'ධනවාදයත්, සමාජවාදයත් නොවන තුන්වැනි මාවත යනු පළමු එකේම සංස්කරණයක්' - මහාචාර්ය ෆ්‍රන්ශුවා හුටා

විශිෂ්ඨ මාක්ස්වාදී බුද්ධිමතෙකු හා සමාජ ක්‍රියාධරයෙකු වූ මහාචාර්ය ෆ්‍රංශුවා හුටා 2017 ජූනි 6 වැනිදා ඉක්වදෝරයේ කීතෝ නගරයේ දී සිය දිගු දිවි මග ගෙවා නිම කළේය. මිය යන විට අවුරුදු 92ක්  සම්පූර්ණ කර සිටි හේ, ලොව පුරා වාම ප්‍රගතිශීලී බලවේගයන් අතර පුරෝගාමී න්‍යායධරයෙකු හා ක්‍රියාකාරිකයෙකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය.

1970 දශකයේ සිට ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් සමීපව අධ්‍යයනය කළ මහාචාර්ය හුටා, 1971 අප්‍රේල් නැගිටීමෙන් පසු සිරගත කරන ලද රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් බොහෝ දෙනෙක් පුද්ගලිකව හමු වී දැන හැඳින සිටි බව දන්නේ අතළොස්සක් දෙනෙකි. සමාජ යුක්තිය හා සමානත්වය සඳහා වූ අරගල හා ව්‍යාපාරයන් සමඟ ඓන්ද්‍රීයව සම්බන්ධව ක්‍රියාකළ  හෙතෙම ආසියා, අප්‍රිකා හා ලතින් ඇමරිකානු ත්‍රෛ මහාද්වීපික කලාපයෙහි පීඩිත බලවේගයන් අතර සහයෝගීතාව ගොඩනඟනු වස් පුරා හතළිස් වසකට වැඩි කලක් කැපව ක්‍රියා කළේය.

බෙල්ජියමේ ලූවේන් හී ත්‍රෛ මහාද්වීපික මධ්‍යස්ථානයේ සමාරම්භකයෙකු වශයෙන් ද, ලෝක සමාජ සංසදය ආරම්භ කිරීමේ ලා පුරෝගාමියෙකු වශයෙන්ද ක්‍රියා කළ හෙතෙම ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ හා වර්ග සංහාරක චෝදනා විභාග කරනු වස් රෝමයේ නිත්‍ය මහජන විනිශ්චය සභාව විසින්  2010 හා 2013 වසරවල දී කැඳවන ලද ඩබ්ලින් සහ බ්‍රේමන් සැසිවාරයන්හි මුඛ්‍ය වැඩකොටසක් ඉටු කළේය.

මහාචාර්ය හුටා සමග කරන ලද මෙහි පළවන සාකච්ඡාව, 2002 වසරේ මැයි මාසයේ කොළඹ දී කරන ලද දීර්ඝ සමාලාපයකින් සංක්‍ෂිප්තව සකසා මුල්වරට පළ වූයේ 'හිරු' පුවත්පතේ 2003 ජූලි - අගෝස්තු කලාපයේ ය. සමාජ යුක්තිය සහ පීඩිත මිනිස් සහයෝගීතාව වෙනුවෙන් කැප කළ දශක හයක ප්‍රතාපවත් දිවි සැරියක් විසින් ශේෂ කොට තබා ගිය සදා සුදීප්තිමත් මතකය වෙනුවෙන් අපි එම සාකච්ඡාව යළි පළ කරමු.

සංවාද සටහන: භාෂණ අබේවර්ධන සහ ඉන්දික ගමගේ


සීතල යුද්ධය නිමා කරමින් වෝර්සෝ කඳවුරේ රාජ්‍යයන්ගේ ඇද වැටීමත් සමඟ ඇරඹුණු කාල පරිච්ඡේදය ලෝකය ගැනත්, එය වෙනස් කිරීමේ ආකාරය ගැනත් කලින් දැරූ ආකල්ප යල්පැන යාමට බලපෑ "නව ලෝක තත්ත්වයක්"  නිර්මාණය කොට තිබෙනවාද? මේ යුගය ගැන ඔබේ සිතුවිලි කෙබඳුද?

මහාචාර්ය ෆ්‍රන්ශුවා හුටා: අප ජීවත්වන්නේ ප්‍රාග්ධනයේ ගෝලීයකරණ යුගයකයි. එහි අදහස ධනවාදී ක්‍ර‍මයේ ආධිපත්‍යධාරී බලය ගෝලීයකරණය වූ යුගයක් යන්නයි. මෙය මුළුමනින්ම නව තත්ත්වයක් නෙවෙයි. ඉහතින් කී ආධිපත්‍යය මුදුන්පත් කරගත් ආකාරයත්, පාර ජාතික සමාගම් ආදී නව ව්‍යුහයන් බිහිවීමත්, මූල්‍ය ප්‍රාග්ධනයේ අළුත් භූමිකාවත් ආදී පැතිවලින් සැලකුවාම මෙය සාපේක්ෂව නව යුගයක් බව ඇත්ත! නමුත් මූලධාර්මිකව කතා කරනවා නම් කිව හැක්කේ ධනවාදයේ තර්කනය පැත්තෙන් බැලුවොත් කිසිම දෙයක් වෙනස් වී නැති බවයි. ‘80 දශකය අග භාගයේ දී මුළු මහත් ලෝක ක්‍ර‍මයම නව ලිබරල්වාදී අවධාරණයක් තුළ ප්‍ර‍තිෂ්ඨාපනය කරනු ලැබුණා. කලින් පැවතුණු සුබ සාධනවාදී රාජ්‍ය ආකෘතියත්, නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුරත් පරාජය කිරීමේ අර්ථයෙන් සැලකුවහොත් අපි නව කාල පරිච්ඡේදයක ජීවත් වෙන බව කිව හැකියි. ඒ වගේම චීනය හා වියට්නාමය ආදී රටවල් ධනවාදයේ තර්කනය තුළටම ක්‍ර‍මානුකූලව අවශෝෂණය කරගැනීමක් හරහාත් මෙය සිදුවූ බව කිව හැකියි. මීට වඩා වෙනස් ප්‍ර‍තිරෝධයක් සහිත එකම උදාහරණය කියුබාව පමණක් වෙන්න පුළුවන්. එසේ බැලූ විට මෙය නව ලෝක තත්ත්වයක් තමයි. නමුත් මීට සමාන්තරව ලෝක පරිමාණව වර්ධනය වන ප්‍ර‍තිරෝධයකුත් ඔබට දකින්නට පුළුවන්. එය පැන නඟින්නේ ශ්‍ර‍මය හා ප්‍රාග්ධනය අතර ප්‍ර‍තිවිරෝධය තුළ පමණක් නෙවෙයි. කම්කරුවන්ට, ගොවීන්ට, තරුණයන්ට, ස්ත්‍රීන්ට, ස්වදේශික ජනයාට, පාරිසරික විනාශයන්ගේ බලපෑමට ගොදුරුවූවන්ට ආදී වශයෙන් විශාල සමාජ කොට්ඨාශයකට මෙය අදාළයි. ඒ වගේම ලෝක පරිමාණව බරපතල මිලිටරිකරණයේ අලුත් වීමක් තියෙනවා. ඒ අර්ථයෙනුත් අපි ඉන්නේ නව කාල වකවානුවක. ඒත් එය ධනවාදයේ මූලික තර්කනය වෙනස් වීමෙන් ඇති වූ තත්ත්වයක් නෙවෙයි.

ඔබ කියන ලෝක පසුබිම තුළ එක් පැත්තකින් අපගේ කලාපය ද ඇතුළත් ත්‍රෛ මහාද්වීපික කලාපයන්ගේ සමාජයන් තුළ අතීතයේ පැවති විප්ලවකාරී හා විමුක්තිකාමී සංවිධාන පසුගිය වකවානුව තුළ ස්ථාපිත ක්‍ර‍මය හා සම්මුතීන්ට එළඹීමෙන් යටත් වනු දක්නට ලැබුණා. අනෙක් අතින් එම ව්‍යාපාරයන් බිහිවීමට අතීතයේදී බල පෑ අසමානතාවන් හා දුගී භාවය කලින්ටත් වඩා ගැඹුරු වෙමින් තිබෙනවා. මේ පරස්පරයට හේතු වී ඇති ඓතිහාසික කොන්දේසි මොනවාද?

ෆ්‍රන්ශුවා හුටා: ඒක වැදගත් ඇත්තක්. පවතින සංවිධාන බොහෝමයක් ආයතනගතවීම්වලටත්, නිලධාරිකරණයටත් ලක්වී තිබෙනවා. මින් බාහිරව බොහෝමයක් සමාජ ව්‍යාපාර විනාශ කිරීමට සමත් වී තිබෙන්නේ ප්‍ර‍ශ්නයත් - විසඳුමත් යන දෙකම පුද්ගලීකරණයකට (individualisation) ලක්කිරීමට සමත් නව ලිබරල්වාදී ප්‍ර‍තිපත්තීන් විසිනුයි. තවත් බොහෝ ව්‍යාපාරයන් විනාශ වී යාමට බලපෑවේ ඔවුන් තුළම වූ දැඩි ආධානග්‍රාහීත්වය සහ ගතානුගතික චින්තනයයි. ඒ හේතුවෙන් එවැනි සංවිධානවලට සමාජය මත වූ බලපෑමේ හැකියාව ක්ෂය වී ගියා. අනෙක් අතින් වෙනස් අභිලාෂයන් හා වෙනස් අපේක්ෂාවන් සහිත නමුත් පීඩාවට ගොදුරු වූ මධ්‍යම පන්තියක් මතු වී ඒමත් දැකිය හැකියි. ඒ වගේම යම් තාක් දුරකට සමාජ ව්‍යාපාරයන් විසින් අත්පත් කරගෙන තිබූ අවකාශය පුළුල් වෙමින් ව්‍යාප්ත වන රාජ්‍ය නොවන සංවිධාන විසින් ඩැහැගනිමින් තිබෙනු දැකිය හැකියි. පැවති සමාජ ව්‍යාපාර ඇද වැටීමට හා මෙල්ල වීමට මේ ආකාර හේතු බොහෝමයක් තියෙනවා. නමුත් නව සමාජ ව්‍යාපාරයන්ගේ බිහිවීමක් දැන් දකින්නට පුළුවන්. අපි මේවා කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. පෝර්තෝ අලෙග්‍රේ වල පැවති ලෝක සමාජ සමුළුවට, පවතින තත්ත්වයන්ට ප්‍ර‍තිරෝධයක් ගොඩනඟන එවැනි ව්‍යාපාර 4000කට වැඩි ප්‍ර‍මාණයක් සහභාගී වුණා. ඔවුන් මුහුණ දෙන ප්‍ර‍ශ්න හා ඔවුන්ගේ සමාජ විඥාණ මට්ටම් වෙනස් වුනත්, වසරින් වසර පොදු සතුරා පිළිබඳ පොදු සවිඥාණයක් ඔවුන් තුළ වර්ධනය වෙමින් තිබෙනු දැකිය හැකියි. අපිට නියෝග කරන්න බැහැ අපි සියල්ල විශ්ලේෂණය කර ඇති නිසාත්, අපි සියල්ල දන්නා නිසාත් අපේ දේශපාලන ව්‍යාපාරයේ කොටසක් විය යුතු බව. අවශ්‍ය වන්නේ සියළු කණ්ඩායම්වල අන්‍යෝන්‍ය අවබෝධය මත පුළුල් ඒකමතිකත්වයක් ගොඩනඟා ගැනීමයි. පෝර්තෝ ඇලෙග්‍රේ පස් වැනි ජාත්‍යන්තරයක් බවට පෙරළිය නොහැක්කේ ඒ නිසායි.

වත්මන් ලෝකය තුළ රැඩිකල් සමාජ විපර්යාසයක් පිළිබඳ යෝජනා කරන විප්ලවකාරී හා විමුක්තිකාමී ව්‍යාපෘතීන් හා සාර්ව ලෝක දැක්ම යල් පැන ඇති බවට නිවේදනය කරන ෆ්‍රැන්කෝ-ඇන්ග්ලෝ-ඇමෙරිකානු ශාස්ත්‍රාලයීය ප්‍ර‍වණතාවල පුනරුදයක් පසුගිය දශකය තුළ දැකිය හැකියි. ඔබේ මිත්‍ර‍ සමීර් අමීන් මේ ප්‍ර‍වණතා හැඳින්වීමට "ධනවාදයේ භූතාත්ම" (Spectres of Capitalism) කියන යෙදුම යොදා තිබෙනවා. රැඩිකල් සමාජ විපර්යාසය පිළිබඳ මේ ප්‍ර‍වණතාවල ආකල්ප ගැන ඔබේ අදහස කුමක්ද?

ෆ්‍රන්ශුවා හුටා: පංති විශ්ලේෂණය තවමත් වලංගුය යන්න මගේ තරයේ පිළිගැනීමයි. නමුත් වැදගත් හා අත්‍යාවශ්‍ය වෙනස්කම් අපි සැලකිල්ලට ගත යුතුයි. 19 වන සියවසේ කාර්මික සමාජයන්ගේ තිබූ ආකාරයේ පංතීන් දැන් නැහැ. කම්කරු පංතිය ද්‍ර‍ව්‍යමය හා සංස්කෘතික වශයෙන් පිපිරීම්වලට ලක්වී තියෙනවා. බටහිර සමාජයන් තුළත් සුදු කරපටි පංතියේ ව්‍යාප්තවීමක් දැකිය හැකියි. ශ්‍ර‍ම-ප්‍රාග්ධන සම්බන්ධතාවය තව දුරටත් එක රටක් තුළට සීමාවී දැකිය නොහැකියි. එක් රටක ප්‍රාග්ධනයත්, තවත් රටක ශ්‍ර‍මයත් ආදී වශයෙන් පාර ජාතික ස්වභාවයක් ඊට ලැබී තිබෙනවා. නමුත් සමීර් අමීන් සමඟ ගෝලීයකරණය පිළිබඳ මම වැඩ කරමින් ඉන්න එක්තරා වැදගත් අධ්‍යයනයක් තමයි මේ තත්ත්වයන් තුළ නව ලෝක ධනේශ්වරයක් බිහිව තිබෙනවාද යන්න පිළිබඳව. පාර ජාතික සමාගම්වල ක්‍රියාකාරීත්වයත්, ප්‍රාග්ධනයේ නිදහස් සංසරණයත් ආදී ලක්ෂණ මත ලෝක ධනේශ්වරයක ව්‍යුහය අපට විද්‍යාත්මකව පෙන්වා දිය හැකිද යන්න ගැන අප කටයුතු කරමින් ඉන්නවා. එය එක් න්‍යායික ප්‍ර‍ශ්නයක්. නමුත් පංති විශ්ලේෂණයන්ට අදාළ ආලෝචනාවන් මුළුමණින්ම වලංගු හා නිවැරදි බව මගේ අදහසයි. අවශ්‍ය වන්නේ අපි හමුවේ පවතින නව පංතීන්ට අදාළ සියළු විපර්යාසයන් සැලකිල්ලට ගනිමින් නව විශ්ලේෂණයන් සම්පාදනය කර ගැනීමයි. පංති විග්‍ර‍හය තරම් වත්මන් ලෝක තත්ත්වය විනිවිදිය හැකි වෙනත් උපකරණයක් මට සිතාගත නොහැකියි. ඒ නිසාම එම විග්‍ර‍හය මත පදනම් වූ විප්ලවකාරී සමාජ විපර්යාසය පිළිබඳ ලෝක දැක්ම තව දුරටත් වලංගුයි.

පසුගිය සියවස මුලදී රෝසා ලක්සම්බර්ග් ප්‍ර‍කාශ කළේ මිනිස් සංහතිය අභිමුව ඇත්තේ එක්කෝ සමාජවාදයේ මාවත, නැතහොත් ම්ලේච්ඡත්වයේ මාවත බවයි. මේ දෙක හැර "තුන් වැනි මාවතක්" පිළිබඳ දැන් මතු කෙරෙන නව තර්කය ගැන ඔබේ අදහස කුමක්ද?

ෆ්‍රන්ශුවා හුටා: තුන් වැනි මාවත යනු පූර්ණ මුලාවක්. ධනවාදය හා සමාජවාදය යන මාවත් දෙකට අදාළව කතා කරන්නේ නම් තුන් වැනි මාවත යනු පළමු එකේම සංශෝධිත සංස්කරණයක්. ඒ නිසා මම ලක්සම්බර්ග් සමඟ සීයට සීයක්ම එකඟයි. ධනවාදය වඩ-වඩාත් අත්කර ගන්නේ සමූල ඝාතක ස්වභාවයක් පමණයි.☐ 

© JDS