වතුකරයේ දෙමළ සිසුන්ගේ උසස් අධ්‍යාපනයට වැටක්

ටේ ජාතික විශ්වවිද්‍යාල 14කට ඇතුළත්ව සිටින සිසුන් 28,900ක් අතුරින්, වතුකරයේ දෙමළ සිසුන් සිටින්නේ 120ත් 150ත් අතර ඉතා සුළු සංඛ්‍යාවකැ’යි ඇස්තමේන්තු කර ඇති බවත්, මෙය රටේ ජනගහනයෙන් 7%ක් වන වතුකර දෙමළ ජාතික අනුපාතයට කොහෙත්ම නොසෑහෙන බවත් 'වැවිලි සමාජයීය ක‍්‍රියාකාරී කණ්ඩායම' පවසයි. මෙයින්ද අති බහුතරය කලා හා වාණිජ්‍යය පීඨවල සිසුන් වන අතර විද්‍යා විෂයයන් පදනම් කරගත් පීඨවල සිටින වතුකර දෙමළ සිසුන් සංඛ්‍යාව 25-30ක් තරම් සුළු බවද එම සංවිධානය පවසයි.

වෘත්තීය සමිති, දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධානවලින් සැදුම්ලත් වතුකරයේ ජනයාගේ කි‍්‍රයාකාරී එකතුවක් වන ‘වැවිලි සමාජයීය කි‍්‍රයාකාරී කණ්ඩායම’ මේ බව පවසන්නේ වතුකරයේ දෙමළ ජනතාවගේ උසස් අධ්‍යාපන තත්ත්වයන් පිළිබඳ ලියැවිල්ලක් හා එය වැඩිදියුණු කිරීමේ යෝජනාවලියක් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ වෙත ඉදිරිපත් කරමිනි.

ශ‍්‍රී ලංකාව විවිධ වූ උසස් අධ්‍යාපන ප‍්‍රභවයන් ඔස්සේ දැනුම පදනම් කරගත් රාජ්‍යයක් ලෙස දියුණුවෙමින් තිබියදී තමන් ඉන් අත්හැරී යනුඇතැයි වතුකර දෙමළ ජනයා බියෙන් සිටින බව ලියැවිල්ල පෙන්වා දෙයි.

ඩිජිටල් බෙදුම්කරණය

‘‘උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වතු දෙමළ ජනයාට ඇති සියලූ දුක්ගැනවිලි උසස් අධ්‍යාපනයේ නව විෂමතා හා අසමානතාවන්ට හේතුවනු ඇති අතර, එබැවින් රාජ්‍යයේ වැදගත් ජන කොටසක් පරිගණක හා විද්‍යාත්මක සාක්ෂරතාව රහිතව පැවතීමෙන් රටට ඩිජිටල් බෙදුම්කරණ අර්බුදයකට මුහුණදීමට බලකරනු ඇත. ඔවුහු දැනුම පදනම් කරගත් නව ආර්ථිකයක පලදායී සාමාජිකයන් වීමට අවශ්‍ය සුදුසුකම් හා කුසලතා නැත්තන් බවට පත්වනු ඇත්තාහ’’ ලියැවිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

වතුකරයේ ජනතාව වෙනම ජන වර්ගයක් ලෙස රජය විසින් වර්ගීකරණය කරනු ලැබ ඇතත්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම ඊට පටහැනිව වතුකර ජනතාව ද සාම්ප‍්‍රදායික උතුරු හා නැගෙනහිර දෙමළ ජනතාව තුළටම අන්තර් ග‍්‍රහණය කරගෙන ඇති බැවින්, වතු දෙමළ විශ්ව විද්‍යාල සිසුන් පිළිබඳ කිසිදු නිවැරැදි සංඛ්‍යා ලේඛනයක් ඒ පිළිබඳ නිල මූලාශ‍්‍රය වන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් ලබාගත නොහැකි බවද එම සංවිධානය පවසයි.

එසේම විශ්ව විද්‍යාලවලට ඇතුළු වී සිටින වතුකරයේ දෙමළ සිසුන්ගේ සමාජ පසුබිම සලකා බැලීමේ දී, වතුකරයේ දෙමළ ජනගහණයෙන් 65%ක් සෑදී තිබෙන සැබෑ වතු කම්කරු ප‍්‍රජාව අතරින් පැමිණෙන්නන් ඉතාම අල්පයක්ය යන්න තමන්ගේ කල්පනාව බවද ඔවුහු පවසති.

'පමා වී ඇරැඹූවන්'

වතුකරයේ දෙමළ ජනයා උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ‘‘පමා වී ඇරැඹූවන්’’ ලෙස හඳුන්වන ලියැවිල්ල, මෙම ප‍්‍රදේශයේ අපොස උසස් පෙළ අධ්‍යාපන අවස්ථා ලබාදෙන්නේ 1AB කාණ්ඩයේ පාසල් 20ක් සහ 1C කාණ්ඩයේ පාසල් 109ක් පමණක් බව සඳහන් කරයි. කුසලතා මත පදනම් වූ විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සේම ප‍්‍රමිතිකරණය හා දිස්ත‍්‍රික් පදනම වැනි නිර්ණායකයන් නිසා 7%ක් වූ සිය ජනගහන ප‍්‍රතිශතයට සමානුපාතිකව වතුකරයේ දෙමළ සිසුහු විශ්වවිද්‍යාල අධ්‍යාපන අවස්ථා හිමිකරගැනීමට අසමත්ව සිටිති.

ජාතික විශ්ව විද්‍යාලවලට අමතරව ඇති වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UNIVOC), සාගර විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ ආයතනය (SLIIT) සේම රාජ්‍ය අංශයේ තවත් උසස් ජාතික ඩිප්ලෝමා අධ්‍යාපන ආයතන ගණනාවක් ඇතත්, මේවායේ ඇතුළත්වීමේ නිර්ණායකයන් වතුකරයේ සිසුන්ගේ සීමාවෙන් ඔබ්බෙහි ඇති බැවින් මෙම ආයතනවලට ඇතුළත්වීමේ අවස්ථාද ඔවුන්ට නොමැත.

සාම්ප‍්‍රදායික නොවූ තාක්ෂණ, කලමණාකරන හා විද්‍යා ක්ෂේත‍්‍රයන්ට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන බොහොමයක්ද මේ වනවිට උසස් අධ්‍යාපනය ලබාදෙන නමුත්, මේ හැමෙකක්ම ගාස්තු අයකරන ආයතන වන අතර වතුකරයේ දෙමළ සිසුන්ට මෙම වියදම් දැරීමේ හැකියාවක් නැත.

නව යෝජනා

වතුකරයේ දෙමළ සිසුන්ට උසස් අධ්‍යාපනයේ වැඩි අවස්ථා සලසා දීම සඳහා ආණ්ඩුව විසින් කිසියම් ස්ථිර ක‍්‍රියාමාර්ගයක් හෝ ධනාත්මක වෙනස්කම් කිරීමේ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය’යි පවසන යෝජනාවලිය, උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජාතීන්ට තමන්ගේ ඓතිහාසික, සංස්කෘතික, කෘෂිකාර්මික හා අධ්‍යාපනික අභිලාෂයන් සහතික කරන විශ්ව විද්‍යාල සපයා ඇති පරිදිම වතුකර දෙමළ ජනතාව සඳහා වෙනමම විශ්ව විද්‍යාලයක් ලබාදීමත්, ජාතික විශ්ව විද්‍යාලවලට අමතරව සාගර විශ්ව විද්‍යාලය, UNIVOC, SLIIT වැනි අනෙකුත් රාජ්‍ය අංශයේ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීම සඳහා වතුකර දෙමළ සිසුන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත්, දෙමළ භාෂාවට අභිමතය ලැබෙන පරිදි ප‍්‍රමාණවත් මානව හා භෞතික සම්පත් සහිතව ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප‍්‍රාදේශීය මධ්‍යස්ථාන පිහිටුවීමත් යෝජනා කර සිටී.☐

© JDS