මන්නාරම සමූහ මිනීවළ: අස්ථි කොටස්වල 'අසාමාන්‍ය, තියුණු කැපුම් සලකුණු'

කිත්සිරි විජේසිංහ විසිනි


න්නාරම ප්‍රදේශයෙන් සොයාගන්නා ලද සමුහ මිනීවළෙහි කැණීම්වලින්  ගොඩ ගැනුණු මිනිස් ඇට කැබලිති  සැලකිය යුතු ප්‍රමාණයක "අසාමාන්‍ය,තියුණු කැපුම් සලකුණු" දක්නට ලැබෙන බව කැණීම් කටයුතුවල නිරත විශේෂඥයෝ පෙන්වා දෙති.

සමූහ මිනීවළ හා සම්බන්ධ වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ මෙහෙයවන කැළණීය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පුරා විද්‍යා පශ්චාත් අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රකාශ කරන්නේ පූර්ණ අස්ථි පද්ධතියකට අයත් වන බවට මේ තාක් හඳුනා ගෙන නොමැති, එහෙත්  වළ ආශ්‍රිතව ඉතා විශාල වශයෙන් විසිරි තිබෙන ඇට කැබලිවලින් සියයට හැටකට වඩා වැඩි ප්‍රමාණයක මෙවැනි අසාමාන්‍ය තියුණු කැපුම් සලකුණු දක්නට ලැබෙන බව ය.

"ඇට සැකිල්ලකට සම්බන්ධ කරන්න අපහසු විසිරුණු ඇට කැබලි ඉතා විශාල ප්‍රමාණයක් මේ වළ ඇතුළේ තියනවා. ඒවායෙන් සියයට හැටකට වඩා ප්‍රමාණයක මේ ආකාරයේ සලකුණු හඳුනාගන්න පුලුවන්. මේ කැපුම් සලකුණු තියුණු ඒවා", යි හේ ජේඩීඑස් හා ප්‍රකාශ කළේය.

මරණයට ‍පෙර තුවාල

මහාචාර්ය සෝමදේව සඳහන් කරන්නේ එසේ තියුණු කැපුම් සලකුණු සහිත අැට කැබලි නිරීක්ෂණය කිරීමේදි ඒවා මරණයට පෙර ඇති වු තුවාල බවට විශ්වාස කළ හැකි බව ය.

වීඩියෝ දසුන් මෙතැනින්

"මේ ඇට කැබලිවල කැපුම් තුවාල වර්ග දෙකක් තියනවා. එකක් තමයි තියුණු කැපුම් තුවාල විදියට හඳුනාගත හැකි මුවහත් කැපුම් සලකුණු. අනෙක තමයි මරණයට පෙර සිදුව ඇති බවට නිගමනය කළ හැකි කැපුම් සලකුණු. නමුත් මේ ගැන නිශ්චිතවම කියන්න පුලුවන් වෙන්නේ අදාළ පරීක්ෂණ භාර අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට විතරයි".

කෙසේ නමුත් දින 42ක් පුරා සිදුකළ කැණීම් කටයුතුවලින් පසුව අවම වශයෙන් ඇට කැබලි 190 - 200 අතර සංඛ්‍යාවක් සමග සම්පූර්ණ ඇට සැකිලි 58ක් හඳුනා ගෙන ඇති බව මහාචාර්යවරයා ජේඩීඑස් හා ප්‍රකාශ කළේය. ඒ අතර අවම වශයෙන්, වයස අවුරුදු 12 ට අඩු දරුවන් පස් දෙනෙකුට පමණ අයිති අස්ථි කොටස් තිබෙන බව ද ඔහු අනාවරණය කර සිටියේය.

පසුගිය මැයි මාසයේ 16 වැනිදා මන්නාරම සමුපකාර තොග වෙළෙඳ සංස්ථා භූමියේ (සතොස) ඉදි කිරිමක් සඳහා කරන ලද කැණීමකදි පිටතට රැගෙන ගිය පස්වල තිබි මුල්වරට මිනිස් ඇට කැබලිති කිහිපයක් සොයා ගනු ලැබු අතර පසුව මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ ප්‍රමුඛ පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කණ්ඩායමක මුලිකත්වයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කෙරුණි.☐

© JDS