කම්කරු අයිතීන් කප්පාදුවට අයිඑල්ඕ සහ හාම්පුතුන්ගේ සම්මේලනයෙන් නව ප්‍රඥප්තියක්

කිත්සිරි විජේසිංහ විසිනි


ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International Labour Organization - ILO) ශ්‍රී ලංකා කාර්යාලයත්, ශ්‍රී ලංකාවේ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයත්, කර්මාන්ත ශාලා හාම්පුතුන්ගේ සේව්‍ය සම්මේලනයත් එකතුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවය නියුතුවුවන්ගේ වරප්‍රසාද සහ අයිතීන් සීමා කෙරෙන නව වැඩ සටහනක් ක්‍රියාවට නැගීමට කටයුතු යොදාමින් සිටින බවට වෘත්තීය සමිති ක්‍රියාකාරිහු චෝදනා කරති.

ශ්‍රී ලංකාවේ කම්කරු සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ පූර්ණ එකඟතාවය සහිතව,සේව්‍ය සම්මේලනයේ සහ රජයට  හිතැති වෘත්තීය සමිති කිහිපයක මැදිහත්වීම මත 'දේශීය ශිෂ්ඨ රැකියා වැඩසටහන (Decent Work Country Programme -  Sri lanka, 2013-2017) නමින් සකස් කොට ඇති මෙම සැලැස්ම හඳුන්වා දී තිබෙනුයේ 2013 වර්ෂයේදි ය. කම්කරු අමාත්‍යාශයේ එවකට සිටි ලේකම් ඩබ්ලියු.එස්.සී.යු විජයවීර, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ  ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂක ඩොන්ග්ලින් ලී , සේව්‍ය සම්මේලනයේ එවකට සිටි අධ්‍යක්ෂක ජනරාල් රවි පීරිස්, නිදහස් සේවක සංගමයේ මහ ලේකම් මෙන්ම  වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස්ලි දේවේන්ද්‍ර, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති එම් ශිවලිංගම්, ජාතික වෘත්තීය සමිති එකමුතුවේ සභාපති කේ වෙලායුදන් සහ ඩී ඩබ්ලියු සුභසිංහ යන අය මෙයට පාර්ශවකරුවන් ලෙස අත්සන් තබා අනුමැතිය ලබා දී තිබේ.

හාම්පුතුන්ට වැඩි බලයක්

ලංකා වෙළද කාර්මික සහ පොදු සේවා සංගමය විසින් මේ සම්බන්ධව කම්කරු කොටස් දැනුවත් කිරීම සඳහා නිකුත් කොට ඇති පත්‍රිකාවක දැක්වෙන පරිදි රාත්‍රි සේවා මුරවල යෙදීමට කාන්තා ශ්‍රමිකයන්ට අනිවාර්ය කිරීමටත්, අතිකාල සේවා කාලය දීර්ඝ කොට මූලික වැටුප පහළ හෙළීමටත්, දැනට අහෝසි කොට ඇති පැය අටේ සේවා මුරය යළි නීතිගත කිරීමටත් යෝජනා කෙරී ඇත. මීට අමතරව පවතින කම්කරු නීති සංශෝධනය කිරීමටත්, මිනිස් බල කම්කරු (Man power) ක්‍රමය නීතිගත කිරීමටත්, ආයතනවලට වැඩි ලාභ ලැබිය හැකි ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය බලය සහ නිදහස ලබා දීමටත් මෙකී වැඩසටහන යටතේ යෝජිත ය.

"මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණොත් ඒකෙන් වාසි ලබන්නේ වැඩකරන කම්කරු ජනතාව නෙමෙයි කොම්පැනි අයිතිකාරයොයි, ආණ්ඩුවයි' ලංකා වෙළද කාර්මික සහ පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලීම සඳහා  රජයට ඇති අයිතිය සීමා කිරීමට මෙන්ම පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජයට ඇති අයිතිය අහෝසි කිරීමට ද මෙමඟින් යෝජනා කෙරී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

"අපි දන්නා විදිහට මේක පිටි පස්සේ ඉන්නේ ලෝක බැංකුවයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලයි. ඒ ගොල්ලෝ ආණ්ඩුවට දෙන උපදෙස් තමයි අයි එල් ඕ එක හරහා මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ කම්කරු ඇමති හැටියට ඉන්න කොට ගෙනාපු කම්කරු ප්‍රඥප්තිය ඔහු ජනාධිපති වුණාම පැත්තකට විසිකරලා දැම්මේ මේ හාම්පුතුන්ගේ සම්මේලනයේ ඉල්ලීම් නිසායි. මේ වැඩ සටහන ඉදිරිපත් කරන්න කලින් වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා අදහස් විමසන්නවත් කම්කරු අමාත්‍යාංශයට හෝ අයි එල් ඕ එකට උවමනාවක් තිබුනේ නෑ. අඩුම වශයෙන් කම්කරුවන්ට සෘජුවම බලපාන දෙයක් ඔවුන්ට පහසුවෙන් තේරූම් ගන්න පුලුවන් භාෂාවකින්වත් ඉදිරිපත් කරලවත් නෑ." ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

වෘත්තීන් අයිතීන් කප්පාදුව

සේවකයන්ගේ රැස්වීමේ නිදහස සහ කේවල් කිරීමේ නිදහසත්, වෘත්තීය සමිති විරෝධී ක්‍රියාකාරකම්වලින් ආරක්ෂා වීමේ නිදහස වෙනුවෙනුත් ජගත් කම්කරු සම්මේලනයේ විශේෂඥ කමිටු විසින් සහ අනෙකුත් අධිකරණ ක්‍රියාමාර්ගයන් හරහා ලබා දී ඇති නියෝග හා නිර්දේශද මෙම යෝජිත වැඩසටහන මඟින්  දරුණු ලෙස උල්ලංඝණය කරන බව ඔහු පෙන්වා දෙයි.

'මේ යටතේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලීම සඳහා  රජයට තියෙන අයිතිය සීමා කිරීමටත්, පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සඳහා රජයට ඇති අයිතිය අහෝසි කිරීමටත් පසුබිම සකස් කරමින් තියෙන්නේ" සීඑම්යූ ලේකම්වරයා කීය.☐

© JDS