"රාජ්‍ය පාලනයේ වෙනසකට අපි තවම දුරයි" - මහාචාර්ය ශ්‍යාම බන්නැහැක

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය (FUTA) අධ්‍යාපන අයිතීන් සහ පොදු මහජන ඉල්ලීම් පදනම් කරගත් බහුජන අරගල සමග සම්බන්ධයක් පවත්වාගෙන යාමේ ප්‍රවණතාවක් කලක සිට තිබේ. ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති, රට පුරා පැතිර ගිය ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවට ඔවුන් විසින් දැක් වූ විවෘත සහ සක්‍රීය දායකත්වය ඊට ආසන්න නිදසුන් සපයයි.

නමුත් නොනවතින මර්දන රැල්ලක තර්ජනය විසින් මේ වනවිට වපැතිරුණු විරෝධතා ක්‍රියාමාර්ග සාපේක්‍ෂ පසුබෑමකට තල්ලුකොට ඇති පසුබිමක, උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඉදිරිය පිළිබඳ සරසවි ආචාර්යවරුන් කල්පනා කරන්නේ කෙසේද?

"අපි මේ අරගලය කියලා කියන්නේ ගාලු මුවදොර අරගල භූමියටම නෙමෙයි. අරගලය කියන්නේ මේ පැවතුණු සමස්ත ක්‍රියාදාමය. අරගල භූමියෙන් යම් යම් පිරිස් භෞතිකව ඉවත් වුණාට අපිට පේන්න තියෙන්නේ ඔවුන් වුණත් අරගලයේ අරමුණු දිනාගන්න මේ කියන පුළුල ක්‍රියාදාමයේ ඉන්න බවයැ"යි සංගමයේ වත්මන් සභාපතිවරයා බලාපොරොත්තු සහගතව කියයි.

පෙර නොවූ විරූ පරිමාණයෙන් පැනනැඟුණු මහජන විරෝධතා ව්‍යාපාරය මේ දක්වා ආ මග ගැනත්, එහි හෙට දවස පිළිබඳවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සමග අපි කතා කළෙමු.

සංවාදය: කිත්සිරි විජේසිංහ


තිහාසයේ පළමු වතාවට පවතින ආණ්ඩුවකට එරෙහිව රටේ ජනතාව වීදි බැහැලා ගැඹුරුවන ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙසත්, ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවටම ඉල්ලා අස්වන ලෙසත් බලකළා. නමුත් මේ මොහොත වෙනකොට ඒ අරගලයේ පසුබෑමක් - නිහැඬියාවක් පෙනෙන්නට තිබෙනවා. ඒකට බලපෑව - බලපාන හේතු මොනවාද?

මහාචාර්ය ශ්‍යාම බන්නැහැක: ඉතිහාසය පුරාම අපි විවිධ අරගල පිළිබඳව අහලා, දැකලා තියෙනවා. නමුත් ඔබ කියපු ආකාරයටම ඇත්තටම මේ අරගලය පෙර පැවති හැම අරගලයකටම වඩා වෙනස්. මේක සාමාන්‍ය ජනතාව අතරින් මතු වුණ එකක්. කාලයක් තිස්සේ ඔවුන් විඳවන දුක් වේදනා වගේම ඇති වෙලා තියෙන පීඩනයෙන් මිදෙන්න බැරිවයි ජනතාව පාරට බැස්සේ. ආණ්ඩු පෙරලීමකට වඩා මිනිස්සුන්ට උවමනා වුණේ පවතින දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්න. මම හිතන්නේ ඒ අරමුණින් තමයි රටේ මිනිස්සු පාරට බහින්න පටන් ගත්තේ. හුදෙක් ආණ්ඩු වෙනසක් කිරීමට හරි ආණ්ඩුවකට එරෙහිව වීදි බහින තත්ත්වයක් හරි පේන්න නොතිබුණු නිසා තමයි ඇත්තටම විශ්ව විද්‍යාල ආචාර්යවරු හැටියට අපි වුණත් මේකට සහයෝගය දෙන්න තීරණය කෙරුවේ. මම කියන්න අවශ්‍යයි, විශේෂයෙන්ම මේ අරගලයට මුල් තැන ගත්තේ රටේ තරුණ පරම්පරාව බව. ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ ඔළු ගෙඩි වෙනසක් පාලනයේ වෙනවා දකින්නට. ඔවුන් ඉල්ලන්නේ පවතින සම්පූර්ණ ක්‍රමවේදයේ වෙනසක්. "සිස්ටම් චේන්ජ්" එකක් කියලායි ඔවුන් කිව්වේ. අපි එතනින් පටන් ගත්තොත් මුලින්ම මේ සිස්ටම් චේන්ජ් එකට තියෙන බාධාවල් ඔවුන් අඳුනාගත්තා. අනෙක තමයි මේ අර්බුදයේ මුල ගත්තොත් පහුගිය වසර කිහිපයේ රටේ ඇති වුණ දැවැන්ත ආර්ථික, දේශපාලන සහ සමාජයීය කඩා වැටීමත් මේ අරගලයේ ආරම්භයට බලපෑවා.

රාජපක්ෂ පවුලේ රාජ්‍ය පාලනය නිසා මේ රට දැවැන්ත අර්බුදයකට ගමන් කළා. ඒ පවුල් පාලනයෙන් රට මුදා ගන්න ඕනේ කියන එක වගේම, ඒ පවුල් පාලනය නිසා රට දැවැන්ත ආර්ථික පරිහානියකට ගමන් කරනවා කියන එකත් මිනිස්සුන්ට තදින්ම දැනුනා. මම හිතන්නේ ඒ ආර්ථික අර්බුදය තමයි මිනිස්සුන්ට බල කළේ මේ අරගලය ආරම්භ කරන්න. ඇත්තෙන්ම කලින් මැතිවරණවලදි රාජපක්ෂවරු බලයට ගේන්න ඡන්දය පාවිච්චි කරපු මිනිස්සු පවා මේ මතයේ හිටිය බව අපි දැක්කා.

අරගලයත් එක්කම යම්, යම් ධනාත්මක දේවල් ඇති වුණු බවත් අපි පිළිගන්න ඕනේ. ඇත්තටම ඒ සමහර දේවල් අරගලයේ ජයග්‍රණ විදිහට හඳුන්වන්නත් පුලුවන්. සියයට සියයක් නොවුණත් රාජපක්ෂ ග්‍රහණයෙන් යම් තාක් දුරකට රාජ්‍ය පාලනය මුදා ගන්න පුලුවන් වෙලා තියෙනවා. හැබැයි මම කියන් නෑ ඒක සර්ව සම්පූර්ණයි කියලා. අපි දන්නවා තවමත් ඔවුන්ගේ හෙවනැලි රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මකයි. අදෘශ්‍යමානව හෝ තිරය පිටි පස්සෙන් ඉඳලා ඒ අයගේ හස්තනයන් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පේනවනේ. ඒ වගේම තමයි මේ අරගලයත් එක්ක මේ රටේ මිනිස්සු ටිකක් විවෘතව හිතන්න පුරුදු වෙන ගතියක් අපි දැක්කා. මෙයට කලින් එලිපිට කතා නොකරපු, එහෙම නැත්නම් කතා කරන්න පැකිළුනු සමහර දේවල් විවෘතව කතා කරන්න මිනිස්සු පටන් ගත්තා. අපි හිතනවා ඒකත් මේ අරගලයෙන් ලබපු එක ජයග්‍රහණයක් කියලා. දැන් ගොඩක් සමාන්‍ය මිනිස්සු පෙළඹිලා තියෙනවා පක්ෂ, පාටවලින් තොර පාලන ක්‍රමයක් අවශ්‍යයි කියලා හිතන්න. ඔබට මම මුලින් කියපු 'සිස්ටම් චේන්ජ්' එක, එහෙම නැත්නම් වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන එක මේ දවස්වල අපි ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමින් ඉන්නවා. වෘත්තිය සමිති විතරක් නෙමෙයි, රටේ මෙයට පෙර එච්චර ඉදිරියට ආවේ නැති වෘත්තියවේදීන් පවා එක්කාසු වෙමින් පාලන ක්‍රමයේ වෙනසක් ඇති කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔවුන්ගේ අදහස්, යෝජනා ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ විදිහට බලද්දි යම් තාක් දුරකට මේ අරගලයේ යම්, යම් ජයග්‍රහණ ලබාගෙන තියෙනවා කියන එකට එකඟ වෙන්න අපිට පුලුවන්. නමුත් අරගලයේ මූලික අරමුණ වුණ රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීම කියන එකට නම් අපි තාමත් ගොඩක් දුරයි කියන එකයි මගේ හැඟීම.

බුද්ධිමය කතිකාවක්

පෙරළා පැමිණ සිටියත්, ජූලි මාසයේ සිදු වූ ගෝඨාභය රාජපක්ෂගේ පලා යෑමත් සමඟම, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වෙනවා. ඒ සමඟම එතෙක් අරගලයේ කොටස්කරුවන්ව සිටි ඇතැම් පුද්ගලයන් සහ විවිධ පාර්ශවයන් නොයෙක් හේතු ඉදිරිපත් කරමින් අරගල භූමියෙන් ඉවත් වෙනවා. බලයට පත්වුණු ජනාධිපතිවරයාට රටේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට යම් කිසි කාලයක් දිය යුතු බවත් ඇතැමුන් පැවසුවා. මෙයින් පැනනැඟුණු අරගලයේ අරමුණු ඉටුවීමට යම් බාධාවක් හෝ පසු බැසීමක් සිදුවුණේ නැද්ද?

මහාචාර්ය බන්නැහැක: මම හිතන්නේ අරගලයේ අරමුණු කියන එකට ඒක එතරම් බලපෑමක් කරන්නේ නැති බවයි. අරගලය කියන්නේ එක් ස්ථානයක් හෝ අරගල භූමියම හෝ නෙමෙයි කියන අදහසත් එක්කයි මම එහෙම කියන්නේ. ගාලු මුවදොර අරගල භූමිය ලෙස අදහස් කරනවා නම් යම්, යම් පිරිස් එතැනින් ඉවත්වෙන්න පටන්ගත්තා. නමුත් පොදුවේ ගත්තාම අපි මේ අරගලය කියලා කියන්නේ ගාලු මුවදොර අරගල භූමියටම නෙමෙයි. අරගලය කියන්නේ මේ ක්‍රියාදාමය. දැන් ඔය අරගල භූමියෙන් යම් යම් පිරිස් භෞතිකව ඉවත් වුණාට අපිට පේන්න තියෙන්නේ ඔවුන් වුණත් අරගලයේ අරමුණු දිනාගන්න ක්‍රියාදාමයේ ඉන්නවා. ඒ ඉවත් වෙන අයත් එහෙම තමයි කියන්නේ. මම හිතන්නේ අපි මේක පටලවා ගන්න හොඳ නෑ . අර මුල් දවස්වල වගේ බොහෝ දෙනා නොනිදා හිටපු අරගල භූමිය භෞතිකව නොතිබුණාට, ඒ හැම දෙනාම අරගලයේ සක්‍රිය පංගුකරුවන් හැටියට තවමත් ඉන්නවා.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වුණත් මුල් දවස්වල වගේ පාරේ කරන අරගලයේ පේන්න නැති වුණාට අපි එයින් එහාට ගිහින් මේ වෙන කොට යම් බුද්ධිමය කතිකාවක් ආරම්භ කරන්න අඩිතාලම දාලා තියෙනවා. අපි ඒ සංවාදය දකින්නෙත් මේ අරගලයේම කොටසක් විදිහටයි. ඒ වගේම තමයි රාජ්‍ය පාලනයේ යම් කිසි වෙනසක් ඇති කරන්න නම් එහෙම බුද්ධිමය සංවාදයක් අවශ්‍යමයි කියන තැන විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඉන්නවා. මේ අරගලය අපි ඉතිහාසයේ මෙතෙක් දැකපු අරගලවලට වඩා වෙනස් කියලා දැනෙන්න තවත් එක හේතුවක් තමයි අරගලයට මේ රටේ මධ්‍යම පාංතිකයන්ගෙන් ලැබුණු දායකත්වය. දැන් ඔය රනිල් වික්‍රමසිංහගේ ආගමනයත් එක්ක අරගල භුමියෙන් ඉවත්වෙන වැඩි පිරිසත් ඒ මධ්‍යම පංතියට අයත් වූ අය. අනෙක් පැත්තෙන් මුළු අරගලය පුරාම අපිට අහන්න ලැබුණු දෙයක්නේ මේක මේ "නිර්පාක්ෂික අරගලයක්ය" කියන එක. ඒකත් එක්කම සමහර අය තර්ක කරනවා "ඔන්න දැන් අරගලයේ තිබුණු නිර්පාර්ෂික ගතිය නැති වෙලා. ඒ හින්දා අපි මේකෙන් අයින් වෙලා පැත්තකට වෙනවා", වගේ අදහස් . නමුත් මම හිතන්නේ ඔය ගොඩක් අය අරගලය කියන සංකල්පයෙන් ඈත් වෙන් නෑ. ඒක අතහැරලා ගිහිනුන් නෑ. රාජපක්ෂවරුන් රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙලා අලුත් පාලකයෙක් පත් වුණ බවත්, ඒ නිසා ඔහුට වැඩ පටන්ගන්න යම් ඉඩක්, කාලයක් දිය යුතුයි කියන අයත් ඔය අතරේ ඉන්නවා.

හැබැයි ඒ කාරණයෙදි අපිට නම් ලොකු විශ්වාසයක් නෑ. තනි පුද්ගලයෙක් ට මෙතන කරන්න දෙයක් නෑනේ. අපි ඉතිහාසයේ දැක්ක දේ තමයි ගෝඨාභය රාජපක්ෂව බලයට ‌ගේන වෙලාවේ වුණත් පුද්ගලයෙක් ගැන තිබුණු දැඩි බලාපොරොත්තු එක්කනේ මිනිස්සු ඔහුව ගෙනාවේ. තනි පුද්ගලයෙක්ට මේක කොහෙමත්ම කරන්න බැහැ. රනිල් වික්‍රමසිංහ ආවා කියලා ප්‍රතිහාර්ය පාන්න එයාටත් බැහැ. මේ අර්බුදයට විසඳුම හොයන්න වෙන්නේ දේශපාලන ක්‍රමය හරහාම නම්, මේ පවතින පාර්ලීමේන්තුව තුළින් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියන ඒකයි අපේ විශ්වාසය. ජනාධිපතිවරයා පත් කිරීමේදියි, හදිසි නීති විවාදේ වෙලාවෙයි පාර්ලිමේන්තුව හැසිරුනේ කොහොමද කියලා අපි හොඳටම දැක්කනේ. එතන හිටපු කාටද මේ රටේ ජනතාව ගැන , ඔවුන්ගේ සිතුම්, පැතුම් බලාපොරොත්තු සහ දුක් ගැනවිලි ගැන අවබෝධයක් තිබුණේ? ඒ නිසා මම කියන්නේ අරගලය කියන එක මෙතැනින් එහාට යනවා නම් ඒ ගැන අපිට හිතන්න වෙනවා. නමුත් අහපු ප්‍රශ්නයට මම කෙලින්ම උත්තරයක් දෙනවා නම්, අරගල භූමියෙන් ඉවත් වුණාට, අරගලයත් එක්ක බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත් එක්කම මහා මැතිවරණයක් පිළිබඳ යම් ඉඟියක් ලැබෙන නිසා මම හිතන්නේ සමහර අය තමන්‌ගේ දේශපාලන කඳවුරු එක්ක, ඔවුන් ගන්න තීන්දු තීරණත් එක්ක ඉන්න ගතියකුත් අපිට පේන්න තියෙනවා. නමුත් අපිට දේශපාලන කඳවුරු හා බද්ධ අරමුණු නැති නිසා වෘත්තිකයන් විදිහට තවදුරටත් අපි මේ අරගලයේ පොදු අරමුණු එක්ක ඉන්නවා.

'ගෝඨා ගෝ ගම' යනු අරගලයද?

මේ අරගලය ආරම්භයේදිත්, එයින් පසුවත් අපි දුටු දෙයක් තමයි ඇතැම් පාර්ශව, පුද්ගලයන් ප්‍රධාන අරගල භූමියට පැමිණීමකින් තොරව ඔවුන්ට හැකි පමණ ප්‍රාදේශීයව, ගම් මට්ටමින් හා වැඩ බිම් ආශ්‍රිතව ඒකරාශී වෙමින් විවිධාකාරයේ උද්ඝෝෂණවල නිරතවෙනවා. නමුත් බොහෝ දෙනෙක් අරගල භූමිය ලෙස හඳුන්වන්නේ ගාලු මුවදොර පිහිටි " ගෝඨා ගෝ ගම'යි. මා සිතන්නේ ඔබ මෙයට පෙර මේ සම්බන්ධව යම් අදහසක් පළ කළා . නමුත් මා කැමතියි මේ පිළිබඳව තවදුරටත් ඔබේ අදහස දැන ගන්න. ඔබට අනුව අරගලය යනු, 'ගෝඨා ගෝ ගම' ද?

මහාචාර්ය බන්නැහැක: නෑ , අරගලය කියන්නේ "ගෝඨා ගෝ ගම " නෙමෙයි. ඒක මේ අරගලයේ සංකේතයක් විතරයි. කොළඹ ගෝඨා ගෝ ගමට එන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද කියලා අපි දන්නවනේ? නමුත් ඒ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම අරගලය තමන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන එකක් කියලා තේරුම්ගත්ත මිනිස්සු ඔවුන්ට හැකි පමණින් ඒ අය ජීවත්වන පළාත්වල , රැකියාව කරන ස්ථානවල උද්ඝෝෂණ පවත්වලා කොළඹ කේන්ද්‍රව පැනනැගුණු අරගලයට සහාය පළකළා. මම හිතන්නේ බොහෝ තැන්වල තවමත් එහෙමයි. යම් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් ගොඨාභය රාජපක්ෂගේ පලා යෑමත් එක්ක 'ගෝඨා ගෝ ගම'ට තිබුණු වැදගත්කම අවසන් වුණා කියලා. නමුත් මිනිස්සු එකතු වුණේ 'ගෝඨා ගෝ ගම' වටායි. මම මුලින් කිවුවා වගේ ඒක තමයි අරගලයේ සංකේතය වුණේ. නමුත් මේ වෙන කොට අරලයේ අරමුණු 'ගෝඨා ගෝ ගමින්' එහාට ගිහින් රටේ සාමාන්‍ය මිනිස්සු දක්වාම පැතිරිලා තියෙනවා. මම හිතන්නේ සංකේතයක් හැටියට බලද්දි 'ගෝඨා ගෝ ගම' සාර්ථකයි. ඒ වගෙම තමයි 'ගෝඨා ගෝ ගමි'න් අරගලයේ යම් අරමුණු කිහිපයක් ඉෂ්ඨ කර ගන්න අපිට පුලුවන් වුණා. ඒත් එක්කම 'ගෝඨා ගෝ ගම'වල් ප්‍රාදේශීයවත් බිහිවුණානේ. ඒකේ අදහස තමයි අරගලයේ පණිවිඩය රට පුරාම මිනිස්සු අතරට ගියා කියන එක . ගාලු මුවදොර, 'ගෝඨා ගෝ ගම' තව දුරටත් තිබුණා හෝ නැතුවා හෝ අරගලයේ අරමුණු වගේම 'ගෝඨා ගෝ ගම' සංකේතය රටට ගිහින් තියෙනවා කියන එකයි අපේ අදහස. මම හිතන්නේ අරගලය අවසන් නැහැ. අරගලයේ අරමුණු ඉටුකරගන්න අපි තවත් දිගු ගමනක් යන්න ඕනි කියන එකත් අමතක කරන්න හොඳ නැහැ.

අරගලය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සහ අවිහිංසාවාදි එකක් නොවන බවටත්, එයට සක්‍රීය දායකත්වය සපයන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, කැරලිකරුවන්, ත්‍රස්තවාදීන් සහ සමාජ විරෝධීන් මෙන්ම අපරාධකරුවන් යැයි රජයට සම්බන්ධ පිරිස් චෝදනා කළා. එනිසාම අරගලය යනු ආණ්ඩු විරෝධි කඩාකප්පාල්කාරී එකක් ලෙස හුවා දක්වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිට පාර්ලිමේන්තුවේ පක්ෂ, විපක්ෂ බහුතර පිරිසක් පවසන්නේ අරගලයට සම්බන්ධවූවන් මර්ධනය කර හෝ අරගලය නතර කර දැමිය යුතු බවයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය යනු මේ අරගලයට ආරම්භයේ සිටම සක්‍රීය දායකත්වයක් ලබා දෙන පාර්ශවයක්. මේ මතය ගැන අරගලයේ පාර්ශවකරුවකු ලෙස ඔබේ මතය කුමක්ද?

මහාචාර්ය බන්නැහැක: ඇත්තටම මේ මතය පාර්ලීමේන්තුව හරහා එළියට එන්නේ රනිල් වික්‍රමසිංහගේ ආගමනයත් එක්ක. අප්‍රේල් මාසේ පටන් අරන් ඊට පස්සේ අරගලය ටික ටික තීව්‍ර වෙලා ඉදිරියට යනකම්ම, කොටින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වෙනකම් කවුරුවත් අරගලයේ ඉන්නේ ත්‍රස්තවාදීන්, කුඩුකාරයෝ, අපරාධකාරයෝ කියලා කිවුවේ නැහැ. ඒක මේ විදිහට එළියට එන්නේ රනිල් වික්‍රමසිංහ බලයට ආවට පස්සේ. රටේ ජනතාවගේ කොන්දේසි විරහිත සහයෝගය අරගලයට ලැබුණා කියන එක අපි දන්න දෙයක්නේ. කෙනෙක්ගේ බාහිර ස්වරූපය දැකලා ඒ පුද්ගලයා අහවල් කෙනෙක්ය කියලා කියන්න පුලුවන්ද? අපේ රටේ, මිනිස්සු වර්ග කරන්නේ අඳින පළඳින විදිහ, කතා බහ කරන විදිහ, කොන්ඩේ රැවුල වවලා තියෙන විදිහ වගේ දේවල් බලලා. එහෙම නැතුව ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්, ඇතුළාන්තය දිහා බලලා නෙමෙයිනේ.

ඒ වගේම තමයි මෙච්චර දවසක් යම් මට්ටමකට අක්‍රිය වෙලා තිබුණු රාජපක්ෂ කඳවුරේ අය ඔන්න දැන් ආයෙත් පුරුදු විදිහට වැඩ පටන් අරන් තියෙනවා. සමහරු සමාජ මාධ්‍යවලින් මඩ ව්‍යාපාර ආයෙත් පටන් අරන්. නමුත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු මේ රටේ රාජ්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඔනේ කියලා රටේ මිනිස්සු පාරට බහිද්දි ඔය කවුරුත් එහෙම චෝදනාවක් අරගලයේ ක්‍රියාකාරීන්ට එල්ල කළේ නැහැ. දැන් මේ හදිසියේ මෙහෙම චෝදනා එල්ල කරන්නේ රටේ ඇති වුණු දේශපාලන බල තුලනයත් එක්කනේ. ගොඩක් අයට උවමනා වෙලා තියෙන්නේ තමන්ගේ දේශපාලන කඳවුරු ශක්තිමත් කරගන්න, බලය හදා ගන්න. ඒකට තමයි ඔහොම චෝදනා එල්ල කරන්නේ.

කොහොමටත්, ඉතිහාසය පුරාම අපි දැකපු එකක් තමයි මේ රටේ ජනතාව ආණ්ඩු පිළිබඳව, රාජ්‍ය පාලනය පිළිබඳව ප්‍රශ්න කරද්දි, ඒ පාලන ක්‍රම ප්‍රතික්‍ෂේප කරද්දි, රාජ්‍යයේ පාලන ක්‍රම වේදයන්ට එරෙහිව අරගල කරද්දි පාලකයෝ ඒවාට එරෙහිව මර්දනය, තර්ජනය වගේම භීෂණය යොදාගත්ත බව. ඒ වගේම තමයි හැම ආණ්ඩුවක්ම පක්ෂ, පාට භේදයකින් තොරව හැකි උපරිම මට්ටමින් හදිසි නීතිය වගේ මර්දන අණ පනත්, නීති යොදා ගත්තා රටේ සාමාන්‍ය ජනතාවගේ හඬ මර්දනය කරන්න. ඒ ක්‍රමවේදයම තමයි මේ අයත් අනුගමනය කරමින් ඉන්නේ. වමේ දේශපාලනයට සම්බන්ධයි හෝ කඩාකප්පල්කාරි වැඩවලට සම්බන්ධයි, එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍ය වගේ චෝදනාවක් ඉස්සරට දාපු ගමන් අපේ රටේ මධ්‍යම පාන්තිකන්ව ඕනෑම අරගලයකින් පහසුවෙන් ඉවත් කරන්න පුලුවන් කියලා ආණ්ඩු පාලකයෝ දන්නවා. අල්ලස් චෝදනා, මිනීමැරුම් චෝදනා වගේ බරපතල අපරාධ චෝදනා තියෙන, උසාවියෙන් වැරදිකාරයෝ වුණ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද? ඔය කියන චෝදනා අරගලයේ සක්‍රීයව හිටපු වෘත්තිකයෝ විදිහට අපි පිළිකුලෙන් ප්‍රතික්‍ෂේප කරනවා.

මර්දනයේ අනාගත ස්වරූප

මම කැමතියි එයටම අදාළ තවත් ප්‍රශ්නයක් මෙතැනදි මතුකරන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සනත් නිශාන්ත මන්ත්‍රිවරයා රූපවාහිනි වැඩ සටහනක් අතරතුර පසුගිය දිනෙක කියා සිටියා සිරීමා බණ්ඩාරනායක මැතිණිය 1971 දීත් , 88 /89 දි ජේ ආර් ජයවර්ධන සහ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරුන් විසිනුත් ඒ සමයෙහි පැන නැගුණු තරුණ කැරළි මර්දනය කළ අයුරින් ගෝඨාභය රාජපක්ෂ වර්තමාන අරගලය මර්දනය නොකර සාමකාමීව බලය අතහැර ගිය බවට. රාජ්‍ය බලය යොදා ගෙන මෙම අරගලය මර්දනය නොකිරීම වරදක් බවයි මෙම ප්‍රකාශයෙන් අදහස් වෙන්නේ. අනෙක් පසින් මෙවැනි ජනතා අරගලයක් ප්‍රචණ්ඩව මර්දනය කිරීම යුක්ති සහගත බවකුත් මෙයින් හැඟෙනවා. මේ මොහොත වන විටත් රාජ්‍ය මර්දනය උපරිම මට්ටමින් ක්‍රියාත්මක වන බව අප දන්නවා. මන්ත්‍රීවරයාගේ මතය ආණ්ඩුව ප්‍රතික්‍ෂේප නොකර ඇති තත්ත්වයක් තුළ රාජ්‍ය මර්දනයේ ඉදිරි ස්භාවය පිළිබඳව ඔබේ මතය කුමක්ද?

මහාචාර්ය බන්නැහැක: අර මම කලින් කිවුවා වගේ ජනතාවගේ නැගීටිමක් එනකොට රාජ්‍යය පැත්තෙන් ඒකට උත්තරය නැතිවෙන කොට කරන එකම දේ තමයි මර්දනය යොදා ගන්න එක. 71 වෙන්න පුලුවන්, 88/89 දි වෙන්න පුළුවන්, දේවල් සිදුවුණේ එහමෙයි. අනෙක අපිට අමතක කරන්න බැහැ උතුරේ අරගලය මර්දනය කරන්න ගත්ත ක්‍රියාමාර්ග. අතීතයේ ඇතිවුණ අරගලවලදි කළකිරීමට හෝ අපේක්‍ෂා භංගත්වයට පත් ජනකොටස් අවි ආයුධ අතට ගත්තා. මේ අරගලය එහෙම එකක් නෙමෙයි. නිරායුධව ආපු මිනිස්සු සටන් පාඨ විතරක් අරගෙන සාමකාමීවයි ආවේ. අපි දැක්කනේ සමහර දේශපාලන පක්ෂ තමන්ගේ පාක්ෂිකයන්ට කිවුවා මේකට සම්බන්ධ වෙන්න එපා කියලාත්. එහෙම තියෙද්දිත් මිනිස්සු කොළඹට ආවේ මාස ගානක් තිස්සේ තමක් විඳවපු දුක් වේදනාවල්, අඟහිඟකම්වල වේදනාවල් පිට කරන්න. ඒ වගේ සාමකාමී අරගලයක් ලේ වගුරලා මර්දනය කරන්න ඕනේ කියලා කියනවානම්, ඒ කියන පුද්ගලයගේ බුද්ධි මට්ටමත් - ශිෂ්ඨත්වයේ මට්ටමත් ඒකෙන්ම තේරෙනවා.

අනෙක මර්දනය ගේන්න කතා කරන එකද කරන්න අවශ්‍ය වෙන්නේ, එහෙම නැතිනම් රටේ මිනිස්සු සාමකාමීව පාරට බැහැලා රාජ්‍ය පාලනයේ වෙනසක් ඉල්ලපු එකට බලපාපු හේතු හොයන්නද අවශ්‍ය? පාලකයන්ට කරන්න තිබුණේ ජනතාවගේ ඉල්ලීම්වලට කන් දෙන එක මිසක් මර්දන නීතී අණ පනත් ගෙනත් පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ව තලලා පොඩි කරලා දාන එක නෙමෙයි. අඩුම තරමින් තිබුණා 'මෙහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා, අපි ඉන්නේ ලොකු ආර්ථික අර්බුදයක' කියලා ජනතාවට කල්තියා කියන්න. නමුත් හොරෙන් පැනලා යනකම්ම හැමදේම රටේ සාමාන්‍ය ජනතාවගෙන් හැංගුවා. විදුලිය තියෙනවා, තෙල් ඔන තරම් තියෙනවා කියමින් හැම වෙලේම හැදුවේ මිනිස්සුන්ව රවට්ටන්න. ඕනෑම රටක මිනිස්සුන්ව රවටන එකෙයි, රැවටෙන එකෙයි සීමාවක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ නොහැකියාවෙන් ඇති වුණු අරගලයක් චණ්ඩිකමින් මර්දනය කරන්න හදනවානම් ඒකත් බොළඳ කමක්.

හැබැයි, ඉදිරියේදි මර්දනය නොයෙක් නොයෙක් ආකාරයෙන් එන්න පුලුවන් කියන එක අපිත් විශ්වාස කරනවා. ඇත්තෙන්ම අපි මේ දවස්වල වැඩි වශයෙන්ම කටයුතු කරන්නෙත් එල්ල වෙන්න පුලුවන් මර්දනය කොයි වගේ එකක්ද, ඒකට රටේ සාමාන්‍ය ජනතාව විදිහට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන එක ඉලක්ක කරගෙන. අපිට පේනවා මේ මර්දනය මේ වෙන කොට විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. හදිසි නීතිය තමයි අලුත්ම අවිය. දැන් තියෙන නීති බොහෝමයක්, තනිකරම මර්දනය වෙනුවෙන්ම ගෙනාපු නීති.

ඊළඟ කාරණය තමයි හමුදාව පාරට බස්සන එක. පොලිසියට ඉස්සරහින් හමුදාව දාලා යුධ ටැංකි පාරේ යවනකොට මිනිස්සු බය වෙනවානේ. උසාවියේදි මුල ඉඳන්ම උත්සහ කරලා තිබුණා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ භයානක පනතක් යටතේ නඩු දාන්න. නමුත් මුලදි නීතිඥවරුන්ගේ මැදිහත්වීම මත ඒක කරන්න බැරි වුණා. අපි දැක්කා යුධ සමයේදි එක ජන කොටසක් මර්දනය කරන්න ඒ පනත යොදා ගත්ත විදිහ. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයත් එක්ක තව ජන කොටසක් මර්දනය කරන්නත් ඒ පනත යොදා ගත්තා. අවසානයේ ඉතුරු වෙලා තිබුණ ජන කොටස මර්දනය කරන්නත් මේ පනත යොදා ගනිමින් ඉන්නවා.

අනෙක් වැදගත්ම දේ තමයි ආණ්ඩුව මේ මොහොතේ උත්සහ ගන්නවා විවිධ හේතු කාරණා යටතේ මිනිස්සුන්ව හිර කරන්න. අත්අඩංගුවට ගන්න. කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව ශිෂ්‍යයෝ වීදි බැස්සහාම ඒ අය මර්දනය කරන්න ගෙනාවේ පොදු දේපල පනත. මේ අරගලයෙදිත් පොදු දේපල පනත, ඒ වගේම පුරා විද්‍යා පනත යටතේ අත්අඩංගුවට ගන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. ඒකට හේතුව, ඒ පනත් අරහා අත්අඩංගුවට ගත්තාම ඇප ලබා ගන්න බෑ . දීර්ඝ කාලයක් හිරගත කරලා තියන්න පුලුවන්. තියෙන අණ පනත් විතරක් නෙමෙයි, ව්‍යවස්ථාවේ තියෙන රෙගුලාසි පවා යොදා ගන්නවා මේ වෙලාවේ ජනතාව මර්දනය කරන්න.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට එරෙහිව පැවති උද්ඝෝෂණ අතරතුරදී විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම ආචාර්යවරුන්ද මර්දනයට ලක්වුණා. හඳුනා නොගත් කණ්ඩයායම් මෙන්ම බුද්ධි අංශ ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පසුපස ලුහුබඳිමින් ඇතැමුන්ව පැහැරගෙන යාමට පවා උත්සාහ දැරුවා. මෙම අරගලයටත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සැළකිය යුතු දායකත්වයක් සපයනවා. මේ මොහොතේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත එල්ල වෙන මර්දනය පිළිබඳව ඔබගේ තක්සේරුව කුමක්ද?

මහාචාර්ය බන්නැහැක: මේ මර්දනය එන්නේ පියවරෙන් පියවර. ආණ්ඩුව මුලින්ම ගොදුරු කරගන්න හදන්නේ අරගලයේ ඉදිරියෙන්ම හිටිය ශිෂ්‍ය ක්‍රියාකාරිනුයි , තරුණ අයයි. අපි හිතන්නේ ඊට පස්සේ තමයි ඊළඟ වටයට එන්නේ. තවම අපි වගේ වෘත්තීය කොටස් ඉලක්ක කරලා සෘජු මර්දනයක් එල්ලවෙලා නැහැ. හැබැයි එහෙම සිදු නොවෙයි කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. අරගලයේ මුල් අවස්ථාවල විවිධාකාරයේ තර්ජන අපිට ආවා. උදාහරණයක් විදිහට කියනවා නම් විශ්ව විද්‍යාල පරිපාලනය අපිට කිවුවා ආචාර්යවරු මාධ්‍යට අදහස් දක්වන ඒවා සීමා කරන්න කියලා. තව අවස්ථාවල, ආයතන සංග්‍රහය උපුටා දක්වලා විවිධ සීමා කිරීම් කරන්න, අපිව නිහඬ කරන්න හැදුවා. අන්න එහෙම වක්‍රව ආපු මර්දනයක් තමයි මුලින් ක්‍රියාත්මක වුණේ. ඒ තත්ත්වය අපි කොහොමටවත් සුළුවෙන් තකන්නේ නෑ. ඒකත් එක විදිහක මර්දනයක්.

අරගලයට මුල් අවස්ථාවේ සිටම සක්‍රීය දායකත්වයක් සපයන ප්‍රධාන පාර්ශවයක් වන්නේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ශිෂ්‍ය, ශිෂ්‍යාවනුයි. මේ වන විටත් ඔවුන් බොහෝ දෙනෙකු පසුපස රජයේ ආරක්ෂක අංශ විසින් ලුහුබැඳිම් සිදු කරනවා. ඒ සමඟම රාජ්‍ය විරෝධි ක්‍රමන්ත්‍රණ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරින් තිදෙනෙකුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත් කර තිබෙනවා. අයිතිවාසිකම් උදෙසා අරගල කරන, සටන් වදින පාර්ශවයන් නිහඬ කිරීමට ත්‍රස්ත මර්දන පනත් යොදා ගැනීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

මහාචාර්ය බන්නැහැක: ශ්‍රී ලංකාවේ හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් ව්‍යවස්ථාවේ ති‌බෙන යම් යම් ප්‍රතිපාදන, හදිසි නීති රෙගුලාසි මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි විශේෂ අණ පනත් යොදා ගෙන මහජන අරගල, ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙන්ම රාජ්‍යයට විරෝධය පෑමට තියෙන අයිතිය යටපත් කරන්න උත්සහ දැරුවා. රනිල් වික්‍රමසිංහටත් මේ තත්ත්වය පොදුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත් වුණු මුල් අවස්ථාවෙම අපි ඔහුගේ මර්දනකාරි ස්වභාවය අඳුන ගත්තා. අපි ඒකට විරෝධයත් පෑවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ මොනතරම් භයානක, ඒ වගේම මර්දනකාරි පනතක් ද කියන එක මේ රටේ වර්තමානයෙන් වගේම ඉතිහාසයෙනුත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒ පනත සම්පූර්ණයෙන්ම අයින් කළ යුතුයි කියන මතයේ තමයි විශ්ව විද්‍යාල ආචාර්වරුන් විදිහට අපි ඉන්නේ.

නමුත් මම හිතන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව මේ මර්දනය නොනවත්වාම ක්‍රියාත්මක කරයි . මොකද එහෙම නැත්නම් මේ මර්දන පනත් ආපස්සට හරවන්නයි, ඒ පනත් යටතේ අත්අඩංගුවට ගත්ත ක්‍රියාකාරින්ව නිදහස් කරන්නයි ඔහුට තිබුණු කාලය හොඳටම ඇති. ශිෂ්‍යයන්ව රැඳවුම් භාරයට පත් කරන්න රැඳවුම් නියෝගයට අත්සන් කළේ ආරක්ෂක ඇමතිවරයා විදිහට ඔහුයි.

මේ පැනනැගුණ අරගලය ජනතාවගේ අරගලයක්. ඒක රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නෙවෙයි. අපිට ගැටළුව තිබුණේ පැවති ආණ්ඩුවත් එක්ක. ජනතා විරෝධි ආණ්ඩුවකට හරි පාලන ක්‍රමයකට හරි එරෙහිව හඬ නගපු මිනිස්සුන්ව ත්‍රස්තවාදීන් විදිහට හංවඩු ගහලා, මරදනය කරලා , තලලා පොඩි කරලා දාන්න නම් මේ හදන්නේ ඒකට නායකත්වය දෙන රාජ්‍ය නායකයා හරි ආණ්ඩුව හරි ජනතා අභිලාෂයන් මුදුන්පත් කරන්න ආව අණ්ඩුවක් කියලා කියන්න පුලුවන්ද?

මේ විදිහට මර්දනය දියත් කරලා අරමුණු දෙකක් ඉටු කර ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා කියලයි මට හිතෙන්නේ. එකක් තමයි අරගලයට සක්‍රීයව දායක වුණු ශිෂ්‍යයන්ව, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ක්‍රියාකාරින්ව මර්දනය කරලා ඔවුන්ගෙන් පළි ගන්න උත්සහ කිරීම. දෙවන කාරණය තමයි කිසිම සංවිධාන ගතවීමකින් තොරව, තනි තනි පුද්ගලයන් හැටියට අරගලයට දායක වුණු අයව හොය හොයා අත්අඩංගුවට අරන් ඒ පුද්ගලයන්ව මානසිකව බිය ගන්වලා අරගලයෙන් ඈත් කරන්න උත්සාහ කරන එක. ආණ්ඩුව හිතනවා ඇති එහෙම කළාම ඉදිරියේදී අරගලයට සම්බන්ධවෙන හෝ දැනටත් සම්බන්ධ වෙලා ඉන්න අයව හරි අරගලයෙන් ඈත් කරන්න පුලුවන් වෙයි කියලා.

මේක එක්තරා විදිහක රාජ්‍ය භීෂණයක්. අරගලයේ සෘජු ක්‍රියාකාරීන් මර්දනය කරලා පැත්තකට කරන්න බැරි වෙන්නේ ඔවුන් ශිෂ්‍ය ව්‍යාපාරය විදිහට හරි, එහෙමත් නැත්නම් වෘත්තිය සමිති, බහුජන ව්‍යාපාර හරි විදිහට අරගලයට එකතු වෙලා ඉන්න නිසා. නමුත් තනි තනි පුද්ගලයෝ හැටියට අරගලයට එකතු වුණු අයගේ තත්ත්වය එහෙම නෙමෙයි. ආණ්ඩුව දන්නවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ පනතකින් සංවිධානගතව ඉන්න එක්කෙනෙක් දෙන්නෙක්ව හිරකළාම ඉතාම පහසුවෙන් එහෙම සංවිධානගත වෙලා නැති අයව අරගලයෙන් ඈත් කරන්න පුලුවන් කියලා. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අපිට මේ දෙන්නේ ඉදිරියට එන්න පුලුවන් සෑබෑ මර්දනයේ සංඥා එළි.

කොහොම වුණත් ඇති වෙමින් තියෙන මර්දනයේ තීව්‍ර ස්භාවයත් එක්ක අපි තීරණය කළා පළමුවෙන්ම අපිට ලැබෙන තොරතුරු යම් ජාලගතවීමක් හරහා බෙදා ගන්න. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ යමෙක් පසුපස ආරක්ෂක අංශ හරි වෙනත් කණ්ඩායමක් හරි ලුහු බඳිනවා නම්, කාව හරි අත්අඩංගුවට ගන්න හදනවා නම් ඒ තොරතුරු ක්‍ෂණිකව එකිනෙකා හරහා බෙදාගෙන ඒ සම්බන්ධව ගන්න පුලුවන් ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගන්න එක. අපි හිතන්නේ යම් සිදුවීමක් වෙන කොට ඒක සම්බන්ධයෙන් තොරතුරු අනෙක් පාර්ශව දැන ගන්න එක වැදගත්. මොකද එහෙම වෙනකොට පොලිසිය වුණත්, හමුදාව වුණත් ඔය මර්දනයේ යෙදෙන කාට වුණත් ටිකක් පසුබහින්න සිද්ධ වෙනවා.

රාජ්‍ය අපරාධ

ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මර්දනයට ගොදුරුවන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යම් මැදිහත් වීමක් මෙයට පෙර කරනු ලැබුවා. නමුත් මේ වන විට ඉතා සීග්‍ර ලෙස සිදුවන අත්අඩංගුවට ගැනීම්, පැහැර ගැනීම් ආදීයේදි මෙන්ම නීතිඥවරුන්ට එල්ලකළ පහරදීම්වලදි පවා නීතිඥ සංගමය සංවිධානයක් වශයෙන් එයට එරෙහිව මැදිහත්වීමක් සිදු නොකරන තත්ත්වයක් පෙනෙන්නට තියෙනවා. බොහෝදුරට මැදිහත්වීම් කරන්නේ සංගමයෙන් ස්වාධීනව නීති ආධාර සපයන තරුණ නීතීඥ ප්‍රජාව විසිනුයි. නීතිඥ සංගමයේ මේ "පසුපසට" යෑමට හේතුව කුමක් විය හැකිද?

මහාචාර්ය බන්නැහැකෙ: අපිත් සංගමයක්. ඉතින් සංගමයක් කටයුතු කරද්දි යම් කිසි සීමාවකට යටත්ව තමයි කටයුතු කරන්න වෙන්නේ. සංගමයේ ව්‍යවස්ථාවක් තියෙනවා, සමාජීකයෝ විවිධ පසුබිම්වලින් එන අය. ඒ හැමෝම එක මතයක නැහැ. එතනදි අපි වැනි සංගම් හැමෝටම කටයුතු කරන්න වෙන්නේ යම් සීමාවක් ඇතුව. අපිට උවමනාවක් තියෙනවා වෙන්න පුලුවන් රටේ හැම පොදු ප්‍රශ්නයකටම මැදිහත් වෙන්න. ඒව සම්බන්ධයෙන් කටයුතු කරන්න .නමුත් එහෙම කරන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ සීමාවන් නීතිඥ සංගමයටත් ඇති.

නමුත් සංගමයට මොන සීමා තිබුණත් අපි දකිනවා නීතිඥවරුන්, වෘත්තිකයන් විදිහට මේ අරගලයට විශාල සහයෝගයක් ලබා දෙනවා. මම හිතන්නේ ඒකයි වැදගත්.

රාජ්‍ය පාලනයේ වෙනසක් අවශ්‍ය බව කියමින් අරගලයට සම්බන්ධව සිටින අය, තම ඉල්ලීමට ඇති පදනම සනාථ කිරීම වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම ඉදිරිපත් කරන්නේ රටේ ආර්ථික පරිහානියයි. නමුත් රාජපක්ෂ පාලනයේ ගෙවුණු දශක එකහාමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ සියළු ජන කොටස්වලට එරෙහිව මුදාහළ මර්දනය සහ බරපතල රාජ්‍ය අපරාධවලට එරෙහිව යුක්තිය අවශ්‍යයි කියන කිසිදු ප්‍රකාශයක්, සටන් පාඨයක් පැවති අරගලය තුළ අපට අසන්නට ලැබුණේ නැතිතරම්. රාජ්‍ය අපරාධකාරිත්වය නොතකා හරිමින් ආර්ථික පරිහානිය පිළිබඳව පමණක් කතා කොට ඔබ සඳහන් කළ " සිස්ටම් චේන්ජ් " එක කර ගන්නට පුලුවන්ද?

මහාචාර්ය බන්නැහැක: ආර්ථික ප්‍රශ්න පිළිබඳව තරමටම උඩට ආවේ නැති වුණාට මම හිතන්නේ ඔබ ඔය කියපු කාරණා කිසියම් තරමකට සංවාදයකට ලක් වුණා. අතුරුදහන් වූ අය පිළිබඳ ප්‍රශ්නය , උතුරේ ඉඩ කඩම් පිළිබඳ ප්‍රශ්නය වගේ දේවල් යම්තාක් දුරට කතාබහට ගැණුනා.මේ තාක් අපි ප්‍රසිද්ධියේ කතා කරන්න මැලිවුණ, එහෙම නැත්නම් කතා නොකරපු ගොඩක් දේ එතැන කතා කෙරුවා. ඒ වගේම තමයි උතුරු - නැගෙනහිර ප්‍රශ්නය ගැනත් කතා කරන්න පටන් ගත්තා. අරගල භුමිය තුළ ආගමික සහජීවනය ඇති වෙන විදිහේ වැඩ කටයුතු සිද්ධ වුණා. ඒත් මම පිළිගන්නවා අපි තව දුරටත් මානව හිමිකම් වගේ දේවල් සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතා කරන්න අවශ්‍ය බව. 'සිස්ටම් චේන්ජ්' එක කියන කාරණයේදි අපි බලාපොරොත්තු වෙච්ච එක දෙයක්නේ ආර්ථික හෝ සමාජීය වශයෙන් කරපු අපරාධවලට වගඋත්තර බැඳීමක් වගේම මේ අයට දඬුවමක් ලැබෙන්න අවශ්‍යයි කියන එක.

දැන් ඇති වුණු වෙනසත් එක්ක ඒවා ආයෙත් යට ගියා. ඒකයි අපි කියන්නේ මේ ආණ්ඩුව සහ පවතින පාර්ලිමේන්තු සංයුතිය හරහා ඔය දේවල් වෙන්නේ නෑ. ඒක නිසා කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට යන එකයි. ජනතාවට වගකියන පාර්ලිමේන්තුවකින් විතරයි අපිට පුලුවන් වෙන්නේ රාජ්‍ය අපරාධ සහ බරපතල මුල්‍ය වංචා සියළු සාපරාධී ක්‍රියා පිළිබඳ යුක්තිය ඉටුකර ගන්න.☐

© JDS