රොෂේන් චානක ඝාතනය ගැන කොමිසන් වාර්තාව යට ගසන බවට චෝදනා

ටුනායක නිදහස් වෙළඳ කලාප සේවක උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට  කැරළි මර්දන පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකට ලක් වූ කම්කරු සේවකයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසන් සභා වාර්තාව නව රජය විසින්ද ප්‍රසිද්ධ නොකර යටපත් කිරීමට කටයුතු කරමින් සිටින්නේ යැයි ඔහුගේ මව චෝදනා කරයි.

පසුගිය ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත් වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් රොෂේන් චානක රත්නසේකර මරණයට පත් වූයේ 2011 මැයි මස 30 වැනිදා ය. එම ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒක පුද්ගල ජනාධිපති විමර්ශන කොමිසමක් සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු මහානාම තිලකරත්න පත්කරන ලද්දේ අදාළ ඝාතනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට යැයි පවසමිනි. එම කොමිසම විසින් පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබුවන්, ප්‍රහාරය ඇසින් දුටු පුද්ගලයන් සහ මියගිය රොෂේන් චානකගේ පවුලේ අයද ඇතුළු විවිධ පාර්ශවයන් වෙතින් සාක්ෂි ලබා ගෙන ප්‍රකාශ සටහන් කරගත් අතර, පසුව එම වාර්තාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුණි.

එම කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි තමන් මෙන්ම වෘත්තීය සමිති සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද අවස්ථා කිහිපයකදීම  පැවති රජයෙන් මෙන්ම  නව රජයෙන්ද ලිඛිතව ඉල්ලා සිටිය මුත් ඒ සෑම අවස්ථාවකදීම  ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරින් විවිධ හේතු දක්වමින් එය ප්‍රසිද්ධ කිරිමෙන් වැළකී සිටි බව රොෂේන් ගේ මව වන මේරි ස්වර්ණකාන්ති ජේඩිඑස් හා කියා සිටියාය.

'තොරතුරු පනතින් බෑ'

"රොෂේන්ව මරලා දාලා අවුරුදු හතක් වෙන්න එනවා. ඒ මුළු කාලය පුරාම අපි බලධාරින්ගෙන් ඉල්ලුවේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න මේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න කියලයි' ඇය ප්‍රකාශ කළාය.

"පසුගිය පෙබරවාරි 27 වැනිදා මම ආයෙමත් වතාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් මේ වාර්තාව ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලුවා. එහෙම ඉල්ලුවාම ජනාධිපති ලේකම් කාර්යාලයේ ලේකම්වරයෙක් මට මුලින් කිවුවා දින 14 කින් එවන්නම් කියලා. නමුත් වාර්තාව ලබා දෙන්න නොහැකි බව දන්වලා, දෙවනුව ජනාධිපති අතිරේක ලේකම් ඩී කේ එස් රවීන්ද්‍ර නැමති අයගෙන් මට ලිපියක් ලැබුණා. දැන් ආයෙත් කියනවා වාර්තාව ඕනේ නම් ජනාධිපති ලේකම් ආර් සී ඩීඅබේකෝන් කියන අය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන්න කියලා. මට අහන්නේ ඇයි මෙහෙම අපිව රවට්ටන්නේ කියලයි."

කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි තමන් ඉල්ලා සිටියේ මෑතකදි සම්මත වුණු තොරතුරු දැන ගැනීමේ පනත යටතේ බව කියා සිටි රොෂේන්ගේ මව, මෙවැනි වාර්තාවක් අදාළ පනත යටතේ හෝ ලබාදීම කළ නොහැකි බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තමන් හා පැවසු බව වැඩිදුරටත් කියා සිටියාය. එසේම  එහි කිසිදු වැදගත් දෙයක් නැති බවත් එම වාර්තාව කොල කෑලි දෙකක් විතරයි යනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් තමන් හා පැවසු බව ද ප්‍රකාශ කළ ඇය එම කොල කෑලි දෙක හෝ තමන්ට පෙන්වීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් අකමැති කුමක් නිසා දැයි විමසා සිටියි.

එසේම මෙම පොලිස් ප්‍රහාරය සහ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වුණ ද එයින්ද කිසිදු පලක් නොවන බවට මේරි ස්වර්ණකාන්ති චෝදනා කරන්නීය.

"දැන් අවුරුදු කීයක් මේ නඩුව අහනවද? පුතාට වෙඩි තිබ්බ චෝදනාවට අත් අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් දෙන්නා දැන් ආයෙත් සේවය කරනවා කියලා අපිට දැන ගන්න ලැබුණා. නඩුව දිගින් දිගටම කල් යනවා."

තානාපති පත්වීමක්

මෙම ප්‍රහාරය හේතු කොට ගෙන කටුනායක වෙළඳ කලාපයේ සේවයේ නියුතු වුවන් 200කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ප්‍රහාරයේ වගකීම භාරගෙන එවක සිටි පොලිස්පති මහින්ද බාලසූරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වුණ ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහු පළමුව බ්‍රසීලයේ තානාපති තනතුරට පත්කර යැවූ අතර අනතුරුව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් පත්කරන ලදී.

රොෂේන් චානක ඝාතනය සහ නිදහස් වෙළඳ කලාප සේවකයන්ට පහරදීම  පසුගිය මැතිවරණ වේදිකාවන්හී ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබුණු අතර එවක විපක්ෂ නායක, වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රොෂේන් මරා දැමුවන්ට එරෙහිව තම රජයක් යටතේ  උපරිම දඬුවම් පමුණුවන බව ය.☐

© JDS