මළවුන් සැමරීමේ සාමුහික අයිතිය ශිෂ්ටාචාරය පිළිබඳ ප්‍රශ්නයකි

2009 මැයි මාසයේ සිදු වූ වන්නි යුද්ධයේ අවසාන සංහාරයට දැන් සය වසරකි. ඉකුත් සය වසර මුළුල්ලේම සිය මළවුන් නිදහසේ සැමරීමේ අයිතිය දෙමළ ජනයාට අහිමි කළ ශ්‍රී ලංකා රජය හය වැනි අවුරුද්දේ නව ආණ්ඩුවක් යටතේද ඊට අවකාශ අවුරා තිබේ. නමුත් 2015 මැයි මාසයේ 10 වැනිදා 'යාල් තිනක්කුරල්' පත්‍රයට இறந்தவர்களை நினைவூகூர்தல் මැයෙන් නිලාන්දන් විසින් ලියන ලද ලිපිය මුද්‍රණයෙන් පළවන මොහොත වනවිට නව ආණ්ඩුව දෙමළ ජනයාගේ මළවුන් සැමරීමේ අයිතිය සුරකිනු ඇතිදැයි දෙගිඩියාවක් තිබිණ. මළවුන් සිහිපත් කිරීමට ඇති අයිතිය ලබා දෙන්නේද, නැතිද යන්න ශිෂ්ටාචාරය පිළිබඳ ගැටළුවකැයි නිලාන්දන් ලියා ඇත්තේ ඒ හෙයිනි. නමුත් යුද්ධයෙන් සය වසරක් ගෙවී ගිය පසුත්, මියගිය ජනයා සාමූහිකව සැමරීමෙන් වළකින්නැයි දෙමළ ජනයාට කියා සිටීමෙන් හඟවන්නේ නොමළ දෙමළ ජනයා මළවුන් මෙන් ජීවත් විය යුතු බවද?

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ උද්වේගජනක සම්භාෂණ මධ්‍යයේ පවා, ශිෂ්ටාචාරය හා ශ්‍රී ලංකාව අතර දුර සළකුණුව ඇත්තේ දස දහස් සංඛ්‍යාත දෙමළ මළවුන්ගෙනි.

පරිවර්තනය: ප්‍රියදර්ශිනී රත්නසාමි


සර කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ එක්තරා නායකයෙකු මුණගැසුණු අවස්ථාවක මළවුන් සිහිකිරීම ගැන අදහසක් පළ කෙරිණ. "ජනතා විමුක්ති පෙරමුණේ  දෙවැනි අරගලයේ දී මරා දැමූවන් සිහිකිරීම මුල් වසර කිහිපයේදී ඉතාම භයානක  ජීවිත අවදානමක් සහිත දෙයක් වුණා. එත් චන්ද්‍රිකාගේ ආගමනයත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙන්න පටන් ගත්තා. 90 දශකයේ ආරම්භයේදී  මරා දැමුවන් සැමරීම රහසිගතව සිදු වුණත් ඒ තුළ තිබුණා අවංක බවක් වගේම එක්තරා විදියක පුජනීය හැඟීමක්. නමුත්  වසර කිහිපයක් ඉකුත් වූ පසු මේ  තත්ත්වය වෙනස් වුණා. මරා දමුවන් සිහිකිරීම එතරම් අන්ත්‍රාදායක නොවන දේශපාලන ක්‍රියාවලියක් බවට පත් වීමත් සමග බොහෝ පිරිස් විවෘතව සහභාගී වුණා. ඒත් තවත් වසර කිහිපයක් ගතවීමෙන් අනතුරුව ජන සහභාගිත්වයේ අඩුවක් පෙන්නුම් කළා. අද වෙනකොට එය සාම්ප්‍රදායයික සැමරීමක් බවට පත් වෙලා මරා දැමුවන් ගැන පැවති ආත්මීය බැඳීම ක්‍රමයෙන්  අඩු වෙමින් කැලැන්ඩරයේ එක්   දිනයක් බවට පත් වී හමාරයි.”

ජනතා විමුක්ති පෙරමුණේ  මරා දැමුණු සාමාජිකයන් සැමරීමේ වැදගත්කම අඩුවීමට හේතු වුණේ එම පෙරමුණේ දේශපාලනය කිරීමට පැවති බාධක ඉවත් කිරීම නොවේ. ඔවුන් ලිබරල් දේශපාලනයට නැඹුරු වීම හේතුවෙන් මරා දැමුණු සිය දේශපාලන සගයන් සැමරීමට  තිබුණු  ආත්මීය බැඳීම බිඳ වැටුණි. සංවිධානයේ දේශපාලනයට පැවති ගෞරවය අහිමිකර ගැනීමත් සමග  ඔවුන් වෙනුවෙන් සටන් කොට මිය ගිය සහෝදරයන්ට පැවති ආදර ගෞරවය ද ඔවුන්ගේ හදවත් තුළින් පලා ගොස් තිබේ.

එය සිංහල ජනතාව තුළින් මතු වුණු අරගලයක් රාජ්‍ය මර්දනය හමුවේ යටපත් කිරීමෙන් පසු ඇතිවුණු තත්ත්වයකි. නමුත් දෙමළ ජනයාගේ තත්ත්වය කුමක්ද?

සංඛ්‍යා ලේඛන

මළවුන් සැමරීමේ කාරණයේදී  මේ කුඩා දිවයිනේ  දෙමළ සිංහල ජනයා පාර්ශව දෙකකට බෙදී වෙන්වී සිටි. සිංහල ජනයා තුළින් පැන නැඟුණු අරගලය රාජ්‍ය මර්ධනය හමුවේ යටපත් කිරීමෙන් පසු එළඹී වසරවලදී  ඔවුන්ගේ මරා දැමුණු සාමාජිකයන් සැමරීමේ අවස්ථාව උදා විය. ඊට හේතුවුයේ එවකට ඇතිවූ ආණ්ඩු වෙනස් වීම ය. නමුත් දෙමළ ජනයාගේ තත්ත්වය ගතහොත්  මරා දැමු ඔවුන්ගේ ඥාතින්, සහෝදර - සහෝදරියන් , දුවා දරුවන් සැමරීමට  ඉකුත් වසර පහ පුරාම පැවතියේ අති දුෂ්කර තත්ත්වයකි. දැන් ආණ්ඩුව වෙනස් වී තිබේ. ඉදිරියේදීවත් දෙමළ ජනයාට තමන්ගේ  මියගිය සමීපතමයන් සැමරීමට අවකාශයක් ලැබේවිද?

ඉකුත් පස් වසර පුරාම දෙමළ ජනයාට  තම මරා දැමු සමීපතමයන් සැමරීමට අවස්ථාවක් නොලැබුණු නිසාම මරා දැමු සහ අතුරුදහන් කරනු ලැබූවන් කොපමණද  යන්න නිශ්චිතව  සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කිරීමට දුෂ්කර වී ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු දැනගැනීම දෙමළ ජනයාගේ අයිතිවාසිකමකි. එසේ ගණනයක් කිරීමටත් යහපත් දේශපාලනය වාතාවරණයක් පැවතිය යුතු ය. එවන් දේශපාලන තත්ත්වයක් නිර්මාණය වීමට නම් එක් දේශපාලන තීරණයකට එළඹීම තීරණාත්මක වැදගත්කමක් සහිත ය. එම තීරණයට එළඹීමට  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ  'යහපාලන ආණ්ඩුවට' කැමැත්තක් තිබේද?

මීට මසකට පෙර  එක්  අවස්ථාවකදී  බටහිර රටක තානාපතිවරයෙක්  පැවසුවේ  “යුද්දයේදී  මියගිය හා අතුරුදහන් වූ  සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ දත්ත කිසිදු රටක් සතුව නැති” බව ය. මෙහි මතුවන ගැටළුව නම් නිවැරදි ගණන කුමක්ද  යන්න නොවේ.  ගැටළුව වනුයේ දෙමළ ජනයාට නිදහස්ව මේ ගණනය කරන්න නොහැකි දුෂ්කර තත්ත්වයක් මතුව තිබීමයි. එහෙත් ස්වාධීන හෝ ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරන කිසිදු සංවිධානයක් පවා  කිසිදු ගණන් බැලීමක් මෙතෙක් කර නොමැත.

සිවිල් අරගලයක්

ආණ්ඩු මාරුවෙන් පසු උතුරේ සංචාරය කළ ඇමෙරිකානු නියෝජිතයෙකුට උතුරු පළාත් සභා මන්ත්‍රී වරයෙක් විසින් මේ අතුරුදහන් කරනු ලැබුවන් පිලිබඳ කරුණු දක්වා තිබුණි. එවිට ඇමෙරිකානු නියෝජිතයා ඒ පිළිබඳ සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇතත් එම පළාත් සභා මන්ත්‍රීවරයා සතුව කිසිදු සංඛ්‍යා ලේඛනයක් තිබී නොමැති බවට වාර්තා විය. එහෙත් ඇතැම් වෙබ් අඩවි චෝදනා කරනු ලැබුවේ ඔහු සතු සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් නොකළ බවට ය.

ඇත්ත වශයෙන්ම මෙහි පවතින ගැටළුව නම් දෙමළ ජනයාගේ පැත්තෙන් නිසි සංඛයා ලේඛනයක් සකස් කරන්න හැකි දේශපාලන තත්ත්වයක්  උදා නොවීම ය.

මරා දැමුවන් හා අතුරු දහන් කරනු ලැබුවන් ගණනය කිරීම සිවිල් අරගලයක් ලෙස ඉදිරියට  රැගෙන ආ යුතු ය. ආණ්ඩු මාරුවෙන් පසු මෙය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබේ. සිවිල් දේශපාලන නිදහස් අරගලය පර්යේෂණාත්මක මට්ටමින්  දෙමළ දේශපාලන පක්ෂ , බහුජන සංවිධාන විසින් ඉදිරියට ගෙන යාමට බොහෝ අවස්ථාව තිබිණ. ඊට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට ද උත්සුක වන්නට ඉඩකඩ තිබිණ. දෙමළ දේශපාලන පක්ෂවලට  එක පෙරමුණකට විත්  ඊට නිසි දේශපාලනමය වටිනාකමක් එක් කිරීමට ද ඉඩකඩ තිබිණි. එහෙත් කිසිදු දෙමළ දේශපාලන පක්ෂයකට එවැනි දේශපාලන දැක්මක් ඇති බවක් පෙනෙන්නට නොමැත.

එවැනි දේශපාලන වාතාවරණයක් තුළ ආණ්ඩු මාරුවෙන් පසු එළඹෙන පළමු සැමරුම මෙයයි. දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන  මේ පිළිබඳ කටයුතු කරන්නේ කෙසේද? එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය  ඉලක්ක කරගනිමින්  දෙමළ දේශපාලන පක්ෂ ඉකුත් වසර පහ පුරාම කළ පරිද්දෙන්  මේ 18 වැනිදාත් සැරසෙන්නේ සාම්ප්‍රදායික සැමරීමකටද?  එවැනි දේ  සඳහා ඇතැම් ජනතා නියෝජිතයන් පෞද්ගලික මට්ටමින් කටයුතු කිරීම වෙනත් කාරණාවකි. එහෙත් පක්ෂ ප්‍රතිපත්තියක්  ලෙසට ක්‍රියාත්මක වීම වෙනත් කාරණාවකි. එසේ ක්‍රියාත්මක වීමේදී  නීතිමය හෝ ආරක්‍ෂක ප්‍රශ්න මතුවන බවට ප්‍රකාශ වේ. ඊට හේතුව 2009 මැයි මාසයේ මියගිය අය අතර  සාමාන්‍ය ජනයා මෙන්ම දෙමළ විමුක්ති කොටි සංවිධානයේ  සාමාජිකයන්ද සිටින බැවිනි. එම නිසා යුද්ධයේදී  මරා දැමුවන් සැමරීම දෙමළ විමුක්ති කොටි සංවිධානයේ  නායකයන්  සැමරීමක් ලෙස  ඊට එරෙහි වුවන් ගෙවුණු වසර පහ පුරාම කියා සිටියේය.

විමුක්ති කොටි සැමරීම

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ  මියගිය සාමාජිකයන් සැමරීම තුළින් එම සංවිධානය යළි ගොඩනැගීමක් ලෙස ඇතැම්හු අදහස් දක්වති. මේ අදහස සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්න කිහිපයකි.

1. මරා දැමුවන් සැමරීම එක් සංවිධානයක දේශපාලනය යළි ගොඩනැගීමක් යන බියක් ඇතිවන්නේ නම් ඉන් අදහස් කරනුයේ එම සංවිධානය යටපත් කළද එහි දේශපාලනය යටපත් කිරීමට නොහැකි වූ බවද?

2. එසේ නම් මැයි 18 වැනිදා අවසන් කරනු  ලැබුවේ එක් සංවිධානයක් ද? නැතහොත් ඔවුන් පෙරට ගෙන ආ දේශපාලනය ද?

3. එම දේශපාලනය පවතිනුයේ  අළු යට ගිණි පුපුරු මෙන් නම් ඉන් අදහස් කරනුයේ  ජාතික ගැටළුවේ ප්‍රධාන කාරණාවලට තවදුරටත් විසඳුම් නොමැති බවද?

4. මළවුන් සැමරීම මානව සමාජයේ සාමුහික අයිතියකි. එම අයිතිය ශ්‍රී ලංකාවේ ජාතීන් අතර එක හා සමාන අයිතියක් නොවන්නේද?

ආණ්ඩු මාරුවෙන් පසු මේ ප්‍රශ්නවලට තර්කයක් ඇත. ආණ්ඩු මාරුවෙන් පසු පවතින දේශපාලනයේ සැබෑ තත්ත්වය හා දෙමළ ජනයාගේ වත්මන් තත්ත්වය අවබෝධ කර ගැනීමට ද මේ ප්‍රශ්න කිරීම ඉවහල් වේ.

ශිෂ්ටාචාර ගැටළුව

මෑත ඉතිහාසයේදී දෙමළ ජනයාගේ නිජබිම තුළම සිදු කෙරුණු සාහසික මිනිස් සංහාරය අනුස්මරණය කිරීම ඊළම් දෙමළ ජනයාට ඉකුත් වසර පහ පුරාම  දුෂ්කර විය. මළවුන් සැමරීම අනාදිමත් කාලයක සිට පැවත එන සම්ප්‍රදායයකි. මළවුන්ට දෙවියන්ට  මෙන් සැලකීම, මළසිරුරට  ගෞරව දැක්වීම පවා මිනිස් ශිෂ්ඨාචාර ආරම්භයේ දී ඇති වූ ප්‍රධාන මානව චර්යා ධර්මයන්ට අයත් ය. සතුන් හා මිනිසුන් අතර ඇති වෙනස සටහන් වනුයේ ද මෙහිදී ය. ඇතැම් සතුන් හා පක්ෂීන් අතර මැරුණු සිය වර්ගයා අතර ශෝකය ප්‍රකාශය කිරීමේ නොයෙකුත් විධි දක්නට ලැබේ. එහෙත් මිනිස් සමාජය එය සම්ප්‍රදායයක් ලෙසින් ඉදිරියට ගෙන යමින් සිටියි. මානව වර්ගයා ශිෂ්ටාචාරගතවීම ඉතා වැදගත් අංගයක් සේ සළකනු ලබයි. එය හුදු දේශපාලන අයිතියක් පමණක් නොව, සංස්කෘතික අයිතියක්  ද වේ.

මානව ශිෂ්ටාචාරයේ ආරම්භක ජනාවාසවල පවා මානවයා තම මුතුන් මිත්තන් දේවත්‍වයෙහි ලා සළකා පුද පුජා පැවැත්වූ බවට මානව ඉතිහාසය සාක්ෂි දරයි. එසේ වූ බවට බොහෝ සාධක එවැනි ජනාවාස ඇසුරෙන් සොයාගෙන තිබේ.

මළවුන් සැමරීමට බාධා පැමිණවීම මනුෂ්‍යත්වයට කරන නිගාවකි. ඇතැම් බටහිර රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් මළවුන් සැමරීමට පක්ෂව අදහස් දක්වා තිබේ. ගෙවුණු වසරක දී එක් යුරෝපිය රටක ප්‍රධානියෙක් අලිමංකඩදී  පුෂ්පෝපහාර දක්වන ලදී. ඉකුත් මාසයේ එක් ඇමෙරිකානු නියෝජිතයෙකු  මුල්ලිවයික්කාල් හිදී මියගියවුන් වෙනුවෙන් පුෂ්පෝපහාර දක්වා තිබුණි. මේ සියල්ලම සංකේතාත්මක දෑ පමණි. එහෙත් දෙමළ ජනයාට අවශ්‍යව ඇත්තේ සංකේතාත්මක ක්‍රියාවන් නොව, තමන්ගේ සාමුහික අයිතීන් සහතික කරනු ලබන දේශපාලන වාතාවරණයකි. ඊට ජාත්‍යන්තර වශයෙන් බලපෑමක් අවශ්‍ය වේ. ආණ්ඩු වෙනසකට  ලක් කිරීමට දායක වූ බටහිර රටවල් පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී සංකේතාත්මක වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාම වෙනත් කරුණකි. ආණ්ඩු මාරුවෙන් පසුව ද  තවදුරටත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම පිටපුස වෙනත් දේශපාලන අරමුණක් තිබේ.

'වෙනස'ගැන

වසර පහකට පසුව හෝ මෑත කාලීන දෙමළ දේශපාලනයේ  සිදුවූ  විශාලතම ජිවිත අහිමිවීම සැමරීමට අනුමැතිය දෙමළ ජනයාට ලැබේනම්  “වෙනස” කෙරෙහි  ඔවුන්ට අපේක්ෂා සහගත වීමට රුකුල් වනු ඇත. පහත සඳහන් කාරණා කෙරෙහි වැදගත් වනුයේ එයයි.

· ශ්‍රී ලංකාවේ  ප්‍රතිසංධාන  ක්‍රියාවලිය කෙරෙහි ප්‍රායෝගික සිතීමකට ආරම්භක සාධකයක් වීම.

· සාමුහික වේදනාවන්ගෙන් පීඩා විඳින දෙමළ ජනයාට සිය මානසික සහනය ඇති කරනු ලබන ප්‍රතිකාරයක් වීම.

· තම තමන්ගේ ආගමික  හා වෙනත් විශ්වාසයන් අනුව මළවුන් සැමරීමට ඉඩ ලැබීමෙන් සාමුහික ප්‍රාර්ථනාවන් ගොඩ නැගීමට උපකාරී වීම.

· මළවුන් සැමරීම දෙමළ ජනයාගේ සාමුහික අයිතියකි. එය  බටහිර රටවල් හා ඉන්දියාව ද ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීමට සුදානම් නොමැති වීම.

· කිසියම් වූ සංස්කෘතියක්  පිළිගැනීම දේශපාලන නවීකරණයකි. මළවුන් සැමරීමේ අයිතිය ද මානව වර්ගයේ නවීනත්වය පෙන්නුම් කරනු වස් අවශ්‍ය දර්ශකයක් ලෙස පවතී. එම නිසා දෙමළ ජනයා අතර සිටින සියලු පාර්ශවයන්ට ඊළම් අරගලයේදී මියගිය හා අතුරුදහන් කරනු ලැබූ සියලු දෙනා සැමරීමට ඇති අයිතිය ලබා දීම මගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය නවීකරණයට මං විවර වනු ඇත.

දෙමළ ජනයාගේ  මරා දමුවන් හා අතුරුදහන් වුවන්  නිදහසේ සැමරීමට ඉඩ කඩ සැළසීම, ශ්‍රී ලංකාවේ දේශපාලන නවීකරණයකට අවශ්‍ය අවම හා ආරම්භක සාධකයක් වනු ඇත.☐

© JDS