ඇන්සල් ලංකා: හත් වසක් දිග්ගැසුණු බියගම කම්කරු දඩයම

සර දාහතක එක්සත් ජාතික පක්ෂ පාලනය අවසන් කොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ නායකත්වයෙන් යුතු පොදුජන එක්සත් පෙරමුණ බලයට ආවේ 1994 අගෝස්තු 16 වැනිදා ය. නමුත් ඒ අවුරුද්ද පටන්ගන්නට කලින් සිටම එජාපයේ පරාජය නියත බව කවුරුත් වටහාගෙන තිබුණි. අගෝස්තු මාසයේ 'පොදු පෙරමුණේ' ජයග්‍රහණය ඒ නිසාම නියත එකක් සේ පෙනුණි. දකුණේ මිනිස් සංහාරයට යුක්තිය ඉටුකරමින්, රාජ්‍ය අපරාධවලට තිතත්, 'විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණක්' ලබාදෙන ආර්ථික පිළිවෙතත් චන්ද්‍රිකාගේ ජයග්‍රහණය ඉලක්ක කොටගත් මැතිවරණ ව්‍යාපාරයේ පෙරමුණේ ගෙනයන බැනර සේ සැළකුණි. 'ජයග්‍රහණයේ අභිෂේක මංගල්‍යය' පිළිබඳ විකල්ප පත්තර සිරස්තල ආසිරි වැසි යට චන්ද්‍රිකා අගමැතිවරිය වශයෙන් පත්වූයේ එයින් පසුව ය.

නමුත් ඒ ජයග්‍රහණය ගැන පුවත ලැබෙන්නට පෙරම, එජාපයේ පරාජය ගැන නියත විශ්වාසයත්, යුක්තිය හා ආර්ථික සහන පිළිබඳ බලාපොරොත්ත්තුවත් විසින් පහළ සමාජ පන්තීන් තුළින් පැනනගින බහුජන සටන්වල නව පිබිදීමක් දක්නට තිබුණි. ශිෂ්‍යයෝද, කම්කරුවෝද, ගොවි ජනයා ද, අතුරුදහන් වූ දරුවන් සොයන මව්වරු ද, මාධ්‍යකරුවෝ ද ආර්ථික ආර්ථික සුරක්ෂිතතාවත්, යුක්තියත්, පළල් නිදහසත් ඉල්ලා විරෝධතා සංවිධානය කළහ.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ඇන්සල් ලංකා වැඩබිම් කම්කරුවන්ගේ වෘත්තීය සටනක් 1994 ජූලි මාසයේ සිටම ඇවිළ ගියේ ඒ අනුව ය. මේ කතාව පටන්ගන්නේ ඒ කතාවෙනි.

වෛද්‍ය හා කාර්මික අත්වැසුම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු බහුජාතික සමාගමක් වූ ඇන්සල් සමාගම, නිෂ්පාදන යන්ත්‍ර කිහිපයක් යොදා ගනිමින්, අවම පහසුකම් සහිත නිෂ්පාදන කම්හලක් බියගම නිදහස් වෙළඳ කලාපයේ දී ඇන්සල් ලංකා නමින් ආරම්භ කරන්නේ 1989දී ය. නිදහස් වෙළඳ කලාපයේ බොහෝ වැඩබිම්වලට පොදු වූ දුෂ්කර සේවා කොන්දේසිවලට යටත්ව සේවය කළ ඇන්සල් කම්කරුවන් අතරින් ශක්තිමත් කල් අල්ලා සිටින සටනක් 1994දී පැන නැගුණේ යට කී දේශපාලන පෙරළීන් විසින් ඇති කළ අපේක්ෂාවලින්ද පිටුබලයක් ලබමිනි.

ප්‍රේමරත්න ඝාතනය

අලුත් ආණ්ඩුව, පරණ ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙත් අනුගමනය නොකරනු ඇතැයි බොහෝදෙනා කල්පනා කළහ. අගෝස්තුවේදී අගමැති ධූරයට පත් චන්ද්‍රිකාත්, ඇගේ ආණ්ඩුවේ කම්කරු ඇමති ධූරයට පත් මහින්ද රාජපක්ෂත් 'වමට බර' පිරිස් යැයි තිබූ ආකල්පය ඊට හේතුවූවා නිසැක ය.

1994 ජුලි මාසයේදී වැඩ වර්ජනයට බට සියලු කම්කරුවෝ කම්හල සිය යටතට ගැනීමට ද සමත් වූහ. ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නායකයන් වූ මොහොමඩ් නියාස් හා මැතිව් ප්‍රනාන්දු ද, ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු කම්කරු සංගමයේ බාලා තම්පෝ සහ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ එස්. සුබසිංහ ආදීන් ද ඇන්සල් ලංකා කම්කරුවන්ගේ අරගලය ජයග්‍රහණය කරා ගෙන යාමට නන් අයුරින් දායක වූවෝය. එහෙත් ඇන්සල් පාලකයන් මෙන්ම නව ආණ්ඩුව විසින් කම්කරුවන්ගේ හඬට සවන් දෙනවා වෙනුවට මර්දන බලඇණි කැඳවීමට පියවර ගනු ලැබුණි.

සිය යුක්ති සහගත ඉල්ලීම් අලුත් ආණ්ඩුවේ 'ජනතාවාදී නායකයන්' වෙත ඉදිරිපත් කිරීම අරමුණු කරගත් ඇන්සල් කම්කරුවෝ බියගම වෙළඳ කලාපයේ සිට අරලිය ගහ මැදුරට පා ගමනක් ආරම්භ කළේ 1994 සැප්තැම්බර් 5 වැනිදා ය. ඇන්සල් කම්කරුවන්ට අමතරව, කොරියානු පෝසිලේන් සමාගමක් වන සෙරමික් වරල්ඩ් කම්හලේත්, පාකිස්තානු - අරාබි සමාගමක් වන අලිටෙක්ස් කම්හලේත් කම්කරු පිරිස්වල දායකත්වයෙන් සැදුම්ලත් 7,000ක පමණ කම්කරුවෝ උදෑසන 7.30ට බියගම විදුලි බලාගාරය අසළට රැස්ව විරෝධතා පා ගමන ආරම්භ කළහ. නමුත් ඔවුන් සියඹලාපේ හන්දිය පසු කර මීටර් කිහිපයක් ඉදිරියට ගමන් ගන්නවාත් සමඟම, ඒ වනවිටත් කැඳවා තිබු පොලිස් බල ඇණි විසින් මග අවුරා නිරායුධ කම්කරුවන්ට වෙඩි තැබූහ. සමෘද්ධි මාවත කම්කරු ලෙයින් තෙත් කරමින් ඇන්සල් කම්කරු යූ. ඒ. ප්‍රේමරත්න වෙඩි පහරක් වැදී ඇද වැටුණු අතර කම්කරු සේවිකා කේ.ඒ. වසන්තිගේ පාදයක වළලුකර පොලිස් වෙඩි පහරකින් පසාරුව ගියේය. විසිර පලායනු වෙනුවට පෙරළා පොලිසිය හා සටන් කළ කම්කරුවෝ පොලිස් ජීප් රියක් ගිනි තැබූහ. ගැටුම නිමාවන විට අට දෙනකු පොලිස් වෙඩි ප්‍රහාරයන්ගෙන් තුවාල ලබා සිටි අතර ඔවුන් සමග තවත් පිරිස් රෝහල් ගත කරනු ලැබුණි.

බලයත් පත්ව දෙසතියකින් කම්කරු ඝාතනයකට පොලිස් බලඇණි මෙහෙයවීමේ අපකීර්තියට හා විරෝධයට ලක් වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව වහා මැදිහත්ව, ඇන්සල් පාලකයන් මගින් වහා සේවකයන්ගේ ගැටළු නිරාකරණයට එළඹුණු අතර ඒ මගින් ඇන්සල් කම්කරුවෝ ඉල්ලීම් රැසක් දිනා ගැනීමට සමත් වූහ. වර්ජනයේ නිරත කාලය වෙනුවෙන් හිඟ වැටුප් සමඟ 21% ක වැටුප් වැඩිවීමක් ද, අසනීප නිවාඩු 7 ක්ද, මියගිය කම්කරු ප්‍රේමරත්න හා තුවාල ලැබූ කම්කරුවන් වෙනුවෙන් වන්දි ද ලබා දීමට එකඟ වීමත් සමඟින් දෙපාර්ශවයේ එකඟතාවය මත වැඩවර්ජනය අවසන් කෙරිණි.

ඇන්සල් ලංකා කම්කරු අරගලය මෙසේ ජයග්‍රාහීව නිමාවත් සමඟ එය බියගම නිදහස් වෙළඳ කලාපයේ සෙසු කර්මාන්ත ශාලා වල කම්කරුවන්ට ද සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටින්නට ආස්වාදයක් මෙන්ම දිරියක් ද සපයනු ලැබුණි. යන් ඇන්ඩ් ලංකා, සෙරමික්, C&H ඇතුළු සෙසු කර්මාන්ත ශාලා කම්කරුවෝ ද වෘත්තීය සමිති යටතේ සංවිධානය වෙමින් සටන් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූහ.

ඇන්සල් ලංකා කම්කරුවෝ වෘත්තීය සමිතියක් ලෙස ගොනු වෙමින් සේව්‍ය - සේවක සාකච්ඡා මගින් කම්කරුවන්ගේ අයිතීන් තහවුරු කර ගැනීමට සමත් වීමත් සමගින් කර්මාන්ත ශාලාව තුළ 'කාර්මික සාමයක්' නිර්මාණය වී ඇති බවට උදම් අනනු ලැබුණි. බියගම නිදහස් වෙළඳ කලාපයේ අනෙකුත් කර්මාන්ත ශාලා කම්කරුවන්ට වඩා වැඩි වරප්‍රසාද දිනා ගැනීමට ඇන්සල් කම්කරුවන්ට උදාවීමත් සමඟින් නිෂ්පාදන තත්වය ඉහළ දමමින් වඩාත් කාර්යක්ෂම කර්මාන්ත ශාලාවක් බවට පත් වීමට එම තත්වය බලපෑවේය. නිෂ්පාදනය පුළුල් වීමත් සමඟ කර්මාන්ත ශාලාව පැවති ඉඩකඩ සීමිත වූ බැවින් ආසන්නයේ පිහිටි කර්මාන්ත ශාලා ගොඩනැගිලි ද ඇන්සල් සමාගම වෙත ඇඳා ගනිමින්, නව යන්ත්‍ර සුත්‍ර සවිකරනු ලැබුණි. ලොව අංක එකේ අත්වැසුම් නිෂ්පාදකයා වීමට ඇන්සල් සමාගමට එතරම් කාලයක් ගත නොවුණේ ඒ අනුව ය.


නිෂ්පාදන පුළුල් කිරීමත් සමඟින් ලියොන්ස් නම් සමාගම හරහා 'මෑන් පවර්' කම්කරුවන් බඳවා ගැනීමට ඇන්සල් ලංකා පාලකයෝ කටයුතු කරන්නට වුයේ කම්කරුවන්ගේ විරෝධය නොතකා හරිමිනි. 'මෑන් පවර්' කම්කරුවන් සැපයු ලියොන්ස් සමාගමේ නියෝජිතවරිය වූ රඹුක්කන මග්ගොනගේ අනෝමා ද සිල්වා ඇන්සල් ලංකා සමාගමේ මානව සම්පත් කළමනාකාරිණිය වශයෙන් 2012 වසරේදී බඳවාගැනෙන්නේ මේ සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් වශයෙනි.

නව මානව සම්පත් කළමනාකාරවරියගේ ඇතැම් ක්‍රියා මාර්ග පුරා වසර 20 ක කාලයක් ඇන්සල් ලංකා වෙනුවෙන් උර දුන් කම්කරුවන්ව දැඩි පීඩාවට පත්කළේය. ඇන්සල් ලංකා සමාගමේ ස්ථිර සේවයේ නියුතු කම්කරුවන් වෙනුවට 'මෑන් පවර්' කම්කරුවන් බඳවා ගැනීමට නිරන්තරයෙන්ම උත්සහාහ කළ ඇය එතෙක් පැවති සේව්‍ය - සේවක සාකච්ජා ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළාය. කම්කරුවන් දැනුවත් කිරීම සඳහා යොදා ගත් දැන්වීම් පුවරුව පවා තහනම් විය. එහි ඊළඟ අත්තනෝමතික පියවර වූයේ ඇය විසින් වෘත්තීය සමිතියේ සාමාජික සාමාජිකාවන් දැනුවත් කිරීමේ රැස්වීම් ද තහනම් කිරීම ය.

1994 ඇන්සල් ලංකා කම්කරු අරගලයේදී පොලිස් වෙඩිපහරින් මරා දැමුණු යූ.ඒ . ප්‍රේමරත්න කම්කරුවා අනුස්මරණය කිරීම සෑම වසරකම ජුලි 20 වැනිදා නොකඩවා පවත්වන්නට කටයුතු කළ ඇන්සල් ලංකා වෘත්තීය සමිති සාමාජිකයෝ, උදෑසන සේවා මුරයේ ආහාර විවේකයේදී, මරා දැමුණු තම කම්කරු සගයා වූ ප්‍රේමරත්නගේ ඡායාරුපයකට මල් දමක් පළඳවා, පහන් දැල්වීම සිදුකළහ. ඒ, සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන ආකාරයෙන් අදාළ සැමරුම කරන්නට ගන්නා ලද තීරණයකට අනුව ය. එහෙත් කම්කරු ප්‍රේමරත්න අනුස්මරණය ද තහනම් කිරීමට නව මානව සම්පත් කළමනාකාරිණිය තීරණය කළාය.

ඇසුරුම් අංශයේ නිෂ්පාදන යන්ත්‍රයන්හි ධාරිතාව ඉහල දැමීම සඳහා සාමාන්‍යයෙන් විනාඩියකට අත්වැසුම් යුගල 60ක් ඇසුරුම් කළ කම්කරුවන්ට එය විනාඩියකට 70 - 75 - 80 දක්වා වැඩි කිරීමට බල කෙරුණි. දරුණු සේවා කොන්දේසි හා ඉහළ දැමූ නිෂ්පාදන ඉලක්ක විසින් පැතිරුණු කළකිරීම් වර්ධනය වීම නොවැළැක්විය හැකි විය. හදිසි ශාරීරික අවශ්‍යතා සඳහා වැසිකිලියට යාම පවා සීමා කිරීමෙන් තත්ත්වය වඩාත් දරුණු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් අවස්ථාවක ඇසුරුම් අංශ සේවිකාවකට වැඩ කරමින් සිටි ස්ථානයේම මුත්‍රා පහවීම පවා නොතකා හළ කළමනාකාරිත්වයට අවශ්‍යවුයේ තවදුරටත් නිෂ්පාදන ඉලක්ක ඉහළ දමා ගැනීම ය. දැරිය නොහැකි වැඩ කොන්දේසි හමුවේ කම්කරුවෝ මේ ආරවුල කම්කරු දෙපාර්තමේන්තුවට දැන්වුහ. ඒ අනුව දෙපාර්ශවයේම එකඟතාවය මත ස්ථානීය පරීක්ෂණයක් සඳහා කම්කරු දෙපාර්තමේන්තු නිලධාරින් පැමිණි අතර පරික්ෂාවෙන් අනතුරුව ඔවුන් කියා සිටියේ ඇසුරුම් යන්ත්‍ර වල ධාරිතාව තවදුරටත් වැඩි නොකරන ලෙස ය. එසේ කිරීමට අවශ්‍යවේ නම් ඒ සඳහා යෝජනාමාලාවක් ද ඔවුහු නිකුත් කළහ.

එහෙත් මේ යෝජනාවන් කෙරෙහි කිසිදු තැකීමක් නොකළ ඇන්සල් ලංකා පාලකයෝ කාර්මික අත්වැසුම් අංශයේ කම්කරුවන්ගේ නිෂ්පාදන දිරි දීමනා 50% කින් කප්පාදු කළෝය. වෘත්තීය සමිතිය විසින් මේ ගැන කම්කරු කොමසාරිස් වෙත දැනුම් දීමේ ප්‍රතිඵලයක් ලෙස පරීක්ෂණයකින් අනතුරුව එම කම්කරුවන්ගේ නිෂ්පාදන දිරිදීමනා පෙර පරිදිම ගෙවන ලෙස සමාගමට නියෝග කරනු ලැබුණි. එහෙත් අදාළ නියෝග පිළිබඳවද කිසිදු තැකීමක් නොකළ ඇන්සල් කළමනාකාරිත්වය ඇසුරුම් අංශයේ කම්කරුවන්ගේ රැස්වීමක් අතරතුර සිදුවූ සිදුවීමක් දඩමීමා කරගනිමින් වසර 20 ක සේවා කාලයක් සපුරා තිබු සුසීමා පෙරේරා , රුවන් ලසන්ත, සහ සුසන්ත පෙරේරා යන කම්කරුවන් තිදෙනෙකුගේ සේවය කිසිදු වග විභාගයකින් තොරව අත්හිටුවනු ලැබුණි.

කිරිබත්ගොඩ මැර ප්‍රහාරය

කළමනාකාරීත්වයේ අත්තනෝමතිකත්වයට එරෙහිව, අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිතිය තීරණය කරන ලද්දේ වැඩිවන මර්දනාකාරීත්වය නිසා ය. ඇන්සල් ලංකා සේවක වෘත්තීය සමිතියේ සභාපති වූ අතුල කමල්ට කිරිබත්ගොඩදී මැර ප්‍රහාරයක් එල්ල වූයේ 2013 අප්‍රියෙල් 9 වැනිදා ය. කිරිබත්ගොඩ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ ඔහු සඳහන් කරන ලද්දේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය ආයතනයේ මානව සම්පත් කළමනාකාරිණිය සැක කරන බව ය. ඒ අනුව, පොලීසිය විසින් ඇයගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් අතර එහිදී එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇය කියා සිටියාය. එහෙත් කම්කරු උසාවියේදී එම ප්‍රහාරයට ඇගේ සම්බන්ධය සාක්‍ෂි සහිතව ඔප්පු විය. ඒ ඔප්පුවීමට දැන් හත් වසරක් ඉක්ම ගොසිනි. නමුත් කිරිබත්ගොඩ පොලීසිය අද දක්වාම ඒ ගැන වැඩිදුර පරීක්ෂණ කිසිවක් අවසන් කොට නොමැත.

මැර ප්‍රහාරයෙන් මාස හයක් ඇවෑමෙන්, ඔක්තෝම්බර් 9 වැනිදා ඇන්සල් ලංකා වෘත්තීය සමිතියේ සභාපති වෙත නිදහසට හේතු විමසීමේ ලිපියක් ඇන්සල් පාලකයන්ගෙන් ලැබිණ. මෙම පදනම් විරහිත ලිපිය ගැන කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරන්නට ඉල්ලා සිටිය ද ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්නට ඔව්හු උත්සුක නොවූහ. පිළියමක් නොමැති තැන, උද්ගතව ඇති තත්වය ගැන ඔක්තෝබර් 11 වැනිදා කම්කරුවන් දැනුවත් කිරීම සඳහා ආයතන පරිපාලන ගොඩනැගිල්ල අසළට වෘත්තීය සමිති ක්‍රියාකාරීන් විසින් රැස්වීමක් කැඳවා තිබුනේ උදෑසන සේවා මුරය අවසන් වීමෙන් අනතුරුව ය. නමුත් රැස්වීම පාදක කරගනිමින් කළමනාකාරිත්වය විසින් එදිනම සභාපතිවරයාගේ සේවය දින නියමයක් නොමැතිව අත්හිටුවා ලිපියක් නිකුත් කෙරිණි.

කම්හල් පරිපාලනයේ දිග්ගැසුණු මර්දනකාරී පිළිවෙත් විසින් අවුළුවන ලද විරෝධය බුරා බුරා නැඟ ආයේ ඉහත ලිපියෙන් ප්‍රකාශිත දරදඬු අත්තනෝමතිකත්වය හේතුවෙනි. එදිනම රාත්‍රී වැඩ මුරයේ සිට සියලු කම්කරුවෝ වර්ජනයට එක්වූයේ ඒ තීව්‍ර විරෝධය හේතුවෙනි. ඔක්තෝම්බර් 14 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුව මැදිහත්ව පවත්වන ලද සාකච්ජාවක දී සියලු කරුණු සළකා බැලූ කම්කරු කොමසාරිස්වරයා වෘත්තීය සමිති සභාපතිගේ සේවය අත්හිටුවීමේ ලිපිය ඉවත් කර චෝදනා පත්‍රය පිළිබඳව පමණක් කරුණු විමසා ඉදිරි කටයුතු කරන ලෙස දැනුම් දී තිබිණි. ඒ සඳහා වෘත්තීය සමිතියේ නියෝජිත පිරිස් එකඟ වූ නමුත් ඊට පසුදිනම ඇන්සල් කලමනාකාරිත්වය කම්කරු කොමසාරිස්වරයාට දන්වා සිටියේ වෘත්තීය සමිති නිලධාරි මඩුල්ල ඇතුළු ක්‍රියාධරයන් 10 දෙනෙකුගේ සේවය වහා අවසන් කළ බව ය. ඒ වෘත්තීය සමිතියේ ලේකම් විපුල කළුආරච්චි, භාණ්ඩාගාරික කේ. එස් කනපති, කමල් ජයතිස්ස, දසන්ත ජයලත්, චන්දන රොෂාන්, ශාන්ත කුමාර් මුදලිගේ, ඒ.එල්.එම්. නසාර්, අජිත් ප්‍රියන්ත, ජේ.පී.ජී. කේ. ජයවික්‍රම, සහ රෝහිත ද සිල්වා යන අයගේ ය. ප්‍රතිඵලය වූයේ කළමනාකාරිත්වයේ මේ තීන්දුවට එරෙහිව වැඩ වර්ජනය අත් නොහැර ඉදිරියට ගෙන යාමට 2,000 කට ආසන්න සමස්ත ඇන්සල් කම්කරුවෝ එකඟතාවය පළ කිරීම ය.

මේ වන විට ඇන්සල් ලංකා වැඩබිමෙහි නිල වෘත්තීය සමිතිය ලෙස ක්‍රියා කරන ලද්දේ ප්‍රකට වෘත්තීය සමිති නියමුවකු වූ ඇන්ටන් මාක්ස්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ නිදහස් වෙළඳ කළාප පොදු සේවක සංගමය විසිනි. ඊට අමතරව, ඇන්සල් ලංකා කම්හලේ කම්කරු සටන් ඉතිහාසයේ සිටම නන් අයුරින් විරෝධතාවන්ට සහයෝගය ලබා දුන් ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් බාලා තම්පෝ, ඇන්සල් කම්කරුවන්ට කොන්දේසි විරහිත සහාය දැක්වීමට මෙවර ද පෙරට ආයේය .

නොවැම්බර් 22 වැනිදා, සමාගම් කළමනාකරණය විසින් වර්ජක කම්කරුවන්ට අනතුරු අඟවා සිටියේ නොවැම්බර් 26 වැනිදා සවස 6 වනවිට සේවයට වාර්තා නොරකන සියළුම දෙනා සේවය අත්හුර ගියවුන් සේ සළකන බව ය. වර්ජනය විසින් ගැඹුරු කළ, දෛනික ජීවන අරගලයේ පීඩනයෙන් පරිපීඩිත වූ කම්කරුවෝ පිරිසක් යළි වැඩට වාර්තා කරන්නට තීරණය කළහ. ඒ සඳහා කම්කරුවන් පොළඹවන ලදේ එක්තරා වෘත්තීය සමිතියක් විසින් මෙහෙයවන ලද ඇන්සල් ලංකා කම්කරු පිරිසක් විසිනි. උද්ගතව ඇති තත්ත්වය මත වර්ජනයේ රැඳී සිටි කම්කරුවන් 290කට වැඩි පිරිසකට පෙරළා සේවයට වාර්තා කරන්නැයි සමිතිය විසින් උපදෙස් දෙනු ලැබූවද, එය සළකා බලා ඔවුන් සේවයේ පිහිටීවය හැකිද යන්න තීරණය කිරීම සමාග විසින් තීරණය කරන බව කළමනාකරණය විසින් දන්වනු ලැබුණි.

කම්කරු උසාවි නියෝගයට පිටුපෑම

සභාපති අතුල කමල් ඇතුළු දොට්ට දැමු කම්කරුවන් 11 දෙනා බේරුම්කරණයට යොමුකිරීමටත්, සෙසු කම්කරුවන් වැඩට වාර්තා කිරීමට ඉඩ සළසා දීමටත් එවකට කම්කරු ඇමති ගාමිණී ලොකුගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ජාවක දී තීරණය වුවද කම්කරුවන් යළි වැඩට කැඳවීම ඇන්සල් ලංකා සමාගම ප්‍රතික්ෂේප කළේය. ඊට එරෙහිව ගම්පහ දිසා අධිකරණයට කරන පැමිණිල්ල අනුව විභාග කොට මෙයට අදාළව තීන්දුවක් දීමට එම අධිකරණයට බලයක් නොමැති බව පැවසීම නිසා ආරවුල සම්බන්ධයෙන් ගම්පහ අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. අභියාචනා පෙත්සම විභාගයට ගත් ද්වි පුද්ගල විනිසුරුන් නියෝග කළේ වර්ජනයට එක්වූ කම්කරුවන්ට යළි වැඩ ලබාදෙන ලෙසය. එම නියෝගය අනුව යළි වැඩට වාර්තා කිරීමෙන් මාසයක් ඉක්මවූ පසු අභියාචනා තීන්දුව අහියෝගයට ලක් කරමින් ඇන්සල් පාලකයෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළහ. එවකට අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් අභියාචනාධිකරණ නියෝගය අත්හිටුවා නඩු විභාගය මසකින් අවසන් කරන ලෙස දන්වා කම්කරු උසාවිය වෙත යොමු කරන ලදී. විභාගය අවසන් කරමින් කම්කරු උසාවිය නියෝග කරනු ලැබුවේ උපරිමය රුපියල් ලක්ෂ 12 කට යටත්ව ඒ ඒ සේවා කාලයන්ට ගැලපෙන පරිදි කම්කරුවන්ට වන්දි ලබා දෙන ලෙස ය.

සේවයෙන් නෙරපා හරින විට ඇන්සල් ලංකා වෘත්තීය සමිතියේ ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළ කලුආරච්චි, 1993 දී මිශ්‍රණ අංශයේ ස්ථිර සේවකයෙක් ලෙස ඇන්සල් ලංකා කර්මාන්ත ශාලාවට බැඳුනු අයෙකි. තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතවන දරු දෙදෙනෙකුගේ පියකු වන හෙතෙම, රැකියාව අහිමි වීමෙන් පසු කාලය දී බරපතල ලෙස දෘශ්‍යාබාධ තත්ත්වයකට හෙතෙම මුහුණ දී සිටියි.

“රැකියාවෙන් අයින් කළාට පස්සේ කිසිදු ආදායම් මාර්ගයක් අපිට නැහැ. යම්තරමින් හෝ ජීවිකාව ගැටගසා ගන්නේ මගේ බිරිඳ ගාමන්ට් එකක වැඩ කරලා ගන්නා සොච්චම් පඩියෙන්" ඔහු කියයි.

කම්කරු උසාවියෙන් ලබා දෙන ලද ඉහත තීන්දුව යළිත් අභියෝගයට ලක් කරමින් ඇන්සල් පාලකයෝ කොළඹ අභියාචනාධිකරණය වෙත ගොනු කරනු ලැබූ පෙත්සමට අනුව එක් කම්කරුවකුට උපරිමය රුපියල් ලක්ෂයක වන්දි මුදලකට පමණක් සීමා කෙරුණු නියෝගයක් ලැබුණි. ඊට එරෙහිව ඇන්සල් ලංකා කම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ පෙත්සම නිෂ්ප්‍රභා කරනු ලැබුවේ සානුකම්පිත දීමනාවක් ලෙස රුපියල් ලක්ෂයක් පමණක් ලබා දෙන ලෙස කළ අභියාචනාධිකරණ තීන්දුව යළි සනාථ කරමිනි.

1991දී ඇන්සල් ලංකා කර්මාන්තශාලාවේ රැකියාවට බැඳුනු කේ එස් කනපතිගේ සේවා කාලය වසර විස්ස ඉක්මවයි. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමයේ විධායක සභිකයෙක් ලෙස සිව් වසරක් ක්‍රියාකාරී වූ කනපති පසුව ඇන්සල් ලංකා වෘත්තීය සමිතියේ භාණ්ඩාගාරික ලෙස තුන් වසරක් කටයුතු කළේය. 2013 ඔක්තෝම්බර් 15 වෙනිදා සෙසු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සමඟ රැකියාවෙන් නෙරපා හරින ලද මොහුගේ සේවය අවසන් කළ දින සිට අවුරුදු 55 වෙන තෙක් හිඟ වැටුප් සහ ප්‍රසාද දීමනා 2,429,115.00 ක මුදලක් වන්දියක් ලෙස ලබා දිය යුතු බවට 2018 නොවැම්බර් 29 දින බේරුම්කරු විසින් තීන්දුව කරන ලදී. ඒ ඔවුන්ව අසාධාරණ හා අයුක්ති සහගත ලෙස සේවය අවසන් කර ඇති බැව් තවදුරටත් සනාථ කරමින් ලබාදුන් තින්දුවකි.

“දැන් අවුරුදු තුනක් ගතවෙලත් අද වෙනතුරුත් සමාගම වන්දි මුදලක් දුන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය අනුව ජීවත්වීම ඉතාමත් අමාරුයි" ඔහු ජේඩීඑස් හා ප්‍රකාශ කළේ සත් වසක ජීවන දුෂ්කරතාවන් විසින් මැඩලන ලද වෙහෙසිනි.

"මම ඉන්න ගම්පොළ පැත්තේ රැකියාවක් හොයා ගන්නත් නැහැ. අනෙක අපි දැන් වයස අවුරුදු පනහට වැඩි හින්දා රැකියාවක් හොයාගන්න එකත් ලෙහෙසි නැහැ. දවසින් දවස වැඩි වෙන ජිවන වියදමත් එක්ක ඉස්කෝලේ යන දරු දෙන්නයි, බිරිඳයි ජිවත් කරවන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේ වෙන කොට මම ස්නායු දුර්වලතාවයක් නිසා කොන්දේ අමාරුවකින් පෙළෙනවා” ඔහු කියයි.

වෘත්තීය සමිති ක්‍රියාධරයන් 11 දෙනාම රැකියාවෙන් නෙරපා හැරීම ඇන්සල් ලංකා පාලකයන් සමාගම තුළ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමේ මුලික පරමාර්ථයෙන් කරනු ලැබුවකි. මොවුන් සියලු දෙනාම රැකියාවෙන් නෙරපා ඇත්තේ කිසිදු විනය පරික්ෂණයක් හෝ වග විභාගයකින් තොරව ය. කෙසේවුවද ඇන්සල් ලංකා සමාගමේ කම්කරු මර්දන ඉතිහාසය හිටිහැටියේ ආරම්භ වූවක් නොවේ. ඊට ඉතිහාසයක් තිබේ.

'බැංකුවෙන් නඩු'

ඇන්සල් ලංකා වෘත්තීය සමිතිය මුලින් ක්‍රියාත්මක වූයේ එස්. සුභසිංහගේ නායකත්වයෙන් යුත් ලංකා වෘත්තීය සමිති සම්මේලනයට අයත් ශාඛා සමිතියක් ලෙසින් ය. 2008 වසරේදී සාවද්‍යය චෝදනා ඉදිරිපත් කරමින් එම සමිතියේ සභාපති වයමන් කුමාර, සංවිධායක සමරජීව සහ භාණ්ඩාගාරික දසනායක යන ක්‍රියාකාරීන් රැකියාවෙන් නෙරපනු දැමිණි. ඒ අනුව කලක් ඇන්සල් වෘත්තීය සමිතිය අකර්මන්‍ය වූ අතර පසුව එය ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛාවක් ලෙස පැවතිණි. එය ඇන්ටන් මාකස් විසින් නායකත්වය සපයන නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගමය යටතේ ක්‍රියාකිරීම අරඹන ලද්දේ ඊටත් පසු ය. සමිති නිලධාරි මඩුල්ල ඇතුළු සියලු ක්‍රියාකාරිකයන් රැකියාවෙන් නෙරපන ලද්දේ අවසානයේදී ය.

1992 දී කාර්මික අත්වැසුම් නිෂ්පාදන අංශයේ ස්ථිර කම්කරුවෙකු ලෙස ඇන්සල් ලංකා සමාගමට බැඳුනු ජයවික්‍රම රැකියාවෙන් දොට්ට දැමීමත් සමඟ සිය දිවි ගෙවීම සඳහා ත්‍රිරෝද රියදුරෙක් ලෙස කටයුතු කළේය. එසේ කටයුතු කරමින් සිටියදී හදිසි අනතුරකට ලක් වූ ජයවික්‍රම ගේ එක් පාදයක් බරපතල ලෙස තුවාල විනි. ඉතාමත් අවාසනාවන්ත ලෙස අද ඔහු ආබාධිත තත්වයට පත්ව ඇත.

තවත් රැකියා විරහිත කම්කරුවකු වන, අජිත් ප්‍රියන්ත ඇන්සල් ලංකාහි කාර්මික අත්වැසුම් අංශයට එක්වුයේ 1992 වසරේදීය. 2015 වසරේදී සිට මානසික ආබාධයකින් පෙළෙන ඔහු දරු තිදරු පියෙකි. ඔවුහු තාමත් අධ්‍යාපනයේ නිරත වෙති. ප්‍රියන්තගේ රෝගී තත්ත්වය නිසා ඔහුට අඛණ්ඩව සාත්තු සප්පායම් කිරීමට කැපව සිටින ඔහුගේ බිරිඳට ද රැකියාවක නිරත වීමේ අවස්ථාව අහිමි වී තිබේ .

දසන්ත ජයලත්ගේ ජීවත අරගලයද මීට දෙවැනි නොවේ. ඔහු, 1991 වසරේදී ඇන්සල් ලංකා කර්මාන්ත ශාලාවට එක්ව ඇත්තේ අවසන් තත්ත්ව පරීක්ෂණ අංශයේ ස්ථිර කම්කරුවෙක් ලෙස ය. රැකියාවෙන් නෙරපා හරින මොහොත වනවිට, ඔහු ඇන්සල් වෘත්තීය සමිතියේ උප ලේකම් වරයා වශයෙන් ක්‍රියාකරමින් සිටියේය. රැකියාවේ නිරතව සිටියදී නිවසක් ඉඳිකිරීම සඳහා වයඹ සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ණය මුදල රැකියාව අහිමි වීම නිසා යළි ගෙවා ගත නොහැකිවීමේ දුෂ්කරතාවයට ඔහු මුහුණ දුන්නේය.

"ණය ආපසු ගෙව්වේ නැහැ කියලා බැංකුව මට නඩු දැම්මා. රස්සාව නැති වුණා කියල මානුෂිකව බැලුවේ නැහැ. ගම්පහ දිසා අධිකරණය විසින් අදාළ ණය මුදලත්, ඊට අදාළ පොලී වාරිකත් ගෙවන්න මට නියෝග කළා. දැන් මේ දක්වා තිබුණ ඔක්කොම ප්‍රශ්න අතරට කොහොමහරි බැංකු ණය ගෙවීමේ අභියෝගයටත් මට මුහුණ දෙන්න වෙනවා,” ඔහු කියන්නේ නොනිමි ජීවන වෙහෙසිනි.

ඇන්සල් සමාගමේ මුලස්ථානය පිහිටි ඕස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති, 'ඉන්ඩස්ට්‍රි ඕල්' ගෝලීය වෘත්තීය සමිති සම්මේලනය (IndustriALL Global Union) එක්ව දියත්කරනු ලැබූ ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයේ බලපෑම් සහගත ප්‍රතිඵලයක් ලෙස 2016 අගෝස්තුවේදී ඇන්සල් කම්කරු ආරවුල සමථයකට පත් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹිණි. ඒ අනුව කම්කරුවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂාකරමින් දොට්ට දැමු සියළු කම්කරුවන් යළි වැඩට බඳවා ගැනීමට ඇන්සල් සමාගම එකඟවිය. වැඩ වර්ජනයෙන් පසු රැකියා අහිමි 350 ක් පමණ වූ කම්කරුවන් අතරින් විවිධ කොන්දේසි යටතේ කම්කරුවන් 80 ක් පමණ දෙනා යළි සේවයට බඳවා ගැනුණි. අදාළ සාමුහික ගිවිසුම අනුව කම්කරුවන් යළි සේවයට කැඳවීමේදී ඔවුන් ස්ථිර සේවකයන් ලෙස බඳවා ගත යුතු බවට කොන්දේසියක් තිබිණ. යම් හෙයකින් එම කොන්දේසිය ඇන්සල් ලංකා සමාගම විසින් කඩකරන්නේ නම් සේවයට වාර්තා නොකරන්නට වෘත්තීය සමිතියේ තීරණයක් ගැනිණි. ඒ අනුව යළි වැඩට වාර්තා කළ කාන්තා කම්කරුවන් සිව් දෙනෙකු බඳවා ගෙන තිබුනේ තාවකාලික පදනම යටතේ ය. ඔවුන් සිව්දෙනා සේවයෙන් ඉවත්වූයේ වෘත්තීය සමිතියේ අනුදැනුම මත තාවකාලික සේවා පත්වීම ප්‍රතික්ෂේප කරමිනි.

ඇන්සල් සමාගම මගින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමේ ක්‍රමයක් ද හඳුන්වා දුන් අතර කම්කරුවෝ 40 ක් පමණ ඒ යටතේ සේවය හැර ගියහ. එහෙත් අද වන තෙක් මේ රැකියා අහිමිකරනු ලැබූ සියළුම කම්කරුවන් හා බේරුම්කරුගේ හා අධිකරණයේ තීරණය මත වන්දි ලබා දීමට නියමිත වෘත්තීය ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් ද ඇන්සල් ලංකා සමාගම හෝ එහි ඔස්ට්‍රේලියානු මව් සමාගම සාධනීය පියවරක් ගෙන නොමැත. වසර 20කට වැඩි කලක් ඇන්සල් ලංකා සමාගමට ලාභ උපයනු වස් සිය ශ්‍රමය වැගිරූ, පාසල් වියේ දරුවන් සිටින පියවරුන් වන ඔවුහු සත් වසක් පුරා අතිශය දුෂ්කර ජීවන කොන්දේසි යටතේ සිය සටන ඔවුහු දැනුදු අත් නොහැර සිටින්නේ වෘත්තීය යුක්තිය පිළිබඳ අත් නොහළ අපේක්ෂාවෙනි.☐

(ප්‍රධාන සේයා රූ ස්තූතිය : IndustriAll Global Union)

අතුල විතානගේ


© JDS