අභ්‍යන්තර පරීක්‍ෂණය අර්බුදයට යාම අහම්බයක්ද? සාහසික නියතයක්ද?

නේරුවේ සීතල මැදින් ලංකාවට පෑයූ යහපාලනයට ආසිරි පැතීමක් වශයෙන්, පසුගිය මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයට ගෙන එන්නට නියමිතව තිබූ යුද අපරාධ චෝදනා පිළිබඳ ජාත්‍යන්තර විමර්ශන වාර්තාව හය මසකින් කල්තබමින්, මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් අල් හුසේන් මෙසේ කීය. ‘‘අදාළ චෝදනා සම්බන්ධයෙන් පිළිගත හැකි දේශීය විමර්ශනයක් පවත්වන බවට නව ආණ්ඩුව ප්‍රතිඥාවක් දී ඇති නිසා වාර්තාව කල්තැබීමට ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වී ඇත.’’ එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව දුන් ඒ ‘ප්‍රතිඥා’ කිසිවකු විසින් හෝ බැරෑරුම්ව ගනු ලැබූවේ නම්, ඒ විශ්වාසයන් බරපතල ඛාදනයකට ලක්කැරෙන පියවරයන් රැසක් යහපාලන ප්‍රහර්ෂයේ සෙවනැල්ල මුවාවේ ආණ්ඩුව ගතවූ පස් මසක කාලය මුළුල්ලේ ගෙන තිබේ.

විමර්ශනයකට භාජනය කළ යුතු යුද අපරාධ චෝදනාවලට ඍජුවම ලක්වී සිටින සන්නද්ධ හමුදාවන්හි අදාළ කාලය තුළ සිදුකරන ලද තීරණාත්මක වෙනස්කම් ඒ අතරින් ප්‍රධාන ය. සන්නද්ධ හමුදාවන්හි සිදුකරන ලද කිසිදු වෙනස්කමකදී, යුද්ධය තුළ හමුදා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන බවක් හෝ, ඒවා අපක්ෂපාතී විමර්ශනයකට ලක්කිරීමේ වගකීමක් පවතින බවක් හෝ පිළිබඳ කිසිදු සංවේදීත්වයක් දක්වා නැතිවා පමණක් නොව, හිතාමතාම හා විවෘතවම ඒ පිළිබඳ සැලකිලිමත් වීම අත්හැර දැමීමක් ප්‍රකට වේ.

අර්බුදකාරී පත්කිරීම්

එහි මෑතකාලීනම සිදුවීම් වන්නේ, අවසන් යුද මෙහෙයුම්වලදී සිදුකැරුණු යුද අපරාධවලට අණදීම සම්බන්ධයෙන් ඍජුවම වගකිව යුතුයැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වෙතින් පවා චෝදනා ලත් මේජර් ජනරාල් ජගත් ඩයස් ශ්‍රී ලංකා යුදහමුදාවේ හමුදාපතිවරයාට පමණක් දෙවැනි වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමත්, දේශපාලන පත්වීම් හා මිලිටරිමය පත්කිරීම්වලින් මුදවනවායයි කී තානාපති සේවයට හිටපු හමුදාපතිවරුන් දෙදෙනකු අලුතින් පත්කිරීමත් ය.

මේජර් ජනරාල් ජගත් ඩයස්ගේ උසස්වීම මේ අතරිනුදු වඩාත් අර්බුදකාරී වේ. ඔහුගේ පත්කිරීම, ‘‘යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව දී ඇති ප්‍රතිඥා පිළිබඳ බලාපොරොත්තු කඩකරවන්නක්’’ බව දැනටමත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක් ප්‍රකාශ කර ඇත. ඒ අතර ව්‍යවස්ථාමය හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය (European Center for Constitutional and Human Rights - ECCHR), හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch  - HRW) හා ඕක්ලන්ඩ් ආයතනය (Oakland Institute) ප්‍රමුඛ වේ.

මේජර් ජනරාල් ජගත් ඩයස්ට ලබා දී ඇති නව උසස්වීම යුද අපරාධ පිළිබඳ අභ්‍යන්තර විමර්ශනයක් පැත්තෙන් පමණක් නොව, ජාතීන් අතර ප්‍රතිසන්ධානයකට මඟ කියන දේශපාලන අනාගතයක් සම්බන්ධයෙන් ද වඩා අර්බුදකාරී වන්නේ, එමගින් දෙන හැඟවුම් සරල නැති බැවිනි. මීට ඉහතදී ද ඔහු සම්බන්ධ අර්බුදයකට ශ්‍රී ලංකා ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රික තලයේදී මුහුණදෙන්නට සිදුවී තිබියදීත්, එය නොසළකා මේ පත්කිරීම සිදුකර තිබීම ඉන් එකකි. ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ යැයි කියන විදේශ ප්‍රතිපත්තිය හා මේ තීරණ නොගැලපීම තවෙකකි. ඇමරිකාව, ඉන්දියාව මෙන්ම යුරෝපය දෙසින් ද සහයෝගීතාවේ උණුසුම් දෑත් දිගින් දිගටම ලංකාව වෙත දිගුවෙමින් පවතින තත්ත්වයකුත්, ලංකාව ඒ දෑත් ප්‍රහර්ෂයෙන් වැළඳගන්නා ප්‍රතිපත්තියකුත් ප්‍රකට කැ‍රෙමින් තිබෙන අවස්ථාවක මේ තීරණය ගැනීම තවත් වැදගත් තත්ත්වයකි.

ශිෂ්ටාචාරගත ලෝකයෙන් දිගින් දිගටම හුදෙකලා වෙමින් ගිය, ජාත්‍යන්තරයේ අදහස්, විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් අනතුරුව මායිම් නොකළ රාජපක්ෂ රෙජීමයෙන් සිදුවන ජාතියේ වැඩක් ඊට වෙනස් විදෙස් ප්‍රතිපත්තියක් එළිදක්වා, ඊට වෙනස් විදෙස් ප්‍රතිචාරයක් ද ලබමින් සිටින ආණ්ඩුවකින් සිදුවන්නේ කුමන තර්කයකට අනුකූලවදැයි කල්පනා කිරීමට පෙර ජගත් ඩයස් සම්බන්ධ අතීත කතාව මතකයට නඟාගැනීම ප්‍රයෝජනවත් ය.

ජර්මනියේ දී විරෝධයට ලක්වූ මේජර් ජනරාල්

ශ්‍රී ලංකා ආණ්ඩුව 2009 සැප්තැම්බරයේ දී ස්විට්සර්ලන්තයේ හා වතිකානුවේ වැඩබැලීමත් ඇතුළත්ව, මේජර් ජනරාල් ඩයස් ජර්මනියේ නියෝජ්‍ය තානාපතිවරයා වශයෙන් බර්ලිනයට පත්කළ කල්හි, එම පත්කිරීම අදාළ රාජ්‍යයන් විසින් පිළිගනු ලැබීමට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කරුණු ගෙනහැර පෑහ. ඒ ඔස්සේ ජර්මන් විදේශ සබඳතා ක්‍ෂේත්‍රයේ පැන නැඟුණු උණුසුම හමුවේ, 2010 අප්‍රේල් 27 වැනිදා ජර්මන් පාර්ලිමේන්තුවේදී ද මෙම පත්කිරීම පිළිගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කැරිණි. ‘රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දී සියලුම රාජ්‍යයන්ට සිය රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායම් නිදහසේ තෝරාගැනීමට සාමාන්‍යයෙන් ඉඩදෙන, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය’ ඉදිරියට දමමින්ද, ගැටලුවට හේතු වූ ජගත් ඩයස් සම්බන්ධයෙන් වන චෝදනා සනාථ වී නොමැති බව කියමින්ද ජර්මන් ආණ්ඩුව එදා ගැටලුවෙන් තාවකාලික ගැලවීමක් ලැබීය.

එහෙත් තත්ත්වය එතැනින් නොසන්සිඳිනි. යුරෝපයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් සංවිධානයක් වන ව්‍යවස්ථාමය හා මානව හිමිකම් පිළිබඳ යුරෝපා මධ්‍යස්ථානය (ECCHR) විසින් 2011 ජනවාරි මාසයේ දී මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ජර්මානු ෆෙඩරල් සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයට ඉදිරිපත් කරමින් කියා සිටියේ මේජර් ජනරාල් ඩයස්ට එරෙහිව ප්‍රබල යුද අපරාධවලට අණදීමේ චෝදනා එල්ලවී ඇති බව යි. ඔහු ආඥාපති වශයෙන් කටයුතු කළ 57 වැනි බලසේනාව විසින් යුද්ධයේ අවසන් මෙහෙයුම්වල දී සිදුකළ සියලු ක්‍රියාකාරකම් සම්පිණ්ඩනය කරමින් හා යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන්ට, රෝහල්වලට, ආගමික මධ්‍යස්ථානවලට හා මානවවාදී ආධාර සංවිධානවලට එරෙහිව එල්ල කළ ප්‍රහාර පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් කරමින් මෙම විස්තරාත්මක වාර්තාව සැකැසී තිබිණි.

අදාළ වාර්තාව මෙසේ දක්වා සිටියි:

‘‘යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට හා ඒ අනුව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට ජර්මන් ආණ්ඩුව අසමත් වී ඇත්තේ, ජාත්‍යන්තර නීතිය යටතේ, විශේෂයෙන් ජිනීවා සම්මුතියේ හා එහි අතිරේක මූල ලේඛනයන් ඔස්සේ ගෙනහැර දක්වා ඇති බැඳීම් උල්ලංඝනය කරමිනි. ඒ වෙනුවට ඔවුන් යුද අපරාධ සැකකරුවකුට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ප්‍රදානය කර තිබේ. මේ අන්දමින්, ගමන් බලපත්‍ර අලුත් කරගැනීම වැනි කටයුතු සඳහා තානාපති කාර්යාලයට යන විදෙස්ගත ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන්ට තර්ජනය කිරීමේ ඉඩ, යුද අපරාධවල එක් ප්‍රධාන සැකකරුවෙකුට ලබාදෙමින්, ඔහුට වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ බර්ලින් නගරයේ පදිංචිව සිටින්නට ඉඩ ලබා දී ඇත. තවද, ජර්මන් බලධාරීන් විසින් මේජර් ජනරාල්වරයාගේ පත්කිරීම පිළිගෙන ඇතුවා පමණක් නොව, සිය කටයුතුවලට ද ඔහු සම්බන්ධ කරගනිමින් ද සිටියි. ඔහු ජර්මනියේ වෙසෙන දෙමළ ප්‍රජාව නිරීක්ෂණය කිරීමටත්, ඔවුන් පිළිබඳ විමර්ශන කිරීමටත් ජර්මන් ආරක්ෂක බලධාරීන් සමඟ, විශේෂයෙන් ජර්මානු බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියාකර තිබේ. ස්විට්සර්ලන්තයෙන් ද මෙවැනි ම ක්‍රියා වාර්තා වී ඇත.....

“.....යුද හමුදාවේ සිය තනතුරේ රාජකාරියෙහි නිරතව සිටියදී ඔහු සිය සේනාංකය සමඟ බොහෝ යුද අපරාධ සිදුකොට තිබේ. ඒ අනුව මේජර් ජනරාල් ඩයස් අන් අය හා එකතුව යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලිකව අපරාධකාරී ලෙස වගකිව යුතු වේ.

“තවද, යුද අපරාධයක් සඳහා අණදීම, ජාත්‍යන්තර හා දේශීය අපරාධ නීතිය යටතේ පුද්ගලිකව අපරාධ වගකීමකට ප්‍රමාණවත්, හොඳින් තහවුරු වූ හේතුවකි..... මේජර් ජනරාල් ඩයස් බලසේනා 4ක් ඇතුළත් 57වැනි සේනාංකයේ ආඥාපතිව සිටියේ ය. එබැවින් ඔහු 57වැනි සේනාංකය විසින් සිදුකළ සියලු ෂෙල් වෙඩි ප්‍රහාරයන්ට පුද්ගලිකව වගකිවයුතු වේ. විශේෂයෙන්ම, මඩු පල්ලි සංකීර්ණයට, කිලිනොච්චියට, රාමනාදපුරම් හා විසුවමඩු ප්‍රදේශවලට එල්ල වූ සියලු ෂෙල් වෙඩි ප්‍රහාරයන්හි වගකීම 57වැනි සේනාංකයට පැවරිය හැක්කේ, අදාළ මෙහෙයුම් එම සේනාංකය විසින් මෙහෙයවා තිබෙන බැවිනි. සිවිල් වැසියන්ට, පල්ලි හා රෝහල්වලට ප්‍රහාර එල්ලවිය හැකි බව දැන දැනත්, මේජර් ජනරාල් ඩයස් සිය යටත් නිලධාරීන්ට ෂෙල් වෙඩි ප්‍රහාර සඳහා නියෝග දී තිබේ. ඒ අනුව ඔහු 57වැනි සේනාංකයේ සාමාජිකයන් විසින් සිදුකරන ලද යුද අපරාධවලට පුද්ගලිකවම වගකිවයුතු වේ.’’ (ECCHR වාර්තාව)

අනතුරුව එම සවිස්තර වාර්තාව ECCHR විසින් ස්විට්සර්ලන්තයේ තර්ජිත ජනතාව සඳහා වූ සංගමය හා ට්‍රයල් ආයතනය සමඟින් එක්ව ස්විට්සර්ලන්ත සමූහාණ්ඩු විදේශ කටයුතු දෙපාර්තමේන්තුවට ද බාරදෙන ලදී. ඉල්ලීම වූයේ මේජර් ජනරාල්වරයාට නිකුත් කර ඇති විදේශ දූත සේවා මුක්තිය සහිත රාජ්‍ය තාන්ත්‍රික වීසා අහෝසි කරන ලෙස යි. 2011 අගෝස්තුවේ දී අදාළ ස්විට්සර්ලන්ත ආයතන දෙක ECCHR වාර්තාව හා ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ විශේෂඥ මණ්ඩල වාර්තාව පදනම් කරගනිමින් ස්විට්සර්ලන්තයේ දී අපරාධ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. ඒ අනුව ජගත් ඩයස් නැවතත් ස්විට්සර්ලන්තයට ඇතුළු වුවහොත් ඔහුට එරෙහිව විධිමත් අපරාධ පරීක්‍ෂණයක් ආරම්භ කරන බවට ස්විට්සර්ලන්ත නීති බලධාරියා නිවේදනය කළේ ය. ඊට සමගාමීව ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේ දී සිදු වූ බවට චෝදනා එල්ල වී ඇති, ජාත්‍යන්තර නීතිය යටතේ වන අපරාධ සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණ ජර්මනියේ ද ඇරැඹුණි. ඒ සමඟම මේජර් ජනරාල්වරයාගේ නියෝජ්‍ය තානාපති තනතුරේ පළමු වසර දෙකක කාලය නිම වූ විට, එනම් 2011 සැප්තැම්බරයේ දී ඔහුට සේවා දිගුවක් ලබා නොදී ආපසු සියරට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට සිදු විය. ඒ සමඟ ඔහු වසර දෙකක් තිස්සේ භුක්ති විඳි තානාපති මුක්තිය අහිමි විය.

මේ සියලු තත්ත්වයන් නොසළකා නව ආණ්ඩුව විසින්ද මේජර් ජනරාල් ඩයස් යුද හමුදාවේ හමුදාපතිට පමණක් දෙවැනි වන නිලයට පත්කර තිබේ. යුද හමුදාවේ සාමාන්‍ය නිල ධූරාවලියට අනුව ඊළඟ යුදහමුදාපතිවරයා වීමේ වැඩි විභවතාවක් ඇත්තේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර දරණ නිලධාරියාට ය.

හමුදා ලොක්කන්ට දිගටම තානාපතිකම්

යුද අපරාධ පිළිබඳ විධිමත් අභ්‍යන්තර පරීක්‍ෂණයක් සම්බන්ධයෙන් පමණක් නොව, අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික පත්කිරීම්වලින් තොර විදේශ සේවාවක් ගැන ආණ්ඩුවේ පොරොන්දු ද කඩකරවන අනෙක් මෑතකාලීන පත්කිරීම් දෙක වන්නේ හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පාකිස්තානයේ මහ කොමසාරිස්වරයා වශයෙනුත්, රත්නායකට පෙර හිටපු හමුදාපතිවරයා වූද, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වූද ‍ජෙනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයේ තානාපතිවරයා වශයෙනුත් පත්කිරීමට ගෙන ඇති තීරණය යි. උසස් තනතුරු පිළිබඳ පාර්ලිමේන්තු කොමිටියෙන් මේ පත්කිරීම් අනුමත වී තිබේ.

පසුගිය ජනාධිපතිවරණ‍යෙන් අනතුරුව බලය රැකගැනීම සඳහා හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරීමට සැලසුම් කර තිබුණේයයි කියමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ අන් කිසිවකු නොව, වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීරම ය. මේ පැමිණිල්ලේ දී අදාළ කුමන්ත්‍රණයේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායකගේ නම ද සඳහන් කැරිණි. ඒ පරීක්ෂණ තවම අවසන් වී ඇති බවක් හෝ ඒ ගැන අවසන් නිගමනයකට පැමිණි බවක් දැනගන්නට නැත. එසේ තිබියදී, ජනාධිපතිවරණයෙන් ප්‍රජාතාන්ත්‍රීයව වෙනස් වන දේශපාලන බලය ආයුධ බලයෙන් රැකගැනීමට කළ අසාර්ථක කුමන්ත්‍රණයක ප්‍රධාන වගඋත්තරකරුවකුයයි චෝදනා ලද්දෙකුට ඒ චෝදනා ඉදිරිපත් කළ පුද්ගලයාම අමාත්‍ය තනතුර හොබවන විදේශ සේවයේ තානාපති තනතුරක් ලැබීම නොසැලකිලිමත් කමකට වඩා අමුතු දෙයකි.

දැන් ඒ පැමිණිල්ලට සිදුවන්නේ කුමක්ද? එහි විමර්ශනවලට සිදුවන්නේ කුමක්ද? ඒ පිළිබඳ රටේ මිනිසුන් කල්පනා කළයුත්තේ කෙසේද? හුදෙක් රාජපක්ෂලාගෙන් පළිගන්නට කළ බොරු පැමිණිල්ලක් ලෙසින්ද?

මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ ඍජුවම ජනාධිපතිවරයා බව ද දැනගන්නට ඇත. එය අභ්‍යන්තර සීතල බලඅරගලයක ප්‍රතිඵලයක්ද? වෙනත් බලවේග සතුටු කිරීම උදෙසා, නැතිනම් බල තුලනයක් සඳහා ගන්නා ලද දැනුවත් පියවරක්ද? ඒ කුමක් වුවත් එම ක්‍රියාවේ හැඟවුම නැවතත් කටින් මොනවා කීවත්, විශේෂයෙන් යුද අපරාධ වැනි කාරණා සම්බන්ධයෙන් සේම තානාපති සේවය වැනි කාරණා සම්බන්ධයෙන් පවා  රාජපක්ෂ රෙජීමයේ හා යහපාලයේ ක්‍රියාත්මක තලයේ වෙනසක් නැති බව ය.

රතුපස්වල වෙඩිතැබීමට අණදුන් බ්‍රිගේඩියර්

මීට අමතරව රතුපස්වල දී පානීය ජලය වෙනුවෙන් උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් පිරිසකට වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීමට අණදුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන තවමත් සිටින්නේ තානාපති සේවයේ ය. ඒ තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා වශයෙනි. අවස්ථා කිහිපයකදී ඥාති සංග්‍රහ සහ දේශපාලන පත්වීම් වශයෙන් විදේශ සේවාවට අනුයුක්ත කර සිටි පුද්ගලයන් 50කට අධික පිරිසක් ආපසු සියරට කැඳවූවත්, හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් පවරන ලද ඔත්තුසේවා රාජකාරිවල නිරත වෙමින් බ්‍රිගේඩියර් ගුණවර්ධන තවමත් විදේශ සේවයෙහි රඳවනු ලැබ සිටියි. වෙඩි තැබීමට අණදුන් බ්‍රිගේඩියර්වරයා විදේශ සේවයෙන් වහාම ආපසු කැඳවන බවටත්, සිද්ධිය පිළිබද පරීක්‍ෂණ යළි අරඹන බවටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැලිවේරියේ දී උද්ඝෝෂණයක් පැවැත්වූ ප්‍රදේශවාසීන් හමුවේ මහජන ආරක්ෂක හා ආපදා කලමණාකරණ ඇමැති ජෝන් අමරතුංග පොරොන්දු වූයේ පසුගිය ජනවාරි 26වැනිදා ය.

සිදුවීම් මෙසේ දිගහැරෙන විට මේවායේ ප්‍රතිවිපාක කෙබඳුද යන්න වෙත අපේ සැලකිල්ල යොමුවීම වටී.

ජිනීවා යෝජනා, එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම් හා ඒවායේ වාර්තා පිළිබඳ ‘හා-හෝව’ නැ‍ඟ එන්නේ යුද්ධාවසානයෙන් පසු මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ සම්බන්ධයෙන් වගවීමක් හා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමකුත්, කඩිනම් ප්‍රතිසන්ධානාත්මක ක්‍රියාවලියකුත් සම්බන්ධයෙන් ජාත්‍යන්තරය වෙතින් නැඟුණු ඉල්ලීම් රාජපක්ෂ රෙජීමය දිගින් දිගටම නොතකා හළ හෙයිනි. පසුගිය මාර්තුවේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණෙන්නට තිබූ විමර්ශන වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාව හයමසකට කියා හකුලා ගන්නේ, අර ඉල්ලීම් නොතකා හළ රෙජීමය කඩාවැටී, ඒ වෙනුවට යහපාලනයක් උදා ඉරක් සේ නැඟ ආ නිසාවෙනි. මාස හයක් ඇවෑමෙන්, අර රාජපක්ෂ රෙජීමය නොතකා හළ ඉල්ලීම් - එනම් අපරාධ සඳහා වගවීමත්, ප්‍රතිසන්ධානයක් ඇතිකිරීමත් - නව යහපාලනය යටතේත් ඉටුවේදැයි සැක සිතෙන මෙවන් පියවරයන් ගැනෙද්දී, ඒ පිළිබඳ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රතු එළි දල්වද්දී, තර්කානුකූලව නම් සිදුවිය යුත්තේ, යහපත් බලාපොරොත්තු මත තමන් හකුලා ගත් ක්‍රියාමාර්ග මේ නව තත්ත්වය හමුවේ යළි ඉදිරියට දැමීම යි. අඩු තරමින් ඒ පිළිබද හෙට්ටු කිරීම යි. අනතුරු ඇඟවීමයි. බලපෑම් කිරීම යි.

එහෙත් බලවේග පෙලගැසෙමින් එන්නේ වෙනත් ආකාරයකට බව පෙනෙන්නට තිබේ.

ජාත්‍යන්තර පෙළ ගැසීම්

පසුගිය 04වැනිදා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කී මූන් ජනාධිපති සිරිසේනට පෞද්ගලිකව දුරකතනයෙන් කතාකොට, ‘ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරකිමින් සියලු ජනකොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනැඟීමට ගෙනයන වැඩපිළිවෙලට ප්‍රශංසා කළ බව’ ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය. ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් සමුළුවට තමන් සහභාගී වන බවත්, නව රජයක් යටතේ ඒ සහභාගීත්වය සිදුවන්නට ඉඩ ඇති බවත් සිරිසේන එහිදී මහ ලේකම්වරයාට කියා තිබේ. සැප්තැම්බරයේ මානව හිමිකම් කවුන්සිලයේ සිදුවිය හැක්කේ මොනවාදැයි කටක් හෙල්ලුණු බවක් දෙපැත්තෙන්ම අසන්නට නැත.

ශ්‍රී ලංකා ආණ්ඩුව, අකුණු අප්‍රිකා රජය ඇතුළු විදේශ රාජ්‍ය නියෝජිතයන් කිහිප පොළක්, දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයෙක් හා ප්‍රධාන දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක්ද සහභාගී කරගනිමින්, නෝර්වේ රජය වෙනුවෙන් සම්බන්ධීකරණ වගකීම් එරික් සෝල්හයිම් දරමින් සිටින සාකච්ඡා වටයන්හි නව වර්ධනයන් ද, පසුගිය කෙටි කාලයේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉහළ පෙළේ එක්සත් ජනපද රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනාගේ ප්‍රකාශයන් ද සළකා බලන කල මේ සැප්තැම්බරයේ ජිනීවාහි දී පසුගිය වතාවේ කල්දැමූ වාර්තාව එළිදැක්වෙන්නේද, එළිදැක්වෙන්නේ නම් ඒ වාර්තාවේ මුල් ස්වභාවයෙන්මද, වාර්තාව ඉදිරිපත් වුවත් ඉන් ඔබ්බට යන බලපෑම් සහගත යමක් වේද, නැතිනම් වාර්තාව මෙවරත් එළිනොදකින්නේද ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් ඇත්තේ අවිනිශ්චිතතාවකි.

එසේනම් මේ සියල්ලෙන් ඇගවෙන්නේ නව යහපාලන ආණ්ඩුවට ඕනෑම දෙයක් කරගැනීමේ නිදහස සෙසු ලෝකයාගෙන් පිරිනැමී ඇති බවද? එසේනම් හුදෙක්ම ඒ ජාත්‍යන්තර ප්‍රජාව මේ යහපාලන ආණ්ඩුව මුළුමනින් විශ්වාස කරන - අදහන නිසාද? ඊට වඩා කටුක සත්‍යයක් ඒ යට තිබෙන්නට බැරිද?

JDS වෙබ් අඩවියේ මීට ටික දිනකට පෙර ‘ප්‍රොජෙක්ට් බීකන්‘ සත් වසරකට පසු නැවත කියවා බැලීමක්’ යන මැයෙන්, මෙයින් වසර හතකට පෙර පලවූ ලිපියක් නැවත පළකැරිණි. එම ලිපියට පදනම සැපයූ සිව්වැනි ඊලාම් යුද්ධය සම්බන්ධයෙන් 2007 වසරේ මැද භාගයේ දී කළ විස්මිතයයි කිවහැකි පුරෝකථනයට අනුව 2009 මැයි 01වැනිදාගෙන් යුද්ධය අවසන් කිරීමට නියමිත වූ අතර, එතැන් පටන් 2011 දක්වා තවත් දෙවසරක කාලයක් ‘පවිත්‍ර කිරීමේ මෙහෙයුම්’ (mopping-up operations) උදෙසා වෙන්කැර තිබිණි. එම සුවිෂේශී පුරෝකථනයෙහි අනාගතය සේ දුටු කාලය අද අතීතයට අයත් බැවින්, ඒ පුරෝකථනය හා සත්‍යය කුමන දෛවෝපගතයක් හෝ නියතයක් නිසා කොතෙක් සමපාත වී ඇතිදැයි බලාගැනීමට අප දැන් සමත් ය. එසේම 2009 මැයි දක්වා දැන හෝ නොදැන උක්ත සැලසුමට ඉතාම සමීපව ගමන් කළ රාජපක්ෂ රෙජීමය ඉන් අනතුරුව සැලසුමේ පැවැති ‘පවිත්‍රකරණ මෙහෙයුම්’ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සියලු බලකිරීම් නොතකා හරිමින් මුළුමනින් අත්හැර දැමූ බව ද අපි දැන් දනිමු. එදා නිසි කලට ‘පවිත්‍රකරණ මෙහෙයුම් දියත් නොකළ රාජපක්ෂ රෙජීමය එයින් වසර තුන හමාරක් ඇවෑමෙන් ‘සුද්දකර දැමූ පසු’ තවදුරටත් ‘පවිත්‍රකරණ මෙහෙයුම්’ කියා දෙයක් අවශ්‍ය නොවීම නම් ‘යහපාලන වර්තමානයට‘ අප පැමිණ සිටිනවා වන්නට බැරිද?

මාර්තුවේ දී යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශන වාර්තාව සය මසකින් කල්දැමීමේ සූදානම පැවැති අවස්ථාවේ ඊට එරෙහිව පසුගිය පෙබරවාරි මස 24 වැනිදා පුළුල් ජන සහභාගීත්වයකින් යුතුව යාපනයේ පැවැති විරෝධතාක දී යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ඒ රාසකුමරන් කියා සිටියේ වාර්තාව කල්දැමීමට තමන් සියලුදෙනා විරුද්ධ බව ය. ‘එයින් කාටවත් සාධාරණයක් වෙන්නේ නෑ. අභ්‍යන්තර පරීක්‍ෂණයකට අප එකඟ නොවන්නේ යුද්ධයේ දී රජය එක් පාර්ශවයක් ලෙස පෙනී සිටි නිසායි. එවිට යුද්ධයේ පාර්ශවකරුවකු වූ රජය මැදිහත්වී රට තුළම කරන අභ්‍යන්තර පරීක්ෂණයක විනිවිදභාවයක් හා අපක්ෂපාතීත්වයක් කොහිද?’ ඔහු වැඩිදුරටත් විමසුවේ ය.

යුක්තිය පමා කිරීම

එදා දස දහස් ගණන් මලමිනී විසින් ඒ ස්ථාවරයට ඇදදැමූ දෙමළා එසේ කියන විට, ‘යුක්තිය පමාකිරීම යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකැ’යි ද, ‘යුක්තිය පමාකිරීම අයුක්තියකැ’යි ද කී ප්‍රකට කියමන් අතීකයේ දී කොළඹ වීදිවල ලේ රතු අකුරින් ලෙලදුන් විරෝධතා පුවරු මතට කැන්දූ කොළඹ කේන්ද්‍රීය සිවිල් ක්‍රියාකාරික කණ්ඩායම්, යහපාලන හිරු උදාවෙන් උද්දාමව ‘වාර්තාව හය මසකින් පමා වී සැප්තැම්බරයේ ආවාම මොකද වෙන්නේ?’ යි උස් හඬින් විමසීමට තරම් උපේක්ෂා සහගත වූහ. ‘වාර්තාව මාර්තුවේම එළිදැකිය යුතුය’යි කියන්නෝ එය පමා වීමෙන් සිදුවන අවැඩක් ගැන කීමට අසමත් වෙති’යි කීමට තරම් තර්ක ලැදියෝ වූහ.

යුක්තිය අහිමි කිරීමෙන් විඳවන්නාට යුක්තිය අවශ්‍ය වන්නේ හෙට හෝ තව මාස හයකින් හෝ යුක්තියට තැරැව්කාරකම් කරන නෝනා මහතුන්ට, එසේත් නැතිනම් යුක්තිය ද අයුක්තිය ද යන්න භූ දේශපාලනික චෙස් පෙතේ චලනයන් අනුයමින් විසඳාලන්නට සැදී පැහැදුණු ලෝක පාලන දේවතාවන්ට රිසි වන විටෙක නොවේ. ඔහුට/ඇයට යුක්තිය අවශ්‍ය වන්නේ අද ය, දැන්, මේ මොහොතේ ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල වාර්තාව සංහාරයට ලක්වූ දෙමළාට මහා සාධාරණයක් කරනු ඇතැයි හෝ, සමස්ත යුද අපරාධ සම්බන්ධයෙන් වැදගැම්මකට ඇති වගවීමක්, වගකීමක් සහතික කරනු ඇතැයි හෝ කියා ලියුම්කරු විශ්වාස නොකරයි. ලෝක බලවතුන්ගේ ස්ථාපිත බල ව්‍යූහයන්ගේ සීමාව තුළ දෙමළාට සාධාරණයක් ඉටුවෙතැයි යන විශ්වාසයක් ඇතේතේ ද නැත. එහෙත් ඒ මහා මානව ව්‍යසනයේ මහපොළොවේ වින්දිතයා, වෙනත් බලාපොරොත්තුවක් පෙනෙන තෙක් මානයක නැති දාගිය මුඩුබිමක හිඳ ඒ කෙරේ කිසියම්ම හෝ විශ්වාසයක් තබන්නේ නම්, ඊට වඩා යථාර්ථවාදී, අර්ථදායී, මහපොළොවේ පැළවෙන විසඳුමක් මේ නිශ්චිත මොහොතේ අත නැති පුද්ගලයකු වශයෙන් ලියුම්කරු, දෙමළාගේ ඒ ගණ අන්ධකාරයේ නිවි නිවී දැල්වෙන්නේයයි ඔහු අදහන කණමැදිරි ආලෝක පුංඤ්ජයට ද ගර්හා කොට නිවාදැමීමට අයිතියක් තමන්ට ඇතැයි විශ්වාස නොකරයි.

ශිෂ්ටත්වයේ සලු පොරවාගෙන සිටින ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව නම් උපයෝගීතාවාදී නරුම සත්ත්වයා, අර කණමැදිරි ආලෝක පුංඤ්ජය වෙත හෝ දෙමළා රැගෙන යාම, එසේත් නැතිනම් සදහට ඒ අපේක්ෂා ආලෝක බිඳ ද නිවාදැමීම යන දෙකෙන් එකක්  තීරණාත්මකව තෝරාගන්නා නිමේෂය, ඒ පිළිබඳ එතැනින් එහා විවේචනයන්ට පිවිසීමේ හෝ නව පර්යාදර්ශනයන් ලුහුබැඳීමේ ඉඩහසර විවර කරවන මොහොත වන්නට ඉඩ ඇත.☐

සනත් බාලසූරිය



© JDS