නිලාන්දන්: දෙමළ දේශපාලනයේ සුදුසුකම් ගැන විමසා බැලීමක්

එළඹෙන මැතිවරණයට විවිධ දේශපාලන පක්‍ෂ විසින් ඉදිරිපත් කොට ඇති අපේක්‍ෂයන්ගේ සුදුසුකම් පිළිබඳ දකුණේ ඇති අධිපති සාකච්ඡාවේ සරළ නිර්ණයක කිහිපයක් දක්නට ලැබේ. පළමුවැන්න දූෂිතයන් යැයි ඔප්පුවූවන් පත් නොකළ යුතුය යන්නයි. දෙවැන්න සරසවි උපාධිධාරීන් පත්කළ යුතුය යන්නයි. නමුත් අලුත් අපේක්‍ෂකයන් අනාගත දූෂිතයන් වනු ඇතිදැයි  කිව නොහැකිවා මෙන්ම උපාධිධාරීන් හා දූෂිත දේශපාලනය අතර පරස්පරයක් ඇතැයි විශ්වාස කිරීමටද භෞතික හේතු සාධක නොමැත.

උතුරේ මේ ගැන ඇති කතිකාව වෙනස් එකකි. එය කියවා බැලීම දකුණේ මැතිවරණයෙන් ඔබ්බටද දේශපාලනය පිළිබඳ උනන්දුවන්නන්ට වැදගත් වේ.  'යාල් තිනක්කුරල්' පත්‍රයට දේශපාලන ලේඛක නිලාන්දන් විසින් 'தமிழ் வேட்பாளர்களுக்குரிய தகுதிகள்' මැයෙන් ලියා ඇත්තේ ඒ ගැන ය.

පරිවර්තනය: ජිවේන්ද්‍රන් නඩරාජා සහ අතුල විතානගේ


කුත් වසර හයක කාලය තුළ දෙමළ දේශපාලනයේ නියැළුණු මධ්‍යස්ථ මතධාරීන් සේ සැළකෙන්නන් ගැන ජනතාව අපේක්‍ෂා සහගත වූයේ තමිල්නාඩු දේශපාලනඥයන්ගෙන් වෙනස් වූ දේශපාලනයක ඔවුන් නිරත වනු ඇතැයි සිතූ හෙයිනි. එහෙත් මේ මධ්‍යස්ථ මතධාරීන් හා තමිල්නාඩු දේශපාලනඥයන් අතර කිසිදු වෙනසක් නොමැති බව යාපනේ වෙසෙන වෛද්‍යවරයෙකු මෑත දිනෙක දී මා හා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ වසර තිහකට වැඩි කාලයක් පුරා දිග්ගැස්සුණු සන්නද්ධ අරගලය පදනම් කරගෙන ය. එහෙත් සන්නද්ධ අරගලය පරාජය කිරීමෙන් අනතුරුව ඇතිවූ රික්තකය පිරවීමට මේ මධ්‍යස්ථ මතධාරීන්ට අවකාශ ලැබුණු අතර ජනතාව ඔවුන් සම්බන්ධයෙන් ඉමහත් බලාපොරොත්තු ද තැබීය.

ආයුධ සන්නද්ධ අරගලයේ අත්දැකීම් පදනම් කරගෙන කල්පනා කරතොත් ඉකුත් වසර හය පුරා මේ මධ්‍යස්ථ මතධාරීන් කටයුතු කළේ කෙසේද?   ඒ අනුව සළකා බලන විට තමිල්නාඩු  දේශපාලනඥයන් හා  මේ මධ්‍යස්ථ මතධාරීන් අතර වෙනසක් තිබේද?  ආයුධ සන්නද්ධ අරගලය අවසන්ව ඉක්ම ගිය වසර හය පුරා මේ මධ්‍යස්ථ මතධාරීන් තමන්ට ඡන්දය ලබා දුන් දෙමළ ජනයාගේ අපේක්‍ෂා ඉටුකර ඇත්තේද? එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීමේදී  ගත වූ හය වසර පිළිබඳව ඔවුන් ප්‍රමාණවත් විමසා බැලීමක නිරත වුණිද?

දෙමළ දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්ව ඇති මැතිවරණ අපේක්‍ෂකයන් කොටස් දෙකක් ලෙස වර්ග කළ හැකි ය. පළමු කොටස දැනට පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති හිටපු මන්ත්‍රීවරුන් ය. දෙවැන්න, පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් ය. මේ වර්ගීකරණයන්ට අයත් සියලුම අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී  කවර සුදුසුකම් ඊට පදනම් කරගත්තේද යන්න කිසිදු දේශපාලන පක්ෂයක් අද වන තුරුත් ජනතාවට ප්‍රකාශ කර නොමැත.

සුදුසුකම් හයක්

කෙසේ වුවද මෙවැනි මැතිවරණ අපේක්‍ෂකයන් තෝරා ගැනීමේදී  සාමාන්‍ය ඡන්ද දායකයා විසින් පොදුවේ සළකා බලනු ලබන සුදුසුකම් කිහිපයකි. විග්‍රහයේ පහසුව තකා ඒවා මෙසේ දැක්විය හැකි ය.

1. අපේක්‍ෂකයාගේ දේශපාලන දැක්ම
2. ජයගැනීමට ඇති හැකියාව
3. අපේක්‍ෂකයාගේ අධ්‍යාපන සුදුසුකම්
4. යහමින් මුදල් වියදම් කිරීමට ඇති හැකියාව
5. ස්ත්‍රී-පුරුෂ සමාජ භාවය
6. අපේක්‍ෂකයා උපන් ප්‍රදේශය , නියෝජනය කරනු ලබන ජාතිය, ආගම  හෝ කුලය

නමුත් මේ පිළිබඳව පුළුල් ලෙස සළකා බැලීමේදී  දේශපාලන දැක්ම තවත් කොටස් තුනකට බෙදා වෙන් කළ හැකි ය.

1. දෙමළ ජාතිකත්වය
2. ලාංකීය අනන්‍යතාවය
3. වාමාංශික දේශපාලන දැක්ම

උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලනයේදී වාමාංශික දේශපාලන දැක්මක් වෙනුවෙන් විශාල බලපෑමක් කළ හැකි බලවේගයක් නොමැත. එබැවින් සළකා බැලිය හැකිවන්නේ  දෙමළ ජාතිකත්ව දේශපාලන දැක්ම සහ 'ලාංකීය අනන්‍යතාවය' සනිටුහන් කරනු ලබන දේශපාලනය පමණි. දෙමළ දේශපාලනයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වනුයේ දෙමළ ජාතිකත්වය පදනම් කරගත් දැක්මකින් යුතුව ය. එහෙත් හුදෙක් ඒ නිසා ඔවුන් දෙමළ ජාතිකත්වය පිළිබඳ නිවැරදි  වැටහීමකින් සිටින බවට ප්‍රකාශකිරීමේ හැකියාවක් නොමැත. දැනට මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන්ට ද මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් නොමැති තරම් ය. ඒ පිළිබඳව ඔවුන්ගෙන් විමසීමක් කළ හොත් ඔවුන් බොහෝ දෙනෙකුගෙන් ඊට නිසි පිළිතුරක් ලැබෙතැයි සිතීම අසීරු ය.

දෙමළ ජාතිකත්වය

ජාති, කුල, ස්ත්‍රී - පුරුෂභාවය හා ප්‍රාදේශීය අසමානතාවන් ගැනත්, මුස්ලිම් ජනයාගේ ප්‍රශ්නවලට විසඳුමක් ගැනත් අවධානය යොමු කරන්නේ නම් පළමුව දෙමළ ජාතිකත්වයට පිළිතුරු සොයා ගැනීම වැදගත් ය. දෙමළ දේශපාලන අපේක්‍ෂකයන් මේ ගැන පිළිතුරු දිය යුතු ය. මෙවර මැතිවරණයේදී  දෙමළ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටීමට වැඩිපුරම අයිතිය ඇත්තේ කිනම් පාර්ශවයකට ද යන්න පිළිබඳව සංවාදයක් ද පවතී. ඒ පිළිබඳව විවිධ අදහස් පළ වී තිබෙනු දකින්නට ද ලැබේ. දෙමළ ජාතිකත්වය පිළිබඳ ස්ථාවරයන් නියෝජනය කිරීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය තමන්ව ඉවත්කළ බවට බොහෝ දෙනා මැසිවිලි නගන අතර ඔවුන්ගේ අදහස් වෙනත් අකාරයකින් දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ප්‍රකාශ වෙමින් තිබේ.

අනෙක් අතින් දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF),  විශාල ලෙස දෙමළ ජාතිකත්වය නියෝජනය කරන බවට බොහෝ දෙනාගේ මතයයි. නමුත් අද වන විට දෙමළ ජාතිකත්වය පිළිබඳ දේශපාලන දැක්ම හා හඬ ඕනෑම අයෙකුට පාවිච්චි කිරීමේ හැකියාවක් පවතී. මෙහිදී මතුවන ගැටළුව නම් දෙමළ ජාතිකත්වය මුල්කොටගත් ජීවන පිළිවෙතක් හා නිවැරදි දේශපාලන දැක්මක් මේ කිසිවෙක් සතුව පවතී ද යන්න ය.

යාපනය නියෝජනය කරනු ලබන එක්සත් ජාතික පක්ෂ දේශපාලනඥයන් පවා දෙමළ ජාතිකත්වයේ හඬ සිය මැතිවරණ දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම මෑතක සිට දක්නට ලැබේ. මේ තත්ත්වයට හේතුව පසුගිය වසර හය පුරාවට දෙමළ ජාතිකත්ව දේශපාලනය මුහුණ දුන් පසු බෑම ය. ඇත්ත වශයෙන්ම මධ්‍යස්ථ මතධාරී දේශපාලනඥයන්ගේ ජීවන රටාව ද පැවතියේ දෙමළ ජාතිකත්වයට එරෙහිව ය. දෙමළ ජාතිකත්ව දේශපාලන දැක්ම පිළිබඳ ප්‍රයෝගිකත්වයක් ඔවුන් සතුව කිසිසේත් නොවුණි.

අනෙක් අතින්, දෙමළ ජාතිකත්වයට එරෙහිව 'ලාංකීය අනන්‍යතාවයක්' වෙනුවෙන් පවතින ආණ්ඩු සමග එක්ව කටයුතු කළ දෙමළ දේශපාලන පක්ෂවලට ඉකුත් වසර හය තුළ අත්වූ ඉරණම කෙබඳු ද? ඇත්ත වන්නේ ඔවුන්ගේ ඡන්ද පදනම් දෙදරා ගොස් තිබූ බවයි. ඒ බව මනා ලෙස පෙන්නුම් කරනු ලැබුයේ 2013 සැප්තැම්බරයේ දී පැවැති උතුරු පළාත් සභා මැතිවරණයේදී ය.

නියත පරාජය 'සුදුසුකමක්' ලෙස

දෙමළ දේශපාලනයේදී  'සංවර්ධන කටයුතු' වෙනුවෙන් පෙනී සිටින දේශපාලනය හා සිය අයිතීන් දිනා ගැනීම සඳහා වන දේශපාලනය නමින් පාර්ශව දෙකක් හඳුන්වාදිය හැකි ය. ප්‍රදේශයේ යම් සංවර්ධන කටයුත්තක් හෝ රැකියා අවස්ථාවක් ලබා ගැනීම වැනි දේ සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුව සමග සිටින පාර්ශවයන් සොයා ගිය ද , දෙමළ ජනයා මැතිවරණයකදී  සිය ඡන්දය භාවිත කරනු ලබන්නේ සාමූහික අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් පෙනී සිටින, දෙමළ ජාතිකත්වය ප්‍රමුඛ කොටගත් දේශපාලනය වෙනුවෙනි. එම නිසා මැතිවරණ අපේක්‍ෂකයන්ගේ දේශපාලන දැක්ම ගැන සළකා බැලීමේදී දෙමළ ජාතිකත්ව දේශපාලනය පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ.

ජනතාව හොඳින් දන්නා එක් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම මගින් ජයග්‍රහණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව බහුල ය. මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ හිටපු මන්ත්‍රීවරුන් යළි ඉදිරිපත් කරන්නේත්, වෙනත් ක්‍ෂේත්‍රයන්හි ප්‍රබල හා ජනප්‍රිය පුද්ගලයන් දේශපාලනයට යොමු කරන්නේත් ජයග්‍රණය කිරීමේ අරමුණු ඇතිව ය. මෙවර මැතිවරණය සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමේදී හැම අපේක්‍ෂකයාම ජය ගැනීම අරමුණු කොටගෙනම ඉදිරිපත් කර ඇති බවක් පෙන්නුම් කරන්නේ නැත. විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කර ඇති ඇතැම් අපේක්‍ෂකයන්ගෙන් අපේක්ෂා කරනුයේ පරාජයයි. අනෙක් අතින් එක් මැතිවරණ කොට්ඨාශයකට එක් ප්‍රබල අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කර ඇත්තේ නියත ජයග්‍රහණය වෙනුවෙනි. තවත් අපේක්‍ෂකයෙකු එම මැතිවරණ කොට්ඨාශයටම ඉදිරිපත් කර ඇත්තේ ඔහුට හෝ ඇයට ජය ගැනීමේ ඉඩකඩ නොමැති තත්වයක් තුළ ප්‍රධාන අපේක්‍ෂකයා දිනවීමේ එකම අරමුණ ඇතිව ය. මේ අනුව ජයග්‍රහණය කිරීමට ඇති නොහැකියාවත්, කල් තබා කිව හැකි නියත පරාජයත් අද වන විට මැතිවරණ අපේක්‍ෂකයෙකු වීමේ එක්තරා සුදුසුකමක් බවට පත්ව ඇති බව පෙනී යයි.

'නීතිවේදී දේශපාලනය'

අධ්‍යාපන සුදුසුකම් මත සමාජයේ පිළිගැනීමක් ලබාගත හැකි බව මැතිවරණ දේශපාලනයේ නිරත බොහෝ දෙනාගේ විශ්වාසයකි. ආයුධ සන්නද්ධ අරගලයට පෙර වකවානුව තුළ පැවති මේ විශ්වාසයන් 2009 වසරින් පසු යළිත් කරළියට පැමිණ තිබේ. විශේෂයෙන් නීති ක්‍ෂේත්‍රය නියෝජනය කරනු ලබන්නන් බහුල වශයෙන් දේශපාලනය වෙත පිවිසීම දක්නට හැකි ය. මේ නීතිවේදීන්ගේ දේශපාලනය නිවැරදි නොවන බවට '70 දශකයේදී මනා ලෙස ඔප්පු කර පෙන්වා දී තිබිණි. යළිත් මේ "නීතිවේදී දේශපාලනය" හිස ඔසවා ඇත්තේ සන්නද්ධ අරගලයේ පරාජයත් සමගින් ගෙවුණු වකවානුව තුළ ය. නීති ක්‍ෂේත්‍රයේ විනය තුළින් යහපත් දේශපාලනඥයෙක් නිර්මාණය කරගැනීම අපහසු බවත්, දේශපාලනයට පිවිසීම තුළින් විවිධ දැනුම් මට්ටම් හා අත්දැකීම් ඔස්සේ දේශපාලන විනයක් සමග යහපත් දේශපාලනඥයෙක් ගොඩනගා ගැනීමේ අවස්ථාව පවතින බවත් නැගෙනහිර සරසවියේ සිටින මාගේ මිතුරෙකු පැවසීය. ඇත්ත වශයෙන්ම දේශපාලනය පිළිබඳ තේරුම් ගැනීමේදී නීති ක්‍ෂේත්‍රයේ නිරත පිරිස්වල දැක්ම ඉතාමත් පටු එකක් සේ සනාථ වන අවස්ථා ඕනෑ තරම් ය.

ගෙවී ගිය වසර හය තුළ මේ පිළිබඳව නිදසුන් රැසකි. උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමති විග්නේස්වරන් නීති ක්‍ෂේත්‍රයේ සිට දේශපාලනයට රැගෙන එනු ලැබුවෙකි. ඔහු නීතිය සම්බන්ධ කාර්යයේ නිරතව සිටියදී කථා නොකරන ලද බොහෝ දෑ ගැන දැනුවත්ව හා රැඩිකල්ව කරුණු ඉදිරිපත් කරමින් අදහස් ප්‍රකාශ කිරීමට දැන් වනවිට සමත්ව තිබේ. මනා ලෙස නීතිය උගත් ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු දේශපාලනයට පිවිසීමෙන් අනතුරුව දේශපාලනය ඉගෙනගෙන ඇති බවට මෙමගින් මනා ලෙස පෙන්නුම් කරයි.

මේ හා සමානවම ස්ථාපිතව ඇති මැතිවරණ දේශපාලනයට පිවිසීමේදී යම් මුලික  ප්‍රාග්ධනයක් සතු වීමත් වැදගත් ය. ප්‍රවාහණය, ප්‍රචාරය, රැස්වීම් පැවැත්වීම, ආහාර පාන ආදී සියලු කටයුතු වෙනුවෙන් අපේක්‍ෂකයන් විසින් වියදම් දැරිය යුතු ය. මෙවන් අවස්ථාවකදී  පිටුවහලේ සිටින දෙමළ ප්‍රජාවගේ භූමිකාව වැදගත් ය. ඕනෑම මැතිවරණ අපේක්‍ෂකයෙකු මේ පිටුවහලේ සිටින දෙමළ ප්‍රජාවගෙන් කිසියම් සහයෝගයක් පතා සිය දෑත් දිගු කරනු ඇත. ඒ නිසාම පිටුවහල් දෙමළ ප්‍රජාවට ද  එළඹෙන මැතිවරණය සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට මෙම තත්ත්වය කදිම අවස්තාවක් වනු ඇත.

ස්ත්‍රී නියෝජනයේ දරිද්‍රතාව

දෙමළ මැතිවරණ දේශපාලනයේදී ස්ත්‍රී  - පුරුෂ නියෝජනයේ තුලිතතාව පිළිබඳව සැළකිලිමත් වීමක් නොමැති තරම් ය. 8,000කට වඩා වැන්දඹුවන් සිටින සමාජයේ ඇත්ත වශයෙන්ම එවැනි නියෝජනයක් පෙන්නුම් නොකරයි. ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ආයතන ව්‍යුහයකට කාන්තා ක්‍රියාකාරිනියක් පත්වීම වැදගත් නමුත්  එවැනි කී දෙනෙක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටීත්ද?  ජයග්‍රහණය කළ හැකියැයි සිතන කාන්තාවන් ඉදිරිපත් කිරීම හැරෙන්නට ස්ත්‍රී - පුරුෂ සමානතාවය වෙනුවෙන් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමක් දක්නට නොමැත. කාන්තා ක්‍රියාකාරිනියන් කිහිපදෙනෙක් හෝ ඉදිරිපත් කිරීමට සමත්ව ඇත්තේ දෙමළ ජාතික ජනතා පෙරමුණ පමණි. එහෙත් ඔවුන් ඉදිරිපත් කර ඇති කාන්තා අපේක්‍ෂක සංඛ්‍යාව ද ප්‍රමාණවත් යැයි කිව නොහැකි ය.

මැතිවරණ දේශපාලනයේදී  කුලය හා ප්‍රාදේශීයභාවය සළකා බැලීම ඉතාමත් පසුගාමී තත්ත්වයකි. දේශපාලන පක්ෂ ද මේ කරුණු පදනම් කරගනිමින් අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීම ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බව ප්‍රදර්ශනය කිරීමට වැඩිමනත් දෙයක් නොවේ. මේ මත පදනම් වීම දෙමළ ජාතිකත්ව දේශපාලනයට ද ගැටළු මතු කරන්නකි. අනෙක් අතට මතු වන ගැටළුව වන්නේ වසර තිහකට වැඩි කලක් දිග්ගැසුණු ආයුධ සන්නද්ධ අරගලය මගින් මේ කුල හා ප්‍රාදේශීය විෂමතාවයන් මුලිනුපුටා දැමීමට සමත් නොවී ද යන්නය. දෙමළ ජනයාගෙන් ඡන්දය ඉල්ලා සිටිය යුත්තේ දෙමළ ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන දැක්මක් සමග ය. එසේ නොමැතිව කුල හා ප්‍රාදේශීය අනන්‍යතාවයන් මත පදනම්ව මැතිවරණයට ඉදිරිපත්වීම දේශපාලන මෙන්ම සමාජ සංස්කෘතික වශයෙන්ද බංකොලොත් වීමකි. මෙම තත්වය විසින් පෙන්නුම් කරනුයේ 2009 මැතිවරණයෙන් පසුව මධ්‍යස්ථ මතධාරීන් විසින් පසුගිය කාලය තුළ ලැබූ පරාජයේ අත්දැකීම්වලින් කිසිදු පාඩමක් ඉගෙනීමට සමත් නොවුණු බවයි.

උපරිම පරිත්‍යාගයන්

ආයුධ සන්නද්ධ අරගලය මධ්‍යස්ත මිමි වලින් මැනිය නොහැකි අතරම බොහෝ කාරණා පිළිබඳ පාඩම් හා අරගලයේ පැවති වටිනාකම් පිළිබඳව මේ කිසිවෙක් හදාරා නොමැති බව මෙහිදී පිළිගත යුතු ය. ආයුධ සන්නද්ධ අරගලයේදී  පෙන්නුම් කරනු ලැබූ ප්‍රධානතම කාරණාව වුයේ දෙමළ ජනයාගේ සාමූහික දේශපාලන අභිලාශයන් වෙනුවෙන් උපරිම පරිත්‍යාගයන්ට සුදානම් වීම ය.  මධ්‍යස්ථ දේශපාලනයේ කේන්ද්‍රීය ගැටළුව වන්නේ දැඩි බව වෙනුවට  මෘදු බලයක්  නොව, යථාර්තය සිහින ලෝකයට ගෙන යනවාද, එසේ නොමැති නම්  සිහින ලෝකය යථාර්තය වෙත රැගෙන එනවා ද යන්න ය.

සිහින යථාර්ථයන් බවට පත්කිරීමට නම්  පරිත්‍යාගයන් කිරීමේ හැකියාව පෙන්නුම් කළ යුතු ය. මේ මුලික සුදුසුකම් දෙමළ මැතිවරණ අපේක්‍ෂකයන් කී දෙනෙකුට තිබේ ද  යන්න මේ මොහොතේත් ප්‍රශ්නාර්ථයකි.☐

නිලාන්දන්


© JDS