වතු කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා දහවැනි දිනයටත් සෙමින් වැඩ

හළ යමින් තිබෙන ජීවන වියදම හමුවේ රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් දියත් කර ඇති සෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරය දැනට දින දහයක් පුරා අඛණ්ඩව ඉදිරියට යමින් තිබේ. වතු කම්කරුවන්ගේ සියළු අයිතීන් තීරණය කෙරෙනු ලබන වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර වසර දෙකකට වරක් ගිවිස ගන්නා සාමුහික ගිවිසුම පසුගිය මාර්තු 31 දිනෙන් අවසන් වුවද මෙතෙක් නව ගිවිසුමකට එළඹීමට වතු හාම්පුතුන් හා වෘත්තීය සමිති නියෝජිතයෝ සමත් නොවුහ.

මේ වන විට සියළු දීමනා සමගින් වතු කම්කරුවෙකු ලබා ගන්නා දෛනික වැටුප රුපියල් 620 කට ආසන්න වේ. ඒ සඳහා ඇය හෝ ඔහු විසින් වැඩ කළයුතු අනිවාර්ය දින ගණන 22 කි. මේ වැඩ දිනයන්හි වරුවක් හෝ වැඩට වාර්තා කිරීමට නොහැකි වුවහොත් එම දීමනාවන් කපා හැරෙන අතර දෛනික වැටුප රුපියල් 420 කට පමණක් සීමා වේ.

සාමූහික ගිවිසුම

අප්‍රේල් මස සිටම නව සාමුහික ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවලදී වතු සමාගම් හා වැවිලිකරුවන්ගේ සංගමය වැටුප් වැඩි කිරීමක් දිගින් දිගට ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. පසුගිය ජුලි 2 දා වතු වෘත්තීය සමිති නියෝජිතයන් හා වැවිලි කරුවන් අතර පැවති සාකච්ජාවේදී රුපියල් 550 දක්වා දෛනික වැටුප වැඩි කිරීම සළකා බැලුණු අතර, එහෙත් ඊට එක් වූ ලංකා වතු කම්කරු කොංග්‍රසයේ නියෝජිතයන් කියා සිටියේ දෛනික වැටුප රුපියල් 1000 ක් විය යුතු බව ය. කෙසේ වුවද තේ වෙළඳ පොලේ පවතින තරඟකාරීත්වය හමුවේ නිෂ්පාදන පිරිවැය ඉහල යාමත් සමගින් එවැනි වැටුප් වැඩිවීමක් කළ නොහැකි බව වැවිලි කරුවන්ගේ සංගමයේ අදහසයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් විසින් කැඳවන ලද සෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයට යහපාලන ආණ්ඩුව නියෝජනය කරනු ලබන ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසය, ජාතික කම්කරු සංගමය, කඳුරට ජනතා පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය සහයෝගය ලබා දීමෙන් වැළකී සිටින අතර වර්ජනය කඩාකප්පල් කිරීමේ වෑයමක ද නිරතව සිටියි.

ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ නායක හා වතු හා කර්මාන්ත රාජ්‍ය ඇමති කේ. වේලායුදන් සහ ජාතික කම්කරු කොංග්‍රසයේ නායක, වතු යටිතල පහසුකම් ඇමති පී. දිගම්බරන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ  මෙම විරෝධතාවය හේතුවෙන් වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය හා නිවාස ගැටළු විසදීමට පියවර ගෙන ඇති යහපාලන ආණ්ඩුවට වතු කම්කරුවන් ගැන ඇති යහපත් ආකල්පය බිදී යනු ඇති බව ය. අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති අතර එකඟතාවයක් නොමැති බවත්, මෙය කැඳවා ඇත්තේ වතුකරය තුළ ගිලිහී යමින් තිබෙන ලංකා කම්කරු කොංග්‍රසයේ  බලය රැක ගැනීම වෙනුවෙන් කම්කරුවන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය මහ මැතිවරණය ආසන්නයේ දී ඉදිරියට ගෙන ඇති බව වැඩිදුරටත් ඔව්හු පවසති.

ව්‍යාජ චෝදනා

කෙසේ වුවද, වැටුප් වැඩි කිරීම, කම්කරුවන්ට බලපාන සේවා කොන්දේසි සහ අයිතීන් කප්පාදුවට එරෙහිව මස්කෙළිය ග්ලෙනුයි වත්තේ  'ඩී' සයිඩ් කොටසේ  කම්කරුවන් තුන් දින වැඩ වර්ජනයක නිරත වුයේ කිසිදු වෘත්තීය සමිතියක මැදිහත්වීමක් නොමැතිව ය. වතු පාලකයන් විසින් ව්‍යාජ චෝදනා ගොනු කරමින් කම්කරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මගින් එම කම්කරු නැගිටීම යටපත් කරනු ලැබු අතර, කම්කරුවන් සිව් දෙනෙකු සේවයෙන් පහකර තවත් කම්කරුවන් තිදෙනෙකුගේ සේවය එක් මසකට තහනම් කර තිබේ. එම අවස්ථාවේ ලංකා කම්කරු කොන්ග්‍රස් නියෝජිතයන් කටයුතු කරනු ලැබුයේ කම්කරුවන්ට එරෙහිව වතු සමාගම් හා පොලිසිය සමග අත්වැල් බැඳ ගනිමින් බව කම්කරුවෝ පවසති.

මේ වන විට දියත්ව ඇති සෙමින් වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට නෙළන තේ දළු ප්‍රමාණය වන  කිලෝග්‍රෑම් 18 - 20ත් අතර ප්‍රමාණය කිලෝග්‍රෑම් 2 -5  දක්වා පහත වැටී ඇත. තේ කර්මාන්ත ශාලා 23 ක් මේ වන විට වසා දමා ඇති අතර සිය කාර්ය මණ්ඩලයට හා කළමනාකාරිත්වයට සේවයට වාර්තා නොකරන ලෙස වතු සමාගම් දන්වා තිබේ.☐

© JDS