කුමාරපුරම් සමූහ ඝාතන නඩුව යළි කැඳවන්නැයි වින්දිතයෝ ජනපතිගෙන් ඉල්ලති

සර විස්සකට ඉහත දී සිදුවූ සමූහ මිනිස් ඝාතනයක චූදිතයන් ව සිට අධිකරණය විසින් පසුගියදා නිදොස් කොට නිදහස් කරන ලද හමුදා නිලධාරීන්ට එරෙහි ව නඩුව නැවත විභාග කරන්නැ යි, එම සිද්ධියේ වින්දිතයන් පිරිසක් ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටිති.

දෙමළ ජාතිකයන් 24 දෙනකු ඝාතනය කොට තවත් 26 දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ චෝදනාවලින් හිටපු යුදහමුදා සාමාජිකයන් නිදොස් කොට නිදහස් කිරීමේ අධිකරණ තීන්දුවට එරෙහි ව අභියායචනාවක් ගොනු කිරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමින්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුමාරපුරම් ගම්වාසීහු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සන්දේශයක් භාරදෙමින් පසුගිය දා මෙම ඉල්ලීම සිදුකළහ.

හමුදා කෝප්‍ර‍ල්වරුන් වන එස් ජී නිශාන්ත, එන් එම් අජිත්, සිසිර කුමාර, පී එම් කපිල දර්ශන, එච් එම් අබේසිංහ, පී පී උපසේන හා එච් එම් අබේරත්න යන සැකකරුවන් සය දෙනා 1996 වසරේ පෙබරවාරි මස 11වැනි දා සිදු කැරුණු සමූහ මිනිස් ඝාතනයට වරදකරුවන් නොවන බවට, සර්ව සිංහල ජූරි සභාවක් විසින් පසුගිය දා ඒකමතික ව තීරණය කරන ලදී.

සැකකරුවන් චෝදනාවලින් නිදහස් කිරීමට අනුරාධපුර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ජූරි සභාව මෙහෙයවා ඇතැයි මෙම නඩුවේ වින්දිතයන් වෙනුවෙන් 1996 වසරේ සිට ම පෙනී සිටින ජෙෂ්ඨ නීතීඥ කේ එස් රත්නවේල් ජේඩීඑස් හා කියා සිටියේ ය.

'යුක්තිය ප්‍රතික්ෂේප කිරීමක්'

පසුගිය සිකුරාදා (29) ජනාධිපතිවරයා විසින් මුත්තූර් අධිකරණයේ නව ශාඛාවක් ත්‍රිකුණාමලයේ දී උත්සවාකාරයෙන් විවෘත කරන ලද අවස්‍ථාවේ දී වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් පිරිසක් විසින් මෙම ලිඛිත ඉල්ලීම ජනාධිතිවරයා වෙත භාරදී තිබේ.

"යුක්තිය සුරක්ෂිත කරන මන්දිරයක් විවෘත කිරීමේ උත්සවයකට ජනාධිපතිතුමා සහ‍භාගී වෙමින් සිටිනවා. අධිකරණය විසින්  ප්‍රතික්ෂේප කරන ලද යුක්තියක් ඉල්ලා සිටින්න යි අපි මෙහි ඇවිත් ඉන්නේ." ‍මෙම සංහාරයේ දී සිය පවුලේ සාමාජිකයන් සත් දෙනකු අහිමි වූ කාන්තාවක් එම අවස්ථාවේ දී ජනමාධ්‍ය වෙත කියා සිටියා ය.

"ඝාතනය කරන ලද්දවුන් අතර කාන්තාවන් හය දෙනෙක්, පිරිමි පස් දෙනෙක් හා දරුවන් 13 දෙනෙක් සිටි බව විශේ‍ෂයෙන් සඳහන් කළ යුතු ය. ඝාතනයට ලක් වූ කාන්තාවන් අතර නව මස් ගැබිනි මවක් හා දූෂණය කිරීමෙන් පසු මරාදැමූ 16 හැවිරිදි දැරියක් ද වූහ. දූෂණය කොට මරාදැමූ දැරියගේ මළසිරුර ගම්වාසීන් විසින් සොයාගන්නා ලද්දේ පසුදා උදෑසනයැ”යි ජනාධිපතිවරයා වෙත භාරදුන් සංදේශයේ සදහන් වේ.

'දෙමළාට මරණය'

කිලිවෙඩ්ඩි - මුලතිව් මාර්ගයේ කුමාරපුරම් ගම්මානය වෙත හැරෙන 58 වැනි සැතපුම් කණුව අසළ මන්සන්දියේ දී හමුදා භටයන් දෙදෙනකු ගේ වෙඩිවැදුණු මළසිරුරු සොයාගැනීමෙන් අනතුරුව, ග්‍රාමාරක්ෂක නිලධාරීන් පිරිසක් සමග දෙහිවත්ත හමුදා කදවුරේ සෙබළුන් පිරිසක් ගම්වැදී මෙම අමානුෂික මනුෂ්‍ය ඝාතන සිදුකර තිබිණැයි වාර්තා විය.

සංහාරය අතරතුර දී 'දෙමළුන්ට මරණය' යනුවෙන් හමුදා භටයන් කෑගැසූ බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (Amnesty International) හා ජාත්‍යන්තර සාම හමුදාව Peace Brigades International අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සකස් කරන ලද වාර්තාවල දැක්වෙයි.

සංහාරයෙන් දිවි ගලවාගත්තවුන් විසින්, සිය නිවෙස්වලට කඩාවැදී වෙඩිතැබීම් සිදුකළ පුද්ගලයන් වශයෙන් මෙම හමුදා නිලධාරීන් හදුනාගනු ලැබ තිබිණි. චූදිත හමුදා භටයන් සියලු දෙනාට ම එරෙහිව චෝදනා 101 බැගින් එල්ල වී තිබූ අතර, ඇසින් දුටු සාක්ෂිකරුවන් හතලිහකට අධික සංඛ්‍යාවකගේ සාක්ෂ්‍ය සටහන් කරගෙන තිබූ බව නීතීඥ රත්නවේල් පවසයි.

නඩු භාණ්ඩ විනාශයි

කොළඹ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලයේ ගබඩාකර තිබූ සමූහ ඝාතනය සඳහා භාවිතා කළ බවට සැක සහිත ආයුධ ඇතුළු වැදගත් නඩු භාණ්ඩ 2004 ඇතිවූ ගින්නකින් විනාශ වී ගොස් ඇති බව2006 දී අධිකරණයට දැනුම් දුන් අවස්ථාවේ දී, සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ සාක්ෂ්‍ය මත නඩුව ඉදිරියට පවත්වාගෙන යන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත්, එසේ ප්‍රකාශ කිරීමෙන් වසර දහයකට පසු, හුදෙක් ඇසින් දුටු සාක්ෂ්‍ය මත පමණක් පදනම් වෙමින් චූදිතයන්ට දඩුවම් කළ නොහැකිය යන කාරණය මත සියලු චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට අනුරාධපුරයේ මහාධිකරණය හමුවේ රැස් වූ සර්ව සිංහල ජූරි සභාව පසුගිය දා ඒකමතිකව තීරණය කළේ ය.

නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ නිතීඥවරයා ජූරි සභාව අමතමින් පවසා ඇත්තේ සැකකාර සෙබළුන් බරපතල අපරාධයක් සිදුකර ඇති බැවින්, ඔවුන්ට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස ය. එසේම ශ්‍රි ලංකාවේ අධිකරණ පද්ධතිය සහ යුක්තිය පසිඳළීමේ ක්‍රියවලිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව ඇති මොහොතක මෙම අපරාධයට වගකිව යුත්තන්ට උපරීම දඬුවම් පමුණුවන ලෙස ද රජයේ නිතිඥවරයා ජූරි සභාවෙන් ඉල්ලා ඇත. එහෙත් සිය තීන්දුව ප්‍රකාශ කිරීමේදි හමුදා සෙබළුන්ට එරෙහි චෝදනා මෙන්ම සාක්ෂිද නොකතා හරිමින් ජූරි සභාව සිය තීන්දුව ලබාදී ඇති බව නිතිඥ රත්නවේල් පවසයි.

මෙවැනි අපරාධ නඩුවක් විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යොදා ගත යුතු මුත් නීතිපතිවරයා විසින් එවැනි මැදිහත් වීමක් නොකළ බව ද හෙතෙම කියා සිටී.

ත්‍රිකුණාමලයෙන් අනුරාධපුරයට

අදාළ නඩුව 17 වතාවක් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයේදී ද, තුන් වතාවක් ත්‍රිකුණාමලය මහාධිකරණයේදී ද විභාගයට ගැනී තිබිණි. ත්‍රිකුණාමලයේ දී හෝ මුතූර්හි දී නඩු විභාගය පැවැත්වීම තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් නඩුව සිංහල බහුතරයක් වෙසෙන ප්‍රදේශයක අධිකරණයකට මාරුකරන්නැයි චූදිතයන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව, නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත මාරුකරන මෙන් 2006 වසරේ දී අභියායචනාධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබිණි.

සුවිශාල නාවික හමුදා කදවුරක් මෙන්ම අනෙකුත් පොලිස් හා හමුදා ස්ථාපිතයන්ගෙන් ආරක්ෂිත ත්‍රිකුණාමලයේ දී සිංහල හමුදා සෙබලුන් මුළුමනින්ම පාහේ ආරක්ෂිත ව සිටිය දී, චූදිතයන්ගේ ආරක්ෂාව යන කාරණය මත නඩුව අනුරාධපුරයට මාරු කිරීම යුක්ති සහගත නොවූ බවත්, එසේ මාරු කිරීමේ දී අගතියට පත් පාර්ශවයෙන් ඒ පිළිබද කිසිදු විමසීමක් හෝ ඔවුන්ට ඒ ගැන නිසි දැනුම් දීමක් කර නොමැති බවත්, එබැවින් ඊට එරෙහි වීමේ අවස්ථාවක් අපරාධයේ වින්දිතයන්ට නොලැබුණු බවත් නීතීඥ රත්නවේල් පවසයි.

"ආරම්භයේ සිට ම අනුරාධපුරය මහාධිකරණය හමුවේ නඩුව විභාග කැරුණේ සත් පුද්ගල ජූරි සභාවක් ඉදීරිපිට යි. එසේ ජූරී සභාවක් ඉදිරියේ අපරාධ නඩුවක් විභාග කැරෙන විට එය අඛණ්ඩව දිනපතාම විභාග කළ යුතු වෙනවා. මේ නිසාම අගතියට පත් පාර්ශවයට බලවත් අසාධාරණයක් සිදුවුණා. සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරුවන්ට, ප්‍ර‍හාරයෙන් දිවි ගලවාගත්තවුන්ට සහ මරාදැමුණු පුද්ගලයන්ගේ ඥාතීන්ට දිනපතාම මුතූර් සිට අනුරාධපුරයට පැමිණෙන්න සිදු වුණා.

සාක්ෂිකරුවන්ට තර්ජන

"එසේ පැමිණිමේ දී ඔවුන්ට නොයෙක් තර්ජනයන්ට සහ හිරිහැරයන්ට ලක්වීමට සිදුවුණා. ඒ අනුව යුද හමුදා සාමාජිකයන්ට ආරක්ෂාව තිබූ ත්‍රිකුණාමලයේ සිට අනුරාධපුරයට නඩුව මාරුකිරීමෙන් සැබෑවටම සිදුවුණේ මුතූර් සිට අනුරාධපුරය දක්වා දිනපතා පැමිණීමට සිදු වූ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාවට තර්ජන එල්ල වීම හා ඔවුන් හිරිහැරයට ලක්වීම යි.

“මෙතන ඇත්තටම තිබුණේ ආරක්ෂාව සම්බන්‍ධ ගැටලුවක් නොවෙයි. නඩුව අනුරාධපුරය වෙත මාරු කරවාගැනීමෙන් චූදිතයන්ට අවශ්‍යව තිබූ බව පෙනුණේ චූදිතයන් වැරදිකරුවන් කිරීම කෙරේ ජූරි සභාව මෙහෙයවීමට ඉඩ තිබුණාය යි ඔවුන් සැක කළ දෙමළ විනිසුරුවරයකු යටතේ නඩුව පවත්වාගෙන යාම වැළැක්වීමට යි,” නීතිඥ රත්නවේල් ජේඩීඑස් හා වැඩිදුරටත් පැවසී ය.

නඩු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ලවා අභියායචනයක් ගොනුකිරීමට කටයුතු කරන මෙන් ද, ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ චූදිතයන්ට එරෙහිව නැවත නඩු විභාගය පවත්වන මෙන් ද, ඊට අමතරව වින්දිතයන්ගේ පවුල්වලට ප්‍රමාණවත් වන්දියක් ලබාදීමට කටයුතු කරන මෙන් ද මෙම සංදේශයෙන් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.☐

© JDS