වසංගතයට මුවා වී මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පිලිස්සීම ගැන විරෝධය ඇවිලේ

කිත්සිරි විජේසිංහ විසිනි


කො

රෝනා වෛරස් ආසාදිතයන් බව පවසමින් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ඥාතීන්ට භාර නොදි අවමන් සහගත ලෙස බලහත්කාරයෙන් පුලුස්සා දැමීම පිළිබඳව දෙස්, විදෙස් විරෝධය උත්සන්න වෙමින් තිබේ.

විවිධ රෝගාබාධ හේතුවෙන් මරණයට පත්වු ළදරු සහ වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු පසුගිය දින කිහිපයේදී රජය විසින් බලහත්කාරය පා පුලුස්සා දැමීමේ ජාත්‍යන්තර සෞඛ්‍ය සම්මතයන්ට පටහැනි සදාචාර විරෝධී ක්‍රියාවක් වශයෙන් බොහෝ පාර්ශවයන්ගේ හෙළා දැකීමට ලක්විය.

දින 20 බිළිඳා

නිවුමෝනියා ආසාදනයෙන් මියගිය කොළඹ - තොටළඟ ප්‍රදේශයේ දින 20 ක බිළිඳකුගේ සිරුර අවසන් වතාවට දැක බලා ගන්නට හෝ ඉඩ නොදෙමින් රෝහල් සහ සෞඛ්‍ය බලධාරීන් විසින් දෙමාපියන් සහ පවුලේ ඥාතීන්ගේ බලවත් විරෝධතාව මධ්‍යයේ බොරැල්ල සුසාන භූමියේ ආදාහනාගරයේ ලා පුලුස්සා දැමීම මුස්ලිම් ප්‍රජාව අතර නොසන්සුන්තාව උග්‍ර කිරීමට මග පාදා තිබේ.

දරුවා දවා හළු කළ බොරැල්ල කනත්තේ ගේට්ටුවේ සහ වැටෙහි සුදු සළු ගැටගැසීමෙන් ඇරැඹුණු අහිංසාවාදී විරෝධයක් මේ වන විට වීදි පුරා පැතිර යමින් පවතී. ඉරිදා සවස වනවිට විශාල පිරිසක් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටි අතර එදින රාත්‍රියේ ආරක්ෂක බලධාරීන් විසින් එකී සුදු රෙදි සියල්ල ගළවා ඉවත් කර දැමීමට කටයුතු කර තිබේ.


"එම ස්ථානයට පැමිණෙන අයගෙන් හමුදාව සහ බුද්ධි අංශ ප්‍රශ්න කරන බවටත්, ඔවුන්ගේ ඡායාරූප ගන්නා බවටත් අපට දැනගන්නට තිබේ" යැයි එක් ක්‍රියාකාරිනියක් ට්විටර් සමාජ ජාලය ඔස්සේ ප්‍රකාශ කර තිබුණි.

මේ අතර, මුස්ලිම් ජනයාගේ කැමැත්ත නොතකා මළවුන් ආදාහනය කිරීමේ රජයේ පිළිවෙතට විරෝධය පළකරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණු විරෝධතාවකට සිංහල, දෙමළ හා කතෝලික පිරිස්ද එක්ව සිටිනු දැකගත හැකි විය.

දෙමාපියන් දරුවාගේ දේහය භාරගැනීමට නොපැමිණි නිසා බිළිඳා ආදාහනය කළ බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ බලධාරීන් විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය ද බොහෝදෙනාගේ අප්‍රසාදය හා කෝපයට තුඩු දී තිබේ.

''අපි ඉස්පිරිතාලේ දොස්තර මහත්වරුන්ගෙන් වැඳලා ඉල්ලුවා දරුවා ආදාහනය කරන්නේ නැතුව අපිට භාර දෙන්න කියලා. ඒගොල්ලෝ ඒ ගැන කිසිම තැකීමක් කෙරුවේ නෑ. දිගටම කිවුවේ දරුවට කෝවිඩ් ඒ හින්දා මිනිය භාර දෙන්න බෑ, ආදාහනය කරනවා කියලයි,'' මියගිය දරුවාගේ බාප්පා කෙනෙකු වන මොහොමඩ් රිෆ්ඛාන් ජේඩීඑස් වෙත කියා සිටියේය.

පසුගිය 7 වැනි දා රාත්‍රියේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදීම රෝහලේ වෛද්‍යවරුන් විසින් බිළිඳා කෝවිඩ් ආසාදිතයකු ලෙස හඳුන්වා තිබේ. එම අවස්ථාවේම දෙමාපියන්ගේ ද PCR පරීක්ෂණ පවත්වා ඇති රෝහල් බලධාරින් පසුව පවසා ඇත්තේ ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවකි. නමුත් බිළිඳාගේ PCR පරික්ෂණයක් පැවැත්වීම සඳහා ඔහු රෝහලේ තබා දෙමාපියන්ට පිටව යන්නැ යි වෛද්‍යවරුන් කී බවද මොහොමඩ් රිෆ්ඛාන් පැවසීය.

''පහුවදා දවල් මම කතා කරලා අහපුවාම මට කිවුවා ටෙස්ට් එකේ රිසාල්ට් එක ආවේ නෑ කියලා. එදාම හවස 5 ට විතර මම ආයෙත් කෝල් කරලා විස්තර ඇහුවා. එතකොට තමයි මට කිවුවේ සවස 4 ට නැති වුණා කියලා.''

පසුදා, එනම් 9 දා ළමා රෝහලෙන් ලැබෙන දුරකතන ඇමතුමකට අනුව රෝහලට යන ඔවුන්ට රෝහල් බලධාරින් විසින් දැනුම් දී තිබෙන්නේ බිළිඳාට කෝවිඩ් ආසාදනය වී ඇති බැවින් සිරුර පුලුස්සා දැමීමට යන බවකි.

''අපිට කඩදාසි වගයක් දීලා ඒකට අත්සන් කරන්න කියපුවාම, දරුවා දෙනවා නම් අත්සන් කරන්නම් කියලා මම කිවුවා. පස්සේ අපිට පණිවිඩයක් ලැබුණා දරුවාව ඉස්පිරිතාලේ පිටුපස දොරකින් කනත්තට අරන් යන බව. මම වාහනයක් අරන් පස්සෙන් ගියා. කනත්තට ගිහිල්ලත් අපි අඬලා ඉල්ලුවේ දරුවාව පුච්චන්න එපා, අපිට දෙන්න කියලයි. ඒත් අපේ ඇස් ඉස්සරහම දරුවව උදුනට දැම්මා,'' යි මොහොමඩ් රිෆ්ඛාන් මහත් සංවේගයෙන් පැවසීය.

මේ අතර, ඉරිදා (13) රාත්‍රියේ රිෆ්කාන් ඇමතූ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුගෙන් ලබාගත් සාම්පල අනුව ඔහුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති හෙයින් නිරෝධායනයට යාමට සූදානම්ව පැමිණෙන ලෙස ය. මේ වනාහී, තම ඥාති දරුවාට සිදු වූ අයුක්තිය පිළිබඳ මාධ්‍ය හමුවේ අඛණ්ඩව හඬ නැගූ පවුලේ එකම සාමාජිකයා වූ ඔහු නිහඬ කිරීමට ගත් උත්සාහයක් ද යන්න ගැන මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක් වූ ඇතැමෙක් සැක පළ කර තිබේ.

"බිළිඳාට කෝවිඩ් නෑ‍‍" රෝහල් අධ්‍යක්ෂ

බිළිඳාගේ මරණය සම්බන්ධයෙන් දෙසැම්බර් 9 බදාදා දිනයේම ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව, ''ලේ විෂ වීම, බහුවිදි ඉන්ද්‍රියන් අක්‍රිය වීම සහ කෝවිඩ් නියුමෝනියාව හේතුවෙන් දින 20 ක් වයසැති බිඳිදෙකු මියගොස් ඇතැයි'' සඳහන් කරනු ලැබුණි. ඒ රෝහල් සහ සෞඛ්‍ය බලධාරින් විසින් බලහත්කාරය පෙන්වා බිළිඳා පුලුස්සා දැමීමට ගත් පියවර යුක්ති සහගත වන අයුරිනි. නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක, වෛද්‍ය ජී විජේසූරිය මාධ්‍ය හමුවේ පැවසුවේ දරුවා මියගියේ වසංගතයෙන් නොවන බව ය.  

''මෙම රෝගියා මියගියේ කොරෝනා රෝගය වැළදීමම නිසාම නෙමෙයි කියන කාරණය තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද, සියලුම වාර්තාවලින් සනාථ වෙලා තියෙනවා මේ දරුවාට දරුණු ගණයේ නියුමෝනියා තත්ත්වයක් ඇතිවෙලා තියෙන බව,' ඔහු කීය.

දරුවාගේ සිරුරු බාර ගන්නට කිසිවකුත් ඉදිරිපත් නොවුණු බැවින් සිරුරු ආදාහනය කළ බවද රෝහල් අධ්‍යක්ෂවරයා මෙහිදී පවසා තිබුණි.

නමුත් බොරැල්ල සුසාන භූමියේදි දරුවාගේ ඥාතීන් හා සෞඛ්‍ය බලධාරින් අතර ඇතිවන සාකච්ඡාවේ රූගත කරන ලද මාධ්‍ය දර්ශනර්තා දෙස බැලීමේදී එය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බැව් පෙනී යයි. දරුවාගේ ඥාතීන් දිගින්, දිගටම පවසන්නේ තමන් දරුවාගේ සිරුරු අවසන් කටයුතු සඳහා ඉල්ලා සිටියද රෝහල් බලධාරීන් එය ප්‍රතික්‍ෂේප කරමින් පුලුස්සා දැමීමට රැගෙන ගිය බව ය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ බලධාරීන් විසින්, මරදාන ප්‍රදේශයේ ෂායික් මරික්කාර් මොහොමඩ් ෆාරුක් නැමැති 78 වියැති හදවත් රෝගියෙකු මිය යෑමෙන් පසුව ද පුලුස්සා දමා ඇත්තේ ඥාතීන් වෙත කිසිදු දැනුම් දීමක් නොකර ය.

මොහොමඩ් ෆාරුක්ගේ දියණිය වන මොහොමඩ් ෆාතිමා රම්සියා ජේඩීඑස් හා කියා සිටියේ කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග ඒකකයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගන්නා තැනැත්තකු වන තම පියා පසුගිය 3 දා නිවසේදි මිය යෑමෙන් පසුව පවුලේ සාමාජිකයන් විසින් මළ සිරුර රෝහල වෙත රැගෙන ගොස් භාරදුන් බව ය. එහිදි රෝහල් බලධාරින් ෆාරුක් කෝවිඩ් ආසාදිතයෙක් යැයි පවසා තිබේ.

''තාත්තා පහුගිය මාස කිහිපයේම ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ නතර වෙලාම බෙහෙත් ගත්තා. අගෝස්තුවල සතියක් ඉස්පිරිතාලේ හිටියා. පහුගිය 3 වෙනිදා උදේ පපුවේ අමාරුව ඇති වුණාම මම දිව යට තියන පෙත්ත දුන්නා. ටික වෙලාවකින් තාත්තා නැති වුණා. පස්සේ අපි මරදාන MOH, ධම්මික කියන අයට දැනුම් දුන්නා. ඒ වුණාට එයා ආවේ නෑ. පසුව අපිම සිරුර ඉස්පිරිතාලෙට අරන් ගියා. බලපු ගමන් කිවුවා කෝවිඩ් කියලා. කිසිම පරීක්ෂා කිරීමක් කෙරුවේ නෑ. අපිට මිනිය තියලා ගෙදර යන්න කිවුවා. පපුවේ අමාරුව ඇරුනාම උණ, කැස්ස වගේ දෙයක්වත් තාත්තට තිබුණේ නෑ. තාත්තගේ මිනිය ගන්න අපි කීප සැරයක් ඉස්පිරිතාලෙට ගියාට කවුරුත් අපිට උත්තර දුන්නේ නෑෙ. අන්තිමට දැනගත්තා ගිය 10 වෙනිදා තාත්තාව පුච්චලා දාලා තියෙන බව. ඒක දැන ගත්තෙත් සිරුරු ගන්න පුලුවන්ද කියලා අහන්න කීප වතාවක් කෝල් කළාට පස්සේ,'' යි ෆාතිමා රම්සියා හඬමින් කීවාය.

“මුස්ලිම් අය පුච්චන්න”

ඇය පවසන්නේ සිය පියා තමන්ට නොදන්වා ආදාහනය කරනු ලැබුවේ ඇයි දැයි විමසූ කල රෝහල් බලධාරීන්ගේ පිළිතුර වී ඇත්තේ “කාගෙන්වත් අහන්න අපිට උවමනාවක් නෑ” යන්නයි.

රෝහල් බලධාරීන් පවසන පරිදි ඒ සා බලයක් ඔවුන්ට ලැබී ඇත්තේ ජනාධිපතිවරයාගෙනි.

''මම දිගින් දිගටම ඇහුවා ඇයි අපිට කියන්නේ නැතුව මිනිය පිච්චුවේ, අනෙක මගේ තාත්තට කෝවිඩ් හැදිලා තිබුණේ නැහැනේ කියලා. අඩුම තරමින් මිනිය රෝහලට අරන් ආවාමවත් පරීක්ෂණයක් කෙරුවේ නෑ නේද කියලා මම ඇහුවා. ඒහෙම අහපුවාම ඒ අය මට කිවුවා 'අපිට කාගෙන්වත් අහන්න වැඩක් නෑ, මුස්ලිම් අය මැරුණාම පුච්චන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙනවා, උසාවිය කියලා තියෙනවා, අපි මොකටද වෙන කාගෙන්වත් අහන්නේ' කියලා.''

කෝවිඩ් ආසාදිතයෙක් හෝ නොවුණු සිය පියාගේ අවසන් කටයුතු කිරීමට තමන්ට භාර නොදී පුලුස්සා දැමීම ගැන පරීක්ෂණයක් පවත්වන්නැ යි ඉල්ලමින් ෆාතීමා රම්සියා විසින් ජාතික මානව හිමිකම් කොමිසමට ලිපියක් භාරදී තිබුණි. ඒම ලිපියේම පිටපතක් ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ අධ්‍යක්ෂකවරයා වෙත ලබා දීමට යෑමේදි ''මේකට අතදාන්න මට බෑ, වෙන්න වෙන්න ඕන දේ වෙලා ඉවරයි,'' යනුවෙන් පවසමින් ලිපිය භාර ගැනීම පවා ප්‍රතික්ෂෙප කළ බව ඇය කියා සිටියාය.

මාධ්‍ය මෙහෙයුම් සහ ආචාර ධර්ම කෙලෙසීම

රෝහල් සහ සෞඛ්‍ය බලධාරින් විසින් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් පුලුස්සා දැමීම සිදුකරනු ලබන අවස්ථාවන්වලදි, ඥාතීන් විසින් කලහකාරීව සහ සෞඛ්‍ය සේවකයන්ට හිරිහැරවන අයුරින් හැසිරෙන බව කියා පෑමේ අරමුණින් කැමරා කණ්ඩායම් රැගෙන එන ආකාරයක් ද දක්නට ලැබෙන අතර, විකාශනය කෙරෙන දර්ශනවලින් පෙනී යන්නේ පුලුස්සා දමන පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන්ට කියන්නට ඇති දෙයකට අවස්ථාවක් ලබා නොදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් කතා කිරීමට ඉඩ සලසා දෙන බව ය.

මොහොමඩ් රිෆ්ඛාන්ට ඒ සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කණස්සල්ලකි.

''දරුවාගේ සිරුරු කනත්තට අරන් යන කොටම මාධ්‍යවලින් එතන්ට ඇවිත් හිටියා. මීඩියා කියලා නිකන් කොලේක ලියලා වෑන්වල ගහගෙන හිටිය අයත් එතන හිටියා. අපි දැකපු විදිහට නම් ඉස්පිරිතාලෙන්ම තමයි ඒ අයට ඒන්න කියලා තියෙන්නේ. මොකද මාධ්‍යවල අයගේ හැසිරිම්වලින්ම අපිට ඒක දැනුනා'', ඔහු කීය.

මුස්ලිම් සිරුරු පුළුස්සා දැමීම සුළු ජාතීන්ට එරෙහි රාජ්‍යයේ ක්‍රෝධය පල කිරීමක්දැයි ප්‍රශ්න කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සති අන්තයේ පැවති විරෝධතාවයේදී ජනමාධ්‍යයේ හැසිරීමද දැඩි විවේචනයට ලක්ව තිබුණි.


“මුස්ලිම් සුළුතරයේ හැඟීම අවුස්සන ජාතිවාදී මාධ්‍යවේදීන්ගේ හැසිරීම මුළු මහත් ශ්‍රී ලාංකිකයන් ප්‍රතික්ෂේප නොකරන්නේ ඇයි?” යනුවෙන් නීතිවේදිනී සරීනා අබ්දුල් අසීස් එහිදී ප්‍රශ්න කළාය.

මේ අතර මියගිය බිළිඳා ෂයික්, ජීවත්ව සිටියදි ගන්නා ලද ඡායාරූපයක්, සිරුර පුලුස්සා දැමීමෙන් පසුව දේශිය සහ විදේශිය මාධ්‍ය ආයතන ගණනාවක් විසින් බිළිඳාගේ පවුගේ ඥාතීන්ගේ අවසරයකින් හෝ විමසීමකින් තොරව පළකිරීම ගැනද ඔවුහු මහත් සේ කම්පාවට පත්ව සිටිති.

බිළිඳාගේ මුත්තණුවන් විමසා සිටියේ ''මේක මාධ්‍යයට නිවුස් එකක් වෙන්න ඇති. ඒක දකින එක අපිට දුකක්. මම දරුවගේ සීයා. මට එහෙම දුකක් දැනෙනවා නම් දරුවගේ අම්මටයි, තාත්තටයි කොයිතරම් දුකක් දැනෙනවා ඇද්ද?''

බිළිඳා උපන් පසුව ඔහු බැලීමට නිවසට පැමිණිමට නොහැකි වුණු ඥාතීන් අතරේ දුරකතනය ඔස්සේ හුවමාරු කරගත් ඡායාරූපයක් මාධ්‍ය වෙත ලැබෙන්නට ඇතැයි ඔහු සැක පල කරයි.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 12 දින සියලු විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඔක්තෝබර් 13 දින ජනමාධ්‍ය අමාත්‍යාශයේ ලේකම් ජගත් පී.විජේවීරගේ අත්සනින් යුතුව “කෝවිඩ් 19 පිළිබද ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍ය ආචාරධර්මවලට අනුගතවීම සහ වගකීම් සහගත මාධ්‍ය භාවිතය” මැයෙන් එම ආයතන ප්‍රධානින්ට ලිපියක් යොමු කරමින් ප්‍රධාන උපදෙස් 10ක් ලබා දී තිබුනි.

එහිදී අවධාරණය කර තිබු එක් කරුණක් වන්නේ "මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කොට භාවිතය යෝග්‍ය වේ. තවද, කොවිඩ් 19 ආසාදිත රෝගියකු මිය ගිය අවස්ථාවේදී විශේෂයෙන්ම ආදාහනය සිදු කරන දර්ශන පෙන්වීමේදී අදාළ දේහය ආදාහනයට රැගෙන යන අයුරු පෙන්වීම මගින් සහ ආදාහනය කිරීමට සුදානම් වන අවස්ථාවේදී එම මෘත ශරීරය බහාලු පෙට්ටිය ආදාහනාගාරයට ඇතුල් කර යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ පිරිස් ඇද සිටි ආරක්ෂිත කබා සහ අත්වැසුම් ආදිය ඉවත් කර ඒ තුළට දමන දර්ශන මගින් මිය ගිය පුද්ගලයාට යම් අගෞරවයක් සිදුවන බැවින් එම තත්ත්වය මග හරවා ගැනීම සදහා අත්‍යවශ්‍ය නම් දේහය සුසාන භුමිය වෙතට රැගෙන එන දර්ශන පමණක් විකාශය කරන" ලෙස ය.☐

© JDS