අවතැන් ජනයා වෙනුවෙන් සහන සැළසීමට ‘ආණ්ඩුව බාධා කළා’ - IDMC

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූවන් වෙනුවෙන් කල් පවත්නා විසඳුම් ලබාදීමට පසුගිය රජය බාධා පැමිණවූ බව ජාත්‍යන්තර සංවිධානයක් චෝදනා කරයි. රටවල් තුළ අනාථ භාවයට පත්වූවන් පිළිබඳ තොරතුරු විමර්ශනයෙහි නිරත අභ්‍යන්තර අවතැන් වීම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය (IDMC) ජූලි පළමුවැනිදා ජිනීවා නුවරින් එළිදැක්වූ අලුත්ම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා රජයේ සහ විමුක්ති කොටි සංවිධානයේ හමුදා අතර යුද ගැටුම් නිමවී හය වසරක් ගතවීත්  හැත්තෑ දහසකට අධික දෙමළ හා මුස්ලිම් ජනකායක් උන් හිටි තැන් අහිමිව  උතුරු නැගෙනහිර විසිරී  සිටින බවයි.

ශ්‍රී ලංකාවේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වන IDMC ආයතනය පෙන්වා දෙන්නේ උන්හිටි තැන් අහිමිවූ 73,700 කින් අඩකට ආසන්න පිරිසක් සිටින්නේ යාපනය දිස්ත්‍රික්කයේ බවයි. වාර්තාවට අනුව දෙවැනි වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අවතැන් පුද්ගලයන් 16,483ක් සහිත වව්නියාවෙනි.  කෙසේ වෙතත්, මෙම ගණන් හිලව් අංග සම්පූර්ණ නොවන බව පවසන ඔවුන් දැඩි ලෙස නිර්දේශ කොට ඇත්තේ උන්හිටි තැන් අහිමි වීම් පිළිබඳ සැබෑ තත්වය වටහා ගැනීම සඳහා වඩාත් සවිස්තරාත්මක සමීක්‍ෂණයක් සිදු කරන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ යෝජනා

උන් හිටි තැන් අහිමිවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව සම්බන්ධයෙන් මානුෂීය පහසුකම් සැළසීම සහ සහනාධාර ලබාදීමට මහින්ද රාජපක්ෂ පාලනය විසින් බාධා පැමිණවූ බව IDMC මධ්‍යස්ථානය චෝදනා නගා තිබේ. උතුරු පළාතේ නැවත පදිංචි කිරීම්, සංවර්ධනය සහ ආරක්ෂාව සඳහා පිහිටුවනු ලැබූ ආරක්ෂක ලේකම් සහ හමුදාපතිවරයාද ඇතුලත් ජනාධිපති කාර්ය සාධක බලකාය  විසින් පවත්වාගෙන යන ලද්දේ යුද අරමුණකින් යුත් න්‍යාය පත්‍රයක් මත බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. එමගින් වළක්වන ලද සහන කටයුතු අතර උන්හිටි තැන් අහිමි වූවන්ට සමාජ මනෝචිකිත්සක සහාය, නීති ආධාර සහ උපදේශනය, ප්‍රජා ක්‍රියාකාරිත්වය, ඥාතීන් සොයාදීම සහ නැවත එක්තැන් කිරීම යනාදිය වූ බව වාර්තාවේ දැක්වෙයි. මේ අවහිර කිරීම් යුද පීඩිත උන්හිටි තැන් අහිමිවූවන්ගේ ජීවිත යථා තත්වයට පත් කිරීමට බාධාවක් වී තිබේ. 

යුද්ධය අවසන් වීමත් සමගම නැවත ඉදිකිරීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ දිගු කාලීන සැළැස්මක් ක්‍රියාවේ යෙදවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනා කරන ලද සහාය රජය ප්‍රතික්ෂේප කළ බව IDMC ආයතනය පවසයි. ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය පාලනය කළ බව සඳහන් කරන වාර්තාව පෙන්වා දෙන පරිදි කල් පවත්නා විසඳුම් ලබාදීමේ සැලසුම් බරපතල ලෙසින් අඩාල කිරීමට රජයේ වැඩ පිළිවෙල හේතු වී තිබේ. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති රාජ්‍ය නොවන සංවිධාන කාර්යාංශය 2015 දී ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතට පවරා ගැනීම මගින් නව රජය වෙනස් ප්‍රවේශයක් ගෙන ඇති බව ද IDMC ආයතනය විශ්වාසය පළකර සිටියි.

එල්ටීටීඊ පාලන සමය

කෙසේ වෙතත්, පිරිමින්ගේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සහ මත්පැන් - මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ පවත්නා තත්ත්වයත්  එල්ටීටීඊ පාලන සමයේ පැවති වාතාවරණයත් අතර බරපතල ප්‍රතිවිරෝධයක් පෙරළා නිවෙස් බලා ඒමට ඉඩ ලද කාන්තාවන් විසින් තමන්ට විස්තර කරන ලද බව වාර්තාවේ සම්පාදකයෝ පවසති. වාර්තාවට අනුව, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා මත් භාවිතය විමුක්ති කොටි සංවිධානය විසින් නොඉවසුවත්, මෙකල ඒ වරදට අත් අඩංගුවට ගනු ලබන විවාහක පුරුෂයෝ දින දෙකක් අත් අඩංගුවේ ගතකොට ආපසු පැමිණ එම දුර්චර්යාවේම දිගටම නිරත වෙති. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය තවත් වැඩි වීමට හේතුවන කසිප්පු නිෂ්පාදනයෙන් අල්ලස් ලබන පොලිස් නිලධාරීන් නිශ්ක්‍රීයව සිටින බව කාන්තාවන් චෝදනා කොට තිබේ. යුද පීඩිත ප්‍රදේශවල පොලිස් කාන්තා හා ළමා කාර්යාංශවල සේවයේ යොදවා සිටින්නේ පිරිමින් වන අතර ඉන්නා නිලධාරිනියන් අතළොස්සක් දෙනාද දෙමළ බස නොදන්නා බව සමීක්‍ෂකයන්ට හෙළිවී තිබේ.

උන්හිටි තැන් අහිමි වූවන් මෙන්ම රජයේ නියෝජිතයන්ද 2015 අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේදී මුණ ගැසී රැස් කරගත් තොරතුරු තම වාර්තාවට පදනම් වූ බව IDMC ආයතනය සඳහන් කරයි.☐

© JDS