යෝජිත 'මුල්‍ය නගරය' වරාය නගරයේම කොපියක් බව පරිසරවේදීහු කියති

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය ගොඩකර ඉදිකිරීමට යෝජිතව තිබු වරාය නගරය වෙනුවට ආදේශකයක් ලෙස එකී මුහුදු සීමාවෙහිම ගොඩනැන්වීමට සැළැසුම් සකස්  කෙරෙන මුල්‍ය නගරය ඉදිකරනු ලැබුවහොත් වරාය නගරය ඉදි කිරීමෙන් පසු සිදුවීමට තිබු පාරිසරික සහ සමාජීය හානි වලට නොදෙවෙනි හානියක් සහ විනාශයක් එමගින්ද  සිදුවන බවත්,  මුල්‍ය නගරය යනු වරාය නගර ව්‍යාපෘතියේම කොපියක් බවත්  පරිසරවේදින් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරින් කියා සිටිති.

පරිසරවේදින් සහ පෝර්ට් සිටි විරෝධී සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන පරිදි වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුදෙන් අක්කර 495 ක් ගොඩ කිරීමට නියමිතව තිබුණද එයට ආදේශකයක් ලෙස ගොඩනැංවීමට සැළසුම් කෙරෙන මුල්‍ය නගරය සඳහා ගොඩ කෙරෙන  අක්කර ප්‍රමාණය 670 කි.

මෙයට පෙර සැළසුම් කෙරුණු වරාය නගර ව්‍යාපෘතිය සහ ඒ වෙනුවට ඉදි කෙරෙන මුල්‍ය නගරය ව්‍යාපෘතිය අතර ඇති වෙනස්කම් මෙන්ම නව ව්‍යපෘතියෙන් ඇති කෙරෙන පාරිසරික සහ සමාජීය හානී කවරේදැයි විමසීම්දි පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර ජේඩීඑස් හා කියා සිටියේ මුල්‍ය නගරය ඉදිකරනු ලැබුවහොත් මෙයට පෙර සැළසුම් සකස් කෙරුණු වරාය නගරයට නොදෙවෙනි පාරිසරික සහ සාමාජීය විනාශයක් සිදුවනු ඇති බව ය.

''මුලිකවම කියන්න තියෙන්නේ මුල්‍ය නගර ව්‍යාපෘතිය කියන්නේ වරාය නගර ව්‍යාපෘතියේම කොපියක් කියලයි. අනෙක්  පැත්තෙන් ආණ්ඩුව කරන්නේ දැවැන්ත රැවටීමක්. වරාය නගර ව්‍යාපෘතිය ප්‍රතික්‍ෂේප කරන බව හඟවමින් එයම වෙනත් නමකින් සහ මුහුණුවරකින් ක්‍රියාත්මක කරන එක තමයි මේ කරන්නේ" ඔහු කීය.

දේශපාලන බලහත්කාරයක්

වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් සකස් කෙරුණු දෝශ සහිත පරිසර තත්ත්ව වාර්තාව යම්, යම් සංශෝධන සහ එකතු කිරිම් සහිතව නව මුල්‍ය නගර ව්‍යාපෘතිය ඉදිකිරිම සඳහාද යොදා ගෙන ඇති බවට චෝදනා කරන පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්‍ෂවරයා අවධාරණය කරනුයේ පැවති ආණ්ඩුව යටතේ මෙන්ම නව ආණ්ඩුව යටතේ ද අදාළ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් තිනේනේ කිසිදු ප්‍රමිතියකට හෝ පාලනයකට යටත් නොවී දේශපාලන බලහත්කාරය පමණක් උපයෝගි කොටගෙන බව ය.

''මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කටයුතු කළ අකාරයටම තමයි මේ ආණ්ඩුවත්  කටයුතු කරන්නේ. අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ආණ්ඩුවේ ඉහළම බලධාරීන් රාජ්‍ය ආයතන සහ ඇතැම් නිළධාරීන්ට බලපෑම් කොට තිබෙනවා මේ මුල්‍ය නගර ව්‍යාපෘතියට එරෙහිව කිසිදු මැදිහත්වීමක් නොකරන ලෙසට. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී තියෙන්නේ කොන්දේසී 70 ක් යටතේයි. හැබැයි ඒ කොන්දේසි 70 කිසිම පදනමක් නැති, ඒවා  කඩ කළොත් එයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගත හැකි බලයක් සහිත ඒවා නොවෙයි. තනිකරම දේශපාලන බලපෑම් මත ඉදිරිපත් කෙරුණු කොන්දේසි මාලාවක්" සජීව චාමිකර ප්‍රකාශ කළේය.

වරාය නගර ව්‍යාපෘතියට එරෙහි ජනතා එකතුවේ කැඳවුම්කරුවකු වන සරත් ඉද්දමල්ගොඩ පියනම ජේඩීඑස්  හා කියා සිටියේද මුල්‍ය නගර ව්‍යාපෘතිය මගින් ඇති කෙරන පාරිසරික සහ සමාජීය විනාශය ශ්‍රී ලංකාව වැනි රටකට කෙසේවත් ඔරොත්තු නොදෙන්නක් බව ය.

ධීවරයන්ට තහනම් මුහුද

''මේ ගොඩනැගෙන්නේත් වරාය නගරයම තමයි. නමුත් නම වෙනස් - ආණ්ඩුව වෙනස්. සමහරවිට ක්‍රියාත්මක කෙරෙන ස්වරූපය වෙනස්. හැබැයි සිද්ධ වෙන හානිය එක හා සමානයි. විශේෂයෙන්ම මේ මුල්‍ය නගර ව්‍යාපෘතිය මගින් ධීවර ප්‍රජාවට ඇති කෙරෙන බලපෑම සුළු පටු එකක් නෙමෙයි. අවුරුදු තුනක් යනකම් මේ මුහුදු කලාපය ධීවරයන්ට තහනම් කලාපයක් බවට පත්කරලා තියෙන්නේ. අණ්ඩුව කියලා තියෙනවා ධීවරයන්ට වන්දි වශයෙන් ගෙවන්න රුපියල් මිලියන 500ක් වෙන්කරලා තියනවා කියලා. නමුත් ඇත්ත කාරණාව තමයි රැකියාව අහිමි වන ධීවර පවුල් ගණන අරගෙන බැලුවොත් එක් ධීවර පවුලකට දවසකට වෙන් කෙරෙන්නේ රුපියල් 4 ක් 5 ක් පමණයි. මීගමුවේ පමණක් ධීවර වෘත්තිකයන් 30,000 ආසන්නව ඉන්නවා.  නමුත් ආණ්ඩුව කියන්නේ ප්‍රශ්නෙට මුහුණදෙන ධීවර පවුල් තියෙන්නේ 9000 ක් විතරයි කියලයි''ඔහු ප්‍රකාශ කළේය.

මුහුද ගොඩ කිරීම සඳහා වැලි හැරීම නිසා මීගමුවේ තලාහේන ප්‍රදේශයේ මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිටා ඇති ස්වභාවික ගල්පරයක් ගැලවී යාමේ අවදානමකට ලක්ව තිබෙන බවත්, යම් හෙයකින් එය ගැලවී ගියහොත් අදාළ ප්‍රදේශයම බරපතල ලෙස මුහුදු ඛාදනයට ගොදුරු විය හැකි බවටත් අනතුරු හඟවන  සරත් ඉද්දමල්ගොඩ පියනම ‍පෙන්වා දෙන්නේ බලධාරීන් මෙවැනි විනාශයන් සම්බන්ධව කිසිදු සැළකිල්ලක් නොදක්වන බව ය.

පාර්ශව තුනක්

මේ අතර මුල්‍ය නගර ව්‍යාපෘතිය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසනුයේ මුල්‍ය නගරය යනු චීනයේ තවත් එක් කොළණියක් පමණක් වන බවයි .එය චීනයේ 'වන් බෙල්ට් වන් රෝඩ්' (One Belt One Road) නම් සංකල්පය මත ක්‍රියාත්මක කෙරෙන්නක් බව පවසන එම සංවිධානය, පසුගිය දෙවසර තුළ චීනය ඉදිරිපත් කළ වෙළඳ ගිවිසුම් පිළිගත් රටවල් 65 ක් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින බවත් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මුල්‍ය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම පසුගිය 12 වැනි දින අත්සන් කෙරුණු අතර 10 වැනි දා පාර්ලිමේන්තුව අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාදෙනුයේ අනූ නම අවුරුදු බදු පදනම යටතේ බවයි. මෙගා පොලිස් අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාපෘතියේ ඉදිකීරීම් භාර චීන සමාගම ව්‍යාපෘති ගිවිසුම අත්සන් කරන පාර්ශවකරුවන් බව ද අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලීමේන්තුව හමුවේ පැවසීය.☐

© JDS