කැබිනට් ඇමති බලයෙන් අවතැන් ජනයාගේ ඉඩම් කොල්ලකයි

ජයේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලපෑමෙන් විසි පස් වසරකට ආසන්න කාලයක් තිස්සේ අවතැන්ව සිටි මන්නාරමේ තාන්ගියාඩි ගම්මානයේ මුල් පදිංචි කරුවන්ට යළි පදිංචිවීමේ අයිතිය අහිමි කර තිබේ.

1990 වසරේදී තම ගම් බිම් වලින් පලවා හරිනු ලැබූ  මන්නාරමේ තාන්ගියාඩි ගම්වාසී පවුල් 100 ක් පමණ යළි පදිංචි වීමට එහි යාමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් කලින් විසු අක්කර 48ක පමණ ප්‍රදේශයක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සමීපතමයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බව යි. මේ වන විට අදාළ පුද්ගලයා ඉඩමේ සීමා මායිම් සළකුණු කොට ඒ වටා ආරක්‍ෂිත වැටක් ද ඉදි කර ඇත්තේ බදුර්දීන් ඇමතිවරයාගේ සහයෝගය යටතේ ය. දේශපාලන පිටුබලය යොදා ගනිමින් ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තමන්ට ඇතැයි කියාපෑමට අවශ්‍ය ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමට ද මේ වනවිට ඇමති අනුචරයා කටයුතු කරමින් සිටියි.

පීඩිත ජන ප්‍රජාවක්

දරුණු දරිද්‍රතාවයෙන් හා කුල පීඩනයෙන් පෙළෙන ප්‍රජාවකට අයත්වන තාන්ගියාඩි ජනයාට සිදු කෙරෙන අසාධාරණය ගැන බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවන බව මන්නාරමේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු JDS හා ප්‍රකාශ කළේය.

'තිබුණු ආණ්ඩුව යටතේත්, අලුත් ආණ්ඩුව යටතේත් තමන්ට අවශ්‍ය විදියට කටයුතු කරගන්න බලය යොදාගන්න මේ දේශපාලකයින්ට පුළුවන්. විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැත්තේ ඒ නිසායි,' ඔහු කීය.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී මන්නාරම් ප්‍රදේශයේ දුම්රිය මාර්ග ඉදිකිරීම් ආරම්භ වීමත් සමග එහි පැමිණි මෙම ජන කොටස දශක ගණනාවක්ම දිවි ගෙවා ඇත්තේ තාන්ගියාඩි ගම්මානයේ ය. ඔවුන්ගේ පවුල් අතරින් සියයට 90ක්ම දුම්රිය දෙපාර්තමේන්තු කම්කරුවන් වන අතර ඉතිරි පවුල් අතළොස්ස පාවහන් අලුත්වැඩියාව, කූඩා විවීම වැනී සුළු රැකියාවන් හි නිරත වුවෝ වෙති.

A 14 තලෙයි මන්නාරම් මාර්ගයේ මන්නාරම් නගරයට කිලෝ මීටර හතක් නුදුරින් පිහිටි තාන්ගියාඩි ගම්වාසි ජනයාට අද ඉතිරිව ඇති එකම සාක්‍ෂිය වන්නේ ගරා වැටෙමින් ඇති කුඩා කෝවිල පමණි.

ඇමති බදුර්දීන්

රාජපක්ෂ ආණ්ඩුවේ යළි පදිංචිකිරීම් හා පුනරුත්ථාපන ඇමති ධූරයේ කලින් කටයුතු කළ රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව අල්ලස් හා දුෂණ චෝදනාවන් මෙන්ම, දේශපාලන බලය අයුතු ලෙස යොදාගැනීමේ චෝදනා එල්ලව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහු එවකට විපක්‍ෂයේ දැඩි දෝෂ දර්ශනයට පාත්‍ර විය. 

රාජපක්ෂ ආණ්ඩුවේ දෙවන පාලන කාලයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති ධූරයට පත් කරන ලද ඔහු වව්නියාව, මුලතිව් හා මන්නාරම් දිස්ත්‍රික්කවල රක්‍ෂිත වනාන්තර ඉඩම් අක්කර 2,388ක් එළිපෙහෙළි කිරීමට යෝජනා කරනු ලැබුයේ නැවත පදිංචි කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ය. මන්නාරමේ  මුසලි, මඩු හා මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල රක්‍ෂිත වන ඉඩම් අක්කර 1080 ක් එළි පෙහෙළි කිරීමට ද එවකදී බදුර්දීන් අමාත්‍යවරයා යෝජනා කළ අතර තරවන්කොට්ටෙයි ප්‍රදේශයේ  ඉදි කෙරුණූ හමුදා කඳවුර වෙනුවෙන් අවට ගම්වාසී ජනයාගේ ඉඩම් අත්පත් කරගනු ලැබුයේ ඔහු යළි පදිංචි කිරීම් ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ය.

පුත්තලම් ප්‍රදේශයේ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ පට්ටානි රාසික් 2011 පෙබරවාරි 11 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වූ රිෂාඩ් බදුර්දීන් ඉකුත් ජනාධිපතිවරණය ආසන්නයේ පිල් මාරු කිරීමෙන් පසු නව ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයකට පත්කරනු ලැබුණි.☐

© JDS