'වෙනස': ජනාධිපතිවරණයෙන් පසු දෙමළ ජනයාගේ ඉරණම

ජනවාරි 11 වෙනිදා 'යාල් තිනක්කුරල්' පත්‍රයට ප්‍රකට දේශපාලන විශ්ලේෂක නිලාන්දන් විසින් மாற்றம்? (වෙනස?) මැයෙන් ලියන ලද ලිපිය එළඹෙන වකවානුව පිළිබඳ දෙමළ සමාජය ගැඹුරෙහි වර්ධනය වන අවිනිශ්චිතතාව සහ ව්‍යාකූලත්වය කැඩපත් කොට පෙන්වයි. එක් අතකින් නොනැසුණු සිංහල අධිපතිවාදයේ ගොදුරක් බවටත්, අනෙක් අතින් කලාපීය සහ ගෝලීය බල අරගලයන්ගේ පාපන්දුවක් බවටත් පත්ව යුක්ති සහ සමානාත්මතාව පිළිබඳ බලාපොරොත්තු ගිලිහී යමින් තිබෙන සමාජයක් තුළ වැඩෙන අපේක්‍ෂා භංගත්වය කෙබඳු ප්‍රතිවිපාක ජනිත කරනු ඇතිදැයි කිසිවෙකුත් නොදනී. නිලාන්දන්ගේ ලිපිය සිංහලට නගා පළ කරන්නට අප කල්පනා කළේ දෙමළ සමාජය තුළ ගොඩනැගෙන දේශපාලන කතිකාවන් වටහා ගන්නට අවකාශ සපයන කවුළුවක් විචාර බුද්ධියක් සහිත සිංහල පාඨක ජනයාට විවර කිරීමේ අභිලාෂයෙනි.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්. රාජ්කුමාර්


ළිත් ජය ඔල්වරසන් ඇරඹී තිබේ. රාජපක්‍ෂ සොයුරන්ගේ උරුමයක්ව පැවතී ජයග්‍රාහී ඔල්වරසන් දැන් නැගෙනුයේ වෙනත් මුහුණුවරකිණි. ඒ සිංහල -බෞද්ධ  අධිපතිවාදයේ නවතම මුහුණුවරයි. සය වසරකට ආසන්න  කාලයක්  රාජපක්‍ෂ ඊට නායකත්වය දුන්න ද  එය ජාත්‍යන්තර අපකීර්තියට පත්විය. මේ හමුවේ  සිංහල - බෞද්ධ අධිපතිවාදය සිය පැවැත්ම රැකගනු ලැබුයේ ජයඝෝෂාවේ හවුල් කරුවන්ම  ඉදිරියේ සිටි නව පෙරමුණේ ජග්‍රහහණයෙනි. රාජපක්ෂ විශ්වාස කළේ තම ජයග්‍රහණය හමුවේ කිසිවෙකු ට හිස එසවිය නොහැකි බව ය. එහෙත් අනපේක්ෂිතව ඔහුගේ ප්‍රති මල්ලවයා මතු වුයේ සිය කණ්ඩායම තුළින්ම ය. ගොඩනැගුනු නව පෙරමුණ  සිංහල -බෞද්ධ අධිපතිවාදයට නායකත්වය දෙමින්  සිංහල-බෞද්ධ රාජ්‍යය තවදුරටත්  රැකගනු ලැබිණි. ඉන් හැඟෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව මාරු කිරීමෙන් පමණක්  සිංහල - බෞද්ධ රාජ්‍යය රැකගැනීමට සමත් වූ බව ය.

දකුණේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්  සිය සගයෙකුට මේ ගැන පැහැදිලි කළේ “ මෙත්‍රිපාල පොරොන්දු වුනු දින 100 යේ  වැඩසටහන  අපි පුළුවන් තරම් වේගවත් කළ යුතුයි. ඉන් පසු ඔහු තවත් මහින්ද  කෙනෙක්  වන එක වළක්වන්නේ කෙසේද  යන්න සිතිය යුතුයැ”   යි පවසමිනි.  සිංහල - බෞද්ධ රාජ්‍යයේ අධිපතිවාදී හරය ව්‍යුහාත්මකව වෙනස් නොවන තාක්  මිනිස් වෙස් ගෙන බලයට පත්වන ජාතිවාදී සන්ධාන  එක්තරා කාලයකින් පසු  සිංහල - බෞද්ධ ආධිපත්‍යය ආරක්ෂා කිරීමට පෙළඹේ. එය  ලංකාවේ මෑත ඉතිහාසය විසින් උගන්වනු ලබන යථාර්තයයි.

කටුක විය හැකි වුවද, ‍මෙහි  කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් සිදුව නොමැත. එහෙත් බටහිර රටවල දෘෂ්ටියෙන්  නම් සතුටුවිය හැකි වෙනසකි . චීන මුතු පටෙහි ඔවුන් වඩාත් කැමතිම මුතු ඇටයක්  ගැලවී ගොසිනි. එය ඉන්දියාවට ද සතුටකි. මේ වෙනසින් වැඩි වාසි  බටහිර රටවලට හා ඉන්දියාවට අත්වනු නොවැළැක්විය හැකි ය. ඒ හා සමානවම වැඩි අවාසිය චීනයට ය. භු දේශපාලන අර්ථයෙන් සළකතොත් කලාපීය ගැටුමක්  නිහඬව නිමාවී ඇත්තේ ඒ අනුව ය.

මෙම වෙනස මගින් පිටස්තර බලවේගයන්ට  අමතරව  රට  අභ්‍යන්තරයේ වැඩි වාසි අත්වන්නේ සිංහල ජනතාවට ය. පෙර පැවතී මර්දනකාරී  වටපිටාව නිමා වීමට ඉඩ තිබේ. සිංහල සමාජ ක්‍රියාකාරිකයන්ට හා මානව හිමිකම් සංවිධානවලට වැඩි ඉඩක් ලැබෙනු ඇත. විශේෂයෙන්ම  ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වලට රට  අභ්‍යන්තරයේ පැවතී  තහංචි වලින් තොරව වැඩ කිරීමේ අවස්ථාව යළිත් හිමිවනු ඇත.

ඉකුත් වසර නවය පුරා පැවති , ආසියාව කේන්ද්‍ර කරගත් විදෙස් පිළිවෙත හා වෙළඳ පොළ සමග සැසඳීමේදී  බටහිර රාජ්‍යයන්හි දොරටු නැවතත් ලංකාවට විවර වනු ඇත. මුස්ලිම් ජනයා කෙරෙහි වූ සිංහල - බෞද්ධ අන්තවාදීන්ගේ බලපෑම යම්තාක් දුරකට පහව ගොස්  ඔවුන්ගේ ව්‍යාපාරවලට පැවති   බාධා ක්‍රම ක්‍රමයෙන් ඉවත් වීමද අපේක්‍ෂා කළ හැක. එහෙත් දෙමළ ජනයාගේ ඉරණම කුමක් වනු ඇතිද?

ඉහත සඳහන් සෑම පාර්ශවයක්  සමඟම සංසන්දනයේදී  දෙමළ ජනයාගේ සාමූහික ඉරණමට අදාළව සිදුවිය හැකි වෙනස සුළු එකකි.  ඒ පවතින තත්ත්වයට වඩා යම් සිවිල් පාලනයක් හා ආර්ථික වශයෙන් කිසියම් වෙනසක්  ලෙස පමණි. එහෙත් මේ සෑම වෙනසකටම පදනම් වන ජාතික ගැටලුවට  විසඳුමක් සඳහා බලපාන වෙනසක් සිදුවනු ඇතිද?  වෙනත් ආකාරයකින්  මෙම ප්‍රශ්නය නගන්නේ නම් සැබෑ වෙනසක් කළ හැකි පදනමක් නව පෙරමුණට තිබේද? 

පොදු විපක්ෂය වශයෙන් ආරම්භ කරමින් මැතිවරණ ජයග්‍රහණයක් දක්වා ගමන් කර තිබෙන මෙම කාල පරිච්ජේදය තුළ එවන් විශ්වාසනීය වෙනසක් පිළිබිඹු කිරීමට තවමත් අසමත්ව තිබේ. එවන් වෙනසක් පෙන්නුම් කිරීමද දුෂ්කර ය. මක් නිසාද යත්  ඔවුන්ගේ මූලික සටන් පාඨ නිර්මාණය කොට තිබුණේ ජාතිවාදයට එරෙහි ජාතිවාදයක ස්වරූපයෙනි. ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ  ජාතික ගැටලුව ගැන කිසිදු සඳහනක් නොවීය. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී පවා මේ ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බවට සංඥා දැනටමත් ඔවුන් පෙන්නුම් කර තිබේ.  අවසන් වූ ජනාධිපතිවරණයේ  ජන්ද ප්‍රතිඵල විශ්ලේෂණයේදී  මේ තත්ත්වය වඩාත් පැහැදිලි ය.  ඒ මගින් පෙන්නුම් කරන්නේ සිංහල දැඩි මතධාරීන්ගේ හිත් දිනාගෙන ඇත්තේ රාජපක්ෂ සොයුරන් බව ය. එම නිසා ඉදිරියට පැවැත්වීමට නියමිත මහමැතිවරණයේදී  දෙමළ ජනයාට අවම අයිතීන් වත් නොදෙන බවට එකිනෙකා පරයා පොරොන්දු දී ගන්නා තරඟය තව දුරටත් පවතිනු ඇති අතර ඒ යටතේ ජාතික ගැටලුවට විසදුම් සොයන සංවාද කල් දැමෙනු ඇත. එබැවින්  දෙමළ ජනයාගේ රෝගයට ඖෂධ ලෙස  දිගින් දිගටම ලැබෙනු ඇත්තේ ක්‍ෂණික සහනයක්  පමණක් ලැබිය හැකි  වේදනා නාශකයකි. රෝගය සුව කල හැකි ඖෂධ කිසිවක් පොදු විපක්ෂයේ  ප්‍රථමාධාර මල්ලේ නොමැත. හුස්ම ගැනීමට යම් තාක් ඉඩක් ලැබූන ද තිරසාර විසඳුමක් නම් අපේක්ෂා කළ නොහැක.

මෙවන් වටපිටාවක දෙමළ ජාතික සන්ධානයේ භූමිකාව කුමක්ද?

සිංහල -බෞද්ධ  ආධිපත්‍යය

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටි ලෙසට දෙමළ ජනයා මහින්ද රාජපක්‍ෂට එරෙහිව  සිය ජන්දය ප්‍රකාශ කළහ. මෛත්‍රීපාල ජය ලැබුයේ දෙමළ හා මුස්ලිම් ජන්ද වලිනි. මෙය සුළුතර ජාතීන් ඔහුට ලබාදුන් ජයග්‍රහණයකි. අනෙක් අතින් එය සුළුතර ජන කොටස් මහින්දට ලබා දුන් දඬුවමක් ලෙස ද සැළකිය හැක. එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ දෙමළ ජනයාට ලැබෙන විසඳුම මහින්දට දඩුවම් ලබාදීම පමණක්ද යන්න ය. ජාතික ගැටළුවට විසඳුම එක් පවුලකට දඬුවම් දීම පමණක් නොවේ. මේ මැතිවරණ පරාජය රාජපක්‍ෂ පවුල බරපතල දඬුවමකින් ගළවාගත්  සුළු දඬුවමක් වීමටද ඉඩ තිබේ.

හුදෙක් ආණ්ඩුවක් වෙනස් කිරීම විසින් ජාතික ගැටලුවට විසඳුම් ලබා දෙන්නේ නැත. විසඳුමක් අපේක්‍ෂා කළ හැක්කේ මේ කුඩා කොදෙව් රාජ්‍යයේ නිල ප්‍රතිපත්තිය වන සිංහල - බෞද්ධ  අධිපතිවාදය පරාජය වීමෙන් පමණි. එහෙත් මේ මැතිවරණයේදී යළිත් ජය ලබා ඇත්තේ සිංහල - බෞද්ධ අධිපතිවාදය මිස වෙන යමක් නොවේ. ආණ්ඩු මාරු කිරීම තුළින් සිංහල- බෞද්ධ ආධිපත්‍යය සිය පැවැත්ම හා ආරක්ෂාව අලුත් වටයකින් තහවුරු කරගැනීමට  සමත්ව අැති අතර නැවත වටයකින් ජය ලබා ඇත්තේ පරාජය කළ යුතු දේය. සුපුරුදු පරිදි මින් පෙර ආණ්ඩු වෙනස් වීම් වලදී මෙන්ම  අලුත් ආණ්ඩු ආරම්භයේදී ද පෙන්නුම් කරනුලබන්නේ  මානුෂික මුහුණු වරක් ගත් තනුක කළ වර්ගවාදයම ය. පෙර සිදුවූ ආණ්ඩු වෙනස් වීම් වලදී  මෙන්ම සිංහල බුද්ධිමතුන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු පාර්ශවයන්  ගොණු වී සිටිනුයේ පොදු විපක්ෂය වටා ය.  ඊට ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ප්‍රසාදයද හිමි ය. අන්තර්ජාතික අප්‍රසාදය ලැබූ, යුද අපරාධ චෝදනා එල්ල වූ  පැවති ආණ්ඩුවට වඩා  ජාත්‍යන්තර ප්‍රසාදය මෙන්ම  බටහිර රටවල හා ඉන්දියාවේ මිත්‍රත්වය දිනාගැනීමට පොදු විපක්ෂය විසින් ගොඩනගන ලද ආණ්ඩුව  දැනටමත් සමත් වී ඇති යැයි කිව හැකි ය. නව පෙරමුණේ ජයග්‍රහණයත් සමගින්  ශ්‍රී ලංකාව තුළ චීනයට විවරව තිබු දොරටු සෑහෙන පමණ වසා දැමෙනු ඇති බැව් පෙනේ. 

ගැටලුව  මෙයයි. බටහිර රටවලට සිය අවශ්‍යතාවයන් සඳහා වූ මෙවලමක් ලෙස උපයෝගී කර ගැනීමට තවදුරටත් දෙමළ ජනයාගේ ඉරණම අවශ්‍ය වනු ඇතිද?

කේවල් කිරීමේ බලය

පැවැත්ම පිණිස චීනයට පක්ෂපාතී වූ රාජපක්‍ෂ ආණ්ඩුව ඉවත් කිරීම බටහිර රටවල හා ඉන්දියාවේ ඒකායන අරමුණ වී තිබුණු බවට සැක නැත. අද එය සැබෑ වූ යථාර්තයකි. දෙමළ ජනයා මෙවලමක් ලෙස ගෙන ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑමක් කරන්නට තිබු උවමනාව සාපේක්‍ෂව දැන් අඩුව ගොසිනි. ඉන්දු - ලංකා  ගිවිසුම  තෙක්  දෙමළ ජනයා සිය මෙවලමක් ලෙස යොදාගත් ඉන්දියාව ගිවිසුමෙන් පසු දෙමළ ජනයා සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්ද?

පොදු විපක්‍ෂයේ ජයග්‍රහණයත් සමග දෙමළ ජනයාගේ කේවල් කිරීමේ බලය කලාපීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද  අවම විය හැකි තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබ ඇත. 2009 මැයි  මාසය දක්වා දෙමළ ජනයා සතු කේවල් කිරීමේ බලය ශක්තිමත්ව තිබිණ. 2009 මැයි මාසයෙන් පසු රට අභ්‍යන්තරයේ පැවති  කේවල් කිරීමේ බලය බරපතල ලෙස හීන විය.  හතර වෙනි ඊළම් යුද්ධයෙන් පසු  ශ්‍රී ලංකාවෙන් පිටතට සීමා වූ දෙමළ ජනයාගේ කේවල් කිරීමේ බලය අද ඇත්තේ බෙලහීන තත්ත්වයක ය. එය ඉහළ මට්ටමකින් හා ශක්තිමත්ව පැවතියේ නම් මහින්ද, මෛත්‍රීපාල ඇතුළු සිංහල නායකයන්  දෙමළ ජනයා සමඟ  කතිකාවකට  ප්‍රසිද්ධියේම එළඹෙනු නොඅනුමාන ය. ඒ අතර මහින්දගේ චීනයට දෙසට නැඹුරු වූ  ප්‍රතිපත්තිය නිසා බටහිර රටවල් සහ ඉන්දියාවට අදාළව රටින් පිටත දෙමළ ජනයාගේ කේවල් කිරීමේ බලය පැවතියේ ප්‍රශස්ත මට්ටමක ය. දැන් පොදු විපක්ෂයේ ජයත් සමග එය හීන වී තිබේ. ඒ අනුව ජිනීවා මානව හිමිකම් සමුළුව කෙරෙහි තිබු උනන්දුව ද අඩු වනු ඇත. නවනීදන්පිල්ලෛගේ වාර්තාව අපේක්‍ෂිත අයුරින් දැඩි ස්ථාවරයක් පෙන්නුම් කරාවිද?  ඒ ගැන දෙමළ ජාතික සන්ධානය කුමන ස්ථාවරයක් දරනු ඇතිද?

ජාත්‍යන්තර සහ කළාපීය වශයෙන් දෙමළ ජනයාගේ කේවල් කිරීමේ බලය හීන වීමට සමාන්තරව රට අභ්‍යන්තරයේ පැවති  කේවල් කිරීමේ බලයද අහිමි වේ නම් දෙමළ ජනයාගේ අනාගතය කුමක් වනු ඇතිද? 2005 දී මහින්දගේ ජයග්‍රහණයට ඉඩ හැරීමෙන් දෙමළ විමුක්ති කොටි සංවිධානය තමන්ව පරාජය කළ හැකි ප්‍රතිවාදියෙක් තෝරාගත්තේය.  2015 වර්ෂයේදී මෙත්‍රීපාල සිරිසේන තෝරා පත් ගැනීමෙන්  දෙමළ ජාතික සන්ධානය ද සිංහල වර්ගවාදයට යටත් වනු ඇතිද? එසේ නැතහොත් එය පරදා ජය ලබන්නට සමත් වනු ඇතිද?

නිලාන්දන්


© JDS

පෙර ලිපි:
ජනාධිපතිවරණය හමුවේ දෙමළ ජනයාගේ තීරණය කුමක්ද?