'සයිටම් යනු අධ්‍යාපනය පුද්ගලීකරණ සැලැස්මක නියමු ව්‍යාපෘතියයි' - රයන් ජයලත්

සයිටම් සටන දකුණේ දේශපාලන බෙදුම් රේඛා අලුතෙන් ඇඳ තිබේ.

අගනුවර වීදි අවුරා සතිපතා විරෝධය පළ කරන දහස් සංඛ්‍යාත සිසුන් ද, වෛද්‍ය හා වෙනත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ද, සරසවි මව්පිය එකමුතුවලින් ද සමන්විත එක් කඳවුරක් පොලිස් කැරළි මර්ධන ඒකක හා විශේෂ කාර්ය බලකා සෙබලුන් විසින් කලින් කල පහර දී විසුරුවා හැරේ. රජයේ මැති ඇමතිවරුන් ද, රාජ්‍ය පාක්‍ෂික මාධ්‍ය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගෙන්ද සමන්විත අනෙක් පාර්ශ්වකරුවෝ සයිටම් ආයෝජනයේ යුක්ති යුක්තභාවය පිළිබඳ ප්‍රචාරයෙහි යෙදෙති. එක් කඳවුරක් පොලිස් ප්‍රහාර මැද මං මාවත් අරා සිටින අතර අනෙක් කඳවුර රාජ්‍ය සහ 'ව්‍යාපාරික ප්‍රජාවේ' අනුග්‍රහ ලැබ ජනමාධ්‍ය අරා සිටියි.

වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සමග ජේඩීස් සංවාදයක යෙදුණේ මේ අශ්ලීල අසමතුලනයට එරෙහිව ය.

සටහන: කිත්සිරි විජේසිංහ


යිටම් ආයතනය කියන්නේ මෑත කාලයේ වැඩිම කතා බහට ලක්වු පෞද්ගලික අධ්‍යාපන ආයතනය යැයි ඇතැමුන් කියා සිටිනවා. එම ආයතනය සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යවල සිට පාර්ලිමේන්තුව දක්වා  වාද විවාදයන් දිග්ගැසෙමින් තිබුණත් බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධව නිසි අවබෝධයක් තිබෙන බවක්  පෙනෙන්නට නැහැ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවත් මෙහි එක් පාර්ශවයක් නියෝජනය කරනවා. එසේ  නම්, ඔබට අනුව සයිටම් කියන්නේ කුමක්ද? එම ආයතනය සම්බන්ධයෙන් මෙවැනි වාද විවාද ඇති වීමට බලපා ඇති හේතු කවරේද?

රයන් ජයලත්:  මුලින්ම මේක පටන් ගන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් විදිහට සමාගම් මැදුරේ ලියාපදිංචි කරලයි.මේකෙ මුල් නම තමයි දකුණු ආසියානු තාක්‍ෂණික හා කළමනාකරණ ආයතනය යි (South Asion Institute of Technology & Management). ඒ යටතේ ඔවුන්ට ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලැබිලා තිබුණේ තොරතුරු තාක්ෂණය, ව්‍යාපාර අධ්‍යයනය, සෞඛ්‍ය විද්‍යාව කියන විෂයයන් සඳහා සිසුන් බඳවා ගන්න. පස්සේ ඔවුන් ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලීමක් කරනවා නම වෙනස් කරන්න අවසර ලබා දෙන්න කියලා. ඒ තමයි South Asion Institute of Technology and Medicine කියන නම. ඒ කියන්නේ  Management කියන කොටස  Medicine කියලා වෙනස් කරන්න. ඒ අවස්ථාව වෙනකොටත් ඔවුන් ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගෙන තිබුණේ නැහැ වෛද්‍ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබා දීමට. අනෙක් කාරණය සෞඛ්‍ය විද්‍යාව උගන්වන්න නම් අනිවාර්යෙන්ම සෞඛ්‍ය අමාත්‍යාශයේ අනුමැතිය ලබා ගත යුතුයි කියන ස්ථාවරයේ තමයි ඒ වෙනකොට ආයෝජන මණ්ඩලයත් හිටියේ.

මේක සයිටම් හිමිකරු නෙවිල් ප්‍රනාන්දුගේ පාර්ශ්වයෙන් සහ ඒ සම්බන්ධව පොදුවේ තියෙන කතා බහ. නමුත් මේක පිටුපස තියෙන්නේ වෙනත් සිදුවීම් මාලාවක්. ඒ තමයි මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග්‍රහණය කෙරුවට පස්සේ ඔහු සහ ඔහුගේ ආණ්ඩුව වටා ගොනුවෙන අති විශාල දේශපාලන බලයත් එක්ක ඔවුන් උත්සහ කරනවා එතෙක් ක්‍රියාවට නැගීම පමාවෙලා තිබුණු සමහර දේවල් ක්‍රියාත්මක කරන්න. සමාජය හිටියේ යුද ජයග්‍රහණයෙන් කුල්මත් වෙලා. අනෙක් කිසිම දෙයක් ගැන කාටවත් වගක් තිබුණේ නෑ. ඒ තත්ත්වයත් එක්ක ඔවුන් උත්සාහ කරනවා රාජ්‍ය ඒකාධිකාරිත්වය මත පැවතිය යුතු අධ්‍යාපනය වගේ දේවල් පෞද්ගලිකරණය කරන්නත් එය වෙළඳ භාණ්ඩයක් කරලා වෙළඳ පොළට විවෘත කරන්නත්. මේක රාජපක්ෂ ආණ්ඩුවට කලින් සිටිය ආණ්ඩුත් කරන්න උත්සාහ කළා. නමුත් ඔවුන්ට ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි වුණේ දේශපාලන ඒකාධිකාරිත්වයක් ගොඩනගා ගන්න බැරි වීමත්, සමාජයෙන් එල්ල වුණු විරෝධතාවයත් නිසා කියලයි අපි හිතන්නේ.

අපි දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සයිටම් ආරම්භයේ සිටම පැහැදිලිවම එයට උදව් උපකාර කළ බව. මේ ආයතනය ගැන කියනවා නම් ඔවුන් ආරම්භයේ සිටම කිවුවේ බොරු. ශිෂ්‍යයෝ බඳවාගන්න පුවත්පත් දැන්වීම් පළ කෙරුවේ ලංකාවේ සහ බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවල අනුමැතිය සහිත ආයතනයක් කියලායි. ඊ ළඟට කිවුව බොරුව තමයි රුසියාවේ නිෂ්නි නොව්ගොරොද් විශ්ව විද්‍යාලයට අනුබද්ධ එකක් කියන කතාව. මේවාට පිළිතුරු විදිහට වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් පළ කෙරුවා තමන් සයිටම් ආයතනය පිළිගන්නේ නැහැයි කියමින්. ඒ විතරක් නෙමෙයි ලංකාවේ තියෙන රුසියන් තානාපති කාර්යාලයත්, නිෂ්නි නොව්ගොරොද් විශ්ව විද්‍යාලයත් ලිඛිතව දැනුම් දෙනවා ඔවුන්ගේ කිසිම ශාඛාවක් ලංකාවේ පිහිටුවා නැති බව කියමින්. ඒ විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් සයිටම් ආයතනය පරීක්ෂා කරලා වාර්තා කරනු ලැබුවා සයිටම් ආයතනය කියන්නේ වෛද්‍ය උපාධිය පිරිනැමීමට කෙසේවත් සුදුසු නොවන ආයතනයක් බවට. මේ හැම දෙයක්ම නොසළකා හරිමින් තමයි රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ උසස් අධ්‍යාපන ඇමතිවරයාව සිටි එස්. බී. දිසානායක ගැසට් පත්‍ර දෙකක්ම නිකුත් කරමින් සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීමට අවසර ලබා දෙන්නේ. මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයත්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව හැටියට අපිත් සයිටම් විරෝධි සමාජ බලවේගත් එකතුව මේ අරගලය දියත් කරන්නේ මේ සියළු තත්ත්වයන් යටතේයි. මේක අද ඊයේ ඇති වුණු  එකක් නෙමෙයි. ඒ වගේම තමයි හුදෙක් වෛද්‍ය උපාධිය පිරිනමන පෞද්ගලික ආයතනයකට එරෙහිව යන හුදකලා අරගලයකුත් නෙමෙයි. මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන අරගලයක්.  සයිටම් හොර උපාධි කඩයට විරුද්ධව  සමාජ මතයක් නිර්මාණය කරන්න අපිට හැකිවීම එක්තරා ජයග්‍රහණයක්.

සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාව ද ඇතුළු විෂයන් කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා දීමට සිසුන් බඳවා ගන්නා ආයතනයක්. නමුත් අනෙකුත් විෂයයන්ට නොමැති විරෝධයක්   වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් සමාජයේ ඇතැම් පාර්ශවයන් වෙතින් එල්ල කෙරෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල සහ වෛද්‍ය පීඨවල උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍යයන් ද දිගින් දිගටම කියා සිටින්නේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙසයි. ඔබ නියෝජනය කරන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව  සයිටම් ආයතනය සහ එමඟින් ලබා දෙන වෛද්‍ය උපාධිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටින්නේ ඇයි?

ජයලත්: මුලින් කියපු විදිහට සයිටම් කියන්නේ වෛද්‍ය උපාධියක් පිරිනැමීමට සුදුසු ආයතනයක් නෙමෙයි. ඒ වගේම තමයි ශිෂ්‍යයෝ විදිහට ඇයි අපි සයිටම් එකෙන් දෙන වෛද්‍ය උපාධියට විරුද්ධ වෙන්නේ  කියන එක මේ මොහොතේ පැහැදිළි කිරිමත් වැදගත් කියලා අපිත් හිතනවා. මොකද මේ වෙනකොට සයිටම් විරෝධී පාර්ශව සම්බන්ධවත්, විශේෂයෙන්ම ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධවත් ඇතැමුන් කරන  ප්‍රකාශ දිහා බලපුවාම ඒ පැහැදිලි කිරීම කළ යුතුම දෙයක් කියලයි අපි හිතන්නේ. මූලිකවම  අපි සයිටම් ආයතනයට විරුද්ධ වෙන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, ප්‍රතිපත්තිමය හේතුවක් මත. ඒ තමයි අධ්‍යාපනය, සෞඛ්‍ය මුදලට විකිණීමට එරෙහි අපේ ප්‍රතිපත්තිය. අනෙක මේ විරෝධය සයිටම් කියන උපාධි කඩය සම්බන්ධයෙන් විතරක් පැන නැගුන එකක් නෙමෙයි. මේක නෙවිල් ප්‍රනාන්දුගේ ව්‍යාපාරයක් පිළිබඳව මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙන ප්‍රශ්නෙකුත් නෙමෙයි. සයිටම් කියන්නේ ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙලේ නියමු ව්‍යාපෘතියක්. අපි දන්නව පහුගිය ආණ්ඩුව  වගේම මේ ආණ්ඩුවත් සයිටම් ආයතනය ආරක්ෂා කරන්න  මොනතරම් උත්සාහ දරනවද කියන එක. ආණ්ඩුවේ මැති ඇමතිවරු සයිටම් එක සම්බන්ධයෙන් දරන මතය විතරක් නෙමෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙන්නෙත් අධ්‍යාපන පෞද්ගලිකරණ වැඩ පිළිවෙල සාධාරණීයකරණය කරන අදහස් සහ යෝජනා. පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරමින්, ඒවා පවත්වාගෙන යන්න සියළු වරප්‍රසාද ලබා දෙමින් ආණ්ඩුව කරන්නේ තමන්ගේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමක් නෙමෙයිද? අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරමින් එය වෙළඳ පොලේ අලෙවි කිරීමේ අවස්ථා සුලබ කිරීමක් නොවෙයිද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන  ශ්‍රී ලංකාවට ණය ලබා දීම සඳහා ඉදිරිපත් කර තියෙන එක් ප්‍රධාන  කොන්දේසියක් තමයි රාජ්‍ය සුභ සාධන පහසුකම් සහ සේවාවන් ඉවත් කළ යුතුයි කියන එක. ඒ අනුවයි ආණ්ඩුව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රාජ්‍ය සුභ සාධනයන්  කප්පාදු කරමින් ඒවා වෙළඳ පොළට විවෘත කරන්න උත්සාහ ගන්නේ. මේක ගෝලීය මට්ටමින් තීව්‍රව ක්‍රියාත්මක කරන්නට වෙරදරන ව්‍යාපෘතියක එක් කොටසක් විතරයි. එතකොට ආණ්ඩුවට සිද්ධ වෙනවා තමන් පිළිගන්න ඒ කොන්දේසි ලංකාව තුළ කිසිදු බාධකයකින් තොරව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලට සහතිකයක් දෙන්න. ඒ අනුවයි ආණ්ඩුව  සයිටම් වගේ ආයතන නීතිගත කරලා ව්‍යාපාරිකයන්ට පෙන්නන්න හදන්නේ කිසිම බාධාවකින් තොරව ලංකාව තුළ පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන්න හැකියාවක් තියනවායි කියලා. ඒ තහවුරුව ලබා දීම සඳහා තමයි මෙච්චර විරෝධයක් එල්ල වෙද්දිත් ආණ්ඩුව ඒ සම්බන්ධව කිසිම තැකීමක් නොකර සයිටම් හොර උපාධි කඩය ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ සයිටම් කියන හොර උපාධි කඩය අහෝසි කරන්න කියලා. ඒක අහෝසි කිරීම අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි රාජ්‍ය සුබ සාධනයන් කප්පාදු කිරීමේ ප්‍රයත්නයන් පරාජය කිරීමේ කර්තව්‍යයේ අත්‍යවශ්‍ය කොටසක්.

සයිටම් විරෝධී මතයක සිටි ඇතැම් පාර්ශවයන් මෙන්ම ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන් ද කියන්නේ සයිටම් ආයතනය සහ එයින් ලබා දෙන වෛද්‍ය උපාධිය සම්පූර්ණයෙන් අහෝසි නොකොට එය යම් ප්‍රමිතියකට  යටත් කළ යුතු බවයි. එසේම එම ආයතනය අර්ධ රාජ්‍ය මට්ටමින් පවත්වාගෙන ගොස් මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතු බවට ද තවත් පිරිසක් යෝජනා කරනවා. නමුත් ශිෂ්‍ය සංගම් මේ සම්බන්ධව තවමත් නිශ්චිත අදහසක් දක්වා නෑ. ශිෂ්‍ය සංවිධාන ලෙස ඔබලා සයිටම් විරෝධී ස්ථාවරයක් දරනුයේ  එහි ඇති තාක්ෂණික ප්‍රශ්නයක් නිසාද, නැතිනම් අධ්‍යාපනයේ නිදහස පිළිබඳ මුලධාර්මික කරුණක් නිසාද?

ජයලත්: මෙතන තියෙන මුලිකම ප්‍රශ්නය තමයි ආණ්ඩුවක් තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ රටේ ප්‍රධාන සුභ සාධන අංශ දෙකක් වන අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන ඒවා මුදලට තක්සේරු කරන්න උත්සාහ දැරීම. ඒක එහෙම වුණත් අපි සයිටම් එක පිළිබඳව සලකා බැලුවොත් එහි ප්‍රමිතිය පිළිබඳවත් ඉතාම බරපතල ප්‍රශ්න ගොන්නක් තියෙනවා. වෙළද භාණ්ඩ බවට පත්කරලා වෙළඳපොළට විවෘත කරන මොන ක්ෂේත්‍රයේද ප්‍රමිතිය ආරක්ෂා වෙලා තියෙන්නේ? අපි දන්නවනේ මෙයට පෙරත් වෙළඳ පොළ ආර්ථිකය යටතේ කිසිම වාරණයකින් තොරව එයට විවෘත කරපු ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට ප්‍රවාහනය පිළිබඳ උදාහරණය ගන්න. ප්‍රවාහනය පෞද්ගලීකරණය කරපු  ජයවර්ධන ආණ්ඩුව ඒ දවස්වල කිවුවේ මොනවද? මේක ක්‍රියාවට නැංවූවාම රාජ්‍ය ප්‍රවාහනයත් එක්ක තරඟ කරන්න තරඟකරුවෙක් ඉන්නවා, ඒ තරඟකාරිත්වයත් එක්ක රාජ්‍ය ප්‍රවාහනය තව තවත් ශක්තිමත් වෙනවා කියලා තමයි ඔවුන් කිව්වේ. ලංකාවේ ප්‍රවාහනයට අද මොකද වෙලා තියෙන්නේ? ඔය කියන තරඟකාරීත්වයෙන් රාජ්‍ය ප්‍රවාහනය ශක්තිමත් කරන්න පුලුවන් වුණාද? එහෙමත් නැත්නම් පෞද්ගලික ප්‍රවාහනය ගත්තොත් එකේ ප්‍රමිතියක් තියෙනවද? වෙළඳ පොළට විවෘත කරපු අනෙක් හැම ක්‍ෂේත්‍රයකමත් තත්ත්වය ඔය හා සමානයි.

ඖෂධ ජාවාරම කියන්නේ ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන  මාෆියාවක්. ලෝකෙ ඉහළම ලාභ ලබන සමාගම් දහයෙන් හයක් ඖෂධ නිෂ්පාදන සමාගම්. ඔවුන් ලාභ ලබන්නේ කොහොමද? නිෂ්පාදනවල හරි, බෙදා හැරීම්වල හරි ප්‍රමිතිය ආරක්ෂා කරලාද? නෑ. මාෆියාවක හරි ජාවාරමක හරි ප්‍රමිතිය ආරක්ෂා වෙන්න බෑනේ. ඇත්ත ඒක තමයි. පෞද්ගලිකරණය තුළ ප්‍රමිතිය ආරක්ෂා වෙලා නැහැ  කියන එකට ඕන තරම් උදාහරණ අපේ රටෙන්ම ගන්න පුලුවන්. පෞද්ගලීකරණය හෝ ඒ මතම ක්‍රියාත්මක වෙන යම් ආයතනයක හෝ සේවාවක හෝ අවසාන අරමුණ තමයි ලාභය. අධ්‍යාපනයටත් මේක අදාලයි. අධ්‍යාපනය ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන රටවල් ගත්තොත් ඒ හැම රටකම බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉන්දියාවේ වෛද්‍ය උපාධිය පිරිනමන ආයතනවලින් වැඩි ප්‍රමාණයක් පෞද්ගලික ආයතන. පහුගිය දවසක ඉන්දියාවේ පාර්ලිමේන්තුවට එරට පාර්ලිමේන්තු කමිටුවක් මඟින් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා, ඒ වාර්තාවට පදනම වෙන්නේ ඉන්දියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය. එරට ඇතැම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නේ අන්තර්ජාලය හරහා. එහෙම බඳවාගන්න සිසුන්ට විශාල මුදලකට වෛද්‍ය උපාධි සහතික ලබා දෙනවා. නමුත් ඇත්තටම එහෙම වෛද්‍ය විද්‍යාල නෑ. මේ තත්ත්වය නිසා තමයි අද වන විට ඉන්දියාවේ වෛද්‍ය අධ්‍යාපනයත්, වෛද්‍ය ක්ෂේත්‍රයත් අන්ත දුෂිත වෙලා තියෙන්නේ. ලෝකෙ මොන රටේ උනත් පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නේ ලාභය අරමුණු කරගත් ඒවාම තමයි. අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කරපු පළමු අවස්ථාවේම එහි ප්‍රමිතිය, ගුණාත්මක බව නැතිවෙලා යනවා. සයිටම් කියන්නේ වෛද්‍ය අධ්‍යාපනයට නුසුදුසු ඒ සම්බන්ධව පිළිගත් කිසිම ප්‍රමිතියක් නැති ඒ වගේම දූෂණ, වංචාවලින් පිරුණු කිසිම නීතියකට යටත් නැති ආයතනයක්.

මේ සියලු කාරණා නිසායි අපි කියන්නේ මේක අහෝසි කරලා දාන්න ඕනේ කියලා. සයිටම් සම්බන්ධයෙන් ආණ්ඩුව විවිධ යෝජනා ඉදිරිපත් කරන බවත් අපි දන්නවා. ඒ හැම එකකම තියෙන ප්‍රධාන තර්කයක් තමයි සයිටම් පවත්වාගෙන යන්නේ මුදල් ගෙවීමේ පදනම මත බවට. මේක තමයි ආණ්ඩුවට තියෙන දේශපාලන අවශ්‍යතාවය. උසස් අධ්‍යාපන ඇමතිවරයා පාර්ලිමේන්තුවේදි කියන්නේ මොනවාද? ඔහු කියනවා සයිටම් එකෙන් පස්සේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පහක් ආරම්භ කරන්න විදේශීය සමාගම් සුදානමින් ඉන්නවා කියලා. ඔහුම කියන විදිහට ඉන්දියානු සමාගමකුත් ඒ අතර තියෙනවා. අපිට ආරංචි විදිහට ආණ්ඩුව විදෙස් පෞද්ගලික ආයතන ගණනාවක් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න. නමුත් ඒක ඇන හිටලා තියෙන්නේ සයිටම් හොර උපාධි කඩය සම්බන්ධයෙන් එල්ල වෙන විරෝධතාවයත් එක්ක. ආණ්ඩුව සයිටම් නීතිගත කරලා ඒකට නීතිමය පදනමක් හදලා දෙන්න උත්සාහ කරන්නෙම මේ කියන හේතුව නිසාමයි. නැත්නම් මොකටද ආණ්ඩුව සයිටම් එක වෙනුවෙන් විතරක් මෙච්චර මැදිහත් වෙන්නේ? සයිටම් එක නීතිගත කරලා දුන්නොත් තමයි අනෙක් ආයෝජකයන්ගේ බය නැති කරන්න ආණ්ඩුවට පුලුවන් වෙන්නේ. දැන් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම බලධාරීන් කරනවා. සාකච්ඡාවලින්, නීතිමය තර්කවලින් විතරක් නෙමෙයි, යොදන්න පුලුවන් උපරිම මර්දනය යොදලා ශිෂ්‍යයන්ව බියවද්දලා හරි සයිටම් එක පවත්වාගෙන යන්න ඉඩ දෙන්නයි ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ. ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින් කියවෙන්නේ මොනවද? අපි හොඳින් හරි නරකින් හරි මේක කරනවා කියලා නෙමෙයිද? පහුගිය රජයේ උසස් අධ්‍යාපනය භාර ඇමතිවරයත් සයිටම් එක වෙනුවෙන් පෙනී සිටියා. ඔහු රාජපක්ෂ ආණ්ඩු සමයේදි වෛද්‍ය සභාවට තර්ජනය කළා සයිටම් එක පිළිගන්නා ලෙස. දැන් මේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමතිවරයාත් ඒ දේම කරනවා. මේකේ වෙනසක් නෑ. අපි දන්නවා ඇත්තටම මේ ගොල්ලන්ට සයිටම් එකට විරුද්ධ වෙන්න බැරි තවත් කාරණාවක් තියෙනවා කියලා. ඒ තමයි හිටපු සහ දැනටත් ඉන්න මැති ඇමතිවරුන්ගේ, ඔවුන්ගේ ඥාතීන්ගේ දරුවන්, දරුවන්ගේ බිරින්දෑවරුන් මේ සයිටම් එකේ ශිෂ්‍යත්ව පදනමින් වෛද්‍ය උපාධිය හදාරනවා. සෞඛ්‍ය ඇමතිවරයගේ ලේලි,ඒ කියන්නේ චතුර සේනාරත්න මන්ත්‍රිවරයාගේ බිරිඳ සයිටම් ශිෂ්‍යාවක්. ඒ නිසා මේ කිසිම කෙනෙක් මේකට විරුද්ධ වෙන්නේ නම් නෑ.

අනෙක හදනවායි කියන ප්‍රමිතිය මොකද්ද? ඔය කියන ප්‍රමිතියෙන් වෛද්‍ය විද්‍යාලයක්, වෛද්‍යවරුන්  බිහි කරන්න පුලුවන්ද? වෛද්‍ය විද්‍යාලයක් හරි එහෙමත් නැත්නම් උසස් අධ්‍යාපන ආයතනයක් හරි පවත්වා ගෙන යන්න සම්මත නීති රීති, මිනුම් දඬු වගේම ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියක් තියෙන බව ඇත්ත. ඒත් අපි අහන්නේ ඒ කියන ප්‍රමිතිය එක්ක සයිටම් වගේ එකක් පවත්වාගෙන යන්න නෙවිල් ප්‍රනාන්දු කැමති වෙයිද කියන එකයි. මොකද එහෙම කෙරුවොත් ලැබෙන අති විශාල ලාබය නැති වෙනවා. ඒ වෙනුවෙන් ගෙවන්න වෙන කප්පම් ගෙවන්න බැරි වෙනවා. මේ වගේ ආයතනයකින් වැඩි ලාබයක් ගන්න නම් අවම ප්‍රමිතියකින් පවත්වාගෙන යන්න වෙන බව ඔවුන් දන්නවා. නෙවිල් ප්‍රනාන්දු තවමත් කටයුතු කරමින් ඉන්නේ එහෙම තමයි. වෛද්‍ය සභාව මේ පිළිබඳව හොයලා බලලා දිගින් දිගටම ඔවුන්ගේ විරෝධය දක්වලත් තියෙනවා. අවස්ථා කිහිපයකදීම වෛද්‍ය සභාව නිල වශයෙන් සයිටම් එකට දැනුම් දුන්නා වසරකට දෙවරක් සිසුන් බඳවා ගන්න එක නතර කරන්න කියලා. ඔවුන් ඒක කණකට ගන්නේ නෑ. ඇයි ඒ? ඒ ඔවුන් දන්නවා ආණ්ඩුව සයිටම් එක වෙනුවෙන් පෙනී සිටින බව. අන්න ඒ නිසයි අපි දිගින් දිගටම කියන්නේ අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීමේ ආණ්ඩුවේ මේ ව්‍යාපෘතිය නතර කරන්න නම් සයිටම් එක ආහෝසි කරන්නම ඕනේ කියලා. ඒ හැර අපි දකින විදිහට මේ ප්‍රශ්නයට වෙන කිසිම විසඳුමක් නෑ.

සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා  කිසිවෙක් වෛද්‍යවරුන් ලෙස පිළි නොගන්නා බවටත්, ඔවුන්ට වෛද්‍ය ලියාපදිංචිය නොදෙන බවටත් වෛද්‍ය සභාව කියා සිටිනවා. නමුත් විෂය භාර අමාත්‍යවරුන් පමණක් නෙවෙයි සයිටම් හිමිකාරිත්වයත් ඒ නියෝග නොතකා හරිමින් දිගින් දිගටම සිසුන් බඳවා ගන්නවා පමණක් නොවෙයි, සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය පිළිනොගන්නේ නම් වෛද්‍ය සභාවේ සාමාජිකයන් ඉවත් කරන බවටත් තර්ජනාත්මකව අදහස් දක්වනවා. ඔබලාට අනුව, වෛද්‍ය සභාව වැනි සුවිශේෂි ආයතනයකට එරෙහිව යමින් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආරක්ෂා කිරීමට බලධාරීන් උත්සුක වන්නේ ඇයි?

ජයලත්: ඉතාම පැහැදිලියි මේක පිටුපස තියෙන්නේ ආණ්ඩුවේ දේශපාලන බලහත්කාරය. ඒ බලහත්කාරය යොදාගෙන තමයි සයිටම් එකට විරුද්ධව නැගී සිටින ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සමාජ බලවේග මර්දනය කරන්නේ. රටේ වෛද්‍යවරු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ව්‍යවස්ථාපිතව බලය හිමි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවා දිගින් දිගටම විරුද්ධ වෙන ආයතනයකට වෛද්‍ය උපාධිය ප්‍රදානය කරන්න ඉඩ දෙන්නේ ඒ නිසායි. ඒ හොර උපාධිය නිල වශයෙන් පිළිගන්න කටයුතු කරන්නේ. දැන් බලන්න ආණ්ඩුවේ ඇමතිවරුන් සයිටම් එක ගැන පුදුම සහගත අනුකම්පාවකින් කතා කරනවා. අනෙක් පැත්තෙන් සයිටම් එකට විරුද්ධ බලවේගවලට එරෙහිව තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. ඇත්තටම ඔවුන් උත්සාහ කරන්නේ ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව සමාජ මතයක් ගොඩ නගන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ට තර්ජනය කරනවා, වෛද්‍ය සභාවට පවා සමහර ඇමතිවරු ප්‍රසිද්ධියෙම තර්ජනය කරනවා. පිළිගත් ප්‍රමිතියකින් තොරව වෛද්‍ය අධ්‍යාපනය ලබා දීලා ලක්ෂ ගණනක මුදලකට උපාධියක් මිල කරලා තියෙන සයිටම් කියන ආයතනය පිළිගන්න බැහැයි කියලා රටේ වෛද්‍ය සභාව කියද්දි රටේ පාලකයෝ කියනවා ඒක පිළිගත්තේ නැත්නම් අපි උඹලව එළවනවා කියලා. ආණ්ඩුවේ ඇමතිවරුන්ට අනුව හොරු ඉන්නේ සයිටම් එකේ නෙමෙයි - වෛද්‍ය සභාවේ. ඔබ දන්නවද, ලෝකේ වෙන කිසිම රටක මෙහෙම  වෙනවද කියලා. හොරට වෛද්‍ය උපාධියක් දෙන ආයතනයක පැවැත්ම වෙනුවෙන් ඒ රටේ වෛද්‍ය වෘත්තිය නියාමනය කරන ඉහළම ආයතනය වෙන වෛද්‍ය සභාවට හෝ ඊට සමාන ආයතනයකට තර්ජනය කරන රටක් වෙන කොහේ හෝ තියෙනවාද?

දැන් මේ වෙන කොට වාචිකව කෙරෙන තර්ජන ගර්ජනවලින් තවත් එහාට ගිහින් ආයුධ බලය පෙන්නලා බය කරන්න, මර්දනය කරන්න තමයි පාලකයන්ට උවමනා වෙලා තියෙන්නේ. පසුගිය මැයි 12 වැනිදා රාත්‍රියේ වෛද්‍ය සභා කාර්යාලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. එක පුපුරලා ගියේ නැති වුණාට ඒකෙන් දෙන පණිවිඩය ඉතාම භයානක එකක් නෙමෙයිද? අපි පැහැදිලිවම කියන්නේ මේ ප්‍රහාරය ආණ්ඩුව තමන්ගේ තර්ජනාත්මක ප්‍රකාශයන් වෛද්‍ය සභාවට පෙන්වීම සඳහා කරන ලද එකක්. මෙයට පෙරත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. එක් අවස්ථාවක වෛද්‍ය සභාවේ සහකාර ලේඛකාධිකාරි වෛද්‍ය චන්දන අතපත්තු මහත්මයාගේ මෝටර් රථයට ප්‍රහාරයක් එල්ල කෙරුවා. කෝ මේ සම්බන්ධයෙන් පරික්ෂණ? වෛද්‍ය සභාව, සියළුම වෛද්‍ය වෘත්තිකයන්, රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්, ආචාර්යවරුන්, රජයේ වෛද්‍යවරුන් රටේ පිළිගත් වෘත්තිය සමිති, රටේ ජනතාව සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් මේ හැමෝම මුදලට වෛද්‍ය උපාධිය විකුණන සයිටම් ආයතනයත් එකේ  වෛද්‍ය උපාධියත් පිළිගන්න බැහැයි කියද්දි තමයි ආණ්ඩුව ඒ කිසිම මතයකට කන් නොදී ඒක පාර්ශ්විකව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නේ.

සයිටම් ආයතනය අහෝසි නොකර එය නිල වශයෙන්  පිළිගැනිමට බලධාරින් කටයුතු කරනු ලැබුව හොත් එයින්  සමස්ත නිදහස් අධ්‍යාපනයට ඇති කරනු ලබන බලපෑම ගැන ශිෂ්‍ය ව්‍යාපාරය වශයෙන් ඔබලාගේ තක්සේරුව මොනකක්ද?

ජයලත්: අනාගත ශිෂ්‍ය ප්‍රජාවට උරුම වෙන ඉරණම ඛේදජනක එකක් විය හැකියි. අපි අදටත් ඒ දේ අත් විඳින නිසා තමයි අපේ අධ්‍යාපනය විතරක් නෙමෙයි ජිවිතයේ ඉරණමත් පාලකයන් අත තියලා මේ අරගලය ඉදිරියට ගෙනි යන්නේ. මා ඔබට මුලිනුත් කිවුවා ආණ්ඩුව සයිටම් එක සම්බන්ධයෙන් දක්වන ධනාත්මක ප්‍රතිචාරයත් එක්ක තවත් සමාගම් ගණනාවක් බලාගෙන ඉන්නේ මෙවැනිම උපාධි කඩ ආරම්භ කරන්න. ඔවුන්ගේ එකම අරමුණ ලාභ ලැබීම විතරයි. ආයතන ගොඩක් තරඟයට වගේ සල්ලි විසි කරලා උපාධි දෙන කොට ඒ උපාධියේ, ඒ අධ්‍යාපනයේ තරම ඔබට හිතා ගන්න පුලුවන් නේද? මොන තරම් විනාශයක් මේ රටේ අධ්‍යාපනයට වෙයිද?

අනෙක් පැත්තෙන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදි රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන සැළකිල්ලත් මේකට බලපානවා. පහුගිය අයවැයෙන් අධ්‍යාපනයට වැය කරන ප්‍රතිපාදන විශාල වශයෙන් කපා හැරියා. ඒක පසුගිය දශක දෙකක් තිස්සේ තීව්‍රවන ප්‍රවණතාවක්. උදාහරණයක් ඒ හින්දා මෙහෙම දිගින් දිගටම පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති වුණොත් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියයි, පාසැල් පද්ධතියයි කඩා වැටෙන එක නතර කරන්න කාටවත් බැරි වෙයි. අද සයිටම් එකට පක්ෂව කතා කරන අයගේ දරුවන්ට කෙසේ වෙතත් මේ රටේ අනෙකුත් දරුවන්ට අනාගතයෙදි සිද්ධ වෙන්නේ මුදලට අධ්‍යාපනය ලබා ගන්න මේ ආයතන ඉදිරියේ වැඳ වැටෙන්න. අධ්‍යාපනයේ ඒකාධිකාරිත්වය මේ සමාගම්වලට ලැබුනොත් ඉදිරියේදි මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද? මිනිස්සුන්ට සිද්ධ වෙනවා තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය දෙනවද නැද්ද කියලා තීරණය කරන්න තමන්ගේ අතේ තියෙන මුදලත් එක්ක. මේක සරලව ගන්න පුලුවන් දෙයක්ද? ආණ්ඩුවේ ඇමතිවරු කියන විදිහට දැනට රුපියල් ලක්ෂ 120 ක් ගෙවලා සයිටම් එකේ උපාධිය ගන්න ඉන්න ළමුන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳ ප්‍රශ්නයක්ද?

මේකෙන් පස්සේ සිද්ධ වෙන අනෙක් දේ තමයි සෞඛ්‍ය නිල වශයෙන් මුදලට විකිණීම. එහෙමත් නැත්නම් රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් මුදලාලිලාට විකුණා දැමිම. සෞඛ්‍ය සේවයේ පැවැත්ම මුදල් මත තීන්දු කිරීම. මොකද ලක්ෂ 120 ක් වියදම් කරලා හරි හෝ වැරදියට වෛද්‍ය උපාධිය ගන්න කෙනෙක් ඊට පස්සේ ඒ මුදල හොයන්නේ කොහොමද? සල්ලි හම්බ කිරිම එකම අරමුණ කරගෙන වෛද්‍ය වෘත්තියට එන කෙනෙකුට කරන්න වෙන්නේ සෞඛ්‍ය සෙවාව මුදලට විකිණීමම තමයි. මේක වෘත්තිය ආචාර ධර්ම පැත්තෙන් ගත්තත් එකඟ වෙන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ. එනිසා අපි කියන්නේ සයිටම් හොර උපාධි කඩය පවත්වාගෙන යන්න ඉඩ දුන්නොත් ඒකෙන් මේ රටේ දැවැන්ත සමාජ ව්‍යසනයක්, අර්බුදයක් ඇති වෙන එක අනිවාර්යයි.

ඔබේ පිිළිතුරෙන් වෙනත් ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් සයිටම් ආයතනයෙන් ලබා දෙන වෛද්‍ය උපාධිය වෙනුවෙන් පෙනී සිටින  පිරිස් නගන එක් තර්කයක් වන්නේ පෞද්ගලික වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි නම් රජයේ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල යෙදීමත් වැරදි බවයි. වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ඒ සම්බන්ධව ඔබලා දරනුයේ කවර  මතයක්ද?

ජයලත්: අපි අහන්නේ මේකයි: වෛද්‍ය වෘත්තිය විකිණීම වැරදියි කියන අය  වෛද්‍ය අධ්‍යාපනය විකිණීමට පක්‍ෂ වෙන්නේ ඇයි? වෛද්‍ය වෘත්තිය වෙළඳ පොළ තර්කනයට ගොදුරුවීමට පිළිතුර වෙන්නේ වෛද්‍ය අධ්‍යාපනයත් වෙළඳපොළ තර්කනයට යටත් කිරීමද? සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරිමට අපි විරුද්ධයි වගේම වෛද්‍යවරු මුදලට තම වෘත්තිය විකුණන එකත් අපි අනුමත කරන්නෙත් නෑ. සෞඛ්‍ය මුදලට විකිණීම ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් ගත්ත තීන්දුවක්. අධ්‍යාපනය සම්බන්ධයෙන් වගේම සෞඛ්‍ය විකිණීමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහටයි දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ. පහුගිය අයවැයෙන් යෝජනා කෙරුණා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු හදන්න පෞද්ගලික අංශයට ඉඩ දෙන්න. වෛද්‍යවරු පෞද්ගලික වෛද්‍ය සේවාවන්වල නිරතවෙන්න දිරි ගන්වන  වෙන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තියෙන්නෙත් මේ රටේ පාලකයෝම තමයි. කොහොම වුණත් අපි වෛද්‍යවරුනටත් කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් පෙනී සිටින්නෙ ඔවුන් ද කැපවිය යුතු යි කියලායි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව හැටියට අපි වෛද්‍ය පීඨවල දැනටත් මේ සම්බන්ධයෙන් මතවාදි අරගලයක් කරමින් ඉන්නේ.

විශ්ව විද්‍යාලවල මෙන්ම  වෛද්‍ය පීඨයන්වල අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් රජය වෙන් කරන ප්‍රතිපාදන සම්බන්ධයෙන් ඔබට තියෙන්නේ මොන වගේ ඇගයීමක්ද?

ජයලත්: රටකට කොපමණ වෛද්‍යවරු අවශ්‍යද කියලා තීරණය කෙරෙන්නේ රටේ සෞඛ්‍ය දර්ශක ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යාම හෝ එහි නිවැරදි දත්ත මතයි. ඒ අවශ්‍ය වන ප්‍රමාණයට වෛද්‍යවරුන් බිහිකර ගැනීම වෙනුවෙන් කොපමණ වෛද්‍ය විද්‍යාල අවශ්‍යද, ඒ වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් කොපමණ සිසුන් සංඛ්‍යාවක් බඳවා ගන්නවද කියන එකට නිසි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හැබැයි අපි ඉතාම පැහැදිලිව කියනවා පසුගිය ආණ්ඩුවලට වගේම මේ ආණ්ඩුවටත් එහෙම කිසිම ප්‍රතිපත්තියක් නෑ. ආණ්ඩුවලට අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ සෞඛ්‍ය හෝ අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හදලා ගුණාත්මක සේවාවක් පවත්වාගෙන යන්න නෙමෙයි, ඒවා වෙළඳ පොළට විවෘත කරලා මුදලාලිට ලාභ හොයන්න ඉඩ දෙන එකයි.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව ගෙනියන මේ අධ්‍යාපන කප්පාදුවත් එක්ක රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දරුණු කඩා වැටීමකටයි ලක්වෙලා තියෙන්නේ. වෛද්‍ය පීඨවල තත්ත්වය හරිම කණගාටුදායකයි. විශ්ව විද්‍යාල නඩත්තු වෙන්නේ ඉතාම සීමා සහිතව මුදාහරින මුල්‍ය සහ අනෙකුත් ප්‍රතිපාදන ප්‍රමාණයක් එක්ක. ඒ මුදල් ප්‍රමාණය වෛද්‍ය විද්‍යාලයක් නඩත්තු කරන්න කිසිසේත්ම ප්‍රමාණවත් නෑ. විශ්ව විද්‍යාලවල නේවාසික පහසුකම් අර්බුදය විසඳන්න තවම හැකිවෙලා නෑ. පාලකයෝ කියන්නේ විශ්ව විද්‍යාල විසින් තමන්ට අවශ්‍ය මුල්‍ය සම්පත් තමන්ම සපයා ගන්න කියලායි. මේ රටේ උසස් අධ්‍යාපනය භාරව හිටපු සහ දැනට ඉන්න ඇමතිවරු ප්‍රසිද්ධියේම කියනවා රජරට සහ නැගෙනහිර විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවලට  වඩා සයිටම් එකේ ප්‍රමිතිය හොඳයි කියලා. මේ අය මේවා කියන්නේ බොහෝම ආඩම්බරෙන්. නැගෙනහිර, රජරට ‍වෛද්‍ය පීඨවල  ප්‍රමිතිය වැඩි කරන එකේ වගකීම තියෙන්නේ රටේ පාලකයන්ට නෙමෙයිද? රජරට ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳන්න කියලා සිසුන් දිගින් දිගටම ඉල්ලුවා. මේවා විසඳන්න ආණ්ඩුවට උවමනාවක් නෑ. නැගෙනහිර වෛද්‍ය පීඨයේ අධ්‍යාපන සුභ සාධන ගැටළු විශාල ප්‍රමාණයක් තියෙනවා. රාජ්‍ය විශ්ව විද්‍යාලවල, වෛද්‍ය පීඨවල මෙහෙම අර්බුදයක් තියෙද්දි තමයි විෂය භාර අමාත්‍යවරුම කියන්නේ සයිටම් එකේ ප්‍රමිතිය ඉහළයි කියලා. අපිට අහන්න වෙන්නේ මෙහෙම කියන්න ලැජ්ජා නැද්ද කියලා තමයි.

නිදහස් අධ්‍යාපනය සියල්ලන්ටම සමාන විය යුතු බවටත්, අධ්‍යාපනය රජයේ වගකීමක්  බවටත් වන ස්ථාවරය කලකට පෙර මෙරට වාමාංශික ව්‍යාපාරය විසින් පිළිගත් මතයක්. වර්තමානය වනවිට එම වාමාංශික පක්ෂවල ක්‍රියාකාරිත්වය දක්නට නැතත් එම පක්ෂවල සිටි ඇතැම් පුද්ගලයන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලට පක්ෂ ප්‍රචාරණ ව්‍යාපෘතියේ උද්යෝගීමත් ක්‍රියාකාරින් බවට පත්ව සිටිනවා. මේ තත්ත්වය හේතුවෙන් මෙයට දශකයකට හෝ දෙකකට පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව ගෙන ගිය අරගලයට සාපේක්ෂව වත්මන් අරගලයේ මතවාදයන් සමාජය තුළ තහවුරු කිරීමේ දුෂ්කරතාවයක් තිබෙනවාද?

ජයලත්: සයිටම් විරෝධි අරගලයෙදී අපි දැක්කා වාමාංශිකයෝ යැයි කියා ගන්නා අයගේ සෑබෑම මුහුණ. ඔවුන් මෙච්චර දවසක් දාගෙන හිටිය වෙස් මුහුණ ගැලවිලා ගියා මේ අරගලයෙදි. මෙවැනි තීරණාත්මක අරගලයකදි සහය දෙන්නේ කවුද, නැත්තේ කවුද කියන එක රටේ ජනතාවත් ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට අපිත් හොඳට අත් දුටුවා. වාමාංශිකයෝ යැයි තමන්ව හඳුන්වා ගන්නා සමහර අය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිම වෙනුවෙන් කිසිම ලැජ්ජාවක් නැතුව පෙනී ඉන්නවා. මේ පාවා දීම තුළ මේ රටේ නාමධාරි පුද්ගලයෝත් ඉන්නවා. සිවිල් සමාජයේ වැදගතුන් කියා ගන්නා සමාජ නිදහස වෙනුවෙන් අරගල කරන බව කියන අයත් ඉන්නවා. සමහර වෙලාවට ඔවුන්ගේ මතය සයිටම් අරගලයට තීරණාත්මකව බලපානවා වෙන්න පුලුවන්. සයිටම් හොර උපාධි කඩයට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන අරගලයට සහාය දෙන්න මේ මොහොත වන විට මේ රටේ බහු ජන සංවිධාන, වෘත්තිය සමිති, වෘත්තිකයන්, දෙමාපියන් ඇතුළු මේ රටේ  දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහස ගැන කැක්කුමක් තියෙන හැම කෙනෙක්ම පෙළ ගැසෙමින් ඉන්නවා. ඊනියා වාමා ප්‍රතිරූපකයන්ගේ ව්‍යාජ සහාය නැතුවට ඒක අපිට දැවැන්ත ශක්තියක්.

සයිටම් පක්ෂපාතී මතය රටේ පොදු ජනතාවගෙන් එන එකක් නෙමෙයි. ඒක ව්‍යාජ බුද්ධිමතුන්ගේ මතයක්. මේ ස්වයං ප්‍රකාශිත බුද්ධිමතුන් කරන්නේ රටේ අධ්‍යාපනය මුදලට ගන්න එන කොම්පැනිකාරයන්ගේත් ඒ වෙනුවෙන් රාජ්‍ය බලය යොදවන පාලකයන්ගේත් උවමනා එපාකම් ඉටුකිරීමක්. එහෙම අයට කියන්න වෙන්නේ තැරැව්කාරයෝ කියලා. සැබෑ බුද්ධිමතුන්ට සිවිල් සමාජ ක්‍රියාකාරින්ට මේ අය නිග්‍රහයක්. මේ අය කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව මේ පෙනි සිටන්නේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන ශිෂ්‍යයන්ට විරුද්ධවයි. අද පාලකයෝ ඉතාම සූක්ෂම ආකායට මේ සිවිල් ක්‍රියාකාරින්, බුද්ධිමතුන් කියන පිරිස ලවා තමන්ගේ උවමනා එපාකම් ඉටුකරගනිමින් ඉන්නවා. නමුත්, ආණ්ඩුව කොච්චර උත්සාහ කළත් සයිටම් විරෝධි අරගලය දියාරු කරන එක කරන්න ලැබෙන්නේ නැති බවත් අපි අවධාරණය කරන්නම ඕනේ.

සයිටම් පක්ෂ ප්‍රචාරක ව්‍යාපෘතිය ඉතාම ශක්තිමත් සහ සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට තියෙනවා. සමාජ මාධ්‍ය ජාලවල සිට ප්‍රධාන ධාරාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය බොහෝමයක මේ සයිටම් හිතවාදී නැඹුරුව දැකිය හැකියි. ඒ වගේම සයිටම් සම්බන්ධයෙන් කෙරෙන සංවාද සඳහා බහුතරයක් මාධ්‍ විසින් තෝරා ගන්නා පුද්ගල පාර්ශවයන් දෙස බැලීමේදිත් සයිටම් විරෝධී මත දරන්නන්ට ලැබෙන අවකාශය ඉතාම සිමාසහිත බවයි අපේ නිරීක්ෂණය. ඒක ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ගෙනියන අරගලයට අභියෝගයක් නෙවෙයිද?

ජයලත්: ඔබ නිවැරදියි. සයිටම් එකට පක්ෂපාතීව දියත් වන මාධ්‍ය මෙහෙයුම මේ මොහොතෙදි ඉතාම ශක්තිමත් මෙන්ම ඉතාම සංවිධානාත්මකයි. ඒ වටා ගොනු වෙලා ඉන්නේ ඒ, ඒ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදින් පමණක් නෙමෙයි. අර මම මුලින් කියපු ඊනියා බුද්ධිමතුන්, සිවිල් සමාජ ක්‍රියාකාරින් කියන අයත් ඉන්නවා. මේක දියත් වෙන්නේ රාජ්‍ය අනුග්‍රය මැද. මේ ආණ්ඩු පත්කරන්න වේදිකා තනපු අයම තමයි සයිටම් පක්ෂපාති පිළත් නියෝජනය කරන්නේ. අනෙක් පැත්තෙන් මාධ්‍ය ආයතන කරන්නේ වෙළඳ පොල සබඳතා සහ අවශ්‍යතාවයට අනුව තමන්ගේ මාධ්‍ය මෙහෙයවන එකයි. සයිටම් පක්ෂපාතී මාධ්‍ය මෙහෙයුම තුළ එයට විරුද්ධ පාර්ශවයන්ට ලැබන අවකාශය ඉතාම සීමාසහිත බව ඇත්ත. නමුත් අපිට තියෙන ඉතාම සීමාසහිත අවස්ථාවන් තුළ පවා අපි මේ අරගලයට යුක්තිය ඉටු කරන්න, ඒ වෙනුවෙන් සමාජ මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ උත්සාහය අපි අත්හරින්නේ නැහැ. අපිට කලින් පරම්පරාවන් ජීවිත දීලා ආරක්‍ෂා කරපු අයිතියක් අනාගත පරම්පරාවන් වෙනුවෙන් රැකදෙන එක අපි හමුවේ තියෙන පැහැර හැරිය නොහැකි වගකීමක්.☐

© JDS