'මැතිවරණයේදි වැදගත් වෙන්නේ දෙමළ ජනයා දක්වන ප්‍රතිචාරයයි' - ආචාර්ය කළණ සේනාරත්න

අගෝස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම් දැන් අවසාන වෙමින් තිබේ. පැරණි බල හවුල් අතර අභිනව සන්ධානයන් කෙසේ නිර්මාණය වනු ඇතිද යන්න ඉදිරි සතිය තුළ තීරණය වීමට නියමිත ය. එකිනෙකට වෙනස් අභිලාෂයන් සහ ප්‍රමුඛතා පෙරටු කොටගත් උතුරේත්, දකුණේත් ජනයා හමුවේ 17 වැනිදායින් පසු නිර්මාණය වන යථාර්ථයන් කවරේද? දැනටමත් තීව්‍රව ගැඹුරුවන දේශපාලන අර්බුදය 17 වැනිදායින් පසු කවර දිශානතීන් කරා වර්ධනය වනු ඇත්තේද?

සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පර්යේෂකයෙකු වශයෙන් කටයුතු කරන ආචාර්ය කළණ සේනාරත්න සමඟ JDS කළ සංවාදයට පිටුබල සැපයූ හේතු කාරණා නිර්මාණය වූයේ ඉහත ගැටළුවලිනි.  ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සහ හොං කොං සරසවියේ උගත් ආචාරය සේනාරත්න, විශේෂයෙන්ම සිංහල සහ දෙමළ ජාතිකවාදය පිළිබඳවත්, විවේචනාත්මක අන්තර්ජාතික නීති න්‍යාය පිළිබඳවත් වන පර්යේෂණයන් කෙරෙහි උනන්දුවක් දක්වයි.

"ජනවාරි මාසයේ පැවති ජනාධිපතිවරණය වුණත්, බලයේ සිටි පුද්ගලයාගේ වෙනස් වීම හැරුණු  විට සැළකිය යුතු තරමේ සාධනීය ප්‍රතිවිපාක අත්කර දෙන ගැඹුරු විපර්යාසයක් වශයෙන් මම දකින්නේ නැහැ"යි ඔහු කියයි.

මහින්ද රාජපක්‍ෂ පරාජය වුවද, ඔහු නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය තවදුරටත් නිරුපද්‍රිතව ගලායන බව පෙන්වා දෙන ඔහු මැතිවරණය හරහා ප්‍රකාශ වන දෙමළ ජනයාගේ අභිලාෂය ලංකාවේ ඉදිරි දේශපාලනය පිළිබඳ වඩා වැදගත් ඇඟවුම් දනවනු ඇති බව සිතයි. 

සටහන: කිත්සිරි විජේසිංහ


මීට වසර 15කට හෝ 20කට කලින් ඔබ අයත්වන සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (SSA) වැනි සංවිධාන අදට සාපේක්‍ෂව ප්‍රධාන ධාරාවේ දේශපාලනයට සැළකිය යුතු බලපෑමක් කරන්නට සමත් වුණා වගේම,ජනමත නිර්මාණය කිරිමේදීත් සැළකිය යුතු දායකත්වයක් දැක්වු බව අපට මතකයි. 1994 පොදුජන එක්සත් පෙරමුණේ ජය සහතික කළ මැතිවරණ ව්‍යාපාරය මීට එක් උදාහරණයක්. නමුත් මේ වන විට එවැනි සංවිධාන දේශපාලනයේත්,මතවාදි ක්‍රියාකාරිත්වයේත් පරිවාරයට තල්ලු වී ඇත්තේ ඇයි?

කළණ: ඇත්තෙන්ම ඔබ අහපු ප්‍රශ්නයම මීට පෙර අවස්ථාවක මම මහාචාර්ය ජයදේව උයන්ගොඩගෙනුත් විමසා තිබෙනවා. ඔහු 1994 මැතිවරණයෙන් පසුව චන්ද්‍රිකා කුමාරණතුංග රජය එක්ක ඉතාම සමීපව ගණුදෙනු කරපු කෙනෙක්. නමුත් මහාචාර්ය උයන්ගොඩ පසු කාලීනව තේරුම් ගෙන තිබුණා මේ හේතුවෙන් තමන් එක්තරා ආකාරයකින් දේශපාලන ගැත්තෙක් වීමට ඉඩ ඇති බව. එසේම සිවිල් සමාජයේ ඇතැම් පුද්ගලයන් සිතන ආකාරයට පවතින තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීම ලෙහෙසි පහසු කාර්යක් නොවන බවටත් ඔහු තේරුම් ගෙන තිබුණා. මා සිතන්නේ එම අත්දැකීම් එක්ක විය හැකියි මහාචාර්ය උයන්ගොඩ වැනි පුද්ගලයන් දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් යම් තරමකට ඈත්ව, දුරස්ථව  කටයුතු කරන්න තීරණය කරන්නේ.

සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ සමාජිකයෙක් හැටියට වර්තමානයේ මැදිහත් වෙමින් සිටින, එසේම යම් දායකත්වයක් ලබා දෙන වැඩ සටහන් සම්බන්ධව  යම් අදහසක් ප්‍රකාශ කරන්න මෙතනදී මම කැමතියි. ඇත්තෙන්ම SSA කියන්නේ දේශපාලන ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් සිවිල් සමාජයට මැදිහත්වීම් කරන අනෙකුත් සංවිධානයන්ට වඩා තරමක් වෙනස් ආයතනයක්. අපි හැම විටම උත්සාහ කරන්නේ කිසිදු පාර්ශවයක මැදිහත්කරුවකු හෝ පංගුකරුවෙකු නොවී ස්වාධීනව කටයුතු කරන්නයි. කිසිම අවස්ථාවක අපි ඇතැම් සිවිල් සංවිධාන වගේ  පිල් බෙදිලා, එහෙම නැත්නම් දේශපාලන පක්ෂ එක්ක අවබෝධතා ගිවිසුම් අත්සන් කරලා වැඩ කරන්නේ නැහැ. අපේ මතවාදයන්, අදහස් වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් යම්, යම් ප්‍රකාශන මාධ්‍යයන් අපි උපයෝගි කොට ගන්නවා. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති SSA ගැන දන්න  බොහෝ දෙනෙකුන් කියා සිටිනනේ මේ වන විට SSA එක ප්‍රධාන ධාරාවේ කටයුතු නොකරන බව.

මේකට ඒක හේතුවක් තමයි, මම කලින් කියපු, '94 සිට 2000 දක්වා ලබපු අත්දැකීම්. බොහෝමයක් සාමාජිකයන්ට ඒ ගැන අඩු වැඩි වශයෙන් යම්, යම් අත්දැකීම් තියෙනවා. හැබැයි මහාචාර්ය උයන්ගොඩ වැනි පුද්ගලයන් එක් දේශපාලන පක්‍ෂයකට ලැදිව හෝ යම් කිසි ආණ්ඩුවකට උපකාරී වන අයුරින් කටයුතු නොකළත් පසුගිය කාලය මුළුල්ලේම ඔහුගේ සමාජ මැදිහත්වීම, දැනුම බෙදාහැරීම ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. එහි යම් වර්ධනයක් අපි දුටුවා පසුගිය දෙසැම්බර් සිට අප්‍රේල් මාසය අතර කාලය තුළ.

අද බොහෝමයක් සිවිල් සංවිධාන යම් වැඩ කොටසක් කරමින් සිටිනවා වගේම ඔවුන්ගේ අනන්‍යතාවය මතුවෙන ක්‍රියාකාරකම්වලත් නිරතව සිටිනවා. අපි 'රාජපක්ෂ රෙජීමයක්' ගැන කතා කරනවා. නමුත් ලංකාවේ සිවිල් සංවිධාන කියන්නේත් එක්තරා විදිහක රෙජීමයක්. බොහෝමයක් සංවිධාන කටයුතු කරන්නේ දේශපාලන අවශ්‍යතාවයන් මතයි. නමුත් සමස්තයක් ලෙස ගත්විට අප කිසිම පිල් බෙදීමක නැති බව තමයි කියන්න වෙන්නෙ.

සෑම මැතිවරණයක්ම අතිශය 'තීරණාත්මක' එකක් විදිහට සළකා මහජනයා අතර නොගැඹුරු උද්වේගයක් ඇවිලවීම සාමාන්‍යයෙන් ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ පොදු ලක්‍ෂණයක්. ඒඅනුව යමින්  දැන් ඇතැම් පිරිස් කල්පනා කරන ආකාරයට ලංකාව යළිත් වතාවක් මේ ආකාරයේ 'තීරණාත්මක මැතිවණයකට' මුහුණ දෙන්න නියමිතයි. මේ කියන ‘තීරණාත්මක මැතිවරණය'ට සහභාගි වන්නේත් පැරණි පිළිවෙත් පෙරටු කොටගත් කලින් පැවති මැතිවරණයන් ජයගත් හෝ පරාජය වූ පැරණි දේශපාලන බලවේගයන්මයි. ඒ අර්ථයෙන් බැලුවාම මේ මැතිවරණය කෙතරම් දුරකට 'තීරණාත්මක' කියලාද ඔබ සිතන්නේද?

කළණ: මේ මැතිවරණය හැමෝම කියන ආකාරයේ තීරණාත්මක මැතිවරණයක් ද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්. මට හිතෙන්නේ මිනිස්සු එහෙම කියන්නේ මැතිවරණය තමන්ට දැනෙන ආකාරයට. බහුතරයක් පුරුදු වෙලා ඉන්නේ පැවැත්වෙන සෑම මැතිවරණයක් ගැනම ඔය ආකාරයට සිතන්න තමයි. 'රට ගොඩගන්න තියෙන අවසන් අවස්ථාව තමයි මේක, එනිසා එය පැහැර නොහැරිය යුතුයි' දෙයක් වැනි අදහස් තමයි මෙයින් ඔවුන් කියා සිටින්නේ. නමුත් මට නම් එය පිළිගන්න තරමක් අපහසුයි.

ඇත්තෙන්ම මේ අවුරුද්දේ ජනවාරි සිදුවු දෙය මා අර්ථ කථනය කරන්නේ එය සුළු දේශපාලන බල හුවමාරුවක්  මිසක් වෙනත් දෙයක් ලෙස නොවෙයි. එනිසා මේ මැතිවරණයෙනුත්  සිදුවෙන්නේ පවතින ආණ්ඩුව හා සමාන තවත් එවැනිම එකක් පිහිටුවීමට උත්සාහ දැරීමයි. ඒ කියන්නෙ එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක්, ආසන සංඛ්‍යාවක් හිමි ආණඩුවක් ඇති වීමයි. එවිට විපක්ෂය කියා අපි හඳුන්වන්නේ කාවද? දැන් විපක්ෂය නියෝජනය කරන පිරිසට අමතරව මහින්ද රාජපක්ෂත් විපක්ෂයට එකතු වේවි. මෙතන දි ඇත්තෙන්ම මේ ප්‍රධාන පක්ෂ දෙකේ මතවාදී වශයෙන් ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. උදාහරණයක් ලෙස, මහින්ද රාජපක්ෂ තම දේශපාලන ව්‍යාපාරය තුළ  'ඒකීය රටක්' වෙනුවෙන් කෙළින්ම පෙනි සිටිනවා. නමුත් රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ තමන් 'ඒකීය රාජ්‍ය විශ්වාස කරන' බවයි. අපිට මතුපිටට පෙනෙන්නේ මෙවැනි වෙනසක් විතරයි. ඉදිරි මැතිවරණයේදි කවර පාර්ශවයක් බලයට පත්වුනත් දේශපාලනිකව මහා පෙරළියක් රටේ සිදුවෙන්නේ නැති බව අපි තේරුම් ගත යුතුයි. ඒ අර්ථයෙන් මෙය අවසන් අවස්ථාව හෝ තීරණාත්මක අවස්ථාව හෝ නොවෙයි. නමුත් මේ මැතිවරණය තීරණාත්මක සහ හොඳම මැතිවරණයක් වෙනවාද, නැද්ද යන්න තීරණය කළ හැක්කේ නම් රටේ සංකීර්ණම ප්‍රශ්නය සම්බන්ධයෙන් බලයට පත්වන රජයක් අනුගමනය කරන්නේ කුමන පිළිවෙතක්ද කියන එක සැළකිල්ලට ගැනීමෙන් පමණයි.

රාජපක්ෂ කෙනෙක් ගෙදර යැවු පලියට මේක හොඳම සහ එකම අවස්ථාව වෙන්නේ නැහැ. ඔහුගෙන් තොර ලෝකෙක සියළු දේ යහපත් අකාරයෙන් සිදුවනවාය, සියළු දෙනාට සමාන අයිතිවාසිකම් ලැබෙනවාය කියන අදහසනම් ඇත්තටම පිළිගන්න හැකි දෙයක් නොවෙයි.

අවි ගැටුම් නිමාවී සය වසරකට පසු  එළඹුණ මේ පාර්ලිමේන්තු මැතිවරණය විසින් පෙන්නුම් කරන්නෙත්, තිස් වසරක අවි ගැටුමට තුඩු දුන් හැට වසරක දේශපාලන අර්බුදය තිබුණාටත් වඩා ගැඹුරු වෙමින් පවතින බවයි. උදාහරණයක් ලෙස අතුරුදහන්වුවන්ගේ සහ දේශපාලන රැඳවියන්ගේ ප්‍රශ්න හැරුණු කොට, මැතිවරණයේදී ඉදිරිපත් කර ඇති දෙමළ ජනයාගේ ඉල්ලීම් විසින් තවදුරටත් අඩු වැඩි වශයෙන් පරාවර්ථනය කෙරෙන්නේ එක්කෝ ජාතික සමානත්වය සඳහා ඉල්ලීමයි. එසේත් නැතිනම් වෙන්ව ජීවත්වීමට ඇති අභිලාෂයයි. අනෙක් අතින් සිංහල දේශපාලනය භ්‍රමණය වෙමින් තිබෙන්නේ බලය නොබෙදීම සහ ඒකීය රාජ්‍ය ව්‍යුහය වඩාත් සුරක්ෂිත කිරිම ගැන අවධාරණයන් වටායි. අපි අලුත් වටයකින් ගමන් කරමින් සිටින්නේ පරණ තැනටමද?

කළණ: ඔව්, මම හිතන්නේ ලොකු වෙනසකින් තොරව අඛණ්ඩව සිදුවන  ක්‍රියාවලියක් අපිට දකින්නට ලැබෙනවා. දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම දරන්නේ ඔවුන් දෙගොල්ලටම එකඟ විය හැකි මතයක්. 13 වන සංශෝධනයට පිටින් නොගිය ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීම වගේ අදහසක් තමයි මෙම පක්ෂ දෙකෙන්ම ප්‍රකාශ වන්නේ. හැබැයි මම හිතනවා යම් කිසි සුළු වෙනසක් සිදුවිය හැකියි රාජපක්ෂගේ රජයකට වඩා එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ කියලා. ඒ මොකද, රාජපක්ෂ සහ රනිල් අතර තිබෙන ප්‍රධානම වෙනස තමයි රාජපක්ෂ කියන්නේ දැඩි සිංහල බෞද්ධ ස්ථාවරයක් දරණ කෙනෙක් වීමත්, රනිල් වික්‍රමසිංහ එයට යම් වෙනස් මතයක් දැරීමත්. රනිල් වික්‍රමසිංහ ඒකීය රාජ්‍යයට හානිවන කිසිවක්  කරන්නේ නැති වුණාට මිනිස්සුන්ට පෙනෙන්නේ ඔහු ඒකීය රාජ්‍යයට හානියක් කිරීමට හැකි පුද්ගලයෙකු ලෙසයි. ඇත්තෙන්ම ඔහුට ඒ සම්බන්ධව නිශ්චිත අදහසක් නැති බවයි මගේ නම් විශ්වාසය.

අනෙක් කාරණය තමයි මම හිතන්නේ අපි කවුරුත් එතරම් උනන්දු නොවුණු, අවධානයක් නොදක්වපු සිදුවීම් ගණනාවක් පසුගිය 2002 - 2003 අතර කාලයේදි සිදුවු බව. එයින් ප්‍රධාන එකක් තමයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩු කිහිපය. ඇත්තෙන්ම එසේ පවරන ලද සමහර නඩුවල අරමුණ, එසේ නැත්නම් නිමිත්ත වුණේ පළාත් සභාවල ඒ වන විටත් පැවති බලතල කප්පාදු  කිරීමයි. ඒ අනුව ඉඩම් බලතල සීමා කරන, ජල හිමිකම් පළාත් සභාවලින් ඉවත් කිරීමට බලකෙරෙන පනත් ගණනාවක් ඒ කාලයේදි නිකුත් වුණා. ඒවායින් කියැවුණේ  ප්‍රධාන අමාත්‍යවරුන් පළාත් සභාවල සහ මධ්‍යම ආණ්ඩුවේ,  ඇත්තෙන්ම ජනාධිපතිවරයාගේ බලතල අභිබවා යමින් කටයුතු කරන බවයි. ඒ අවස්ථාවේදි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබුවා පළාත් සභාවලින් විමසීමකින් තොරව එවැනි පනත් සම්මත කිරීමෙන් වැළකිය යුතු බවට. අමතක නොකළ යුතු දෙයක් තමයි,  2002 සහ 2003 රනිල් වික්‍රමසිංහගේ රජය උත්සාහ කළේ එවැනි පනත් පලාත් සභාවල විමසීමකින් තොරව සම්මත කර ගැනීමටයි. මම හිතන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් රනිල් වික්‍රමසිංහගේ ගැටළු තිබෙනවා. ඒවා අපි අමතක කිරිම තුළින් සිදුවන්නේ මෙම දේශපාලඥයන් පිළිබඳව අධිතක්සේරුවක් ඇතිකර ගැනීමයි. ඒකීය රාජ්‍ය සංකල්පය ගැන අපිට මීට වඩා පුළුල්ව සිතන්න වෙනවා කියන එක අපි තේරුම් ගන්නි ඕනි. සිංහල සමාජයේ එවැනි මැදිහත්වීමක් කරන්නේ කවුද කියන එක ගැන ගැටළුවක් මට නම් තිබෙනවා. එවැනි දෙයක් සම්බන්ධව දේශපාලන නායකත්වය දිය හැකි නායකයන් ඉන්නවද කියන එක තමයි තියෙන ලොකුම ගැටළුව. මගේ අදහසනම් තව අවුරුදු 10 ක් 15 ක් යන කල්වත් එවැනි නායකයෙක් බිහි වෙන එකක් නැහැ.

ඊ ළග ප්‍රශ්නය කලින් ප්‍රශ්නයත් එක්ක බැඳුණු එකක්. දුෂණ වංචා හැරුණු විට දකුණේ මැතිවරණ ව්‍යාපාරයේ ඇති කේන්ද්‍රීය සටන් පාඨ පදනම් වෙලා තියෙන්නේ, සිංහල ජනතාවට ලබා දෙන දේ මොනවාද යන්න පැහැදිලි කිරීමට නෙවෙයි. දෙමළ ජනතාවට ලබා නොදෙන දේ මොනවද කියන එක පැහැදිලි කරන්නනයි. උදාහරණයක් විදිහට, සෑම පක්ෂයක්ම සිංහල ජනයාගෙන් බලය ඉල්ලා සිටින්නේ දෙමළ ජනතාවට සැළකිය යුතු තරමේ විමධ්‍යගත බලයක් නොදී ඉඳිමේ ප්‍රතිඥාවන් මතයි. ප්‍රතිපාර්ශවය බලයට ආවොත් දෙමළ ජනයාගේ ඉල්ලීමට වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී රට බෙදෙනු ඇතැයි කියන අනියත බිය වැපිරිමට තියෙන උද්‍යෝගය තමයි දකුණේ මැතිවරණ ව්‍යාපාරයන්ට  ගාමක බලයක් සපයන්නේ. ඒ අනුව ගත්විට සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රීය සමාජයක කාර්යක්‍ෂමතාවය පෙන්නුම් කළ යුතු මැතිවරණ ක්‍රියාවලියක් තුළින් ලංකාවේදි පෙන්නුම් කෙරන්නේ සහමුලින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හරයන් නොවෙයිද? ඒ වගේම එයින් අදහස් කෙරෙන්නේ සිංහල බෞද්ධ නොවන අවශේෂ ජාතීන්ට සමාන හිමිකම් ඇත්තවුන් ලෙස රාජ්‍යයේ කොටස්කරුවන් කරගැනීම සඳහා බලය ඉල්ලා සිටිනු වෙනුවට, ඔවුන් තවදුරටත් රාජ්‍ය යේ පරිවාරයේ තබා ගැනිම සහතික වීම වෙනුවෙන් සිංහල ඡන්ද ඉල්ලා සිටිමක් නේද?

කළණ: මම හිතන්නේ මේක ඉතාම අවසනාවන්ත තත්ත්වයක්. ඇත්තෙන්ම දේශපාලන ප්‍රචාරණ වේදිකාවන්වලත්,ඉන් පරිබාහිරවත් දේශපාලන පක්ෂවලට තියෙන ලොකුම අභියෝගය තමයි දෙමළ ජනතාවට නොදෙන්නේ මොනවද කියන එක සාර්ථකව සමාජගත කිරිමේ කාර්යය. මම කල්පනා කරන විදියට, මේ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට වාසියක් ඇති වෙමින් තිබෙන බව පෙනෙන්නෙත් ඒ නිසාම තමයි. එයට හේතුව  චම්පික රණවක වගේ පුද්ගලයන් ඔවුන්ගේ දේශපාලන වේදිකාවල සිටීම. එක්සත් ජාතික පක්ෂයට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි කොහොමද ඒකීය රාජ්‍ය පිළිගෙන, 13ට එහා ගිය බලය විමධ්‍යගත කිරීමක් නොකර එජාප ඒ ප්‍රතිපත්තියේ තවදුරටත් සිටිනවාය කියන විශ්වාසය සිංහල බෞද්ධ ජනතාව හමුවේ රැකගන්නේ කියන එක. ඇත්තෙන්ම දැන් ඒ අර්බුදය තරමක් ලිහිල් වෙලා තියෙන්නේ චම්පික රණවක වැනි දේශපාලඥයන් ගේ සහය ඔවුන්ට තියෙන නිසායි.

නමුත් පෞද්ගලිකව මේ සම්බන්ධව මා දකින විසඳුම් ගණනාවක් තියෙනවා. හැබැයි මේක මේ සිංහල බෞද්ධ කෝණයෙන් බලලා මම කරන යෝජනවාක් නොවෙයි. එකක් තමයි ඒකීය රටක් තුළ වුණත් ජනවර්ගයන් අතරේ සමානාත්මතාවය රැකගත හැකියි කියන එක. නමුත් ඒකීය රටක් තුළ පුළුල් බලය බෙදීමකට යෑම සාර්ථක වන්නේ  ව්‍යවස්ථාවෙන් සිංහලයට පමණක් හිමිව ඇති සුවීශේෂි වරප්‍රසාදයන් හෝ අයිතිවාසිකම් එයින් ඉවත් කිරීමකින් පමණයි. සිංහල මිනිස්සු කියන එකක් තමයි අපි බලය විමධ්‍යගත කිරීමට කැමති නැහැ, හැබැයි අපි සමානාත්මයට කැමතියි කියන එක. මම ඒ තර්කයට කොහෙත්ම එකඟ නැහැ. මම එහෙම කියන්නේ, මේ පවතින ව්‍යවස්ථාව තුළ මේ කතාව එක්තරා ආකාරයක විහිළුවක් නිසායි. ඇත්තෙන්ම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති සහ සංශෝධනයන් දෙස බලන විට එවැනි ආකාරයේ සමානාත්මතාවයකට යා නොහැකියි. එකක් තමයි බුද්ධාගම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව. අනෙක දැඩි ඒකාධිපති ස්වරූපයක් පෙන්වන ජනාධිපති ධූරයක් යටතේ රාජ්‍ය පාලනය සිදුවීම. මෙවැනි දෑවලින් තොරව අපි කොහොමද ජාතීන් අතර සමානාත්මතාවය ඇති කරන්නේ? සිංහල ‍.බෞද්ධ ප්‍රජාවන් සතුටු නොකරන, ඔවුනට ස්වීශේෂි ස්ථානයක්  හිමි නොවන ව්‍යවස්ථාවක් නිර්මාණය කළොත් යම් බලාපොරොත්තුවක් ඇති කර ගන්න අපිට පුලුවන්.

අනෙක් තත්ත්වය තමයි ෆෙඩරල් විසඳුම. ඒ තුළ සිදුවන්නේත් සමානාත්මතාවයක් ඇති කිරීම වුණත් එය තනි‍‍, තනි පුද්ගලයන් වශයෙන් සිදුවන්නක් නොවෙයි, ජාතීන් හෝ ජනවර්ගයන් මත පදනම්ව ඇති කෙරෙන්නක්. නමුත් 13වන සංශෝධනය හෝ ෆෙඩරල් විසඳුම හෝ මේ සියල්ල පිළිබඳව මට ඇති ගැටළුව තමයි එය ක්‍රියාත්මක විය යුත්තේ මුළු රටටම අදාළව වන විදියට නොවන බව. එය බලාත්මක විය යුතුවන්නේ උතුරු නැගෙනහිර දෙපළාතට පමණක් බවයි මගේ තක්සේරුව. ඇත්තටම 13වන සංශෝධනයෙන් විසඳුවේ සිංහල ජනතාවගේ ප්‍රශ්න මිස දෙමළ ජනතාවගේ ප්‍රශ්න නොවෙයි. ඉන්දු - ලංකා ගිවිසුමේ කොතැනකවත් සඳහන් වෙලා නැහැ 13 වන සංශෝධනයට අනුව බලය බෙදිය යුත්තේ මුළු ලංකාවටම එකහා සමානව කියලා. එයින් අදහස් කෙරුනේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අදාළ වන බලය බෙදාහැරීමක් විතරයි. නමුත් දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළුව යටපත් කරමින්, එය දෙමළ ජනතාවට පමණක් සුවිශේෂී එකක් නොවන බවට හුවා දක්වනු ලැබුවේ මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බවයි මගේ අදහස. 13 ගේන්නත් පෙර සිටම බලය බෙදා හැරීම සම්බන්ධව සිංහල ජනතාවගේ කැමැත්තක් තිබුණේ නැති බව අපි දන්නවා. 13 න් පස්සේ සිදුවුණේ එය තවත් තීව්‍ර වීම පමණයි. ඇත්තටම සිංහල ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය මධ්‍යම ආණ්ඩුවේ බලයත් එක්ක ගැටීමක් ඇති නොකර ගෙන ප්‍රදේශීය මට්ටමින් කිරීමට තියෙන කටයුතු කරන්නේ කොහාමද කියන එකයි. නමුත්  උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ තත්ත්වය එයට වෙනස් තත්ත්වයේ එකක්.නිරාකූල බලය බෙදීමක් ඔවුන්ගේ අවශ්‍යතාවයක් වෙන්නේ ඒ නිසායි.

කෙසේ නමුත් මේ සියළු පාර්ශවයන් ඉදිරියටත් කටයුතු කරනු ලබන්නේ 13වන සංශෝධනය පදනම් කරගෙන බව නම් පැහැදිලියි. උදාහරණයක් විදියට, චම්පික රණවක වැනි පුද්ගලයන් පවා මේ 13වන සංශෝධනයත් එක්ක තවදුරටත් කටයුතු කරාවි. ඇත්තටම 13න කියන්නේ කිසිදු පාර්ශවයකට  තර්ජනයක් එල්ල නොවන දේශපාලන යාන්ත්‍රණයක්. ඒ නිසා ඔවුන් එය ආරක්ෂා කරන්නට හෝ මේ ආකාරයෙන්ම ඉදිරියටත් පවත්වාගෙන යන්නට පෙළඹෙවි.

මෙයට පෙර අවස්ථාවක, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමග අපි කළ සාකච්ඡාවක දි, ඔහු කියා සිටි අදහසක් තමයි ජාතික ප්‍රශ්නයට වර්තමානයේ කවර හෝ විසඳුමක් යෝජනා කෙරෙන්නේ නම් එය 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුක් විය යුතු බව. ඒ වගේම උතුරු නැගෙනහිර සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, දේශපාලනඥයන් පවා අවධාරණයෙන් කියා සිටින්නේ දශක තුනකට පමණ පෙර ඉදිරිපත් කරන ලද විසඳුම් යෝජනාවලියක වලංගුතාවය ගැන තමන්ට බරපතල ප්‍රශ්න තියෙන බවයි. අනෙක් අතින් මීට කලින් ඔබම සඳහන් කළා දකුණේ ආණ්ඩු 13වන සංශෝධනයේ එතෙක් පැවති බලතල පවා පවතින ව්‍යවස්ථාවට පරිබාහිරව කප්පාදු කර හැරීමට කටයුතු කළේ කොහොමද කියන වග. ඒ වගේම මේ මොහොත වන විට ගොඩනැගෙමින් තිබෙන දේශපාලන සන්ධාන කිසිවක්, 13න් ඔබ්බට ගිය විසඳුමක් වෙනුවෙන් කටයුතු නොකරනු ඇති බවත් ඔබ කියා සිටියා. ඒ සියළු කාරණා සැළකිල්ලට ගත්තාම ගැඹුරුවන අර්බුදයක් මිස වෙනත් කිසිදු විසඳුම් මාර්ගයක් පෙනෙන්නට‍ නැහැ නේද?

කළණ: ඔතන තියෙන එක ප්‍රශ්නයක් තමයි 13 හොඳයිද, නරකයිද කියන එක සම්බන්ධව යම් අදහසකට හෝ තක්සේරුවකට එන්නට අවකාශ සැළසෙන විදියට එය  නිසියාකාරව ක්‍රියාත්මක කරන්න බැරිවීමේ ගැටළුව. එහෙම වෙන්නේ කිසිම ආන්ඩුවකට ඒ සම්බන්ධව සැබෑ උවමනාවක් නොතිබීම ඒකට එක හේතුවක්. අනෙක තමයි යුද්ධය. වර්තමානයේදී මේ සම්බන්ධයෙන් තියෙන හොඳම උදහරණයක් තමයි උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරම් මහතාගේ ප්‍රකාශයන්. ඔහු ඉතාම පැහැදිලිව කියනවා උතුරු පලාත් සභාව පිහිටුවනු ලැබුවට කිසිදු බලය විමධ්‍යගත කිරීමක් සිදුවී නොමැති බව.

මෙතැනදී මට නැවතත් මා මුලින් කියු දෙයටම යන්න වෙනවා. ඒ තමයි ඇත්තටම බලය බෙදීම සම්බන්ධව ගැටළුව තියෙන්නේ කාටද කියන එක. 13 අදට ගැලපෙන්නේ නැතිනම් අපි මොකක්ද කරන්නේ? මගේ ප්‍රශ්නය තමයි එහෙමනම් අපි ආයෙමත් මුලට ගිහින් බැලිය යුතුයි ප්‍රශ්නය තියෙන්නේ කාටද කියන එක. මෙතන ප්‍රශ්නය තියෙන්නේ දෙමළ ජනතාවට පමණයි. ඒ නිසා මගේ මතය තමයි එහෙමනම් 13 න් එහා ගිය විසඳුමක් දෙමළ ජනතාවට ලැබිය යුතුයි. හැබැයි යථාර්ථයේදී මේක ඉතාම සංකීර්ණ තත්ත්වයකට මඟ පාදනවා. මන්ද 13න් එහා බලය බෙදීමක් වෙනවා නම් ඒක සියළු පලාත් සභාවලට බලපාන්න පුලුවන්. අනෙක 1987 දි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 13වන සංශෝධනය අනුමත කරනු ලැබුවේ ඒකීය රාජ්‍යයක් තුළ යා හැකි උපරිමය පිළිබඳව යම් සඳහනක් කරමින්.

ඒ නිසා මෙතනදි සිදුවිය යුත්තේ 13න් එහා ගිය විසඳුමක් අවශ්‍ය බවට මතවාදී අරගලයක් කිරිමයි. යුද්ධය නිමාවෙලා වසර 5-6ට පසුවත් අපි කතා කරන්නේ ඒකීය රටක් තුළ බලය බෙදා හැරීමක් ගැනයි. අපිට අවංකවම පිළිගන්න වෙනවා දෙමළ ජනතාවට, මේ රටේ සුළුතර ප්‍රජාවට බලපාන සුවිශේෂි ප්‍රශ්න තියෙන බවට. ඒත් එක්කම අපි විමසා බැලිය යුතුයි ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් මේ සම්බන්ධයෙන් දරන්නේ කවර වු මතයක්ද කියන එක. ඔවුන්ගේ මතය මෙයට සම්පුර්ණයෙන්ම වෙනස්, ප්‍රතිවිරුද්ධ එකක්.

ඉකුත් තිස් වසරක කාලය තුළ රාජ්‍ය යේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නැඹුරුව සාධාරණීයකරණය කෙරුණේ ජාතීන්ගේ ප්‍රශ්නය කේන්ද්‍ර කොටගත් දේශපාලන වර්ධනයන් හේතුවක් වශයෙන් යොදා ගනිමිනුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මර්දන අණ පනත් වගේම සුවිශාල හමුදාවන් හා අතුරු හමුදා සහිත, ජන ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක්ම හමුදාකරණයට ලක් වුථ සිංහල කේන්ද්‍රීය ජාතික ආරක්ෂක රාජ්‍යයක් (National Security State) අපිට ලැබී තියෙනවා. එහි පැවැත්ම තවදුරටත් සුජාත කරන්නේ සිංහල බෞද්ධ අභිලාශයන් සහ ප්‍රමුඛතාවල උන්නතියට එවැන්නක් අත්‍යවශ්‍ය බව අවධාරණය කිරිම මගිනුයි. නමුත් මේ කියපු රාජ්‍ය ව්‍යුහය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ඇති අප්‍රකාශිත එකඟතාවය, අද ජනප්‍රිය වී තිබෙන දේශපාලන ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳව සටන් පාඨයන් එක්ක පරස්පර නැද්ද?

කළණ: මම හිතන්නේ සිංහල සමාජයට නම් මිලිටරිකරණය බරපතල ගැටළුවක් වෙලා නැහැ. ඒ වගේම තමයි ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව තියෙන්නේ ඉතාම පටු අදහසක් සහ අර්ථ නිරූපණයක්. තමන්ට නිදහසේ ඡන්දය දෙන්න පුලුවන්ද, ඒ ඡන්දයෙන් බලයට එන පුද්ගලයාට රට රැක ගන්න හැකියාවක් තියෙනවාද, උතුරු නැගෙනහිරට ගිහින් නිදහසේ නැවත එන්න පුලුවන්ද වගේ පටු සීමාවක තමයි දකුණේ බහුතරයකගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද අදහස හිරවෙලා තියෙන්නේ.

තිස් අවුරුදු යුද්ධයකින් පසුව මිලිටරිකරණය සමාන්‍ය දෙයක් හැටියට පිළිගන්නත් අපි පුරුදු වෙලා ඉන්නවා. එයින් මිදෙන්න අපිට පුලුවන්ද? ඒක වෙනස් කරන්න දේශපාලඥයන් කරන්නේ මොනවද කියන එකත් එක්තරා විදිහක ගැටළුවක්. මිලිටරිකරණය පිළිබඳව අපි මෙයට වඩා සැළකිලිමත් විය යුතු නමුත් ඒක කරන්න පුලුවන්ද කියන ගැටළුව පැන නගින්නේ යුධ ජයග්‍රහණය සමරන්න දකුණේ වසරක් පසා පවත්වන සැමරුම් උළෙලවල් වැනි දේ නිසායි. මට මතකයි වතාවක් ගල්කන්දේ ධම්මානන්ද හමුදුරුවෝ කිය සිටියා 'ජයග්‍රහණය සහ පරාජය සහිත ජාතීන් දෙකක් සිටින තැන සංහිඳියාවක් තිබිය නොහැකියි' කියලා. ඒ වෙනස නැති කිරීමෙන් පස්සේ තමයි අපිට මිලිටරිකරණය වැනි දෑ ගැන ගැඹුරින් සිතන්න පුලුවන් වෙන්නේ.

දකුණේ රාජපක්ෂ විරෝධී ආකල්ප දරන සැළකිය යුතු පිරිසක් අතර ජනප්‍රිය විග්‍රහයක් තමයි, 2009 යුද්ධය අවසාන වූ මොහොතේ රට ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න, ජන වාර්ගික සබඳතා ස්ථායී කොට, පිළිසකර කරන්න 'ස්වර්ණමය අවස්ථාවක්' උදා වූ බවත්, ඒ අවස්ථාව මහින්ද රාජපක්ෂ විසින් පැහැර හරිනු ලද බවත්. නමුත් යුද්ධය නිමා වන මොහොත වෙනකොට ඒ කියන ආකාරයේ ප්‍රජාතාන්ත්‍රික විභවයක් රාජපක්‍ෂ පාලන තන්ත්‍රය සතුව තිබුණාද?

කළණ: 2009 පසු නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරිමට මහින්ද රාජපක්ෂට අවස්ථාවක් ලැබුණු බව තමයි දකුණේ බොහෝ දෙනෙක් කියන්නේ. නමුත් යුද්ධයෙන් පසුව ඔය කියනාකාරයේ විසඳුමක් ගේන්න අවකාශයක් තිබුණා නම් යුද්ධය සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම අපිට හිතන්නට තිබුණා. මම පෞද්ගලිකව හිතන එකක් තමයි ඔය කියනාකාරයේ 'ස්වර්ණමය අවස්ථාවක්' නම් අපිට ලැබුණේ නැහැ. දයාන් ජයතිලක වගේ පුද්ගලයන් එක්ක මම දේශපාලනිකව එකඟ නැති වුණත් මම මතක් කරන්න කැමැතියි ඔහු 2009 වර්ෂයේදි මේ සම්බන්ධව කියා සිටිය එක්තරා අදහසක්. ඒ තමයි 13 වන සංශෝධන‍යෙන් එක අඟලක්වත් උඩට යන්නේ නැතිව යම් විසඳුමක් සොයන එක ගැන. හැබැයි එවැනි දෙයක්  ඉක්මනින් කිරීමෙන් පමණයි ඇතැම් විට දෙමළ ජනතාවටත් එකඟ විය හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමට හැකි වන්නේ කියලාත් ඔහු සඳහන් කළා.

නමුත් මහින්ද රාජපක්ෂට ප්‍රශ්නයක් වුණේ එවැනි දෙයක් කිරීමට ඇති නොහැකියාව බවයි, මගේ තක්සේරුව. ඒ නිසාම දකුණේ ඇතැම් අය කියන ආකාරයේ  ස්වර්ණමය අවස්ථාවක් නම් 2009 අපිට ලැබුණේ නැහැ. ඒ වෙනුවට, 2009 මැයි කියන්නේ ෆෙඩරල්  හෝ වෙන යම් දේශපාලන විසඳුමක් වෙනුවෙන් ඒ තාක් පැවති අවස්ථාවත් සහමුලින්ම විනාශ වී යාම සළකුණු වූ මොහොතක්. මෙතැනදි තමයි අපිට සළකා බලන්න වෙන්නේ නලින්ද සිල්වා වැනි පුද්ගලයන් කියා සිටි දේ පිළිබඳව. ඔහු කිවුවේ ප්‍රභාකරන් පරාජය කිරීම හුදෙක් නිකම්ම නිකන් යුධ ජයග්‍රහණයක් පමණක් නොවෙයි, ඒ වෙනුවට එය ඔවුන්ගේ අරගලය සමග බැඳුණු නිශ්චිත දේශපාලන විසඳුමක් පිළිබඳ යෝජනාවත් පරාජය කිරීමක් බවයි. ඒ අදහසට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. නමුත් අපි තේරුම් ගන්න තියෙන දේ තමයි යුද්ධය කරගෙන ගිය මතවාදී පදනම නිර්මාණය වෙලා තිබුණේ නලින් ද සිල්වා වැනි අය සංක්‍ෂිප්තව කියපු ඒ අදහස් මතයි. ඒ නිසා එවැනි මතවාදී පදනමක් මත කරගෙන ගිය යුද්ධයක අවසානයේ ඊට හාත්පසින්ම වෙනස් දේශපාලන යථාර්ථයක් නිර්මාණය කිරීමේ උවමනාවක් හෝ හැකියාවක්  රාජපක්ෂ පාලනයට තිබුණා කියලා සිතීම වැරදියි. ඒ නිසාම  2009 මැයි මාසයේදී සිද්ධ වුණේ, ඔය කියන ස්වර්ණමය අවස්ථාවක් උදාවීමක් නොවෙයි. මේ යථාර්ථය වටහාගන්න තියෙන නොහැකියාව හෝ අකමැත්ත නිසා තමයි මම හිතන්නේ දකුණේ ඇතැම් අය තවමත් අඬ අඬා කියන්නේ 'අනේ මහින්ද රාජපක්ෂ ලැබිච්ච අවස්ථාවෙන් මොනවත් කළේ නැහැ'නේ කියලා.

මේ මැතිවරණය යළිත් වතාවක් ජනවාර්ගික රේඛාව ඔස්සේ ගැඹුරට බෙදුණු ලංකාවක් පිළිබඳව යථාර්තය අප ඉදිරියේ අවධාරණය කරමින් සිටිනවා. සිංහල ජනයාගේ දේශපාලන ප්‍රමුඛතාවයන්, සිංහල නොවන ජනයාගේ ප්‍රමුඛතාවලින් වෙනස් වනවා පමණක් නොවෙයි, ඒවාට පසමිතුරු හරයන් ඇති  බවක්ද පෙන්නුම් කෙරෙමින් තියෙනවා. මේ තියෙන සතිරු ධ්‍රැවීකරණය නිසාම, මැතිවරණයේදී දෙමළ ජනයාගේ ප්‍රජාත්නාත්‍රික අභිලාෂයන් ජයගත්තොත්, ඒක දකුණට තේරුම් යනු ඇත්තේ සිංහල ජනයාගේ සාමූහික අභිලාෂයන්ගේ පරාජයක් විදියටයි. මේ කරුණු සියල්ලම සැළකිල්ලට ගත්තොත්, අගෝස්තු 17 වැනිදායින් පසු ලංකාව හමුවේ ඇති අනාගත දේශපාලන පරිදර්ශනයන් ගැන ඔබේ තක්සේරුව කුමක්ද?

කළණ: මුලිකවම  17න් පසු දේශපාලනිකව මේ රටේ ලොකු පරිවර්ථනයක් වෙයි කියලා හිතන්න අපහසුයි. ඒත් එක්කම  බොහෝ දෙනෙක් කියන ආකාරයට අනාවැකි කියන්නත් මම කැමති නැහැ. ඒ කියන්නේ අර පක්ෂයට ආසන කීයක් එයිද, නාමල් හම්බන්තොටින් දිනයිද වගේ ඒවා. අද පවතින දුෂණ වංචා, දේශපාලන අස්ථාවරත්වයන් තව දුරටත් පවතීවි. ඒ වගේම අද සාකච්ඡා කෙරෙමින් තිබෙන නව රැඩිකල් ව්‍යවස්ථාවක් වැනි දෙයක් රැගෙන ඒමට තියෙන බාධාවන් ගණනාවකුත් මම දකිනවා.  එකක් තමයි ඉදිරි පාර්ලිමේන්තුවේ ඇතිවිය හැකි බල තුලනය සම්බන්ධ ගැටලුව. බලයට පත්වන නව රජයට බහුතර බලයක් නොලැබෙන අවස්ථාවක දෙමළ ජාතික සංධානය වැනි පක්ෂ සමග යම් සම්මුතියකට, එකඟතාවයකට යන්න සිදුවේවි. එවිට ඒ සම්බන්ධව අනෙක් පාර්ශවයන් සුපුරුදු ආකාරයට සැක මුසුව බැලීම නොවළැක්විය හැකි දෙයක්. මේ තත්ත්වයන් වෙනස් කළ හැකි අපේ ආකල්පමය වෙනසක් 2009 මැයි වලින් පසුව ඇති වෙලා නැති බවයි මගේ විශ්වාස ය.

මේ සියල්ලටම වඩා වැදගත් වෙන්නේ දෙමළ සමාජය මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරයයි. ඔවුන් මේ සිදුවන සිදුවීම් සම්බන්ධව මෙයටත් වඩා වැඩි අවධානයකින් බලාවී. මන්ද සිංහල සමාජයේ දේශපාලන සහ ප්‍රජාතන්ත්‍රීය වෙනසක් වෙනුවෙන් අපි කිසියම් දායකත්වයක් ලබා දීලාත්, අපේ ප්‍රශ්න වෙනුවෙන් දකුණෙන් කිසිදු සහයක් නොලැබෙනවා නම් අපි තවදුරටත් ඒ මත යැපිය යුතුද කියන එක ප්‍රශ්නය ඔවුන් තුළ මතුවීම වැළැක්විය නොහැකියි. මැතිවරණයේදී උතුරේ ජනතාවගේ ප්‍රතිචාරය ඒ නිසාම දකුණේ සමාජයට දෙන සංඥාවක් විදියටයි අපිට සළකන්න වෙන්නේ.☐

© JDS