"අපිට අවශ්‍ය දණ්ඩ මුක්තිය නිමා කරන යුක්තිය මිස නීති රෙගුලාසි නොවෙයි" - ලසන්ත රුහුණගේ

ප්‍ර‍වෘත්ති වෙබ් අඩවි රජයේ ලියා පදිංචි කිරීමට බල කරන නීති රීති ගෙන ඒමට උත්සාහ කළ රාජපක්ෂ පාලන සමයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග පැවැති සම්මුඛ සාකච්ඡාවක් 2011 නොවැම්බර් 20 වැනිදා ‘සිළුමිණ‘ පත්‍රයේ පළ විය. වෙබ් අඩවි ලියා පදිංචියට බලකිරීම ප්‍ර‍කාශන නිදහසට සීමා පැනවීමක් නොවේදැයි විමසන ලදුව ඔහු මෙසේ කියයි:

“ඒව කියන්නේ ඔය නන්නත්තාර වූ සුළු පිරිසක්. මේ රටේ පත්තර, ගුවන් විදුලි, රූපවාහිනිවල කොයිතරම් විවේචන කෙරෙනවද.....ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචිය ගත්තහම ඒ අයටත් හොඳයිනේ. එතකොට ඒ අයට පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ වෙළෙඳ දැන්වීම් පවා ගන්න පුළුවන්නේ.....අපි කතා කරන්නේ ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ගැන විතරයි. අපි කියන්නේ මහජනයාගේ දැන ගැනීමට ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවි ජනමාධ්‍ය ආචාර ධර්ම තුළ විය යුතුයි කියලයි."

ඒ ආණ්ඩුව පෙරළා දමා අළුත් ආණ්ඩුවක් පත් වී ගතව ඇත්තේ අවුරුද්දකි. මේ වසරේ මාර්තු 31 වැනිදාට පෙර ‘පුවත් වෙබ් අඩවි‘ ලියා පදිංචි කළ යුතු බවට නිවේදනය කර සිටීමට නව ආණ්ඩුව ද දැන් පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ මේ සම්බන්ධයෙන් දක්වන අදහස කුමක්දැයි අපි ප්‍ර‍ශ්න කළෙමු.

"දැන් මේ පිළිවෙත් දෙකේ වෙනස් මොකක්ද?" ඔහු පෙරළා විමසයි.

"කලින් පිළිවෙත ප්‍ර‍කාශන අයිතිය අවුරන දුර්දාන්ත පාලනයක ලක්‍ෂණයක් බවට අපි පොදු වශයෙන් පිළිගත්තා. දැන් ඒ පිළිවෙතම ආයෙමත් හඳුන්වා දී තිබෙනවා. ඒක යහපාලන පිලිවෙතක් වශයෙන් දැන් අපි පිළිගත යුතුද?"

නව ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් වසරක කාලය තුළ අනුගමනය කර ඇති පිළිවෙත් සහ එළඹෙන වකවානුව තුළ මාධ්‍යකරුවන් මුහුණදීමට නියමිත අභියෝගයන් පිළිබඳ ඔහු විසින් පළ කරන අදහස්, ප්‍ර‍කාශන නිදහස පිළිබඳ වැදගත් ගැටළු ගණනාවක් මතු කරයි. මේ සංවාද සටහන ඒ ගැටළු විදාරණය කරනු පිණිස ය.

සංවාද සටහන: කිත්සිරි විජේසිංහ


මාර්තු 31 වැනි දිනට පෙර වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට රජය නිවේදනය කොට තිබෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සභාපතිවරයා ලෙස රජයේ මේ පිළිවෙත ගැන ඔබ දරණ ස්ථාවරය කුමක්ද?

ලසන්ත රුහුණගේ: පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට කරුණු දක්වමින් ප්‍රවෘත්ති සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පළ කොට ඇති දැන්වීම සම්බන්ධයෙන් අපි අපේ පැහැදිලි විරෝධය පළ කරන බව පළමුවෙන්ම කිව යුතුයි. මේ දැන්වීම හෝ පුවත් අඩවි තහනම අපිට කොහොමටත් අලුත් දෙයක් නොවෙයි. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත් පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කළ යුතු බවට එදා දැන්වීමක් පළ කළා. එදා අපි විරෝධය දක්වපු ඒ දැන්වීමම තමයි මේ යහපාලන ආණ්ඩුව විසින් අද නැවත වතාවක් යෝජනා කරන්නේ.

ලංකාවේ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ වගේම ඒ සඳහා අවශ්‍ය කරන යෝජනාවන් අපි පහුගිය කාලය පුරාවටම සෑම රජයක් වෙතම ඉදිරිපත් කොට තිබෙනවා. කලින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පුවත් වෙබ් අඩවි ලියාපදිංචියට නීතියක් ගේන්න උත්සාහ කළේ මේ රටේ මාධ්‍ය සමාජය විසින් ඉදිරිපත් කරපු ඒ යෝජනාවන් නොසළකා හරිමිනුයි. එදා ඒ විදියට ජනමාධ්‍යවේදීන්ගේ විරෝධය නොතකා හරිමින් කරළියට ගේන්න උත්සාහ කරපු නීතියක් අද මේ යහපාලනයක් ස්ථාපිත කරන්න ප්‍ර‍තිඥා දෙන ආණ්ඩුවක් විසින්ම ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම බරපතල ප්‍රශ්නයක්.

මේ නිසාම, අපි කියන්නේ ලියාපදිංචි කරන්න එපා කියලා. මෙයට පෙරත් අපි ඉතාම පැහැදිලිව කියලා තියෙනවා, මේ හා සමාන අත්තනෝමතික නියෝගවලට අවනත වෙන්න එපා කියලා. අනෙක් කාරණාව පුවත් වෙබ් අඩවි කියලා තෝරා වෙන් කරන නිර්ණායකය මොකක්ද? හැම කෙනෙක්ම යම් මට්ටමකින් පුවත් තමයි සන්නිවේදනය කරන්නේ. එහි ස්වරූපය, විෂය ක්‍ෂේත්‍ර‍ වෙනස් වෙන්න පුලුවන්. බ්ලොග් අඩවි  තුළින් වුණත් මත ප්‍ර‍කාශනයට අමතරව අඩු වැඩි වශයෙන් පුවත් සන්නිවේදනයක නියැළෙනවා. අනෙක් කාරණය පුවත් වෙබ් අඩවි ලියාපදිංචි කළත් ඒක පාවිච්චි කරලා එවාට දඬුවම් කිරීමට හැම කෙනෙක්ම විරුද්ධ විය යුතුයි.

ඔබ කියන ස්ථාවරය පිළිගෙන රජයේ නියමය නොසළකා පුවත් වෙබ් අඩවි ලියාපදිංචි නොකර සිටීමේ ප්‍ර‍තිඵලයක් වශයෙන් එම වෙබ් අඩවි ඉලක්ක කොට බලධාරීන් යම් වාරණයක් හෝ ත‍හංචි පැනවීමක් කළොත් ඒ සඳහා ගන්න තියෙන විකල්ප පියවර මොනවාද?

ලසන්ත: මම හිතන්නේ ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිද්ධ වනවා මේ නියෝගය හකුළා ගන්න. මීට කලින් පුවත්පත් මණ්ඩලය වෙනුවට පුවත්පත් පැමිණිළි කොමිසම බලාත්මක වුණේ මෙවැනි විරෝධතාවක ප්‍රතිඵලයක් විදිහටයි. මෙතනදි සැබෑ වෙබ් ජනමාධ්‍යවේදීන් පෙරට පැමිණිය යුතුයි. එවිට අවශේෂ මාධ්‍යවලට සම්බන්ධ අපිටත් පුලුවන් ඔවුන්ගේ අරගලයට දායක වෙන්න.

නමුත් තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර රජය දැනටත් අරගෙන තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ නව රජයේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබ නගන වාරණ චෝදනාවන් පදනම් රහිත බවට යමෙකුට ප්‍රශ්න කළ හැකියි නේද?

ලසන්ත: ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින්ම කියා තිබුණා වෙබ් අඩවි ලියාපදිංචි කිරීම පිළිබඳව දැන්වීම පළ කරනු ලැබුවේ වෙබ් මාධ්‍ය සංවිධානවල ඉල්ලීම පරිදි බවට. ජනමාධ්‍ය අමාත්‍යවරයා හෝ එම අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන්නේ මේ විෂය සම්බන්ධව යම් හැදෑරීමක් හෝ අදහසක් සහිතව සිටිය යුතු පිරිසක්. නමුත් මෙවැනි ප්‍රකාශවලින් අපිට පේන්නේ මොකද්ද? කවුරු හරි කෙනෙක් ඇවිත් මේක කරන්න කිවුවොත් එහි හරි වැරැද්ද හොයන්නේ නැතිව විෂය භාර ඇමතිවරයා හැටියට ඔහු ඒක ක්‍රියාවට නංවන්න බැඳිලා ඉන්න බවද?

ඊ ළඟට ඔබ අහපු තොරතුරු දැන ගැනීමේ පනත ගැන මට යමක් කියන්න තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව තොරතුරු දැන ගැනීම මූලික අයිතිවාසිකමක් විදිහට මේ වන විට පිළිගෙන තිබුණත් තවමත් එය පනතක් ලෙස බලාත්මක කර නැහැ. එය පනත් කෙටුම්පතක් විදිහට පමණයි තවමත් තිබෙන්නේ. කෙටුම්පත ගැන සම්පූර්ණ සහ විධිමත් අධ්‍යයනයක් කිරීමෙන් පසුව අපි ඒ ගැන අපේ ස්ථාවරය ප්‍රකාශ කරනවා විතරක් නෙවෙයි, එහි ප්‍ර‍කාශන නිදහස අවුරන කිසියම් හානිකර හැඟවුම් තිබෙනවා නම් ඊට එරෙහිවත් අනිවාර්යයෙන් කටයුතු කරනවා. මේ සාකච්ඡාව කරන මොහොත වන විට අපි දන්නේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව පමණයි.

අපි යළිත් පුවත් වෙබ් අඩවි ලියාපදිංචිය ගැන කතාවට යමු. මේ සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයට පත්කොට ඇති පුවත්පත් නිවේදනය එසේ ප්‍රකාශයට පත් කිරීමට පෙර අනෙකුත් වෘත්තීය සමිති හෝ සංවිධා‍න සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් විමසා තිබෙනවාද?

ලසන්ත:  පැහැදිලිවම නැහැ. කිසිම අවස්ථාවක එවැනි සාකච්ඡාවක් හෝ අදහස් විමසීමක්  කර නැහැ. මේ රජය පැවති රජයට වඩා වෙනස් එකක් කියලා දේශපාලන බලාධිකාරිය හැම වෙලාවකම කියනවා. නමුත් ඒක එහෙමයි කියලා ඔප්පු කොට පෙන්වීමට රජය තවමත් සමත් වෙලා නැහැ. මම එහෙම කියන්නේ ජනමාධ්‍යයට අදාළ යම් සංශෝධනයක්, රෙගුලාසියක් හෝ නීතියක් ගෙන ඒමට කලින් මාධ්‍ය සම්බන්ධව කටයුතු කරන සංවිධාන සමඟ සාකච්ඡා කරලා සියළු පාර්ශවයන්ගේ අදහස් විමසලා, ඒවායෙහි සුදුසු-නුසුදුසු බව තීරණය කරලා ක්‍රියාත්මක කළ යුතු නිසායි. නමුත් එහෙම කිසිම දෙයක් මේ පනත සම්බන්ධව සිදු කෙරිලා නැහැ.

ආණ්ඩුව දැන් කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ පසුගිය ආණ්ඩු කාලේ පැවති මර්දනයට එරෙහිව සටන් කරපු, ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් අරගල කරපු  මේ රටේ ප්‍රමුඛ පෙලේ ජනමාධ්‍ය සංවිධාන එක්ක නෙමෙයි කියන එක විතරක් මම ඔබට ඉතා පැහැදිලිව කියන්න අවශ්‍යයි. ආණ්ඩුව ගනු දෙනු කරන්නේ, ආණ්ඩු පෙරළියෙන් පස්සේ නොයෙක් නම්වලින් අටව ගත්ත සංවිධාන කිහිපයක් එක්ක පමණයි. ඔවුන් කවුද, නිසි පරිදි නිලවරණ පවත්වනවාද, ඒවායෙහි ඉන්න සාමාජිකයන් කවුද කියන එක අපි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔවුනට තියෙන සුදුසුකම ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලඥයන් එක්ක පවත්වාගෙන යන සම්බන්ධතාවය විතරයි. මේක හරියට ඉදිරියේදී ජනමාධ්‍ය අයිතීන් අවුරන්න අවශ්‍ය  වෙතොත් ඊට උවමනා කරන අනුමැතිය සපයා ගන්නා දැන් සිට සූදානම් කරන ට්‍රෝජන් අශ්වයෙක් වගේ දෙයක්. මේ රටේ ප්‍රධාන පෙලේ කිසිම මාධ්‍ය සංවිධානයකට කිසිම සාකච්ඡාවකට ආරාධනා නොකරන ජන මාධ්‍ය ඇමතිවරයාත්, ජන මාධ්‍ය අමාත්‍යාංශයත් මේ නාමික සංවිධාන එක්ක තමයි අද වන විට ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ ජන මාධ්‍යයට බලපාන තීන්දු තීරණ ගන්නේ.

එත් එක්කම කිව යුතු දෙයක් තමයි මේ වෙබ් ලියාපදිංචිය සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යකරුවන්ගේ සංවිධානය කර තිබුණු ප්‍රකාශය. එම සංවිධානයේ ලංකාවේ සියළු වෙබ් ජනමාධ්‍යවේදින් නියෝජනය කරනවද කියන එක මම දන්නේ නැහැ. ඒ කාරණාව නිරාකූල කරගත යුත්තේ වෙබ් ප්‍ර‍වෘත්තිකරණයේ නියැලෙන අවශේෂ මාධ්‍යවේදී පිරිස් විසින්මයි. මේ සංගමය කියනවා 'අපි තමයි වෙබ් ලියාපදිංචි කිරීමේ යෝජනාව ගෙනාවේ' කියලා.නමුත් ඔවුන් අමතක කරන එක තමයි විධිමත් වෙබ් අඩවියක් ආරම්භ කරන්න තියෙන සම්මත ක්‍රමවේදය අනුව අන්තර්ජාල සේවාවටත්, සර්වර් පහසුකම් සඳහාත් යම් මුදලක් ගෙවා අන්තර් ජාලයේ මූලික ලියා පදිංචි කිරීමක්  කළ යුතුයි කියන එක. නිශ්චිත කාලයකින් පසු ඒ ලියා පදිංචිය යළිත් අලුත් කළ යුතුයි. මේ අනුව බැලුවොත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි, සාමාන්‍යයෙන් විධිමත් වෙබ් අඩවියක් දියත් කිරීමට පෙර ස්ථාපිත සම්ප්‍ර‍දායයන් හා ක්‍ර‍මවේදයන්ට අනුව නිශ්චිත ලියා පදිංචියක් කළ යුතු බව.

අනෙක් අතින් පුවත් වෙබ් අඩවි කියන්නේ මොනවද? මොකක්ද නිර්ණායකය? නිදසුනක් විදියට කිව්වොත්, අද වෙනකම් සමාජ - දේශපාලන හෝ කලා සංස්කෘතික මත ප්‍රකාශනය  සඳහා යොදාගත් වෙබ් අඩවියක්, නිශ්චිත සිදුවීමක් හෝ කිහිපයක් හේතුවෙන් හෙට සිට ප්‍ර‍වෘත්ති වාර්තාකරණයේ යෙදෙන්න පුළුවන්. එතකොට ඒක පුවත් වෙබ් අඩවියක්ද? ඒ පුවත් වාර්තාකරණයට කලින් හදිසියේ එය ලියා පදිංචි කළ යුතුයිද? එහෙම නැතිනම්, වාර්තා කරන්න පුවතක් තිබුණත්, ලියාපදිංචි කොට නැති නිසා ඒ ප්‍ර‍වෘත්තිය වාර්තා නොකර සිටිය යුතුයිද? මේ පිළිවෙත්වලින් පෙන්නුම් කරන්නේ මාධ්‍ය බලධාරීන්ට අන්තර් ජාලයේ තියෙන පුළුල් හා නිදහස් අවකාශය ගැන වැටහීමක් නැති බවයි. මේක හරියට පුවත්පතක් ලියාපදිංචි කරනවා වගේ වැඩක් නෙවෙයි. අන්තර් ජාලය කියන මාධ්‍ය ගැන ප්‍ර‍මාණවත් අවබෝධයක් නැතුව, පත්තරයක් පළ කරන මානසිකත්වයෙන් වෙබ් අඩවියක් කරන පිරිස් තමයි මේ වගේ අමනෝඥ අදහස් යෝජනා කරන්නේ.

ආණ්ඩුව විසින් නිකුත් කර ඇති මේ දැන්වීමේ තියෙන භයානකකම මීටත් එහාට යන එකක්. එහි සඳහන් කරලා තියෙනවා ලියා පදිංචි නොකරන ලද පුවත් වෙබ් අඩවි නීත්‍යානුකූල ඒවා ලෙස නොසළකන බව සහ ඒවා අවහිර කිරීමට කටයුතු කරන බව. මේක තමයි ප්‍ර‍කාශන නිදහසට එරෙහි රාජ්‍ය වාරණය කියන්නේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ වෙබ් අඩවි වාරණය කිරීමට දරපු උත්සහයේම අනෙක් අදියර තමයි මේ ක්‍රියාත්මක කෙරෙන්නේ. මොකක්ද වෙනස? තමන්ගේ අත් වලින්ම විලංගු හදාගෙන ස්වාමියාට කියලා ඒවා පළඳවාගැනීම ජයග්‍ර‍ණයක් කියලා කල්පනා කරන වහල්ලුන්ගේ ගණයටයි, මේ වැනි යෝජනා රජයකට කරන අය අයත්වන්නේ.

ජනමාධ්‍යකරුවන් හැටියට අපිට වෘත්තීය හා අචාර ධාර්මික වගකීමක් තියෙනවා අපේ ස්වාධීනත්වය රැකගැනීම සම්බන්ධව. රාජ්‍යයට, ප්‍ර‍කාශන නිදහසට අණ පනත් පනවන්න අවශ්‍ය පාරවල් සොයා දීලා, ක්‍ර‍ම සම්පාදනය කරන එක අපේ කාර්යයක් නෙවෙයි. එහෙම වුණොත්, ආණ්ඩුවේ අනුමැතිය සහ සහනාධාර මත යැපෙන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සංවිධාන විසින් ජනතාවට ලබා දෙන තොරතුරුවල සත්‍යතාව සහ ස්වාධීනත්වය ගැන බරපතල ප්‍රශ්නයක් පැන නැඟීම වැළැක්විය නොහැකියි. එහෙම තත්ත්වයක් නිර්මාණය වුණොත්, තමන්ට වරදාන දෙන ආණ්ඩුවට හෝ ඇමතිවරයාට අවශ්‍ය විදිහටයි මාධ්‍යවේදීන්ට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ.

ඔබ එයින් අදහස් කරන්නේ මේ ආකාරයේ නීති පැනවීම ඔස්සේ  පුවත් වෙබ් අඩවි සහ ඒවායෙහි සේවය කරන මාධ්‍යවේදීන්ව තම අණසකට යටත් කරගැනීමට නව රජයත් කටයුතු කරන බවද?

ලසන්ත: පසුගිය පාලන කාලයේදි අපි ඉල්ලුවේ මොනවාද? වෙන කිසිම දෙයක් නෙමෙයි, අපි ඉල්ලුවේ යුක්තියයි. පසුගිය පාලන සමයේදි ලංකාවේ ජනමාධ්‍යවේදින් කී දෙනෙක් ඝාතනයට සහ මැර ප්‍රහාරවලට ලක්වුණාද? මාධ්‍ය ආයතන කීයකට පහරදීම්, ගිනි තැබීම් සිදු වුණාද? පැහැර ගැනීම් සහ තර්ජන කොතෙක් සිද්ධ වුණාද? අපේ ඉල්ලීම වුණේ පළමුවෙන්ම ජනමාධ්‍යට එරෙහි මේ භීෂණය හා හිංසාකාරී තත්ත්වය නැති කළ යුතු බවයි. දෙවනුව එවැනි ක්‍රියා සඳහා වගකිව යුතු පුද්ගලයන්ට ලබා දී ඇති දණ්ඩ මුක්තිය අවසන් කර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එකයි. එවැනි පසුබිමක විතරයි ජනමාධ්‍යවේදීන්ට තම වෘත්තීය සම්බන්ධයෙන් ඇති බිය සහ සැක සංකා දුරුවෙන්නේ.

නමුත් මේ ආණ්ඩුව බලයට පත්වෙලා දැන් වසර දෙකකට ආසන්න වෙනවා. ඒ වුණත් මේ ආණ්ඩුව බලයට පත්වෙන්න යොදාගත් ප්‍රධානම සටන් පාඨයක් වු ජනමාධ්‍ය නිදහස ඇති කිරීම කියන එකට තවමත් සාධාරණයක් ඉටුවෙලා නැහැ. මරා දැමුණු ජනමාධ්‍යවේදීන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් ගැන යම්  පරීක්‍ෂණයක්  සිදුවන බව ඇත්ත. ඒ වුණාට ඒ දේවල් පිළිබඳවත් අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් කමක් නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා මේ සම්බන්ධව කරුණු සොයා බැලීමට කොමිසමක් පත් කරන්නැයි කියලා. නමුත් එයට යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබිලා නැහැ. හැබැයි අපි දුටුවා පසුගිය දවස්වල පුවත්පත් දැන්වීමක් පළ කර තිබෙනවා 2005 සිට 2011 දක්වා විවිධ හිරිහැරයන්ට, පීඩාවන්ට ලක්වුණු ජනමාධ්‍යවේදීන්ට සහන සළසන්න තොරතුරු රැස් කරන බවට. මේ කරන්න හදන්නේ මොකද්ද? අපරාධය සහ අපරාධකරුවා පැත්තකින් තියලා, අපරාධයට ගොදුරුවු කෙනාට යම් සහනයක් දීලා සම්පූර්ණයෙන්ම සිද්ධිය යටපත් කරලා දාන්න. එතකොට දණ්ඩ මුක්තිය අහෝසි වෙනවාද? අපරාධ යුක්තිය ඉෂ්ට වෙනවාද? සහන සළසන්න ඕනේ අපරාධකරුවට දඬුවම් දීලා ඉවරවෙලායි. අපරාධයකට ගොදුරු වුණ කෙනෙක්ට පළමු සහ වැදගත්ම සහනය යුක්තිය ඉටු වීමයි.

ඒ වගේම අපි දිගින් දිගටම ඉල්ලා සිටියා ජනමාධ්‍යවේදීන්ට එරෙහි මර්දන නීති වෙනස් කරන්න කියලා. උදාහරණයක් විදිහට, පුවත්පත් මණ්ඩලය අහෝසි කරනවා වෙනුවට ජනාධිපතිවරයා කරලා තියෙන්නේ එහි සමාජිකයන්ගේ නිල කාලය දීර්ඝ කරමින් පුවත්පත් මණ්ඩලය නැවත වතාවක් බලාත්මක කිරීමයි. පුවත්පත් මණ්ඩල නීතියේ තියෙනවා එයින් දෙන තීන්දුවක් වෙන කිසිම අධිකරණයකින් අභියෝගයකට ලක් කළ නොහැකියි  කියලා. මේවාට පත්වන සාමාජිකයන්ට ලැබෙන්නේ පැහැදිලිවම දේශපාලන පත්වීම්. ඔවුන්ට බලය තියෙනවා ජනමාධ්‍යවේදියෙකුට වසර දෙක දක්වා සිර දඬුවම් ලබා දෙන්න. මාධ්‍යවේදීනගේ වෘත්තීය ගරුත්වය, ආරක්‍ෂාව සහ නිදහස ගැන ඇත්තෙන්ම සැළකිලිමත් වන පිරිස් කැප වෙන්න ඕනි මේ තත්ත්වයන් වෙනස් කරන්න මිස තව තවත් නීති රෙගුලාසි ගේන්න ආණ්ඩුවට උපදෙස් දෙන එක නෙවෙයි.

ජන මාධ්‍යන්ට ස්වයං නියාමනයක් තිබිම වැදගත්.එවැනි නියාමණයන් හදාගත යුත්තේ මාධ්‍ය සමාජය විසින් මිස පවතින රජය විසින් ස්ථාපිත කරන නියාමන අධිකාරියකින් නෙමෙයි.

ඔබ කියන මේ ස්වයං නියමානයට ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ  මැදිහත්වීමෙන් පුවත්පත්  සඳහා ආචාර ධර්ම පද්ධතියක්  දැනටත් සකස් කොට තිබෙනවා නේද? එය එසේ වු පමණින්ම ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනයන් තම වෘත්තීය වගකීම් නිසි ලෙස ඉටු කරන බවට සහතිකයක් තිබෙනවාද?

ලසන්ත: පුවත්පත් කතුවරුන් විසින් සකස් කොට තිබෙන මේ ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක කිරීම පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට. එම කොමිසම විසින් දෙන ලද තීන්දු තීරණ යම් යම් අවස්ථාවන්වල පුවත්පත් විසින් පිළිපැද තිබෙනවා. නමුත් ගැටළුව වෙන්නේ මේ සම්බන්ධව කිසිම අවබෝධයක් නැති හුදු ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පමණක්ම මාධ්‍ය ආයතන පවත්වාගෙන යන ඇතැමුන්ගේ ක්‍රියාකලාපයනුයි. එමනිසා අර්බුදය තියෙන්නේ මේ ආචාර ධර්ම පද්ධතියේවත්, එය නියාමනය කිරිමට සිටින ආයතනවලවත් නොවෙයි. ජනමාධ්‍ය කලාවේ මුලික නියමයන්ටවත් එකඟ නැතිව පත්තර, මාධ්‍ය ආයතනයන් පවත්වාගෙන යන පුද්ගලයන්ගේයි.☐

© JDS