ජනාධිපතිවරණය හමුවේ දෙමළ ජනයාගේ තීරණය කුමක්ද?

'නිලාන්දන්' දෙමළ භාෂා පාඨකයින්ගේ නොමද අවධානයට පත් දේශපාලන විශ්ලේෂකයෙකි. උතුරු නැගෙනහිර මෙන්ම රටින් බැහැරව ද පළ කෙරෙන ප්‍රකාශන සඳහා දෙමළ දේශපාලන විශ්ලේෂකයෙකු වශයෙන් දිගු කලක් තිස්සේ ඔහු සිය දායකත්වය සපයයි. ඔහු විසින් එසේ ලියන ලදුව දෙමළ ප්‍රකාශන හා වෙබ් අඩවි කිහිපයක 'தமிழ் மக்கள் என்ன செய்யப் போகிறார்கள்?' (දෙමළ ජනයා කරන්නට යන්නේ කුමක්ද?) මැයෙන් පළ වූ මෙම ලිපිය සිංහලට පෙරළා අප විසින් පළ කරනුයේ දෙමළ සමාජයේ අභ්‍යන්තර දේශපාලන සංවාදයන් පිළිබඳ වැටහීමක් සිංහල භාෂා පාඨකයින් වෙත ලබාදෙනු පිණිස ය. දෙමළ ජනයා කළ යුතුව ඇත්තේ හුදෙක් සිංහල සමාජය තුළ පැන නගින දේශපාලන චලනයන් පසුපස කීකරුව ගෑටීම යැයි කල්පනා කරන කොළඹ කේන්ද්‍රීය සිංහල ක්‍රියාකාරීන් මෙම ලිපියෙන් වටහා ගත යුතුව ඇත්තේ දෙමළ සමාජයේ සාමූහික දේශපාලන සිතීම් කෙරෙහි බලපාන්නා වූ දේශපාලන ගතිකත්වයන් හා තර්කනයන් දෙමළ සමාජය තුළම ඇති බව ය.

පරිවර්තනය: අතුල විතානගේ සහ එස්. රාජ්කුමාර්


දෙමළ ජනයාගේ පොදු අපේක්‍ෂාව වනුයේ රාජපක්‍ෂ සොහොයුරන්ට දඬුවම් ලබාදිය යුතු බවයි. ‍මෛත්‍රීපාල කෙරෙහි විශ්වාසයක් ඇති බවක් ඉන් හඟවන්නේ නැති මුත් කිසියම් හෝ වෙනසක් අවශ්‍ය බව දෙමළ උගත් මධ්‍යම පන්තියේ අපේක්ෂාවයි. එහෙත් ‍මෛත්‍රීපාල කිසියම් හෝ වෙනසක් කරාවිද , ඒ කිනම් ආකාරයේ වෙනසක්ද යන්න පිළිබඳව  එකී ජනයා අතර ඇත්තේද ව්‍යාකූලත්වයකි. කෙසේ වුවද, පොදුවේ ගත් කල යතාර්ථය වන්නේ දෙමළ ජනයා තුළ පවතින්නේ දැඩි ආණ්ඩු විරෝධයක් යන්න ය. මේ ආණ්ඩු විරෝධීභාවය මෛත්‍රීට පක්‍ෂව ලබා දෙන ඡන්දයක් ලෙසින් පරිවර්තනය වීමේ ඉඩකඩක්ද දැකිය හැකිය. මෙය දෙමළ ජාතික සන්ධානයේ තීරණයට වාසිදායක තත්ත්වයකි.දෙමළ ජනයා ජන්ද පොළට පැමිණියහොත් බහුතරය ජන්දය ප්‍රකාශ කරනුයේ ආණ්ඩුට එරෙහිව බවට කිසිදු සැකයක් නොමැත.

ආණ්ඩු විරෝධී දෙමළ ජනයාගේ මෙම ආවේගය දෙමළ ජන අභිලාෂයන් පෙන්නුම් කිරීමට කදිම අවස්ථාවක් ලෙස නිර්මාණය කරගැනීමට ඉඩ තිබිණි. දැන් ඊට ප්‍රමාද වැඩිය.

කේවල් කිරීමේ අයිතිය

දෙමළ ජනයා නියෝජනය කරමින් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර තිබුණේ නම් එම තීරණය දෙමළ ජනයාගේ බහුතරයේ කැමැත්ත ලෙසින් පරිවර්තනය කර ගැනීමට හැකියාවක් තිබුණි. ඒ තුළින් මෙම ජනාධිපතිවරණය දෙමළ ජනයාගේ ස්වාධීන ජන්දයක් බවට පත් වනු ඇති. ප්‍රධාන සිංහල අපේක්‍ෂකයන් දෙදෙනා අතර දෙවන වටයේ ජන්ද ගැනීම සිදු වුවහොත්, එවිට දෙමළ ජනයාගේ ජන්දය තීරණාත්මක වන්නට අවස්ථාවක් උදාවීමට ඉඩ තිබිණ. දෙමළ ජනයාගේ පාර්ශ්වයෙන් මේ දෙස බැලීමේදී ඒ වනාහී කේවල් කිරීමේ අයිතිය උපරිමව  යොදා ගැනීමට  තිබුණු අවස්ථාවකි. මේ පිළිබඳව දෙමළ ජනයා දැනුවත් කිරීමෙන් ඔවුන්ගේ උපරිම සහභාගිතාවයක්  මේ මැතිවරණයට ලබා ගත හැකිව තිබුණි. නමුත් දෙමළ ජාතික සන්ධානය මෙම අවස්ථාවන් උපයෝගී කර ගැනීමට සුදානම් නොවීය. එම නිසා දෙමළ ජන දෘෂ්ටි කෝණයකින් කිරා මැන බලා මෙම මැතිවරණය හසුරුවාගැනීමට තිබු මහඟු අවස්ථාව අහිමි විය. අවසානයේ ඉතිරිවූයේ ආණ්ඩුවට එරෙහිව ඇති ජන මතය ජන්දයක් ලෙස ප්‍රකාශ කරන්නේ කෙසේද යන ගැටලුව පමණි. දෙමළ දෘෂ්ටිකෝණයෙන් බලන විට වඩා ප්‍රතිඵලදායක  වීමට ඉඩ තිබු එකී මාර්ගය තෝරා ගැනීම ප්‍රතික්‍ෂේප කරමින් සුළු අවකාශයක් පමණක් ලබා ගත හැකි තෝරාගැනීමක් වෙත, දෙමළ ජාතික සන්ධානය ළඟා වුයේ මන්ද? ඊට නිවැරදි හා නිරවුල් පිළිතුරක් ඔවුන් මේ තාක් ලබා දී නොමැත . මේ හේතුවෙන්  දෙමළ ජනයා තමන්ට අයත් නොවූ න්‍යාය පත්‍රයක ගොදුරක් බවට පෙරළී ඇත. ඇත්තෙන්ම නම්, දෙමළ ජනතාවට ස්වකීය වූ පොදු අපේක්‍ෂකයෙකු මැතිවරණයට ඉදිරිපත් කිරීමෙන් ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමේ අවස්ථාව තිබුණි. නමුත් එම ප්‍රතිපත්තිමය තීරණය ඉවත දමමින් හුදු අවස්ථාවාදී තීරණයකට එළඹියේ ඇයි? මීට පුර්ණ වශයෙන් වගකිව යුත්තේ දෙමළ ජාතික සන්ධානය යි.

මෙම ඡන්දයෙන් ඉවත්ව සිටිය යුතු බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් කල් ඇතිව දැනුම් දී තිබිණ. නමුත් මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ දේශපාලන පක්‍ෂයක් විසින් ගන්නා ලද තීරණයක් වශයෙනි. මෙම තීරණය දෙමළ ජනයාගේ මතය බවට පත් කරගැනීමේ කිසිදු ප්‍රමාණවත් උත්සාහයක ඔවුන් නියැලුණු බව නොපෙනේ. ඒ සඳහා මෙම මැතිවරණයෙන් දෙමළ ජනයා ඉවත්ව සිටිය යුතු බවට මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කිරීම පමණක්  නොසැහේ. එම මතය ජනතාවගේ මතයක් ලෙස පරිවර්තනය කිරීමට ඇති අවශ්‍යතාව කෙරෙහි එම පක්ෂය සිය අවධානය යොමු නො‍කළේය. මහින්ද රාජපක්‍ෂට එරෙහි දෙමළ ජන මතය මෛත්‍රීපාලට පක්‍ෂ  ජන්දයක් බවට හරවා ගැනීමට  දෙමළ ජාතික සන්ධානය සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරද්දී, මෙම ජන්දයෙන් ඉවත්ව සිටිය යුතු යන මතය ජනයා අතරට ගෙන යාමට අවශ්‍ය දේශපාලන ක්‍රියාකාරිත්වය දෙමළ ජාතික ජනතා පෙරමුණ පෙන්නුම් නොකළේ ය. ඒ නිසාම ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය හුදෙක් ප්‍රවෘත්ති වාර්තාවන්ට සීමා විය.

ඡන්ද වර්ජනය

මැතිවරණ වර්ජනය දෙමළ ජනයාට නුහුරු අත්දැකීමක් නොවේ. ඊට ඇත්තේ දිගු ඉතිහාසයකි. 1931 දී ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට හැන්ඩි පෙරිම්බනායගම්ගේ නායකත්වයෙන් යුතු යාපනයේ තරුණ සංගමය මැතිවරණ වර්ජනයක නිරත විය.  එම තීරණය පිළිබඳව මතභේද ඇතත්, ඔහුගේ වර්ජනයට හේතුවුයේ  ප්‍රතිසංස්කරණ වෙනුවට, ශ්‍රී ලංකාවට පුර්ණ නිදහස ලබාගැනීම ය. ඒ වනාහී උගත් සිංහල මධ්‍යම පාන්තික නායකයන්, බ්‍රිතාන්‍ය විජිතවාදීන් සමග ප්‍රතිසංස්කරණවාදී විසඳුමකට එකඟ වීමට විරෝධය පළකරමිනි. එම වකවානුවේ ගාන්ධි ඉන්දියාවේදී පෙරට දැමූ  “ස්වරාජ්" ඉල්ලීමට සමාන විසඳුමක් ලංකාවටත් ලැබිය යුතු බවට වූ අදහස් මත පදනම්ව මෙම ජන්ද වර්ජන තීන්දුවට එළඹී බව ප්‍රකට ය.

කෙසේ නමුදු මැතිවරණ වර්ජනය කිරීමේ ප්‍රතිවිපාකයන් ද සංවාදයට බඳුන් වේ. 2005 දී ඡන්දය පාවිච්චා කිරීමෙන් වැළකී සිටීමට දෙමළ විමුක්ති කොටි සංවිධානය තීරණය එම සංවිධානය හා බටහිර රටවල් අතර පැවති සබඳතා බිඳ වැටී, හතර වෙනි ඊළම් යුද්දයේදී දෙමළ විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීමටත් බලපෑ බවට මතයක්ද  තිබේ. කෙසේ නමුත්, මැතිවරණයක් වර්ජනය කිරීමට ගන්නා තීරණයෙන් පොදු දේශපාලනයෙන් ඉවත්ව සිටිනවා යන්න අදහස් නොකරයි. එවැනි තීරණයක් දේශපාලනික මැදිහත්වීමක් මගින් තහවුරු කරන්නේ නම්, එබඳු තීරණ 'ප්‍රජාතන්ත්‍ර විරෝධී' බවට එල්ල වන චෝදනාවන්ගේ බලයද හීන වනු ඇත. දෙමළ ජාතික ජනතා පෙරමුණ  සිය තීරණය දෙමළ ජනයාගේ මතයක් ලෙසින් පරිවර්තනය කර ගැනීමට සමත් වූයේ නම්  ඔවුන්ගේ තීරණය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි වන්නට ඉඩ තිබිණ. විචක්‍ෂණ නායකත්වයක වගකීමක් වන්නේ, ඉදිරි දැක්මක් සහිත තීන්දුවකට එළඹී පසු ඒ කෙරෙහි ජනතාව පෙළගැස්වීමයි. නමුත් එවැනි වැඩ පිළිවෙලක් දෙමළ ජාතික ජනතා පෙරමුණට තිබුණේද යන්න සැකයකි.  එම අඩුව විසින් දෙමළ ජාතික සන්ධානයට උදා කර දී ඇත්තේ වාසි දායක තත්ත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ අවස්ථාවන් ලෙස වරින් වර පවත්වනු ලබන මැතිවරණ වැදගත් වේ. ඒ අනුව මෙම මැතිවරණය තුළින් ද වෙනසකට මුල පුරනු ලබයි. සාමාන්‍යයෙන් සැම අවස්ථාවකදීම වෙනසක් අපේක්‍ෂා කිරීම පොදු ජන මතයයි. නමුත් එම වෙනස පිළිබඳව ගැඹුරින් සළකා බලා දිගු කාලීන වෙනසක් ඇතිවේද යන්න පිළිබඳ සංවාදයකට ලක්වනුයේ සමාජ, දේශපාලන දැනුවත් බවක්  සහිත සමාජ කොටස් තුළ පමණි. නමුත් පොදු මනෝභාවය පෙන්නුම් කරනුයේ ජනතා රැල්ලක් තුළිනි. දෙමළ ජනයා ද අපේක්‍ෂා කරනුයේ වෙනසකි .බොහෝ දෙනා පෙළෙනුයේ මෙම මනෝභාවයෙනි. මේ නිසාම දෙමළ සිවිල් සංවිධානත් නිවැරදි තීරණයක් ගත නොහැකි තත්වයකට පත් විය. අවසානයේ සිවිල් සමාජ සංසදය නිකුත් කළ නිවේදනයේ අවසන් ඡේදය රාජ්‍ය තාන්ත්‍රික වචන භාවිතයක් පමණක් පෙන්නුම් කරන බව සඳහන් කළ යුතුම ය.

වෙනස

දෙමළ ජනයා මෛත්‍රීපාලට සහයෝගය ලබා දිය යුත්තේ ඇයිද  යන්නට දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි පිළිතුරු නොමැත. කොළඹ පවතී මාධ්‍ය හමුවේදී දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ සැම අදහසක්ම පොදු විපක්‍ෂයේ න්‍යාය පත්‍රය මුළුමණින්ම අනුගමනය කිරීමකි. ඇතැම් විට මෛත්‍රීපාල වටා ඇති ජන රැල්ල සිංහල ජනයාට වෙනසක් නිර්මාණය කරනු ඇත. කොළඹ විවෘත විශ්ව විද්‍යාලයේ පැවති අලුත් අවුරුදු උත්සවයේ අවුරුදු සුභ පැතුම වුයේ 'සුභ අනාගතයක් වෙනුවෙන් සුභ අලුත් අවුරුද්දක්' යනුවෙනි . සිංහල ජනයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමේදී  එය වෙනසක් විය හැකිය. නමුත් දෙමළ ජනයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට, විශේෂයෙන් ස්ථාවර විසඳුමක් පිළිබඳ  වෙනසක අපේක්‍ෂාවක දෘස්ටි කෝණයෙන් බැලූ විට, ඇත්තටම මෙය වෙනසක්ද සේ සැළකිය හැකිද?  පොදු විපක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනය බලන විට එහි දෙමළ ජනයාට අදාළව කිසිදු වෙනසක් නොහඟවයි. ‍මෛත්‍රීපාල ඇති කරන්නාවූ සිවිල් පරිපාලනය තුළ දී  හමුදාකරණයට පාත්‍ර කොට ඇති දෙමළ ජනයාගේ ගම්බිම්වලින් හමුදා ඉවත්කර ගැනීමට සුදානම් නැත. ඊට සැබෑ හේතු වන්නේ හමුදා පාලනය ඉවත් කිරීම මගින් සිවිල් සමාජයේ බහුජන සංවිධාන ශක්තිමත් වීමයි . එසේ වුවහොත් එහි පළමු බිල්ල වනුයේ දෙමළ ජාතික සන්ධානය යි. දෙමළ ජාතික සන්ධානය රැකගැනීමටත්, දෙමළ ජනයාගේ යථාර්ථය තේරුම් ගත් බහුජන සංවිධාන ශක්තිමත් වීම වැළැක්වීමටත්,  සිවිල් පරිපාලනයට මැදිහත්ව සිටින හමුදා එක්තරා ප්‍රමාණයකට වඩා ඉවත් නොකළ යුතු ය යන ආකල්පයෙහි  සියලු සිංහල නායකයෝ එල්බගෙන සිටිති . දෙමළ ජාතික සන්ධානය ද කල්පනා කරනුයේද ඒ හා සමාන්තරව ය. මෙම තතත්වයන් දෙස ගැඹුරින් සළකා බැලීමේදී දෙමළ ජනයා වෙත සිවිල් පරිපාලනයක් යථා වශයෙන් ලබා දීමට ඇති ඉඩ කඩ සීමාකාරී ය.

කෙසේ නමුත් දෙමළ ජනයාගේ ආරථිකය තුළ දැනට තිබෙනවාට වඩා යහපත් තත්ත්වයන් එවැනි වෙනසක් විසින් උදාකරන්නට ඉඩ තිබේ. ඒ පොදු විපක්‍ෂයේ ජයග්‍රහණය බටහිර රටවල ද ජයග්‍රහණයක් බැවිනි. මේ ඔස්සේ ඩයස්පෝරා දෙමළ ජනයා හා රට තුළ වෙසෙන දෙමළ ජනයා අතර ඇති ආර්ථික සබඳතා වර්ධනය වීමට ඉඩ ප්‍රස්ථා නිර්මාණය විය හැක. බටහිර රටවලින් කෙරෙන ආයෝජන වැඩිවීමෙන් දෙමළ ජන ප්‍රදේශ වල ආර්ථිකය යහපත් අතට හැරෙනු  ඇතැයි අපෙක්‍ෂා කළ හැකිය. නමුත් මේ මගින් දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන් මෙන්ම  අයිතීන් දිනා ගැනීම සඳහා වූ  ඔවුන්ගේ අධිෂ්ථානයන්, කාලයාගේ ඇවෑමෙන්  ඔවුන් තුළින් විය කී යාමට ඉඩ තිබේ. එම නිසා ජාතික ප්‍රශ්නයට විසඳුමක් , යුද අපරාධ  පිලිබඳ පරීක්ෂණයක් හෝ  හමුදා ඉවත් කිරීමක්  ගැන කිසිදු පොරොන්දුවක්  නොමැති අවස්ථාවක  පොදු විපක්ෂය ගෙන එන වෙනසක්  තුළ දෙමළ ජනයාගේ ජාතිකභාවය දිගු කාලීනව විනාශ මුඛයට ගෙන යනු ඇත. මේ තත්ත්වයන් සලකා බැලීමේදී පොදු විපක්ෂයේ ගමන් මාර්ගයට පක්‍ෂව දෙමළ ජනයා වෙත කිසිදු අපේක්ෂාවක් ලබා දීමට දෙමළ ජාතික සන්ධානයට නොහැක. ඒ අතර දෙමළ ජාතික සන්ධානයට ද පොදු විපක්ෂයට  පක්ෂව ප්‍රතිපත්තිමය තීරණයක් ගත නොහැක. කළ හැක්කේ හුදු අවස්ථාවාදී සහයෝගය දැක්වීමක් පමණි. එවන් අවස්ථාවාදී තීරණයන් දේශපාලන ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස හුවා දැක්වීම කිසිසේත් නොකළ යුතු ය. කොළඹ මාධ්‍ය හමුවේදී සිය තීන්දුව ප්‍රතිපත්තිමය කාරණාවක් බවට පෙන්නුම් කිරීමට ගත් වෑයම නිසා දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනයාගේ දැක්මෙන් පිට පැන, කටයුතු කිරීමෙන් වුයේ සිංහල ජනයාට අයත් වෙනස දෙමළ ජනයා වෙත බලහත්කාරයෙන්  පැටවීමට  උත්සාහ දැරීමකි. මෙවැනි පසුබිමක දෙමළ ජනයා වෙත පැහැදිලි පොරොන්දුවක් ලබාදීමට දෙමළ ජාතික සන්ධානයට හැකිද?  

දෙමළ ජාතික සන්ධානයට මනෝ ගනේෂන්  තරම්වත් විවෘතව කථා කළ නොහැකි තත්ත්වයක් උදාවී ඇත. පොදු විපක්‍ෂය කරළියට පැමිණි මුල් දිනයන්හි මනෝ ගනේෂන් ජනතාව අමතමින් ප්‍රකාශ කරන ලද්දේ,  පොදු විපක්‍ෂය මැතිවරණය ජයගතහොත් රට  කිරි පැණියෙන්  ඉතිරේවි යැයි තමන් ප්‍රකාශ නොකරන බවයි. දෙමළ ජාතික සන්ධානය මෛත්‍රීපාලට  සහයෝගය ලබාදීමට තීරණයක් ගෙන තිබුනේ නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකර සිටින්නට හැකියාව තිබුණි. මැතිවරණයට දවස් අටක් ඉතිරිව තිබියදී , මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමට දින පහක් ආසන්නයේ  ඔවුන් තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම තුළින් දැඩි මතධාරී සිංහලයන් රජය කරා තල්ලු නොකොට  කල්පනාකාරීව ක්‍රියා කරන්නට ද ඉඩකඩ තිබිණි. ජන්ද ප්‍රචාරක කටයුතු අවසන් වන්නට  දින  5 ක් ආසන්නයට පැමිණ මෙම ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීම මෙම තීරණයට එරෙහි විරෝධය අවම කරගැනීමේ අදහසක් වන්නට පුළුවනි. නමුත් මෙහිදීත්, ගැටළු කිහිපයක් මතු වේ. නිසි ප්‍රචාරයක් නොලදහොත් දෙමළ ජනයාගේ  ජන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය ඉහල අගයක් නොගනු ඇත. විශාල සහභාගිත්වයක් නොමැති වුවහොත් දෙමළ ජනයාගේ ජන්දය මගින් පොදු විපක්ෂයේ ජයග්‍රහණය තීරණය කිරීමට හරහා අත්කරගැනීමට අපේක්ෂිත වෙනස මග හැරෙනු නොඅනුමාන ය .

එසේනම්  මෙම තීරණය ප්‍රකාශය කිරීමේ අරමුණ කුමක්ද?

මෙම ප්‍රකාශය තුලින් දකුණේ පා වෙන ජන්දයෙන්  කොටසක් ආණ්ඩුව කරා තල්ලු කළ බවට ද  මතයක් පවතී. එම ප්‍රතිශතය ආණ්ඩුව අපේක්ෂිත සංඛ්‍යාවට වඩා අඩු ප්‍රතිශතයකි. මේ අතර  ආණ්ඩුව සිංහල ගම්වල ගෙයින්ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වූ අතර බොහෝවිට සිදුවනුයේ ජාතිවාදය වැපිරිමක් බවට විශ්වාස කළ හැකි ය. දෙමළ ජාතික සන්ධානයේ තීරණය තුළින් පොදු විපක්‍ෂයේ අපේක්ෂිත ජන්ද ප්‍රතිශතය නොලැබේ නම්  ඒ තුළින් ඇතිවිය හැකි ප්‍රති විපාක අති මහත් ය. මෛත්‍රීපාලට  සහයෝගය පළ කිරීමේ අදහසින් කල ප්‍රකාශය අවසානයේ ආණ්ඩුවට වාසිදායකවී ඇති බවක් මෙමගින් පෙන්නුම් කරයි. සිංහල දැඩි මතධාරීන්  ආණ්ඩුව වෙත තල්ලු කිරීම මගින් දෙමළ ජාතික සන්ධානයේ තීරණය මහින්දට ලබා දුන් සහායක් ලෙසට පරිවර්තනය වී තිබේ.

දෙමළ ජාතික සන්ධානය නමැති “බළලා" තවමත් සිටිනුයේ වැට  උඩ ය. එහෙත් ඒ මෛත්‍රීපාල දෙස බලාගෙන ය. ඉන් නිරුපණය වන්නේ ආණ්ඩුව කෙරෙහි ඇති දෙමළ ජන විරෝධය වැරදි අයුරින් භාවිතා කිරීමයි.

නිලාන්දන්


© JDS