනයාගේ ඡන්දය බෙදෙන බවත්, ඒ තුළින් දෙමළ ජාතික සන්ධානය වැනි ජාතික තලයේ සිටින දේශපාලන පක්‍ෂවලට වඩාත් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බවත් ඇතැම්හු මත පළ කරති. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය නියත ජය හිමි පක්‍ෂයක් බවත්, දෙමළ ජාතික ජනතා පෙරමුණ ජයග්‍රහණය අභියසටවත් ළඟාවිය නොහැකි පක්‍ෂයක් ලෙසත් ප්‍රචාරයන් පැතිර යයි. නමුත් කිනම් දේශපාලන පක්ෂය ජය ගනු ඇති දැයි නොබෝ දිනකින් දැක ගත හැකි ය.

දෙමළ ජාතික සන්ධානය ජය ගනීවිද, නැතහොත්  දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නැඟ එන විරෝධතා රැල්ල ගජේන්ද්‍ර කුමාර්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ වටා රැළි වනු ඇතිදැයි බලන්නට අපට තවත් කල් තිබේ.☐

නිලාන්දන්


© JDS