පොලිස් දඩයමට ඉලක්කව ඇති ක්‍රියාධරයන්ගේ නම් ලැයිස්තුවක් හෙළි වේ

කිත්සිරි විජේසිංහ විසිනි.


බ්‍රි

තාන්‍ය ස්කොට්ලන්ත පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට සපයන ලද පුහුණු වැඩසටහන් නැවැත්වීමට මැයි මාසයේදී ගෙන ඇති තීරණය පිළිබඳව මේ සතියේදී පළමුවරට අනාවරණය වන අතරවාරයේදී අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහිව සටන් වදින ගුරු, සිසු සහ වෘත්තීය සමිති නායකයන් බියවැද්දීමේ නිරතව සිටින පොලිස් බලඇණි විසින් තවදුරටත් අත්අඩංගුවට ගැනීමට ලුහුබඳින පිරිසකගේ නම් ලැයිස්තුවක් හෙළිවී තිබේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ලේඛනගත කොට ඇති එම වාර්තාවේ තොරතුරුවලට අනුව, පොලීසිය සහ හඳුනානොගත් කණ්ඩායම්වල ලුහුබැඳීමට ගොදුරුව සිටින වැඩි පිරිසක් විශ්ව විද්‍යාල සිසුන් වන අතර සෙසු අය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් බව එහි දැක්වෙයි. ඒ හැරුණු විට පැහැරගෙන යාමට සහ ජීවිත තර්ජන එල්ල කෙරෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් දෙපලක් පිළිබඳවද එම වාර්තාවේ සඳහන් ය.

අදාළ වාර්තාව, බදාදා (11) දිනයේදී කොළඹ පිහිටි තානාපති කාර්යාල ගණනාවකට සිසු නියෝජිතයන් විසින් භාරදුන් බව අවිවිශිබ නියෝජිතයකු ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.


මෙසේ අත් අඩංගුවට ගැනීම් සහ පැහැරගැනීම්වල නවතම ගොදුර වී ඇත්තේ සිකුරාදා (13) දිනයේ සිය නිවසේදී අත් අඩංගුවට ගනු ලැබ ඇති රජරට සරසවියේ හේෂාන් හර්ෂණ සිසුවා ය. අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු මේ වනවිට තලංගම පොලිසියේ රඳවා ඇතැයි සිසු ආරංචි මාර්ග පවසයි.

මර්දනයේ තරම

තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා අගෝස්තු 4 දාම ලුහුබැඳීම් ආරම්භ කළ සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් වන්නේ, අමිල සඳරුවන් ( ඒකාබද්ධ ගුරු සේවා සංගමය), උදාර සඳරුවන් (අවිශිබම ක්‍රියාකාරී), චතුර සමරසිංහ (ලංකා වතු සේවා සංගමය), රවින්ද්‍ර මුදලිගේ, ධම්මික මුණසිංහ (ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු), ඉන්දික විදානපතිරණ සහ සුජිත් කුරුවිට යන අයයි.


එයින් දෙදිනකට පසුව, එනම් 6 වැනිදා තලංගම පොලිසිය නැවතත් සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින් රැසක් අත්අඩංගුවට ගැනීම ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කොට තිබුණි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වාර්තාවට අනුව, පොලීසිය විසින් එවර අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කොට තිබුණු ක්‍රියාකාරින් වන්නේ වසන්ත මුදලිගේ, ධනුෂ්ක ( ලංකා බැංකු සේවක සංගමය ) , ගල්වැව සිරිධම්ම හිමි ( අ.වි. ශි බ. මණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු) , ටැම්පිටියේ සුගතානන්ද හිමි (ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය) , තැන්නේ ඥාණානන්ද හිමි ( ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය) , අමිල සන්දීප සහ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ( විවෘත විශ්ව විද්‍යාලය) යන අයයි.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව පසුගිය තුන් වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පැවති සිසු විරෝධතාවයෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම් සහ ලුහුබැඳීම් ආරම්භ වූ අතර, උද්ඝෝෂණය අවසන්ව පැය කිහිපයක් ගෙවී යාමටත් මත්තෙන් පොලීසිය සහ සිවිල් කණඩායම් විසින් ශිෂ්‍ය ක්‍රියාකාරින් සොයමින් ඔවුන්ගේ නිවෙස් වෙත යෑමටත්, මහමග රැක සිට පැහැරගෙන යාමටත් පටන් ගැණුනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බග මණ්ඩලය විසින් සකස් කොට ඇති අදාළ වාර්තාවට අනුව ශිෂ්‍ය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩි වශයෙන් කටයුතු කරන්නේ තංලගම, මිරිහාන, පෑලියගොඩ සහ වැලිකඩ යන පොලිස්ථානයන්වල නිලධාරින් විසිනි. ඒ හැරුණු විට සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පදිංචිව සිටින ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීහුද මේ සඳහා මැදිහත්ව සිටිති.


පොලීසිය ලුහුබඳින අයගේ නම්

පොලීසිය, සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ නිවෙස් සහ සේවා ස්ථාන වෙත ගොස් තිබෙන අයුරු අවිශිබම ඔවුන්ගේ වාර්තාවේ දක්වා තිබෙන්නේ මෙසේය:

1. උදාර සඳරුවන් : පෑලියගොඩ සහ රාජංගණය පොලිස් ස්ථානවල 20 දෙනෙකුගෙන් පමණ යුත් නිලධාරින් කණ්ඩායමක් අගෝස්තු 3, 4, 5 , 6 සහ 8 යන දිනයන්වල දිවා රෑ කිහිපවරක්ම සඳරුවන්ගේ නිවසට ගොස් ඔහුව භාර දෙන්නැයි නිවැසියන්ට තර්ජනය කර තිබේ.

2. අමිල සඳරුවන්: සෙවනගල ඔහු පදිංචි නිවසට අගෝස්තු පස්වැනිදා පළමුවෙන් අට දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් ගොස් ඇති අතර, එයින් හය දෙනකු පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් බවත් අනෙක් දෙදෙනා සෙවනගල පොලීසියේ නිලධාරින් බවත් වාර්තාවේ දැක් වේ.

3. ඉන්දික විදානපතිරණ: ඔහු පදිංචි මොරවක නිවස වෙත පසුගිය 5 වැනිදා ගොස් තිබෙන සිවිල් ඇඳුමින් සැරසුනු පස් දෙනකුගෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඉන්දික ව වහාම පොලිසියට භාර දෙන්නැ යි නිවැසියන්ට තර්ජනය කර තිබේ.

4. ධම්මික මුණසිංහ: අගෝස්තු 4 වන දින සිවිල් ඇඳුමින් සැරසුනු, හඳුනා නොගත් කණ්ඩායමක් මාතර, ගන්දර පිහිටි ධම්මිකගේ නවසට ගොස් ඔහුගේ බිරිඳගෙන් දීර්ඝව ප්‍රශ්න කර නිවස පරීක්ෂා කර ඇත.

5. චතුර සමරසිංහ: සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් කණ්ඩායමක් අගෝස්තු 4 දා කොළඹ පිහිටි වතු සංගම් කාර්යාලයත්, එදිනම ඔහුගේ මිතුරෙකුගේ නිවසටත් යමින් චතුර සමරසිංහ පිළිබඳව සොයා බලා ඇතැයි වාර්තාවේ දැක් වේ. පසුව නැවතත් පොලිස් කණ්ඩායමක් ඔහු සේවය කරන මතුගම ක්ලවුඩ් වතුයායේ කාර්යාලයටත්, එදිනම රාත්‍රි කලවාන නිවසටත් යමින් අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා තිබේ. එයද වෑළකී ගිය තැන පසුදා චතුරගේ ඥාති සහෝදරයෙකුගේ නිවසක් පරික්ෂාවට ලක් කර ඇත්තේ ඔහු එම නිවසේ සැඟව ඇතැයි යන සැකයෙනි.

6. අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පැවති උද්ඝෝෂණයේදි ප්‍රවාහන කටයුතුවල යෙදී ඇති වෑන් රථ රියදුරන් තිදෙනෙකුවද පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අ.වි.වි‍ශි. බල මණ්ඩලය ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර තිබේ. එම රියැදුරන් වන්නේ මැදිරිගිරියේ පදිංචි ජයන්ත උපුල් කුමාර, තිස්සමහාරාමේ රංජිත් අමල් සහ ගම්පල පදිංචි නිලවීර වීරතුංග යන තිදෙනා ය. අගෝස්තු 9 වන දින මහනුවර ප්‍රභාත් ජයසිංහ නැමැති අයෙකුවද අත්අඩංගුවට ගත් බව වාර්තාවේ දැක් වේ.

 


මේ අතර, සිසු-ජන ව්‍යාපාරය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් සෙසු ගුරු සහ වෘත්තීය සමිති මෙන්ම විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙනුත් සහභාගීත්වයෙන් 3 වනදා පැවති උද්ඝෝෂණයට ශබ්ද විකාශන යන්ත්‍ර සැපයු සේවා ආයතන හිමිකරුවද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම නිරන්තරයෙන් උත්සාහ දරා තිබෙන බවද වාර්තා වේ.

පොලීසිය විසින් සිසුන් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ නිවෙස් වෙත වැඩි වශයෙන් ගොස් තිබෙන්නේ රාත්‍රි කාලයේදී ය. එසේම නිල ඇඳුම් රහිතව ගිය අවස්ථාවන් ද බහුලව වාර්තා වී තිබේ.

අධිකරණයේ සහාය

ජේඩීඑස් වෙත ලැබී තිබෙන තොරතුරුවලට අනුව සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින් අත්අඩංගුට ගැනීමට මේ තාත් පොලිසියට නොහැකි වී තිබෙන තත්ත්වයක් තුළ, පොලීසිය පසුගිය දිනෙක අධිකරණය හමුවට වැඩිදුර (B) වාර්තාවක් මගින් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයන් 13 දෙනෙකුගේ නාම ලේඛනයක් ඉදිරිපත් කොට තිබේ. ඒ, අධිකරණයේ නියෝග මත එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පහසු වන බැවිනි.

මේ අතර පසුගිය 3 වන දා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සිසු ජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලී පෙරේරා සහ චමීර කොස්වත්ත යන දෙදෙනාව එළැඹෙන 17 වැනි දා දක්වා රීමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැ යි කඩුවෙල වැඩ බැලු මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණේ ඇප ලබා දීමට තමන්ට බලයක් නැතැයි පවසමිනි.

කෙසේ නමුත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ පොලීසිය විසින් සිසු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරින්ව ඉලක්ක කරමින් මේ සිදු කරන දඩයම සහ මර්දනය වහාම නතර නොකරන්නේ නම් තමන් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ය.

ජාතික සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින්ද, ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුද්ගලයන්ගෙන්ද ශ්‍රී ලංකා ආණ්ඩුවේ මර්දනකාරි ක්‍රියා පිළිවෙතට එරෙහි වන ලෙස සිසුහු ඉල්ලා සිටිති.☐

© JDS