'ලිංගික වහල් කඳවුරු' පවත්වාගෙන යාම ගැන ශ්‍රී ලංකා හමුදාවට චෝදනා

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා විසින් දූෂණ කඳවුරු පවත්වාගෙන යමින්, අත් අඩංගුවේ පසුවන කාන්තාවන් ලිංගික වහලියන් ලෙස රඳවා තබාගෙන සිටින්නේය යි එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙත භාරදී ඇති වාර්තාවකින් හෙළි වේ. 

“කාමරයට ආපු එක් උසස් නිලධාරියෙකුට කැමති කෙනෙක් තෝරාගන්න කිව්වා, හරියට අපි මස් කඩේ එල්ලලා තිබුණු මස් වගේ. මිනිහා වටේට බලලා මාව තෝරගත්තා. ඊට පස්සේ තවත් කාමරේකට ගෙනිහින් මාව දූෂණය කළා,“යි එම වාර්තාවට පදනම් වූ තොරතුරු ලබාදුන් එක් වින්දිත කාන්තාවක් ලබා දුන් ප්‍රකාශයකින් හෙළි කර තිබේ.

තවත් කාන්තාවන් පිරිසක් සමඟ තමන් දීර්ඝ කාලයක් රඳවා තබාගනිමින් ලිංගික වහලියන් ලෙස යොදාගත් බව කියා සිටින වින්දිත කාන්තාවන් තිදෙනකු ගේ ප්‍ර‍කාශ උපුටා දක්වමින් මෙම බියකරු තොරතුරු, සඳුදා (20) ප්‍ර‍කාශයට පත්කරන ලද වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය (International Truth and Justice Project - ITJP) මගිනි.

කඳවුරු හතරක්

"එක් කාමරයක එකට රඳවා, ඕනෑ ම සොල්දාදුවකුට පැමිණ තෝරාගෙන යාබද කාමරයකට හෝ කූඩාරමකට ගෙන ගොස් දූෂණය කරන්නට ඉඩ සලසා තිබූ ආකාරය කාන්තාවන් දෙ දෙනකු විසින් විස්තර කරන ලද්දේ," යැයි ITJP වාර්තාව කියා සිටී. "මහ කළුවරේ හය මාසයක් තනිව කාමරයක සිරකර සිටි තවත් තුන්වැනි කාන්තාවකට යාබද කාමරවල වෙනත් කාන්තාවන් කෑ මොර දෙනු ඇසී තිබිණි."

මෙම දූෂණ සිදුවීම් නිශ්චිතව හඳුනාගත් ස්ථාන හතරක දී සිදු වී තිබේ.  වව්නියාව හා පුත්තලම ආසන්නයේත්, කොළඹින් පිටත එහෙත් උතුරු නැගෙනහිර නොවන ස්ථානයක මෙන්ම කොළඹ නගරයේත් මෙම දූෂණ කඳවුරු පිහිටා තිබී ඇත.

ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය ව්‍යාපෘතිය විසින් ඔවුන් ගේ මෙම සොයාගැනීම් ඇතුළත් වාර්තාව කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ  කමිටුවට (UN Committee on the Elimination of Discrimination against Women - CEDAW) භාර දී ඇති අතර එම කමිටුව ශ්‍රී ලංකවේ නිල නියෝජිත පිරිසක් සමඟ මේ සතියේ ජිනීවා නුවර දී හමුවීමට නියමිත ය.

සන්නද්ධ හමුදා සහ පොලීසිය විසින් කරන ලදැයි කියන ලිංගික ප්‍ර‍චණ්ඩත්වයන් ඇතුළු වෙනත් ආකාර වධ හිංසා පිළිබඳ තොරතුරු ද මෙම වාර්තාවේ අඩංගු වේ. රජයේ අත් අඩංගුවේ සිටිය දී විඳින්නට සිදු වූ බිහිසුණු ලිංගික අඩන්තේට්ටම් ඇතුළු වධ හිංසා විස්තර කරමින් වින්දිත ස්ත්‍රීන් 55 දෙනකු විසින් ලබාදෙන ලද  විස්තරාත්මක සාක්‍ෂි ප්‍ර‍කාශ  මත සිය වාර්තාව පදනම් වී ඇතැයි ITJP කියා සිටී. ඒ අතරින් වින්දිතයන් 48 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය යටතේ ද, හත් දෙනකු වත්මන් ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේනගේ පාලනය යටතේ ද මෙසේ රඳවාගෙන සිට තිබේ.

හමුදාවේ හය දෙනෙක්

මෙම ස්ත්‍රී දූෂණ හා අනෙකුත් වධහිංසාවලට වගකිවයුත්තන් ලෙස, මේජර්වරයකු හා ලුතිනන් කර්නල්වරයකු ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් හය දෙනකුගේ විස්තර ද ITJP විසින් සපයා ඇත.

ලබන 22 වැනිදා හමුවේ දී, කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිළිබඳ එක්සත් ජාතීන් ගේ කමිටුව මෙම තොරතුරු ශ්‍රී ලංකා ආණ්ඩුවට ලබාදෙනු ඇති බවත්, අදාළ නිලධාරීන් හය දෙනා ගේ සේවය වහා ම අත්හිටුවා විශ්වසනීය විමර්ශනයක් කරන මෙන් කමිටුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනු ඇති බවත් තමන් බලාපොරොත්තු වන්නේ යැයි ITJP විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා පවසයි.

“වින්දිතයන් ගේ නම් සහ ලිපිනයන් ඇතුළු තොරතුරු ආණ්ඩුව දිගින් දිගට ම විමසනවා. CEDAW ඔස්සේ අපි චෝදනා ලැබ සිටින අපරාධකාරයන් පිළිබඳ තොරතුරු  ලබාදෙනවා. යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සැබෑවටම කැපවී සිටිනවාද යන්න අපට බලාගන්න පුළුවන්. ඔවුන් විසින් ගත යුතු සියලු ක්‍රියාමාර්ග අප අපේ වාර්තාවෙන් කියා තිබෙනවා. CEDAWට ඒ ක්‍රියාමාර්ගවල ප්‍ර‍ගතිය අධීක්ෂණය කරන්න පුළුවන්,“ සූකා වැඩිදුරටත් කියා සිටියි.

කෙසේ වෙතත්, මේ වැනි පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම සහතික කිරීමේ දේශපාලන අභිලාෂය ආණ්ඩුව පෙන්නුම් කර නැති අතර දණ්ඩ මුක්තිය ශ්‍රී ලංකාවේ ආයතනගතව ද, නිදන්ගතව ද පවතින බව CEDAW වෙත ලබාදුන් වාර්තාවෙන් ITJP කියා සිටී.

'සිද්ධීන් 18යි' ශ්‍රී ලංකා රජය

කෙසේ වුවද සිය සන්නද්ධ හමුදා ලිංගික ප්‍ර‍චණ්ඩත්වය ආයතනගත කොට පවත්වාගෙන යන්නේ ය යන්න ශ්‍රී ලංකා රජය ප්‍ර‍තික්ෂේප කරයි.  සන්නද්ධ හමුදා විසින් 2007 වසරේ සිට මේ දක්වා යුද්ධයට මැදි වූ ප්‍රදේශවල දී කරන ලද ලිංගික ප්‍ර‍චණ්ඩත්වයන්ට සම්බන්ධ සිද්ධීන් වාර්තා වී ඇත්තේ 18ක්  පමණක් බව  ආණ්ඩුව එක්සත් ජාතීන් ගේ සංවිධානයට  දන්වා තිබේ. “යුද්ධය බලපැවැත්වූ කාලය තුළ (2007 ජනවාරියේ සිට 2009 මැයි දක්වා) උතුරේ හා නැගෙනහිර ලිංගික ප්‍ර‍චණ්ඩත්වයට අදාළ සිදුවීම් 12කට හමුදා නිලධාරීන් හත් දෙනකු සම්බන්ධ බවට වාර්තා ලැබී තිබේ. පශ්චාත් යුද සමයේ දී (2009 මැයි සිට 2012 මැයි දක්වා) උතුරේ ලිංගික ප්‍ර‍චණ්ඩ ක්‍රියා හයකට ආරක්ෂක අංශ නිලධාරීන් 10 දෙනකු සම්බන්ධ බවට වාර්තා වී තිබේ,“යි රජය විසින් CEDAW වෙත ලබාදී ඇති වාර්තාවේ සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ කියන සිදුවීම් සම්බන්ධයෙන් කිසියම් ම හෝ විමර්ශනයක් පැවැත්වූයේ ද යන්න හෝ චෝදනා ලද්දවුන්ට දඬුවම් ලබාදුන්නේ ද යන්න පිළිබඳ රජයේ වාර්තාවේ කරුණු දක්වා නැත.

එහෙත් ITJP කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශ විසින් කරගෙන යනු ලබන ලිංගික වදහිංසා පිළිබඳ තොරතුරු 2016 තරම් මෑතක් දක්වා සිදු වී ඇති බවට තමන් ලේඛණ ගතකර ඇති බව යි.☐

© JDS