'අපේ මාධ්‍ය සගයන් ගෞරවනීයව වළලන්නවත් ලැබුණේ නැහැ' - ‘ඊළනාදම්' සංස්කාරක

යාපනේ තින්නවේලියේ උපන්  පනස් පස් හැවිරිදි පොන්නයියා ජෙයරාජ්  දෙමළ මාධ්‍ය ඉතිහාසයේ වික්‍රමාන්විත පරිච්ඡේදයක් ලියූ 'ඊළනාදම්'  පුවත්පත ආරම්භ කිරීමට පුරෝගාමී වුවෙකි. පුවත්පත ආරම්භයේදී එහි විශේෂාංග සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ හෙතෙම, අනතුරුව එහි ප්‍රධාන සංස්කාරකවරයා  වශයෙන් දහ නව වසරක් ක්‍රියා කළේය. යාපනය සරසවියේ භූගෝල විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය පසෙක ලා මාධ්‍යකරුවෙකු වන්නට අදිටන් කරගත් ජෙයරාජ්, බිහිසුණු යුද ගැටුම්වලට මැදිව, නිරන්තරයෙන් අවතැන් වෙමින් අඛණ්ඩව ඊළනාදම් පුවත් පත පවත්වාගෙන යාමට ඇවැසි නායකත්වය ලබා දුන්‍ අද්විතීය මාධ්‍යකරුවෙක් වශයෙන් ඉතිහාසයට එක් වී අවසන් ය.

'ඒ අවුරුදු දහ නවය පුරාම, දකුණේදී වගේ, ආරක්‍ෂිත නිවස්නයක් සපයාගෙන අවදානමෙන් ගැළවෙන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ'යි ඔහු උපේක්‍ෂා සහගතව කියයි.

'අපි යන යන යන තැනට මරණයත් හඹා ආවා'.

යුද්ධයෙන්ද, යුද්ධයෙන් පසු දියත් වූ මර්දනයෙන්ද දිවි ගළවාගෙන පිටුවහලේ නිහඬ ජීවිතයක් ගතකරන ජෙයරාජ්, සිය දහනව වසරක දුෂ්කර ක්‍රියාව පිළිබඳ විවෘතව කතා කරන්නට එකඟ වූයේ පළමු වරට ය. මුල්ලිවයික්කාල් සංහාරයට සය වසක් පිරෙන මොහොතේ ජෙයරාජ් විසින් හෙළි කරන තොරතුරු වනාහී දකුණේ ජනයා නොදන්නා 'ඊළනාදම්' පත්‍රයේ අසමසම ඉතිහාස කතාවෙන් අල්ප මාත්‍රයක් පමණි.

සංවාද සටහන: අතුල විතානගේ / සේයා රුව: තුසියන්දන්


ළනාදම් ආරම්භය ගැනත්, යුද ගැටුම්වලට මැදිවෙමින්, අවතැන් වීම් මැද සිදු වූ එහි දුෂ්කර ගමන් මග ගැනත් ආවර්ජනාත්මකව පැහැදිලි කළොත්?

ජෙයරාජ්: යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිටම මගේ කිසිම අපේක්‍ෂාවක් තිබුණේ නැහැ රජයේ රැකියාවකට යන්න. ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවක රැකියාවක් කිරීමට වගේම, දකුණට ගිහින් පෞද්ගලික සමාගමක හරි රැකියාවක් කරන්න මට උවමනා වුනේ නැහැ. මට ඕනේ වුනේ මගේ උපන් බිම වුණ යාපනේ ඉදන් නිදහසේ වැඩක් කරන්න. භූගෝල විද්‍යාව පිළබඳ උපාධිය සමත් වීමෙන් පස්සේ යාපනේ පලකෙරුනු 'ඊළමුරසු' පුවත්පතෙහි වාර්තාකරුවෙක් විදියටයි මම සම්බන්ධ වුණේ. ඒ 1987 දී. ඊළමුරසු පත්‍රයේ ප්‍රධාන සංස්කාරකවරයා වුනේ ගෝපාලරත්නම්. මේ කාලේදී තමයි ඉන්දියන් සාම සාධක හමුදාව ලංකාවට ඇවිත් උතුරු නැගෙනහිර දෙමළ ජනයා ජිවත් වෙන ප්‍රදේශවල වාඩි ලා ගැනීම් ආරම්භ වුණේ. ඊළමුරසු ඉන්දීය හමුදාවන්ගේ ක්‍රියාවන් දැඩි ලෙස හෙළා දැකලා වාර්තා කළා. ඒ විදියට පළ කෙරුණ තවත් පුවත්පතක් වුණු 'මුරසොලී' පුවත්පත ගත්තේත් ඉන්දීය හමුදා විරෝධී ස්ථාවරයක්. 1987 ඔක්තෝම්බර් 10 වැනිදා ඉන්දීය හමුදාව විසින් 'ඊළමුරසු’ පුවත්පත් කාර්යාලය බෝම්බ ප්‍රහාර එල්ල කර ගිනි තබා විනාශ කළා. පසුව ගෝපාලරත්නම් ඇතුළු දහ දෙනෙක්  ඉන්දීය හමුදාව විසින් අත්අඩංගුවට ගෙන නිදහස් කරනු ලැබුවේ දින 180 කට පස්සේ. මම අත්අඩංගුවට පත් නොවී  මහනුවරට පලා ගියා. වසර දෙකක්ම මහනුවර සැඟවිලා ඉඳලා ආයෙමත් 1989 දෙසැම්බර් යාපනයට පැමිණියා.

දෙමළ ජනයාගේ දේශපාලන අරගලය මුවහත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන  පුවත්පතක් පළ කිරීමේ සාකච්ජාවට මුල පිරෙන්නේ 1990 වසර උදාවත් එක්කයි. ඒ අනුව 'දෙමළ දේශයේ හඬ' හෙවත් 'නාදය' කියන අරුත් ගෙන දෙන විදියට 'ඊළනාදම්' ඇරඹෙන්නේ 1990 පෙබරවාරි 19 වැනිදා යාපනේ වයිමන් පාරේ පිහිටි කුඩා කාර්යාලයකයි. බොහෝ දෙනා චෝදනා කරන විදියට ඊළනාදම් කියන්නේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නිල ප්‍රකාශනයක් නොවේ. ඒත් අපි  හිටියේ දෙමළ ජනයාගේ විමුක්ති අරගලයට පක්‍ෂපාතී මතයක. පුවත්පතේ මුල්ම ප්‍රධාන සංස්කාරකවරයා විදියට කටයුතු කළේ වීරකේසරී, ඊළනාඩු, හා ඊළමුරසු වැනි පුවත්පත්වල සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කර අත්දැකීම් තිබුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වුණ ගෝපාලරත්නම්. පොන්පුබාලසිංහම්, රාදේයන්, සින්නබාලා, රඝුරාම්, සිවපාලන් ඇතුළු පිරිසක් තමයි මුලින්ම ඊළනාදම් ගොඩනගන්න එකතු වුණේ. පොන්පුබාලසිංහම් එවකට නීතිවේදියෙක්. පසුව ඔහු අතිරේක විනිසුරුවරයෙක් විදියටත් කටයුතු කළා. රඝුරාම්  නැගෙනහිර සරසවියේ කථිකාචාර්යවරයෙක්. සින්නබාලා පසු කාලෙකදී ඊළනාදම් පුවත්පතින් ඉවත් වෙලා ඊපීඩීපී  සංවිධානයේ නිල ප්‍රකාශනය වූ “ දිනමුරසු” පත්තරයට සම්බන්ධව කටයුතු කළා. ඊට වසර ගණනාවකට පසු  කොළඹ දී ඔහුට වෙඩිතබා ඝාතනය කර තිබුණා. ‘ඊළනාදම්’  විශේෂාංග සංස්කාරකවරයා වුණේ මම. ප්‍රවෘත්ති සංස්කාරක තමයි පොන්පුබාලසිංහම්. සිවපාලන්, ශෂී කුමාර්, ලෝහන්, තිලීපන්, සහ නිමලරාජන් අපේ මාණ්ඩලික වාර්තාකරුවන්. කොහොමත් අනෙකුත් මාධ්‍ය සේවකයෝත් එක්ක අපිට 30 - 40 ක වගේ කාර්ය මණ්ඩලයක් හිටියා.

අපේ පුවත්පත ආරම්භ කර හරියටම මාසයක් ඉක්ම යන මොහොතේ, 1990 මාර්තු 19 වැනිදා දෙමළ ජනයාගේ ප්‍රදේශවල වාඩිලා සිටි ඉන්දීය සාම සාධක හමුදාව පිටත් කර යැවීම සම්පූර්ණ වුණා. ඒක අපේ මාධ්‍ය කටයුතුවලට විශාල පහසුවක් වුණා.

ඊළනාදම් පත්තරය, දිනපතා හා සති අන්ත පුවත්පත් වශයෙන් සංස්කරණ දෙකක් පළ කළේ කළු සුදු මුද්‍රණයෙන්. පුවත්පතේ නමට රතු මිශ්‍ර පාටක් යොදා ගත්තා. වර්ණයෙන් මුද්‍රණය කළේ විශේෂ කළාප හා විශේෂ පිටු පමණයි. පුවත් පත ආරම්භයේ පටන්ම අපිට හොඳ අළෙවියක් තිබුණා. අපිත් සමග කරට කර තරඟ කළේ 'උදයන්' පුවත්පතයි. ප්‍රවෘත්ති වාර්තා මෙන්ම විශේෂාංග සම්පාදනයේදී ද මේ තත්ත්වය පෙන්නුම් කළා. අපේ මාණ්ඩලික වාර්තාකරු නිමලරාජන් හා උදයන් පුවත්පතේ වාර්තාකරු වුණු  කුගනාදන් අතරත් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී  තිබුනේ තියුණු තරඟයක්. ඇතැම් අවස්ථාවලදී  නිමලරාජන් ඉස්සර වෙනවා - ඇතැම් අවස්ථාවන්හි කුගනාදන් ඉස්සර වෙනවා.

ඊළනාදම් ප්‍රධාන සංස්කාරකවරයා වශයෙන් ගෝපාලරත්නම්  කටයුතු කරන්නේ මාස පහක් වැනි සුළු කාලයක් විතරයි. 1990 ජුනි මාසයේදී ඔහු ඉන්දියාවට පිටත් වෙනවා. ඒත් ඉන්දියාවේදී ඔහුට බොහෝ කරදර වලට මුහුණ දෙන්න සිද්ධවෙන්නේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගැනීම නිසායි. වසර දහයක් පමණ කාලයක් ගෝපාලරත්නම් ඉන්දියාවේ සිරගත කර තිබුණා.

ගෝපාලරත්නම් ඉන්දියාවට පිටත්වීමත් සමගම හිස් වුනු ප්‍රධාන සංස්කාරක වගකීම පැවරුණේ මට. මේ අතර අපේ ශාඛාවක් විදියට කිලිනොච්ච්චියේ ජයන්ති නගර් හි ඊලනාදම් මුද්‍රණාලයක් ආරම්භ කරනවා. ඒ 1994 වසරේදීයි. ගනේෂලිංගම්ගේ සංස්කාරකත්වයෙන් අපේ අධීක්ෂණය යටතේ  “ඊළනාදම්” වන්නි සංස්කරණයක් එළිදක්වන්න පටන් ගත්තේ ඊටත් පසුවයි. ඒ වනවිට  රජයේ හමුදා විසින් යාල්දේවි යුද මෙහෙයුම හරහා යාපන හා වන්නිය අතර  සම්බන්ධතා බිඳ දමා තිබීම නිසා ඊළනාදම්  වන්නියේ බෙදාහැරිමේ බාධාවන්ට විකල්පයක් විදියට තමයි වන්නි සංස්කරණය ඇරඹුවේ. අපි රේඩියෝ  සම්බන්ධතා ඔස්සේ  පුවත් හා අවශ්‍ය උපදෙස්  ලබා දුන්නා.

1995 වසරේ ඔක්තෝබර් මාසය ඉක්ම යන්න කලින්  ශ්‍රී ලංකා රජයේ හමුදා යාපනේ ආක්‍රමණය කළ රිවිරැස මෙහෙයුමේදී අපි  පළමු වරට අවතැන් වෙනවා. ඊළනාදම් උපන් ගෙදර විදියට සැළකුණු යාපනයේ වයිමන් පාරේ කාර්යාලය අතහැර දමා අපි සියලු දෙනාම චාවකච්චේරියට පසු බසිනවා. ඒවන විට අපිට තිබුණා මුද්‍රණ මැෂින් දෙකක්. ඒවා නවීන තාක්‍ෂණික ඒවා නෙමෙයි. අකුරු අමුණා මුද්‍රණ කරන යන්ත්‍ර. ඒවාට අමතරව, විදුලිය උත්පාදක යන්ත්‍ර  ඇතුළු සියල්ල රැගෙන විත් අපි චාවකචේරියේ සිට අපේ පුවත් පත් ප්‍රකාශයට පත් කිරීමේ මෙහෙයුම ආරම්භ කළා. අපි ඊළනාදම් කාර්‍යාලය යළි ස්ථාපිත කළේ, චාකච්චේරියේ අත්හැර දමා තිබුණු  දුම්රිය ස්ථානයට යාබද තැනකයි. නමුත් අපිට එහෙම කියාත්මක වෙන්න ලැබුනේ 1995 නොවැම්බර් 10 වැනිදා වෙන තුරු විතරයි. රජයේ හමුදා මෙහෙයුම්වල ප්‍රතිඵලයක් විදියට අපට ඒ ප්‍රදේශය අත්හැරලා  කිලිනොච්චිය දක්වාම පලා යන්න සිද්ධ වුණා. ‘ රිවිරැස 2' මෙහෙයුම නමින් කිලිනොච්චිය දෙසට රජයේ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතරුවයි.  මේ මෙහෙයුමේ ප්‍රතිඵලයක් විදියට, ඊළනාදම් සංස්කාරක මණ්ඩලය ඇතුළු අපේ සමස්ත කාර්ය මණ්ඩලයම සියලු දේ රැගෙන 1996 ජනවාරි වන විට වට්ටකච්ච්චියට ඇවිත් පුවත්පත් කාර්යාලය එහි සිට පවත්වාගෙන යන්න තීරණය කළා. නමුත් වට්ටකච්චිවල අපිට වැඩ කරන්න ලැබුණේ මාස හයක‍ට ආසන්න කාලයක් විතරයි. 1996 ජුනි මාසය ආරම්භ වෙන්නේ, ශ්‍රීලංකා රජයේ හමුදා කිලිනොච්ච්චිය අල්ලා ගැනීමේ අරමුණෙන් දියත් කෙරෙන 'සත්ජය' හමුදා මෙහෙයුමේ ආරම්භයත් එක්කයි. හමුදා ප්‍රහාර වලින් දිවි ගළවා ගන්න පලා යන සාමාන්‍ය ජනයා අතරේ අපිත් අපේ සියළුම දේ රැගෙන පලය-මුරුගන්ඩි දක්වා පලා ගියා. ආයෙමත්, අපේ ඊළනාදම්  කාර්යාලය වුණේ  දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පලය-මුරුගන්ඩි දුම්රිය ස්ථානයයි. මාස තුනක් වැනි කාලයක් අපිට පලය-මුරුගන්ඩිවල ඉන්න හැකියාව ලැබුනත් “සත්ජය” හමුදා මෙහෙයුම් තීව්‍ර වීමත් එක්කම, අපේ තාවකාලික නැවතුම වෙන්නේ කරිපට්ට මුරිප්පු ප්‍රදේශයයි.

ඊළම් යුද ඉතිහාසයේ දීර්ඝතම හමුදා මෙහෙයුමක් විදියට සැළකෙන 'ජය සිකුරුයි' හමුදා ක්‍රියාන්විතය විසින් වන්නියේ ජන ජීවිතයට සැළකිය යුතු බලපෑමක් එල්ල කළ බව අපිට මතකයි. ඒ වකවානුවේ ඊළනාදම් මුහුණ දුන් තත්ත්වයන් මොන වගේද?

ජෙයරාජ්: 1997 මැයි 13 වැනිදා ඇරඹි  රජයේ හමුදාවන්ගේ 'ජය සිකුරුයි' මෙහෙයුමත් එක්කම අපි පුදුකුඩියිරිප්පුවට අවතැන් වුණා. නමුත් මේ දිගින් දිගටම සිදුවුණු අවතැන් වීම් අතරමැද පවා අපි පුවත්පත නිවැරදීම, නියමිත දිනට මුද්‍රණය කරලා බෙදා හරින්න කටයුතු කළා. ඕනෑම දුෂ්කර තත්ත්වයන් යටතේ වැඩ කිරීමේ ශක්තිය හා පන්නරය අපි හැමෝටම ලැබුනේ මේ අවතැන්වීම් නිසායි. රජයේ හමුදා ප්‍රහාර ඇතුළු සියලු දුෂ්කරතා මැද පත්තරයක් පළ කරනවා කියන එක අන්තිම දුෂ්කර වැඩක්. නමුත්, හමුදා මෙහෙයුම් ගැන මරා දැමුවන් ගැන බොහෝ තොරතුරු ජනතාවට වාර්තා කරන්න අපිට හැකියාව ලැබුණා. යුද ගැටුම් මැද සිට කරන අපේ වාර්තා බොහෝ පිටස්තරව පළ කෙරුණු මාධ්‍යයන්ට පවා මුලාශ්‍රයක් වුණා.

2002 දී අත්සන් තැබුණු සටන් විරාම ගිවිසුම ඊළනාදම් ප්‍රකාශන කටයුතුවලට බලපෑවේ කොහොමද?

ජෙයරාජ්: සටන් විරාමය එනකොට අපි හිටිය පුදුකුඩියිරිප්පු ඊළනාදම් කාර්යාලයේයි. ඒ කාර්යාලය දිගු කාලයකට අපේ නවාතැනක් වුණා වගේම, සියළු දේ නවීකරණය වෙන්නත් ඉවහල් වුණා. සටන් විරාමය විසින් අපේ පුවත්පතේ ප්‍රකාශන කටයුතු කරගෙන යන්න අවශ්‍ය සැළකිය යුතු නිදහස් වාතාවරණයක් නිර්මාණය වුණා. මේ කාලේදී  තමයි අපිට සාමාන්‍යයෙන් තාක්‍ෂණයෙන් නවීන යැයි සැළකෙන මුද්‍රණ යන්ත්‍ර, පරිඝණක යන්ත්‍ර ඇතුළු අත්‍යවශ්‍ය දේ මිලදී ගැනීමේ හැකියාව ලැබුණේ. පුවත්පත වර්ණයෙන් මුද්‍රණය කිරීමට වගේම නව පෙනුමක් එක් කිරීමටත් අපිට පුළුවන් වුණේ  මේ කාලයේදීයි. ඒ වගේම නවක මාධ්‍යවේදීන්ට  මාධ්‍යකරණය ගැන පුහුණුවක් ලබා දීමේ කටයුත්තත් අපි පටන්ගත්තා. එසේ පුහුණුව ලැබුවන් අපේ සංස්කාරක මණ්ඩලයට මෙන්ම කාර්ය මණ්ඩලයටත් බඳවා ගැනීමට හැකි වුණා. ඊළනාදම් ආරම්භයේදී  සංස්කාරක මණ්ඩලය හා කාර්ය මණ්ඩලය සමන්විත වුණේ යාපනය පදනම් කරගෙනයි. නමුත් සටන් විරාම ගිවිසුමෙන් පසු එළඹී කාලයේදී වන්නියේ බොහෝ නවකයන් ඊළනාදම් හා එක් වුණා. තුසියන්දන්, කුගන්, ජෙගන් ආදී මාධ්‍යකරුවන් අයත් වන්නේ මෙසේ වන්නියෙන් එක් වුවන් අතරටයි.

මේ කාලය තුළ ඊළනාදම් අලෙවිය විශාල ලෙස ඉහළ ගියා. වන්නියේ විතරක් පිටපත් දස දහසක් අපි අලෙවි කළා. 2003 වසරේදී යාපනේ බෙදාහැරීම් කාර්යාලයක් ආරම්භ කෙරුණා. 2006 වෙනකොට ඊළනාදම් නැගෙනහිර සංස්කරණයක් එළි දක්වන්නත් අපි සමත් වුණා. ඒ පත්තරය ක්‍රියාත්මක වුයේ නැගෙනහිර පළාතට අදාළව ස්වාධීනව තොරාගත් තේමා සහ විෂයයන් යටතේයි.

නැවත යුද්ධය ආරම්භ වීමත් එක්කම ප්‍රකාශන කටයුතු අඩාල වුණාද? නැතිනම් පුරුදු විදියටම පැරණි මාදිලියට යන්න තීරණය කළාද?

ජෙයරාජ්: රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණීමත් එක්කම සටන් විරාම ගිවිසුම බිඳ වැටී යළිත් යුදමය තත්ත්වයක් නිර්මාණය වුණා. නැගෙනහිර පළාතේ මෙහෙයුම් අවසන් කරලා, 2007 දී මඩු ප්‍රදේශයෙන් ආරම්භ කරපු රාජපක්ෂලාගේ 'මානුෂික මෙහෙයුම' අවසන් කලේ අති බිහිසුණු විනාශයක් දෙමළ ජනයාට අත්පත් කර දෙමින්. මඩු හරහා ඉස්සරහට ආපු යුද මෙහෙයුම් නාච්ච්චිකුඩා, කොකාවිල් ඔස්සේ ඇවිත් 2008 දෙසැම්බරයේදී කිලිනොච්ච්චිය අත්පත් කරගන්න හැකි තරම් ළං වුණා. ඒ වෙන කොටත් අපි අවතැන්ව ධර්මපුරම්, විසුවමඩු ප්‍රදේශවලට සංක්‍රමණය වී අවසන්. 2009 ජනවාරියේ හමුදාව කිලිනොච්චියට පැමිණීමත් එක්ක අපි සියලු දේවල් අරගෙන උඩෛයාර්කට්ටු දක්වා පසු බැස්සා. රජයේ හමුදාවන්ගෙන් නිරන්තරයෙන්ම මෝටාර් , ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වෙද්දීත්, අපි කොහොම හරි ඊළනාදම් මුද්‍රණය කරලා තොරතුරු ජනතාව අතරට පත් කළා. දින හතරක් ඇතුළත දි අපිට සිද්ද වුණා උඩෛයාර්කට්ටු ඉඳන් සුදන්දිරපුරම්, තේවිපුරම් හරහා ඉරණප්පාලෛ දක්වා පලා යන්න. ඉරණප්පාලෛවලින් පස්සේ පුවත්පත කාර්යාලයක් ලෙස පවත්වාගෙන යන්න බැරි තරම් අති දුෂ්කර තත්ත්වයක් මතුවුනේ. යුද මෙහෙයුම් එන්න එන්නම දරුණු වුණා. ගැහැනුන්, මිනිසුන්, ළමයින් ආදී සිය ගණනින් රජයේ හමුදාවල ෂෙල් ප්‍රහාර, ගුවන් ප්‍රහාරවලට ගොදුරු වෙලා මියගියා. එහෙත් බොහෝ දෙනෙකු අතර දැඩි විශ්වාසයක් තිබුණා යම් මොහොතක මේ යුද ප්‍රහාර නවතීවි කියලා. ඒ නිසාම හැම කෙනෙක්ම තමන්ට පැවරුණු කාර්ය නොපිරිහෙළා ඉටු කරන්න පසු බට වුනේ නැහැ.

ඒ වෙනකොට තව දුරටත් විධිමත්ව තොරතුරු ලබා ගන්න, පුවත්පත් බෙදා හරින්න හැකියාවක් ඉතුරු වෙලා තිබුණාද?

ජෙයරාජ්: ඉරණප්පාලෛ සිට අපිට ක්‍රියාත්මක වෙන්න වුණේ ජංගම පුවත්පත් කාර්යාලයක් විදියටයි. එක ලොරියක මුද්‍රණ යන්ත්‍ර, තවත් එකක විදුලි උත්පාදක යන්ත්‍ර , තවත් එකක පරිගණක අංශය පවත්වා ගෙන යමින් අපිට වැඩ කරන්න වුණේ මහ වැසි කඩා හැලෙනවා වගේ වැටෙන ෂෙල් වෙඩි ප්‍රහාර මැදයි. යුධ අනාථයන් බවට පත්වුණු ලක්‍ෂ ගණනාවක වන්නියේ දෙමළ ජනයාට ඉදිරියට සිදුවන්නේ කුමක්ද යන්න ගැන අවබෝධයක් ලබා ගන්න මේ හමුදා ප්‍රහාර ඉඩ ලබා දුන්නේම නැහැ. ඒ නිසාම ඔවුන්ට තොරතුරු ලබාදෙන එක අපි මත පැටවිලා තියෙන මඟ හරින්න බැරි වගකීමක් විදියටයි අපි තේරුම් ගත්තේ. ප්‍රවෘත්ති ලබා ගන්න අපිට හොඳින් සංවිධානය කෙරුණු ශක්තිමත් ජාලයක් ගොඩ නැගිලා තිබුණත් මුදුණය කරන පිටපත් බෙදාහැරීමේ ජාලය බිඳ වැටී තිබුනේ හමුදා ප්‍රහාරයන් හේතුවෙනුයි. ඒ වුණත්  ඊළනාදම් කාර්ය මණ්ඩලය විසින් අතින් අත යවා කොහොම හරි පුවත්පත ජනතාව අතට පත් කළා.

තාවකාලික කුඩාරම්වල ඉඳන්  ප්‍රවෘත්ති  හා විශේෂාංග ලිපි ලියමින්,  පරිගණක යතුරු ලියනය කරමින්, පිටු සැකසුම් කරමින්ද අඛණ්ඩව මුද්‍රණය කළ ඊළනාදම් පුවත්පත වන්නියේ යුද අනාථයන්ගේ තොරතුරු දැනගැීමට තිබුණ එකම මුද්‍රිත මාධ්‍ය බවට පත්වෙලායි තිබුණේ. ඒ වෙනකොටත් විමුක්ති කොටි සංවිධානයේ නිල ප්‍රකාශන පවත්වාගෙන යන්න හැකියාවක් තිබුණේ නැහැ. ඉරණප්පාලෛ වෙත හමුදා ප්‍රහාර එල්ල වෙන එක වැඩි වෙන්න පටන් ගත්තම අපිට අපේ ජංගම පුවත්පත් කාර්යාලය වලෛඥර්මඩම් දක්වා ගෙන යන්න සිද්ධ වුණා. එක පැත්තකින් අපි අපේ සහ දරු පවුල්වල ජීවිතාරක්‍ෂාව ගැනත් හිතන්න තිබුණා. අනෙක් පැත්තෙන් සිද්ධවෙන දේ ගැන තොරතුරු ලබා ගන්න මිනිස්සුන්ට තිබුණ එකම මාර්ගය වුණු පත්තරය පවත්වාගෙන යන්න වගකීමකුත් අපිට තිබුණා. එක දිගට ෂෙල්, ගුවන් ප්‍රහාර එල්ල වෙන අතරතුර වාඩි වෙලා කිසියම් දෙයක් ලියන්න මනස එකඟ කරගන්න උත්සාහ කරනවා කියන එක මාධ්‍යකරුවෙක් විදියට ඔබට හිතා ගන්න පුළුවන්ද? නමුත් අපේ කාර්ය මණ්ඩලය ඒ බිහිසුණු දවස් ගතකළේ එහෙමයි.

වලෛඥර්මඩම් ඉඳන් මුල්ලිවයික්කාල් දක්වාම අපි මහා ජනකාය එක්ක ගමන් කළා. 2009 මැයි මාසය කියන්නේ සංහාරයේ උච්ඡතම මොහොත. සිය දහස් ගණන් මිනිස්සු දිනපතා මිය ගියා. රෝහල් කියලා තිබුණ තාවකාලික මඩුවල දරුවෝ, ගැහැණු බෙහෙත් නැතුව දුක් විඳිමින් මැරුණා. කෑමට ප්‍රමාණවත් ආහාරයක්වත්, බොන්න පිරිසිදු වතුර ටිකක්වත් අපිට තිබුණේ නැහැ. එක දිගට පැය ගාණක් නිදාගන්න ලැබුණේත් නැහැ. කොයි වෙලේ ෂෙල් වැටේවිද කියන බයෙන් නිදාගන්න බැහැ. නමුත්, අපි 2009 මැයි 10 වැනිදා වෙන තුරුම ඊළනාදම් මුද්‍රණය කළා. අවසන් වරට මුද්‍රණය කළේ මැයි 10 වැනිදා කලාපයයි. අපේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණනාවක් ෂෙල් ප්‍රහාරවලින් මැරුණා. අපේ මුද්‍රණ උපකරණ සියල්ලම රජයේ හමුදාවන්ගේ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් අළු ධූලි වෙලා ගියා.

ඔබ කියන විදියට ඊළනාදම් කාර්ය මණ්ඩලයේ කී දෙනෙක් මේ යුද්ධයේ අවසන් දවස් විසින් ගොදුරු කරගත්තාද?

ජෙයරාජ්: අවසන් යුධ ගැටුම් සමයේ දී විතරක් ඊළනාදම් කාර්ය මණ්ඩලයේ අපේ සගයන් නව දෙනෙකුගේ ජිවිත අහිමි වුණා. මේ අතරින්, ජ්‍යෙෂ්ඨ වාර්තාකරුවෙක් වුණ සෝදිනාදන්, දිනපතා පුවත්පතේ මාධ්‍ය සේවකයෙකු වූ ජෙයසීලන් වගේම නියෝජ්‍ය සංස්කාරකවරයෙකු වූ ජෙයන්දිරන් මිය ගියේ  අවසන් මෙහෙයුම්වලට පෙර කිලිනොච්ච්චි වලදීයි. ඒ යුද හමුදාව එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින්.

පල්ලෙමඩුවලදී ජීවන් කියන මාධ්‍ය සගයාව ඝාතනය වුණෙත් හමුදාව එල්ල කළ ෂෙල් ප්‍රහාරයකින්. තවත් එවැනිම ෂෙල් ප්‍රහාරවලට ගොදුරු වෙලා පරිගණක අංශයේ වැඩ කරපු ඩෙන්සි මාතලන්වලදීත්, කාර්යමණ්ඩල සේවකයන් වූ මහේෂ්වරන්  සහ ඇන්තනි බෙනඩික්ට් පුදුමාත්තලන්වලදීත් ඝාතනය වුණා. මාණ්ඩලික වාර්තාකරුවෙකු වූ ඇන්ටනි සහ පරිඝණක අංශයේ දර්සන් මැයි 15 වැනිදා මුල්ලිවයික්කාල්වලට රජයේ හමුදා එල්ල කළ ෂෙල් ප්‍රහාරවලට ගොදුරු වුණා. මාණ්ඩලික වාර්තාකරුවෙක් වගේම පුවත්පතේ පැරණිම සාමාජිකයෙකු වුනු ශෂී කුමාර් මාතලන් ප්‍රදේශයේදී  රජයේ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ප්‍රහාරයකට ඉලක්ක වුණා. තවත් කෙනෙක් වුණු සුහන්දන් ඔහුට වයස 12 දී විතර තමයි, ඊළනාදම් එක්ක අවිධිමත්ව සම්බන්ධ වෙන්නේ. ඒ යාපනේ දී  පුවත්පත ආරම්භයේදීමයි. පසු කාලේදී සුහන්දන් පුවත්පතේ මුද්‍රණ අංශය බාරව කටයුතු කරා. වලෛඥර්මඩම්වලදී ඔහු මිය ගියෙත් හමුදාව එල්ල කරනු ලැබූ ෂෙල් ප්‍රහාරයකින්.

අවුරුදු ගණනාවක් අන්තිම දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවිතය බෙදා ගනිමින් ඊළනාදම් වෙනුවෙන් වැඩ කරපු මේ සගයන් කිසිම කෙනෙකුගේ මළ සිරුරකට ගෞරව දක්වන්න අවස්ථාවව්ත අපිට අඩුම ගණනේ ලැබුණේ නැහැ. ඒ සිරුරු ගන්න කිට්ටු වෙන්න පවා ක්‍රමයක් තිබුනේ නැහැ. එතරම්ම දරුණුවට නොනවත්වාම හමුදාව ෂෙල් ප්‍රහාර එල්ල කළා. ඒ මළ සිරුරු අපේ ඇස් ඉස්සරහ පිටම කුණු වෙලා යනවා බලා ඉන්න  අපිට සිද්ධ වුණා.

සිවපාලන් කියන අපේ මාධ්‍ය සගයාගේ පවුලේ ඔහු ඇතුළු සියලු දෙනාම මුල්ලිවයික්කාල්වලදී මියගියේ මේ ෂෙල් ප්‍රහාර වලට ගොදුරු වෙලායි.

ඊළනාදම්  ඇතුළු වන්නියේ ක්‍රියාත්මක වුනු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතනවලට අත් වූ ඉරණම සොයා බලන්න දකුණේ මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධානත් එතරම් උනන්දු සහගත මැදිහත්වීමක් කර නැති බව දකින්න පුළුවන්. කෙටියෙන් කිව්වොත්, ඊළනාදම් වැනි පුවත්පතක වැඩ කළ පිරිස් මාධ්‍යකරුවන් වශයෙන් පිළිගැනීමටත් පැකිලීමක් තිබෙන බවත් පේනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ජෙයරාජ්: ‘ඊළනාදම්” කියන්නේ පැහැදිලිවම මාධ්‍ය ආයතනයක්. ලංකාවේ ලියාපදිංචි කර පවත්වා‍ගෙන ගිය පුවත්පතක්. එක් වරක් නොවේ, දෙවරක් ලියා පදිංචි කළ ආයතනයක්. වරක් යාපනයේත්, දෙවැනි වර වන්නියේත් ලියා පදිංචි කෙරුණා. දකුණේ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යට මෙන්ම අපිටත්  දැක්මක්  තියෙනවා. ඒ දෙමළ ජනයාගේ සාමූහික විමුක්තිය පිළිබඳ අපි තුළ තියෙන බලාපොරොත්තුවයි. ඒ අනුව පසුගිය දශක කිහිපය පුරාම දෙමළ ජනයා විඳි දුක් ගැහැට ගැන පුවත්, ලිපි, විශේෂාංග හා සාහිත්‍ය නිර්මාණ එළිදක්වපු ප්‍රධානම පුවත්පතක් තමයි ඊළනාදම් කියන්නේ.

සටන් විරාමය පැවතුණු කාලයේ අපේ පුවත්පත් කාර්යාලයට ආව දකුණේ සිංහල මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන නියෝජිතයන්  වගේම බහුජන සංවිධාන නියෝජිතයන්  අපි කටයුතු කළ දුෂ්කර කොන්දේසි ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත් බවට කිසිම සැකයක් නැහැ. එහෙත් ඊළනාදම් ඇතුළු යුද ගැටුම් පැවති ප්‍රදේශවල මාධ්‍ය ගැන ඔවුන්ගේ ඇතැම් පිරිස් විසින් කරනු ලබන ඒකාකෘතික (stereotype) ගත කිරීම් නිසා සත්‍ය යටපත් කෙරෙනවා. බොහෝ විට ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන සමග ගනුදෙනු කරනු ලබන දකුණේ සිංහල මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාධරයන් පවා, අන්තිම දුෂ්කර තත්ත්වයන් යටතේ දහ - පහළොස් අවුරුද්දක් මාධ්‍යකරණයේ යෙදුණු අප වැන්නන් ගැන මෙවන් හංවඩු සහ ලේබල් ප්‍රචලිත කරන්න දායක වීම කණගාටු දායක දෙයක්. ඒ තුළින් එක් අතකින් මතු වන්නේ අපේ ජීවිත ගැනත් අවදානමක්.

යුද ගැටුම් මැද වුණත්, විශාල මානසික සහ කායික දුෂ්කරතා යටතේ අපි අපේ මාධ්‍ය භාවිතාව ජනතාව වෙනුවෙන් කරගෙන ගොස් තියෙනවා. අපේ මැරණු හැම මාධ්‍ය සගයෙක්ම මිය යන මොහාතේ කරමින් හිටියේ තමන්ගේ ජනතාවගේ දුක් ගැහැට වාර්තා කිරීමයි - ඒ තොරතුරු බෙදා හැරීමයි. තැනින් තැනට අවතැන් වෙවී, ෂෙල් හා ගුවන් ප්‍රහාරවලින් ගැළවෙමින් වැඩ කරපු අපේ අත්වල තිබුනේ තුවක්කු නෙමෙයි, පෑන්.☐

© JDS