උතුරේ වසා දැමූ පාසල් අසූ නවයක් විවෘත කරන ලෙස ගුරු නායකයෝ ඉල්ලති

ජය විසින් යුද්ධය අවසන් කළ බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අවුරුදු හයක් ගතව තිබියදීත් උතුරේ වසා දමා ඇති පාසල්  විශාල සංඛ්‍යාව අධ්‍යාපනය සඳහා විවෘත කරන ලෙස රටේ මුල් පෙලේ ගුරු වෘත්තීය සමිතියක් ඉල්ලා සිටී.

උතුරේ පාසල් 89ක් යුද සමයේ සිට අද දක්වා වසා දමා තිබෙන බව පවසන ලංකා ගුරු සංගමය මෙය දෙමළ ජනතාව මුහුණ පා සිටින ප්‍රශ්නයේ ගැඹුර පෙන්වා දෙන බව ප්‍රකාශ කරයි. මේ පිළිබඳ සවිස්තරාත්මක ලේඛනයක් උතුරේ ආණ්ඩුකාරයාගේ අවධානයට යොමු කොට ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් JDS සමග ප්‍රකාශ කළේය.

"අධ්‍යාපන කලාප මට්ටමින් වසා දමා ඇති පාසැල් ප්‍රමාණය පිළිබඳව විතරක් නොවෙයි,  වසා දමා ඇති පාසැල් නිශ්චිත වශයෙන්ම නම් කරලා අපි පැහැදිලිව පෙන්වාදීලා තියෙනවා උතුරු පළාතේ දැනට ස්ථාපිත පාසල් 1082කින් පාසැල් පැවැත්වෙන්නේ ඉස්කෝල 993ක් විතරයි කියලා" දුරකතනයෙන් අප හා කතා කළ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මෙසේ වසා දමා ඇති පාසැල් උතුරු පළාත යටතට ගැණෙන අධ්‍යාපන කළාප දොළහක් පුරා විසිර පවතී. ලංකා ගුරු සංගමය විසින් අනාවරණය කර ඇති එම සංඛ්‍යාවන් පහත පරිදි ය.

යාපනය -14
වලිකාමම් - 16
වඩමරාච්චි - 5
තෙන්මරාච්චි - 8     
දූපත් ප්‍රදේශ - 15
කිලිනොච්චි - 8
මන්නාරම - 2
මඩු - 1
වවුනියා උතුර - 8
වවුනියා දකුණ - 8
මුලතිවු - 4

අධ්‍යාපනය හා බැඳුනු වෙනත් ගැටළු හා පොර බැදීමට පළමුව පාසල් විවෘත කරවා ගැනීම සඳහා අරගල කිරීමට දෙමළ ජනතාවට බල කෙරී ඇති බව ගුරු සංගමය පෙන්වා දෙයි.

"යුද්ධය පැවැති ප්‍රදේශවල අධ්‍යාපනය ලබන දරුවන්ට  තියෙන්නේ හුදෙක් භෞතික අඩුපාඩුකම් විතරක් නෙවෙයි, අධ්‍යාපනය ලබන්න අවශ්‍ය අවම මානසික ස්ථාවරත්වයට ළඟාවීම පවා ඒ දරුවන්ට විශාල අභියෝගයක්," ලංකා ගුරු සංගම් නායකයා වැඩි දුරටත් පැවසීය.

ලංකා ගුරු සංගමයේ ඉල්ලීම ගැන උතුරේ නව ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර ගෙන් විමසීමට JDS ගත උත්සාහය සාර්ථක වූයේ නැත.☐

© JDS