'ලංකාවේ වේදිකාව කියන්නේ දුක් විඳලා මැරිලා යන්න යෝජනා කරන තැනක්' - බුද්ධික දමයන්ත

බුද්ධික දමයන්ත අනූව දශකයේ ආරම්භයේ ඉතාම සංකීර්ණ ප්‍රවේශයකින් වේදිකාවට අවතීර්ණ වූවෙකි. ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය බොහෝ විචිත්‍රවූවක් මෙන්ම අතිශයින්ම දිගු එකකි. ලෝකය පුරා වේදිකාවන් මත දිගහැරුණු නාට්‍ය නිර්මාණ ලාංකීය වේදිකාවට සමීප කළ බුද්ධික, ඔහුගේ විසිවැනි කෘතිය ලෙස තෝරාගෙන ඇත්තේ සමකාලීන දකුණු අප්‍රිකානු නාට්‍යකරුවෙකු වන මයික් වැන් ග්‍රාන්ගේ  'ග්‍රීන් මෑන් ෆ්ලෑෂිං කෘතියයි. පරිවර්ථනයේදී බුද්ධික ඊට දී ඇත්තේ භාෂාමය නාමකරණයක් වෙනුවට අංකනමය නාමකරණයකි. ඒ අනුව ඔහුගේ නවතම නාට්‍යයේ නම '2/3'.

''මේක දේශපාලන වැඩක්. අප්‍රිකානු සන්දර්භයක සංසිද්ධීන් අපට අදාළ වෙන්නෙ කොහොමද කියන එක තමයි මගේ සාකච්ඡාව. 'කළු' ඇමතිවරයකු අතින් මැතිවරණයකට දින දෙකකට කලින් ඔහුගේ ම ‍'සුදු' ලේකම්වරිය දූෂණයට ලක්වෙනවා. එය මාධ්‍ය තුළින් සඟවාගන්න එක සහ ඊට සමාන්තරව මැතිවරණය වැඩි බලයක් සහිතව ජයග්‍රහණය කිරීමට හැදෙන සැළසුම් තමයි මේකෙ අන්තර්ගතය. මේකෙ හැම දෙයක්ම අපිට අදාලවත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. අපේ ඇමතිවරු අතින් ලේකම්වරු දූෂණය වෙන්නැති එක විතරයි මේකෙ තියෙන වෙනස. '' බුද්ධික සුපුරුදු උත්ප්‍රාසයෙන් සිනාසෙයි.

ස්වකීය නව වේදිකා නිර්මාණය පිළිබඳවත්, පොදුවේ ලාංකීය වෘත්තීය නාට්‍යවේදය පිළිබඳවත් JDS හා සමාලාපයක යෙදෙන්නට බුද්ධික එක්විය.

සටහන: මංජුල වෙඩිවර්ධන


මංමෙහෙම පටන් ගන්නම්. ඔබ කලාකරුවෙක් විදිහට හඳුන්වන්නෙ මොන වගේ කෙනෙක්ද? ඒකෙම දිගුවක් විදිහට ඔබ නාට්‍යකරුවෙක්  හඳුන්වන නිර්ණායක මොනවද?

බුද්ධික දමයන්ත: තමන් නිරතවෙන කලාභාවිතට හෝ නිර්මාණකරණයට එහා ගිහින් සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, සමාජ-දේශපාලන ව්‍යුහය වෙනස් කිරීම වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින දැවැන්ත මනුෂ‍්‍යයෙක්ව තමයි මට කලාකරුවකු විදිහට පේන්නෙ. එහෙම කෙනෙක් මේ දවසකින් දෙහෙකින්, අවුරුද්දකින් දෙහෙකින් බිහිවෙන්න විදිහක් නෑ.  ජීවිත කාලයක් තමන්ගෙ සමාජ දේශපාලන මතවාදයන් දරා ගනිමින් යන ගමනක් මේක. මට හිතෙන්නෙ ප්‍රේමසිරි කේමදාස, සුගතපාල ද සිල්වා කියන්නෙ අන්න එහෙම කලාකාරයො. තමන්ගෙ භාවිතය වෙනුවෙන් අන් සියල්ල අතාරින්න තරම් හයියක් තියෙන්න ඕනි. ඉතින් එහෙම කරන්න කාටද පුළුවන්. අද කවුද එහෙම චරිත ඉන්නෙ?

අපි '90 දශකයෙ මුල වේදිකාවට පය තියද්දි නාට්‍ය කලාවට අවතීර්ණ වෙනවත් එක්කම  හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා බඳු චරිත දකින්න ලැබෙන්නෙ නැහැනෙ. නමුත් ධර්මසිරි බණ්ඩාරනායක වගේ නාට්‍යකරුවෙක් ගත්තොත් ඔහු ඉතාමත් ආශ්වාදයෙන් කියන දෙයක් තමයි ඔවුන් නාට්‍ය කලාවට අවතීර්ණ වෙන්නෙ අර කිව්ව කලාකරුවන්ගෙ නිර්මාණ විඳගෙන ඒ හරහා ලැබුණු ආශ්වාදය, අහ්ලාදය සහ හික්මීමත් එක්ක විශාල විනයක් එක්ක කියලා. එහෙම කියන්න ලැබෙන එකම ඔවුන්ට විශාල ආඩම්බරයක් වගේ. 

නමුත් අපි එහෙම නෙවෙයි. අපි තනිකම අතෑරලා දාපු පරම්පරාවක් වගේ.  අපේ ඉහළ නාට්‍ය පරම්පරාව නියෝජනය කරපු ජයන්ත චන්ද්‍රසිරිලා, අශෝක හඳගමලා නාට්‍ය කලාව අතෑරලා සරු ආදයම් මාර්ග හොයාගෙන යන කාලයක් ඒක. ඒ හින්දා අපිට කිසියම් හික්මීමක්, විනයක් සහිත ඉහළ පරම්පරාවක් ඇසුරෙ වැඩෙන්න අවස්ථාවක් තිබුණෙ නෑ.. කොටින්ම රඟපාන්න තියෙන ආසාවට තමයි මං වුණත් වේදිකාවට ගොඩවුණේ.  නමුත් මෙතෙන රික්තකයක් වගේ දැඩි අවකාශයක් ඉතුරුවෙලා තියෙනවා කියලා පේනන ගත්ත නිසා තමයි මං අධ්‍යක්‍ෂණය කියන මහා විෂයට යොමු වුණේ. මේක හිතා මතා සැළසුම්සහගතව ආව ගමනක් නෙමෙයි. ටක්ගාලා වතුරට පනිනවා වගේ වැඩක්. වෙන කරන්න දෙයක් නෑනෙ. එහෙම අපිට සිද්ධ වෙනවා නාට්‍යකරුවා නිර්වචනය කරන්න. මං මෙහෙම කියන්නම්, හරි හෝ වැරදි තමන්ගෙ භාවිතය වෙනුවෙන් දිවි පරදුවට තියෙන්න ලෑස්ති වෙන මිනිහෙක්ට තමයි මං නාට්‍යකරුවෙක් කියන්නෙ. නාට්‍යකරුවො කියලා ඕන කෙනෙක්ට කියාගන්න පුළුවන්. නමුත් අපි හොයන්න ඒ අය තුළ තියෙන සාරය.

අපි ආයෙ නිදසුනකට ගියොත්, හැරල්ඩ් පින්ටර්ලා, අන්න නාට්‍යකරුවො. ජෝජ් බුෂ්ගෙ දේශපාලන භාවිතයට විරුද්ධව තනියෙන් පිකට් එකක් කරනවා. ලෝක බලවතාට තනියෙන් අභියෝග කරනවා ඔහු. අන්න මිනිස්සු. එහෙම නාට්‍යකාරයො හිටිය ලෝකයක් මේක. පින්ටර්ලා, දාරියෝ ෆෝ ලා ගැන හදාරද්දි මං කියන මේ සාරය තියෙනවා. එහෙම සංසන්දනය කළාම හිතෙනවා අපේ එවුන් මොක්කුද කියලා.

මං ප්‍රශ්නෙ ගොනු කළේ මෙන්න මේ ප්‍රශ්නෙට එන්න. ඔබත් මමත් එකම පරම්පරාවෙ මිනිස්සු. ඒ හින්දා මං හොඳාකාරවම දන්නවා අපේ පරම්පරාව නියෝජනය කරමින් වේදිකාවට අවතීර්ණ වුණු එකල සහෘදයො ගැන. නමුත් ඔබ විතරයි අඛන්ඩවම වේදිකාව අත් නොහැර අරගල කළේ. මං එහෙම කියන්නෙ අනිත් හැමෝම එක්කො ප්‍රකාශන මාධ්‍ය මාරු කළා නැත්නම් වෙනත් වෘත්තීයක යෙදෙන අතරතුර විටින් විට වේදිකාවට නිර්මාණ ගෙනාවා. මගේ අදහස ඔබ විතරයි අපේ පරම්පරාව ඉතුරු කරපු එකම වෘත්තීය නාට්‍යවේදියා. මේ අමාරුව දරාගත් හැටිත් දරාගෙන ඉන්න හැටිත් ඔබ  විග්‍රහ කරන්නෙ කොහොමද?

බුද්ධික: මේකයි. ජීවිතේ පරදුවට තියන්න ලෑස්ති වෙන්න ඕනි. මං හිතන්නෑ ඒකට හුඟදෙනෙක් ලෑස්තියි කියලා. දැන් අපිත් වියපත් වෙමින් ඉන්නෙ. විශාල ජවයකින් වැඩකළ ජීවිතවල ස්වර්ණමය කාලෙ දැන් ඉවරයි. අපිට වුණත් දැන් හරි වෙහෙසක් දැනෙනවා.  ඒ කාලෙ එකට හිටපු නිර්මාණකරුවො දැන් දැක්කම 'බුද්ධික උඹ තාම නාට්ටි කරනව‍ද' කියල අහන ඇහිල්ලෙම විශාල උත්ප්‍රාසයක් තියෙනවා. ඒ ඇස්වල පවා තියෙන්නෙ විශාල විශ්මයක්. 'ඇයි උඹ ජීවිතේ පරදුවට තිබ්බෙ' කියන හැඟීම ඒ වචන ඇතුළෙ පුපුරු ගහනවා. ඒක ඇත්ත. මෙහෙම රටක මෙහෙම කැපවෙන්න සිදුවීම ගැන මටම තිගැස්සමක් තියෙනවා. වෙන රටවල නාට්‍ය කලාව ගත්තොත් විශාල ආයෝජනයන් සහිත, විශාල රාජ්‍ය මැදිහත්වීමක් සහිත ඉතා සක්‍රිය සහ පදනමක් සහිත ක්‍රියාවලියක්.  ඒවා මේ නාට්‍යයෙන් නාට්‍යයට හෝ අවුරුද්දෙන් අවුරුද්දට හදන සැලසුම් නෙවෙයි. අඩු ගාණෙ අවුරුදු පහළොවක්වත් ඉස්සරහ බලලා හදන සැළසුම්. ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල්වලට ගියාම අපිට දැනෙනවා ඒ උ‍ද්‍යෝගය. දැන් අපේ ගත්තොත්, මේ මොනවත් නෑ. හුනුවටයේ කතාව දැන් ගිනස් වාර්තාවක් තියලා තියෙන්නෙ දස දහස් වාරයක් දර්ශන පවත්වලා. ඒ කියන්නෙ මොන තරම් වාරයක් වේදිකාවෙ කියවෙලා තියෙනවද 'දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු' කියලා. කෝ ඉතින්

මේකට එන අය නාට්‍ය එකෙන් දෙකෙන් දැවිලා යනවා. නාට්‍ය වපසරියෙ ඉන්න රතුපාට කෙල්ලෙක් කසාද බැඳගන්නවා. ඊළඟට පවුල් සංස්ථාව නඩත්තු කරන්න ඕනම දහජරා වැඩක් කරන්න සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය ජාවාරම් නම් ගොඩාක් තියෙනවා මේ රටේ.  දැන් ගුවන් විදුලි ටෙලිවිෂන් නාලිකා පුරවැසියන්ට වඩා වැඩියි. මේවැයි වෙන්නෙ කලාව හෝ සන්නිවේදනය අදාළ දේවල් නෙවෙයි. මේ මූලිකාංග නැතුව අනිත් හැම දේම මේවායේ තියෙනවා.

මං ගැන ගත්තොත්, මං මේ වැඩේට සීරියස්ලි අත තියනකොටම දන්නවා අනිවාර්යෙන්ම කෙළවෙනවා කියලා. අපිට ඒක ඒ කාලෙම තේරෙනවානෙ. නමුත් මං ඒ නාට්‍යකරුවෙක් කියන ආවේශයෙ ඉන්නවා. මං සෑහෙන දුරට ජීවිතයෙන්ම ඒකට වන්දි ගෙවනවා. එක පැත්තකින් හිතෙනවා දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්ද මේ කියලා? නමුත් අනිත් පැත්තෙන් ඒක දුෂ්කර, ඒත් විශාල ජීවිතයක් කියලත් හිතෙනවා.

ඔබ නාට්‍ය කලා භාවිතය ආරම්භ කරන්නෙ ඉතාම බරපතල ප්‍රවේශයකින්. අතිශයින් සංකීර්ණ පෙළක් සහිත සැමුවෙල් බෙකට්ගේ 'එන්ඩ් ගේම්' ඔබ 'අධිපතියාගේ මරණ මංචකය' නමින් වෙදිකාවට ගෙනාවා. එබඳු බරපතල ආරම්භයක් ගන්න පෙළඹුණේ ඇයි?

බුද්ධික: ඒක බරපතල කෘතියක් බව ඇත්ත. නමුත් ඒක අපි අල්ලන්නෙ අපි භුක්ති විඳිමින් හිටපු ජීවිතය ඇතුළෙ. ඒක එළියට එන්නෙ ඒ ව්‍යාකූලකම සහ සංකීර්ණත්වය ඇතුළෙ. අනික ඇඟේ හයිය. කණ්ඩායමක් විදිහට වැඩකිරීමට තිබ්බ සහයෝගය.  බෙකට්ව දාර්ශනිකව ග්‍රහණය කරගෙන හෝ ඔහුව මුළුමනින්ම හදාරා ඉවරකර හෝ තිබුන්නැති තත්ත්වයක් ඇතුළෙ වුණත් එය ප්‍රතිනිර්මාණයට අවශ්‍ය කරන ඉව අපිට තිබුණා.  අනිත් විශේෂ දේ, ඒ නාට්‍ය සහතික කරන විනිශ්චය මණ්ඩලයට එදා සුගතපාල ද සිල්වා නොහිටියා නම් මං අද නාට්‍යකරුවෙක් නොවෙන්නත් ඉඩ තිබුණා. ඔහු බෙකට් හඳුනපු නාට්‍යකරුවෙක්.

'අධිපතියා'  කියන්නෙ බෙකට්ගෙ 'වන් ඇක්ට් ප්ලේ' ප්‍රවාහයේ විශේෂ ලකුණක්. ගීතාත්මීය හා සංවාදාත්මීය වේදිකාවක් හුරුවුණු ලාංකීය ප්‍රේක්ෂකාගාරයට 'වන් ඇක්ට් ප්ලේ' එදා මෙන්ම අදත් ජීරණය කරගන්න බැරිවුණු බවයි මගේ අදහස. 'වන් ඇක්ට් ප්ලේ' භාවිතය ගැන ඔබේ විග්‍රහය මතු කරමින් මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න?

බුද්ධික: කොහේ කොහේ සිද්ද වුණත් අපිට මේ සියල්ල එන්නෙ ඉංග්‍රිසි ඕඩය හරහා. විකාරූපී නාට්‍යත් එක්කම තමයි අපිට 'වන් ඇක්ට්ස්' එන්නෙ. බෙක්ට්ගෙම 'ගොඩෝ එනකං' (Waiting for Godot) වගේ නාට්ටියක් ගත්තත් ඒක එකාංකික එකක්. වන් ඇක්ට් එකක්. සිද්ධියක් වටා ගොඩනැඟෙන කෘතියක්. බෙකට්ගෙ ඇතැම් නාට්‍ය තියෙනවා ඒවා එයා වෘත්තාන්ත කියල හඳුන්වන්නෙ. නමුත් විනාඩි තුනයි. එයාට ඒක ලෙන්ත් එකක්. එහෙම තමයි ඒවා හඳුන්වල තියෙන්නෙ. කාලයත් එක්ක නෙවෙයි 'ලෙන්ත්' එක තීන්දු වෙන්නෙ, ඒ ඒ අත්දැකීම්වල ධාරිතාවත් එක්ක. මෙවැනි නාට්‍යයක චරිත දෙක තුනයි තියෙන්නෙ. නමුත් ට්‍රෝජන් වගේ එකක් ගත්තොත් ඒකෙ චරිත පනහක් විතර තියෙනවා. නමුත් ඒක තින්දු කෙරෙන්නෙ ඒ විෂය විසින්. නැතුව වෙන බාහිර කාරණා නෙවෙයි.  ඒ නාට්‍යකරුවා කියන්න හදන දේට තමයි එයාට චරිත පනහක් ඕනි වෙලා තියෙන්නෙ. ඒක වෙන කෙනෙක්ට චරිත දෙකක් වෙන්න පුළුවන්. බෙකට් කාමරක් ඇතුළට දෙන්නෙත් තුන්දෙනෙක් තල්ලු කරලා කරන බලපෑම සමහර විට විශාල චරිත ගණනාවක් ඇති නාට්ටියක වඩා වැඩියි. සමාජය මත කරන තෙරපුම මත තමයි ඒක තීන්දු වෙන්නෙ. බෙකට් වගේ කෙනෙක් තමන්ට කියාගන්න අවශ්‍ය දේ සඳහා ආකෘතිය හොයමින් ඉන්නකොට තමයි මෙවන් ආකෘතියක් අහුවෙන්නෙ. ඒක භාවිතය හරහා ගොඩනැගෙන දෙයක්.

ලංකාවේ නාට්‍ය තරඟ සංස්කෘතිය තුළ කෙටි නාට්‍ය සහ නාට්‍ය කියලා නිර්මාණය වෙලා තියෙන ප්‍රවර්ග දෙක ඇතුළෙදි නාට්‍යක් නම් පැයක් ඉක්මවිය යුතුයි කියලා නිර්ණායකයක් හැදිලා තියෙනවා.  නමුත් ලෝකයේ පවතින අර්ථකතන වෙනස්. මේ මොහොතෙත් දේවල් අර්ථකතනයට ලක්වෙමින් තියෙන්නෙ.  නමුත් අපිට ඒවා එන්නෑ. ඒක තමයි ලංකාව.

මං අහන්නෙ මේක ලංකාව ග්‍රහණය කරගත්තද?

බුද්ධික: ඒක තමයි මං කියන්නෙ, ලංකාව කිසිදෙයක් ග්‍රහණය කරගත්ත රටක් නෙවෙයිනෙ. ඒ ගැන කිසිම තර්කයක් නෑ. විශ්ව විද්‍යාල - ඒ කියන්නෙ ඇකඩමික් විදියටවත් ඒවා එහෙම ග්‍රහණය කර ගන්නෙ නෑ. උදාහරණෙකට විශ්ව විද්‍යාලවල වුණත් නාට්‍ය කලාව ස්ථාපිත කරලා තියෙන්නෙ විභාගවලට වාඩි වෙන්න අවශ්‍ය කාරණා සම්පාදනය කරන්න මිසක්, ආත්ම ප්‍රකාශනයක් විදිහට නාට්‍ය මතුවෙන්නෙ කොහොමද කියන එක තහවුරු කරන්න නෙවෙයි. ඒව නිකං ෆොටෝ කොපි මැෂින් වගේ වැඩ. ඒවයින් නාට්‍යකරුවො බිහිවෙන්නෙත් නෑ, විචාරකයෙක් බිහිවෙන්නෙත් නෑ, මොකෙක්වත් බිහිවෙන් නෑ. නාට්‍ය කලාවට උපාධිය අරගෙන ගමට ගුරුපත්වීමක් අරන් ගිහින් කසාද බැඳලා දරුවො හදාගෙන කෘෂිකර්මය උගන්නගෙන ජීවත් වෙනවා.

ලංකාවේ සංස්කෘතික අමාත්‍යංශය කියන්නෙ තුච්චම, අධමම, ජරාජීර්ණම, වැඩක්ම නැති අමාත්‍යංශයනෙ. නමුත් අපිට ආසන්නම රට වෙච්ච ඉන්දියාවෙ වුණත් සංස්කෘතික අමත්‍යංශය කියන්නෙ බලවත්ම අමාත්‍යංශ කිහිපයෙන් එකක්. ඒවා මේ අට - හතර ජොබ් කරන තැන් නෙමෙයි. රජයේ සේවකයො වුණාට ෆුල් ටයිම් මිනිස්සු වැඩකරන තැන්. එහේ නාට්‍ය ඇකඩමියෙන් මිනිස්සු උපාධිය අරන් ගමට යන්නෙ නාට්‍ය කරන්න.

දැන් අපේ රටේ අලුත් පරම්පරාව නෙවෙයි, මම නෙවෙයි, විශාලම නාට්‍ය චරිත වෙච්ච ධර්මසිරි බණ්ඩාරනායක ගත්තත් ඔහුටත් කියන්න තියෙන්නෙ දුක්ගැනවිල්ලක්නෙ. කේ. බී. හේරත් ගත්තත් එහෙමයි. සුබ සාධන රාජ්‍යවල කලාව කරන එකම විහිළුවක්. දේශපාලනයන්ට කලාව වෙනුවෙන් යෝජනා ගේන එකම විහිළුවක්. ඉතින් අධ්‍යාපනය ශාස්ත්‍රාලීය අර්ථයෙන්ම විහිළුවක්. 'වන් ඇක්ට්' නෙවෙයි මොන 'ඇක්ට්' එකක්වත් තේරෙන්නෑ. කාලා බීලා බුදියන්න හදපු සමාජයක අපි මේ ඉන්නෙ.

දේශපාලකයො කරන පිස්සු තක්කඩි වැඩ දැක්කම පේනවා මේක රටක් නෙවෙයි මෙගා ඩීල් මංකොල්ලයක් සිද්ධවෙන තැනක්. කලාකාරයො කියලා හම්බවෙන පොඩි එකාගෙ ඉඳන් වයෝවෘද්ධ එකා වෙනකල් ඔක්කොම අඩු වැඩි වශයෙන් මංකොල්ලකාරයො. මොකකින් හරි ගාණක් කපා ගත්ත උන් තමයි ඉන්නේ. මේ ක්‍රමය ඇතුළෙ කීයක් හරි හම්බකර ගන්න මේ වගේ උන්ට කලාවත් එක්ක ලොකු පයුරු පාසානමක් නෑ. කලාව කියල මොනව හරි කරනවා. ඒ වගේ අවකාශෙක අපිට වන් ඇක්ට් ගැන කතා කරන්න වෙන එකත් මුන්ට විහිළුවක්.

පොදුවෙ ගත්තම ලංකාවෙ නාට්‍ය කලාව මේ වෙනකොට තියෙන්නෙ මොන වගේ තැන කියලද බුද්ධික හිතන්නෙ? ඒ වගේම ඒ තුළ ඔබේ ස්ථානගතවීම?

බුද්ධික: නාට්‍ය කලාවට තනියෙන් පවතින්න විදිහක් නෑනෙ. හැමදාම නාට්‍ය හදන එක නෙමෙයිනෙ නාට්‍ය කලාව කියන්නෙ. ඒක විශාල කාර්යභාරයක් තියෙන තැනක්. හරිහමන් රංග ශාලා නෑ අපිට. අවුරුදු පනහක් තිස්සෙ නාට්‍ය ඇකඩමියක් හදා ගන්න අපිට බැරිවු‍ණා. ඉන්දියාව 1960 වෙනකොට ජාතික නාට්‍ය ආයතනය පිහිටුවගෙන ඉවරයි. අපි ඇස් පනාපිට දැකලා තියෙනවා ඒවයින් කෙරෙන කාර්යභාරයන්. දැනට ලෝකෙම තියෙන හොඳම නාට්‍ය උළෙල හතරෙන් පහෙන් එකක් එතනින් කෙරෙන්නෙ. නාට්‍ය කලාව වෙනුවෙන් කැපවෙලා ඉන්න මං වගේ චරිතෙකට මගේම දරුවො අහන ප්‍රශ්නවලටවත් සමහර වෙලාවට උත්තර දීගන්න බෑ. නාට්‍යවලට මේ වෙනකොට සෙට් විස්සක් ගහලා තියෙනවා. ඒවයින් දහයක විතරම ගෙවල් තිබුණු ඒවා. නමුත් මං තාම ගෙයක් හදාගෙන නෑ. තාම දරු පවුලත් එක්ක එහෙට මෙහෙට යමින් ජීවත් වෙනවා. නමුත් ඒක ආශ්වාදයෙන් වෙන්නෙ,  අවුලකින් නෙවෙයි. නමුත් අපි එහෙම වෙන්න ඕනිද? මට මේක තමයි ජීවිතය. නමුත් වෙන කෙනෙක්ට මේක පේන්නෙ දුකක් විදිහට. මේක බියකරු යථාර්ථයක්. ඒක දැනගෙන තමයි ජීවත්වෙන්නෙ. ඒ හින්දා දුකක් නෑ.

අපි දන්නවා, ඔබට ලංකාවෙ නාට්‍ය කලාව තුළ දරුණු විවේචනයක් තියෙනවා. ඔබ නිර්භයව සහ නිදහස්ව ඒ විවේචනය ගේනවා. මං කියන්නෙ ඔබට ඒක කරන්න ශුද්ධවූ අයිතියක් තියෙනවා? මෙබඳු වේවේචනයක් පැවතුණත් ඔබේ නිර්මාණාවලිය අවුරුදු පතා දිගුවෙනවා. මේකෙ විසංවාදයක් නැද්ද?

බුද්ධික: ඔව්, විසංවාදයක් තියෙනවා. ඒක ඇත්ත. ඒ විසංවාදය නැති කරගන්න මට තියෙන්නෙ සරු ආදායම් මාර්ගයක් පැත්තට අඩිය තියන එක. හරිම ලේසියි. මට ඒකට සුදුසුකම් තියෙනවා. අවශ්‍ය වෙන්නෙ ආත්මය අයින් කරන එකත් ටයි එකක් එල්ල ගන්න එකත් විතරයි. ඒක කරන්න ලෑස්තිදෝ කියන ගැටළුවනෙ තියෙන්නෙ. අපි හැමෝම හොයන්නෙ අපිට හිමි තැන. ඉතින් මම හිතන්නෙ වෙන විදිහකට. මං නාට්‍යකරුවෙක් විදිහට ජීවිතය ගත කරන්න තීන්දුවක් අරන් තියෙනවා. ඒ කියන්නෙ මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍ය තමයි නාට්‍ය. ලෝකෙ විවිධ ප්‍රවනතා තියෙනවා නාට්‍ය සම්බන්ධයෙන්. මං ඉතින් ඒවා හදාරමින්, මගේ භාවිතය පුළුල් කරගනිමින් ඉන්නවා. එතකොට මගේ නිර්මාණවලිය දිගු වෙනවා. එපමණයි.  නමුත් අපේ හැදෑරීම්වලින්, අත්දැකීම්වලින් වැඩක් ගන්න සංස්කෘතියක් හැදිලා නෑ. ඒවාට වෙනම සෙට් ඉන්නවා. වේදිකාව කියන්නෙ ලෙඩ වෙන්න, අසනීප වෙන්න බල කෙරෙන තැනක්. දුක් විඳලා මැරිලා යන්න යෝජනා කරන තැනක්. සාලමොන් ෆොන්සේකාගේ සිට පසන් කොඩිකාර දක්වා අපේ නූතන නාට්‍ය කලා ජීවිත ඒ ඉරණමේ ගොදුරු. මමත් මේ යථාර්ථය දැනගෙන තාමත් අත් නොහැර නිර්මාණ කරනවා. මේක විසංවාදී තත්ත්වයක් තමයි. ඒක මෙහෙම උත්ප්‍රාසාත්මකව විග්‍රහ කිරීමම තමයි මේකට තියෙන පිළිතුර.

ඔබ විශාල ශ්‍රමයක් වැයකර කරන නිර්මාණ වැඩි කාලයක් පවත්වාගෙන යන්නෙ නැහැ. ඔබට ඕනි වසරකට නාට්‍යය බැගින් නිර්මාණය කරන්න විතරයි කියලා මං කිව්වොත් ඔබ මොකද කියන්නෙ? ඔබට දර්ශන වාර කිහිපයකින් තෘප්තිමත් වීමට පුළුවන් කියලා අපි අනුමාන කළත් ඔබේ නිර්මාණවලට සහභාගි වන සෙසු නිර්මාණ ශිල්පීන්ගෙ පැත්තෙන් අතෘප්තිකර වෙන්න බැරිද?

බුද්ධික: මෙහෙමයි. අපිට තියෙන්නෙ ජංගම නාට්‍ය කලාව කියලා එකක්නෙ. නාට්‍යකරුවෙක් ඔහුට තියෙන හයිය මත නාට්‍යයක් හදලා ලංකාවෙ තියෙන මඩුවල, හෝල්වල, රැස්වීම් ශාලාවල පෙන්නන එකනෙ අපේ ජංගම නාට්‍ය කලාව කියන්නෙ. අපි වේදිකාවට පිවිසුණු අනූව දශකයෙ මුලත් ඒකට පැවැත්මක් නෑ කියන එක අපිට තේරුණා. නමුත් බොහෝ නාට්‍යකාරයන්ගෙන් ඇහුවොත් දර්ශන වාර ගණන පන්සීය නම් පැනලා ඉවරයි. 'හුණුවටය' දහ දාහක් පැනලා ඉවරයි. මං මෑතක කරපු නාට්‍ය දර්ශන වාර විස්සක් තිහක් දිව්වා.  විශ්ව විද්‍යාලවල තෝරාගත්ත නගරවල මං පෙන්නුවා. නමුත් මේ දුවවනවයි කියන එක මට නම් හරිම අප්‍රසන්නයි. නාට්‍යක් බලන්න එන ඕඩියන්ස් එක මොන දුකක්ද විඳින්නෙ? එහෙම පරිසරයකට මට පින්ටර් අරන් යන්න බෑනෙ. විෂය විසින්ම තීන්දු කරනවා ගනුදෙනු කළ යුතු ප්‍රේක්ෂාගාරය. මගේ ආත්ම ප්‍රකාශනය මගේ අධ්‍යයනයන් ඇතුළෙ ප්‍රතිනිර්මාණය කිරීම තමයි මගේ වැඩේ. මං ඒක කරනවා. සමාජය එවන් නාට්ටි බලන තත්ත්වෙට පත් කරන එක විශාල සමාජමය වැඩක්. මේ තක්කඩි දේශපාලන ක්‍රමයෙන් මිනිස්සු ගලව ගන්න එක දේශපාලන වැඩක්.

අපි හොඳින්ම දන්නවා, අධිපතියා, පාදඩයා වැනි නාට්‍යවල සංකීර්ණකම. මේ නාට්‍යවලට සාපේක්ෂව ගත්තම ඔබේ නූතන නිර්මාණ සරල නැද්ද? ඇයි මේ?

බුද්ධික: සරලයි. ඒක තීන්දු වෙන්නෙ සාමාජය ඇතුළෙමයි.  ඒ තමයි සමාජ හැඩතල. සමාජයේ වෙනස් වීම් එක්ක කලාවත් වෙනස් වෙනවා. ඒ වෙනස්වීම් එක්ක වෙනස් නොවී ගල්ගැහිලම හිටියොත් අපි පවතින්න විදිහක් නැතුව යනවනෙ. බෙකට්ට පවා වෙනස් වෙන්න සිද්ද වුණා. පින්ටර් පවා කොමඩි කරන්න ගත්තා. සුගතපාල ද සිල්වා කිව්වනෙ නාට්‍යකරුවා කරන්නෙ සමාජයට කැටපතක් අල්ලන එක කියලා. ඒක ඇත්ත. ඒ සමාජ හැඩතලත් එක්ක, සමාජ ඉඟි එක්ක නිර්මාණශීව හා උපක්‍රමිකව වෙනස් නොවුණොත් අපි ගල්ම වෙනවා. ඩයිනෝසර්ලා බවට පත් වෙනවා. එහෙම වෙන්නත් බෑනෙ. නමුත් මං පසුකාලීනව තෝරා ගත්ත ඒවා උණත් පදනම විදිහට 'ඇබ්සර්ඩිටි' එකක් තිබුණ ඒවා. නමුත් වැඩිපුර මිනිස්සුත් එක්ක සංවාදයට යන්න පුළුවන් ඒවා. ඒක සංඥාමය කාරණාවක්. හරිම සංකීර්ණ දෙයක්.

ඔබේ නාට්‍යාවලියෙ මට පේන්න තියෙනවා කිසියම් විසිරුණු ස්වභාවයක්. ඒකමිතියක් නැති බවක්. ඒ හින්දායි මං මෙහෙම අහන්නේ. බුද්ධික දමයන්ත කියන නාට්‍යවේදියා අදේශපාලනික චරිතයක්ද? නෑ කියලා ඔබ කියනවා නම් ඔබේ දේශපාලනය මොකද්ද?

බුද්ධික: මං හිතන්නෙ මං දේශපාලනිකයි. එහෙම නොවෙන කිසිම දෙයක් මං කරලා නෑ. මං කරපු ඇතැම් දේ මේ සමාජය කියවා නොගත්ත වෙන්න පුළුවන්. එහෙම තමයි ඇතැම් දේ කියවගන්නෙ බොහෝ පහුවෙලා. බෙකට්ගෙ 'ගොඩෝ එනකං' '56 - '57 කරනකොට ඒක ඒ මොහොතෙම ඒ සමාජය කියවගත්තෙ නෑනෙ. නමුත් අද වෙනකොට ඒක ලෝකයේම බිහිවෙච්ච විශිෂ්ඨතම වේදිකා නාට්‍යක් බව අවිවාදිතයි.  නමුත් සිනමාව වගේ නිර්මාණ ක්‍රියාවලියක විශේෂ වාසියක් තියෙනවා. ඒවා තව අවුරුදු විස්සකින් හරි නරඹන්න පුළුවන්. නමුත් නාට්‍යයට ඒ අවකාශය නෑ.  එහෙම නම්  නැවත නැවත වේදිකවට ගේන්න ඕනි. එහෙම නැත්තං ඉතුරු වෙන්නෙ නාට්‍ය පෙළ සහ මතකයන් විතරයි. ඔබ මාත් එක්ක 'අධිපතියා' ගැන කතා කරන්නෙ අන්න ඒ මතකයත් එක්ක.

මං බොහෝ විට කතා කරන්න උත්සාහ කරන්නෙ මනුෂ්‍ය තත්ත්වයන්, ස්වභාවයන් ගැන. ඒක හැමවිටම හැදෙන්නෙ දේශපාලනික පසුබිමක් තියාගෙන.  ඒ අනුව පැහැදියි මේ හැම කෘතියක්ම දේශපාලනික බව. මෙම නාට්‍යමය ඥානනය කිරීම හරහා ප්‍රකාශ වෙන්නෙ යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා මට ඇති උවමනාව. ඒක තමයි මගේ දේශපාලනය.☐

© JDS