නාගර්කෝවිල් විදුහලට බෝම්බ හෙළීමේ විසි දෙවැනි වසර සැමරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් යාපනයේ නාගර්කෝවිල් රජයේ විදුහලට බෝම්බ හෙළීමෙන් විසි දෙවරසක් සම්පූර්ණ වීම සිහිපත් කිරීම සඳහා සංවිධානය කළ සමරු උත්සවයක් සිකුරාදා (22) එම පාසැල් පරිශ්‍රයේදී පැවැත්විණ.

නාගර්කෝවිල් විදුහලේ ආචාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාසැල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සමරු උත්සවය සඳහා මියගිය සිසු සිසුවියන්ගේ මව්පියන් හා ඥාතීන් ද සහභාගී වූ අතර මරණයට පත්වූ දරු - දැරියන්ගේ සේයා රූ ඉදිරිපිට පුෂ්පෝපහාර දක්වා රැස්ව සිටියවුන් විසින් වින්දිතයන් සිහිපත් කරන ලදී.

ප්‍රහාරයට ගොදුරුව මියගිය පාසැල් දරුවන් දෙදෙනෙක්


1995 සැප්තැම්බර් 22 වැනිදා යාපනයේ නාගර්කෝවිල් විදුහලට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුකාරා ප්‍රහාරක යානා විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් පාසැල් සිසු-සිසුවියන් 26 දෙනෙක් ඇතුළු 41 දෙනෙක් විදුහල් පරිශ්‍රය තුළ සහ ප්‍රත්‍යන්ත මාර්ගයේදී  මරණයට පත් වූහ. මරණ සංඛ්‍යාව 71 දක්වා පසුව ඉහළ නැගි බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා විසින් අනාවරණය කරන ලදී.

සිකුරාදා පැවැති සමරු රැස්වීම අවසානයේ අවවරප්‍රසාදලාභී පාසැල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදු කෙරිණ.

දිවා විවේකයේ ගුවන් ප්‍රහාර

නාගර්කෝවිල් විදුහලට රජයේ ගුවන් හමුදාව විසින් බෝම්බ හෙළන ලද්දේ එවකට බලයේ සිටි පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව විසින් 1995 සැප්තැම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පනවන ලද ප්‍රවෘත්ති වාරණයෙන් පැය කිහිපයක් ඇතුළතදී ය. ප්‍රහාරය එල්ල වන විට පාසැලේ දිවා විවේක කාලය පැවැත්වෙමින් තිබූ අතර ප්‍රාථමික පංති නිමා වූ සිසු සිසුවියන්ගෙන් ද පාසැලට යාබද මාර්ගය තදබදව පැවතුණි. සැප්තැම්බර් 24 වැනිදා පළ වූ ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවක් මගින් කියා සිටියේ 200 දෙනෙකුට ආසන්න පාසැල් දරුවන් පිරිසක් ප්‍රහාරයෙන් තුවාල ලද බව ය.

මියගිය දරුවාට පුෂ්පෝපහාර දක්වන මවක් - නාගර්කෝවිල්, 2017 සැප්තැම්බර් 22


1995 සැප්තැම්බර් 22 හා 23 යන දිනවල තුවාල ලබා රෝහල්ගත කළ සිවිල් වැසියන් 117 දෙනෙකුගෙන් අඩකට වැඩි පිරිසක් පසුව මිය ගිය බව සැප්තම්බර් 23 වැනිදා දේශසීමා රහිත වෛද්‍යවරු විසින් නිකුත් කළ වාර්තාවක් මගින් හෙළිකර තිබිණ.

යුනෙස්කෝ නිවේදනයක්

'සුදු පැහැ පාසැල් නිල ඇඳුමින් සැරසුණු 750 දෙනෙක් නොවන්නට සිවිල් වැසියන් ගුවනේ සිට වෙන්කොට හඳුනාගත නොහැකි බව' පිළිගත හැකිව තිබිණැයි බ්‍රිතාන්‍ය සරණාගත කවුන්සිලය 1995 නොවැම්බර් මාසයේ දී නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී තිබුුණි.

'රටක දේශපාලන තත්ත්වය තුමක් වුවද, අධ්‍යාපන ආයතනයකට පහරදීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව' ප්‍රහාරය හෙළා දකිමින් 1995 ඔක්තෝබර් මුල් සතියේදී නිවේදනයක් නිකුත් කළ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ෆ්‍රෙඩ්රිකෝ මජෝර් ප්‍රකාශ කර සිටියේය.

සමරු රුස්වීමට සහභාගී වූ නාගර්කෝවිල් විදුහලේ සිසු දරුවන් - 2017 සැප්තැම්බර් 22


ප්‍රහාරය වනවිට නාගර්කෝවිල් විදුහලේ ඉගෙනුම ලබමින් සිටි ධර්මලිංගම් උෂාන්ති (13), මර්කන්ඩු නාගලෝගිනී (10), තාමෝදරම් සකුන්තලා (12), ආර්. රෙජීනා (11), ලෝගරාජා තුෂාන්තිනී (14), රවීන්ද්‍රන් අමීර්තා (10), බාලචන්ද්‍රන් රජිතා (10), නවරත්නසාමි උමාදේවී (12), සුන්දරලිංගම් පලනි (15), සුන්දරලිංගම් තර්සිනී (14), කුගසරවනමලෛ තර්සිනී (13), රාජීවන් ගාන්ධි වේනු (11), ක්‍රිස්ණගෝපාල් තවසීලන් (13), රාජරත්නම් කවීතා (10), නාගමුත්තු සෙන්තිවේල් (15), අල්ෆොන්ස් අමලවිජී (14), මහාලිංගම් සන්මුගවඩිවේලන් (16), ආර්. සුමිත්‍රා (10), කේ. මේදිනී (14), නවමනී මිදුරා (14), සෙල්වම් (15), රාගවන් (16), තංගරාසා වසන්තකුමාර් (6), මයිල්වාගනම් ඥාණරදන් (14) හා රන්ජිත්කුමාර් රාජිතා (11) යන සිසු - සිසුවියෝ ජීවිතක්‍ෂයට පත් වූහ. 

ඝාතනය වූ සිසු දරුවන්ගේ මව්පියන් අනුස්මරණ හමුවට එක් වී - නාගර්කෝවිල්, 2017 සැප්තැම්බර් 22


නාගර්කෝවිල් ප්‍රහාරයට දෙමසකට පෙර, 1995 ජූලි මාසයේදී, යාපනයේ නවාලිහී ශාන්ත පීතර දේවස්ථානයට එල්ල කරන ලද එවැනිම ගුවන් ප්‍රහාරයකින්, දෙව්මැදුරේ රැකවරණ ලබා සිටි සිවිල් වැසියන් 125කට වැඩි පිරිසක් දෙනෙක් ඝාතනයට ලක්විය.☐

සේයා රූ: Tamil Guardian අනුග්‍රහයෙනි.

© JDS