'බහුතරයක් අතර සුළුතරය වීම අතිශයින් වේදනාකාරීයි' - ඉසුරු චාමර

ක්දහස් නවසිය අසූවේ දශකය නිමා වූයේ කැළණි ගං දියවැල් ඔස්සේ නිහඬව පාව ගිය කැරළිකාරී පරපුරක සෝබර මතකය ද කැටුව ය. ඉසුරු චාමර සෝමවීර අයත් පරම්පරාවේ ළමාවිය වටලා තිබු ඒ රුදුරු භීෂණය ඔහුගේ ස්මරණයන් හා පරිකල්පනයන් අතර පෙනී නොපෙනෙන බෙදුම් රේඛාව සළකුණු කරයි. ඉන් දශක දෙකක් ඇවෑමෙන් පළ වූ ඔහු‍ගේ පළමු කෙටිකතා එකතුවෙහි තැනෙක ඔහු මෙසේ ලියයි: "ඒ කාලෙ ගඟේ මිනී යන කාලෙ.....මම දැක්කා මිනියක් ගං ඉවුරට ගොඩගහලා කබරයි තුන් දෙනෙක් වට වෙලා ඒක කනවා. මට කබරයි දිහා බලන් ඉන්න හිතුණා මිසක් දුකක් බයක් දැනුණෙ නෑ. මට දුක දැනුණෙ පොඩි පොඩි දේවලට මිසක් ලොකු ලොකු දේවලට නෙමේ. සීනියාස් පැළයක් ගොළුබෙල්ලො කාලා තිබුණොත් මට ඇඬුණා." (මගේ මාලුවා: මලක් කතා කරයි - 2013).

ලේඛණ කලාවට ඔහු පොළඹවන ලද්දේ ඒ ළමාවිය විසිනි. "ලිවීම මාව බේර ගත්තා කියලා මම හිතනවා" - ඔහු දැන් කියයි. "ඒක මනෝ චිකිත්සීය ප්‍රතිකාර විදියක් කියලා මම දැන ගත්තෙ ගොඩක් පස්සෙ කාලෙක."

2005 අවුරුද්දේදී සිය පළමු කාව්‍ය සංග්‍රහය වූ 'සුද' මුද්‍රණයෙන් එළි දැක් වූ ඉසුරු, 2011දී දෙවැනි කවි එකතුව 'තාණ්ඩව' නමින් පළ කළේය. ලිවීමේ පුරුද්ද සහ  නිර්මාණ තේමා තුළින් විශද කෙරෙන විවෘතභාවය පිළිබඳ කතාබහ කරන්නට ඔහු JDS හා එක් විය.

සටහන : මංජුල වෙඩිවර්ධන


ඔබ නියෝජනය කරන්නෙ හරියටම වෙළෙඳපොල ආර්ථිකයට රට විවෘතවුණත් එක්කම ඉපදුණු පරම්පරාව. ඔබ හුස්ම ගන්න පටන් ගන්නෙම ජයවර්ධනගේ පුරෝගාමීත්වයෙන් නිර්මාණය කරපු සමාජක්‍රමයෙ එළිපත්තෙ. මේ ක්‍රමය ගැන ඔබ දරන ආකල්පෙ කියමින් අපේ සමාලාපෙ පටන්ගමු.

ඉසුරු: මම ඉපදුණේ ඔබ සඳහන් කරන මේ ක්‍රමය ඇරඹිච්ච අලුත. පැහැදිලිවම යුගයන් දෙකක් වෙන් කරන අතර මැදි රේඛාවෙදි. අපි දේවල් වේගෙන් වෙනස් වෙනවා බලාගෙන හිටපු අය. ඒත් එක්කම වැඩුණු පරපුර. සිංහල - දෙමළ යුද්දෙ,බෝම්බ, ගඟේ ගිය මළ මිනී,ටයර් සෑ, අතුරුදහන් කෙරිලි, ඩුබායි යන ගාමන්ට් යන ස්ත්‍රීන්, ෆුඩ් සිටි, ඉන්ට සිටි, ඉන්ට නෙට්, ෆේස් බුක්, ෂොපින් මෝල් එක්කයි අපි වැඩුණෙ. නමුත් මම අයිති වෙන මේ යුගය එක්ක සසදන්න ඊට පෙර අත්දැකීම් මට නැහැ. ඒත් මට කලින් පරම්පරාව ඔවුන් විශ්වාස කරපු යම් යම් පුරුෂාර්ථ රැක ගැනීමට දරපු සහ දරන උත්සාහයන්, ඒවයෙ පරාජයන්, පසු බැසීම්, ඉවසා සිටීම්, දරා සිටීම් අපි බලාගෙන හිටියා. අප තුළත් යම්කිසි අහිංසක කමක් ඉතුරු වෙලා තියනවා. අපිට ගඳවල් සුවඳවල් දැනෙනවා. මෙතන කුණුවෙලා මේක ගඳයි නොකියා බොහෝ දෙනා ඒ කුණුවීම උත්කර්ෂයට නැංවීමේ විකාරය අපි අත්විඳිමින් ඉන්නවා. අපි මේ මොහොත සටහන් කරමින් විස්තර කරමින් ඉන්නවා. මම හිතන්නෙ මම දේවල් තියන විදියටම සටහන් තබන්න උත්සහ කරන්නෙක්. ඒ සටහන් තැබීම තුළම අපි ප්‍රතිසංස්කරණ යෝජනා කරනවා. අපි ඒක කරන්නෙ මේ මොහොත විසින් අපට සපයා දී තිබෙන මෙවලම් වලින්මයි.

'සාහිත්‍ය කන්නද' කියල අහමින් විශාල පුස්තකාලයක් නඩත්තු කරපු ධනේෂ්වර නායකයෙක් විසින් නිර්මාණාත්මක සියලු දේ ඉතාම සවිඥානිකව අධ්‍යාපනය ඇතුළෙන් පිටමං කෙරුණු සන්දර්භයක වැඩුණු අයෙක් විදියට කලාව ගැන ඔබේ අර්ථනිරූපනය මොකද්ද? ඔබ හිතන විදිහට, ඔබේ තක්සේරුව අනුව ලංකාවේ සාහිත්‍ය කලාව තියෙන්නෙ කොතැනද?

ඉසුරු: මම ඔබේ ප්‍රශ්නෙන් කොටසක් අතාරිනවා . ඒ අත්ඇරපු කොටසට අදාළ පිළිතුර මුල් ප්‍රශ්නයෙන් දී ඇති නිසා. කලාව ගැන මගේ අර්ථ නිරූපනය කියන තැනින් මම පටන් ගන්නම්. ඒක මට හිතෙන්නෙ ‘මම කවුද ?‘ වගේ ලෝකයේ තිබෙන සංකීර්ණම ප්‍රශ්න වලින් එකක්. පුද්ගලිකව ඒක මට අනුව භාව විරේචන,බෙදාහදා ගැනීමේ හා තමාව වෙනත් අවකාශයක නැවත් නිර්මාණය කිරීමේ ක්‍රමයක්. තමාව නැවත නිර්මාණය කිරීම කියන එක සරලම තේරුමෙන් අල්ලන්න එපා. තමා කියන දෙයට, තමා දේවල් දකින විදිහ, විස්තර කරන විදිහ යනාදී සියල්ල ඇතුළත්. ලංකාවේ සාහිත්‍ය කලාව තියන තැන ගැන නම් මට අවංකවම බරපතල විවේචනයක් තියනවා. ලංකාවේ ප්‍රමුඛයැයි පෙන්වා සිටින සාහිත්‍ය ධාරාව, දෙන ලද, පුහුණු කරන ලද සහ අච්චුවකට සරිලන සේ සකස්කරන ලද්දක්. අච්චුවට ෆිට් වෙන්නෙ නැත්තන් ඒක කලා කෘතියක් නෙමේ කියන මතය බොහෝ දෙනා තුළ තියනවා. මෙහි කලා කෘතියක් මනින මිනුම් දඩු තවමත් ඉතා ප්‍රාථමිකයි. විකල්ප නිර්මාණ වලට ඇති අවකාශය ඉතා සුළුයි. මේකට අපේ අධ්‍යාපන ක්‍රමය බොහෝ සේ වග කියන්න ඕනෙ කියන එක ඇත්ත. මේ මොහොතේ සාහිත්‍ය අතිශය අතීතකාමීයි. තව දුරටත් නොපවතින ‘ගමක‘ ඇති සුන්දරත්වය නැවත නැවතත් විස්තර කරමින් සිටිනවා. නිර්මාණකරුවන් බොහෝ දෙනාට මේ මොහොත මඟහැරිලා. නැතිනම් හිතාමතා මඟහැරලා. එය ඛේදජනකයි. කලාව ඇතුළෙ අපි සොයා බැලීම් හා හෙලිදරව් කීරීම් සිදුකරනවද කියනා කාරණය නැවත සිතා බැලිය යුතුයි. බොහෝ විට කලාව තුළ කලින් තනන ලද ප්‍රතිමා වල පිටපත් ප්‍රතිනිෂ්පාදනයට එහා ගිය ක්‍රියාවලියක් මේ මොහොත විසින් ඉල්ලා සිටිනු ලබනවා.

මට කියන්න ඔබේ විග්‍රහයට නතු කරගත  හැකි කලාකරුවන් ලෙස හඳුන්වන්නට පුළුවන් ජීවන භාවිතයක නිරත වෙන අය ලංකාවෙ ඉන්නවද?

ඉසුරු: කලාකරුවන් යැයි කිවහැකි ජීවන භාවිතාවක් සහිත අය? ප්‍රකාශනයට දේවල් තියන, තමුන්ගෙ ඒ ප්‍රකාශනයත් එක්ක අවංක පුද්ගලයො මෙහි ඉන්නවා. හැබැයි ටිකයි. ඒත් කියවද්දී, බලද්දි, අහද්දි දැනෙන දෙයක් තමා ගොඩක් අය ගාව ‘බඩු‘ නෑ. පවතින්න මොනවා හරි අටෝලා දෙනවා. ගොඩක් වෙලාවට වෙන්නෙ තමුන්ගෙ ප්‍රතිරූපය නඩත්තු කිරීම. එහෙමත් නැත්තන් මූල්‍ය ව්‍යාපෘති හෝ සම්මාන ව්‍යාපෘති. අර ඉස්සර යමක් කමක් තිබ්බ පවුල්වල ගෑණු ළමයි තමන්ගෙ සංස්කෘතික පෝසත් කම පෙන්නනයි , ලොකු පවුලකින් මිනිහෙක් හොයා ගන්නයි පියානෝ ගහන්න ඉගෙනගත්තා වගේ කවි පොතක්වත් කරන එක විලාසිතාවක් වෙලා. එහෙම දෙයක් නොකළොත් තමන් සංස්කෘතිකව දුප්පත් කියලා හිතනව වගේ. මම මේ කතා කරන්නෙ එක්තරා කොටසක් ගැන.  ‘බඩු‘ නැතුව මොනාම හරි අටෝන එක තමන්ටයි තමන්ගෙ පාඨකයන්ට හෝ රසිකයටයි කරන අසාධාරණයක්. ඒත් එක අතකට රජ කතා චිත්‍රපටි හදලා බලෙන් ඉස්කෝලවල පොඩි උන්ට පෙන්නල සල්ලි හම්බ කරනවට වඩා නම් ඒක මානුෂිකයි.

අනික කලාකරුවො කියන්නෙ කුර්තා අඳින, බාටා දාන, කිළුටුවට ඉන්න, දුක් විදින ජාතියක් කියලා සමහරු හිතන් ඉන්නවා. අනේ මන්දා ඒකට මොනවා කියන්නද කියලා. මෙහෙ කලාකරුවො ඉන්න තරමට කලා කෘති නැහැ. මම අදහස් කලේ එක කලාකරුවෙක් ගොඩාක් කෘති කරන්න ඕනෙ කියන දේ නෙමේ. රැඳෙන කෘති. ගොඩක් වෙලාවට කලාකරුවගෙ නම රැඳුනට කෘතිය රැදෙන්නෙ නැහැ. මතු කරන්නෙ පුද්ගලයව. ජී.බී.සේනානායක මහත්තයා කවි කීපයයි ලිව්වෙ. ඒත් ඒවා රැඳුණා. ඔහු ඒවට අවංක වුණා. ඒවයෙ ‘බඩු‘ තිබුණා. බඩු තියෙන්න නම් තමන් ජීවත් වෙන්න ඕනෙ. දේවල් විදින්න, දකින්න, අහන්න ඕනෙ, පහු කරන් යන්න ඕනෙ. අද ගොඩක් දෙනා ජීවත් වෙනවද කියන ප්‍රශ්නය මට තියනවා. මේ දේ අපේ සාමූහික චින්තනයේ දෘශ්‍යමානය. ලංකාවෙ මිනිස්සුන්ගෙ මේ මොහොතෙ ජීවිතේ හැටි.

ඔබේ ඉතාම පැටි සන්ධියෙ ඔබේ තාත්තා ඉතා ක්‍රෑර දේශපාලනික පසුබිමකදි අතුරුදහන් වෙනවා. ඔබ අම්මත් එක්ක කඳවුරු ගාණෙ බඩගාණ ඉතිහාසය අන්තිම වේදනාකර බව ඇත්ත. නමුත් තාත්තා යළි ඔබේ ජීවිතයට එන  බවත් ඇත්ත. ඒ වුණාට ඔබේ සමස්ථ නිර්මාණ උල්පත පැන නඟින්නෙ ඔබ බහතෝරපු මේ අහිමි වීම කියන මනෝභාවය ඇතුළෙ කියල යෝජනා කළොත් ඔබ ඊට එකඟද?

ඉසුරු: මටත් එහෙම හිතෙනවා. ඔබ කොහෙන් මේවා හොයා ගත්තද මන්දා. මට සුන්දර හීල්හෙවණේ වැඩෙන ළමා කාලයක් තිබුණෙ නැහැ. පොඩි කාලෙ එක දිගට සිදුවුණු සිදුවීම් වැලක් දිහා මම බලාගෙන හිටියා. මට කියන්න දේවල් බොහෝ තිබුණා. අහන්න අප්‍රමාණ ප්‍රශ්න තිබුණා. මගෙ ළමාකාලෙන් වැඩි හරියක් ගෙවුණෙ මගෙ අම්මගෙ මහගෙදර. මගෙ නෑදෑ සහෝදරයො හුඟ දෙනෙක් පැහැපත්.මම කළුයි. එයාල සුදු පුත්තු වෙද්දි මම නිකම්ම නිකන් පුතා වුණා. නැත්තන් පොඩි එකා වුණා. තව.... අපේ අම්මට ආර්ථික ප්‍රශ්න තිබුණා. තාත්තව හොයන්න අපි කඳවුරක් කඳවුරක් ගානෙ ගියා. ඔය 89, 90 කාලෙ. මගෙ පන්තියෙ, මගෙ අවට හිටපු යාළුවන්ට වඩා මගෙ ජීවිතේ තිබුණෙ වෙනස් විදියට. මට මේවා ගැන කතා කරන්න කෙනෙක් හිටිය නෑ. මම තෝරගත්තෙ ලියන එක. ලිවීම මාව බේර ගත්තා කියලා මම හිතනවා. ඒත් ඒ ලිව්ව දේවල් ගොඩක් වෙලාවට මම ලිපට දැම්මා. මොකෝ එව්වා කවුරුවත් කියවනවට මම කැමති වුණේ නැහැ. ඒත් ඒ ලිවීම හරහා මට ලොකූ සහනයක් ලැබුණා. අපේ අම්මලෑ මග ගෙදර සීයගෙ මේසෙ යට මහ විසාල සූට් කේස් කීපයක් තිබුණා. කරුණාසේන ජයලත්, සරච්ච්න්ද්‍ර , වික්‍රමසිංහ, ලැටීෂියා බොතේජු, ඩබ්. ඒ.සිල්වා ඒ සූට් කේස් වල හිටියා. තව....... ශ්‍රී සඟරා, අරලිය පත්තර. තරුණි පත්තර, සෝවියට් දේශය සඟරා, රහස් පරීක්ෂක ඉංග්‍රීසි පොත් විතරක් නෙමෙයි බුත්සරණෙ, ගුත්තිලේ, සද්ධර්මරතනාවලියත් ඒ සූට් කේස් වල තිබුණා. මම කාටත් රහසින් ඒවා කියවන්න ගත්තා. මම හොදටම කැමති වුනේ ශ්‍රී සඟරා වලටයි, කරුණාසේන ජයලත්ටයි. මම දිගින් දිගටම ලිව්වා. පිස්සු බූත කතා වැඩි හරිය ලිව්වෙ . ඒවා ලිපට ගියා. ඉස්කෝලෙ රචනා ලියද්දි මම බැනුම් ඇහුවා, වැල් වටාරම් වැඩියි කියලා. දැනටත් මාව අවුල් වෙච්ච වෙලාවට මම ලියනවා. එහෙම ලිවීම මනෝ චිකිත්සීය ප්‍රතිකාර විදියක් කියලා මම දැන ගත්තෙ ගොඩක් පස්සෙ කාලෙක. මම පොඩි එකා කාලෙ අවිඥානිකව ඒ ප්‍රතිකාර විදිය අනුගමනය කරලා. මම වෘත්තීය හෝ පූර්ණ කාලීන ලියන්නෙක් නෙමේ. කෙනෙක් පූර්ණකාලීනව ලියන්නෙ කොහොමද කියන දේ මට තේරෙන්නෙ නැහැ. මොකද මාව කාලෙන් කාලෙට හිඳෙනවා. හිස් වෙනවා. හිතුනොත් තමා ලියන්නෙ. හැබැයි එළියට එන්නෙ මම මා සදහා ලියන දේවල්ම නෙමේ. බෙදාහදා ගත යුතුයි කියලා හිතෙන දෙයක් ලියවුණොත් මම එළියට දානවා.

මං දැක්ක එක්තරා සමාලාපයකදි ඔබෙන් අහලා තිබුණා කලාව,සංස්කෘතිය මිනිසුන් හික්මවීම සිදුකරන බවත්, ඔබේ නිර්මාණ මේ සම්මුතීන්ට පටහැනි බවත්. මට නම් ඒ ප්‍රශ්නයම විකාරයක්. අනෙකාගේ මළමීනී කඳු මත ඉඳන් කිරිබත් කන එක තමයි අද සංස්කෘතිය. අනෙකාගේ නිදහස අහිමිකිරීම හරහා සතුටු වෙන එක තමයි අද සම්මුතිය. මෙවන් සංස්කෘතියකට හා සම්මුතියකට පටහැනි වීමම තමයි මට අනුව නිර්මාණකාරයෙක්ගෙ පදනම. ඔබ මොකද කියන්නෙ?

ඉසුරු: සංස්කෘතිය, සම්මුතිය කියන දේවල් පුද්ගලබද්ධව හා කාලානුරූපීව සාපේක්ෂයි. මොහොතක අසංස්කෘතික වෙන දෙයක් තව මොහොතක සංස්කෘතිකයි. කාලෙකදි කළු ජාතිකයො ඇමරිකාවෙ අසංස්කෘතිකයි. අද ඔවුන් ඒ රටේ පළමු පුරවැසියා වීමට තරම් සංස්කෘතිකයි. සිද්ධාර්ථ එතෙක් නොතිබුණු අලුත් සංස්කෘතියක් ගොඩනැඟුවෙ, සම්මතයට එරෙහිව ගිහිගෙය හැර ගිහින්. සම්මුතියක් පවතින්නේ නියමාකාරයෙන් එය ප්‍රශ්න කරනතුරු / විසංයෝජනය කරන තුරු පමණයි. ලෝකයේ එක් එක් රටවල ඉතිහාසය අරන් බලන්න. හැම රටක්ම වගේ තමන්ගෙ ඉතිහාසය ඉදිරිපත් කරන්නෙ ප්‍රෞඩව. ඇත්තටම ඒ ඉතිහාස වල ගඳ තැන් කැතකම් නැද්ද? ති‍යෙනවා. බොහෝ විට එවා සංස්කෘතික කරලා සාධාරණීකරණය කරනවා ජාතියක හෝ රටක සුජාතභාවය කියන කාරණය පිණිස. මේකයි කැතකම.

අනික කලාව මිනිස්සුන්ව හික්මවනවා කියන එක මට අවංකවම තේරෙන්නෙ නැහැ. මං දන්න, මං විශ්වාස කරන කලාව එහෙම එකක් නෙමේ. කලාව කියන්නෙ අවබෝධය. තේරුම් ගැනීම. කලාව ඥානය ඇති කරන දෙයක්. ඒ සඳහා කලාව බහුවිධ ස්වරූප අත්පත් කරගන්නව. හැබැයි කලාව යයි හඳුන්වා දෙනු ලබන දෙයක් පොදු සමාජ විඥානය තමන්ට අවශ්‍ය තැනට ගාල් කර ගන්න සමහරු පාවිච්චි කරනවා. අපි පහුගිය කාලෙ එහෙම දේවල අත්වින්දා.

ඔබ විවිධ සුළුතර ප්‍රජාවන් හරහා ජීවිතය ලුහුබැඳ යන බවක් පේනවා. ඔබ ලංකාව කියන කොදෙව්වෙ හැම අස්සක මුල්ලකම කරක් ගහනවා. මහා සිංහල ප්‍රජාවට යටවෙන සංඛ්‍යාත්මකව සුළුතර යැයි සැළකෙන ප්‍රජාවන් ගැන ඔබේ අද්දැකීම මොකද්ද?

ඉසුරු: සුළුතරය වීමේ ඛේදවාචකය මම දරුණුවටම දැක්කෙ යුද්දය නිමාවූ වහාම චෙට්ටිකුළම් සරණාගත කඳවුරුවලදි. අවුරුදු බොහෝ ගණනකට පස්සෙත් පුපුරු ගහන කම්මුල් පාරක් වගේ ඒ මතකය. ඒ ඇස්, ඒ මූණූ තාමත් මගෙ මතකයෙන් එළවන්න මට පුලුවන් වෙලා නැහැ. බහුතරයක් අතර සුළුතරය වීම සැබවින්ම වේදනාකාරියි. අතිශයින්ම වේදනාකාරීයි. ජාතිය, ආගම, ලිංගික අනන්‍යතාව හෝ වෙනත් කාරණා යටතේ සුළුතරය බවට පත්වූ සමාජ කණ්ඩායම් සියල්ලකටම ඒ ඒ කණ්ඩායම් වලටම සුවිශේෂී වූ ප්‍රශ්න තියෙනවා. බොහෝ වෙලාවට බහුතරය ඒ දේ වලට අන්ධයි, ගොලුයි, බිහිරියි. ඔවුන් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්නෙ ඇහුම්කන් දීමකින් තොරවයි. ඒ අයට සුළුතර කණ්ඩායම් ගැන පූර්ව විනිශ්‍චයන් තියෙනවා. ඔවුන් තමන්ගේ මතවාද සුළුතරය මත බලෙන් පටවනවා. එය ඉවසා දරා සිටීමට සිදුවීම වේදනාකාරීයි. ඒ සම්බන්ධයෙන් මගේ මුල්ම මතකය තමයි, මම ඇති දැඩි වුණු මහ පවුලෙ පැහැපත් ඥාති සහෝදරයන් අතරෙ මම අඳුරු පැහැ හමක් තියන දරුවෙකු වීම. මගෙ ආච්චි ඒ අයට සුදු පුතා කියද්දි මම නිකම්ම පුතා වුණා. එයාලට තාත්තල ඉන්දෙද්දි මට මගෙ තාත්තා ඒ කාලෙ හිටියෙ නැහැ. ඔවුන් සුවිශේෂී වූ විට මම සුවිශේෂී වුණේ නැහැ. මට මතකයි මම කණ්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ දිහාම බලා හිටපු හැටි. ස්ත්‍රීන්වීම, සමකාමීන් වීම ආදී කාරණා නිසා බොහෝ දෙනා හිංසනයට ලක්වෙනවා. හිංසකයා බොහෝ වෙලාවට දන්නෙත් නැහැ තමන් හිංසාවක් කරමින් සිටින බව. ඔහු ඔහුට පෙර පරම්පරාව කළ දේ , ඔහු දැක පුරුදු දේ අනුගමනය කරනවා. බොහෝ විට සුළුතර ප්‍රජාවනුත් තමන් මත පැටවෙන පීඩනය ඔහේ දරාගෙන ඉන්නවා. ඊට එරෙහි වීමේ ශක්තිය තමන් සතුව ඇති විටෙක පවා ප්‍රශ්න කරන්න ඔවුන් බයයි.

වරක් බෞද්ධයැයි කියා ගන්නා එක්තරා අන්තවාදී කණ්ඩායමක් සමග මම දන්නා හදුනන සහෝදරයෙක් මුස්ලිම් ජනතාවට එරෙහි එක්තරා වැඩසටහනකට සහභාගී වුණා. ඔහු සමකාමියෙක්. ඔහු නැවත ආවෙ ඔළුව පලාගෙන. ඒ තුවාලය ගැන ඔහු අභිමානයට පත්ව සිටියා ආගම වෙනුවෙන් ලේ හැලුවා යැයි සිතා. ඔහුගේ එම සහභාගීතවය මම විවේචනය කළත් ඔහු එය තේරුම් ගත්තේ නැහැ. ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන බව පැහැදිලි කරන්න උත්සාහ කළත් මම ඊට අසමත් වුණා. පීඩිත සුළුතර කණ්ඩායමක සාමාජිකයෙක් වූ ඔහු වාර්ගිකව තමා අයත්වන බහුතර ප්‍රජාවක් එක්ක එකතු වෙලා තවත් සුළුතර කණ්ඩායමක් මර්දනය කරන්න ඉදිරිපත් වුණා. මේ මොහොතේ අපේ පොදුජන විඥානයේ කේවල උදාහරණයක් මේ. අනෙකාව වටහා ගැනීමට උත්සහ කිරීමට සමාජය මේ තරම් අසමත් ඇයි කියන ප්‍රශ්නය මටත් තියෙනවා.

ඉසුරු, ඔබ ලිංගිකත්වය ගැන විවෘතව මත ප්‍රකාශ කරන්නෙක්.  ඒ නිර්ව්‍යාජකම ඔබේ නිර්මාණවලිය පුරා අවිච්ඡින්නයි.  ඔබ කෙරෙන් ප්‍රකට වන මේ විවෘතකම අතිශයින් වැදගත්. ලාංකීය ලිංගික ඉතිහාසය, වික්ටෝරියානු ශික්‍ෂණය හා නූතනභාවය ඔබ ලිංගිකත්වය කියන කාරණය හරහා උත්තරයක් තුළට ගොනු කරගන්නෙ කොහොමද?

ඉසුරු: ලාංකික ලිංගික ඉතිහාසය සම්බන්ධව මත ප්‍රකාශ කිරීමට තරම් ඒ සම්බන්ධ හැදෑරීමක් මා සතුව නැහැ අවංකවම. ඒත් මම මට දැනෙන විදියට ඔබේ ප්‍රශ්නයට එන්නම්. ලිංගික අවශ්‍යතාව මූලික මිනිස් අවශ්‍යතාවක් වගේම අයිතිවාසිකමක්. නිදහස් වැඩිහිටි මනුෂ්‍යයන් ඔවුනොවුන් අතර එකිනෙකාගේ කැමැත්ත හා අවබෝධය මත සිදුකරන ලිංගික ක්‍රියා මට අනුව අතිශය ස්වාභාවිකයි. බෞද්ධ හා හින්දු ඉගැන්වීම් වල ගිහි පක්ෂය සඳහා ව්‍යාභිචාරය, පර ස්ත්‍රී පුරුෂ සේවනය හැර අන් කිසිදු ලිංගික ක්‍රියාවක් සදහා තහංචි පනවා නැහැ. පාරාජිකා පාලිය හා ජාතක කතා පොත කියවද්දි බුද්ධකාලීනව හා ඊට පසු කාලීන සමාජයේ පැවති ලිංගික නිදහස හා විවිධත්වයට ගරු කිරීම ගැන ඕනෑ තරම් සාක්ෂි සපයා ගන්න පුළුවන්. ලිංගික අනන්‍යතා, ලිංගික විවිධත්වය අතිශය සංකීර්ණ මාතෘකා. අප විෂම ලිංගික, ද්වී ලිංගික (bisexual), සමලිංගික, සංක්‍රාන්ති ලිංගික (transgender) සහ asexual (මොවුන් ලිංගිකව කිසිවෙකුට ආකර්ෂණය වන්නේ නැහැ- මීට අදාල සිංහල වචනයක් තිබේදැයි මා දන්නේ නැහැ ) ලෙස අධ්‍යයනයේ පහසුව සදහා වෙන් කළත් එහි ප්‍රබේද තවත් විශාල සංඛ්‍යාවක් ඇති බව විද්‍යාත්මකව තහවුරුව තිබෙනවා. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ කින්සි වාර්තාව ගත හැකියි. නමුත් අවාසනාවකට බ්‍රිතානීන් අපට හදුන්වාදුන් දණ්ඩ නීති සංග්‍රහයේ සමලිංගිකතවය දඩුවම් ලැබිය යුතු අපරාධයක්. 365 හා 365 ඒ යන වගන්ති අපේ දණ්ඩ නීති සංග්‍රහයේ තවමත් තිබෙනවා. වඩාත්ම උත්ප්‍රාසාත්මක වන්නේ අපට එම නීති ලබා දුන් බ්‍රිතානීන් පවා එම වගන්ති තම නීති පොතෙන් ගලවා බොහෝ කල් වී තිබීමයි. නමුත් ලංකාව කොතැනද තියෙන්නෙ? නූතනයැයි කියවෙන මේ මොහොතේත් විවාහය කන්‍යා බාවය ඉල්ලා සිටිනවා. ම්ලේච්ඡ විදියට තාමත් සුදු රෙද්ද එළනවා. ඔන්න අපේ නූතනත්වයේ තරම.

අප තවමත් සිටින්නේ යටත්විජිත මානසිකත්වයක. ලිංගිකත්වය පිළිබද නිදහස් කතිකාවක් නැහැ. ස්ත්‍රීන්ට තම ශරීරය ගැන තීරණ ගැනීමේ නිදහසක් නැහැ. තුලනාත්මක අධ්‍යනය හෝ විමසා බැලීමකට අපව හුරු කර නැහැ. දී ඇති මතවාද පිළිගැනීම හා පවත්වාගෙන යාමකටයි අපව හුරු කර ඇත්තේ. ඕනෑම සමාජයක් විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයින් අඩු වැඩි වශයෙන් සිටිනවා. එහෙත් අපි විෂම ලිංගිකයන් පමණක් සිටින සමාජයක් ලෙස බොරුවට හඟවාගෙන සිටිනවා. මේ ව්‍යාජ පිට ආවරණය යට කැකෑරෙන ප්‍රශ්න අපමණයි. අප මහා ලොකුවට මානව හිමිකම් ප්‍රඥප්ති අත්සන් කළත් ඒවා කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවාදැයි නැවත සිතා බැලිය යුතුයි. අපි අනෙකාට ඇහුම්කන් දිය යුතුයි.

‘සුද‘ මෙන්ම ‘තාණ්ඩව‘ත් ඔබේ අනන්‍යතාව සලකුණු කළ කාව්‍ය කෘති. ඔබේ ඉසියුම් බව සහ තියුණු නිරීක්ෂණයන් මේ කවි තුළ වෙන් වෙන්ව මෙන්ම සමස්ථයක් ලෙසත් ඔබ සලකුණු කර තබනවා. මට අනුව, ඔබේ කවි සාටෝපයෙන් තොරයි. ඔබේ භාෂා භාවිතය ඒ ඒ කවිය ඉල්ලා සිටින අල්පෝක්තිය හරහා සමාජයේ පදාස පිටින් අල්ලා ගන්නවා. මේ බස නිපදවා ගත් තාක්ෂණය මොකද්ද?

ඉසුරු: ඒක මෙහෙමයි කියන්න මට තේරෙන්නෙ නැහැ. දොළ පාරක අපට මුණගැහෙන ගල් කැටයක් ඒක බිදිලා ආපු මව් පාෂාණයේ වර්ණය, දෘඩ බව, වයිරම ආදිය රැගෙන එනවා. ජල පහරත් එක්ක ගල් කැටය ආපු ගමන විසින් ඒකට හැඩය ලබා දෙනවා. හැබැයි ඒ හැඩය නැවත නැවත වෙනස් වෙනවා. නිෂ්චලව තිබුනොත් ඒ මත පෙඳ පාසි වැවෙනවා. මගෙ භාෂාවටත් මගේ මිනිස් ඇසුර හා කියවීම බලපාන්න ඇති. මම දේවල් දකින විදිහ ලොකු වෙනස්කමක් නොකර මගේ භාෂාවෙන් රාමු කරලා ඉදිරිපත් කරනවා. බස හා තාක්‍ෂණය ලිවීමෙදි අතිශය වැදගත්. ඒකෙ තර්කයක් නැහැ. නමුත් මම වැඩිම අවධානයක් දෙන්නෙ මගේ වස්තු විෂයට.

‘කිරාංචි‘, ‘ආදරණිය නිමාලි වෙතටයි‘,‘මලක් කතා කරයි‘ වැනි ගද්‍ය නිර්මාණ ප්‍රශ්න කෙරෙන්නෙ කිසියම් සාහිත්‍යයික සාක්‍ෂරතාව ඇතැයි අපි අනුමාන කරන විශේෂ සමාජ ස්ථරයක්.  මේ ස්ථරය තුළ කිසියම් සාහිත්‍යයික ලෝක දෘෂ්ටියක් ඇතැයි අනුමාන කළත් ඔවුන් කෙරෙන් නැඟුණු ප්‍රතිචාර අන්තිම සදාචාරවාදීයි. නොදියුණුයි. ඒ ප්‍රතිචාර එක්ක ගත්තම පොදු ජන සමාජයට ආමන්ත්‍රණය කරන්න ඔබ වැනි නිර්මාණ කරුවෙක්ට තව කොපමණ කලක් යයිද? අනික සාහිත්‍යකරුවෙක් පොදු ජන සමාජයට ආමන්ත්‍රණය කළ යුතුද?

ඉසුරු: සමාවෙන්න! හැමෝම ආමන්ත්‍රණය කරන්න මට ලියන්න බැහැ. එහෙම අවශ්‍යතාවකුත් මට නැහැ. හූඟාක් පොත් විකුණගන්න හරි මගෙ ප්‍රතිරූපය නඩත්තු කරන්න හරි නෙමේ මම ලියන්නෙ. ඉස්සෙල්ලාම මම ලියන්නෙ මා සඳහා. ඒත් ඒක හස්ථ මෛථුන්‍යයක් පමණක්ම නොවෙන්නෙ ඒ ලියන දේ වලින් සමාජ ගත කළ යුතුයැයි මා විශ්වාස කරන කොටස බෙදා හදා ගන්නා නිසා. ඒ එළියට දාන දෙය එක් එක් ආකාරයෙන් වැඩ කරනවා. ඒක ප්‍රීතිමත් දෙයක්. මගේ සමහර නිර්මාණ වලට අතිශය කටුක ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම යහපත් ප්‍රතිචාරත් ලැබුණා.ඒ විදිහට යහපත්ව හෝ අයහපත්ව ප්‍රතිචාර දක්වන්නේ මගේ ලිවීම් ඒ අය තුළ වැඩ කළ නිසා. ඇත්තට සාහිත්‍ය සාක්‍ෂරතාව යන්න යම්කිසි පුහුණුවක් හෝ හැදෑරීමක් තුළින් අත්පත් කර ගත යුත්තක්. එය විධිමත් හෝ අවිධිමත් හැදෑරීමක් යන දෙයාකාර විය හැකියි. අපේ ඇකඩමික් සාහිත්‍ය හැදෑරීම බොහෝ විට ඉතා පටු තැන් වල සිරවී ඇති බවක් පෙනෙනවා. එය තියෙන්නෙ, ඥානය අත්පත් කර ගැනීම හෝ රසවින්දනය වැනි කාරණා වලට වඩා විභාග ගොඩ දා ගැනීමට අනුබල දෙන්න. මට ඔබ කියන ආකාරයට පොදු ජන සමාජය ආමන්ත්‍රණය කිරීමට නොහැකි වීම කණගාටුවක්. එත් මට ඒකට කරන්න දෙයක් නැහැ.☐

© JDS