දෙමළ ජනයාගේ ඡන්දයේ ඇති උපායික වැදගත්කම

නිමා වූ මැතිවරණ ක්‍රියාවලිය හා එහි අවසන් ප්‍රතිඵලය වනාහී හුදෙක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රතිවිරෝධතාවන්ගේ කූඨ ප්‍රාප්තිය යැයි කල්පනා කිරීම යථාර්තය ගැන සදොස් කියවීමකි. ජාතිකව වර්ධනය වී ප්‍රකාශයට පත් වූ පසමිතුරුකම් විසින් මැතිවරණ ක්‍රියාවලියට එල්ල කළ බලපෑම් තරමටම  හෝ ඇතැම් විට එය ඉක්මවා යන තරමේ බලපෑමක්, කලාපීය හා ගෝලීය බලවේගයන් අතර පවතින පසමිතුරුකම් විසින් ද මැතිවරණය කෙරෙහි ඇති කළ බව දැන් රහසක් නොවේ. නමුත් දෙමළ ජනයා විසින් ලබා දෙන ලද තීරණාත්මක බහුතරය නොවන්නට, රාජපක්‍ෂ පාලන තන්ත්‍රය යළිත් වටයකින් සිය ආධිපත්‍යය තහවුරු කරගැනීමට සැළකිය යුතු ඉඩක් තිබුණු බව අවිවාදිත ය. කරුණු එසේ වී නම්, දෙමළ ජනයාගේ ඡන්දය පෙරළා දෙමළ ජනයා වෙත ළඟා කරදෙන දේශපාලන ජයග්‍රහණයක් තිබේද? නැතහොත්, එය දෙමළ ජනයාගේ දුක්ඛිත ඉරණම වඩා ගැඹුරු කරන්නා වූ කොන්දේසි නිර්මාණය කරනු ඇතිද? රාජපක්‍ෂ පාලනය අවසන් කර දමන්නට දෙමළ ජනයා තුළ කැකෑරුණු ‍අභිප්‍රාය, දෙමළ සමාජයට බාහිර බලවේගයන්ගේ උපායික අභිලාෂයන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය පසුබිම සකස් කර දෙනු ඇත්තේද?

දේශපාලන විශ්ලේෂක නිලාන්දන් විසින් ජනවාරි 18 වෙනිදා, 'යාල් තිනක්කුරල්' පත්‍රයට வியூக முக்கியத்துவம் மிக்க தமிழ் வாக்குகள் මැයෙන් ලියන ලද ලිපියෙන් මතු කරන යට කී ගැටළු, මැතිවරණය විසින් දෙමළ සමාජය තුළ ඉතිරි කොට තබා ගිය අවිනිශ්චිතභාවය හා සංශයන් කැඩපත් කොට පෙන්වයි.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්. රාජ්කුමාර්


හින්ද රාජපක්‍ෂව මෙතරම් සීරු මාරුවෙන් බලයෙන් පහකර ගැනීමට හැකි වනු ඇතැයි කිසිවෙකු තුල අපේක්‍ෂාවක් නොතිබිණි. ඔහුද මෙවන් දෙයක් බලාපොරොත්තු නොවන්නට ඇත . රාජපක්‍ෂ මෙතරම් සාමකාමී අයුරින් සිරිසේන වෙත බලය මාරු කරාවි යැයි සිතන්නටවත් කිසිවෙකු සමත් නොවිණි. බටහිර තානාපති සේවා ප්‍රධානීන්ට පවා පැවතියේ  රාජපක්‍ෂ පරාජය වුවහොත් හමුදා සහයෝගයකින් සිය බලය යළි තහවුරු කරගනු ඇතැයි  සැකයකි. මේ පිළිබඳව  බලවත් රටක තානාපති වරයෙකු  ද දෙමළ ජාතික සන්ධානයේ ඉහල පෙළේ නායකයෙකු සමග සාකච්ඡා කර තිබිණි. එහෙත් අවි ගැටුමකින් හා ලේ වැගිරීමකින් තොරව රාජ්‍ය පාලනය වෙනස් වී හමාරය. ඊට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය ද සාමකාමීව වෙනස් විණ. 

තමන් බලයෙන් පහ කිරීමට සිදුවන්නේ අරාබි වසන්තය මෙන් ලේ ගංගාවක් හරහා බව මහින්ද රාජපක්‍ෂගේ විශ්වාසය විය. ඔහු සිංහල ජනයාට කියා සිටියේ ගඩාෆි, සදාම් හුසේන් මෙන් තමන් බලයෙන් පහකිරීමට නොහැකි බවයි. සිය ප්‍රතිවාදියා මතු විය හැක්කේ පිටතින් බව ඔහුගේ විශ්වාසය විය. ෆොන්සේකා පරාජය කිරීමෙන් පසු  සිය ජයග්‍රහණය බෙදා හදා ගන්නට ඇතුළතින් කිසිවෙකු නැගී සිටිනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය. මෙතරම් සාමකාමී අන්දමින් මහින්ද රාජපක්‍ෂව බලයෙන්  ඉවත් කිරීම, ශ්‍රී ලංකාව ගැන නිරන්තර අවධානයෙන් පසුවන ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම  දේශීය දේශපාලන විශ්ලේෂකයන්ද අපේක්‍ෂා නොකළ දෙයකි. එසේ කල්පනා කරන්නට හේතු වනුයේ රාජපක්‍ෂ පාලනය මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ ආණ්ඩුවලට වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගත් ආණ්ඩුවක් බැවිනි.

එහි පළමු වෙනස නම් සිංහල ජනයාට පරාජය කළ නොහැකිව සිටි ප්‍රතිවාදියා වූ කොටි සංවිධානය පරාජය කිරීම යි. දෙවනුව,  ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට එහි තිබූ සූදානමත්, තෙවනුව  එම ජයග්‍රහණය ආයෝජනය කරමින් විජයග්‍රාහී ඝෝෂාවේ නායකත්වය ලබා ගැනීම වෙනුවෙන් වූ දේශපාලනය ඉදිරියට ගෙන යාමට තිබූ හැකියාවත් ය. සිව්වන කාරණාවක් වන්නේ ජයග්‍රහණය සඳහා අනුගමනය කළ ක්‍රියාදාමය තුළම රාජපක්‍ෂ සිර කරුවෙකු බවට පත්වීම වූ අතර  පස්වනුව  යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ  දැඩි විමර්ශනයට ලක් වූ නායකයෙක් බවට පත් වීමද විය.  අවසාන සහ හය වෙනි කාරණාව වන්නේ  මේ යුද ජයෙහි කොටස්කරුවන් වූ හමුදා නායකත්වය හෝ සිය පක්ෂයේ නායකයන් අතර එම ජයග්‍රහණයේ අයිතිය බෙදාගන්නට සුදානම් නොවීමත්, එය සිය පවුලේ ජයක් බවට පත්කර ගැනීමට උත්සහා දැරීමත් වේ.  මෙකී සකළ විධ කාරණා මගින් ලංකාව පාලනය කළ අනෙකුත් ආණ්ඩු වලින් රාජපක්ෂ ආණ්ඩුව සිය වෙනස සලකුණු කර තිබිණි. මෙවැනි අසාමාන්‍ය තත්ත්වයන් මගින් පෙන්නුම් කරනු ලැබුයේ ආණ්ඩුව කිසිසේත් පෙරළා දැමිය නොහැකි සවිමත් එකක් බවකි. බොහෝ දෙනා කල්පනා කළේද සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ය. නමුත්  මහින්දගේ ප්‍රතිවාදියා පිටතින් පැමිණෙයැයි  බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම සිය ප්‍රතිවාදියා බිහි කිරීමට බලවත් රටවල් සමත් විණි. ජයඝෝෂා සැමවිටම  එය ඇතුළතින්ම හැකිලී යාමේ ස්වභාවයක් පවතී. ලෝකයේ ඕනෙම තැනකට එය අදාළ වේ.

රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දමන්නට යන බව  බටහිර රටවල් කියා සිටියේ මීට වසර තුනකට  පමණ පෙර සිට ය. මේ පිළිබඳව දේශපාලන පක්ෂ නායකයන් හා ක්‍රියාකාරිකයන් සමග සෘජු සාකච්ජා පැවැත්වුණු බවට ද වාර්තා විය. රාජපක්‍ෂද මේ ගැන හොදින් දැන සිටියේය.

ශ්‍රී ලංකා වසන්තය

බොහෝ දෙනා අපේක්‍ෂා කළ අරාබි වසන්තය  වැනි  ලේ වැගිරීමකින් තොරව, දැන් ඉතාමත් සැලසුම් සහගතව බලය වෙනස් වී ඇත. එහෙත්  තිරය පිටුපස සිදුව ඇති සිදුවීම් විමර්ශණයේදී සිදුව ඇත්තේ සාම්ප්‍රදායික ආණ්ඩු වෙනසක් යැයි කිව හැකිද?  අනෙක් අතින් දැන් සිදු වෙමින් පවතින දෑ  ශ්‍රී ලංකා  වසන්තය  යැයි කිව හැකිද? මහින්ද බලයේ සිටියදී ඔහු මහත් ආඩම්බරයෙන් කියා සිටියේ  ශ්‍රී ලංකාව ආසියානු ආශ්චර්ය බවට පෙරළීම පිළිබඳව ය. ඔහු බලයෙන් පහව සිටින මේ මොහොතේ  සිදුවන දේ  ආසියානු ආශ්චර්ය නොවේදැයි විමසන්නට සිත් පහළ වීම අරුමයක්ද?

ශ්‍රී ලංකාවේ දේශපාලනය තීරණය කරන බලයක් බවට රජයේ හමුදා ක්‍රමානුකූලව පත් වී හමාරය. ඒ මීට කලකට පෙර සිට ය. නමුත් ආණ්ඩු වෙනස් වීම් වලදී  බොහෝ දුරට රජයේ ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීම් නොවන තරම් ය. හමුදා කුමන්ත්‍රණ ගැන සැක පහළ වූ  අවස්ථාවන් හි පවා ආණ්ඩු වෙනස් වීම් සිදුවුයේ ඉතාමත් සාමකාමීව ය. මෙම දිවයින ජාත්‍යන්තරයේ ගෞරවයට පාත්‍ර වීමටත් එය ඒක හේතුවක් විය. මෙවරත් එවැනි සැක බිය පහළ වුවද දැන් වනවිට  ඉතාමත් තීරණාත්මක අයුරින් රාජපක්‍ෂ පරාජය කර අවසන් ය.

රාජපක්‍ෂ බලයෙන් පහකිරීමේ පරිශ්‍රමයේදී  දෙමළ ජනයාගේ ජන්ද විශේෂ දායකත්වයක් දැක් වූ බව අවිවාදිත කරුණකි. අරාබි වසන්තය වැනි ලේ වැගිරීමකින් තොරව ඉතාමත් සාමකාමී ශ්‍රී ලංකා වසන්තයට බහුතර දෙමළ ජන්දදායකයාගේ දායකත්වය ලැබුණි . මෙය ජාත්‍යන්තර ඇසකින් බලන්නේ නම් බටහිර රටවල ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට දෙමළ ඡන්ද දායකයා අචේතනික උපකාරයක් වී ඇතැයි අවශ්‍ය නම් කිව හැකි ය. දෙමළ ඡන්ද නොවන්නට 'ශ්‍රී ලංකා වසන්තයක්' උදා නොවන්නට ඉඩ තිබිණි. ඇත්තෙන්ම බහුතර දෙමළ ජනයා සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුයේ රාජපක්ෂ ඉවත් කරගැනීමේ අරමුණු  පෙර දැරිව ය.

නමුත් මෙවන් ජාත්‍යන්තර ව්‍යාපෘතියකට සිය ඡන්දය වැදගත් කොටස් කරුවෙකු විය හැකි බව දෙමළ ජනයා දැන සිටියාද? 

2005 දී ඇමෙරිකානු නායකත්වයෙන් යුත් බටහිර ව්‍යාපෘතිය කඩාකප්පල් කෙරුනේ දෙමළ ජනයා ජන්දය පාවිචියෙන් වැළකි සිටීමෙනි. වෙනත් අයුරකින් පැහැදිලි කළහොත්, එදා ඡන්දය පාවිච්චි නොකිරීමට දෙමළ ජනයා ගත් තීරණය  දැනුවත්ව හෝ නොදැනුවත්ව,  ඉවත් කර දදෙන ලද්දේ චීනයේ උපායික මුතු පොටට තිබු බාධකයයි. එපරිද්දෙන්ම මෙවර ඡන්දය භාවිත කිරීම මගින් බටහිර ව්‍යාපෘතියට යම් තාක් දුරකට මාර්ගය සකසා දී ඇතැයි කිව හැකිය. අනෙක් පසින් චීන ව්‍යාපෘතිය කඩා කප්පල් කරමින් ආණ්ඩු මාරුවක් සිදු වුවද ලංකාව කෙරෙහි මැදිහත් වීම් ක්‍ෂණිකව ඉවත් නොවනු ඇත.  රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ බටහිර රටවල් සමග  පැවති සබඳතා මුළුමනින්ම බිඳ නොවැටුණු පරිද්දෙන්ම, චීනය සමග ද රාජ්‍ය තාන්ත්‍රික සබඳකම් අඛණ්ඩව පවතිනු ඇත. විවෘත ආර්ථිකය මගින් මුළු ලොවම තනි පද්ධතියක් බවට පත් කෙරෙමින් ඇති තත්ත්වයක තුළ වෙළඳ පොළ අර්ථයෙන් චීන - ලංකා සබඳතා අඛණ්ඩව පවතිනු ඇත. නමුත් රාජපක්‍ෂ පාලන කාලයේදී මෙන් දේශපාලන පිළිගැනීමක් ලැබෙනු ඇතැයි සැක සහිත ය. චීනයට සිදුව ඇත්තේ ඔවුන්ගේ උපාය මාර්ගික මුතු පොටටත් , සේද මාවතටත් වාසිදායක විය හැකි නව උපායයන් සෙවීමට ය. ඒ අනුව දෙමළ ඡන්දදායකයන් දැන හෝ නොදැන චීනයේ කලාපීය  බල අරමුණු  දුෂ්කරතාවයකට ඇද දමා තිබේ.

මේ හා සමානවම එක්සත් ජනපදය හා සෝවියට් දේශය අතර පැවති නිරවි යුද්ධයේදී, 1983 සිට 1987 දක්වා  කාලය තුළ,දෙමළ ජනයා කොටස්කරුවෝ වුහ. ඇමෙරිකානු ගැති ජයවර්ධන ආණ්ඩුවට බලපෑම් කිරීමේ පීඩන ලීවරයක් වශයෙන් ඊළම් අරගලය දිරිගන්වනු ලැබුයේ සෝවියට් හිතවාදී ඉන්දියාව විසිනි. මේ අයුරින් පසුගිය දශක ගණනාවක්ම ලෝක බලවතුන් මෙන්ම කලාපීය බලවතුන්ද  දෙමළ ජනයාගේ ජාතික ඉල්ලීම් යොදා ගනු ලැබුයේ සිය අභිලාෂයන් මුදුන්පත් කරගැනීම වෙනුවෙනි.  ජාත්‍යන්තර බලමුළු අතර සැඟවුණු යුද්ධයත්, දෙමළ ජනයාට එරෙහි සැබෑ යුද්ධයත් යන බල ව්‍යාපෘතීන් අතරට දෙමළ ජනයා බිලි වූහ. දැන් අවසන් වූ මැතිවරණයෙන් පසු ද පෙන්නුම් කරනු ලබන්නේ එවැන්නකි. පොදුවේ රාජ්‍ය නොවන පාර්ශවකරුවන් සමග කේවල් කිරීමේ සාකච්ඡාවන්හිදී  රාජ්‍යයට පක්‍ෂ නොවන ජන සමුහයන්ට තිබිය හැක්කේ  වෙළඳ පොළ වටිනාකම්, ආකර්ශණිය ස්වභාවික සම්පත් හා භූ-දේශපාලනික තත්ත්වය නිසා ඇතිවන උපාය මාර්ගික බලයයි.

පසුගිය දශක තුනකට අධික කාලයක් පුරා කලාපීය හා ජාත්‍යන්තර ව්‍යාපෘති මගින් කිසියම් ප්‍රතිශතයක් ඊළම් දෙමළ ජනයාගේ අරගලය ඉදිරියට ගෙනයාමට හෝ යටපත් කිරීමට දායකවී තිබේ. මේ දෙස දැඩි විමසිල්ලෙන් බලන විට පෙනී යනුයේ එක්තරා උපායික වටිනාකමක් ඊළම් දෙමළ ජනයාට පැවති බවය. මෙය ඊළම් ජනයාගේ කේවල් කිරීමේ බලය තීරණය කිරීමේදීද ප්‍රධාන හේතුවක් විය. නමුත් ප්‍රශ්නය වන්නේ, සිය ඡන්දයට මෙපමණ වටිනාකමක් තිබේ යැයි ජනාධිපතිවරණයට පෙර ඔවුන් දැන සිටියේ නම් කා සමග හෝ කිසියම් කේවල් කිරීමක් කරන්නට ඉඩක් තිබුණේද යන්නයි?   ඇත්තෙන්ම දෙමළ ජාතික සන්ධානය මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළේද?

සැබැවින්ම මේ වනාහී ඉතාමත්ම භයානක තත්වයකි. තමන්ට ඇති වැදගත්කම, කේවල් කිරීමේ බලය ගැන කිසිදු අවබෝධයකින් තොරව මේ සංඛ්‍යාත්මක සුළුතර ජන කොටස සිය ජන්දය පාවිච්චි කර තිබේ. දශක තුනකට වඩා වැඩි කාලයක් ලේ වැගිරු මෙම ජනකොටසට සිදුවු ගැඹුරු තුවාල තවමත් සුවපත් වී නොමැත. සාමුහිකව විඳි වධ වේදනාවන්, මානසික පීඩනයන් මෙන්ම  මරා දමුවන්, අතුරුදන් කරනු ලැබුවන් ගැන කිසිදු ගණන් බැලීමකින් තොරව ඇද දමා ඇත්තේ දැඩි පීඩිත බවකට ය. මෙවන් ජන කොටසක් සිය අවශ්‍යතාවන් වෙනුවෙන් පාවිච්චි කරන බලවත් රටවල් ඔවුන්ට ලබාදීමට අපේක්ෂිත විසදුම කුමක්ද?  යුක්තිය කුමක්ද?

රාජපක්‍ෂ ඔහුගේම සගයන් හරහා පරාජයට පත් කළ බටහිර රටවල් හා ඉන්දියාව, දෙමළ ජනයාට හිමි යුක්තිය  ලෙස සළකනුයේ  යුද ජයඝෝෂාවේ කොටස් කරුවන්ට දඩුවම් කිරීමට අරඹන ව්‍යාපෘති වලටද?

සත්‍ය ගවේෂණය

මඩු දේවස්ථානයට පැමිණි පාප් වහන්සේගෙන් යුක්තිය ඉල්ලා සිටි දෙමළ ජනයා රැගෙන ගිය පුවරු වල සටහන්ව තිබුනේ  “ ජන සංහාරයට විසඳුම  ජාතික ගැටලුවට විසඳුම් ලබා දීමයි”  යනුවෙනි. පාප් වහන්සේ  සිය දේශනයේදී  කියා සිටියේ  ප්‍රතිකර්ම සෙවීමට යන ක්‍රියාවලියේදී සත්‍යය සොයා යාමත් ඇතුළත් විය යුතු අතරම එය අත්‍යාවශය බව ය .ඒ පැරණි තුවාල නැවත මතු කිරීමට නොව, යුක්තිය ඉටුකර එක්සත්භාවය වෙනුවෙන් වූ ප්‍රතිකර්ම සඳහා අතවශ්‍ය ක්‍රියාවලියක් වන බව පාප් වන්සේගේ අදහස විය.

දකුණු අප්‍රිකාවේ ජයගත් ප්‍රතිසන්ධාන වැඩ සටහනේදී සත්‍යය සෙවීමේ කාර්යයට වැඩි බරක් දී තිබිණි. එය අරමුණු කොට ස්ථාපිත කරන ලද කොමිසමේ නිල නාමයෙහි 'සත්‍යය' නමැති වචනය ද නිශ්චිතව ඇතුළත්ව තිබිණි. එහෙත් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ ඒ  සත්‍යය නොතිබුණි. නමුත් දැන් පාප් වහන්සේ සත්‍යය වෙනුවෙන් බලපෑමක් කර තිබේ. වැදගත් වන්නේ මෙයයි: මෙහිදී මතුවන සත්‍යය කුමක්ද? ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ප්‍රකාශ කිරීමට පැකිළුනු සත්‍යය කුමක්ද?  එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙපමණ කලක් නොපැවසූ සත්‍යය කුමක්ද?  සත්‍යය වන්නේ, “කුරිරු ත්‍රස්තවාදී ප්‍රශ්නය ජය ගැනීමෙන් පසු අප ජනතාව තුළ සාමයත්, සුහදත්වයත්  ඇති කිරීම තම රජය ඉදිරියට තබා ඇතැයි” පාප්වහන්සේ පිළිගනිමින් රාජ්‍ය නායකයාවූ මෛත්‍රීපාල සිරිසේන කළ  ප්‍රකාශයද? එසේ නොවේනම් සත්‍යය වන්නේ, පාප් වහන්සේ හමුවට ගොස් දෙමළ ජනයා ප්‍රදර්ශනය කළ පුවරුවල සටහන් වූ  “ ජන සංහාරයට එරෙහි යුක්තිය,ජාතික ගැටළුවට විසඳුමයි” යන්නද?

එළඹෙන කාලය තුළ පොදු සභාගය මේ යථාර්තය සළකා බලනු ඇත්තේද ?  එසේ නොවේ නම් අරාබි වසන්තය යැයි සැළකුණු ක්‍රියාදාමය, ඇතැම් අරාබි රටවල ශිශිරයක් බවට පෙරළුණු  අයුරින් 'ශ්‍රී ලංකා වසන්තය' ද වියළි ගිම්හානයකට පෙරළෙනු ඇත්තේද? එසේ වුවහොත් බටහිර සහ ඉන්දියාවේ පියවරයන් වනු ඇත්තේ කුමක්ද?

උපායික වටිනාකමකින් යුත් දෙමළ ජනයා පිටස්තර බලවේගයන්ගේ අරමුණු සඳහා භාවිතා වනවා වෙනුවට, ඔවුහු එම බලවේග සිය උවමනාවන් වෙනුවෙන් යොදා ගන්නට සමත් වන්නේ කවදාද?☐

නිලාන්දන්


© JDS