නිලාන්දන්: දෙමළ ජනයාට සිවිල් අවකාශයක් අවශ්‍යව ඇත්තේ ඇයි?

යාපනයේ පුන්ගුඩතිවුහි විත්‍යා සිවලෝගනාදන් ශිෂ්‍යාවගේ මරණය විසින් දෙමළ සමාජ ගැඹුරෙහි ඇති කළ කැළඹීම සන්සුන් වන දවස තවමත් එළඹ නැත. අතවර කොට මරා දැමුණු සිය ගණනක් දැරියන් සහ ස්ත්‍රීන්ට එරෙහි සාහසික අපරාධ දෛනික ජීවිතයේ කොටසක් සේ සළකා නෑසු කන්ව - නොදුටු නෙතින් ඉවසන්නට හුරු පුරුදු වූ දකුණේ සමාජය නොදත් තරම් තීව්‍ර සංවාදයක් එක් පාසැල් දැරියකගේ දුක්බර මරණය විසින් දෙමළ ජන සමාජය තුළ ජනිත කොට තිබේ.

ජූනි 07 වැනි ඉරිදා 'යාල් තිනක්කුරල්' පත්‍රයට නිලාන්දන් විසින් 'கீழிருந்து மேல்நோக்கி அகட்டப்பட வேண்டிய தமிழ்ச் சிவில் வெளி' මැයෙන් ලියූ මෙම ලිපිය එකී සංවාදයේ එක් පැතිකඩක් හකුළා දක්වයි.

පරිවර්තනය: නන්දිනී ෆරීක් සහ අතුල විතානගේ


මා විසින් පුන්ගුඩතිව් ප්‍රශ්නය සම්බන්ධයෙන් ලියන ලද ලිපිය පිළිබඳව එක් සමාජ ක්‍රියාධරයෙකු විසින්  කාරණා කිහිපයක් මතු කරමින් කථිකාවක් අරඹා තිබේ. ඒ පිළිබඳව ඔහු මා වෙත එක් පැනයක් යොමු කර ඇත.

“උතුරු පළාත් සහා ප්‍රධාන අමාත්‍යවරයා පුන්ගුඩතිව් ඇතිවූ ප්‍රශ්නවලට හේතුව වශයෙන් පෙන්වා දී  තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශ හමුදාකරණයට ලක්ව තිබීමයි. මත්ද්‍රව්‍ය වැනි දේ තරුණ පරම්පරාව අතර සැලසුම් සහගතව පතුරුවා හැරීම මෙවැනි අපරාධ වැඩිවීමට තවත් හේතුවකි. ප්‍රධාන අමාත්‍යවරයා පවසන ආකාරයට අප කල්පනා කළහොත් දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම විසඳුමක් විය හැකිය. එමෙන්ම ඔබගේ ලිපියේ දැක්වෙන පරිදි ඔබ යෝජනා කරනුයේ දෙමළ ජනතාව තමන් අතරින් සමාජයේ පහළ සිට ඉහළ දක්වා කිසියම් වැඩ පිළිවෙලක් දියත් කළ හැකි උසස් නායකත්වයක් ශක්තිමත් කළ යුතු බව ය. මේ කාරණාවන් දෙකම ක්‍රියාවට නැංවීමේ විභවයක් පවතී ද?

ප්‍රශ්න හතරක්

උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි මතුව ඇති සියළු ගැටළුවලට හේතුව සමාජය හමුදකරණයට නතුවීම ය. ඒ සඳහා හොඳම විසඳුම වනුයේ හමුදා ඉවත් කිරීම ය. එහෙත් හමුදා ඉවත් කිරීමට යාමේදී මුලිකව ප්‍රශ්න හතරක් මතු වනු ඇත.

1. දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් යුද හමුදා ඉවත් කිරීමට ශක්තියක්, අවශ්‍ය වැඩපිළිවෙලක් හා දේශපාලන දැක්මක්  දෙමළ දේශපාලන පක්ෂ අතර  තිබේද?

2. හමුදා ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන දේශපාලන බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සතුව තිබේද?

3. හමුදා ඉවත් කිරීම සඳහා අවශ්‍ය  නිසි දේශපාලන දර්ශනයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සතුව තිබේද?

4. හමුදා ඉවත් කිරීමට සහාය පළ කෙරෙන, යහපත් දේශපාලන වටපිටාවක් රට තුළ පවතීද?

අපි, මේ ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු එකින් එක සළකා බලමු.

ඒකීය රාජ්‍යය

දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් හමුදා ඉවත් කිරීමට අවශ්‍ය දේශපාලන වැඩ පිළිවෙලක්,  එසේ නැතහොත් අවශ්‍ය ඒකමතිකත්වයක් දෙමළ දේශපාලන පක්ෂ අතර දක්නට නොමැත. ශ්‍රී ලංකාව නමැති 'ඒකීය රාජ්‍යය' තුළ මෙවැනි ඉල්ලීමක්  ඉදිරිපත් කිරීමට කිසිදු පක්ෂයකට හැකියාවක් නොමැත. ඒ සඳහා ඉඩකඩ ද නොමැත. ඒකීය රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව රඳවා තැබිය යුතු බවට දකුණු ප්‍රදේශයේ දේශපාලනඥයින් දරණ මතය ඊට හේතු වේ. එම නිසා ඒකීය ලංකාවක් වෙනුවෙන් දකුණේ මෙන්ම, දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශවලද රාජ්‍ය හමුදා රඳවා තැබීම සාධාරණීකරණය කෙරෙනු ඇත. එසේ බලන විට සාකච්ඡා කිරීම කළ හැක්කේ, හමුදාව ඉවත් කිරීම කෙසේ වෙතත් දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවල සිටින හමුදාව අඩු කිරීම ගැන ය.

අනෙක් අතින්, හමුදා ඉවත් කිරීම සඳහා දේශපාලන බලයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සතුව නොමැත. අලුත් ආණ්ඩුව පවතින්නේ ඉතාමත් දුර්වල තත්ත්වයක ය. රාජපක්ෂ සහෝදරයන්ට එරෙහිව ගොඩනැගුනු ජනතා විරෝධයත්, බටහිර ඇතුළු බලවත් රටවල සහයෝගයත් මත දැනට යහපාලන ආණ්ඩුව ආරක්ෂා වී තිබේ. දෙමළ ජනයා ජීවත්වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදා ඉවත් කිරීමට කටයුතු කළහොත්, එය රාජපක්ෂ සහෝදරයන් විසින් ඔවුන්ට  වාසි සහගත අයුරින් යොදා ගැනීමට අවකාශ විවර කරනු ඇත. ඔවුන් ශක්තිමත් වනු ඇත්තේ සන්නද්ධ හමුදා ලේ හළා ලබාගත් ‘විජයග්‍රහණය' ජනාධිපති සිරිසේන විසින් නැවත දෙමළ ජනයා හමුවේ පාවාදීමට කටයුතු කරන බව පවසමිනි. ඒ හේතුවෙන් ජනාධිපති සිරිසේන උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදා ඉවත් කිරීමේ තීරණයට නියත වශයෙන්ම එළඹෙන්නේ නැත. අවම වශයෙන් ඊ ළඟ මහ මැතිවරණය වන තුරුවත් ඔහු මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකරන බව ඒකාන්ත වශයෙන්ම සහතික ය.

'චාම් ජනාධිපති'

ආණ්ඩු වෙනසට පසුව හමුදාව වාඩි ලා සිටි ස්ථාන සීමා කර ඇති මුත් රැඳී සිටින  හමුදා සෙබළුන් සංඛ්‍යාව අඩු කර නොමැත. සිවිල් කටයුතුවලදී සෘජු හමුදා මැදිහත් වීම් පෙරට වඩා අඩු වී තිබුණ ද ඔවුන්  සියල්ල අත්හැර ඇති තත්ත්වයක් දක්නට නොවේ. එදිනෙදා සිදුවන සෑම දෙයක් පිළිබඳවම නිරන්තර පරීක්‍ෂාවෙන් පසු වීමට හමුදාව උත්සුක වේ. ආණ්ඩු වෙනසට පසු  හමුදාව බලහත්කාරයෙන්  රැඳී සිටි පෞද්ගලික දේපළවලින් යම් පමණකට ඉවත් වීමට කටයුතු කර තිබේ. ඇතැම් අධි ආරක්ෂක කළාපවලින්ද එසේ ඉවත්වීමට ඔවුන් ක්‍රියාකර තිබේ. එහෙත් සාම්පුර් වැනි ස්ථානවල නිවාස හා ඉඩම්, ඒවායේ මුල් අයිතිකරුවන්ට තවමත් ලබා දී නොමැති තත්ත්වයක් පවතී. හමුදාව අත්පත් කරගෙන සිටි මෙවැනි  ස්ථානවලින් ඉවත් වීම හමුදාව අඩු කිරීමක් ලෙස කිසිසේත් දැක්විය නොහැක. එමෙන්ම ආණ්ඩු වෙනස හරහා උතුරු නැගෙනහිර සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන්හි වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඒ මගින් ද හමුදාකරණයේ බලපෑම අවම වී ඇතැයි අදහස් නොවේ. ඉකුත් මාස කිහිපය තුළ දෙමළ ජනයා ජීවත්වන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතිවූ වෙනස ශක්තිමත් වෙනසක් නොවේ. එය ගැටළු සඳහා වන අවසන් විසඳුමක් ද නොවනු ඇත. ඇත්ත වශයෙන්ම ඒවා මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් කළ යම් යම් තාවකාලික පැලැස්තර යෙදීමක් ලෙස දැකීම වඩා නිවැරදි ය. ආණ්ඩු වෙනසට සහාය දුන් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද පදනම තවදුරටත් රඳවා තබා ගැනීමට මේ ක්‍ෂණික වෙනස්කම් ඉවහල් වනු ඇත.

නමුත් හමුදා ඉවත් කිරීම යනු  දේශපාලන තීන්දුවකි. එම තීරණයට එළඹීමට තරම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශක්තිමත් පුද්ගලයෙකු නොවේ. ඔහු රාජපක්ෂ පාලනය වෙනස් කිරීම සඳහා යොදා ගත් මෙවලමක් පමණි.

ජනාධිපති සිරිසේන අනෙකුත් නායකයන්ට වඩා වෙනස් චාම් පුද්ගලයෙකු බවත්, තමන්ට අවශ්‍ය සපත්තු යුගළක් මිල දී ගැනීමට පවා  සාමාන්‍ය පාවහන් වෙළඳ සැලක් කරා යන තත්ත්වයක් පෙන්නුම් කර ඇති බවත් මීට  සති කිහිපයකට පෙර යාපනයට පැමිණි  දේශපාලන විශ්ලේෂකයෙකු වූ කාද්රී  ස්මයිල්  ප්‍රකාශ කර තිබිණ. ඊට අමතරව මෑතකදී පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීද, දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමග පැවති හමුවේදී  ජනාධිපති සිරිසේන පිළිබඳව යහපත් සහතිකයක් ලබා දී තිබේ. නමුත්, මෙහිදී මතුවන ගැටළුව වන්නේ සිංහල නායකයෙකුගේ පෞද්ගලික ගති ලක්ෂණ නොවේ. වඩා වැදගත් වනුයේ  පොදු දේශපාලන ප්‍රශ්නයකදී ඔහු විසින් සිය ආස්ථානය සනිටුහන් කරන්නේ කෙසේද යන්නයි.

සිංහල බෞද්ධ ව්‍යුහය

ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය ගොඩනැගී ඇත්තේ සිංහල- බෞද්ධ බහුතරය මත ය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද එම ව්‍යුහයේම සිරකරුවෙකි. පෞද්ගලික ගති ලක්ෂණයන් ගෙන් කෙතරම් යහපත් වුවද  තමන් නායකත්වය දරණ මේ අධිපති ව්‍යුහයෙන් ඔබ්බට සිතීමට හෝ ක්‍රියාත්මකවීමට අවකාශයක් ඔහුට නිර්මාණය කළ නොහැක. මේ අධිපති සිංහල- බෞද්ධ ව්‍යුහය තුළ කරනු ලබන යම් යම් වෙනස්කම් මතුපිටින් පමණක් කරනු ලබන දෑ පමණි. උතුරු නැගෙනහිර පළාත් පාලනය නතු කරගෙන වාඩි ලා සිටින හමුදා යනු සිංහල-බෞද්ධ පාලන ව්‍යුහය ආරක්ෂා කරනු ලබන යාන්ත්‍රණයයි.

එවන් යාන්ත්‍රණයක්  දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත් කිරීමට  ජනාධිපති සිරිසේන එඩිතර වනු ඇත්තේද? එවැනි තීන්දුවක් ගැනීමට අවශ්‍ය දේශපාලන දැක්මක් ඔහු සතුව තිබේද?

අවසාන වශයෙන්, හමුදා ඉවත් කිරීම සඳහා ඉවහල් වන දේශපාලන තත්ත්වයක් රටතුළ නිර්මාණය වී තිබේද? ඇත්ත වශයෙන්ම එවන් තත්ත්වයක් දක්නට නොමැත. ආණ්ඩු වෙනස ආරක්ෂා කරගනිමින් එය තවදුරටත් ශක්තිමත් කිරීම ප්‍රධාන කාර්යයක් ලෙස සියළු දෙනාම කල්පනා කරමින් සිටියි. මහින්ද රාජපක්ෂ නායකත්වයට පත් කර ගෙන සිටින සිංහල ජනයාගේ මතය වන්නේ, හමුදා ඉවත් කිරීමට කටයුතු කළහොත් උතුරු නැගෙනහිර පළාත්වල සිංහල- බෞද්ධ ආධිපත්‍යධාරී ව්‍යුහය දුර්වල වනු ඇති බවයි. එවැන්නකට එරෙහිව ඔවුන්ගේ විරෝධය නැඟ ඒම අනිවාර්ය වේ. ජනාධිපති සිරිසේන සමග සිටින පිරිස් පවා එවැනි තීරණයකට එකඟ නොවනු ඇත. හමුදා ඉවත් කිරීමට කථා කිරීම රාජපක්ෂට කදිම අවස්ථාවක් මෙන්ම ඔහුගේ ජාතිවාදී ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් වීමට ද රුකුළක් විය හැක. ඒ නිසාම කිසිවෙක් මේ පිළිබඳව කිසිදු කතාබහකට අවතීරණ නොවනු නිසැක ය. එළඹෙන මහ මැතිවරණයෙන් යහ පාලනය ජය ගත් පසුව ද හමුදා ඉවත් කිරීම ගැන කථා කරනු ඇතැයි විශ්වාස කළ නොහැක.

මේ ප්‍රශ්න  හතර කෙරෙහි අවධානය යොමු කිරීමේදී වැටහී යනුයේ දෙමළ ජනයා ජීවත්වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම සඳහා කිසිදු දේශපාලන විභවයක් නොමැති බව ය.

මේ තත්ත්වය තුළ, හමුදා ඉවත් කරන තෙක්, පාළු මං මාවත්වල තනිපංගලමේ ගමන් ගන්නා ගැහැණු දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේ ද? නොයෙකුත් කල්ලි කණ්ඩායම්ල ප්‍රචණ්ඩ ක්‍රියාවන්  නවතා දමන්නේ කෙසේද?

පිටස්තර බලපෑම්?

මෙහිදී දෙමළ සමාජයට එක්  තෝරාගැනීමක් තිබේ. දෙමළ ප්‍රජාව විසින් තමන්ට ගැළපෙන වැඩ පිළිවෙලක් සකසා ගත යුතු ය. දේශපාලනඥයන්, සමාජ ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් එක්සත්ව කරනු ලබන ක්‍රියාවලියක් හරහා ඒකාබද්ධ ක්‍රියා මාර්ගයක්  ගොඩනංවා ගත යුතු ය. ඒ තුළින් පමණක් තම ප්‍රජාවේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබේ.

උතුරු  පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමට හේතුව උතුරු පළාතට පිටතින් පැමිණි පිරිස් වල බලපෑම ය. එසේ පිටතින් පැමිණෙන පිරිස් කියන දෑ මුනිවතින් ක්‍රියාත්මක කිරීමට තරම් අපේ ප්‍රජාව දුර්වල ද?

විත්‍යා ගේ පාසැල් ගුරුවරයෙකු විසින් ලියන ලද ලිපියක් අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධ කර තිබිණි. ඒ ආකාරයෙන්ම විත්‍යාට අපරාධ කළවුන් උගත්  ගුරුවරුන්ට ද  සිය අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබා දිය යුතු යැයි මම සිතමි. මේ අපරාධකරුවන් සිය අධ්‍යාපනය සම්පුර්ණ කරනු ලැබුවේද? ඔවුන් ඉගෙන ගත් පාසැල, ගණුදෙනු කළ සමාජය, වැඳ පුදා ගත් කෝවිල, ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජය, යනාදී මේ සියළු දේ හෙළි කළ යුතු ය. මේ සියළු දේට ප්‍රජාවක් ලෙසට අපේ සම්බන්ධයක් නැතිද? මේ සියළු දෙනාම දෙමළ සමාජයේ අය මිස පිටතින් පැමිණි අය නොවේ. මේ අයගේ දෙමාපියන්ද, නෑදෑයන්ද මේ සමාජය තුළම ජීවත් වෙති. සෘජුවම පැවසුවොත් මේ හැම දෙනාම පවතින අධ්‍යාපන ක්‍රමය හරහා, ස්ථාපිත සමාජ සබඳතා ඔස්සේ  මේ සමාජය තුළින්ම පැමිණි අයයි. ඒ නිසාම සමස්ත දෙමළ සමාජයම මොනයම් හෝ පැත්තකින් මීට වගකිව යුතු වේ.

සිවිල් අවකාශයක්

පුන්ගුඩතිව් සිද්ධිය ගැන යාපනේ සිවිල් සමාජ මධ්‍යස්ථානය සමුළුවක් කැඳවා තිබුණි. ඊට පැමිණි සිටි පුජකයන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාධරයන් යන සියලු දෙනාම කියා සිටියේ මේ සියළු පව්වලට තමන් ද වගකිව යුතු බව ය. දෙමළ සමාජය සිය වැරැද්ද පිළිනොගන්නේ නම් විත්‍යා මෙන් තවත් එවන් බොහෝ දෙනෙක් අහිමි වනු ඇත. විත්‍යාට එරෙහිව අපරාධය සිදු කොට සති කිහිපයක් ගත වීමෙන් එවන් වූම සිදුවීම් වන්නියෙන් ද වාර්තා වුණි.

උතුරු නැගෙනහිර ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කිරීම යනු තේ පැන් සාදයක් නොවේ. පවතින යථාර්ථය තුළ ඊට පවතින හැකියාව ද අවම ය. ඒ නිසා තම ප්‍රදේශ වලින් හමුදාව ඉවත් කරන තෙක් දෙමළ ජනතාව බලා සිටිය යුතුද? එසේ නොමැති නම් අපේ  සිවිල් සමාජය ශක්තිමත් කර ගනිමින් අපගේ සංස්කෘතියත්, සමාජ පරිපාලන ව්‍යුහයත්, සමාජ ආරක්ෂාවත් අප විසින්ම ගොඩනගා ගන්නේද?

මෙහිදී ඉතාම උත්ප්‍රාසය දනවන තවත් කරුණක් තිබේ. එක් පැත්තකින් යුද අපරාධ පිළිබඳ දේශීය විමර්ශනයකට දෙමළ ජනතාව අතර පිළිගැනීමක් නොමැත. එහෙත් විදේශගත දෙමළ සංවිධාන යුද අපරාධ විමර්ශනයකට සහාය පළ කරමින් අත්සන් ව්‍යාපාර දියත් කරන අතරේම යුද අපරාධවලට සම්බන්ධවූවන් සමග සාකච්ඡාවලට එක්වීම දැකිය හැකි ය.

දෙමළ සිවිල් සමාජය ශක්තිමත් කිරීම පිළිබඳව දේශපාලනඥයන්, සමාජ ක්‍රියාධරයන්, බුද්ධිමතුන්, ජනමාධ්‍යවේදීන්, කලාකරුවන්, පුජකයන් යන සියලු දෙනාම එක් මතයකට පැමිණිය යුතුව තිබේ. එසේ නොවන්නේ නම් මෙවැනි ලියවිලි අවසානයේ හුදු සිතුවිලි මාත්‍රයන් පමණක් වනු ඇත.

හුදකලාවේ යනෙ'න දැරිවියන් පැහැර ගෙන යාම නැවැත්වීමට ද නොහැකි වනු ඇත.☐

නිලාන්දන්


© JDS