'මේක ජන ඝාතක අසමත් රාජ්‍යයක්' - මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සීමිත සාකච්ඡාවන් කොළඹ කේන්ද්‍රීයව මතු වෙමින් ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ගෙන් සැදුම්ලත් සුවිශේෂී තලයක් තුළ ය. නමුත් දකුණේ පහළ සහ අතරමැදි සමාජ පන්තීන් තුළ ඒ පිළිබඳ සාධනීය උද්‍යෝගයක් ජනිත කරන්නට යට කී සාකච්ඡා සමත් වී ඇති බවක් නොපෙනේ. රාජ්‍ය ප්‍රතිසංස්කරණ තමන්ගේ සාමූහික පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් සේ සළකන දෙමළ ජනයා අතර ඒ පිළිබඳ ඇති අවධානය ඊට වෙනස් එකකි.

යෝජිත ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ විසින් ලංකාවේ රාජ්‍ය ව්‍යුහය කවරාකර වෙනස්කමකට භාජනය කරනු ඇතිද?

"මට නම් හිතෙන්නේ මේ මොන දේ කරන්න ගියත් ඉතිහාසයේ හැමදාම සිදුවුණු දේ තමයි මේ දැනුත් සිදුවෙමින් තියෙන්නේ," මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා කියයි.

ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ 'වර්තමාන කතිකාව සහ දේශපාලන බලමුළු ගැන්වීම් ලිබරල්වාදී කණ්ඩායම් සහ අතිශය ජාතිවාදී විදිහට කල්පනා කරන කණ්ඩායම් අතර සන්ධානගත වීමකැයි' කල්පනා කරන හෙතෙම මෙසේ කියයි: 'මහානායක ස්වාමීන්වහන්සේලා කියනවා මේ වගේ දේවල් රටේ කරන්න දෙන්න බෑ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ, රටේ ඒකීයභාවය ආරක්ෂා වෙන්න ඕනේ වගේ දෙවල්...මේ අභියෝගය බාර ගන්න පුලුවන් රැඩිකල් නායකත්වයක් ලංකාවේ තාමත් බිහිවෙලා නැහැ කියන එකයි මගේ අදහස."

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ හා මානව විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කරන ප්‍රේමකුමාර ද සිල්වා, සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පාලක සභා සාමාජිකයෙකු වශයෙන් ද ක්‍රියා කරයි.

සටහන: කිත්සිරි විජේසිංහ


ණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ කතා බහ නැවතත් දේශපාලන සාකච්ඡාවන්ගේ ප්‍රධාන නිමිත්තක් බවට පත්වෙමින් තිබෙනවා. දශක කිහිපයක් තිස්සේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ගැන 'සිංහල සංවාදය' අරක්ගත්  ඒකීය - සන්ධීය විවාදයත්, කේන්ද්‍රය හා පරිවාරය අතර දේශපාලන බලය බෙදාගැනීම ගැන විවාදයත්, ආගමික හා අනාගමික රාජ්‍ය පිළිබඳ විවාදයත් දැන් ආයෙමත් මේ සාකච්ඡාවන්ගේ හරි මැදට ඇවිත් .  මේ යන සංවාදයන්ගේ පරාසය ගැනත්, පොදුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැනත් ඔබේ නිරීක්‍ෂණ මොනවාද?

මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා : ශ්‍රී ලාංකීය සමාජය දිහා බැලුවාම මූලිකවම අපිට පේන්න තියෙන එකක් තමයි  රාජ්‍යයේ ස්වරූපය පිළිබඳ යම් බරපතල සාකච්ඡාවක් සිදුවෙමින් තිබෙන බව. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍යයේ ස්වභාවය ගොඩනැගිය යුත්තේ කවරාකාරයෙන්ද, එය සිංහල බෞද්ධ අධිපතිවාදී රාජ්‍යයක් විය යුතු ද, එහෙමත් නැත්නම් බහු වාර්ගික, බහු සංස්කෘතික රාජ්‍යයක් ගොඩ නැගෙන්න ඕනෑ ද කියන දේවල් ගැන. මම හිතන්නේ ඒ සංවාදය නිදහස ලැබෙන්න කලින් ඉඳලම ඇති වුණු එකක්. අද දවසෙත් යම් තරමින් හෝ සිදුවෙමින් තිබෙන්නේ ඒ සාකච්ඡාවම තමයි. ඒ සංවාදයේ එක අදියරක් තමයි 1972 සහ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. නමුත් 1978 සිදුවුන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් පසුව දශක කිහිපයක් ගෙවී ගිහින් තිබුණත් සමාජීය, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ආර්ථිකමය කටයුතු පිළිබඳවත්  පුළුල් දැක්මක් සහිත ප්‍රතිසංස්කරණයන් සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමට තවමත් අපි අසමත්ව තිබෙනවා. 13 වන,18 වන සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් ඇති වුණත් ඒවා පිළිබඳව ගැඹුරු සමාජ කතිකාවක් තවමත් ඇති වෙලා නැහැයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා ඒ සංවාදයන් සහ ප්‍රතිසංස්කරණයන් සිදුවිය යුතුම එකක් කියලයි මම හිතන්නේ.

ජනවාර්ගික අර්බුදයට විසඳුමක් හොයන එක  තමයි අපි ඉදිරියේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නය. ඒකට විසඳුම් හොයන්න කියලා යම්, යම් අවස්ථාවන්වල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙනාව බවත් අපි දන්නවා. ඒ වගේම මංගල මුණසිංහ කමිටුව වැනි කමිටු ඇති කරමින් වෙනත් ආකාරයේ විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්නත් යම් උත්සාහයක් දැරුව අවස්ථාවනුත් තියෙනවා. කේන්ද්‍රයේ සිට පරිවාරය දක්වා යම් බලය බෙදා හැරීමක් පිළිබඳව සංවාදයක් ඇති වුණත් එ්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණේ ලංකාවේ බහුතරයක් දෙනා දැක්වු  විරෝධතාවයන් නිසා බවයි මම හිතන්නේ. ඒ නිසාම අපිට කිසිම අවස්ථාවක පුළුල් ප්‍රතිසංස්කරණයකට යන්න බැරි වුණා.

යුද්ධය අවසන් වුණාට පස්සේ ආයෙත් වතාවක් ඒ සම්බන්ධව යම් කිසි සංවාදයක් රට තුළ  ඇති වුණු බව සත්‍යයක්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරුවා. නව ව්‍යවස්ථා කෙටුම්පතක් සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම සඳහා විද්වත් කමිටුවක් පත් කෙරුවා. නමුත් තාමත් අපි ඉන්නේ එක තැන. ඒ කියන්නේ අපිට තවමත් බැරිවෙලා තියෙනවා මූලික සංවාද මට්ටමින් ඔබ්බට යන්න. රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව අපි පුළුල් හා විවෘත  සංවාදයක් ඇති කර ගැනීම වැදගත් කියලායි මම හිතන්නේ. ඒ කියන්නේ රාජ්‍යයේ කේන්ද්‍රීය බලය අපි කොහොමද පරිධිය කලාපයන් දක්වාම බෙදා හරින්නේ, මොන මොන තලවලින්ද බලය බෙදා හරින්නේ කියන එක ගැන අපි විවෘතව සාකච්ඡා කළ යුතුයි. ඒක වැදගත් කියලයි මම හිතන්නේ. අපි දන්න දෙයක් තමයි 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ පළාත් සභාවලට යම් කිසි බලතල ප්‍රමාණයක් හිමි වුණා. නමුත් මම හිතන්නේ අදට වැදගත් වෙන්නේ 13 වන සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදා හැරීමක්.එ

ඒ වගේම තමයි ලාංකීය රාජ්‍යය අනාගාමික විය යුතුද කියන එකත් යම් මට්ටමකින් මේ තුළම සංවාදයට ලක්වෙමින් තියෙනවා. නමුත් මේ සිදුවෙමින් තියෙන සාකච්ඡාවන් තුළ ප්‍රධාන අන්ත දෙකක් ගැන යමක් සඳහන් කරන්න මම කැමතියි. එයින් එකක් තමයි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කෙරෙන්නේ නම් එයින් සියළු ජනවර්ගයන්ට සාධාරණය ඉටුවිය යුතුයි කියන එක. ඒ වෙනුවෙන් යම් සමාජ-දේශපාලන මැදිහත් වීමක් කරන, එය සංවාදයට රැගෙන එන සමාජ කණ්ඩායම් ද සිටිනවා. අනෙක් අන්තය තමයි ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නේ නම් මුලිකවම එ්ක සිංහල බෞද්ධ මතවාදයට මෙන්ම සිංහල ජාතිකත්වයට  ප්‍රමුඛතාවය හිමිවිය යුතු එකක් විය යුතු බවට දරන මතය. මේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම්වල, බලවේගයන්වල ප්‍රධානතම තර්කය වන්නේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක්, අනෙක් ජාතීන් ජිවත් විය යුත්තේ ඒ තත්ත්වය අවබෝධ කොට ගෙනය කියන එක. මේක අධිපතිවාදි මතවාදයක්. මේ ධාරාවන් තමයි නිදහසින් පසු ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධානතම සමාජ ධරාවන් දෙක. මේ රටේ පාලන බලය විටින් විට හුවමාරු වුණේ මේ ධරාවන් දෙක නියෝජනය කරන, එසේත් නැත්නම් එය යම් තරමින් හෝ අනුමත කරන සමාජ, දේශපාලන කණ්ඩායම්වලටය කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. උදාහරණයක් විදිහට ගත්තොත්, 1994 දී චන්ද්‍රිකා  කුමාරණතුංග බලයට එන්නේ ජනවාර්ගික අර්බුදයට යම් විසඳුමක් ගේනවා කියලා පොරොන්දු වෙමින්. ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ කණ්ඩායම්, ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් එදා ඇගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කැප කිරීමක් කරපු බවත් අපි හැමෝම දන්න දෙයක්. නමුත් චන්ද්‍රිකා කුමාරණතුංගගේ රජයටත් රාජ්‍යයේ අධිපතිවාදි ස්වභාවය වෙනස් කරන්න බැරි වුණා. ඇත්තටම ඒ උත්සාහය පරාජයට පත් වුණා කියලයි මට හිතෙන්නේ. එයින් පසුව පාලන බලය සියතට ගන්නේ දැඩි ජාතිවාදී සමාජ බලවේගවලින් සැදුම්ලත්, ඔවුන්ගේ මැදිහත්වීම සහ ආශිර්වාදය සහිත පිරිසක්. මේකෙන්  අපිට පේනවා  ලංකාවේ පාලන බලය හුවමාරු වෙන්නේ කණ්ඩායම් දෙකක් අතරෙයි කියලා.

ජනවාර්ගික අර්බුදයට විසඳුමක් ලෙසත්, රාජ්‍ය බලය පරිවාරය සමග බෙදාගැනීම සඳහාත් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය පුළුල් ව්‍යවස්ථා සංශේධනයක් සිදුවිය යුතු යැයි ඔබ සඳහන් කරනු ලැබුවා. නමුත් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමට රජය විසින්ම පත් කළ විද්වත් කමිටු වාර්තාවෙන් පසු ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබුවේ ඒකීය රාජ්‍යයකින් තොර කිසිදු යෝජනාවලියක් පිළිගැනීමට හෝ පවත්වාගෙන යාමට ඉඩක් නැති බවයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවලියක් ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීමට කැපවුණු දේශපාලන බලාධිකාරය විසින් යටපත් කරන්නට නියමිත නම් ඊට විකල්ප යෝජනා ගෙන ඒමේ වලංගුතාවක් තියෙනවාද?

මහාචාර්ය සිල්වා: ඒක ඇත්ත. මොන දේ යෝජනා වුණත් අවසානයේ තීන්දු ගැනීමේ බලය තියෙන්නේ දේශපාලන නායකත්වයට කියන එක අපි දන්නවා. ඒක තමයි අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ඇත්ත තත්ත්වය. නමුත්  මම හිතන්නේ වර්තමානයේ මේ මතු වෙමින් තියෙන කතිකාව සහ දේශපාලන බලමුළු ගැන්වීම එක්තරා විදිහක ලිබරල්,  බහු ජාතික සහ බහු වාර්ගික ආගමික විදිහට  කල්පනා කරන කණ්ඩායම සහ අතිශය ජාතිවාදී විදිහට කල්පනා කරන කණ්ඩායම් අතර සන්ධානගත වීමක් කියලායි. අගමැති එක ස්ථාවරයක ඉන්න කොට ජනාධිපති ඉන්නේ තව ස්ථාවරයක. හැබැයි ජනාධිපතිවරයාගේ ස්ථාවරය තමයි ජාතිවාදී සිංහල බලමුළු ඉදිරියට තල්ලු කරන එක. එකෙන් පේනවා මේ සන්ධානගත වෙලා ඉන්නේ එකිනෙකට පෑහෙන්නේ නැති දෙපිරිසක් කියලා. නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් මහජන අදහස් විමසලා, කමිටු පත්කරලා මොන දේ කෙරුවත් ඒක පහසුවෙන් කරගන්න බැරි තත්ත්වයක් තමයි පෙන්නුම් කෙරෙන්නේ. ඒකට හේතුව තමයි බෞද්ධ ජාතිකවාදී කණ්ඩායම් දක්වන විරෝධය. පහුගිය දවස්වල අපි දැක්කා මහානායක ස්වාමීන්වහන්සේලා කියනවා මේ වගේ දේවල් රටේ කරන්න දෙන්න බෑ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ, රටේ ඒකීයභාවය ආරක්ෂා වෙන්න ඕනේ වගේ දෙවල්. ඔවුන් මූලික අනතුරු ඇඟවීම කරලා තියෙනවා. මට නම් හිතෙන්නේ මේ මොන දේ කරන්න ගියත් ඉතිහාසයේ හැමදාම සිදුවුණු දේ තමයි මේ දැනුත් සිදුවෙමින් තියෙන්නේ. මේ අභියෝගය බාර ගන්න පුලුවන් රැඩිකල් නායකත්වයක් ලංකාවේ තාමත් බිහිවෙලා නැහැ කියන එකයි මගේ අදහස.

ජනාධිපතිවරයා සිංහල බෞද්ධ මතවාදය සහිත කණ්ඩායම නියෝජනය කරන විට අගමැතිවරයා එයට වෙනස් මතවාදයක් වෙනුවෙන් පෙනී සිටින බව ඔබේ ප්‍රකාශ කළා. නමුත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාව සිටියදි එක්සත් ජාතික පක්ෂය සකස් කළ ව්‍යවස්ථා කෙටුම්පත් ලියැවිල්ලකට අනුව බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙන බවට සහතික කොට තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ ප්‍රධානීන්ද මෙයට පෙර කියා සිටියේ ව්‍යවස්ථාව තුළ තව දුරටත් බුද්ධාගමට හිමි තැන නොවෙනස්ව පවතිනු ඇති බවටයි. ඒ අනුව බැලුවම, අවසාන වටයේදී මේ කියන දෙපාර්ශවයම පෙනී සිටින්නේ නාමික ප්‍රතිසංස්කරණ සහිතව සිංහල බෞද්ධ අධිපතිවාදී රාජ්‍යය තව දුරටත් චිරස්ථායී කරලා පවත්වාගෙන යන එක නෙවෙයිද?

මහාචාර්ය සිල්වා: මේක වැදගත් ප්‍රශ්නයක්. බටහිර ලිබරල් චින්තන ධාරාව ඇතුලේ  කල්පනා කරන කොට අපිට හිතන්න පුලුවන්  අනාගාමික රාජ්‍යයක් විය යුතුයි කියන එක අත්‍යාවශ්‍ය කාරණාවක් කියලා. නමුත් ලංකාව වගේ රටක අනාගාමික රාජ්‍යයක් ඇති කරන එක හරිම දුෂ්කර කාර්යයක් කියලයි මම හිතන්නේ. අපි කැමති අනාගාමික රාජ්‍යයකට තමයි. නමුත් ඉතිහාසයේ සිට මේ දක්වාම ලංකාවේ රාජ්‍ය පාලනය සහ ආගම අතර තියෙන සම්බන්ධය කඩා බිඳ දාන්න කාටවත් බැරි වුණා. දේශපාලනඥයෝ හරිම දක්ෂයි තමන්ගේ දේශපාලනය වෙනුවෙන්  ආගම පාවිච්චි කරන්න. ලංකාවේ ආගමට දේශපාලනය අවශ්‍යයි වගේම තමයි දේශපාලනයටත් ආගම අවශ්‍යයි. එක, එක කතන්දර කිවුවට මේ දෙගොල්ලොම කැමති නෑ මේ සම්බන්ධය කඩාගන්න. මම හිතන්න් මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නය ප්‍රශ්නය නියම බුදු දහමක් රටේ ක්‍රියාත්මක වෙනවාද කියන එකයි. ලංකාවේ බුදු දහම කියන්නේ ඒකේ අයිතිය එක ජාතියකට ලඝු කරලා අනෙක් සියල්ලන්ම තමන්ට වඩා යටත්, පහත් කියලා කල්පනා කරන එකයි, වැඩ කරන එකයි නේද?

2009 මැයි මාසයෙන් පසු දෙමළ ජාතික දේශපාලනයේ අරමුණු හා විභවතාවන් වෙනස්වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළා. සිංහල කේන්ද්‍රීය ඒකීය රාජ්‍යය මගහැර යා නොහැකි යථාර්ථයක් වශයෙන් දෙමළ ජනයා භාරගනු ඇතැයි කියන විශ්වාසයත් ඊට ඇතුළත්. නමුත් පසුගිය හත් වසර තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ දේශපාලන ඉල්ලීම්වල සාරය විසින් හඟවන්නේ අවම වශයෙන් ස්වාධිපත්‍ය බෙදාගැනීම - එහෙමත් නැතිනම් සභාග ස්වාධිපත්‍යය (shared sovereignty) පිළිබඳ ඉල්ලීම අතහරින්නට දෙමළ ජනයා සූදානම් නැති බව නේද?

මහාචාර්ය සිල්වා: මේක තමයි තියෙන ප්‍රශ්නය. ස්වාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්නයේ මූලය ලංකාව යටත් විජිත රාජ්‍යයක් වශයෙන් පැවතීම කියලායි මට හිතෙන්නේ. මගේ අදහස තමයි පූර්ව යටත් විජිත සමයෙදි ලංකාවේ තදබල විදිහට ජනවාර්ගික ප්‍රශ්න තිබුණේ නෑ කියන එක.  උදාහරණයක් හැටියට ගත්තොත් අපි දන්නවා ලංකාවේ රාජාණ්ඩු යුගවල, විශේෂයෙන්ම කන්ද උඩරට පාලන සමයේදි පවා රජවරු තමන්ගේ යටත් වැසියන්ට සැළකුවේ ජනවාර්ගික පදනමින් නොවන බව. රජවරු කතා කෙරුවේ රට වැසියන්ට මිසක් සිංහල, දෙමළ හෝ මුස්ලිම් යනාදී අනන්‍යතාවන් මුල් කරගෙන නෙමෙයි. ඒ අනන්‍යතාවයන් සහිත පාලනයක් තදබල විදිහට මතු වෙන්නෙම යටත් විජිත පාලන සමයෙදියි. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි මේ අනන්‍යතා දේශපාලනයෙන් පිට පැනලා ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. මිනිසුන්ට තමන්ගේ භාෂාව, සංස්කෘතිය ආදිය පිළිබඳව විවිධ අනන්‍යතාවන් තියෙන්න පුලුවන්. නමුත් ගැටළුව තියෙන්නේ අපි අටුවන් බැහැ ගත්තු අනන්‍යතාවන් එක්ක කටයුතු කරන එකයි. ඒ තුළ රාජ්‍යය හුරුවෙලා තියෙනවා මිනිසුන්ගේ ආගම, ජාතිය විතරක් නෙමෙයි,  කුලය මත පවා පදනම්ව එකිනෙකාට වෙනස් ලෙස සැළකීම රාජ්‍ය පිළිවෙතක් කරගන්න. මෙවැනි අඩු සැළකිලි රාජ්‍යයෙන් ලැබෙන කොට මිනිස්සු කල්පනා කරනවා පවතින රාජ්‍යයෙන් වෙන් වීම හරි වෙනත් රජ්‍යයක් ගොඩ නැගීම හරි අත්‍යවශ්‍යයි කියලා.

1920 දි විතර ජාතික  අනන්‍යතාවය  දේශපාලනය නිසා විනාශ වුණා. ලංකා ජාතික සංගමය වගේ ව්‍යාපාර හදාගෙන එදා හිටපු දේශපාලන නායකයෝ යම් ගමනක් යන්න උත්සහ කෙරුවා. අවාසනාවකට වගේ එක බිඳ වැටුනා. අද වෙලා තියෙන්නේ මොකක්ද? දේශපාලනඥයෝ තමන්ගේ ජාතියට විතරක් කතා කරන එක නෙමෙයිද? ක්‍ෂේත්‍ර පර්යේෂණවලින් අපිට පෙනී ගිහින් තියෙනවා රාජ්‍යය රටේ පුරවැසියන්ව රැකබලා ගන්නේ නැති බව. මිනිස්සු ඉන්නේ හරිම කලකිරීමකින්. ඇයි තරුණයෝ බෝට්ටුවල නැගලා රටින් පැනලා යන්නේ? රාජ්‍යය අසමත්වෙලා තියෙනවා තරුණයන්ව රැකබලා ගන්න. මේ ප්‍රශ්නය ජාති බේදයන් තොරව හැමෝටම පොදු එකක්. අපි හිතනවා නම් මේ ප්‍රශ්නය වාර්ගික ප්‍රශ්නයක් හැටියට අරන් විසඳන්න පුලුවන්  කියලා කවදාවත්ම අපිට විසඳුමක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.

තියෙන අනෙක් ප්‍රශ්නය තමයි ලංකාවේ රාජ්‍යය තුළ කුලය පදනම්ව සිදුකෙරෙන වෙනස් කම්. අපි කරලා තියෙන සමාජ විද්‍යාත්මක පර්යේෂණවලින් මේ කාරණාව ඉතා පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. සමහර කුල කණ්ඩායම්වලට සමාජය ඉදිරියේ කිසිම හව්හරණක් නෑ. කිසිම දේශපාලනඥයෙක් මේ ප්‍රශ්නය ගැන කතා කරන්නෙත් නෑ. සමහර ඉස්කෝලවලට පහළ යැයි සම්මත කුලවල ළමයිව භාර ගන්නේ නෑ. ලංකාවේ තියෙන්නේ ඉතාම පසුගාමී, වැඩවසම් සමජ ක්‍රමයක්. අපිව යටත් විජිත පාලන කාලේදි ජනවර්ග හැටියට බෙදා වෙන්කරලා දැම්මා. අපි තාමත් හිතන්නේ සහ වැඩ කරන්නේ  ඒ  මානසිකත්වයෙන්. මේ පවතින රාජ්‍යයෙන් සෑම පුද්ගලයෙකුටම අසාධාරණයක් - අයුක්තියක් සිදුවෙනවා තමයි.

අනෙක් අතින් දෙමළ සමාජය තුළම කුලය නිසා මොන තරම් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද? අවතැන් කඳවුරුවල ඉන්න දෙමළ ජාතිකයන් කවුද? ඉහළ කුලවල දෙමළ ප්‍රභූන් කවුරුහරි මේ අවතැන් කඳවුරුවල ඉන්නවද? නෑ. ප්‍රභූ දෙමළ අයට පහළ පන්තියේ පීඩිත දෙමළ ජනයා ගැන කැක්කුමක් නැහැ. මෙතන තියෙන්නේ ජාතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි කියන එකයි මම කියන්නේ. මෙච්චර පසුගාමි වැඩවසම් සමාජ ක්‍රමයක් තියෙන රටක ඒවට විසඳුම් දෙන්නේ නැතිව යටත් විජිතවාදීන් නිර්මාණය කරපු ජනවාර්ගික ප්‍රශ්නවල හිරවෙලා ඉන්න එකද කරන්න තියෙන්නේ? මෙතන දෙමළ මිනිස්සුන්ට කියලා වෙනම ප්‍රශ්නයක් හරි අසාධාරණයක් හරි වෙනවා කියන්න බෑ. රාජ්‍යය තුළ හැමෝටම අසාධාරණයක්, අයුක්තියක් වෙනවා. සුළු ජාතීන්ට ප්‍රශ්න නැතුව නෙමෙයි. නමුත් පොදුවේ තියෙන ප්‍රශ්නය එක හා සමානයි.

මෙතන තියෙන්නේ ප්‍රභූ  දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක්. ඒ ප්‍රභූ දේශපාලනයේ නොහැකියාව සහ වගකීම් විරහිතභාවය නිසා තමයි 1958 දි මේ රටේ ජන ඝාතනයක් සිද්ධ වුණේ. ඒ වගේම 71, 72 සහ 78 කාලවලදි ජන ඝාතන සිද්ධ වුණේත්, 88- 89 දි මිනිස් සංහාරයන් සිද්ධ වුණේත් ඒ නිසායි. මේක ජන ඝාතන රාජ්‍යයක් නෙවෙයිද? මේ වර්ගයේ දේශපාලකයන් තෝරාපත් කර යවන රටේ පුරවැසියනුත් යම් පමණකට මේ ප්‍රශ්නයට වගකිව යුතු බව ඇත්ත. දකුණේදීත්, උතුරේදීත් රටේ තරුණයෝ ලක්ෂ ගාණක් මරලා දැම්මා.  තරුණයෝ ආයුධ අතට ගත්තේ රාජ්‍යයෙන් සිදුවුණු අසාධාරණයන්ට විරුද්ධවයි. උතුරේ තරුණයන්ට තේරුණා දකුණේ පාලනයෙන් තමන්ට යහපතක් සිද්ධ නොකරන බව. මේ තරම් අපරාධ සිද්ධ වුණු රටක කොයි දේශපාලනඥයාද තමන් අතින් සිදුවුණු වැරදි පිළිබඳව පසුතැවිල්ල ප්‍රකාශ කරලා විවෘත ස්වයං විවේචනයක් කෙරුවේ? ඒ නිසායි මම කියන්නේ මේක වගකීම් විරහිත අසාර්ථක රාජ්‍යයක් බව.

රාජ්‍ය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳ දකුණේ සංවාදයේ සීමාවන් ඉකුත් හැත්තෑ වසර තුළම තීරණය කර තිබෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී බලවේග විසින්. එහි ප්‍රතිවිපාක වශයෙන් සිංහල-බෞද්ධ නොවන අනන්‍යතා වඩ වඩාත් ආන්තීකරණයට ලක් වී තිබෙනවා. 2009 මැයි මාසයෙන් පසු මේ කියන සිංහල බෞද්ධ ජාතිකවාදී ධාරාව වඩාත් විසිරුණු ප්‍රචණ්ඩ ස්වරූපයක් ගැනීමට හේතු වශයෙන් ඔබ දකින්නේ මොනවාද?

මහාචාර්ය සිල්වා: මේ සිංහල බෞද්ධ ජාතිකවාදය ඇතුලේ ෆෝබියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ ගොල්ලෝ ඉන්නේ යම් කිසි භීතිකාවකින්. ඒ භීතිකාවේ පදනම තමයි සිංහල අයට තියෙන්නේ මේ රට විතරයි, අනාධිමත් කාලෙක ඉඳලා මේ රට යම් වැදගත් ඉතිහාසයක් තිබුණ රටක් ආදි වශයෙන් වන විශ්වාසයන්. ඒකත් එක්ක මතු වෙන භීතිකාව තමයි රට ඇතුලේ මහා ජාතිය කියලා හිතුවට ගෝලීයව ගත්තාම අපි සුළුතරයක් කියන එක. තමන්ගේ රට කවුරු හරි අත්පත් කරගනිවි කියන භීතිකාවෙන් ඔවුන් පෙළෙනවා. එහෙම වුණොත් තමන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙයි කියන එක උලුප්පා පෙන්නමින් සිංහල ජාතික උන්මාදයක් රටේ ඇති කරමින් අනෙක් අයවත් මේක ඇතුළට ගන්න බලන්නේ ඒ නිසායි. ඒක ඒ ගොල්ලන්ගේ කතිකාව තුළත්, ක්‍රියාකාරිත්වය තුළත් මතුවෙනවා. ඒ නිසා තමයි අනෙකුත් ජනවර්ගවලට එරෙහිව ප්‍රචණ්ඩ ස්වරූපයකින් හැසිරෙන්නේ. මේක අධිපතිවාදී කතිකාවක් එක්ක මතු වෙන දෙයක්.

මේ සිංහල බෞද්ධ අධිපතිවාදි කතිකාවට එරෙහිව පසමිතුරු ආකල්පයෙන් කටයුතු කරලා එය පරාජය කරන්න පුලුවන් කියලා මම හිතන්නේ නැහැ.  සාමය සහ සංහිඳියාව ගැන කතා කරන සිවිල් සමාජ කණ්ඩායම්වල ඒ කතිකාවන් යටපත් කරලා දාන්න  මේ සිංහල බෞද්ධ ජාතිකවාදි කතිකාවට පුලුවන් වුණා. සමාජයෙන් ලැබෙන පිළිගැනීම හෝ තමන් විසින්ම ලබා ගත් නායකත්වය හෝ නැතිවෙනවාට ඔවුන් කැමති නැහැ. ඒක තව දුරටත් තමන් සන්තකයේ තියාගන්න කරන්න පුලුවන් ඕනෑම දෙයක් කරන්න මේ සිංහල බෞද්ධ අධිපතිවාදි කණ්ඩායම සුදානම් කියන එකයි මගේ තක්සේරුව.

මම මුලින් කියපු විදිහටම මේ තත්ත්වය පරාජය කරන්න වෙන්නේ ඌරගේ මාළු ඌරගේ පිටෙම තියලා කපන න්‍යායෙන්. මොකද පිටින් ගේන හැම විසඳුමක්ම මේ අය දකින්ගේ  බටහිර කුමන්ත්‍රණ හරි අධිරාජ්‍යවාදි මැදිහත්වීම් හරි හැටියටයි. අඩුම තරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ගැන කතා කෙරුවත් මේ අය කියන්නේ ඒකත් අධිරාජ්‍යවාදි බටහිර කුමණ්ත්‍රණයක් කියලායි. ඒ නිසා මේ අයත් එක්ක සංවාදය පටන් ගන්න වෙන්නේ ඒගොල්ලන්ගේ ග්‍රවුන්ඩ් එකට ගිහින්. මෙතනදි රටේ බුද්ධිමතුන් කියන අයට ලොකු වැඩක් කරන්න පුලුවන්. හැබැයි ඒක කරන්න වෙන්නේ ලිබරල් අදහස් එක්ක නෙමෙයි.

ඉහත ප්‍රශ්නයටම සම්බන්ධ දෙවැනි ප්‍රශ්නයක් තිබෙනවා. දකුණේ තරුණ නැගිටීම මර්දනය කළ 1990 සිට 'සිහල උරුමය' බිහි වූ 2000 අප්‍රේල් දක්වා සිංහල බෞද්ධ ජාතිකවාදය ගමන් කරමින් සිටියේ වඩාත් මධ්‍යගත සංවිධානමය අවදියක් කරා. එතැන් සිට ගත වූ පස් වසර කිසියම් ප්‍රමාණයකට ඔවුන්ගේ සංවිධානමය තහවුරු වීම හා අවශේෂ දේශපාලන බලවේග තුළට කාන්දු වීම සඳහා යොදා ගැනුණා. නමුත් 2009න් පසු සිංහල - බෞද්ධ ජාතිකවාදය බොදු බල සේනා වැනි සංවිධාන හරහා වඩාත් කළහකාරී හා ප්‍රචණ්ඩ අදියරකට ගමන් කළත් කලින් තිබූ මධ්‍යගත දේශපාලන ව්‍යුහයන් වැහැරී යාමක් දැකිය හැකියි. මේ විපර්යාසයන්ට ඔබ දකින හේතු මොනවාද?

මහාචාර්ය සිල්වා: ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. සිහල උරුමය කියන එක පසුකාලීනව ජාතික හෙළ උරුමය බවට පත්වෙලා, චම්පික රණවකට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් වගේම උදය ගම්මන්පිල යටතේ 'පිවිතුරු හෙළ උරුමය' යනුවෙනුත්  විවිධ කණ්ඩායම්වලට කැඩී ගොස් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔවුන් විසින් පෝෂණය කරපු විවිධ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අද වන විට විවිධ කණ්ඩායම් හදාගෙන හිංසාකාරී ආකාරයට කටයුතු කරන විදියත් අපිට පේනවා. නමුත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය සිංහල බෞද්ධ ජාතිකවාදය දුර්වල කරන්න හේතු වෙනවද කියන එක අපි විමසා බැලිය යුතුයි. බැලු බැල්මට එහෙම හිතෙන්න පුලුවන්. රාවණා බලය, බොදුබල සේනා ඇතුළු මේ වර්ගයේ සංවිධාන අතර යම්, යම් ගැටුම් පේන්න තිබුණත්, ඔබ කලින් මතු කරපු ස්වාධිපත්‍ය හෝ ඒකීය රාජ්‍ය සංකල්පය මුල්කරගත් ගැටලු මතු වුණ අවස්ථාවකදි ඔය හැම කණ්ඩායමක්ම එකට හිට ගන්නවා. එහෙමත් නැත්නම් එකම අරමුණක් වෙනුවෙන් විවිධ තලවල, විවිධ පෙරමුණුවල ඒ අයට වැඩ කරන්න පුලුවන්. චම්පික රණවකගේ දේශපාලනය කැරකෙන්නෙත් ඔය තත්ත්වය තුළයි. චම්පික රණවක දැන් මොන විග්‍රහ කෙරුවත් අවස්ථාවක් ආවොත් එයාට පුලුවන් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. එයාගේ දෙශපාලන  ඡන්ද පදනම රැකිලා තියෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදි  මධ්‍යම පාන්තික අය මතයි. මොන තත්ත්වයක් යටතේවත් තමන්ගේ ඡන්ද පදනම නැතිකර ගන්න රණවක වැනි කෙනෙක් කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒ නිසා දකුණේ දේශපාලන පෙළ ගැස්ම දිහා බලන කොට අපිට දිනන්න අමාරුම එකක් තමයි ඔය ප්‍රශ්නය.☐

© JDS