උතුරේ වතුර දූෂණය කරන බහුජාතික සමාගමකට උසාවියෙන් තහංචි

යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේද අධ්‍යක්ෂකත්වයෙන් පවත්වාගෙන යන බහුජාතික සමාගමක් විසින් උතුරේ කි‍්‍රයාත්මක කරන තාප විදුලි බලාගාරයක කටයුතු වහාම අත්හිටුවන ලෙස අධිකරණය නියෝග කොට තිබේ. විදුලිය ජනනය සඳහා යොදාගන්නා ඉන්ධන පිලිස්සීමෙන් පසු අපද්‍රව්‍ය ලෙස ඉවතලන දැවිතෙල් භූමියට එකතු කොට යාපනයේ ජල සම්පත දූෂණය කරන බවට චෝදනා ලබන උතුරු විදුලි පෞද්ගලික සමාගමට මේ තහනම පනවන ලද්දේ මල්ලාකම් අධිකරණය විසිනි.

එම් ටී ඩී වෝකර්ස් සමාගම විසින් චුන්නාකම් හි ඉදිකොට ඇති විදුලි බලාගාරයට එරෙහිව තෙල්ලිපලෙයි ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු එකොළොස් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සම් විභාගයට ගනිමින් තහනම පැනවූ මල්ලාකම් මහේස්ත‍්‍රාත් එස් සදීස්වරන් දින නියමයකින් තොරව විදුලිබල සමාගම වසා දමන්නට නියෝග කළ බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි​ නීතීඥ ශාන්තා අභිමානසිංහම් මාධ්‍යවේදීන්ට පැවසුවාය. භූගත ජලය දූෂණය වී ඇති පළාත් පිලිබඳ සමීක්ෂණයක් සිදුකොට සිදුවූ හානිය ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස තෙලිප්ලෙයි, උඩුවිල් හා කෝපායි ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට අධිකරණය විසින් නියෝග කර තිබේ.

උපවාසයක්

වසර කිහිපයක් තිස්සේ දැවිතෙල් ලීටර හාරලක්ෂයක් පමණ භූමියට මුදාහැරීම මඟින් චුන්නාකම් අවට පළාත්වල තිස්පන් දහසක් දෙනාට ජලය සපයන ළිං දූෂණය වීමට විරෝධය පාමින් වෛද්‍යවරුන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මීට දින කිහිපයකට ඉහත සිට ඊට විරෝධය දක්වමින් උපවාසයක් දියත් කොට තිබියදී, අධිකරණය තම තීන්දුව ලබා දී ඇත. චුන්නාකම් හි විදුලි බලාගාරය පිහිටා ඇති ප‍්‍රදේශයේ සිට කිලෝමීටර් 5ක දුරින් පිහිටි ඒලාලෙයි හා කට්ටුවාන් වැනි ප‍්‍රදේශවල ළිංවලට පවා තෙල් මිශ‍්‍ර වී ඇතිබව දැනට සොයාගෙන තිබේ. චුන්නාකම් හි තෙල්ලිපලෙයි හා ඉනුවිල් ප‍්‍රදේශවල ළිං ජලය මේ වනවිටත් දැවිතෙල් කාන්දුවෙන් විනාශ වී තිබීමට අමතරව කොකුවිල්, සුදුමලේ සහ තාවඩි පළාත්වල ජලයත් හානියට පත්වනු ඇති බව උපවාසයේ යෙදී සිටි වෛද්‍ය සෙන්දුරන් පවසයි. ‘‘අපේ ඇස්තමේන්තුව අනුව මේ කාන්දුව තව මාසයකින් පමණ මුළු යාපනය අර්ධද්වීපයටම බලපානු ඇතැ’’යි වෛද්‍යවරයා පැවසුවේ ය. ඔහුගේ මතය වන්නේ විදුලි බලාගාරය මේ මොහොතේ වසාදමන්නට තීරණය කළත්, වසර 10කට වැඩි කාලයක් මෙහි ප‍්‍රතිවිපාක බලපැවැත්වීමට ඉඩ ඇති බවයි.

සැළකිය යුතු කාලයක් තිස්සේ මෙතරම් විනාශයක් ප‍්‍රදේශයේ ජල සම්පතට සිදුවන තුරුත් මීට එරෙහිව විරෝධය දැක්වීමට හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම පිලිබඳ, තීන්දුව ප‍්‍රකාශයට පත්කරමින් මහේස්ත‍්‍රාත්වරයා දොශාරෝපණයක් එල්ල කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උපවාසකරුවන් කියා සිටින්නේ බලාගාරයට පූර්ණ ආරක්ෂාව හා අනුග‍්‍රහය ලැබුණේ පසුගිය ආණ්ඩුවෙන් බවයි. ප‍්‍රදේශයේ ළිංවලට තෙල් මුසුවීම පිළිබඳ ප‍්‍රදේශවාසීන් වෙතින් නැඟ එමින් තිබූ විරෝධතා හමුදාව විසින් පසුගිය කාලය පුරාම බලහත්කාරයෙන් මැඩ පවත්වාගෙන සිටි බව උපවාසකරුවෝ පැවසූහ.

යටි අරමුණු

තම සමාගම ජල දූෂණයට වගකිව යුතු නැතිබව කීම සඳහා නුඩු විභාගයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් වෝකර් සමාගම ප‍්‍රකාශ කළේ, උතුරු විදුලි පුද්ගලික සමාගමට චෝදනා නගන්නේ ‘විවිධ යටි අරමුණු ඇති පාර්ශව’ බවයි. අපවිත‍්‍ර තෙල් මූලාශ‍්‍රය තම බලාගාරයෙන් පිටත එකක් බව සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලාල් පෙරේරා කොළඹදී මාධ්‍යවේදීන් අමතා කියාසිටියේ ය. ඔහු ප‍්‍රකාශ කරන්නේ තම බලාගාරයේ දැවිතෙල් සියල්ල එකතු කර වෙළෙඳපලට අලෙවි කරන බවයි. එහෙත්, කවුරු ඒවා මිලදී ගන්නේදැ’යි ඔහු ප‍්‍රකාශ කළේ නැත. යුද සමයේ දැවිතෙල් ගබඩා පුපුරා යාමෙන් සැදුණු ‘ඔයිල් කුලම්’ නමැති තෙල් විල පස් දමා පිරවීම ජල දූෂණයට හේතුව බව ඔහු පවසයි. උතුරු විදුලි සමාගම වසාදමන ලෙස උද්ඝෝෂණය කරන සංවිධාන පෙන්වාදෙන්නේ තාප බලාගාරය පවත්වාගෙන යාම සඳහා පාරිසරික බලපෑම් ඇගයීමේ වාර්තාවක් රජය විසින් ලබා දී නැති බවයි.

යුරෝපා සංගමය

පසුගිය වසරේ තමන් ලද ආදායම රුපියල් කෝටි 160කට ආසන්න බව උතුරු විදුලි පෞද්ගලික සමාගම සිය වාර්ෂික ගිණුම් වාර්තාවේ දක්වා තිබේ. ශ‍්‍රී ලාංකේය සම්භවයක් ඇති බි‍්‍රතාන්‍ය පුරවැසි යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරන්ජන් ජෝසප් ද සිල්වා දේවාධිත්‍ය (නිරාජ් දේවා) උතුරු විදුලි පෞද්ගලික සමාගම පාලනය කරන එම් ටී ඞී වෝකර්ස් හි අධ්‍යක්ෂවරයෙකි. යුද්ධයේ දී රජයේ හමුදාවල කි‍්‍රයාකාරීත්වය ජාත්‍යන්තර වශයෙන් යුක්ති සහගත කළ ඔහු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට සුබපතමින් කියා තිබුණේ යුරෝපා සංගමය සමඟ වෙළෙඳාම නඟාසිටුවීම හා කල් පවත්නා සාමයක් උදාකරගැනීම වෙනුවෙන් එක්ව වැඩකිරීමට බලාපොරොත්තු වන බවයි.☐

© JDS