ෆ්‍රංශුවා හුටා: පීඩිතයන්ගේ ශාන්තුවරයා සමුගනී

ගෝලීයකරණයට එරෙහි ව්‍යාපාරයේ පාප්වරයා ලෙස ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ පීඩිත ජනතාවන්ගේ ගෞරවාදරයට ලක් වූ  කීර්තිමත් මාක්ස්වාදී සමාජ විද්‍යාඥයෙකු සහ විමුක්ති දේව ධර්මවේදීයෙකු වූ ෆ්‍රංශුවා හුටා ( 92) පසුගිය 06 වැනිදා ඉක්වදෝරයේ කීතෝ නගරයේදී අභාවප්‍රාප්ත විය.

සමාජ යුක්තිය සඳහා වන ගෝලීය  ව්‍යාපාරය තුළ අද්වීතිය කාර්යභාරයක් ඉටුකළ ෆ්‍රංශුවා හුටා,  ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු අධිරාජ්‍යවාදී රටවල සහාය ඇතිව ශ්‍රී ලංකා රජය විසින් දියත් කළ  යුද්ධය තුළ සිදු කරන ලද  මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ යුද අපරාධ සම්බන්ධයෙන් මේ දක්වා සිදූ වූ එකම ජාත්‍යන්තර විමර්ශනය වූ ඩබ්ලින් මහජන විනිශ්චය සභාවේ සභාපති ධූරය ඉසිලීය. එමෙන් 2013 දී ජර්මනියේ බ්‍රේමන්හිදී පැවැත්වුණු එහි දෙවන සැසිවාරය සාර්ථක කරගනු පිණිස ද ඔහු විශාල කාර්ය භාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකා රජය දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක යුද්ධයක් දියත් කිරීම සම්බන්ධයෙන් වරදකරුවා ලෙස තීන්දු කරන ලද්දේ මෙම දෙවන මහජන විනිශ්චය සභා සැසිය විසිනි. එමෙන්ම බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකා එක්සත් ජනපදය මෙම සාපරාධී ක්‍රියාවලියේ දී අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කරන ලද බව ද ඩබ්ලින් සහ බ්‍රේමන් සැසිවාරයන් විසින් ඒකමතිකව නිගමනය කරන ලදි.

දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් දිගුකාලීනව වර්ග සංහාරක ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට පිළිගැනීම නිල රාජ්‍යයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් තුළ ෆ්‍රංශුවා හුටාගේ මැදිහත් වීමෙන් සිදුකරන ලද මෙම නිර්භය මැදිහත්වීම යුක්තිය උදෙසා දෙමළ ජනතාව ගෙන යන අරගලයේ වැදගත් අදියරක් ලෙස සැළකේ.

“ෆ්‍රංශුවාගේ මරණය ඉතා අවාසනාවත් අහිමිවීමකි. ඔහු, ඔහුගේ දිගු ජීවිත කාලය තුළ මිලියන ගණන් ජනයාගේ ජීවිතවල යහපත් වෙනසක් කිරීමට වෙහෙස නොබලා දායක විය. ඔහු සමග වැඩ කළ දවස් මගේ මතකයේ රැඳී තිබේ. ඔහු සැබැවින්ම ශ්‍රේෂ්ඨ මිනිසෙකි", යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර ලේකම්වරයෙකු වූ ඩෙනිස් හැලිඩේ ප්‍රකාශ කළේය. හෙතෙම, ශ්‍රී ලංකා රජයට එරෙහි යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විමර්ශනය කළ ඩබ්ලින් මහජන විනිශ්චය සභාවේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අතර 2013 දෙසැම්බර් මාසයේ බ්‍රේමන් නගරයේදී ශ්‍රී ලංකා රජයට එරෙහි වර්ග සංහාරක චෝදනා විභාග කළ මහජන විනිශ්චය සභාවේ දෙවන සැසියේ සම සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළේය.

මහාචාර්ය හුටාගේ දිගුකාලීන මිතුරෙකු වූ හැලිඩේ, ඇමරිකානු බලපෑමට යටත්ව ඉරාකයට සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් ගන්නා ලද තීරණයට විරෝධය පාමින් 1998දී එක්සත් ජාතීන්ගේ සහකාර ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ප්‍රතිපත්තිමය හේතු මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් ස්වේච්ඡාවෙන් හැරගිය පළමුවැන්නා ලෙස සැළකේ.

“ඔහුගේ වියෝ‍ව විසින් පිරවිය නොහැකි හිස්තැනක් නිර්මාණය කර ඇතැ"යි ඩබ්ලින් සරසවියේ  ත්‍රිත්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් - ගැටුම්  යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජූඩ් ලාල් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

"ත්‍රෛ මහාද්වීපික සහයෝගීතාව පිළිබඳ අදහස ඉදිරිපත් කළේ චේ ගෙවාරා විසිනි. නමුත් ආසියාවේත්, අප්‍රිකාවේත්, ලතින් ඇමෙරිකාවේත් පීඩිත ජනයා සම්බන්ධ කරමින් චේ ගේ එම සිහිනය යථාර්ථයක් බවට පත් කළේ ෆ්‍රංශුවා හුටා විසිනැ", යි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ත්‍රෛ මහාද්විපක මධ්‍යස්ථානය පිහිටුවීම

1925 දී බෙල්ජියමේ ප්‍රභූ පවුලක උපත ලැබු ෆ්‍රංශුවා,  1920 - 21 කාලය තුළ බෙල්ජියමේ අගමැති ධූරය හෙබ වූ ඔන් රී කර්තොන් ද වියා (Henry Carton de Wiart ) ගේ මුණුපුරෙකු විය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව 1949 දී බ්‍රසල්ස් - මලින් අගරදගුරුවසමේ  පුජකවරය ලැබීමට පෙර ඔහු  ෆැසිස්ට් විරෝධී ව්‍යාපාරයේ සාමාජිකයෙකු වශයෙන් ක්‍රියා කළේය. “ශ්‍රී ලංකාවේ ආගම සහ දෘෂ්ටිවාදය" පිළිබඳ  ස්වකීය නිබන්ධනය සඳහා ලුවේන් හි කතෝලික සරසවියෙන් ආචාර්ය උපාධිය ලද ඔහු එහි සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස 1990 දක්වා කටයුතු කළේය.

කීර්තිමත් ඊජිප්තු මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයෙකු වූ සමීර් අමීන් සමග බෙල්ජියමේ ලුවේන්හි ත්‍රෛ මහාද්වීපික මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා 1976දී මුල් වූ හෙතෙම එහි අධ්‍යක්‍ෂවරයා ලෙස 2004 දක්වා කටයුතු කළේය.

“තුන්වන ලෝකවාදයේ සිට විකල්ප ගෝලීයවාදයක් දක්වාද, විමුක්ති දේවධර්මවාදයේ සිට නිර්මාණාත්මක පරිසරවාදය දක්වාද  වූ විෂය පථය තුළ ජනතාවන්ගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කළ  වැදගත් චින්තකයෙකු ලෙස ෆ්‍රංශුවා හුටා සදාකල්හි සැමරෙනු ඇතැ"යි ත්‍රෛ මහාද්විපික මධ්‍යස්ථානයේ වත්මන් අධ්‍යක්‍ෂ බෙර්නාද් දූතේම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“ඔහු ලෝකය පුරා විශේෂයෙන්ම ආසියාවේ අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ රාජ්‍ය නායකයන්ගේ සිට ඉඩම් අහිමි දුගී ගොවී ජනයා දක්වා වූ සියක් දහස් ජනතාවන්ගේ හඬ සහ හදවත විය. ෆ්‍රංශුවා මතකයේ රැ‍ඳෙනු ඇත්තේ ඔහුගේ කෘති එකතුව නිසා හෝ, ඔහු විසින් ලියන ලද ලිපි නිසා හෝ, ඔහුගේ දේශනයන් නිසා හෝ,  ඔහු සහභාගි වූ සම්මන්ත්‍රණයන්, සාකච්ඡාවන් හෝ සංචාරයන් නිසා හෝ, ඔහු ලද සම්මාන සහ පිළිගැනීම් නිසා හෝ නොව, ඒ සියල්ලටම ඉහළින් වූ  ඔහුගේ විශිෂ්ට පුද්ගලික ගුණාංගයන් හේතුවෙනි" යි ඔහු වැඩි දුරටත් පැවසීය.

ලෝක සමාජ සංසදයේ නියමුවා

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී බහුජාතික සමාගම් සහ ධනවාදී රාජ්‍ය පද්ධතිය විසින් කැඳවනු ලබන  ලෝක ආර්ථික සංසදය (WEF) ට එරෙහි විකල්පයක් ලෙස ලෝක සමාජ සංසදය (WSF)  ගොඩනැංවීමට පදනම සකස් කළ විකල්පයන් සඳහා වූ ගෝලීය සංසදයේ  විධායක ලේකම් ලෙස කටයුතු කරන ලද්දේ මහාචාර්ය හුටා ය.

“ෆ්‍රංශුවා හුටාගේ බුද්ධිමය සහ දේශපාලන ක්‍රියාකාරීත්වය වාම ව්‍යාපාරයේ විශිෂ්ටතම ඵලයන් ලෙස පරාවර්තනය  වනු ඇතැ" යි ලෝක සමාජ සංසදයේ ජාත්‍යන්තර කවුන්සිලයේ ප්‍රමුඛ සාමාජිකයෙකු වූ වෝල්ඩන් බෙලෝ පැවසීය.

“මෙම ට්‍රම්ප්වාදී යුගයේ, ෆ්‍රංශුවා පිළිබඳ මතකය විසින් ධෛර්යය සහ අධිෂ්ඨාන සහගත ප්‍රතිරෝධය පිළිබඳ පරමාදර්ශයක් සපයන" බව ෆ්‍රංශුවාගේ මරණය පිළිබඳ ශෝකය පළ කරමින් ඔහු සටහන් කරයි.

මුල්ලිවෛක්කාල් සැමරුම

ඉක්වදෝරයේ ස්වදේශික ජන ප්‍රජාවන් අතර ක්‍රියාකාරී  කීර්තිමත් අධ්‍යාපනික, සමාජීය සහ සංස්කෘතික සංවිධානයක් වන ඉක්වදෝරියානු ස්වදේශික ඉන්දීය මහජන පදනම (Fundación Pueblo Indio del Ecuador) විසින් දෙවන වරටත් සංවිධානය කරන ලද මුල්ලිවයික්කාල් සමරු රැස්වීම් හා වැඩ සටහන්වලට සහභාගි වෙමින් මහාචාර්ය හුටා සිය ජීවිතයේ අවසන් දවස් කාර්ය බහුල ලෙස ගත කළේය.  ය.

ජර්මනියේ බ්‍රේමන්හි ජාත්‍යන්තර මානව හිමිකම් සංගමයේ (IMRV) සභාපතිවරයා වන විරාජ් මෙන්ඩිස්ගේ මූලිකත්වයෙන් කීතෝ නගරයේ පැවැති මෙම රැස්වීම් මාලාවේ ප්‍රධාන කථිකයෙකු ලෙස හෙතෙම සහභාගී විය. ඔහුගේ අවිවේකී දිවියේ අවසන් දින කිහිපය ඔහු සමග ගතකළ විරාජ් මෙන්ඩිස්, 1989 දී ශ්‍රී ලංකාවේ රජය විසින්  දකුණේ දියත් කළ දැවැන්ත මිනිස් ඝාතනයන්ට එරෙහිව ජාත්‍යන්තර මතයක් ගොඩනැංවීමේලා මානව හිමිකම් සඳහා වූ ශිෂ්‍ය සංවිධානය (SHR) හා සමීපව කටයුතු කළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන අතර දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ ඩබ්ලින් සහ බ්‍රේමන් මහජන විනිශ්චය සභාවන් හි සංවිධායකයෙකු ලෙස  ද කටයුතු කළේය.

'පරාජය කළ නොහැකි අයුක්තියක් නැත'

“ලෝකයේ ප්‍රගතිශීලි සමාජ ව්‍යාපාරයන් හා දේශපාලන කණ්ඩායම් සමග එක්ව කරන ලද අරගලයන් හරහා දශක ගණනාවක් ඔස්සේ ගොඩ නැගුණු සිය සම්බන්ධතාවන් භාවිතා කරමින්, 2009 ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට එරෙහිව සිදු වූ මහා මිනිස් සංහාරය වළකාලීමට, ලතින් ඇමෙරිකානු ප්‍රගතිශීලි ආණ්ඩු දැනුවත් කරනු වස් ෆ්‍රංශුවා හුටා දැවැන්ත පරිශ්‍රමයක් දැරුවේ" යැයි බ්‍රේමන් ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය සහ ශ්‍රී ලංකාවේ සාමය සඳහා වන අයර්ලන්ත සාම සංසදය (IFPSL)  ෆ්‍රංශුවා හුටාගේ මරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

ඩබ්ලින් සහ බ්‍රේමන් නගරවල පැවැති ශ්‍රී ලංකාව පිළිබඳ මහජන විනිශ්චය සභාවේ සැසිවාරයන්හි සම සංවිධායකත්වය දරණ ලද්දේ  IMRV සහ IFPSL යන සංවිධාන විසිනි.

"දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් ෆ්‍රංශුවා විසින් ගත් නොසැලෙන ස්ථාවරය වූ කලී ලොව පුරා බලාධිපත්‍යයට එරෙහි පීඩිත ජනතාවන්ගේ අරගලයන්ට ඔහු දැක් වූ කැපවීම් සහගත සහයෝගීතාවයේම අඛණ්ඩ දිගුවක් විය. දෙමළ ජනතාවගේ අරගලය සාපරාධී එකකැයි හුවා දක්වමින් ඔවුන්ට එරෙහි ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා ලෝකය පුරා ගෙන ගිය ප්‍රචාරයන් ඔහුගේ තිරසාර දේශපාලන විනිශ්චය ව්‍යාකූල කිරීමට සමත් වූයේ නැත. අයුක්ති සහගත ක්‍රියාදාමයන් නොවැළැක්විය හැකි සහ පරාජය කළ නොහැකි ඒවා ලෙස ඔහු කිසිවිටෙක පිළි නොගත්තේ ය. ෆ්‍රංශුවා හුටා නොසිටියේ නම් දෙමළ ජනයාට එරෙහි සාහසික අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන විනිශ්චය සභාව පැවැත්වීම කිසිවිටෙක කළ නොහැකි වනු ඇතැ"යි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මිය යන විට ඉක්වදෝරයේ ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ (IAEN) මහාචාර්යවරයකු හා පර්යේෂකයකු ලෙස කටයුතු කළ ෆ්‍රංශුවා හුටාගේ ආදාහන කටයුතු හිටපු ඉක්වදෝර ජනාධිපති රෆායෙල් කොරයා ඇතුළු සුවිශාල පිරිසකගේ මූලිකත්වයෙන් කීතෝ නගරයේ දී ජූනි 08 වැනිදා සිදුකරන ලදී.☐

© JDS