'මානව හිමිකම් ගැන අඩු උනන්දුව අපේ දේශපාලන සංස්කෘතියේ ගැටළුවක්' - ආචාර්ය හරිනි අමරසූරිය

පසුගිය ජූලි මාසය අවසානය තෙක් සරසවි ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරිය වශයෙන් කටයුතු කළ ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් වකවානුව තුළ සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන්ට දක්වන ලද්දේ සක්‍රීය දායකත්වයකි.‍ ජනාධිපතිවරණය මුල්කොටගත් දේශපාලන බල මාරුව වෙනුවෙන් ක්‍රියාකාරී මැදිහත්වීමක් කළ සරසවි ආචාර්ය ප්‍රජාව නියෝජනය කරන ඇය, ජනවාරි අට වැනිදායින් පසු නිර්මාණය වූ දේශපාලන වෙනස්කම් පිළිබඳව පෙරළා ප්‍රති තක්සේරුවක යෙදීමේ අවශ්‍යතාවය අවධාරණය කරනුයේ ඒ හා බැඳුණු සීමිත හෝ ප්‍රජාතාන්ත්‍රික අභිලාෂයන් දුර්වල වීම වළකනු පිණිස ය.

"අවශ්‍යතාව තිබුණේ අවම වශයෙන් හෝ ප්‍රජාතන්ත්‍රීයව කටයුතු කළ හැකි අවකාශයක් බිහිකර ගැනීමටයි," ඇය කියයි.

"දූෂණ වංචා ගැන හැම කෙනාම වගේ කතා කළත්, වැරදි කරුවන්ට දඬුවම් කරන්න ඕනේ කියලා ගොඩක් දෙනෙක් කිව්වත්, දේශපාලන ප්‍රජාතන්තුවාදය පිළිබඳ කෙන්ද්‍රීය ගැටළු වශයෙන් සැළකිය යුතු අතුරුදහන් කෙරු පුද්ගලයන් ගැන, දේශපාලන සිරකරුවන් ගැන සමාජය සංවේදී නැත්තේ ඇයි කියන එක අපි ගැඹුරින් සිතා බැලිය යුතුයි."

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වශයෙන් කටයුතු කරන ආචාර්ය අමරසූරිය, එළඹෙන මැතිවරණය මුල් කොටගත් දේශපාලන වර්ධනයන් පිළිබඳව JDS හා කතා කළාය.

සටහන: කිත්සිරි විජේසිංහ / සේයාරුව: කල්ප රාජපක්‍ෂ


නව ආණ්ඩුව බලයට පත් කිරීමේ ක්‍රියාවලියට ඔබ නියෝජනය කරන සරසවි ආචාර්ය ප්‍රජාව සැළකිය යුතු දායකත්වයක් දක්වනු ලැබුවා. යළිත් මැතිවරණයකට ආසන්නව සිටින මොහොතක, ජනවාරි අට වැනිදා සිදුවු 'වෙනස' ගැන ඔබේ ඇගයීම මොන වගේද?

ආචාර්ය හරිනි අමරසූරිය:  මම හිතන්නේ ජනවාරි අට වෙනිදා මේ රටේ සිදුවු වෙනස සඳහා යම් කිසි දායකත්වයක් ලබා දෙන්න වගේම ක්‍රියාකාරි මැදිහත්වීමක් කරන්න අවශ්‍යයි කියන මතයේ තමයි බහුතරයක් සරසවි ආචාර්යවරුන් හිටියේ. නමුත්  ඒය සිදුවිය යුත්තේ කෙසේ දැයි කියන කාරණයේදි එකිනෙකා දැරුවේ වෙනස් වු  මතයන්. එය ඉතාම සමාන්‍ය තත්ත්වයක්. නමුත්  තවදුරටත් මේ විදිහට ඉදිරියට යන්න බැහැයි කියන තැනයි අපි සියල්ලන් හිටියේ. ඔබ දන්නවා පසුගිය කාලයේදි  අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ මොන තරම් අර්බුද  මතු වුණාද කියලා. අපි නියෝජනය කරන වි‍‍ශ්ව විද්‍යාල පද්ධතිය තුළ යහපත් යැයි කියන්න තරම් දෙයක් ඉතිරි වෙලා තිබුණේ නති තරම්. අර්බුදය එතරම්ම සංකීර්ණ තත්ත්වයට පත්වෙලයි තිබුණේ. සිදුවෙමින් පැවති බොහෝ දේ ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා යම් කිසි වෙනසක් ඇති විය යුතුයි කියන මතයෙයි අපි සියල්ලන්ම සිටියේ. ඒ වෙනස ඇති කිරිමේ පළමු පියවර ලෙසයි සරසවි ආචාර්යවරුන් ලෙස අපි ජනාධිපතිවරණය සඳහා සක්‍රිය මැදිහත් වීමක් කරනු ලැබුවේ. නමුත් අපිට ලොකු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් තිබුණේ නැහැ හැමදේම යහපත් වේවි කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන වෙනස ඒ ආකාරයෙන්ම ලැබේවි යැයි කියලා විශාල අපේක්‍ෂාවක් තිබුණෙත් නැහැ. අනෙක් සියල්ල වෙනුවෙන් සටන් කරන්න, එහෙමත් නැත්නම් යම් කිසි අරගලයක් කරන්න ඒ විදියට නිර්මාණය කරගන්න ප්‍රජාතන්ත්‍රීය අවකාශය තුළ හැකිවේය කියන විශ්වාසය නම් අපිට ඇති වෙලා තිබුණා. ඒ අර්ථයෙන් කල්පනා කළාම ජනවාරි අට වැනිදා අපේ මැදිහත්වීම පිළිබඳව යම් තරමකට  සතුටු වෙන්න අපිට පුලුවන්.

නමුත් පෞද්ගලිකව මම නම් විශාල බලාපොරොත්තුවක් ඇති කරගෙන සිටියේ නැහැ ජනවාරි අට වැනි දායින් පස්සේ අපට සියළු දේ ලැබේවි යැයි කියලා. දින සියයේ ආණ්ඩුවක් එක්ක කරන්න පුලුවන් දේ ඉතාම සීමිත බවයි මගේ විශ්වාසය වුණේ. අපි හැමෝටම තිබුණ එක බලාපොරොත්තුවක් තමයි 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරවා  ගැනීම. නමුත් ඇත්තටම අපට ලැබුනේ ටිකක් දියාරු එකක්. කොහොම වුණත් ජනවාරි 08 වනදා යම් දෙයක් පටන් ගන්න, යම් කිසි සමාජ පරිවර්තනයකට මුල පුරන්න හැකියාව අපිට ලැබුණා. මේ මොහොත වන විටත් එකී කාර්යය අවසන් නැහැ වගේම පොදුවේ  සියල්ලන් වෙනුවෙන් අපි අපේක්‍ෂා කළ දෙයත් පරිපුර්ණ වශයෙන් ලැබී නැති බවත් කිව යුතුයි.

අලුත් ආණ්ඩුවේ පළමු හය මාසයක කාලය තුළ සරසවි ශිෂ්‍ය කොටස් සැළකිය යුතු මට්ටමේ රාජ්‍ය මර්දනයකට මුහුණ දෙනු අප දුටුවා. පහර දීම්, අත් අඩංගුවට ගැනීම්, පැහැරගෙන යාම්, බිය වැද්දීම්, බන්ධනාගාරගත කිරීම් ආදිය මේ මර්දනකාරී පිළිවෙතට ඇතුළත්. සරසවි ආචාර්යවරුන් අතර සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වයන් නියෝජනය කරන්නියක් විදියට මේ තත්ත්වය ගැන ඔබේ අදහස කුමක්ද?

හරිනි: ඇත්තෙන්ම සරසවි සිසුන්ට එරෙහි රාජ්‍ය මර්දනය පිළිබඳව නම් සරසවි ආචාර්යවරුන් ලෙස ලොකු විවේචනයක් අපිට තිබෙනවා. සරසවි සිසුන්ගේ සෑම ඉල්ලීමකටම, සෑම උද්ඝෝෂණයකටම  එකඟවෙන්න අපිට පුලුවන් කමක් නැහැ. නමුත් සිසුන්  ඉලක්ක කරමින් මුදා හැරෙන මර්දනය ගැන නම් අපිට පැහැදිලි ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා හැම රජයක්ම මේ රටේ, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඉලක්ක කරලා මර්දනය මුදා හැරිය බව. මම හිතන්නේ ඕනෑම ආණ්ඩුවක් ඉතාම ඉක්මණින් පහර දෙන්න පෙළඹෙන්නේ සරසවි සිසුන්ටයි. එයට එක හේතුවක් තමයි අනෙක් සමාජ බලවේගයන්ට වඩා ඉක්මණින් ශිෂයන්ව මර්දනය කරන්න පුලුවන්ය කියන ආකල්පයෙන් ආණ්ඩු කටයුතු කිරීම. මේ නිසාම ඉතිහාසය පුරාම බලයට පත්වෙච්ච හැම රජයකම පළමු හතුරා බවට පත්වුනේ සරසවි ශිෂ්‍ය ප්‍රජාව. මේ යහපාලන ආණ්ඩුවත් එහෙම කරන බවට ඕනෑ තරම් නිදසුන් තියෙනවා. නමුත් ශිෂ්‍යයන්ට එක් විදිහකටයි අවශේෂ සමාජ කණ්ඩායම්වලට වෙනත් විදිහකටයි නීතිය ක්‍රියාත්මක වෙන්න බැහැ. මහා පරිමාණයෙන් හොරකමේ යෙදෙන, අපරාධ කරන අයට අද  නීතියේ රැකවරණය ඉහළින්ම හිමි වෙනවා. ඒත් සරසවි සිසුන් වැනි තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අඩු වරප්‍රසාදිත අයව ඒ නීතිය යටතේම  අපරාධකාරයෝ කියලා හංවඩු ගසමින්  දඬුවම් කරනවා.

අපි මීට මාස කිහිපයකට කලින් යම් කිසි පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුනේ මේ සියළු අසමාන ලෙස සැළකීම් හැකිතාක් තුරන් කිරීමේ අරමුණින්. අපිට අවශ්‍ය නැහැ ඉතිහාසය පුරාම අපි දැක්ක මෙවැනි අශීලාචාර, අවනීතික දේවල් නැවත නැවතත් සිදුවනවා දකින්න. මම මුලිනුත් කියපු ආකාරයට ජනවාරි අට වැනිදා සියළු දේවල් අපේක්‍ෂිත ආකාරයටම වෙනස් වේවි කියලා අපි බලාපොරත්තු නැති වුණාට, අට වැනිදායින් පසුත් මෙවැනි දෑ දිගින් දිගටම සිදුවීම ඒ ප්‍රජාතාන්ත්‍රික අරගලයට අවමානයක්. නොසළකා හැරීමක්. ප්‍රජාතන්ත්‍රීය සමාජයක් වෙනුවෙන් කරන ලද අරගලයකින් යම් බලයක් ලබා ගත් පසු පෙරළා ඒ අරගලයට දායකත්වය ලබා දුන් පිරිස් ඉලක්ක කරලා මර්දනය ප්‍රචණ්ඩත්වය මුදා හරිනවා නම් අපි බලාපොරොත්තු වු වෙනස මේකදැයි   ප්‍රශ්න කරන්න අපිට සිදුවීම යුක්ති සහගතයි.

සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දරදඬු පිළිවෙත ගැන විරෝධය පළ කිරීමට සරසවි ආචාර්යවරුන්ගේ සම්මේලනය දක්වා තිබෙන දායකත්වයක් ගැන ඔබට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

හරිනි: ඇත්තෙන්ම සරසවි ආචාර්යවරුන් ලෙස අපි මේ ප්‍රශ්නයට අවස්ථා කිහිපයකදීම මැදිහත්වෙලා තියෙනවා. ශිෂ්‍ය සංගම් එක්ක කතා කරලා තියෙනවා. නමුත් අපි හැමෝම මෙතනදි එක මතයක පිහිටා නැති බවත් කිව යුතුයි. අනෙක හැම විශ්ව විද්‍යාලයකම ප්‍රශ්න එක හා සමාන නොවන බවත්, සෑම ප්‍රශ්නයකටම එක හා සමාන අයුරින් මැදිහත් විය නොහැකි බවත් අපි පිළිගත යුතු වෙනවා. ශිෂ්‍යයන්ට බලපාන ප්‍රශ්නයක් විශ්ව විද්‍යාලවල ඇතිවුණාම අපි මුලින්ම බලන්නේ ශිෂ්‍ය සංගම් ඒ සම්බන්ධව දක්වන්නේ කුමනාකරයක මැදිහත්වීමක්ද - ප්‍රතිචාරයක්ද කියන එකයි. ඇතැම් අවස්ථාවන්වල අපිට යම්, යම් විවේචන ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව ඇති වෙනවා. නමුත්  ඒවා ලොකු අර්බුද නොවෙයි. ඒ නිසා ඇත්තෙන්ම එකට වැඩකරන්න අපිට ඒවා බධාවක් වෙලා නැති බවයි මම සිතන්නේ.

කළින්  පැවති පාලන තන්ත්‍රයේ බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් සියල්ලම මේ වන විට වංචා දූෂණයන් පිළිබඳ ගැටළුවකට ඌණනය වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. රාජපක්ෂ ආණ්ඩුව විසින් කරන ලද සුවිශාල මිනිස් ඝාතන, පැහැරගෙන යාම්, ජනමාධ්‍ය මර්දනයන් සහ බිය වැද්දීම් ගැන ප්‍රමුඛතාවය ලබාදී විධිමත්ව සොයා බලනු වෙනුවට රාජපක්ෂ පවුලේ සමිපතමයන් විසින් සිදුකරන ලද මුල්‍ය අක්‍රමිකතාවයන් ගැන සිදුකෙරෙන පරික්‍ෂණයන් පමණක් ප්‍රමුඛතාවයට පැමිණීම ගැන ඔබේ අදහස කුමක්ද?

හරිනි: මම හිතන්නේ, එසේ නොවීමට බලපෑ කාරණා දෙකක් තියෙනවා. පළමුවැන්න තමයි, ඔබ කියන ආකාරයේ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධව සොයා බැලීමට හෝ පරීක්‍ෂණ පැවැත්වීමට නම්  අපේ දේශපාලන සංස්කෘතියේ බරපතල වෙනසක් ඇති විය යුතුයි. එවැනි වෙනසක ඡයාවක්වත් තවමත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අනෙක් කාරණාව තමයි එවැනි බරපතල මානව හිමිකම් උල්ලංඝණයන්  හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සම්බන්ධව සොයා බැලිය යුතුයි, පරික්ෂණ පැවැත්විය යුතුයි එසේම ඒවාට වගකිව යුතු අයට දඬුවම් පැමිණ විය යුතුයි යනුවෙන් හඬක් සමාජය තුළින් බලවත්ව මතුවීම අවශ්‍යයි. නමුත් තවමත් එවැන්නක් ප්‍රමාණවත් තරමින් මතු වෙනවා යැයි කියන්න අමාරුයි. පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් ගැන කතා කරන්නේ එවාට ගොදුරුවු හෝ ඒ හේතුවෙන් පීඩාවන් අත් විඳපු අය විතරයි. ලංකාවේ සමාජය තවමත් මෙවැනි දෑ බරපතල අපරාධ, මානව විරෝධී ක්‍රියාවන් ලෙස සැළකීමට පුරුදුව නැහැ. ඒක අපේ දේශපාලන සංස්කෘතියේ වගේ සමාජ සැකැස්මේම වරදක්. යම් පුද්ගලයෙක්ව මරා දැමුවහෝත් ඒ තත්ත්වය අනුමත කරන්න සමාජය හුරු පුරුදුවී සිටිනවා. මරා දැමු හෝ පැහැරගෙන යන හෝ පුද්ගලයන්ට එසේ වන්නේ එම පුද්ගලයාගෙම වරදක් නිසා බවට කියන්නට අපේ සමාජය පැකිලෙන්නේ නැහැ. එයින් සිදුවන්නේ මෙවැනි අපරාධයන් යුක්ති සහගති කිරීමක්. එය බරපතල තත්ත්වයක්.

දෙමළ මිනිසුන්ව, රජයේ සහ බලධාරීන්ගේ පැවැත්මට අභියෝගයක්වන ජනමාධ්‍යවේදීන්ව දේශද්‍රෝහීන් වශයෙන් හඳුන්වලා ඒ වගේ අයව මරා දැමුවට, අත්අඩංගුවට ගත්තට, සිරගත කළාට වරදක් නොවේය කියලා දේශපාලකයන් වගේම ජනමාධ්‍ය විසින් පවා සමාජයට ඒත්තු ගන්වලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ එවැනි අපරාධ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සමාජයෙන් මතු වෙන්නේ නැහැ. දූෂණ - වංචා ගැන කතා කරන අතරතුර, සාවද්‍ය මිනිස් ඝාතන සහ බරපතල මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන කතා නොකිරීම හෝ අඩු වැදගත්කමකින් සැළකීම මම හිතන්නේ අපේ සමාජ, දේශපාලන සංස්කෘතියේ නිසර්ග ලක්‍ෂණයක් බවට දැන් පත්වෙලා තියෙනවා.

අතුරුදහන් කිරීම්, පැහැරගෙන යාම් වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් මහජනයා  නිහඩව අනුමත කිරීම එවැනි ක්‍රියා සඳහා කෙරෙන්නාවු දිරි දීමක් හෝ අනුමත කිරීමක් ලෙස ඔබ සඳහන් කළා. රටේ සමාන්‍ය ජනතාව කෙසේ වෙතත්,  බුද්ධිමතුන් හා ශාස්ත්‍රාලයීය උගතුන් ලෙස හඳුනාගන්නා යම් සමාජ මැදිහත්වීමක් කිරීමට අවශ්‍ය පසුබිම සහිත පුද්ගලයන්ද එවැනි අපරාධ සාධාරණීකරණය කිරිම සඳහා දක්වන්නේ සාමාන්‍ය ජනයාට නොදෙවෙනි දායකත්වයක්. ඇතැමුන් සෘජුවම එවැනි අපරාධයන් අනුමත කරනවා පමණක් නොවෙයි, එවා තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පවතින රජයේ උපදේශකයන් වශයෙනුත් කටයුතු කරනවා.දේශපාලන බල පෙරළි සඳහා ක්‍රියාකාරී දායකත්වයක් දක්වන ඔබ අයත් වන ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන්ගේ ස්ථරය පවා ඒ සම්බන්ධයෙන් මැදිහත් නොවන්නේ ඇයි?

හරිනි:  ඇත්තෙන්ම මෙතැනදී අපි ප්‍රශ්න කළ යුතුයි ලංකාවේ සිවිල් සමාජය කියන්නේ මොකක්ද කියලා. මෙයට දශක දෙකකට කලින් නම් අදට සාපේක්‍ෂව ලංකාවේ සිවිල් සමාජයක් තිබුණා. නමුත් '80 දශකයෙන් පස්සේ තියෙන්නෙ දවසින් දවස දිරාපත්වන නාමික එකක්. ජනමත කෙරෙහි බලපෑ හැකි ඇත්ත බලයක් ඒකට අද නැහැ. එවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ හේතු ගණනාවක් තියෙන බව ඇත්ත. නමුත් ප්‍රධාන වශයෙන්ම මම සිතන්නේ සිවිල් සමාජයේ කඩා වැටීමට ප්‍රබල ලෙස හේතු වුණේ සිවිල් සමාජය එන්ජීඕකරණයට නතු වීම හෙවත් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයන්ට පමණක් එය සීමාවීමයි. අන්තිමේදී අපට ලැබිලා තියෙන සමීකරණය තමයි, සිවිල් සමාජය සමානයි එන්ජීඕ කියන එක. සිවිල් සමාජය තුළ රාජ්‍ය නොවන සංවිධානත් ඇතුළත් විය හැකියි. නමුත් සිවිල් සමාජය වෙනුවට රාජ්‍ය නොවන සංවිධාන ආදේශ වීම දේශපාලන අර්ථයෙන් සැළකුවොත් පරිහානියක්. ඒකේ ප්‍රතිඵලය වුණේ, දේශපාලන මැදිහත්වීම් සීමා වුණා විතරක් නොවෙයි, සිවිල්  සමාජයක් සතු විය යුතු අනන්‍යතාවයත් ගිලිහී ගියා. එන්ජීඕ මොනතරම් හානියක් සිවිල් සමාජයට කළාද කියනවා නම් අවසානයේ සිදුවුනේ සිවිල් සමාජය පක්ෂ දේශපාලනයේ රූකඩයක් බවට පත්වීමයි.පහසුවෙන්  සොයාගත හැකි රැකියාවක් බවට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය පත්වෙන්නේ මේ ක්‍රියාදාමයේ එක් ප්‍රතිඵලයක් ලෙසයි. දේශපාලන සංස්කෘතිය හෝ සමාජය වෙනස් කිරිමේ අරමුණ සහිතව සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු බවට කටයුතු කිරීමේ සිට එය රැකියාවට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වීම දක්වා පරිවර්තනය වන්නේ මේ අනිසි මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් ලෙස බවයි මගේ විශ්වාසය.

මේ නිසාම, ගෙවුන වසර 25 තුළ අපිට එවැනි සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබිලා නැහැ. මම හිතන්නේ එය ඉතාම ගැඹුරින් විමසා බැලිය යුතු තත්ත්වයක්. වර්තමානයේ සිවිල් සමාජයේ ඇතිවෙලා තියෙන අර්බුදකාරී තත්ත්වයට එයත් එක් හේතුවක්. මේකේ ප්‍රතිවිපාකය වුණේ, මානව හිමිකම් උල්ලංඝණයන් වැනි දෑ ගැන කතා කිරීමේදී සමාජ හෝ දේශපාලන ව්‍යාපාරයක් විසින් ගනු ලබන දේශපාලන ප්‍රවේශයකට වඩා එන්ජීඕ අකෘතියට අනුගතව කටයුතු කිරීමයි. සමාජයේ යම් ප්‍රශ්නයක් ඇති වුණාම කිහිප දෙනෙක් එකතු වෙලා ව්‍යාපෘතියක් සකස් කිරීමෙන් ඔබ්බට ගිය කල් පවතින සමාජ දේශපාලන පදනමක් ඒවාට තිබුණේ නැහැ. ඒ නිසාම ඒ සම්බන්ධ පුළුල් සමාජ දේශපාලන කතිකාවක් නිර්මාණය නොවීම වැළැක්විය නොහැකියි.

නමුත්, '80 දශකයේ අගභාගයේ දකුණේ භීෂණකාරී වටපිටාවන් තුළ මානව හිමිකම් උල්ලංඝණයන් වන විට වර්තමානයට වඩා සිවිල් සමාජයේ මැදිහත්වීමක් ඒවා සම්බන්ධව සිදු කෙරුනා. මොන තරම් රාජ්‍ය ප්‍රචණ්ඩත්වයක් තිබුණත් හැකි සෑම වෙලාවකම මිනිස්සු එවට විරුද්ධව සංවාද කරා, විරෝධතාවයන් දැක්වුවා. භීෂණයෙන් පසුව රටේ හිටපු ප්‍රමුඛ බුද්ධිමතුන්, නීතිඥයන් වැනි වෘත්තිකයන් ඒ අපරාධ සම්බන්ධව සොයා බලමින් කතා කෙරුවා. වින්දිතයන් වෙනුවෙන් කළ හැකි දේ සොයා බැලුවා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් යම් යම් සමාජ ව්‍යාපාර ගොඩ නැගුනා. නමුත් අද එහෙම තත්ත්වයක් දකින්නට නැහැ. ඒ සියල්ල පසු කාලීනව වෙනස් වුණේ ක්‍රමානුකූලවයි. එහි ප්‍රතිඵලය සිවිල් සමාජ ක්‍රියාකාරිත්වයන් සම්පූර්ණයෙන්ම දියවී යෑමයි. අන්තිමේදී, පසුගිය වසර දහය තුළ මානව හිමිකම් ගැන කතා කිරීම අසභ්‍ය යමක් තරමට නින්දා සහගත දෙයක් විදියටයි සැළකුවේ. ඒ සම්බන්ධයෙන් කතා කරන්න සිද්ධ වුණේ කවුරු හරි ඇහුම් කන් දෙනවාද කියලා සොයලා බලලා රහසිනුයි.

යුද්ධය නිමා වූ බවට නිල වශයෙන් නිවේදනය කළාට පසු අපිට දක්නට ලැබී තිබෙන්නේ චිරාගත නායකත්වයන් මුල් කරගත් දේශපාලන බෙදුම් රේඛාවන් තව දුරටත් අදාළ නැති තත්ත්වයක්. එහි ප්‍රතිඵලය ලෙස එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආදී පක්ෂ සාම්ප්‍රදායිකව නියෝජනය කළ සමාජ බලවේගයන් සහ ඒ ඒ පක්ෂ විසින් අනුගමනය කරපු ආර්ථික සහ දේශපාලන පිළිවෙත් අතර බැලූ බැල්මට කලින් පැවති වෙනස්කම් තවදුරටත් හඳුනා ගැනිමට නොහැකිව යාමයි. මෙයින් හැඟවෙන්නේ ලංකාව එක්තරා දේශපාලන යුගයක නිමාවක් කරා ළඟා වි තිබෙන බවද?

හරිනි: මම හිතන්නේ මේක අපේ රටට විතරක් සීමා වුණු තත්ත්වයක් නොවෙයි. නව ලිබරල් ධනවාදී ආර්ථිකය තුළ ගමන් කරන දේශපාලන බල අධිකාරිත්වයන්ට වෙනත් විකල්පයක් නැති බවයි මෙයින් පෙන්නුම් කෙරෙන්නේ. ඇමරිකාවේ රිපබ්ලිකන් සහ ඩෙමෝක්‍රටික් පක්ෂ අතර වර්තමානයේ ඇති වෙනස මොකක්ද?  මේවා අතර වෙනස්කම් අපිට සොයා ගන්න බැරි තරමට ඒවා එකකට එකක් සම්බන්ධ හා සමීප බවක් පෙන්නුම් කෙරෙනවා. දැන් අපිට තියෙන්නේ එකම මොඩල් එකක් විතරයි. විකල්ප කිසිවක් නැහැ. අද ලංකාවේ වාමවාදී යැයි කියාගන්නා පක්ෂ පවා මේ තත්ත්වයට අසුවෙලා ඉවරයි. ඔවුන් උත්සහ කරනවා අපි මධ්‍යස්ථයි කියලා පෙන්නන්න. නමුත් ඒක එහේම නොවන බව ඔවුන් ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ඔස්සේ ඔවුන්ම නැවත අපිට ඒත්තු ගන්වනවා.

එක්සත් ජාතික පක්ෂය ධනවාදී විවෘත වෙළඳ පොළ ආර්ථිකයට බර ඒ වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් කියලයි අපි සාමාන්‍යයෙන් දන්නේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව සැළකිය යුතු පිරිසක් තුළ ඇති අවබෝධය තමයි, ඒ පක්ෂය ටිකක් වමට බර එකක් බව. නමුත් මම නම් මේ දෙකේ කිසිම වෙනසක් දකින්නේ නැහැ. මම කියන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් කියලා නොවෙයි. මේ තුළ අපිට විකල්පයන් සොයන්නම වෙනවා. මම හිතන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරලා මේ පක‍්ෂ මොන ප්‍රතිපත්ති ඉදිරිපත් කළත් අපිට තියෙන ප්‍රශ්නය මේ සෑම එකක්ම සමාන වීමයි.

මේ වන විට රට තියෙන්නේ මැතිවරණ සුදානමක. නමුත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වශයෙන් හඳුනාගත හැකි පැහැදිලි බලවේගයක් වෙනුවට තියෙන්නේ ව්‍යාකූල දේශපාලන චිත්‍රයක්. ඒකෙන් පෙන්නුම් කරන්නේ ජනවාර්ගික සහ ආගමික බෙදුම් රේඛා තීව්‍ර කරන උතුර සහ දකුණ වශයෙන් බෙදුණු දේශපාලන පෙළ ගැසීමක් විතරයි. එළඹෙන මැතිවරණය විසින් නිර්මාණය කරන ලංකාව ගැන ඔබේ අදහස කුමක්ද?

හරිනි: මුලිකවම අපිට අහන්න වෙන්නේ ජනවාරි අට වැනිදා වෙනසක් වෙනුවෙන් සිදු කෙරුනු අපේ මැදිහත්වීම තව දුරටත් පවත්වාගෙන යන්නේ කොහොමද කියලයි. අපි පරාජය කළ බලවේගයන් යළිත් වතාවක් බලයට පැමිණෙන්නට යම් වෙහෙසක් ගන්නා බව නම් පැහැදිලියි. රටක්, සමාජයක් හැටියට එයට ඉඩ නොදිය යුතු බවට තහවුරු කරන්න අපට සිද්ධ වෙනවා. ප්‍රධාන තර්කය ඒකයි. නව පාර්ලීමේන්තුවේ විපක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය පත් වුණත්, ශ්‍රී ලංකා නිදහස් පකෂය ප්‍රමුඛ සංධානය පත්වුණත් කිසිම තර්කානුකූල වෙනසක් සිදු වෙන්නේ නැහැ. මේ සිදුවෙමින් පවතින දෑ එක්ක එකිනෙකට වෙනස් ප්‍රතිපත්තිමය වෙනසක් අපිට මේ පක්ෂ වලින් දකින්න ලැබෙන්නේ නැති වීම ඒකට හේතුවයි. ඒ නිසා තුන්වන බලවේගය ලෙස දෙමළ ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් සහිතව පාර්ලිමේනතුවට තේරී පත්වෙනවා නම් යහපත් බවයි මගේ විශ්වාසය.☐

© JDS