'බියෙන් අත් මිදුණට සියල්ල සම්පූර්ණ නැහැ' - නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ

චන්ද්‍රපාල කුමාරගේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මානව හිමිකම් කමිටුවේ කැඳවුම්කරු වශයෙන් ක්‍රියාකිරීමට කලින් සිටම සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට කැප වී සටන් කරන්නෙකු වශයෙන් පිළිගැනීමට පාත්‍රව සිටියේය. වර්ගවාදයට හා යුද්ධයට එරෙහි ඔහුගේ දේශපාලන භූමිකාව ඊටත් පැරණි එකකි.  මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත් සම්බන්ධව නිර්දය විවේචකයෙකු වශයෙන් ඔහු ඉටුකළ කාර්යභාරය, මැතිවරණ සමයට සීමා වූ එකක් නොවන්නේ ඒ නිසා ය. 'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ' සංවිධානයේ සම කැඳවුම්කරුවෙකු මෙන්ම 'නීතිඥ එකමුතුවේ' ක්‍රියාකාරිකයෙකු වශයෙන් රාජපක්‍ෂ ආණ්ඩුවේ මැතිවරණ පරාජය සහතික කරනු වස් බහුජන තලයේ ක්‍රියාකාරී වූ හෙතෙම, නව ආණ්ඩුව යටතේද සිය පිළිවෙත් ගරුක විවේචක ස්ථාවරය අත්හැර දමන්නට මැලිවෙයි.

'මහින්ද රාජපක්ෂ පරාජය වු පසු අපි දුටුවා  ඔහුගේ ජාතීවාදි නිරුවත කොයි තරම්ද කියා. ජනාධිපතිවරණය පෙනි පෙනී බොදුබල සේනා වැනි අන්තවාදී සංවිධාන හරහා  මුස්ලිම් ජනතාවට පහර දුන්, මානුෂික මෙහෙයුමක් කියමින් දෙමළ සංහාරයක් කරපු ආණ්ඩුවකට මොන මනුස්සයාද ඡන්දයක් දෙන්නේ?' ඔහු අසයි.

"නමුත් මේ තත්ත්වයෙහි වෙනසක් ඇති විය යුතු නිසා රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න මැදිහත් වූ අපිට ඒ පුරුදු තත්ත්වයම මේ ආණ්ඩුවෙනුත් දකින්න අවශ්‍ය නැහැ."

JDS වෙනුවෙන් නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ සමග අප සමාලාපයකට යොමුවූයේ,  රාජපක්‍ෂ පාලනය බිඳ වැට්ටවීම දක්වා වූ දේශපාලන පෙළගැසීම් ගැන මෙන්ම, ජනාධිපතිවරණයෙන් පස් මසකට පසු දේශපාලන වර්ධනයන් පිළිබඳ සමාලෝචනාත්මකව විමසා බලනු පිණිස ය.

සටහන: කිත්සිරි විජේසිංහ


සුගිය රාජපක්‍ෂ පාලනයට එරෙහිව ගොඩනැගුණු විරෝධයේ  ප්‍රධාන සටන් පාඨ වුණේ නීතියේ ආධිපත්‍යය සුරැකීම, ඥාති හා මිත්‍ර සංග්‍රහය පිටු දැකීම, වංචා දූෂණ නැති කිරීම, විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සහ රට තුළ යහපාලනය ඇති කිරීම වැනි දෑයි. ඉකුත් පස් මාසයක කාලය තුළ  මේ සටන් පාඨ ප්‍රායෝගික යථාර්ථයන් බවට පත් කිරීම වෙනුවෙන් අලුත් ආණ්ඩුව ගත් පියවර ගැන, මේ ආණ්ඩුව  බලයට පත් කිරීමට මැදිහත්වු පාර්ශවයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රමුඛයෙක් විදියට ඔබේ මතය කුමක්ද?

චන්ද්‍රපාල කුමාරගේ: නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සක්‍රීය මැදිහත්වීමක් සිදුකරනු ලැබුවත් පසුගිය කාලයේ මා ඇතුළු නීතිඥයන් පිරිසක් විසින් සිදුකළ දේශපාලන මැදිහත්වීම් සඳහා සංගමය සෘජුව මැදිහත් නොවු බව පළමුවෙන්ම කිව යුතුයි. නමුත් පැවති ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වීරෝධි ක්‍රියාවන් ගැන, මිලිටරීකරණය, අධිකරණයට කරන බලපෑම් ආදිය පිළිබඳව ජාත්‍යන්තර සංවිධානයන් දැනුවත් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදුකළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස වෙනුවෙන් අපේ සංගමය කරන ලද අරගලය සහ  මැදිහත්වීම තමයි පැවති ආණ්ඩුව පෙරළා දැමීමේ පළමු වෙඩි මුරය පත්තු කළේ. ඇත්තෙන්ම මේ රටේ මිනිස්සු ජිවත් වුණේ මර බියෙන්. කවුරුවත් ඉස්සරහට ඇවිත් පැවති මර්දනයට විරුද්ධව කතා කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ මොහොත වන විටත් දේශපාලන පක්ෂවලට හැකියාවක් තිබුණේ නැහැ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව කිසිම ආකාරයක අභියෝගයක් එල්ල කරන්න. නීතිඥ සංගමය ඒ මර්ධනයට සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙලට විරුද්ධව පාරට බැස්සේ රටේ සමාන්‍ය ජනතාව තවදුරටත් ඒ මර්දනයේ ගොදුරු බවට පත්වීම නතර කළ යුතුයි කියන දැඩි අධිෂ්ඨානයෙන්. අපි දැක්කා මිනිස්සුන්ගේ බිය ටිකෙන් ටික නැතිවෙලා යන විදිහ. උදාහරණයක් විදියට ගෝඨාභය රාජපක්ෂ යුද හමුදාව යොදවලා බලහත්කාරයෙන් නීති විරෝධීව වනාතමුල්ලේ ඉඩම් පවර ගන්න උත්සාහ කරන කොට නීතිඥ සංගමයට පුලුවන් වුණා එයට මැදිහත්වෙලා ඒ ඉඩම් කොල්ලය නතර කරන්න. ඒත් එක්කම අපිට හැකියාවක් ලැබුණා නීතිඥ සංගමය නියෝජනය කරමින්ම  'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ' විදියටත්, 'නීතිඥ එකමුතුව' විදියටත් ගොණුවෙලා පැවති ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට ලේ ගලන තුවාල ඇති කළේ අපියි. ඒ තුවාල නිසා තමයි  මහින්ද රාජපක්ෂ දේශපාලනිකව ඔත්පල වෙලා පරාජය වුණේ.

නමුත් දැන් සිදුවන සියල්ල පිළිබඳව අපට සෑහීමකට පත්වෙන්න බැරි බව ඇත්ත. එසේම අපි අපේක්ෂා කළ වෙනස තවමත් දක්නට නැති බවත් ඇත්ත. යම් යම් අඩුපාඩුකම් සහ අතපසුවීම් තිබෙනවා. නොසළකා හැරීම් තිබෙනවා. ඉටුවිය යුතු, එහෙත් ඉටු නොවන දෑ පිළිබඳව යම් කළකිරීමක් ඇති බවත් ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. තවමත් රට තුළ ජාතිවාදි කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් සිදුවනවා. මේවා වහාම නතර විය යුතුයි. අනෙකුත් ජාතීන්ගේ අයිතිවාසිකම් සහතික විය යුතුයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි කෙරෙහි කඩිනම් අවධානය යොමුවිය යුතුයි. මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රීය අයිතීන් දකුණට පමණක් ලැබීම යහපාලනය නොවෙයි. අපි ඉල්ලා සිටි වෙනස ලැබිය යුත්තේ මුළු දිවයිනටමයි.

රාජපක්ෂ පාලනයේ මර්දනකාරී හා වංචාකාරී ස්වභාවය හුදෙක් එහි අවසාන වකවානුවේදී මතු වූ දෙයක් නොවෙයි. එය මුල සිටම පදනම් වුණේ යුදවාදී, මර්දනකාරී හා දූෂිත පිළිවෙතක් මත බව සාමාන්‍ය නිරීක්‍ෂණයකින් පවා ඒත්තු යන කාරණාවක්. නමුත් සාමාන්‍ය ජනතා ආකල්පය කෙසේ වෙතත්, ඊට එරෙහිව නීතිඥ සංගමය වැනි බලපෑම් සහගත වෘත්තිකයන්ගේ සංවිධානවල පවා මැදිහත්වීම වීමක් දකින්නට ලැබුණේ රාජපක්ෂ පාලනයේ අවසාන කාල වකවානුවේදී නේද?

කුමාරගේ: මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ තරම් නීතියේ ආධිපත්‍යය දිය වී ගිය යුගයක් අපි දැක්කේ නැහැ. නීතිය කියන්නේ මහින්ද රාජපක්ෂය කියන තැනට රටේ නීතිය පත් වුණා. දෙමළ ජනතාවට එරෙහිව යුද්ධය ජය ගැනීමත් එක්ක මහින්ද රාජපක්ෂගේ බලය ශක්තිමත් වුණු බව අපි දන්නවා. එයට සිංහල සමාජයෙන් ඔහු කෙරෙහි ලැබුණු පිළිගැනීමත් බලපෑවා. ඔහු වීරයෙක් ලෙස සිංහල සමාජය විසින් පිළිගත්තා වගේම ඒ වීරත්වයම තමයි අවසානයේ මේ රට විනාශය කරා ගෙන ගියේ. අපි එය පිළිගත යුතුයි. සිංහල සමාජයෙන් ලැබුණු බලය සහ පිළිගැනීම නිසා මේ රටේ යාව ජීව පාලකයා වෙන්නට මහින්ද රාජපක්ෂ හිතන්න ඇති. යුද්ධය විසින් දකුණේ සමාජයට ඇති කර තිබු මානසිකත්වය තුළ ඒ යුගයේ ආණ්ඩුව විසින් උදුරාගත් අයිතිවාසිකම්, මර්දන නීති අණ පනත්වල බරපතලකම සමාජය තෙරුම් ගෙන නොසිටි බවයි මගේ හැඟීම. ඇත්තෙන්ම ඔබ කියන පරිදිම මර්දනකාරී පිළිවෙත් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මුල් යුගයේ පටන්ම ක්‍රියාත්මක වුණා. 17වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා එහි බලතල තමන්ගේ අතට අරගෙන සියළුම ඉහළ නිලතලවලට පුද්ගලයන් පත්කිරිම තමන්ගේ තනි කැමැත්ත මත පමණක් කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළා. ඒ සෑම පත්කිරීමක්ම දේශපාලන හිතවත්කම මත සිදුකරණු ලැබු ඒවායි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මිල මුදල් හෝ වෙනත් වරප්‍රසාද ලබාදෙමින් තමන් වෙත නතුකර ගනිමින් පාර්ලිමේන්තුවේ බලයද විධායකය යටතට ගැනීමට ඔහු කටයුතු කරනු ලැබුවා. අගවිනිසුරුවරිය එළවා දමමින් තමන්ට හිතවත්, දේශපාලන ගැත්තෙක් එතැනට පත් කළා. රාජ්‍ය බලතල විමධ්‍යගතවීම සම්පූර්ණයෙන්ම අහෝසි කරමින් සියල්ල තමන් යටතට ගෙන  ඒකාධිපති රාජ්‍ය පාලනයකට රට ගෙන ගියා. අපි විශ්වාස කළා ඊළඟ මැතිවණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළොත් රට සම්පූර්ණයෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ ඒකාධිපතිත්වයකට යටත් වෙයි කියලා. එයට විරුද්ධවයි අපි සටන් කෙරුවේ. අද වන විට ඒ  බියෙන් අපි අත්මිදිලා ඉන්නවා. අපි ලබපු ලොකුම ජයග්‍රහණය එයයි. නමුත් මම හිතන්නනේ නැහැ අපි සියල්ල ලබාගත්තා හෝ සියල්ල සම්පූර්ණයි කියලා.

මීට කලින් මතුකළ ප්‍රශ්නය මම නැගුවේ නීතිඥ සංගමයේ ඉතිහාසය සළකා බැලීමෙන් පසුවයි. 80 දශකය අග භාගයේදි දකුණේ සිදු වූ ඝාතන, පැහැර ගැනීම්, නිතී විරෝධී රඳවා තබා ගැනීම් වැනි බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධව සොයා බලමින් ඒවා සම්බන්ධව අධිකරණය හමුවේ නීතිමය අභියෝග මතු කරමින් එකළ පැවති රාජ්‍ය මර්දනයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සැළකිය යුතු මැදිහත්වීමක් කළ බව ප්‍රකට කරුණක්. නමුත් පසුගිය යුද වකවානුවේදි  උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හී  සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත් නොවු බවත් ඒ සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බවත් ප්‍රතික්‍ෂේප කළ නොහැකි ඇත්තක්. ඇයි ඒ?

කුමාරගේ: මම ඒක  පිළිගන්නවා . ඇත්තෙන්ම එහෙම වෙන්නේ නීතීඥ සංගමයේ සභාපති, විධායක සභාව සහ බහුතරයක් සාමාජිකයන්ගේ  කැමැත්ත අනුවයි. ඔබ සඳහන් කරන 80 දශකය අග භීෂණ සමයේ සිදුවු බහුතරයක් මැදිහත්වීම් සිදුකෙරුණේ නීතිඥ ඩෙස්මන් ප්‍රනාන්දු මහතා සභාපතිත්වය දරණ සමයේදීයි. නීතිඥ ඩෙස්මන් ප්‍රනාන්දු  කියන්නේ මානව හිමිකම් පිළිබඳ කැපවුණ, පාලකයන්ගේ බිය ගැන්වීම් ගැන තැකීමක් නොකරපු  විශිෂ්ඨ නීතිඥවරයෙක්. නමුත් එයින් පසුව පත්වු සභාපතිවරුන්වරුන් ආණ්ඩුවේ කටයුතුවලට එහෙයි කියන පුද්ගලයන් වු නිසාත්, නීතීඥ සංගමය පාලකයන්ට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සහ දැරීම නිසාත් එහි ගරුත්වය සහ අභිමානය විනාශවී ගියා. ඇතැමුන් නීතිඥ සංගමය තුළ රාජ්‍ය බලය පාවිච්චි කිරීම නිසා එය ආණ්ඩුවට අවනත සංවිධානයක් බවට පත් වී තිබුණා කිව්වොත් අතිශයෝක්තියක් නෙවෙයි.

ඒ යුගයේදි නීතිඥ සංගමයේ නිලතල දරණ පුද්ගලයන් පත් කෙරුණේ ආණ්ඩු පාක්ෂිකයන්ගෙන්. ඒ නිසා ජාතිවාදී කොටස්වලට අවශ්‍ය ආකාරයට කටයුතු සිදුකෙරුණු බව පැවසුවොත් වඩා නිවැරදියි. එයට විරුද්ධව මතයන්, බලවේගයන් නීතිඥ සංගමය තුළ නොතිබුණා නොවෙයි. නමුත් ආණ්ඩුවට, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂට පක්ෂපාති ජාතිවාදි පුද්ගලයන්ට වැඩි බලයක් සහ ඉඩක් නීතිඥ සංගමය තුළ තිබුණු බව කිව යුතුයි. යුද්ධයට විරුද්ධව කතා කිරීමට සිටියේ ඉතාම සුළු පිරිසක්. එහෙම කතා කරපු ඇතැමුන්ට සිරගත වෙන්න පවා සිදුවුණා.

අනෙක් අතින් රට තුළ පොදුවේ පැවැති තත්ත්වයත් මේ යටත් මානසිකත්වයට බලපෑවා. අද රණවිරුවන් කියමින් වන්දනාමාන කරන හමුදාවට එදා 88/89 භීෂණ යුගයේදි දකුණේ මිනිස්සු කතා කළේ මිනිමරු හමුදා කියලා. නමුත් උතුරේ ජනතාව මරන කොට ඒ මිනිමරුවෝ රණවිරුවෝ වුණා. අපේ අති බහුතරයක් නීතිඥවරුන් යුද්ධය වෙලාවේදි හැසිරුණේ ඉතාම ජාතිවාදි ආකාරයට. ආණ්ඩුව යුද්ධය කරන ආකාරය යුක්ති සහගතකරමින් තමයි බුද්ධිමතුන් කියන මේ අය හැසිරුණේ.

නමුත් මේ තත්ත්වය දිගටම පැවතීම යහපත් නොවන බව නීතිඥවරුන්ටම තේරුණා. මම හිතන්නේ පාකිස්ථානය, බංගලාදේශය වගේ රටවල නීතිඥවරුන් විසින් සපයපු පූර්වාදර්ශත්, මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වීරෝධී, මානව හිමිකම් වීරෝධී ක්‍රියාලාපයත් මේ වෙනස් වීම කෙරෙහි බලපෑවා. මේ තත්ත්වය වෙනස් කිරීමේ අවශ්‍යතාවය නීතිඥවරුන් අතරින් මතුවුණේ ඒ නිසායි. ඒ අනුව රාජ්‍ය මර්ධනයට මුහුණ දිය හැකි විධායක සභාවක්, සභාපතිවරයෙක් සහ ප්‍රාදේශීය කමිටු පත්කරගනු ලැබුවා. ඒ අනුවයි පසුගිය කාලයේ නීතිඥ සංගමය ලද ජයග්‍රහණයන් සියල්ල ලබා ගනිමින් ආණ්ඩුවක් පෙරලා දැමීමට හැකිවුණේ.

අපි නැවතත් පසුගිය මැතිවරණයට යොමුවෙමු. නව ආණ්ඩුව පත්කිරීම සඳහා පෙරමුණ ගත් දකුණේ සමාජ බලවේග මැතිවරණයට පෙරත් එයින් පසුවත් තමන්ගේ ප්‍රමුඛ ඉල්ලීම් සහ සටන් පාඨයන් බවට පත් කරගෙන තිබෙන්නේ වංචා දූෂණ නැති කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම  ආදියයි. නමුත් මේ ආණ්ඩුවේ ජයග්‍රහණයට දායක වූ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉල්ලීම් බවට පත්ව තිබෙන්නේ රාජ්‍යයෙන් තමන් වෙත සිදුවන අයුක්තීන්, හිංසනයන් නතර කොට පසුගිය යුද වකවානුවේදි සිදුකරන ලද සාහසික අපරාධ ගැන කරුණු විමර්ශණය කිරීම සහ ඒ සම්බන්ධව වගකිව යුතු පාර්ශවයන් ගැන පරීක්‍ෂණ පැවැත්වීමයි. එකිනෙකට සපුරා වෙනස් වු මෙම ප්‍රමුඛතා ගැන මේ ආණ්ඩුව  බලයට පත්කිරිමට මැදිහත් වු අයෙක් ලෙස ඔබේ මතය කුමක්ද?

කුමාරගේ: ඒ සම්බන්ධව මම මගේ අවංක මතය ඔබට කියන්නම්. ඇත්තේන්ම දෙමළ ජනතාව සම්බන්ධයන් මේ රජය දක්වන ආකල්පය මහින්ද රාජපක්ෂ රජයේ ආකල්පයන්ගෙන් ගැඹුරු ලෙස වෙනස් වන්නේ නැහැ. විශේෂයෙන්ම යුධ අපරාධයන් සම්බන්ධයෙන් දෙමළ ජනතාව විසින් ඉල්ලා සිටින්නාවු  පරීක්‍ෂණ ගැන  ලංකාවේ සිංහල ආණ්ඩු විසින් දක්වන ප්‍රතිචාරවල ස්වභාවය සැමවිටම එක සමාන බව මගේ විශ්වාසයයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වේවා, මේ නව ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් වේවා, දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ගැන, විශේෂයෙන්ම ජාතියක් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් යුක්ති සහගත මැදිහත්වීමක් නොකරන බවයි මගේ පිළිගැනිම. ඒ නිසාම තමයි දෙමළ ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීමක් වන යුධ අපරාධ සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ දේශීයව පමණක් සිදුකළ යුතු බවට ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ.

මේ වගේ බරපතල තත්ත්වයේ අපරාධ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම ජනවර්ගයක් ඉලක්කකර සිදුවුණු සමුහ අපරාධයන්, ජන සංහාරයන් ආදීය සම්බන්ධයෙන් විභාග කිරීමේදී, අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටින් කවරේදැයි ජාත්‍යන්තර නීතියේ පැහැදිලිව දක්වා තිබෙනවා. රෝම පගිවිසුමට අනුව මෙවන් අපරාධයන් සම්බන්ධව මුලින්ම පරීක්‍ෂණ පැවත්විය යුතු වන්නේ අදාළ රටේ අධිකරණ ක්‍රියාවලියක් මගින් ඒ රට තුළදීමයි. එය සාධාරණව ඉටු නොවන්නේ නම් පමණයි, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හැකි වන්නේ  ඒ සම්බන්ධව මැදිහත් වෙලා පරීක්‍ෂණ පැවැත්වීමට. නමුත් මා නම් පෞද්ගලිකව කිසි දවසක විශ්වාස කරන්නේ නැහැ, පසුගිය ආණ්ඩුව වගේම මේ ආණ්ඩුව විසිනුත් ඒවැනි අපරාධ සම්බන්ධයන් ස්වාධීන, පිළිගත හැකි මට්ටමේ පරික්‍ෂණයන් හෝ අධිකරණ ක්‍රියාවලියක් සිදුකරයි කියලා. ඇත්තෙන්ම මේ කාරණාවේදී දෙමළ ජාතික සන්ධානය දරණ මතයේ තමයි මමත් ඉන්නේ. මේ සෑම ආණ්ඩුවකටම තමන්ගේ පාලන බලය ක්‍රියාත්මක කිරීමට හමුදාව, පොලිසිය අවශ්‍ය කරනවා. මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව සහ  විවිධ බරපතල චෝදනාවන් එල්ල වී ඇති පසුගිය ආණ්ඩුව යටතේ ඉහළ තනතුරු දරමින් සිටි හමුදා සහ පොලිස් නිළධාරීන් විශාල පිරිසක් මේ ආණ්ඩුව යටතේත් තවමත් සේවයේ යෙදී සිටිනවා. මේ පුද්ගලයන් සම්බන්ධව යම් නෛතික ක්‍රියාමාර්ගයක් ගනිවි යැයි කොහෙත්ම සිතන්න බැහැ. ඇත්තෙන්ම මේ මොහොත වන විටත් ඔවුන් ඉතාම ආරක්ෂිතයි. අභ්‍යන්තර අවි ගැටුමක් සිදුවුන, රටේ ජීවත්වන පුරවැසි පිරිසකට එරෙහිව රාජ්‍යය විසින් මුදාහළ මර්ධනයක මුහණුවර ගත් යුද්ධයක් සම්බන්ධයෙන් මේ රට තුළ දි අභ්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක් කිසි දිනක පැවැත්වේයයි මම විශ්වාස කරන්නේ නැහැ. රාජ්‍ය පිළිවෙතක් වශයෙන් සැළකුවොත්, ලංකාවේ කිසිම ආණ්ඩුවක් අපරාධවලට චෝදනා ලැබු හමුදා හෝ පොලිස් නිළධාරීන් නීතිය ඉදිරියට පමුණුවන්නේ නැහැ. හුදකලා සිද්ධියක් දෙකක් හැරෙන්න, එහෙම ඉතිහාසයක් අපිට නැහැ. ඉතිහාසය පුරාම ලංකාවේ හමුදාවන් සහ පොලිසිය මොන තරම් සංහාරයන්, අපරාධයන් සිදුකර තිබෙනවාද‍? ඒ මොනවටද ලංකාවේ පාලකයන් නීතිය ක්‍රියාත්මක කළේ?  ඒ නිසාම මගේ පෞද්ගලික විශ්වාසය නම්, මේ අපරාධයන් සම්බන්ධව පිළිගත් ප්‍රමීතින්ට යටත් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් සිදුවි යුතු බවයි. ශ්‍රී ලංකාවේ රජය මෙය ප්‍රතික්‍ෂේප  කිරිම හෝ නොයෙක් හේතු දක්වමින් තවදුරටත්  කල් දැමීම යුක්ති සහගත නොවනවා වගේම ශිෂ්ඨ සම්පන්න ක්‍රියාවකුත් නොවෙයි.

යුද්ධයේ සිදු වූ ජන සංහාරය පිළිබඳ කාරණාව සාකච්ඡාවට ගත් නිසා මෙතැනදී තවත් වැදගත් ප්‍රශ්නයක් මතු කළ යුතුයි.‍ ශ්‍රී ලංකා රාජ්‍යය දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරක චේතනාවක් පෙරදැරිව කටයුතු කර ඇති බවට, 2013 වර්ෂයේ දෙසැම්බර් මාසයේ පවත්වනු ලැබු ජාත්‍යන්තර විනිශ්චය සභාවක් මගින් තීන්දු කරනු ලැබුණා. එසේම මේ වසරේ පෙබරවාරි මාසයේදි උතුරු පළාත් සභාව විසින් ඒකමතිකව සම්මත කරනු ලබන යෝජනාවකින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය විසින් දෙමළ ජනතාවට එරෙහිව සිදුකරනු ලැබු වර්ග සංහාරක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විධිමත් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුවනු දැකීම තම අපේක්‍ෂාව බවයි. නමුත් ශ්‍රී ලංකා රජයේ බලධාරීන් මෙන්ම, දකුණේ දේශපාලන පක්‍ෂ බහුතරයක් පොදු වශයෙන් මීට දක්වන්නේ විරෝධයක්. අනෙක් අතින්, පසුගිය රජය සමයේ දකුණේ සිදුවු මානව හිමිකම් උල්ලංඝණයන්, වංචා දුෂණයන් පිළිබඳව සොයා බැලීමට උනන්දුවක් දක්වන පිරිස් පවා මේ සම්බන්ධව දක්වන්නේ කිසියම් නිහඬ පිළිවෙතක්. මේ විරෝධයන් සහ නොතකා හැරීම් ගැන ඔබේ අදහස මොන වගේද?

කුමාරගේ: ඔය 'ජෙනොසයිඩ්' (Genocide) එහෙම නැත්නම් ජන වර්ග සංහාරයන් කියන කාරණාව ටිකක් සංකීර්ණ, ඒ වගේම ගැඹුරු විෂයයක්.  ජාත්‍යන්තර නීතියට අනුව Genocide කියන එක අර්ථ දක්වලා තියෙන්නේ යම් කිසි ජනවර්ගයක් තෝරාගෙන ඒ ජන කොට්ඨාශය සැළසුම් සහගතව විනාශ කිරීම කියන එකට. ඒ විනාශ කිරීම විවිධ තත්ත්වයන්, ක්‍රමවේදයන් යටතේ සිදුවිය හැකියි. ලංකාවේ දෙමළ ජනතාවට එරෙහි යුද්ධයේදී ජන සංහාරයක් සිදුවුණාදැයි කියන එක සනාථ කිරීමට සාධක මා ළඟ නැහැ. නමුත් යුද්ධයේ අවසාන භාගයේදී සිදුවු සිදුවීම් දෙස බලන විට, ඒ කියන්නේ සිවිල් වැසියන් රැඳී සිටි රෝහල්, කඳවුරු වැනි ස්ථානවලට පහර දෙන විට, සිවිල් වැසියන් කොටුවී සිටි ප්‍රදේශවලට කාල තුවක්කු වැනි බර අවි වලින් පහර දෙන විට ඒ ප්‍රදේශවල රැඳී සිටින්නේ දෙමළ සිවිල් ජනතාව බව දැන සිටීමත්, එසේම මේවා නිරීක්ෂණය කිරීමට යුධ කලාපයේ සිටි ජාත්‍යන්තර සංවිධානවල නිරීක්ෂකයන් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එම ප්‍රහාරවලට කලින් බලහත්කාරයෙන් ඒ ප්‍රදේශවලින් ඉවත් කිරීමත් කියන කාරණා විමසා බැලුවාම, Genocide කියන නිර්වචනයට ඇතුල්වන විදිහේ අපරාධ සිදුවී ඇති බව මගේ පෞද්ගලික මතයයි. යුද්ධයේ අවසාන භාගයේදි ආණ්ඩුව යුද්ධය මෙහෙයවපු ආකාරය දෙස බලන විට ඒ තත්ත්වය තවත් සනාථ වෙනවා. කොහොම නමුත්, යුද අපරාධයන් බහුල ලෙස සිදුවී තිබෙන බව නම් ප්‍රතික්‍ෂේප කරන්න බැහැ. යුද අපරාධයන් සිදුවී තිබෙන බවට ඕනෑ තරම් සාක්‍ෂි තිබෙනවා. යටත් වු පුද්ගලයන්ව, සුදු කොඩි රැගෙන පැමිණි අය සහ සිවිල් වැසියන්ව ඝාතනය කර ති‍බෙනවා. එවැනි ඝාතන බරපතල යුද අපරාධයන්.

කොහොමවුණත්, මේ කාරණාව ගැඹුරින් සළකා බැලුවාම පෙනෙන දෙයක් තමයි, මේ ආණ්ඩුවේ ඇමතිවරු පමණක් නොවෙයි, ජනාධිපති හෝ අගමැතිවත් තමන් කියන - කරන දේ ගැන නොදන්නා බව. රනිල් වික්‍රමසිංහ මහතා දිගින් දිගටම කියා සිටිනවා 'රෝම ගිවිසුමට අත්සන් කරන්නට ආවේ තමන් අගමැතිව සිටි කාලයේදීයි, තමන් ඒකට අත්සන් නොකළ නිසා ලංකාවේ කිසිම කෙනෙක්ව යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය ඉදිරියට ගෙනයන්න බැහැ'යි කියලා. මෙය පිළිගත හැකි තර්කයක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කළොත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට පුලුවන් යම් පුද්ගලයෙකුට එවැනි චෝදනා සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන්න. ඒකට මේ කියන ගිවිසුම් අත්සන් කළාද, නොකළාද කියන එක බාධාවක් වෙන්නෙ නැහැ. උදාහරණයක් විදියට ලිබියාව රෝම ගිවිසුමේ පාර්ශවකරුවකු නොවෙයි. සූඩානයත් රෝම ගිවිසුමේ පාර්ශවකරුවකු නොවෙයි. කෙන්යාවත් එහෙමයි. නමුත් එම රාජ්‍යයන් තුනේම නායකයන්ව යුද අධිකරණය හමුවට රැගෙන ගියේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා සම්මත වීමෙන්. මේ වන විටත් ලිබියාවේ හිටපු ආඥාදායක ගඩාපිගේ පුතා ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ අධීක්ෂණය යටතේ රඳවා සිටින්නේ පෝලන්තයේ සිර ගෙදරක. කෙන්යාවේ ජනාධිපති උහුරු කෙන්යාටා ට විරුද්ධව තිබෙන යුධ අපරාධ පිළිබඳ නඩුව දැනටත් විභාග කෙරෙමින් තිබෙනවා. උගන්ඩාවේ පාලකයාට අද තමන්ගේ රටින් එළියට යන්නත් බැරි තත්ත්වයක් තිබෙන්නේ ඔහුට විරුද්ධව ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වරෙන්තුවක්  නිකුත් කොට තිබෙන නිසායි. සුඩානයේ ජනාධිපති ඕමාර් අල් බසීර්ට විරුද්ධවත් මේ ආකාරයෙන්ම චෝදනා ගොනු කොට තිබෙනවා. එවැනි චෝදනා විභාග කිරීම්වලින්  බේරී ඉන්න පුලුවන් කමක් නැහැ. අනෙක් වැදගත්ම දේ පසුගිය ආණ්ඩුව මේවා කළාය කියා අලුත් ආණ්ඩුවට පුලුවන් කමක් නැහැ මේ වගකීම් වලින් පැන යන්න.

පුද්ගල අතුරුදහන් කිරීම් හා දේශපාලන රැඳවියන් සම්බන්ධ උද්ඝෝෂණ රාජපක්‍ෂ ආණ්ඩුවේ පරාජයෙන් පසුවත් මේ දක්වාම සංවිධාන‍ය කෙරෙනු දකින්නට පුළුවන්. නමුත් රජයේ ඇතැම් පිරිස් කරන ප්‍රකාශයන්ට අනුව සිරගත කොට සිටිනුයේ ත්‍රස්තවාදී සැකකරුවන් මිස දේශපාලන රැඳවියන් පිරිසක් නොවෙයි. මානව හිමිකම් ආරක්‍ෂා කරන්නට දීර්ඝ කාලයක සිට මැදිහත්වීම් කරන නිතිඥයෙකු වශයෙන්  දේශපාලන රැඳවියන් පිළිබඳ ගැටළුව ගැන ඔබේ අදහස ‍මොකක්ද?

කුමාරගේ: ලංකාවේ ඇති වුණේ සිවිල් යුද තත්ත්වයක්. ඒ කියන්නේ ජාත්‍යන්තර නොවන අවි ගැටුමක්. මෙය ශ්‍රී ලංකා රජය සහ මේ රටේම තවත් ජනවර්ගයක් නියෝජනය කරන පිරිසක් අතර ඇතිවු දේශපාලන ගැටුමක්. මේ ගැටුම පැවතුණ කාලය තුළදී මේ දෙපාර්ශවය අතර වරින් වර සාකච්ඡාවන් ඇතිවුණා. ශ්‍රී ලංකා රජය විවිධ ආණ්ඩු යටතේ අවස්ථා කිහිපයකදීම එල්ටීටීඊ සංවි‍ධානය නිල සාකච්ඡාකරුවකු ලෙස පිළිගත්තා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවි ගැටුම් පිළිබඳ නීතියට එල්ටීටීඊ  සංවිධානය අවනත බවත් පිළිගෙන තිබුණා. ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් වුණත් සන්නද්ධ ගැටුමේ නෛතික රාමුව එයයි. ඒ නිසා අත් අඩංගුවේ හෝ සිර භාරයේ සිටින පුද්ගලයන් සම්පූර්ණ වශයෙන්ම අපරාධකරුවන්ය කියා හැඳින්වීමට අපහසුයි. ඇත්තෙන්ම මේ සිර භාරයේ ඉන්නේ නායකයෝ නොවෙයි. නායකයන්ව ආණ්ඩුව විසින් යුද්ධයේදි සහ අත්අඩංගුවට ගෙන ඝාතනය කර දැම්මා. දැනට ජීවතුන් අතර ඉන්න දෙවැනි නායකයා ආණ්ඩුවේ අමුත්තෙකු ලෙස නිදහසේ මේ රට තුළම ජීවත්වනවා. කරුණා අම්මාන් පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයෙක්. නමුත් දැන් සිර භාරයේ සිටින අති බහුතරයක් දෙනා රඳවාගෙන ඉන්නේ ඔවුන්ගෙන් ලබා ගත් පාපොච්ඡාරණයන් මත. ඒවා ලබා ගෙන තියෙන්නේ එක්කෝ හදිසි නීතිය යටතේ, නැතිනම් තස්ත්‍රවාදය වැලැක්වීමේ පනත යටතේ වධහිංසාවන් පාත්‍ර කිරීමෙන්. ඇත්තෙන්ම ඔවුන් දේශපාලන  සංසිද්ධියකට හවුල්වීම මත සිරභාරයට ගත් අයයි. ඒ නිසා මගේ නම් මතය ඔවුන් පැහැදිලි වශයෙන්ම දේශපාලන රැඳවියන් බවයි. මේ රජයට ඔවුන් සම්බන්ධයෙන් ඉක්මන් තීන්දුවක් ගැනීමට සිදුවනු ඇත්තේ ඒ නිසායි.☐

© JDS