උතුරු නැගෙනහිර පෝෂණ තත්ත්වය ගැන සහන සංවිධාන වාර්තාව අනතුරු හඟවයි

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සහ වතුකරයේ දරුවන් බරපතල ලෙස ඌන වර්ධනයට ලක්වී ඇති බවට ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන මුල් පෙළේ ජාත්‍යන්තර සංවිධානයක් අනතුරු අඟවයි. මව්වරුන්ගේ සහ දරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ ලෝක ව්‍යාප්ත සමීක්‍ෂණයක තොරතුරු අඩංගු වාර්තාව අඟහරුවාදා (05) නිකුත් කළ සේව් ද චිල්ඩ්‍රන් (Save The Children) පදනමේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ අම්පාර, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, මුලතිවු සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක පහේ දරුවන් කුරු වීමට ගොදුරුව ඇති බවයි.

කුරු වීම

"කුරු බව උතුරු නැගෙනහිර බරපතල ප්‍රශ්නයක්. එය සිදුවන්නේ දිගු කාලීන වශයෙන් දරුවන්ට පෝෂණය නොලැබී යාම නිසා," යයි සේව් ද චිල්ඩ්‍රන් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ විලියම් ලින්ච් පවසයි. එම ආයතනය විසින් ලෝකයේ රටවල් 179ක මව්වරුන්ගේ ජීවන තත්ත්වය ශ්‍රේණිගත කරමින් 2015 සඳහා එළිදක්වා ඇති මාතෘ දර්ශකය සඳහා පදනම් කොටගෙන ඇත්තේ මාතෘ මරණ, අවුරුදු පහට අඩු දරුවන්ගේ මරණ අනුපාතය, ළමුන් විධිමත් අධ්‍යාපනයේ යෙදෙන වසර ගණන, ඒක පුද්ගල දල ජාතික ආදායම සහ ජාතික දේශපාලනයේ කාන්තා සහභාගිත්වයයි.

මාතෘ දර්ශකය අනුව ලෝකයේ රටවල් අතරින් පසුගිය වසරේ 89 වැනි තැන සිටි ශ්‍රී ලංකාව මේ වසරේ ශ්‍රේණි දෙකකින් පහත වැටී තිබේ. සංඛ්‍යාලේඛනයක් ලෙසින් එය 'බරපතල පහළ වැටීමක් නොවන' බව විලියම් ලින්ච් පවසයි. කෙසේ වෙතත්, රට පුරා දරුවන් සහ මව්වරුන්ගේ තත්ත්වය එක සමාන නැති බව පවසන ඔහු JDS හා ප්‍රකාශ කළේ "මව්වරුන්ගේත්, ළදරුවන්ගේත්  සෞඛ්‍යය සහ පෝෂණය සම්බන්ධයෙන් නරකම දර්ශක ලැබෙන්නේ උතුරේ කිලිනොච්චිය, මුලතිවු, වවුනියාව සහ යාපනයෙන්," බවයි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සසඳා බැලූ කල අඩුම පෝෂණයක් සහිත මව්වරුන් සහ දරුවන් සිටින්නේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ බව පෙන්වා දෙන ඔහු  බරින් අඩු දරුවන්ගේ වැඩිම අනුපාතයක් ඇත්තේ කිලිනොච්චි සහ මුලතිවු දිස්ත්‍රික්කවල බවද කියා සිටියි.

යටිතල පහසුකම්

කලට මෝසම් වැසි නොලැබීම සහ ගංවතුර නිසා යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය ගැටළු සහගත වී ඇති බව ද සේව් ද චිල්ඩ්‍රන් ' ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ පවසයි. 2012 - 2013 දීත් පසුගිය නත්තල් සමයේත් ගැලු ගංවතුර උතුරු නැගෙනහිර ජන ජීවිතයට හානිකර අන්දමින් බලපා ඇති බව පෙන්වා දෙන විලියම් ලින්ච් ඒ ප්‍රදේශ වල වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කර නොතිබීමත් ජනතාවගේ පෝෂණ තත්ත්වය පහත හෙළීමට හේතු සාධක වී තිබෙන බව කියා සිටියේය.

යුද්ධයට මුහුණ දුන් උතුරේ  'යටිතල පහසුකම් ඉදි කිරීම කල් ගතවන කටයුත්තක්,' බව විලියම් ලින්ච්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත් 'වාරිමාර්ග ක්‍රම සම්බන්ධයෙන් තවත් කළ යුතු බොහෝ දේ තිබෙන,' බව කියන ඔහු මේ වසරේ උතුර දැඩි නියඟයකට මුහුණ පෑමත් තත්ත්වය නරක අතට හැරවූ බව ප්‍රකාශ කළේය. පීඩාවට පත්ව සිටින උතුරේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කල් පවත්නා සහන සැලසුම් නැතිවීම ද ගැටළුවක් බව ඔහු පෙන්වා දුන්නේය.

කොළඹ හා වතුකරය

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ රක්ත හීනතාව ඉතා ඉහල මට්ටමක පවතින අතර, කුරු බවට පත් අයගේ විශාල අනුපාතයක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුවූ  බවද ඔහු ප්‍රකාශ කළේය. නුවරඑළිය පුරාම කුරු වීම පැතිර පැවතුනද, විශාල වතු වගාවක් පවත්නා ප්‍රදේශ සහ කුරු බව අතර සහ සම්බන්ධයක් පවතින බව ලින්ච් වැඩිදුරටත් කියා සිටියේය. රටම සළකා බැලූ කල අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ති‍්‍රක් පහ පෝෂණ තත්ත්වය අතින් පහලම අඩියේ සිටින බව ඔවුන්ගේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි.

මාතෘත්වය පිළිබඳ 2015 සේව් ද චිල්ඩ්‍රන් සමීක්‍ෂණය අනුව ජීවත්වීම සඳහා මවකට සුදුසුම දේශය නෝර්වේ රාජ්‍යය වන අතර නරකම රට සෝමාලියාව බව දක්වා තිබේ.☐

© JDS