'වඳ සැත්කම්' චෝදනාකරුවන්ට එරෙහිව උසාවියට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

කිත්සිරි විජේසිංහ විසිනි


සිංහල කාන්තාවන් හාරදාහක් වඳ කිරීමේ චෝදනා නගා අත්අඩංගුවට ගෙන, රැඳවුම් නියෝග මත රහස් පොලිසියේ රඳවාගැනීමෙන්, ආරක්ෂක ලේකම්, වැඩබලන පොලිස්පති සහ නීතිපති ඇතුළු පොලිස් ප්‍රධානීන් කිහිපදෙනකු සිය මූලික අයිතිවාසිකම් කඩකළ බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙක් වු සෙයිගු ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි විසින් රටේ ඉහලම අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝග පරිදි, කුරුණෑගල මුලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති විසින් වෛද්‍ය මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි 25 වැනිදා ය. ඒ, කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කිරීම සහ අයථා ලෙස මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය.

මුලින්ම 'දිවයින' පුවත්පත විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද එම චෝදනා විශ්වාස කොට වෛද්‍යවරයා අත් අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා පොලිස් පරීක්ෂක පුෂ්පලාල්ට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ද වග උත්තරකරුවකු ලෙස නම් කර ඇත.

වෛද්‍යවරයාට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට හෝ නඩු පැවරීමට හෝ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු මීට ඉහතදී ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

වෛද්‍ය සාෆි අත් අඩංගුවට ගනු ලැබුවේ පදනම් විරහිත, අභූත චෝදනා මත බව තහවුරු කිරීම සඳහා ඔහුගේ සේවය ලද මව්වරුන් මෙන්ම, ඔහු සමග කුරුණැගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය විශේෂඥයන් ගණනාවක්ම ලබාදුන් ලිඛිත සාක්ෂි ද සිරගත කොට සිටින දොස්තර සාෆි වෙනුවෙන් ගොනු කළ පෙත්සමට ඇතුළත් කොට තිබේ. අදාළ පෙත්සමේ ගොනු කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුෂ්ඩි හබීබ් ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් විසිනි.

වෛද්‍ය සාෆි සමඟ කුරුණෑගල රෝහලේ සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පිරිසකට අමතරව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේදි වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ හිටපු සභාපති හා කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේදි අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය හේමන්ත සේනානායක ද ලිඛිතව කරුණු දක්වා ඇති පිරිස අතර ඉන්නා බව නීතීඥ රුෂ්ඩි හබීබ් සමග වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයේ සාමාජිකයකු ජේඩීඑස් හා ප්‍රකාශ කර සිටියේය.

කඩකළ හිමිකම්

ජනමාධ්‍ය සහ ඇතැම් පුද්ගලයන් විසින් එල්ල කරන ලද චෝදනා විශ්වාස කොට පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගත් බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12:1 වගන්තියෙන් සහතික කොට ඇති නීතිය පසිඳ ලීමේදි සහ ක්‍රියාත්මක කිරීමේදී, නීතියේ රැකවරණය සර්ව සාධාරණව ලැබීමේ අයිතිය තමන්ට අහිමිකර ඇති බවත් වෛද්‍ය මොහොමඩ් සාෆි සිය පෙත්සමින් කියා සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ 12:2, 13:1 සහ 13:2 වගන්තිවලින් කියැවෙන ‘කිසිම පුරවැසියකු වර්ගය, ආගම සහ භාෂාව මෙන්ම කුලය හෝ ස්ත්‍රි පුරුෂ භාවය මත වෙනස් කිරීමකට ලක් නොකළ යුතුය’ යන නියමය ද, ‘නීතියෙන් නියම කර ඇති කාර්ය පටිපාටියෙන් බැහැරව කිසිම පුද්ගලයෙක් සිරභාරයට නොගත යුතුය’ යන නියමය ද, ‘අත්අඩංගුවට ගැනීමෙන් පසුව විනිශ්චකාරවරයෙක් ඉදිරියට පමුණුවා කටයුතු කරනු මිස අත්තනෝමතිකව රඳවා තබා නොගත යුතු ය’ යන නියමයද උල්ලංඝණය කරමින් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් රඳවා තබා ගෙන සිටින බව වෛද්‍ය සාෆි පවසා සිටියි.

එම පරිච්ඡේදයේම 14:1- () වගන්තියේ දැක්වෙන ආකාරයට නීත්‍යානුකූල වෘත්තියක නියැලීමට තමන්ට ඇති අයිතියද, තමන්ව අත්අඩංගුවට ගැනීම මගින් අහිමිකර ඇති බව වෛද්‍ය සාෆි ශ්‍රේෂඨාධිකරණය හමුවේ ගොනු කොට තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් කොට තිබේ.

පොලිසියේ නීතිය

පැමිණිලි ලැබීමෙන් පසු සැකකරුවකු අත් අඩංගුවට ගැනීම වෙනුවට දොස්තර සාෆි හදිසි නීති රෙගුලාසි යටතේ රඳවා තබාගෙන පැමිණිලි සොයා යාම ද පෙත්සමින් අභියෝගයට ලක් කර තිබේ.

පෙත්සම ගොනු කළ නීතිඥ මඩුල්ලට අයත් නම සඳහන් කිරීමෙන් වැළකී සිටි නීතිඥවරයා ජේඩීඑස් හා කියා සිටියේ, වෛද්‍ය සාෆි පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුට එරෙහිව පැමිණලි ඉදිරිපත් කරන්නැයි පොලිස් ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම ඉල්ලා සිටීම ද සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වන බව ය.

"මේ පෙත්සමේ අපි ඒ ගැනත් අවධානයක් යොමු කරලා තියනවා. කෙනෙක්ව අත් අඩංගුවට අරන් කොහොමද කියන්නේ එම පුද්ගලයාට විරුද්ධව පැමිණලි තියනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඒක නීති විරෝධී දෙයක්. සෑම පුද්ගලයෙක්ම අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වෙනකම් නිර්දෝෂී කෙනෙක් කියලයි පිළිගන්නේ. ඒක නීතියේ මූලික සිද්ධාන්තයක්. නමුත් මෙතනදි ඒක බිඳ දමලා තියෙනවා. ප්‍රධාන වගන්තියක් හැටියට නොවුණත් අපි ඒ කරුණත් පෙත්සමට ඇළත් කොට තිබෙනවා"යි ඔහු වැඩි දුරටත් කීය.

කෙසේ නමුත් ජේඩීඑස් විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් මානව හිමිකම් පිළිබඳ ජේෂ්ඨ නීතිඥවරයෙක්ද කියා සිටියේ අවශ්‍ය නම් මෙම ව්‍යාජ පුවත සමාජගත කළ දිවයින පුවත් පතට සහ එහි මාධ්‍යවේදියාද මෙම පෙත්සමෙහිම වග උත්තරකාර පාර්ශවයක් ලෙස නම් කළ හැකි බවයි.

'දිවයිනටත්' නඩු

"ඇත්තෙන්ම මූලික අයිතිවාසිකම්වල යම් අවස්ථාවක් තියනවා විධායක හෝ පරිපාලනමය නොවුණත් සිවිල් පුද්ගලයනුත් පෙත්සමේ වග උත්තරකරුවන් කරලා නම් කරන්න. එහෙම නඩු තීන්දු කිහිපයක්ම තියනවා. ඒ කියන්නේ වෛද්‍ය සාෆිව පොලිසිය අත් අඩංගුවට ගන්නේ නිශ්චිත පැමිණිල්ලක් මත නෙමෙයි, මාධ්‍ය මගින් පළ කරපු පුවතක් පදනම් කරගෙනයි. මේ පෙත්සමට පදනම වැටෙන්නේ ඒ පුවත නිසා කරන නීති විරෝධි අත්අඩංගුවට ගැනීමක්. හරියට බලනවානම් ඒ පත්තරේ පොලිසිය පොළඹවලා තියනවා වෛද්‍ය සාෆිව අත්අඩංගුවට ගන්න. යම් පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් කඩ කරන්න, ඒ සඳහා උසිගැන්වීමක් කරන්න ඔවුන් කටයුතු කරලා තියනවා. ඒ අනුව පැහැදිලි චෝදනා ගොනු කරන්න පුලුවන් ඒ මාධ්‍ය ආයතනය සහ මාධ්‍යවේදීන්ට එරෙහිව"යැයි ඔහු ප්‍රකාශ කළේය.

වෛද්‍ය දොස්තර සාෆි ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි මේ මස 27 දා අධිකරණය හමුවට පැමිණවීමට නියමිත ය.☐

© JDS