කොළඹ වරාය නගරයෙන් හෙක්ටෙයාර් 269ක මුහුද ගොඩ කරයි

ලයට පත්වීමට පෙර කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ හානි කර බව පෙන්වා දුන් වත්මන් අගමැතිවරයා විසින් මේ වනවිට අදාළ ව්‍යාපෘතිය සඳහා හෙක්ටෙයාර් 269ක් වෙන් කිරීමට කටයුතු කරමින් සිටින බව පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය චෝදනා කරයි.

යෝජිත ව්‍යාපෘතියට එරෙහිව සඳුදා (04) කොළඹදී කැඳවන ලද උද්ඝෝෂණයක දී එම සංවිධානය විසින් පෙන්වා දෙන ලද්දේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව චීන සමාගමක් සමඟ එළඹී ගිවිසුමෙහි නීති විරෝධී බව හා ඉන් සිදුවන හානිය පෙන්වා දෙමින් අදාළ ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම නතර කරන බව කියා සිටියේ වත්මන් අගමැතිවරයා  බව ය. 

පාරිසරික හානිය

"රාජපක්ෂ ආණ්ඩුව මගින් අදාළ වරාය නගර ව්‍යාපෘතිය ඉදි කිරීමට යෝජිතව තිබුණේ හෙක්ටයාර් 233 ක ප්‍රදේශයක් මුහුද ගොඩ කරමින්. එහෙත් මුලින් දුන් පොරොන්දු කඩ කරමින් වර්තමාන යහපාලන ආණ්ඩුව එම ව්‍යාපෘතිය සඳහා හෙක්ටයාර් 269 ක ප්‍රදේශයක් මුහුද ගොඩ කිරීමට නියමිත යැයි" පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ කැඳවුම් මණ්ඩල සාමාජික සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කළේය.

ධීවර සමිති  හා ප්‍රජා සංවිධාන නියෝජිතයන්, පූජක ප්‍ර‍ජාව සහ මානව හිමිකම් ක්‍රියාධරයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති උද්ඝෝෂණය ගාලු මුවදොර දක්වා පා ගමනින් පැමිණි අතර‍ කැරළි මර්දන පොලිස් සේනාංක විසින් මාර්ගය අවහිර කිරීම හේතුවෙන් රැස්ව සිටියෝ එහිදී විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණය කළහ.

යෝජිත සැළැස්ම පිළිබඳ අහස් දැක් වූ සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ ලේකම් අරුණ රොෂාන්ත JDS හා ප්‍රකාශ කර සිටියේ මීගමුව කලපුවට සමාන්තර මුහුදේ කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි කලාපයේ වැලි කියුබ් ඝන මීටර් මිලියන 65 ක් මෙම වරාය නගරය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත බව ය. මේ ආකාරයෙන් මහා පරිමාණ ලෙස වැලි ලබා ගැනීම හේතුවෙන් නොගැඹුරු මුහුදේ මත්ස්‍ය සම්පත, මුහුදු තෘණ භූමි, වැලිපර, ගල් පර වැනි පාරිසරික පද්ධතීන්ට බරපතල හානි සිදුවෙන බව ඔහු අවධාරණය කර සිටියේය.

වරාය නගර ව්‍යාපෘතිය සඳහා මුහුද ගොඩ කිරීමට අවශ්‍ය කළුගල් කුට්ටි ඝන මීටර් මිලියන 3.45 ක් කඩුවෙල, හංවැල්ල , පාදුක්ක, දිවුලපිටිය  සහ දෙල්ගොඩ වැනි ප්‍රදේශවලින්ද ලබා ගැනීමට නියමිත ය.

ධීවරයන් අවතැන්

"පානදුරේ සිට මීගමුව දක්වා වූ වෙරළ තීරයේ තමන්ගේ ජීවන වෘත්තීය බිඳ වැටෙන පවුල් සංඛ්‍යාව 20,000 ක් පමණ වෙනවා. මුහුද ගොඩ කිරීම හේතුවෙන් ඇතිවන මුහුද රළ තරංග හා දිය වැල් රටාව වෙනස් වීමෙන් වැල්ලවත්ත - ගල්කිස්ස මුහුදු තීරය බරපතල ලෙස  ඛාදනයට ලක්වීම අනිවාර්යයි. මේ නිසා අවතැන් වන ධීවර පවුල් ප්‍රමාණය 5000ක් පමණ වෙන බවට දැනටත් ගණන් බලා තිබෙනවා"යි හේ පෙන්වා දුන්නේය.

පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය විසින් අනාවරණය කර ඇති අකාරයට යෝජිත වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය කළු ගල් හා වැලි වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.15ක් වැය කිරීමට නියමිත ය.

දැනට පවතින මිල ගණන්වලට කොළඹ වරාය නගරයේ පර්චසයක වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් වැනි සුළු මුදලකට තක්සේරු කළ විට, ගොඩ කරනු ලබන හෙක්ටයාර් 269 ක භූමියේ සම්පුර්ණ වටිනාකම ඩොලර් බිලියන 1.35 ක් තරම් සුළු මුදලකට චීන සමාගමකට ලබා දීමට නියමිත බවද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ. ☐

© JDS