නිශා බිස්වාල්ගේ සංචාරයට ඇරුණු ඕමන්තෛ මුරපොළ යළි මගී පරීක්‍ෂාව අරඹයි

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය ලැබූ ප්‍රගතිය සොයාබැලීම සඳහා දකුණු හා මාධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මෙරට සංචාරය කිරීම නිමිත්තෙන් නිදහස් ගමන් බිමන් සඳහා විවෘත කැරුණු ඕමන්තේ මුරපොළේ මගී පරීක්ෂාව ඊයේ (5) සිට යළි අරඹා තිබේ.

පසුගිය දින තුන පුරා මෙම මුරපොළ උතුරේ සිට දකුණටත්, දකුණේ සිට උතුරටත් යන එන වාහනවලට සහ පුද්ගලයන්ට පරීක්‍ෂාවකින් තොරව නිදහසේ යාම් ඊම සඳහා විවෘත කර තැබිණි. රජයේ තීන්දුවකට අනුව ගනු ලැබූ ස්ථිර පියවරක් ලෙස හුවාදක්වමින් එම විවෘත කිරීමට පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ද ලබාදෙන ලදී. යුද්ධයෙන් වැනසුණු උතුරේ තැන තැන දමා ඇති පරණ යකඩ වැනි දෑ රැගෙන එන වාහන සෝදිසිය පමණක් මුරපොළේ දී සිදුවනු ඇති බව එම වාර්තාවලින් කියැවිණි.

එහෙත් තෙදිනකට පසු, සහකාර රාජ්‍ය ලේකම් බිස්වාල් සිය ශ්‍රී ලංකා සංචාරය නිමාකිරීමෙන් අනතුරුව, යලිත් සුපුරුදු පරිදි මුරපොළේ වාහන හා පුද්ගල පරීක්‍ෂාව අරඹා ඇත. මේ පිළිබඳ සොයා බැලීමට ඕමන්තේ මුරපොල වෙත ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට එහි සිටින හමුදා නිලධාරීන් පවසා ඇත්තේ “ඉහලින් පැමිණි නියෝගයක් අනුව පරීක්‍ෂාවන් හා ලියාපදිංචි කිරීම් යළි ආරම්භකරමින් සුපුරුදු පරිදි  මුරපොළ පවත්වාගෙන යන" බව ය.

'පරීක්‍ෂා නැතුව දවස් දෙකයි'

උතුරු ප්‍රදේශයට ප්‍රධාන පිවිසුම ලෙස ඕමන්තේ මුරපොළ, යුද්ධය පැවති කාලයේ මෙන්ම සාම ගිවිසුම් පැවති කාලයේ ද අඛණ්ඩව පවත්වාගෙන එන්නකි. විදේශ ගමන් බලපත් හිමියන්ට මෙම මුරපොළ හරහා උතුරට යාමේදී විශේෂ අවසරයක් ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ගත යුතුව තිබිණි. නව ආණ්ඩුව බලයට පැමිණීමත් සමගම එම තහනම ඉවත් කරනු ලැබුවේ ආණ්ඩුවේ පළමු ජාතික විධායක සභාවේ තීරණයක් අනුව ය.

“මේ මුරපොළෙන් දවස් දෙකක්ම කිසිම පරීක්‍ෂාවක් නැතුව ගමන් කරන්න ඉඩ දුන්නා. එත් දැන් බස් වලින් මිනිස්සු බස්සලා චෙක් කරනවා හැම විස්තරයක්ම ලියා ගන්නවා. දැන් කලින්ටත් වඩා පරීක්‍ෂාව තදයි,” ඕමන්තේ මුරපොළ අසළ දී මාධ්‍යයට අදහස් දැක්වූ බස්රථ රියදුරෙක් පැවසීය.☐

©  JDS